Saturday, 5 December 2015

මිස්සක වනයේ හු‍දකලා හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය.( පුංචි මිහින්තලය )

මිස්සක වනයේ හු‍දකලා හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය.( පුංචි මිහින්තලය )


ක්‍රිස්තු පූර්ව හතර වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස් වැනි සියවස දක්වා වසර 1500 කට ආසන්න කාලයක් ලංකාවේ ප්‍රධාන රාජධානිය මෙන්ම පළමු වරට බුදු සසුන පිහිටු වීමට මූලික වූයේ ද අනුරාධපුරයයි.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත් ෂඩ් අභිඥාලාභිසුමන සාමණේරයන් ද භණ්ඩුක නම් අනාගාමී උපාසක යන පිරිස ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ලක්දිව බුදු සසුන පිහිටු වීමේ අරමුණෙන් උතුරු මැද පළාතේ අනුරපුර මිස්සක පව්වට වැඩම කළේ බුද්ධ වර්ෂ 236 දීය. සුන්දර පාරිසරික ලක්ෂණයන්ගෙන් පිරිපුන් මැදවච්චිය නගරයෙන් හොරොව්පතාන මාර්ගයේ කිලෝමීටර් තුනක් පැමිණ පිහිඹියගොල්ලෑව හන්දියෙන් වමට හැරී කීලෝමීටර් දෙක හමාරක් පමණ ගමන්කරන විට පුංචි මිහින්තලය හෙවත් හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය හමුවේ.

හඳගල රජමහා විහාරය මුහුදු මට්ටමින් අඩි 648 පමණ උසින් පිහිටා ඇති අතර උත්තරාංශ 8 33, 27. හා නැගෙනහිර දේශාංශ 8 39, 26. ස්ථාන ගත වේ. හඳගල, කිරිමැටියාව, අප්පුවැව, මහපුලියන්කුලම, රළපනාව, උඩන්ගාව, නිකවැව, ගෝණුහද්දනාව, වත්තේවැව, ඉකිරිගොල්ලෑව, ටිකිරිහැන්දාව, කිවුලේකඩ යන ගම්මාන දොළහකින්යුක්ත වන මෙම ප්‍රදේශය අදටත් රජයේ රක්ෂිතයක් ලෙස පවතින්නා සේම භූමි ප්‍රමාණය අක්කර 700 කට වැඩිය. කඳූ මුදුනෙහි පිහිටා ඇති චෛත්‍යය රාජයාණන් වහන්සේ හා පිළිම වහන්සේ ද බෞද්ධ සිත් සතන් තුළ බුද්ධාලම්බන ප්‍රීතීය ඇති කරන්නට සමත් වෙන්නකි. හඳගල මිහින්තලය හා අත්වැල් බැඳ ගත්තා වැනිය.

සහෝදරත්වයේ මූර්තියක් වන බව හැගෙන්නේ මිහින්තලයට හඳගලත්, හඳගලට මිහින්තලයත් පැහැදිලිව දර්ශනය වීමේ සුවිශේෂත්වයෙනි. එම පුද බිමෙහි භූ විෂමතා ලක්ෂණ අනුව ද මිහින්තලයට බොහෝ සමානකම් දැකිය හැකිය. හඳගල පුරාණ ගල්ලෙන් විහාරාරාමය අනුරාධපුර යුගයට නෑකම් කියන දේවානම්පියතිස්ස රජතුමාගේ(ක්‍රිස්තු පූර්ව 250 -210) කාලයේ උපරාජ මහානාග විසින් ඉදිකළ බවට පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි දරයි.

හඳගල විහාරස්ථානය ලෙන් හතළිහකට ආසන්න සංඛ්‍යාවකට උරුමකම් කියන්නකි. පැරණි චෛත්‍යයකිහිපයක්ම කැඩි බිඳී ගොස් තිබුණද වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කිරීම් සිදු කොටඇත.

පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියූ ලෙන් ලිපි පසළොසක් ද අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියූ ලිපි සොළොසක් ද විහාර භූමිය තුළ දැකිය හැකිය. ක්‍රි.ව පළමු වන සියවස පමණ වන විට මෙහි ශිලා ලේඛන දක්නට නොලැබෙන්නේ කුමක් නිසා ද යන්න සොයා බැලීමේ දී අනාවරණය වනුයේ වළගම්බා මහාරජතුමාගේ (ක්‍රි.වග 89-77) වසර දොළොසක් පුරා ලක්දිව පැවති බැමිනිතියා සාගතය, රාජ්‍යත්වය උදෙසා රුහුණේ තීය බ්‍රාහ්මණයා විසින් සිදුකළ කැරැල්ලත්, ක්‍රි.පූ. 103-89 තෙක් වූ කාලය තුළ පිළිවෙළින් පුලහත්ථ,බාහිය, පනයමාර, පිලයමාර, දාඨික යන පංච ද්‍රවිඩ ආක්‍රමණ අනුරාධපුරයට රාජධානියට එල්ල වීම නිසාත්යනඑකල ලක්දිව බලවත් විපත්තියකට මුහුණ දුන් බව වංශකථා දී සාහිත්‍ය මුලාශ්‍ර සාක්ෂි දරයි. (මහාවංසය, පරි37, ගාථා 37-42). › ලංකාවේ එකී සිද්ධිය හඳගල සෙනසුනට ද බලපැවැත්වෙන්නට ඇතැයි සිතිය හැක. එසේ හෙයින් හඳගල භික්ෂූන් ද මෙම උවදුර නිසා ප්‍රදේශය අතහැර යන්නට ඇත. මුල් කාලයේ හඳගල විහාරස්ථානය ආරණ්‍ය සේනාසනයක් වශයෙන් ද පැවති හෙයින් කමටහන් වඩන ලද භික්ෂූන් වහන්සේලා ජීවත් වන්නට ඇතැයි සැලකිය හැක. ළඟා වීමට අතිශයන් දුෂ්කර වූ ස්ථානවල පවා කටාරම් කෙටූ ගල්ලෙන් පැවතීමෙන් ඒ බැව් මනාව පසක් වේ.

“හඳගල විහාර” යන්න පාලි භාෂාවට නැඟූ කල “චන්ද්‍රගිරි විහාරය” නම් වේ. මෙය ලලාට ධාතුවංසයෙහි හා සිංහල ධාතුවංසයෙහි සඳහන් කරුණින් පැහැදිලිය. එහි සඳහන් වන පරිදි දේවානම්පියතිස්ස මහාරජතුමාගේ (ක්‍රි.ව 250-210) බාල සොහොයුරු වූ උපරාජ මහානාග විසින් සන්දගිරි (චන්ද්‍රගිරි ,සඳගිරි) විහාරය කරවා ඇති බවට සෙල්ලිපි තුළින් ගම්‍ය වේ. දෙවනපෑතිස් මහරජතුමා විසින් මිහිඳු හිමියන් ඇතුළු මහා සංඝයාට අටසැට ලෙන් පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ.

මිහින්තලය පූජා කර වූ පරිද්දෙන් සැතපුම් 18ක් පමණ ඍජු දුරකින් නැගෙනහිරට හා උතුරට බරව පිහිටි හඳගල විහාරයේ ලෙන් ලිපි පහක් පමණ සතර දෙසින් වැඩි භික්ෂූන් උදෙසා උපරාජ මහානාග විසින් පූජා කරවූ බව සඳහන් වේ.මෙම විහාර භූමිය තුළ ‘හතර මහා නිධානේ නමින් හැඳින්වෙන ගල් පර්වතයක් දැකිය හැකිය. එකී ගල්පර්වතයට සමාසන්නයේ සුවිශාල ලිග්ගල් තුනක් වැනි ගල් කුළු තුනක් එකමත එක පිහිටා ඇත. එම ගල“බෝලගල” යනුවෙන් ජනතාව විසින් හඳුන්වනු ලැබේ. මෙයින් කඳු යායේ එක් කොනක් අවසන්වෙයි.

තැනිතලාව පසුව හමුවන අතර මෙය චන්ද්‍ර පාෂාණය (සුදු පැහැයට හුරු) ලෙස පෙනෙන අතර මෙයට උදාගිරියෙන් පායා එන අවරගිරියෙන් බැස යන චන්ද්‍ර මණ්ඩලය වැටීම නිසා හඳගල යන්න හැඳින්වෙන්නට ඇතැයි ජනප්‍රවාදයේ මෙන්ම මහාචාර්ය විමල් විජේරත්න මහතා ද ඒ බැව් සනාථ කරයි. ඓතිහාසික සාධක අනුව පාචීන ඛණ්ඩරාජීය පිහිටියේ චිත්ත පබ්බතය ආසන්නයේ බව සී. ඩබ්ලිව් නිකොලස් මහතා ප්‍රකාශ කොට ඇත. චිත්තපබ්බතය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාතේ කන්දරා කෝරළයේ කහටගස්දිගිලිය -රත්මල්ගහ වැව මාර්ගයේ පස්වෙනි සැතපුම් කණුව අසලින් සැතපුම් කාලක් පමණ බටහිරට වන්නට පිහිටි වත්මන් නැට්ටුකන්ද හැටියට මහාචාර්යය සෙනරත් පරණවිතාන සූරීන් විසින්මහාවංසාදී සාහිත්‍ය මූලාශ්‍ර තුළින් හඳුනා ගනු ලැබීය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ නන්දිමිත්‍රයෝධයා උපන් ගම ද නැට්ටුකන්ද ය.

