Saturday, 5 December 2015

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය


මෙම සූත්‍ර දේශනාව ඓතිහාසික එකක්. ඒ වගේම අපේ ජීවිතයට ඉතා වැදගත් ඉගැන්වීම් කිහිපයක් මතක් කර දෙන සූත්‍රයක්. බුද්ධ පරිනිර්වාණයෙන් වසරකට පසු අශෝක අධිරාජයා බෛරාට් සෙල් ලිපියෙන් පවා මෙම සූත්‍රය ගිහි පැවිදි සියලු දෙනා විසින් දත යුතු සූත්‍රයක් බව අවධාරණය කර තිබෙන නිසා මෙහි ඓතිහාසික වැදගත් යමක් තිබෙනවා. මෙම සූත්‍රය දේශනා කළේ රාහුල පොඩි හාමුදුරුවන්ටයි. රාහුලෝවාද සූත්‍රයෙන් ඉතා වැදගත් ධර්ම කරුණු දෙකක් අපට පෙන්වා දෙනවා. ඉන් එකක් තමයි මුසාවාදයෙන් වෙන්වීමේ වැදගත්කම. දෙවෙනි කාරණය තමයි ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ආකාරයට පින හා පව පිළිබඳ හඳුන්වා දී තිබීම.

සමාජයේ වැඩි පිරිසක් ප්‍රතිපත්තිවලට වඩා සිරිත් විරිත් වත් පිළිවෙත් වලටයි වැඩි කැමැත්තක් දක්වන්නේ. වෙනත් වචනයෙන් කියනවානම් ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාව ජනපි‍්‍රයයි. ආමිස පූජාව අවශ්‍ය දෙයක් තමයි. බෞද්ධ සමාජයේ ඒ මත තමයි සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ. නමුත් ප්‍රතිපත්ති පූජාව ඊට වඩා වැදගත් වන්නේ එයින් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන නිසයි. උදාහරණයක් ලෙස ගනිමු. අපි වෙසක් පොහොයකට පෙරහරක් කරනවා. අලංකාර වෙසක් පහන් කූඩු එල්ලනවා. ඒ මගින් බුදුරදුන්ට විශාල ගෞරවයක් දක්වනවා. මේ පෙරහර අවසන් වූ විට එතන ගොඩගැහෙන්නේ සුන්බුන් ගොඩක් පමණයි. ඉඳුල්, පරමල් ආදිය පමණයි. එහෙත් අප අපේ නරක පුරුද්දක් අතහරිමින්, සීල ප්‍රතිපත්ති ආරක්‍ෂා කළොත් යහපත් ගතිගුණ පුරුදු පුහුණු කළොත් අපට මේ ජීවිතයේ දී ම කෙතරම් උසස් ප්‍රතිඵල ලබා ගන්න හැකිවෙනවද? ඒ නිසා අප නිවැරැදිව හොඳ නරක පින්, පව් වටහාගෙන ඒ වෙසක් උත්සව කාලය තුළ ජීවිතය ලස්සන කරන, ගෙදරට සාමය උදාකරන පී‍්‍රතිමත් සතුට ගෙන දෙන ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වෙනවා. ඒ නිසා මේ සූත්‍රයෙන් පෙන්වා දෙන බොරුකීම පිළිබඳ බරපතළකම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුයි. අප බෙහෙවින් බොරු කීම සරල කොට ගන්නවා. බොහෝ දෙනා හිතන්නේ සතුන් මැරීමෙන් වැළකීමට, කාමමිත්‍යාචාරයෙන් වැළකීමට, මත්පැන් වලින් වැළකීමට, සොරකමින් වැළකීමට පහසු වුණා. බොරු කීමෙන් වැළකී සිටීම අපහසු දෙයක් කියලයි. ඒක වැරැදි මතයක්. බුදුන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට අවධාරණය කරන්නේ කෙනෙක් බොරු කියනවානම් ඔහු අනෙකුත් අකුසල් සඳහා පෙළඹෙන බවයි. යමෙක් බොරු කියනවා නම් ඔහුට අනෙක් අකුසල් වලින් වැළැකීමට අපහසු බවයි.

