Friday, 28 July 2017

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්




අංගුත්තර නිකායේ දුක නිපාතයේ දෙවන වර්ගය ‘අධිකරණ’ වග්ග නම් වේ. එහි ආරම්භක සූත්‍ර තුනෙහි බල දෙකක් පිළිබඳව කියැවේ. එම බල දෙක නම්

1. පටිසංඛාන බලය (පරීක්ෂා කිරීමේ බලය)
2. භාවනා බලය වේ.

පටිසංඛාන බලය - මෙසේ විස්තර වේ. ‘මහණෙනි මෙලොව යමෙක් නුවණින් මෙසේ විමසා බලයි. (ඉති පටිසංචික්ඛති) ‘කායික දුසිරිත්වල විපාක මෙලොව ද පරලොව ද විඳිය යුතුවේ. වාචසික දුසිරිත්වල විපාක ද මානසික දුසිරිත්වල විපාක ද (දස අකුසල්වල විපාක) මෙලොව හා පරලොව විඳිය යුතුවේ’. මෙසේ නුවණින් විමසා බලන ඔහු තිදොරින් අකුසල් රැස්කිරීම නවත්වයි. කායික, වාචසික හා මානසික සුචරිතය වඩයි. (භාවෙති) එවිට ඔහුගේ ආත්මභාවය පිරිසිදු වේ. (සුද්ධං අත්තානං පරිහරති) මෙසේ තිදොරින් දසකුසල් වැඩීම පටිසංඛාන බලය නම් වේ.

මෙම බලයෙන් යුතු පුද්ගලයා මෙලොව ද සැප විඳියි. පරලොව ද සැප විඳියි. ඔහු දෙලොව ම පී‍්‍රතිමත් ව වෙසේ.

“භාවනා බලයට ‘සේඛ බලය’ යන නම ද යෙදේ. (යමිදං භාවනා බලං සෙඛමෙතං බලං) සේඛ යනු සෝවාන් මාර්ගයට පත් වූ තැනැත්තාගේ සිට අර්හත් මාර්ගයට පත් වූ තැනැත්තා දක්වා වූ පුද්ගලයන් හත් දෙනාට යෙදෙන වචනයකි. එසේ සේඛ බලයට පත්වුවහු රාගය දුරු කරයි, ද්වේෂය දුරු කරයි, මෝහය දුරු කරයි. (රාගං පජහති, දොසං පජහති, මොහං පජහති) අකුසල් මුල් තුන නැති කළ දුරුකළ හෙතෙම අකුසල් සහගත කිසිවක් සිදු නොකරයි. (යං අකුසලං තං න කරොති) පාපීවන දෙයක් සේවනය නොරකයි. (යං පාපං තං න සෙවති) මෙය භාවනා බලය නම් වන බව පළමු සූත්‍රයේ දී පැවසේ.

දෙවන සූත්‍රයේ දී භාවනා බලය මෙසේ විවරණය වේ. මේ බුදුසසුනෙහි පැවිදි වූ භික්ෂුව විවේකය ඇසුරුකළ (විවේක නිස්සිතං) විරාගය ඇසුරුකළ (විරාග නිස්සිතං) නිරෝධය ඇසුරුකළ (නිරෝධ නිස්සිතං) කෙලෙස් දුරුකිරීමට හා නිර්වාණාවබෝධය පිණිස පවතින (වොස්සග්ග පරිනාමිං) සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපෙක්ඛා යන සප්ත බොජ්ඣංග ධර්ම වඩති. එසේ සප්ත බොජ්ඣංග ධර්ම වැඩීම භාවනා බලය නම් වේ.

තුන්වන සුත්‍රය භාවනා බලය ලෙස දක්වා ඇත්තේ කාම වස්තූන්ගෙන් ද අකුසල්වලින්ද වෙන්ව ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතිය ධ්‍යානය හා චතුර්ත්‍ථ ධ්‍යානය වෙත එළඹ වාසය කිරීමයි.

* ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ 5 කි.