‘’ පරුමක, නදික පුත පරුමක මිතහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ දිනේ...”මෙකී ලෙන කරවන ලද්දේ නන්දිමිත්‍ර යෝධයා විසිනි. ඓතිහාසික ‘චිත්තපබ්බතය” නොහොත් නැට්ටුකන්ද වූ කලී වත්මන් හඳගලින් කිලෝමීටර් හයක් පමණ ගි‚කොනට වන්නට පිහිටා ඇත. එහෙයින් ඓතිහාසික පාචීනඛණ්ඩරාජීය වත්මන් හඳගල විය හැකි බවට මෙහි පෙර කළ සඳහන තව දුරට සවිමත් කරන්නෙකි. හඳගල පූර්ව කාලයේ සිට එනම් අනුරාධපුර මුල් කාලයේ පටන් වැදගත් තැනක් හිමි කරගෙන ඇත.

මේ ගැන ශාස්ත්‍රීය වශයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් වූයේ 1892 එච්.සී.පී. බෙල් මහතාගේ වාර්ෂික වාර්තා වලිනි.

බෙල් මහතා හඳගල පුරා දින දෙකක කාලයක් ගත කළ බවත්, හඳගල කන්දේ සෙල්ලිපි රාශියක් පවතින අතර ප්‍රධාන වශයෙන් කන්දට නැගීමට ඇති පාෂාණමය පඩිපෙළ මුදුනෙහි තිබූ දාගැබ හා ගල්ලෙන් පිළිබඳ කරුණු පෙන්වා දී ඇත. මෙහි පවතින සෙල්ලිපි ප්‍රමාණය අනුව මිහින්තලයට සමාන වන බව පෙන්වා දී තිබේ. මෙම විහාරස්ථානයේ පුස්තකාලයේ පුස්කොළ පොත් එකතුව ද දිස්ත්‍රික්කයේ පැවති විශාලම පුස් කොළ පොත් එකතුව බවටත් ඉන් වැඩි සංඛ්‍යාවක් ආගමික ඒවා වන බවත් වැඩිදුරටත් සඳහන් කොට ඇත.

වර්තමානය වන විට දමෙම කියමනට සාක්ෂි පවති. එපමණක් නොව මෙරට පැර‚ සෙල්ලිපි අධ්‍යයනය කොට වාර්තා කිරීම බ්‍රිතාන්‍ය පාලකයන්ගේකාලයේ සිබ්‍රිතාන්‍ය රජයෙන් පත්කොට ඇත. බෙල් මහතා හඳගල ගවේෂණය කිරීමට කාලයකට පෙර ප්‍රධාන වශයෙන්මෙහි ශිලා ලිපි තුනක් ද සටහන් කොට ඇත. 1883 දී ඔහු විසින් › ලංකාවේ පැරැණි‚ ශිලා ලේඛන යනුවෙන් සෙල්ලිපි 172 ක් පිටපත් කර තිබුණි. ඒ අතරින් හඳගල කන්දේ සෙල්ලිපි තුනක් ද පිටපත් කොට තිබුණි. හඳගලකන්ද විහාරය වේවැල්කැටියේ සිට සැතපුම් 11 දුරින් පැවති බව මූලර් මහතා පෙන්වා දීම තවත් සුවිශේෂීතාවකි.