බුදුන් වහන්සේ දිනක් රාහුල පොඩිහාමුදුරුවන් වැඩ සිටින අඹ වනයෙහි කුටියට වැඩියා. රාහුල පොඩිහිමියන් බුදුරදුන්ගේ පා දෝවනය කොට ගෞරවයෙන් පිළි ගත්තා. බුදුරදුන් රාහුල පොඩි හිමිට දහම් අවවාදයක් දුන්නා. රාහුල මේ වතුර නැති බඳුන දෙස බලන්න. මේ හිස් බඳුන වගෙයි බොරු කියන භික්‍ෂුව. එසේම රාහුල, යමෙක් මුසා බස් කියයි නම් ඔහු තුළ සීලයක් නැහැ. රාහුල හිමියන්ට පමණක් නොවේ. බෞද්ධ සමාජයේ සාමාජිකයන් ලෙස සලකන විට යම් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා බොරුවක් කියයි නම් ඔහු සැබෑ බෞද්ධයෙකු විය නොහැකියි. ඒ සමඟ ම බුදුරදුන් තවත් උදාහරණයක් දෙනවා.

රාහුල රජකුගේ ඇත් සේනාවේ බලවත් ඇත් රජු යුද්ධයේ දී තම පෙර පාද, පසු පාද නළල (කුම්බස්තලය) ශරීරය, ඇත් දත් යුගලත් යොදා ගනිමින් සතුරන් මඩිනවා. පවුරු පාසාද බිඳ දමනවා. එහෙත් ඔහු හොඬය උපයෝගී කරගන්නේ නැහැ. ඌ හැමවිටම හොඬය ආරක්‍ෂා කරගනිමින් තමයි සටන් කරන්නේ. රාහුල ඒ ඇයිද? රාහුල මේ ඇතා දන්නවා හොඬය කැඩුණු ඇතාගෙන් වැඩක් නැති බව. හොඬය කඩා ගත් ඇතාට යුද්ධ කිරීමට බැරි බව ඌ දන්නවා. ඒ නිසා රාහුල මුසා බස් දොඩන බොරු කියන පුද්ගලයාගේ ශීලයත් ඒ වගේ තමයි. ඒ නිසා අප සුළු කොට සලකන මුසාවාදය බරපතළ පවක් බව තේරුම් ගත යුතුයි.

බොරු කීම බරපතළ වරදක් බව සැලකීමේ මනෝවිද්‍යාත්මක හේතුවක් තිබෙනවා. සිත හා වචනය අතර ඇත්තේ සියුම් සම්බන්ධයක්. ඔබ කතා කරන දෙය හෙමින් මුමුනන්න. ඒ මුමුනන දෙයත් තමන්ට පමණක් ඇහෙන සේ කතා කරන්න. කතාව නතර කළ තැන ඇති වන්නේ ඒ ගැන සිතිවිල්ලක්. ඒ නිසා සිතත්, වචනයත් අතර ඇත්තේ සියුම් සම්බන්ධයක්. බොරු කියනවා කියන්නේ සිතට වංචා කර ගැනීමක්. පළමුව දූෂණය වන්නේ සිතයි. අප බොරු කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නිසයි.

සැබෑ විශ්වාසය තමයි නෑදෑකම. ‘විශ්වාස පරමා ඥාති’ අවිශ්වාසය, සැකය, වංචාව, බොරුව මේ සියල්ලම මුසාවාදයත් සමඟ ගමන් කරන දේවල්. සත්‍ය බොහොම ප්‍රායෝගික ප්‍රතිඵල ගෙන දෙන දෙයක් මෙන්ම මේ විශේෂ ලක්‍ෂණ කිහිපයක් සත්‍යය කතා කරන පුද්ගලයා තුළ තිබෙනවා.

