Wednesday, 9 December 2015

ගිලාන සූත්‍රය

ගිලාන සූත්‍රය

අංගුත්තර නිකායේ ගිලාන වග්ගයට අයත් ගිලාන සූත්‍රය වෙත අවධානය යොමු කිරීමේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ඉතාම වැදගත් මගපෙන්වීමක් අපට අවබෝධය සඳහා යන ගමනේ දී එකතු කරගන්නට අවස්ථාව ලැබෙනවා. කයෙහි අසුභය දකින ආහාරයෙහි පිළිකුල් සංඥා ඇති සියලු ලෝකයෙහි නොඇලුණු සංඥා ඇති සියලු සංස්කාරයන්හි අනිත්‍ය දකින, මරණ සංඥාව සිත්හි හොඳින් පිහිටි, දුර්වල ගිලනාට ආශ්‍රවයන් ක්‍ෂය කරගෙන මේ ආත්මයෙදීම චිත්ත සමාධිය සහ ප්‍රඥා විමුක්තිය ලබාගත හැකි බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනු ලබනවා.

අපට ලෙඩ වුනාට පසුව අසාධ්‍ය තත්ත්වයේ ගිලන්ව දුක් විඳින කාලයේ ධර්මය පුරුදු පුහුණු වෙන්නේ කොහොමද? කියන කාරණය පිළිබඳව විතර්කයක් ගොඩනැඟී තියෙනවා. නමුත් ගිලාන සූත්‍රය පිළිබඳව ගැඹුරු අවධානය යොමු කරන විට, ගිලනාට වුවත් විමුක්තිය ලබාගත හැකිය යන චිත්ත සමාධිය ගොඩනඟාගත හැකිය යන කාරණය බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දී තිබෙනවා.

එහිදී පළමුවෙන්ම කළ යුත්තේ කයෙහි අසුභය දැකීමයි. කය පිළිබඳව සාමාන්‍යයෙන් අප නිරතුරුවම මෙනෙහි කරන්නේ සුබවාදී ආකල්පවලින්. කේසා, ලෝමා, නඛා, දත්තා තචෝ, මංසං නහරූ, අට්ඨි, අට්ඨිමිඳජා, වක්කං හදයං, යකනං ආදී කොටස් 32 ක් පිළිබඳව ඔබ අසා ඇත.

කයෙහි ඇතුළත තිබෙන 32 ක් වූ කොටස් පිළිබඳව අප සුබ වශයෙන් අරගෙන මෙනෙහි කරන හැම මොහොතකම අප තව තවත් කය තුළින් නිත්‍යතාවයම දකින්නට පටන් ගන්නවා. කය තුළින් නිත්‍ය තාවයම අපේක්‍ෂා කරන්නට පටන් ගන්නවා. කය තුළින් යථාර්ථය වෙනුවට කය තුළ ඇතුළත් වෙලා නැති සැපතක් ගැන අප අපගේ මනස තුළ සංකල්ප ගොඩනඟා ගන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔබ රෝගීව මේ මොහොත තුළ සිටියත්, ඔබ රෝගී භාවයට පත්වීම තුළ දකින්නට ලැබෙන ඔබේ ඉන්ද්‍රියන් සහිත වූ මේ ශරීරයෙහි පවතින අසුබ ස්වභාවය පිළිබඳව ගැඹුරු ප්‍රඥාවෙන් නුවණින් දකින්නට ඔබ පටන් ගතහොත් නොඇළී, නොගැටී දකින්නට පටන් ගතහොත් කය නිසා අපේ ශ්‍රී සද්ධර්මයට අනුව, කය නිසා ඔබ සිත තුළ උපදින්නට තිබෙන රාග, ද්වේෂ ආදී අකුසල සිතිවිලි වර්ධනය වීම, අලුතෙන් ගොඩනැඟීම වළකාලන්නට පුළුවන්කම ලැබෙනවා.

