Sunday, 6 December 2015

සේඛියා ධර්මයන්ගෙන් ගිහි සමාජයට ආදර්ශ

සේඛියා ධර්මයන්ගෙන් ගිහි සමාජයට ආදර්ශ


සම්බුද්ධ ශාසනයේ පැවැත්ම විනය මත රඳා පවතී. ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යන්නෙන් එය පැහැදිලි වේ. ශාසනයේ පැවැත්ම පමණක් නොව සමාජයේ පැවැත්ම උදෙසා ද විනය අවශ්‍ය ය. විනය නම් හික්මුණු බවයි. නැතහොත් සංවරයයි. මෙම සංවරශීලිත්වය, හික්මීම අවශ්‍ය වන්නේ පැවිදි සමාජයට පමණක් නොවේ. ගිහි සමාජයට ද අත්‍යවශ්‍ය ය.


අද සමාජය දෙස විපරමෙන් බැලීමේ දී ළමා සහ තරුණ පරපුර මෙන්ම වැඩිහිටි පරම්පරාවද අනේකවිධ වූ විප්‍රකාරී තත්ත්ව පසු පස හඹායනු පෙනේ. මෙසේ වන්නේ නිසි මඟ පෙන්වීමක් හෝ ඒ සඳහා ආදර්ශ ලබා ගත හැකි මූලාශ්‍ර ගැන දැනුම්වත්කමක් නොවීම නිසා යැයි සිතේ. එහෙත් බෞද්ධයන්ට මෙන්ම අන් ආගමිකයන්ට ද එකසේ දැනුම්වත් විය හැකි මඟ පෙන්වීමක් ප්‍රාතිමෝක්ෂයේ දැක්වෙන සේඛියා ඇසුරු කොට පෙන්වා දිය හැකි ය.


ප්‍රාතිමෝක්ෂයේ දැක්වෙන ශික්ෂා පද 220 (අධිකරණ සමථ 7 සමග 227) අතුරෙන් ශික්‍ෂා පද 75 ක් සේඛියා ලෙස වර්ගකර ඇත. කෙනකු සමාජගතව ජීවත්වීමේ දී අන්‍යයන්ගේ අප්‍රසාදයට, පිළිකුළට, අවඥාවට ලක්වන අවස්ථාවලින් බැහැරවීමට සේඛියා ඔස්සේ මඟ පෙන්වයි. ගමන බිමන, ආහාර පාන පරිහරණය, ඇඳුම් පැළැඳුම් භාවිතය ආදිය සම්බන්ධ සිරිත් විරිත් සංවර්ධනය කර ගැනීම සඳහා ගිහි සමාජයට මෙම මඟපෙන්වීම උපයෝගී කරගත හැකි ය.


බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට දේශනා කළේ හික්මීමෙන් යුතුව (විනයට අනුකූලව) වාසය කරන ලෙසයි. එය සැමගේ ප්‍රසාදයට හේතුවකි. තව ද නොපැහැදුන අයගේ පැහැදීම සඳහාත් පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම සඳහාත් මෙම හික්මවීම් මාර්ගය මහෝපකාරී වේ. ඒ භික්‍ෂු සමාජයටය. එවැන්නක් ගිහි සමාජයට කෙසේ නම් අනුගත කළ හැකි ද යන්න විමසා බැලිය යුත්තකි.


සේඛියා ධර්ම හැත්තෑ පහෙන් ගිහි සමාජයට වඩාත් උචිත ජීවිතාදර්ශ ලබාගත හැකි සේඛියා කිහිපයක් පමණක් මෙහි දී සලකා බලමු. මෙම සේඛියා ධර්ම වඩාත් කල්පනාකාරීව අනුගමනය කරන්නේ නම්, සැමට පි‍්‍රයමනාප සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවස්ථාව උදාකරගත හැකි ය.


