Tuesday, 6 June 2017

රූපාවචර ධ්‍යාන




රූපාවචර ධ්‍යාන
============ 

ප්‍රථම ධ්‍යාන, දුතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන සහ පංචම ධ්‍යාන ලෙස රූපාවචර ධ්‍යාන පසෙකි. මේවා සමථ යෝගාවචරයන් විසින් ලබා ගන්නා ලෞකික ධ්‍යාන සිත් වේ. එම භවයේ චුති චිත්තය දක්වා ධ්‍යානයෙන් නොපිරිහුණු ධ්‍යාන ලාභීන් මරණයෙන් පසු නිසැකවම රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදී. මේ චිත්ත නියාමයයි.  

එනම් රූපාවචර කුසල කර්මය ගරුක කුසල කර්මයකි. අන් කර්මයකින් විපාක ශක්තිය වැළැක්විය නොහැකි, නිසැකවම මතු භවයෙහි ප්‍රතිසන්ධිය සඳහා හේතු ප්‍රත්‍යය වන කර්ම ගරුක කර්ම නම් වේ. (පංච ආනන්තරීය කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටිය යනු ගරුක අකුසල කර්ම වේ. )


එක් සක්වලක රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් වෙයි.


අන්තර කල්පය
----------------

මිනිසුන්ගේ පරමායුෂ කලින් කලට වෙනස් වේ. සත්ත්ව සන්තානයේ කෙලෙස් වැඩි වන විට අධර්මය ලොව පුරා පැතිරේ. ඒ අනුව සත්ත්වයන්ගේ පරමායුෂ කෙමෙන් කෙමෙන් අඩු වේ. මෙලෙස කාලයත් සමග පරමායුෂ වසර 10 දක්වා අඩු වේ. ලෝක විනාශයක් ඇති වන්නේ මේ කාලයේ දීය. ලෝක විනාශයෙන් ගැලවෙන නුවණැතියන් අතලොස්ස අධර්මයේ ආදීනව දැක ගුණ ධර්ම වඩයි. නැවත ධර්මය පැතිරීමත් සමග කෙමෙන් ආයුෂ වැඩි වන අතර පරමායුෂ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වේ. 
ජරා මරණාදියේ දුක නොදකින තරමටම දීර්ඝායු සම්පත්තියෙන් ඉහල, මොවුහු තුල  නැවත ගුණ ධර්ම අඩු වෙමින් අධර්මය වැඩේ.නැවතත් සත්ත්වයන්ගේ පරමායුෂ ක්‍රමයෙන් 10 දක්වා අඩුවේ. නැවත ලෝක විනාශයකට කාලය උදා වේ. මෙලෙස සිදුවන ලෝක විනාශ දෙකක් අතර කාලය අන්තර කල්පයක් ලෙස සලකයි. මෙහි විස්තර වුයේ කල්ප විනාශය නොවන බව සලකන්න.


අසංඛ්‍ය කල්පය
----------------

අන්තර කල්ප 64ක් අසංඛ්‍ය කල්පයකි.


අසංඛ්‍ය කල්පය උදාහරණයකින්...  
දිගින් පළලින් උසින් යොදුන බැගින් වූ ඝණකයක අබ ඇට පුරවා අවුරුදු 100 කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කිරීමෙන් යම් කලෙක ඝණකය හිස් වුවත් කාලයෙන් අසංඛ්‍ය කල්පය  නම් අවසන් නොවේ.


මහා කල්පය
-------------

අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයකි.


රූපාවචර ධ්‍යාන සිත් මහද්ගත සිත් නමින් හැඳින්වෙන අතර මේ ලෞකික ධ්‍යාන මාර්ගය ලෝකෝත්තර මාර්ගයෙන් වෙනස් ය. විවිධ සමථ භාවනා මගින් මේ ධ්‍යාන උපදවා ගත හැක. තාවකාලිකව පංච නීවරණ යටපත් කිරීමක් පමණක් වන බැවින් (රූප ධ්‍යාන සිත් මගින් නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නේ විෂ්කම්භණ වශයෙනි) කෙලෙස් සිතුවිලි ඉදිරිපත් වීමෙන් ධ්‍යානයෙන් පිරිහිය හැක. ධ්‍යානයෙන් පිරිහුණු ඔවුනගේ මතු භවය සඳහා වූ ප්‍රතිසන්ධි චිත්තය රූප බඹ ලොවක පිහිටන්නේ නැත. 