සත්‍යවාදියා වැනෙන කෙනෙක් නොවේ. කැලැඹෙන කෙනෙක් නොවේ. ඔහුට කිසිවෙකුට වංචා කළ නොහැකියි.

1. පාලි වචනය ‘ථෙතො’ ස්ථිරයි.
2. පච්චයිකො - ඔහු කෙරෙහි විශ්වාස තබන්න පුළුවන්.
3. අවිසංවාදකො - ඔහුගේ වචනයත්, ක්‍රියාවත් පරස්පර විරෝධී නැහැ.

ඔහු කියන දෙය කරන, කරන දෙය කියන කෙනෙක්.

“යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී” අප ගෞතම බුදුන්වහන්සේගේ විශේෂ ගුණයත් එයයි. අප හිතනවා බොරුකීමෙන් වැළකීම අපහසු දෙයක් කියා. නමුත් අපේ බුදුරදුන් සංසාරේ පෙර ආත්මවල අකුසල් ගණනාවක් කර තිබුණත් සංසාරේ කිසි කලෙක බොරුවක් කියා නැති බව බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා.

ඒ නිසාම බුදුරදුන්ට ඇතැම් අය බොරු චෝදනා එල්ල කර තිබුණත් කිසිම කෙනෙකුට ‘මුසාවාදො හො ගොතම’ ගෞතමයන් වහන්සේ බොරුකාරයෙක් කියා චෝදනාවක් වත් කර නැහැ. එසේ නම් ඔබ අපහසු යැයි කියන මේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට ඔබ උත්සාහ ගත යුතුයි.

සත්‍ය වචනයම උපයෝගී කරගෙන ඔබ කටයුතු කරන්නේ නම් ඔබේ අරමුණු පරමාර්ථයන් ධර්මානුකූලව ඉටු කර ගැනීමට හැකිවනු ඇත. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලබන බව ඔබට ප්‍රත්‍යක්‍ෂ වේවි. සත්‍යයට කතා කරන තැනැත්තා තමන් නිසා හෝ අනුන් නිසා දරුවන් නිසා හෝ ධනය නිසා බොරුවක් නොකියයි. ඒක තමයි සත්‍ය පවසන්නාගේ ස්වභාවය

න අත්තහේතු න පරස්ස හෙතු
න පුත්ත මිචෙජ න ධනං න රට්ඨං

යහපත් පරමාර්ථයක් සඳහා බොරුකීම පවක් නොවේයැ’ යි සමහරු අතර මතයක් තිබෙනවා. එය බුදුදහමට එකඟ නැහැ. බුදුන් වහන්සේ හැමවිට යහපත් අර්ථයක් ප්‍රතිඵලයක් ලැබෙන සත්‍යයට මිස, යහපත් ප්‍රතිඵලයක් ලැබුණත් බොරු කීම අනුමත කළේ නැහැ. මා ඔබට පුංචි කථාවක් කියන්නම් අම්මා තාත්තා බේරා ගැනීමටවත් බොරු නොකීව් භික්‍ෂුවක් ගැන. එක් සිල්වත් භික්‍ෂුවක් කැලෑවක් මැදින් වැටුණු පාරකින් ගමනක් ගියා. අතරමඟ හොරු රැළකට මැදි වූ උන්වහන්සේට හොරුන්ගෙන් නිදහසක් නැති වුණා. හොරු කල්පනා කළා මෙම භික්‍ෂුව මරා දාන්න. භික්‍ෂුව ළඟ වටිනා කිසිවක් නැති වුණත් භික්‍ෂුව නිදහස් කරන්න අකැමැති වුණේ මෙම මඟෙහි එන අයට හොරු පිළිබඳ ආරංචිය කියන නිසා එවිට මෙම භික්‍ෂුව හොරුන්ට පහදා දුන්නා. තමන් අසවල් ගමේ ආරාධනාවක් ඇතුවයි මේ ගමන වඩින්නේ. ඒ නිසා ඔවුන් දැනගන්නවා මට අනතුරක් වූ බව. සහෝදරවරුනි, මාව මරා දැම්මොත් මේ මගෙහි මිනිසුන් ගමන් නොකරාවි. එවිට ඔබලාට සොරකමක්වත් කරගන්න බැරිවේවි. ඒ නිසා මාව මුදා හරින්න යැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. සොරු රැළට මේ භික්‍ෂුවගේ කතාව නිවැරැදි බව තේරුණත් උන්වහන්සේ නිදහස් කිරීමට කැමැති වුණේ නැත්තේ භික්‍ෂුව ඒ බව පවසන නිසයි. භික්‍ෂුව හොරුන්ට කීවා මා සත්‍ය වචන කතා කරන කෙනෙක්. මම මේ බවක් කිසිවෙකුට නොකියමි. ඒ නිසා මාව නිදහස් කරන ලෙස. සොරු භික්‍ෂුවගේ කතාව පිළිගෙන උන්වහන්සේ නිදහස් කළා.