සමස්ත සේඛියා ප්‍රමාණය වග්ග හෙවත් කොටස් කිහිපයකට බෙදා දක්වා ඇත. 
ඒ කෙසේද යත්, 


පරිමණ්ඩල වග්ගය - ශික්‍ෂා පද 10,
උජ්ඣග්ගික වග්ගය - ශික්‍ෂා පද 10,
ඛම්භකත වග්ගය - ශික්‍ෂා පද 10,
සක්කච්ච වග්ගය - ශික්‍ෂා පද 10,
කබල වග්ගය - ශික්‍ෂා පද 10,
සුරු සුරු වග්ගය - ශික්‍ෂා පද 10 
පාදුකා වග්ගය – ශික්‍ෂා පද 15 වශයෙනි.


මෙහිදී පරිමණ්ඩල වග්ගය වෙන් කොට ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ සිවුරු හැඳීම් පෙරැවීම් සම්බන්ධ කරුණු කෙරෙහි ය. මඟතොට හැසිරීම, ගමෙහි හැසිරීම, දන් පිළිගැනීම, දන් වැළැඳීම මැනැවින් සංවරශීලීව සිදුකළ යුතු ය. ඒ සඳහා වූ රීති සමුදාය උජ්ඣග්ගික, ඛම්භකත, සක්කච්ච හා කබල වග්ගවල දක්වා ඇත. ආහාර පාන පරිභෝජනය, දහම් දෙසීමේ දී අනුගමනය කළ යුතු පටිපාටිය, මළ මුත්‍රා කිරීම් ආදියේ දී පිළිපැදිය යුතු ශික්‍ෂා සුරු සුරු හා පාදුකා වග්ගවල දක්වා ඇත.


පරිමණ්ඩල වග්ගයෙන් තෝරාගත් ශික්‍ෂා පද කිහිපයක් පළමුවැනුව සලකා බලමු. මෙහි දී භික්‍ෂූන් වහන්සේගේ සිවුරු පරිහරණය ගැන දක්වා ඇතත්, එය ගිහි සමාජයේ ඇඳුම් පැළැඳුම් කෙරෙහි යොදා ගත හැකි ආකාරය සාකච්ඡා කළ යුතු ය.


“පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණීයා” (හාත්පසින් වටකොට මනාලෙස අඳනය අඳිමියි හික්මිය යුතුය).

“පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛා කරණීයා” (හාත්පසින් වටකොට මනා ලෙස සිවුර පොරවමියි හික්මිය යුතුය.) 

“සුපටිච්ඡන්තෝ අන්තරඝරේ ගමිස්සාමීති සික්ඛා කරණීයා” (මනාකොට අඳනය සිවුර හැඳ පොරවා ඇතුළු ගමෙහි ඇවිදිමියි හික්මිය යුතුය.)


භික්‍ෂූන් වහන්සේ අඳනය, සිවුර ඇඳිය පැළඳිය යුත්තේ කෙසේද යන්න මෙම ශික්‍ෂා පද පැහැදිලි කරයි. මැනැවින් සිවුරු පෙරෙවි භික්‍ෂූන් වහන්සේ දකින තැනැත්තන් තුළ ශ්‍රද්ධාව ජනිත වේ. එනම් පැහැදීම ඇති වේ.


වර්තමාන සමාජයේ සමහර ළමා, තරුණ සහ වැඩිහිටි අය මෙන්ම ඇතැම් විට මහලු වයසේ අය පවා තමාගේ පෞරුෂයට උචිත නොවන විවිධ ආකාරයේ විලාසිතාවන්ගෙන් නිර්මාණය වූ ඇඳුම් භාවිත කරති. ඒ පිළිබඳ වග විභාගයක් නොමැතිසේ ය. ඇඳුම අව් වැසි සුළං ආදියෙන් ආරක්‍ෂාවට මෙන්ම ලජ්ජා බය රැක ගැනීමට ද යොදා ගත යුතු ය. එසේ නැතිව විලාසිතා ප්‍රදර්ශනයට ඇඳුම යොදා ගත යුත්තේ ඊට සුදුසු අවස්ථාවලදී පමණි. උචිත ඇඳුම් පරිහරණය පිළිබඳ වන කරුණු සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීමෙන් එකිනෙකාගේ පෞරුෂය මැනැවින් රැකේ.