1. කාමයෙන් වෙන්වීම (විවිච්චෙව කාමෙහි)
2. අකුසලයන්ගෙන් වෙන්වීම (විවිච්ච අකුසලෙහි ධම්මෙහි)
3. විතක්ක සහිතවීම (සවිතක්කං)
4. විචාර සහිතවීම (සවිචාරං)
5. විවේකයෙන් උපන් පී‍්‍රතිය හා සුඛය ඇතිබව (විවෙකජං පීතිසුඛං)

රූපාවචර ධ්‍යාන බැවින් කාම ලෝකයෙන් ද පංචනීවරණ හා දස අකුසල් ආදී අකුසල් ධර්මවලින්ද තොර වූ ප්‍රථම ධ්‍යාන සිත විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංග පසෙන් යුක්ත වූවකි.

*ද්විතීය ධ්‍යානයේ ලක්ෂණ 3 කි.

1. විතක්ක, විචාර, රහිතවීම (අවිතක්කං, අවිචාරං)
2. අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරවන සිතේ එකඟබව තිබීම (අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං)
3. සමාධියෙන් උපන් පී‍්‍රතිය හා සැපය ඇතිබව (සමාධිජං පීතිසුඛං) පීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංග තුනින් මෙම ද්විතීය ධ්‍යානය යුක්ත වේ.

* තෘතිය ධ්‍යානයේ ලක්ෂණ 6 කි.

1. පී‍්‍රතිය නැතිවීම (පීතියා ච විරාගා)
2. උපේක්ෂාව දියුණුවීම (උපෙක්ඛකො ච)
3. සිහි ඇතිව විසීම (සතිමා)
4. යහපත් ප්‍රඥාව, යථාර්ථය දකින නුවණ ඇත (සම්පජානො)
5. කායිකව සුව විඳීම (සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති)
6. උපේක්ෂා සහගත සිහි ඇති සුඛ විහරණයකි’ යි ආර්යයෝ කියති (අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති)

සුඛ හා ඒකග්ගතා යන ධ්‍යානංග දෙක තෘතිය ධ්‍යානයේ බලපවත්වයි.

* චතුර්ත්‍ථ ධ්‍යානයේ ලක්ෂණ 6 කි.

1. සුඛය (සැපය) ප්‍රහීණ වේ. (සුඛස්ස ච පහානා)
2. දුක ද ප්‍රහීණ වේ (දුක්ඛස්ස ච පහාණා)
3. සෝමනස්ස, දෝමනස්ස සම්පූර්ණයෙන් ම නැතිවේ (පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්‍ථංගමා)
4. දුක නැති (අදුක්ඛං) බව
5. සැප නැති (අසුඛං) බව

6. උපේක්ෂා ස්මෘති පාරිශුද්ධිය සහිතය (උපෙක්ඛාසති පාරිසුද්ධි)

සූත්‍ර පිටකයේ දැක්වෙනුයේ රූපාවචර ධ්‍යාන හතරක් පමණි. අභිධර්ම විග්‍රහයේදී රූපාවචර ධ්‍යාන පහක් දැක් වේ. මෙම විග්‍රහ දෙකින්ම එකම ධ්‍යානාංග විස්තර වේ. සූත්‍ර පිටකයේ ධ්‍යාන සතර තික්ඛ පඤ්හ (තියුණු ප්‍රඥා ඇති) පුද්ගලයාගේ වශයෙනි. අභිධර්ම පිටකයේ ධ්‍යාන පහ මන්ද පඤ්හ (මද ප්‍රඥා ඇති) පුද්ගලයාගේ වශයෙනි.