ඔබ රෝගීවෙලා සිටියත්, කයෙහි පවතින අසුභය නිවැරැදිව ප්‍රඥාවෙන් දකින කෙනෙකු බවට පත්විය යුතුය. කයෙහි අසුභය දකින්නට යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ කය දෙස අසුබ ලෙස බලන විට පේන අසුභයක් පිළිබඳව නොවෙයි. කයෙහි සත්‍ය වශයෙන්ම යථාර්ථයක් වශයෙන්ම පවතින්නේ අසුභය. ඔබ නියපොතු දෙස පමණක් බැලුවොත් ඒ නියපොතු සම්බන්ධ සම්පූර්ණ මුළු ශරීරයම අමතක කරල ඔබට උපදින්නේ, සුබවාදී මනෝ භාවයක්ද? නැතහොත් සැබවින්ම නියපොතු තුළ තිබෙන පඨිකුල ජනක ස්වරූපය ඔබ තුළ නිවැරදිව වැටහෙන්නට පටන් නොගනීවිද? කොණ්ඩය දෙස, කෙස් දෙස ඔබ සමස්ත කයත් සමගම අරගෙන බැලුවහොත් වැඩෙන මනෝභාවයට වඩා හාත්පසින්ම වෙනස් යථාර්ථවාදී මනෝභාවයකි කෙස් පිළිබඳව දක්නට ලැබෙන සැබෑම අසුභානුස්සතිය ඔබ තුළ වැඩෙන්නට පටන් ගන්නවා.

ඔබ මේ මොහොත වන විට රෝගීව සිටියත් ඔබට චිත්ත සමාධිය ගොඩනඟා ගන්නට, ප්‍රඥා විමුක්තිය මේ භවය තුළම ළඟාකර ගන්නට ඔබ කල්පනා කරනවා නම්, ආහාරයෙහි පිළිකුල් සංඥාව ඔබ ඇතිකර ගත යුතු වෙනවා. ආහාර සුබ වශයෙන්, ප්‍රණීත වශයෙන්, මිහිරි වශයෙන් මෙනෙහි කරන සෑම මොහොතකම අපට ආහාරය පිළිබඳව ඇලීමක් ඇතිවෙනවා. සුබ යැයි, මිහිරි යැයි, ප්‍රණීත යැයි අප සලකන ආහාරපාන ගිලන් වූ කල අපට නොලැබෙන විට අප අනිවාර්යෙන්ම ඒ සමඟ ගැටීමක් වුවද ඇතිකරගත හැකියි. ආහාරයෙහි සැබෑ ස්වරූපය කුමක්ද? මිහිරි බව මතුපිටින් අපගේ දිවට දැණුනත් සැබවින්ම ආහාරය තුළ පවතින යථාර්ථය වන්නේ පඨිකුලයයි. එක පැය කිහිපයක් ගතවන විට ආහාරයන් තුළින් පිළිනු ගද වහනය වන්නට පටන් ගන්නවා.

දින කිහිපයක් ගත වන විට ඕජාව වැගිරෙන්නට පටන් ගන්නවා. තවත් දින කිහිපයක් සති කිහිපයක් බවට පරිවර්තනය වූ විට එම ආහාරය තුළම පණුවන් හටගන්නවා. සැබෑම ආහාරයක් තුළ පවතින්නේ මිහිර නම්, සුබවාදී දේවල් පමණක් නම්, රසය පමණක් නම්, ඔබ කල්පනා කරන්න එලෙස ආහාරය ඉතාම පඨිකුල ජනක තත්ත්වයකට පත්වන්නේ ඇයි? සැබවින්ම ආහාරයේ මූලිකම තත්ත්වය තමයි ඒ ඇතුළත අපට නොපෙනී පවතින පඨිකුලය.