ආහාරපාන පරිහරණය පිළිබඳ සක්කච්ච හා කබල වග්ගවලින් විස්තර කෙරේ. අප ආහාර පාන පරිහරණය කළ යුත්තේ ජීවත්වීමට අවශ්‍ය පරිදි, අපගේ ආර්ථිකයට ගැළපෙන පරිදි සහ කුසට සරිලන ප්‍රමාණයටය. එසේ නොමැතිව හිතුමතයට, ආර්ථිකයට නොගැළපෙන පරිදි, අන්‍යයන්ගේ අප්‍රසාදයට ලක්වන පරිදි ආහාරපාන පරිහරණය කරන්නේ නම් එය අගය කළ හැකි තත්ත්වයක් නොවේ. සක්කච්ච වග්ගයේ එන මෙම ශික්‍ෂා පද විමසා බලමු.


“සක්කච්චං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා” (සිහිකල්පනාවෙන් දානය වළඳිමි යි හික්මිය යුතුවේ.) 

“සපදානං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා” (පාත්‍රයේ දානය තමාගේ පැත්තේ සිට පිළිවෙළට වළඳනවා යි හික්මිය යුතුය.)

“සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා” (බතට සෑහෙන ව්‍යඤ්ජන සමඟ දානය වළඳිමි යි හික්මිය යුතුය.)

“න පූපං වා ඛ්‍යඤ්ජනං වා ඔදනේන පටිච්ඡාදෙස්සාමීති සික්ඛා කරණියා” (සූප හෝ ව්‍යඤ්ජන හෝ බත්වලින් නොවසමි යි හික්මිය යුතුය.)


භික්‍ෂූන් වහන්සේට පිණ්ඩපාතය මෙන් ම ගිහියාට ඔහුගේ ආහාර වේල පරිහරණය පිළිබඳ ද මෙම ශික්‍ෂාපදවලින් උපදෙස් සපයාගත හැකිය. පැවිදි පක්‍ෂයට පනවා ඇති ආචාරමය සීමා ගිහි පක්‍ෂයටත් බෙහෙවින් ගැළැපේ; අදාළ වේ.


ආහාර අනුභවයේ දී සම්මත චාරිත්‍ර නොඉක්මවා කටයුතු කළ යුතු ය. බත් හා ව්‍යඤ්ජන ප්‍රමාණවත් වන සේ ක්‍රමානුකූලව ආහාර බෙදා ගත යුතු ය. මවුපියන් කුඩා ළමයින්ට ආහාර ගන්නා අයුරු පුරුදු පුහුණු කිරීම අවශ්‍යය. බතට ගැළැපෙන පරිදි ව්‍යඤ්ජන සකසා ගත යුතු ය. අද ඇතැම් අවස්ථාවල මෙම රීතිය ඉක්මවා ආහාර භාවිතයට ගන්නා අවස්ථා දක්නට ලැබේ. අනවශ්‍ය පරිදි ආහාර සම්පාදනයට විශාල වශයෙන් වැය කරන්නට සිදු වේ. විශේෂයෙන් ම ගෘහස්ථ පරිසරයේ දී කුඩා දරුවන්ට ආහාර පාන පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමකි.


මේ අයුරින් ආහාර පාන පරිහරණයේ දී ශිෂ්ටසම්පන්නව විධිමත්ව කටයුතු කිරීමට මෙම මඟ පෙන්වීම ඉතා වටනේ ය. අද සමාජයෙන් ගිලිහී යන චාරිත්‍ර වාරිත්‍ර විධි සඳහා වටිනාකමක්, වැඩි අගයක් ලබාදීමට සක්කච්ච වග්ගයෙන් තෝරා ගත් ඉහත ශික්‍ෂාපද අනුගමනය කළ හැකි ය.


කබල වග්ගයේ ශික්‍ෂා පද දහය දානය වැළැඳීමේ දී නැතහොත් ආහාර පරිහරණයේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ පැහැදිලි කරයි. ඒවා විමසීමේ දී පෙනී යන්නේ ආහාර පරිහරණයේ දී සැලකිලිමත් වීමේ ඇති වැදගත්කමයි.ඒ බව පහත සඳහන් ශික්‍ෂා පද විමසීමෙන් තවදුරටත් තහවුරු කර ගත හැකි ය.