1942 වර්ෂයේ දී මෙම ස්ථානයේ ගවේෂණයක යෙදුණු සී.ඩබ්ලිව් නිකොලොස් මහතා සෙල්ලිපි සහිත ගල්ලෙන් තිහක් පමණ සොයාගෙන ඇත. ඒවා සොයා ගත් ආකාරය පිළිබඳ පෙන්වා ඇත.ඒවාසොයා ගත්තේ බොහෝ වේලා කඳුනැඟ දුෂ්කර අත්දැකීම් ලබා යැයි” ඔහු විස්තර කොට දක්වා ඇත. ලංකාවේ ශිලා ලේඛන යන මැයෙන් මහාචාර්ය පරණවිතාන පළ කළ ශාස්ත්‍රීය අධ්‍යයනයෙහි දිවයිනපුරා පිහිටි සෙල්ලිපි 1274 ක විස්තර සදහන් වේ. එම සෙල්ලිපි තුළින් ලිපි 39 ක පමණ අකුර කොටා තිබුණේ දකුණේ සිට වමට කියැවෙන අකාරයටය. එම විරල ගණයේ රචනා ක්‍රමයේ එක් සෙල්ලිපියක් හඳගල සෙල්ලිපි අතර ද වීම විශේෂ කරුණකි. මෙහි දක්නට ඇති ගල්ලෙන් සියල්ලගේම කටාරම් කොටා ඇත.

ලෙනක විවෘත උඩ කොටසෙහි කටාරම් කෙටීම තුළින් ලෙන තුළට වැසි ජලය කාන්දු වීම වැළැක්වීමෙන් ලෙන තුළ වාසය කරන භික්ෂූන්වහන්සේලාට වර්ෂාවෙන් ආරක්ෂා වීමට හැකිය. හඳගල කන්දේ ළඟා වීමට දුෂ්කර වූ ස්ථානවල පිහිටි ගල්ලෙන් තුළ පවා කටාරම් කොටා තිබීමෙන් ගම්‍ය වනුයේ එවැනි අපහසු ස්ථානවල පවා භාවනානුයෝගී භික්ෂූන් වාසය කොට ඇති බවය.මෙරට බුදු සසුන හඳුන්වා දෙනු ලැබුයේ ක්‍රිස්තු පූර්ව 247-207 දක්වා පාලනය කළ දේවානම්පියතිස්ස රජුගේ කාලයේ දී ය. සංඝ ශාසනය මෙරට ඇති වූයේ ද ඉන් පසුවය. එසේ හෙයින් මෙම සෙල්ලිපි කොටා ඇත්තේ බුදු සසුන පැමිණීමෙන් පසුව බවට සඳහන් කිරීම සාධාරණය. හඳගල කන්දේ සෙල්ලිපි අඩක්ම පමණ ක්‍රි. පූ දෙවන සියවස තරම් පැරැණි‚ වෙතැයි අනුමාන කිරීමට හැකිය.

අනුරාධපුරයේ අටමස්ථාන අතරින් දෙකක්වූ ශ්‍රී මහා බෝධිය (මව¦ 19¦ 88-92) ථූපාරමය (මව¦ 19¦ 80-83) ක්‍රි.ව 2 වන සියවසේ ඇති වූවත් සෙසු සිද්ධස්ථානහයම ඉන් අනතුරුව ඇතිවීම නිසා හඳගල ඉතිහාසය එම සිද්ධස්ථාන හයේ ඉතිහාසයට වඩා පැරැණි‚ යැයි පැවසීම යුක්ති යුක්තය. මේ තුළින් ගම්‍ය කිරීමට හැකි එක් කාරණයක් නම් හඳගල ද අනුරාධපුර යුගයේ සිට ම ඓතිහාසික අතින් වැදගත් වූ බවය. පිවිසුම් දොරටුවට ආසන්නයේ පිහිටා ඇති විෂ්ණු කතරගම දේවියන්ගේ රූප මැටියෙන් නිර්මාණයකොට ඇත. නැගෙනහිර පැත්තේ කාවාකාර දොරටුවකි. එය අඩි 5 ක් උස වන අතර අඩි 1 අඟල් 10 ක් පළලවේ. දොරටුව අසල උඩරට නිලමේ කෙනෙකුගේ යැයි සැලකිය හැකි රූපයක් නිර්මාණය කොට ඇත.

පිවිසුම්දොරටුවෙන් ඉදිරියට ගමන් කරන විට කඳු පාමුල මධ්‍යම ප්‍රමාණයේ පොකුණක් දැකිය හැකිය. භික්ෂූන්ගේ ජල අවශ්‍යතා ගැනීමට ස්වභාවික පතහක් වශයෙන් තිබෙන්නට ඇතැයි සැලකේ. මෙය අනුරාධපුර යුගයට ම අයත් වැවක් විය හැකි බවත් පසුව බැම්මක් ඉදිකර කුඩා වැවක ආකාරයට සකස් කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. පොකුණ මධ්‍යයෙහි හතරැස් කැණීමක් කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යාත්මකසාධක හමුනොවූ හෙයින් වර්තමානයේ හිටි පිළිමයක් ඉදි කොට ඇත.