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඒ පඨිකුලය නුවණින් දකින ලෙසයි. නුවණින් දකින විට ඔබ ආහාරයෙහි නොඇලෙනු නොගැටෙනු ඒකාන්තයි. ඔබ ආහාර ගැනීම නවතා දැමිය යුතුය යන්න ඉන් අදහස් නොකෙරේ. ඔබ ආහාරය පිළිබඳව පඨිකුලය ගැඹුරින් වටහාගත් පසු ඔබ ආහාරපාන ලබාගන්නේ මේ ශරීරයේ පැවැත්ම පිණිස, මේ ශරීරය පවත්වා ගනු පිණිස, ඔබගේ සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරගෙන යාමට අනුග්‍රහයක් පිණිස, ඔබගේ ගෘහ ජීවිතය වඩාත් ධර්මානුකූල වූ පැවැත්මක් ඇති කරගෙන යනු පිණිස හා ඔබගේ රෝගී භාවය දුරුකර ගැනීම පිණිසයි. එසේ නොමැතිව ආහාර පිළිබඳව රසය, හා මිහිර පිළිබඳව හැඟීම සපුරා ගන්නට ඔබ ආහාර සොයන සංඥාව ඔබ තුළින් නැතිවෙලා යනු ඇත.

ඔබ ලෙඩ ඇඳේ සිටියත් සියලුම ලෝකය පිළිබඳව, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව ඔබට නොඇලුණු සංඥාවක් තිබෙනව නම් ඔබ තුළ ගොඩනැඟෙන සිතිවිලි ඔබෙන් බාහිර ලෝකය පිළිබඳවත්, අභ්‍යන්තරික ලෝකය පිළිබඳවත්, සතිපට්ඨාන සූත්‍රයට අනුව අභ්‍යන්තරික කය පිළිබඳවත්, බාහිර කය පිළිබඳවත්, අභ්‍යන්තරික ලෝකය පිළිබඳවත්, බාහිර ලෝකය පිළිබඳවත්, ඔබ නිවැරැදිවම අනුපස්සනා කරනවා නම් ඒ පවතින සත්‍ය ස්වරූපය වෙත ගැඹුරු නුවණ යොමුකරනවා මිසක ඔබ මොනහේතුවක් නිසාවත් ඒ ලෝකය පිළිබඳව ඇලීමෙන් යුක්තවූ බරපතල සංඥාවක් ඇතිකර ගන්නේ නැත්නම් ඔබට විත්ත සමාධිය ගොඩ නඟා ගැනීම ඉතාමත් පහසු ය.

ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා සියලු සංස්කාරයෙහි අනිත්‍යතාවය දකින්නට කියලා. මරණ සංඥාව පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු බව රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ආදී පංචෝපාධනස්කන්දය ඇතුළු සියලුම සංස්කාරයන් පිළිබඳව අපි රැස්කරන්නා වූ සියලුම කුසල අකුසල කර්මයන් තුළ අන්තර්ගතව පවතින්නාවූ අනිත්‍ය ස්වභාවය අප නිතර නිතර මෙනෙහි කරනවා නම් චිත්ත සමාධිය ගොඩනඟා ගැනීමට අපට එයම ප්‍රමාණවත් වන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඒ වගේම මුළු ලෝකයම පිළිබඳව ඥානය අවබෝධය ඇතිකරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිර්වාණය අවබෝධ කරගන්නට, ලෙඩ ඇඳ තුළ සිටින කෙනෙකුට මේවා මෙනෙහි කිරීම ඉතාමත් පහසුයි.

මරණ සංඥාව ඇතිකරගැනීමෙන් මරණ ධර්මය මට ඉක්මවා යන්නට බැරිය කියන කාරණය නිතර නිතරම මෙනෙහි කළ යුතු කෙනෙකු බවට ඔබ පත්විය යුතුයි. මරණ ධර්මය නිතර මෙනෙහි කරන කෙනෙකුට මරණය පිළිබඳව වඩ වඩාත් අවබෝධ වෙනවා. ඔහුගේ සිත වඩාත් වේගයෙන් කුසලය වෙත ඇදෙන්නට පටන් ගන්නවා. එනිසා ඔබ මරණ ධර්මය අනිත්‍යතාවයෙන් යුක්තව ප්‍රඥාවෙන් මෙනෙහි කරනවා සේම මරණ ධර්මය නිරන්තරයෙන් මෙනෙහි කරන්නාවූ කෙනෙකු බවට පත්විය යුතුයි.