ඉතින් ටික දුරක් උන්වහන්සේ ඉදිරියට යන විට දිගු කලකින් හමු නොවූ උන්වහන්සේ ගේ මව හා පියා, උන්වහන්සේ දැක බොහොම සතුටු වී සමුගෙන තමන් පැමිණි මගෙහි ඉදිරියට ආවා. ටික වේලාවකින් අර හොරු කණ්ඩායම ඔවුන්ගේ ඉදිරියට කඩා පැන ඔවුන්ගේ දේකොල්ල කන්න පටන් ගත්තා. මේ දෙමාපියන්ට එකවරටම මතක් වුණා. හාමුදුරුවන් ගැන “අනේ අපේ හාමුදුරුවෝ මේ වගක් අපට කීවේ නැහැණේ” කියා ඔවුන් අඬන්න ගත්තා. හොරුන්ට මේ කතාව ඇහුණා. ඇහිල මේ ගැන විමසුවා. දෙවියනේ මේ භික්‍ෂුව පුදුම ශ්‍රේෂ්ඨ ශාස්තුවරයෙක් නේ? තම දෙමාපියන් නිසාවත් බොරුවක් නොකිවූ උන්වහන්සේ සොයාගෙන ඔවුහු භික්‍ෂුව පස්සේ ලුහුබැඳ. සන්සුන් ගමනින් වඩින භික්‍ෂුව හමු වී උන්වහන්සේගේ දෙපාමුල වැඳ වැටුණ හ. සොරු කණ්ඩායමට භික්ෂුන් වහන්සේ බණ කියා ඔවුන් වරදින් මුදාගෙන පසුව පැවිදි බවට පත් කර රහත් වූ බව බණ පොතේ සඳහන් වෙනවා. ඔබත් උත්සාහ දරන්න මෙවන් ප්‍රතිපත්ති ආරක්‍ෂා කර ගන්න. ඒ තුළින් ඔබට අහිමි වන දෙයට වඩා බොහෝ සතුටක් සැපතක් ලබා ගැනීමට හැකිවෙනවා නො අනුමානයි.

මීළඟට මේ සූත්‍රයේ දක්වන වැදගත් කරුණ වූ නම් ඔබේ වචනය, ක්‍රියාව, සිතිවිල්ල හරි ද වැරුදි ද පිනක් ද පවක් ද? කියා දැන ගැනීමට දෙන කැඩපතක් (ධම්ම ආදාස) ඔබට පෙන්නා දෙනවා. ඔබට කියන්න පුළුවන්ද? පින කියන්නේ කුමක්ද? පව කියන්නේ කුමක්ද? කියා. මේ සූත්‍රයේ දක්වනවා හරියටම පින පව හඳුනාගන්න මිනුම් දණ්ඩක්.