ඉහළට නැඟීමට සකස් කර ඇති පාෂාණමය පඩිපෙළ මීටර් 34.80 පමණ දිගකින් යුතුව නිර්මාණය කොට ඇත. දෙපස සම්පූර්ණයෙන්ම නව ඉදිකිරීම්ය. ලෙන් කිහිපයක් සඳහා පිවිසීමට පාෂාණයෙන් නිර්මාණය කළ පියගැට පේලීද දැකිය හැකිය. ඉහළට ගමන් කරන විට ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා වෙනුවෙන් අනුරාධපුර යුගයේ නිර්මාණය කරන ලද අඩි 15 ක් ගැඹුරු අඩසඳක ආකාරයේ පොකුණක් දැකිය හැකිය. මෙය කිහිප වතාවක්ම පිළිසකර කිරීම්වලට ලක්වී වී ඇත. මෙම ස්ථානයට මඳක් වම්පසට වන්නට විශාලතම ස්තූපය ගඩොල් යොදා ගනිමින් නිර්මාණය කොට ඇත. මෙය කොටවෙහෙර සම්ප්‍රදායට අයත් වෙතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

සීමා මාලකය පිහිටි ස්ථානයට මඳක් පසෙකින් ප්‍රොටෝ ඓතිහාසික යුගයෙන් පසු එළඹෙන මූල ඓතිහාසික යුගයේ › ලංකාවේ මුලින් ම භාවිත වූ අක්ෂර දැකිය හැක. මෙම රූපාක්ෂර තවමත් හදුනාගෙන නොමැත. මෙම සටහන් වැදි අක්ෂර ලෙස පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. ගුහාව දිගින් වැඩිය. මෙම ගල් ගුහාව කටාරම් කොටවා පහළින් අක්ෂර සටහන් කොටා ඇති ආකාරය දැකිය හැකිය. මෙහි වාසය කිරීමට නම් බාහිර කුටියක් නිර්මාණය කළ යුතුය. නමුත් එම සාධක ගුහාව මතුපිට දැකිය නොහැකිය.

දේවාලය පිහිටි ගුහාව කටාරම් කොටා ඇති ලෙනකි. මෙහි ඉහළ කොටසෙහි ක්‍රි.ව. 5 වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර දැකිය හැකිය. එසේම අක්ෂර නොවන පෙති හතරකින් යුක්ත මලක ස්වරූපයෙන් යුක්ත වූ සලකුණක් දැකිය හැකිය. දේවාලය ඇතුළත දෙවන සියවසට අයත් විෂ්ණු දේව ප්‍රතිමාවක් හා කතරගම දේවියන්ගේ ප්‍රතිමාවක් ද වේ. මෙම ප්‍රතිමාවන්ට පිටුපසින් අනුරාධපුර කාලයට අයත් චිත්‍ර සලකුණු දැකිය හැකි ය. නමුත් 1984 වර්ෂයේ එයට උඩින් නැවත චිත්‍ර නිර්මාණය කර ඇත.

එපමණක් නොව ලෙන් කිහිපයක්ම පිළිස්සු හා නොපිලිස්සු ගඩොල් යොදා ආවරණය කළ බවට සාධක අදටත් පැවතීම සුවිශේෂීතාවකී. මෙම ඉදිකිරීම් ලක්ෂණ අනුව මුල් යුගයට අයත් ලෙස සැලකේ. ලෙන් සියල්ලම එකිනෙක පරයා කටාරම් කොටා අක්ෂර සහිතව දැකිය හැකි හෙයින් පුරාවිද්‍යාත්මක අතින් ඇති වටිනාකම අතිමහත්ය.

1892 දී එච්.සී.පී. බෙල් මහතා විසින් හඳගල විහාරයේ ගොඩනැගිල්ලක ඡායාරූපයක් සහ එහි ගල් ලෙනක ඇද තිබූ බිතු සිතුවමක කොටසක් දක්වා ඇත. මෙහිදී පිරිමියාගේ හිස දෙපා දක්නට නැතිව නිරූපණයකොට ඇත. චිත්‍රයේ කෙළවරක බෙර දෙකක් දැකිය හැකිය. චිත්‍රයේ නිරූපිත දෙපළගේ ඇඳුම්

පැලඳුම් අනුව ඔහු නාට්‍ය රංගන ශිල්පීන් දෙදෙනෙකු සේ පෙනේ. මෙම විචිත්‍රකාර සිතුවම් හුදකලා බිතුසිතුවමක් නොවිය හැකිය. මෙය 2011 සංරක්ෂණ කටයුතු තුළින් නැවත සංරක්ෂණයට භාජනය කොට ඇත.