ධර්ම දේශනා ක්‍රම දෙක

දුක නිපාතයේ දෙවන වග්ගයේ සිවුවන සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා දෙකක් පවතින බව දැක්වේ. (ද්වෙමා භික්ඛවෙ තථාගතස්ස ධම්ම දෙසනා)

1. සංක්‍ෂිප්ත ධර්ම දේශනාව (සංඛිත්තෙන ච)
2. විස්තරාර්ථ ධර්ම දේශනාව (විත්‍ථාරෙන ච)

තම ඉදිරියේ සිටින ශ්‍රාවකයාගේ ඤාණ ශක්තිය අනුව කෙටියෙන් ද ඉතා දීර්ඝ විස්තර සහිතව ද බුදුපියාණෝ දහම් දෙසති. බාහිය දාරුචීරියට දෙසු දිට්ඨෙ දිට්ඨමත්තං.... යනාදී ගාථාව සංක්‍ෂිප්ත ධර්ම දේශනාවට උදාහරණයකි. සාමඤ්ඤඵල, සිගාලක වැනි සූත්‍ර දීර්ඝ වශයෙන් කරුණ සාකච්ඡා කරන ධර්ම දේශනාවට උදාහරණ වේ.

චූදිත - චෝදක ආචාරධර්ම

දුක නිපාතයේ දෙවන වග්ගයේ පස්වන සූත්‍රයෙහි අධිකරණ (නඩු විසඳීම) පිළිබඳව කියවෙයි. මෙම වග්ගයට නම තබා ඇත්තේ ද මෙම සූත්‍රයට අනුවයි.

යම් අධිකරණයකදී විත්ති හා පැමිණිලි දෙපාර්ශ්වයම නුවණින් මනාව තමාම තමා විමසා නොබලන්නේ් නම් (න සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති) එබඳු විට එම අධිකරණය (නඩු හබය - ගැටළුව)

1. බොහෝ කලක් පවතින්නේය (දීඝත්තාය)
2. රළු කර්කශ බස් ඉපදවීමට හේතු වන්නේය (ඛරත්තාය)
3. දරුණු දුක් ගැහැට පිණිස හේතු වන්නේය. (වාළත්තාය)
4. භික්ෂූහු ද සුවසේ නොවෙසෙති (භික්ඛු න ඵාසුකං විහරිස්සන්ති)

එනිසා මෙම ආදීනව ජනනය වන පරිදි චූදිත - චෝදක දෙදෙන ක්‍රියා නොකළ යුතුයි. ඒ දෙදෙනම නුවණින් යහපත්ව තම තමාව පිළිබඳව විමසා බැලීමෙන්, එසේ ක්‍රියා කිරීමෙන් අධිකරණය ඉක්මණින් සන්සිඳේ. රළු කර්කශ බස් නැති වේ. දුක් ගැහැට පීඩා නැතිවේ. භික්ෂුහු ද සුවසේ වෙසෙති.

ඇවතට පත් වූ භික්ෂුව (විත්තිකාර) මෙසේ නුවණින් මෙනෙහි කළ යුතුය. ‘මම මේ භෞතික කයෙන් සමාජය ගරහන අකුසලයක් සිදු කළෙමි. මේ මාහට එරෙහිව චෝදනා (පැමිණිලි) කරන භික්ෂුව එය දුටුවේ ය. ඉදින් මම කයින් එම අකුසලය නොකළේ නම් මේ භික්ෂුව එසේ අකුසලයක් කරන මා නොම දක්නේය. මේ භික්ෂුව කයින් අකුසලයක් කරන මා දැක, නොසතුටු සිත් ඇතිවිය. ඒ නොසතුටු සිතින් එම භික්ෂුව මාහට නොසතුටු බස් කීවේය. (අනත්තමනො සමානො අනත්තමනමචනං මං සො භික්ඛු අවච) ඒ භික්ෂුවගේ නොසතුටු වචන ඇසූ මාහට නොසතුටු සිත් ඇතිවිය. නොසතුටු සිත් ඇතිවම මම මෙය අනුන්ට පැවසීමි. මෙනිසා මෙම අධිකරණයේදී මගේ ම අපරාධ තුනක් විය.

1. අකුසලයක් කයින් සිදුකිරීම
2. එය පෙන්වා දුන්විට නොසතුටු සිත් ඇතිවීම
3. නොසතුටු සිතින් සමගි සංඝයාට එය දැනුම් දීම

මෙසේ වරදකාරී ඇවතට පත් භික්ෂුව නුවණින් මෙනෙහි කරන්නේ නම් එම අධිකරණය භික්ෂු සාමගි‍්‍රය පිණිසත්, තමාගේ සැපය පිණිසත් පවත්නේය.