රූපාවචර ප්‍රථම ධ්‍යාන කුසල් සිත
**********************************

විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, එකාග්ගතා යන ධ්‍යානාංග 5 න් යුක්තය. 


රූපාවචර දෙවැනි ධ්‍යාන කුසල් සිත
*************************************

විචාර, ප්‍රීති, සුඛ, එකාග්ගතා යන ධ්‍යානාංග 4 න් යුක්තය.
විතක්කයෙන් ථීන මිද්ධ නීවරණ යටපත් කරයි.පළමු ධ්‍යානයට වඩා සියුම් ප්‍රණීත වූ මේ සිතේ ථීන මිද්ධ නැසීමට අමුතුවෙන් විතක්කය අවශ්‍ය නොවේ. එය ඒ  තරමටම  ඖධාරික අංගයකි.

රූපාවචර තෙවැනි  ධ්‍යාන කුසල් සිත
**************************************
ප්‍රීති, සුඛ, එකාග්ගතා යන ධ්‍යානාංග 3 න් යුක්තය.
විචාරයෙන් විචිකිච්චා නීවරණය යටපත් කරයි. දෙවන ධ්‍යානයට වඩා සියුම් ප්‍රණීත වූ මේ සිතේ ථීනමිද්ධය සහ විචිකිච්චාව නැසීමට අමුතුවෙන් විතක්කය සහ විචාරය අවශ්‍ය නොවේ. ඒවා ඒ තරමටම ඖධාරික අංග වේ..


රූපාවචර සතරවැනි  ධ්‍යාන කුසල් සිත
****************************************

සුඛ, එකාග්ගතා යන ධ්‍යානාංග 2 න් යුක්තය.
ප්‍රීතියෙන් ව්‍යාපාද නීවරණය යටපත් කරයි. තෙවන ධ්‍යානයට වඩා සියුම් ප්‍රණීත වූ මේ සිතේ ථීනමිද්ධය, විචිකිච්චාව සහ ව්‍යාපාදය නැසීමට අමුතුවෙන් විතක්කය, විචාරය සහ ප්‍රීතිය අවශ්‍ය නැත. ඒවා ඒ තරමටම ඖධාරික අංග වේ.


රූපාවචර පස් වැනි  ධ්‍යාන කුසල් සිත
***************************************

උපේක්ෂා, එකාග්ගතා යන ධ්‍යානාංග 2 න් යුක්තය.
සුඛයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය යටපත් කරයි. සිව්වන ධ්‍යානයට වඩා සියුම් ප්‍රණීත වූ මේ සිතේ ථීනමිද්ධය, විචිකිච්චාව, ව්‍යාපාදය සහ උද්ධච්චකුක්කුච්චය නැසීමට අමුතුවෙන් විතක්කය, විචාරය, ප්‍රීතිය සහ සුඛය අවශ්‍ය නැත. ඒවා ඒ තරමටම ඖධාරික අංග වේ.
සුඛ යනු සුඛ වේදනාවයි. වේදනාව (සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයකි) සෑම සිතකම යෙදේ. මෙම ධ්‍යාන සිතේ ඇති වන්නේ සුඛ වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාවය. ( සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් වේදනාව පස් වැදෑරුම් වේ. )



පංචවිධ වශිතාව 
-------------------


ප්‍රථම ධ්‍යාන ලාභියා එම ධ්‍යානය පස් ආකාරයකින් නැවත නැවත ප්‍රගුණ කරයි. මේ පස් ආකාරය පංචවිධ වශිතා නමින් හඳුන්වයි. දෙවන ධ්‍යාන සිත උපදවා ගත හැක්කේ මේ වශිතා පසින් ප්‍රථම ධ්‍යාන සිත පුරුදු පුහුණු කල කෙනෙකුටය. ඉදිරි ධ්‍යාන සිත් උපදවා ගැනීමටද මේ ආකාරයෙන් ඒ ඒ ධ්‍යාන සිත් ප්‍රගුණ කල යුතුය.