එහි දී ප්‍රධාන වශයෙන් ස්ථරයෙන් ස්ථරය සියුම්ව අධ්‍යයනයට ලක්කොට ඇත. මෙය සීගිරී බිතු සිතුවම් හා සමානකම් දක්වයි.

කටාරම් කොටන ලද විහාරගෙයි ඇති බිතු සිතුවම් නුවර යුගයට අයත් සේ සැලකේ. ඉහළ කොටසෙහි සිත්තම් කොට ඇති නෙළුම්- ඉද්ද හා අන්නාසි මල් වලින් යුතු මෝස්තර කිහිපයකි. මෙහි සූවිසි බුදුවරුන්ගේ පිළිරූ නිර්මාණය කොට ඇත්තේ ක'ථ, අළු, නිල් හා කහ ආදී විවිධ වර්ණ යොදා ගෙන ය. මෙම සෑම බුද්ධ රූපයක් ම ඇඳ ඇත්තේ රැස් වළල්ල හා සිරස්පත සහිතව ය. සිතුවම් සහිත බිත්තියට අඩි දෙකක් පමණ ඉදිරියෙන් සිරස්පත රහිත බුද්ධ රූප තුනක් හිටි හා හිඳි යන ඉරියව් වලින් නිර්මාණය කොට තිබේ. නමුදු මෙම පිළිම තුනට අයත් රැස් වළලු බිත්තියේ මැටි භාවිත කරමින් නිර්මාණය කොට ඇත. අනෙක් බිත්තියෙහි සිරස්පත සහිත බුද්ධ රූප දෙකක් ඇත. එයින් එකක් රතු සායමින් සිතුවම් කොට ඇත.

හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය තුළින් පුරාවිද්‍යා සාධක මෙන්ම නෂ්ටාවශේෂ විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. හඳගල ප්‍රදේශය පුරා ඇති පුරා වස්තු, ලෙන් ආදි සියල්ලම යම්කිසි වූ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වූ ඒවාය. අටමස්ථාන මෙන්ම සමාන ලෙස වන්දනමානනයට පාත්‍ර විය යුතු ස්ථානයක් ලෙසට හඳගල විහාරය පෙන්වා දීම යුක්ති සහගතය. පුංචි මිහින්තලය ලෙස ගම්වැසියන් අතර පවතින මතයද ඉහත තොරතුරු මනාව පසක් කරන්නකි. මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය සඳහා යොමු කිරිම තුළින් අපගේ සංස්කෘතික උරුමය ඉස්මතු කරලීමට කදීම තෝතැන්නකි.

පොසොන් සමයේ මිහින්තලය වැඳ පුදා ගැනීමට පැමිණෙන සංචාරක පිරිස අතිමහත්ය. එසේ හෙයින් සැතපුම් 18 ක් දුරින් පිහිටි හඳගල කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය හෙවත් පුංචි මිහින්තලය ද සංචාරක ආකර්ෂණයට යොමු කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම කාලෝචිත කරුණකි. ඒ සඳහා සංචාරක මාර්ගෝපදේශන සේවයක් ලබා දීම මෙන්ම අධ්‍යයනය හා අධ්‍යාපනය සඳහා විධිමත් වැඩ පිළියෙලක් සකස් කිරීම කළ යුත්තකි.

දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේ නමක වූ පූජ්‍ය කිරිමැටියාවේ ඥානවිමල නාහිමියන් විසින් විහාරස්ථානයක් ලෙස වැඩි දියුණු කළ අතර වර්තමාන විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස පූජ්‍යපාද ශාස්ත්‍රපති කැදෑවේ සමිත ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ දියුණුව උදෙසා මහඟු කාර්යභාර්යක් ඉටු කරන අතරම විහාරස්ථානය භාරව කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස ජාතික ආගමික ශාසනික කටයුතු රැසක් සිදු කරනුයේ පූජ්‍ය වත්තේගම නිපුණ ස්වාමීන් වහන්සේ විසිනි.

දිනමිණ

No comments:

Post a Comment