චෝදනා කරන භික්ෂුව ද නුවණින් මෙසේ විමසා බැලිය යුතුයි. ‘මෙම භික්ෂුව කයින් කිසියම් අකුසලයක් සිදු කළේය. එසේ කයින් කිසියම් ආපත්තියකට පත්වන එම භික්ෂුව දුටුවෙමි. ඉදින් ඒ මහණ කයින් එම ආපත්තියට නො පැමිණියේ (නොකළේ) නම් එය මා නොදක්නේය. කයින් ආපත්තියට පත්වූ ඒ මහණ දැක මාහට නොසතුටු සිත් ඇතිවිය. (අනත්තමනො අහොසිං) නො සතුටු සිත් ඇති මම ආපත්තියට පත්වූ භික්ෂුවට නොසතුටු වචන කීවෙමි. ඒ මගේ නොසතුටු බස් ඇසූ ආපත්තියට පත් වූ භික්ෂුව නොසතුටු සිත් ඇතිව එය අන්‍යයන්ට සැල කළේය. මෙහිදී මම වැරදි දෙකකට පැමිණියෙමි’.

1. ආපත්තියට පත් භික්ෂුව දැක නොසතුටු සිත් ඇතිවීම
2. නොසතුටු සිතින් එම භික්ෂුවට නොසතුටු බස් කීම

මෙසේ චෝදනා කරන භික්ෂුව ද නුවණින් තමා ම තමා පිළිබඳව මෙනෙහි කරන්නේනම් අධිකරණය වහා සන්සිදෙයි. භික්ෂු සමගිය ඇතිව චූදිත, චෝදක දෙදෙනද සෙසු භික්ෂූන්ද සුවසේ වෙසෙති.

චූදිත - චෝදක දෙදෙනාගේම වැරදි (අච්චයො අච්චගමා) තමා ඔබාගෙන සිටින බව දැකීමෙන් (දෙදෙනම වරදකාරී හැඟීමෙන් යුක්තවන නිසා) වහා නිගමනයකට එළඹිය හැකිය. බුදුපියාණන් වහන්සේ අධිකරණ විෂයෙහිලා දැක් වූ මෙම මනෝ විද්‍යාත්මක ආත්ම ප්‍රත්‍යවේෂණ ක්‍රම වේදය ප්‍රායෝගිකත්වයට ගැනීම පාඨක ඔබට බාර කටයුත්තකි.

සුගති දුගති ඇතිකරන හේතු

සයවන සූත්‍රයේ දී එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සතුටු වී සිහිකළ යුතු කථා කොට නිමවා එකත් පසෙක හිඳ මෙසේ ඇසූ බව කියැවේ. ‘භවත් ගෞතමයෙනි, යමෙක් මරණයෙන් පසුව සැප නැති, නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයේ උපදිත් නම් ඊට හේතු - ප්‍රත්‍ය කවරේද?’ (කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජන්ති)

‘නිරයේ ඉපදීමට බලපාන හේතු - ප්‍රත්‍ය නම් අධර්ම චර්යාවයි. විෂම චර්යාවයි’ (අධම්මචරියා විසමචරියා) යනුවෙන් බුදුරදුන් පිළිතුරු දෙති.

දෙවනුව එම බ්‍රාහ්මණයා ‘මෙලොව ඇතැම් සත්ත්වයෙක් කය බිඳීමෙන් මරණයට පත් ව සුගති ස්වර්ග ලෝකයේ උපදිනුයේ කවර හේතුවකින්ද? කවර ප්‍රත්‍යයකින්ද? ‘යි විමසයි. ඊට පිළිතුරු දෙන තථාගයන් වහන්සේ (ධම්මචරියා සමචරියා) ධර්ම චර්යාව, සමචර්යාව හේතුප්‍රත්‍ය වී සුගතියේ උපදින බව පැවසූහ. මෙහි ධම්මචරියා, සමචරියා යනුවෙන් ප්‍රකාශ වී ඇත්තේ දශ කුසල කර්ම පථයන් ය. අධම්මචරියා, විසමචරියා යනු දස අකුශල කර්ම පථයන් ය.