1.      ආවජ්ජන වශිතාව
2.      සමාපජ්ජන වශිතාව
3.      අධිෂ්ඨාන වශිතාව
4.      උට්ඨාන වශිතාව
5.      ප්‍රත්‍යවේක්ෂා වශිතාව 



1.        ආවජ්ජන වශිතාව
නැවත නැවත ධ්‍යානයට සමවදිමින් ධ්‍යාන සිතේ ධ්‍යානාංග ආවර්ජනය කරයි. තමාට රිසි තැනෙක රිසි වෙලාවක රිසි වූ ධ්‍යානයකට සම වැද (තෙවන ධ්‍යාන ලාභියා හට පළමු හා දෙවන ධ්‍යාන වලද රැදී සිටිය හැකි විය යුතුය.) රිසි තාක් ඒ ධ්‍යාන තුල රැදී සිටීමේ හැකියාව ලබා ගනී.


2.      සමාපජ්ජන වශිතාව
වහ වහා ධ්‍යාන සමාපත්තියට සැම වැදීමේ හැකියාව ලබා ගනී.


3.      අධිෂ්ඨාන වශිතාව
තමා නිශ්චය කරගත් කාල පරිච්චේදයක් තුල ධ්‍යාන සමාපත්තියෙන් සිටීමේ හැකියාව ලබා ගනී.


4.      උට්ඨාන වශිතාව
ධ්‍යානයට සැම වැදී සිටින විට රිසි විටෙක ධ්‍යාන සමාපත්තියෙන් නැගී සිටීමේ හැකියාව ලබා ගනී.


5.      ප්‍රත්‍යවේක්ෂා වශිතාව
සමාපත්තියෙන් නැගී සිටීමෙන් පසු සමවැදුණු  ධ්‍යානයේ ධ්‍යානාංගයන් නුවණින් පිරික්සා බැලීමේ (ප්‍රත්‍යවේක්ෂා කිරීමේ) හැකියාව ලබා ගනී.



පංච අභිඥා
-------------


පංචම ධ්‍යානය උපදවාගත් යෝගාවචරයා එයද පංච වශිතායෙන් පුරුදු කළ පසු පංච අභිඥා උපදවා ගත හැක. ඒ ඒ අභිඥා උපදවා ගැනීම සඳහා භාවනාව වැඩිය යුතු ක්‍රමය වෙනස් වේ. 


1.      සෘද්ධිවිධ ඥාණය
2.      පරචිත්ත විජානන ඥාණය
3.      පුබ්බේනිවාසානුස්සති ඥාණය
4.      දිව්‍යචක්ෂුරභි ඥාණය
5.      දිව්‍යශ්‍රොත ඥාණය


1.      සෘද්ධිවිධ ඥාණය
රූප මැවීම, පොලොව කිමිදීම, අහසින් යාම වැනි සෘද්ධි උපදවා ගැනීමය.


2.      පරචිත්ත විජානන ඥාණය
අන්‍යන්ගේ සිත් දැන ගන්නා නුවණ වේ.


3.      පුබ්බේනිවාසානුස්සති ඥාණය
පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ වේ.


4.      දිව්‍යචක්ෂුරභි ඥාණය
ඉතා ඈතින් පිහිටි සහ සාමාන්‍ය ඇසට ගෝචර නොවන රූප දැක ගත හැක.


5.      දිව්‍යශ්‍රොත ඥාණය
ඉතා දුරින් වූ ශබ්දයන්, සාමාන්‍ය පුද්ගලයෙකුට ගෝචර නොවන ශබ්දයන් ශ්‍රවණය කිරීමේ හැකියාව වේ.


**** ආනාපාන සති භාවනාව / අභිධර්මාර්ථ ප්‍රදීපිකා මුලාශ්‍රය ****

No comments:

Post a Comment