“රාහුල තමන් විසින් සිතින්, කයෙන්, වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම්, ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ට හා අනුන්ට අයහපත පිණිස, දුක් පිණිස, සෙත පිණිස හේතු වේ නම් ඒ ක්‍රියාව, ඒ වචනය, ඒ සිතිවිල්ල අකුසලයකි. එසේම සිතින්, කයෙන් වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම් යම් වචනයක් කියයි නම් යම් සිතිවිල්ලක් සිතයි නම් එය තමන්ටත් අනුන්ටත් යහපත පිණිස, සුවය පිණිස හේතුවේ නම් එය පින හෙවත් කුසලයකි.

ඔබ නිවසේ දී සැමියාට, බිරිඳට යම් වචනයකින් තරහෙන් කතා කරයි නම් ඒ වචනයෙන් බිරිඳගේ හෝ සැමියාගේ සිත රිදෙයි නම්, කලකිරීමක් අමනාපයක් ඇති වේ නම් එය ඔබට බලපායි. ඔබත් සමඟ සැමියා කතා නොකරයි, නැතහොත් ඔහුත් ඔබට චෝදනා කරමින් කෝලාහල කරයි. ඒ සමඟ ඔබේ දරුවන් ද එයින් දුකට පත් වෙයි. ඔබට සිතේ සැනසීමක් නැතිවේවි. එසේ නම් සියලු දෙනාට අයහපත පිණිස හේතුවන ඒ වචනය පවක්, ක්‍රෝධ සිතිවිල්ල තණ්හාව, ඊර්ෂ්‍යාව, මේ සියලු සිතිවිලිත් ඒ සමඟ බැඳුණු ක්‍රියාවන් දෙපිරිසටම අහිතකර පිණිස හේතුවන බැවින් ඒ සිතිවිලි අකුසලයක් . එබඳු ක්‍රියා පව් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව පින යනු එහි අනෙක් පැත්තයි. තමන්ට හා අනුන්ට යහපත පිණිස හේතුවන ක්‍රියාව, වචනය, සිතිවිල්ල පින හෙවත් කුසලය හඳුනාගන්න පහසුවෙන් පුළුවන්. සැර පරුෂ වචනයට ගෙදර සිටින සුරතල් සතා පවා අකැමැතියි. ඔබගේ තරහ සිත නිසා ඔබගේ මුහුණ දුර්වර්ණ වෙනවා. රුධිර ධාවනය පවා වෙනස් වෙනවා. ඔබ රෝගී වීමට පවා බලපානවා.

ලෝභය, ද්වේෂය, මෝහය, මේ සිතිවිලි මොනතරම් සැප කෙතරම් දුක් දෙනවාද කියන එක ඔබට තේරුම් යනවා ඇති. තවත් පුංචි කතාවක් කියන්න කැමැතියි. අපි අඳින ඇඳුම කෙරෙහි පවා අපට කොතරම් ලෝභ සහගත සිතිවිලි උපදිනවා ද? ඉතින් බුදුන්වහන්සේ මේ තම අඳින සිවුර ගැන පවා සිහි කල්පනාවෙන් පරිහරණය කරන ලෙස අපට උපදෙස් දී තිබෙනවා. සිවුර ගැන වුණත් ආසාව ඇති වන නිසා ඒ ආසාව පාලනය කිරීමට උන්වහන්සේ මෙබඳු උපදේශයක් දී තිබෙනවා. මම මේ සිවුර පරිහරණය කරන්නේ සීතෙන්, පින්නෙන්, අව්වෙන්, වැස්සෙන්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමටයි. අලංකාර පිණිස නොවේ. එහෙම සිතමින් සිවුරු පෙරවීම භික්‍ෂුවගේ සිරිතක්. මේ ලෝක ශිෂ්ටාචාරයේ මෙතෙක් වෙනස් නොවුණු එකම ඇඳුම තමයි භික්‍ෂුවගේ සිවුරු. ඒ නිසා එය බොහෝ සරල චාම් එකක්. ඒ තුළින් ආසාව පාලනය කරනවා. ඉතින් එක්තරා භික්‍ෂුවක් ඉතාමත් දුකසේ ලැබුණු බොහොම වටිනා සිවුරකට ආසාවෙන් ඉඳලා රාත්‍රී එම සිවුර කොට්ටය යට තබාගෙන නිදාගත්තා.ඒ කාලෙ සිවුරු ලබා ගැනීම බොහොම දුෂ්කරයි. රාත්‍රියේ උන්වහන්සේ හෘදයාබාධයකින් මිය ගියේ එයට ආසාවෙන් දින කිහිපයකට පසු උන්වහන්සේ යහළු භික්‍ෂූන් මේ සිවුර බෙදා ගන්න කුසපත් අදින්න සූදානම් වුණා. බුදුන්වහන්සේ මේ බව දැනගෙන පණිවිඩයක් එව්වා සිවුර දැන්ම බෙදා ගන්න එපා දින සතකට පසු සිවුරබෙදාගන්නා ලෙස. ඒ භික්‍ෂූන්ට මෙය ප්‍රශ්නයක්. කෙසේ නමුත් සිවුර සත්දිනකට පසු එක භික්‍ෂුවකට හිමි වුණා.