එම බමුණා ඇසූ ප්‍රශ්න දෙකම ජානුස්සෝනි බමුණා ඇසුවිට තථාගතයන් වහන්සේ වදාළේ ‘බමුණ කිරීමෙන් ද නොකිරීමෙන් ද මෙලොව ඇතැම් සත්ත්වයෝ නිරයේ උපදිති. ඇතැම් සත්ත්වයෝ ස්වර්ගයේ උපදිති’ යනුවෙනි. මෙහිදී මානාධික වූ ජාණුස්සෝනි බමුණාගේ මානය දුරු කරනු සඳහා මෙසේ පිළිතුරු දුන් බව මනෝරථ පූරණීය පවසයි. ප්‍රහේලිකා ස්වරූපයෙන් දෙසූ එම සංක්‍ෂිප්ත දේශනාව විස්තරාර්ථව දේශනා කරන තථාගතයන් වහන්සේ කාය සුචරිත වාග් සුචරිත හා මනෝ සුචරිත කිරීමෙන් ද කාය දුශ්චරිත වාග් දුශ්චරිත හා මනෝ දුශ්චරිත නො කිරීමෙන් ද සත්ත්වයෝ සුගතියේ උපදින බවත්, කාය දුශ්චරිත, වාග් දුශ්චරිත හා මනෝ දුශ්චරිත කිරීමෙන් හා කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත නොකිරීමෙන් සත්ත්වයා දුගතියේ උපදින බවත් දේශනා කළ සේක. මෙහිදී ද තිදොරින් දස අකුසල් කිරීමෙන් නිරයේ උපදින බව හා තිදොරින් දස කුසල් කිරීමෙන් සුගතියේ උපදින බව ප්‍රකාශිතය.

අටවන සූත්‍රයේදී ආනන්ද තෙරුන් අමතන තථාගතයන් වහන්සේ ‘ආනන්දය, මම ඒකාන්තයෙන් ම (එකංසෙන) කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිත නොකළ යුතුයැයි කියමි’ යි වදාරන සේක. එසේ ඒකාන්තයෙන් ම තිදොරින් දුශ්චරිත නොකළ යුතුයැයි පනවන්නේ කවර ආදීනවයක් නිසාද? යි ආනන්ද හිමියෝ ප්‍රශ්න කරති. එහිදී තිදොරින් දුශ්චරිත කිරීමේ (දස අකුසල් රැස්කිරීමේ) ආදීනව පහක් පෙන්වා දෙති.

1. තමා තමාටම උපවාද කරයි (අත්තාපි අත්තානං උපවදති)
2. නුවණැතියෝ විමසා දැන ගරහත් (අනුවිච්ච විඤ්ඤු ගරහන්ති)
3. අපකීර්තිය උස්ව නඟියි (පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති)
4. මුලාවට පත්ව කළුරිය කරයි (සම්මුළ්හො කාලං කරොති)
5. කය බිඳී මරණයට පත්ව අපායේ උපදියි (කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති)

එසේම තිදොරින් සුචරිත කිරීමේ දී තමාට ලැබෙන ආනිසංසද පහක් බව බුදුපියාණෝ දේශනා කරති.

1. තමා තමාට ම උපවාද නොකරයි.
2. නුවණැත්තෝ විමසා දැන ප්‍රශංසා කරති
3. කීර්ති - යසස් උස්ව නැඟේ
4. නොමුළාව කළුරිය කරයි
5. කය බිඳී මරණයට පත්ව සුගතියේ උපදියි.

මෙසේ සුචරිත කිරීමේ ආනිසංස හා දුශ්චරිත කිරීමේ ආදීනව පෙන්වා දෙන තථාගතයන් වහන්සේ නව වන සූත්‍රයේදී ඉතා අනුවේදනීය අන්දමින් තම ශ්‍රාවකයන්ට මෙසේ දේශනා කරන සේක.