“න අනාහටේ කබලේ මුඛද්වාරං විවරිස්සාමී ති සික්ඛා කරණීයා” (බත් පිඬ මුවට ළංවන තුරු කට නොඅරිමි යි හික්මිය යුතුය).

“න භුඤ්ජමානෝ සබ්බං හත්ථං මුඛෙ පක්ඛිපිස්සාමී ති සික්ඛා කරණීයා” (වළඳන විට – ආහාර ගන්නා විට සම්පූර්ණ අත මුවට නොදමමියි හික්මිය යුතුය).

“න සකබලේන මුඛේන ඛ්‍යාරිස්සාමී ති සික්ඛා කරණීයා” (මුව තුළ ආහාර රඳවා ගෙන කතා නොකරමි යි හික්මිය යුතු ය.) 

“න පිණ්ඩුක්ඛෙපකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (බත් පිඬ මුවට විසිකරමින් නොවළඳමියි හික්මිය යුතුය).

 “න කබලාවච්ඡේදකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (බත් පිඬ මුවින් කඩ කඩා නොවළඳිමියි හික්මිය යුතුය).

 “න අවඩණ්ගකාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (වඳුරන් මෙන් ආහාර හක්කේ තබා ගෙන නොවළඳිමි යි හික්මිය යුතුය).

“න හත්ථ නිදධුනකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (ඉඳුල් අත ගසා දමමින් නොවළඳිමියි හික්මිය යුතුය).

 “න සිත්ථාවකාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (බත්හුළු තැන තැන විසුරුවමින් නොවළඳිමියි හික්මිය යුතු ය).

“ න ජිව්හා නිච්ඡාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (දිව එළියට දම දමා නොවළඳිමි යි හික්මිය යුතුය). 

“න චපු චපු කාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (තලු ගසමින් ආහාර නොවළඳිමියි හික්මිය යුතුය).


මේ ආකාරයට ආහාර වේලක් භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇති බව ඕනෑම අයකුට වැටහී යනවා නොඅනුමානය. එම කරුණුවලට අනුගතව කටයුතු කරන්නේ නම් පැවිදි සමාජය මෙන් ම ගිහි සමාජය ද විනීත වේ. ආහාර පරිහරණයේ දී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් සුරු සුරු වග්ගයේ දැක්වෙන සේඛියා සතරකින් දක්වා ඇත. එමඟින් ද ආහාර ගැනීමේ දී හික්මීම් වශයෙන් පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි කරයි.


“න සුරු සුරු කාරකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (සුරු සුරු යන හඬ ඇතිවන සේ නොවළඳිමි යි හික්මිය යුතුය). 

“න හත්ථ නිල්ලේහකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (අත ලෙවකමින් නොවළඳිමියි හික්මිය යුතුය).

“න පත්ත නිල්ලේහකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (පාත්‍රය ලෙවකමින් නොවළඳිමියි හික්මිය යුතුය). 

“න ඔට්ඨනිල්ලේහකං භුඤ්ජිස්සාමී ති සික්ඛා කරණීයා” (දිවෙන් තොල් ලෙවකමින් නොවළඳිමියි හික්මිය යුතුය).


මෙම සේඛියා භික්‍ෂු සමාජයේ දැහැමි සංවර්ධනය උදෙසා දේශිත වුවද එහි ඇති අගය ගිහි සමාජයට ද ඉතා වැදගත් ය. එබැවින් ධාර්මිකත්වය අගයන, සාරධර්ම ගරුකරන සමාජයකට සේඛියාවල එන ඉගැන්වීම වටිනා ගුණ ධර්ම මාලාවකි. එසේ හෙයින් විශේෂ වශයෙන් මව්පියන් ඇතුළු වැඩිහිටි සමාජය තම දරුවන්ගේ සාරධර්ම සංවර්ධනයේ දී මෙම ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා අගනේ ය.


බුදුසරණ 

No comments:

Post a Comment