බුදුරජාණන් වහන්සේ ගිලාන සූත්‍රයේ දී ගිලනාට දේශනා කොට තිබෙනවා ඔබගේ සිත මනාව පිහිටුවා ගන්නට කියලා. ඔබේ අතපය දිග හැරියත්, හුස්ම ඉහළ පහළ හෙලුවත්, ඒ පිළිබඳව ඔබ සිත ඉතාම හොඳින් පිහිටුවා ගත යුතුයි. සක්‍රිය විදර්ශනාවකට ඔබ සමවැදිය යුතුයි. කරන සෑම ක්‍රියාවක්ම සිහිණුවනින් කරන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිද්ධ කරන කෙනෙක් බවට ඔබ පත්වුවහොත් ස්ථිර වශයෙන්ම ඔබට ගිලන් බවෙන් නිදහස් වෙන්නටත් පෙරාතුව මේ සංස්කාරික ගමනෙන් නිදහස් වෙන්නට අවශ්‍ය කරන පසුබිම සැලසෙනු ඇති බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ ගිලාන සුත්‍රයේ ය. ඔබ උද්‍යෝගිමත් කරනවා ගිලන් බව තුළින්ම ඔබට නිර්වාණාවබෝධය කරගන්නට ගිලන් බව නැති වූ පසු නිවන් දකින්නට පුළුවන් යැයි නිවන කල් දමා ගිලන් බව නැතිකර ගැනීම පිණිසම වෙහෙසෙන කෙනෙකුට සමහර විට ඒ ගිලන් බව තුළින්ම මිය යන්නට පුළුවන්කම ලැබෙනවා. ගිලන් බව තුළම ගැටි ගැටී ගමන් කරද්දී දන්නෙම නැතිව ඔබ මරණයට පත්වෙලා අවිචිය ආදී දුගතිගාමී භයානක නිරයන්හි උපදින්නට පුළුවන්. ඒ නිසා ගිලන් බව ඔබේ ජීවිතයට ලැබුණු භාග්‍යයක් කරගත යුතුයි. එය ජීවිතයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කරගත යුතුයි.

ගිලන් වූ පුද්ගලයාට එක්තැනක ඉඳගෙන මේ සියලුම ධර්මයන් වැඩිය හැකි ගිලන් නොවූ කල්හි අපට සිද්ධ වෙන්නාවූ දේවන්නේ වෙන වෙනත් කාර්යයන් වෙත ඔබට අනිවාර්යෙන් යොමුවන්නට සිද්ධ වෙනවා. ඔබ යොමු නොවුනත් ඔබ සමඟ ජීවත් වන පිරිස ඒ සඳහා ඔබ යොමුකරනවා. නමුත් ගිලන් බව ඔබට ලැබුණු විවේකයක් ලෙස ඔබ සලකා ඒ විවේකය ධර්මානුකූල විවේකයක් බවට පරිවර්තනය කරගන්නට, කායික වේදනාවන් සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කරගන්නට කායික, මානසික වේදනාවන්හි පවතින අනිත්‍යතාවය අවබෝධ කරගන්නට ගිලන් බවට පත් වූ ඔබ උද්යෝගිමත් විය යුතුයි. ඒ තුළම ඔබට ප්‍රඥාව ඇතිකරගන්නට හැකිවනු ඇති බව බුදුරජාණන් වහන්සේගේ ගිලාන සූත්‍රය වෙත අවධානය යොමු කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනු ඇත.

 මාවරලේ භද්දිය හිමි

No comments:

Post a Comment