‘’මහණෙනි, අකුසලය දුරුකරව. මහණෙනි, අකුසලය දුරලන්නට හැකිය. (සක්ක හික්ඛවෙ අකුසලං පජහිතුං) ඉදින් ඒ අකුශලය දුරලීමට නොහැකි නම් ‘මහණෙනි අකුසලය දුරලවය’ යි මම නොකියමි. මහණෙනි, අකුශලය දුරලන්නට හැකි නිසාම මම ‘මහණෙනි, අකුසලය දුරලව ‘ යි නුඹලාට කියමි. වර්තමාන සමාජයේ ඇතැම්හු ‘පන්සිල් රකින්නට බැරිය’ යි පන්සිල් රකිමින් ජීවත්විය නොහැකි යැයි කියති. එබඳු හිස් ප්‍රකාශයන්ට මේ බුද්ධ වචනය ඉතා හොඳ පිළිතුරකි. තවදුරටත් තථාගතයන් වහන්සේ ‘මහණෙනි, අකුසලය දුරුවූයේ, ප්‍රහීණවූයේ දුක් පිණිස පවතී නම් ‘මම නුඹලාට අකුසලය දුරලව‘ යි නොකියමි. අකුශලය ප්‍රහීණ වූ විට එය සැප පිණිසම, හිත පිණිසම පවතින හෙයින් නුඹලාට අකුසලය දුරලවයි කියමි’ යි දේශනා කරති.

එසේම ‘මහණෙනි කුසලය වඩව. (කුසලං භික්ඛවෙ භාවෙථ) කුසල වැඩිමට හැකිය. කුසල් වැඩිය නොහැකිනම් ‘මහණෙනි කුසලය වඩව‘ යි මම නොකියමි. කුසලය වැඩිය හැකි නිසාම එලෙස කියමි. කුසලය වැඩූ විට ඉදින් දුක් පිණිස පවතීනම් ‘මහණෙනි කුසලය වඩව‘ යි මම නොකියමි. එය සැප හිත පිණිසම පවතින හෙයින් ම මම එලෙස කියමි’ යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරති.

අධිකරණ වග්ගයේ 6, 7, 8,9 යන සූත්‍ර සතරින්ම දස කුසල් වැඩීම හා දස අකුසල් ප්‍රහීණය කිරීම පිළිබඳව කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එය බුදුවරුන්ගේ් අනුශාසනා දෙකකට අදාළ බව ‘සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා’ යන පාඨයෙන් පැහැදිලි වේ.

අධිකරණ වග්ගයේ දසවන සූත්‍රය සද්ධර්මයේ අතුරුදහන් වීමට බලපාන කරුණු සාකච්ඡා කරන්නකි.

සද්ධර්මය අතුරුදහන්වන හේතු

සද්ධර්මය විනාශ වීම පිණිස (සද්ධම්මස්ස සම්මොසාය) අතුරුදහන් වීම පිණිස (අන්තරධානාය) පවතින කරුණු දෙකකි.

1. පිළිවෙල වෙනස්කර වරදවාගත් පෙළ දැරීම (දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජතං)

2. වරදවා පෙරළා ගත් අටුවාව දැරීම (අෙත්‍ථා ච දුන්තිතො)

මනාව ගත් පෙළ හා මනාව පෙරළාගත් අටුවාව සද්ධර්මය සුරැකීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වේ. අටුවාව හා පෙළ මැනවින් දැරීමේ පාඩම් කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වාදී ඇත.

මෙතෙකින් අධිකරණ වග්ගයේ සූත්‍ර දහයෙහි අර්ථ විවරණ සමාප්ත වේ.


බෙලිඅත්තේ නිහිළුව
සිරිධම්මානන්ද මූලික පිරිවෙන්පති 
ශාස්ත්‍රපති 
හත්තොටුවේ ඉන්දරතන හිමි

No comments:

Post a Comment