එදින බුදුරදුන් ධර්ම දේශනා කරන ශාලාවට රැස් වූ භික්‍ෂූන් සිවුර බෙදාගැනීමේ ප්‍රශ්නය විමසුවා. මහණෙනි, මා ඔබලාට උපදෙස් දී තිබෙන්නේ සිවුපසය පරිභෝග කිරීමේ දී සිහි කල්පනාවෙන් කෙලෙස් මතු නොවන ලෙස පරිහරණය කිරීමට නොවේද? එහෙත් මේ භික්‍ෂුව සිවුර ගැන ආසාවෙන් ඉඳලා මිය ගියා. මිය ගොස් මකුළු බිත්තරයකින් එළියට ඇවිත් මගේ සිවුර යැයි කෑගසමින් සිවුර පුරා එහෙ මෙහෙ දිවුවා.ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරදුන්ට මේ මකුළු පැටියා හඬන හඬ ඇසී සිවුර බෙදීම නතර කළා. නැත්නම් මකුළු පැටියා නැවත කෝපයෙන් තවත් දුක්ඛිත භවයක උපදිනවා. අන්න ඒ නිසයි මා ඒ මොහොතේ සිවුර බෙදීම නතර කළේ යැයි බුදුරදුන් පහදා දුන්නා.

මේ කතාව බොහෝ අද්භූත යැයි ඔබට සිතේවි. එහෙත් ඔබ තේරුම් ගත යුතුයි. කර්ම විෂය අචින්ත බව කුඩා සතාට පවා විඤ්ඤාණය තිබෙන බව මෙම කතාවෙන් පේනවා. සංසාරයේ අප කොතරම් දිගු ගමනක යෙදෙනවාද? ඒ නිසා ආසාව පාලනය කරගත යුතුයි. ලෝභය, ද්වේෂය, මෝහය තමාටත් අනුන්ටත් දුක් කරදර, ගෙන දෙන පවෙහි උල්පත බව තේරුම් ගත යුතුයි. මේ සූත්‍රයේ දැක් වූ ධර්ම කරුණු දෙක පිළිබඳ ඔබ යළිත් සිහිපත් කර ගත්න. ඔබේ සිතින්, කයෙන්, වචනයෙන් කරන කියන සිතන සිතිවිලි ඔබටත් අනුන්ටත් දුක ගෙන දේ නම් පින, පව වශයෙනුත් එසේම යහපත් ප්‍රතිඵල උදා කරන දෙය පින වශයෙනුත් තේරුම් ගත යුතුයි.

මාතර රුහුණ විශ්වවිද්‍යාලයෙ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි

No comments:

Post a Comment