Friday, 4 December 2015

දිවා ගුහාව ලෙස ජනතාවගේ පුද පූජාවට ලක්‌වෙන බටතොට පුරාණ ගල්ලෙන් විහාරය

දිවා ගුහාව ලෙස  ජනතාවගේ පුද පූජාවට ලක්‌වෙන බටතොට පුරාණ ගල්ලෙන් විහාරය


"මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාංචනං දිවාගුහං දීගවාපී ෙච්තියංච මුතියංගනං" සොළොස්‌මස්‌ථාන වන්දනා ගාථාවේ පස්‌වෙනි තැනට වන්දනා කෙරුණ දිවා ගුහාව නම් වූ ලෙන කිසි කලෙකත් පියවි ඇසින් නොදුටු බෞද්ධයින් මනසේ ආරෝපිත නිර්මිත බුදුරුව සිතේ මවා ගනිමින් දිවා ගුහාව වන්දනා කරන්නේ මහත්වූ ගෞරවයෙනි.


වසර සිය ගණනක්‌ බටතොට පුරාණ ගල්ලෙන් විහාරය දිවා ගුහාව ලෙස සලකමින් ජනතාවගේ පුද පූජාවට ලක්‌වෙමින් පැවැති අතර 1995 වර්ෂයේ බටතොට පුරාණ ගල්ලෙන් විහාරයට වැඩම කළ අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ එම ස්‌ථානය පරීක්‍ෂා කොට එම ස්‌ථානය දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකි යෑයි මතයක්‌ ප්‍රකාශ කළහ.


රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කුරුවිට නගරයේ එරත්න මාර්ගයේ කිලෝ මීටර් 7 ක්‌ ගිය පසු බටතොට ග්‍රාමයේ වම්පස ඉහළ කඳුවළල්ලේ මෙම පුරාණ බටතොට ලෙන් විහාරය පිහිටා ඇත. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්‌වෙන බටතොට පුරාණ ගල්ලෙන් විහාරය දිවා ගුහාව ලෙස ප්‍රචලිත වී ඇති බව පූජ්‍යපාද කිරිඇල්ලේ ඥණවිමල මාහිමිපාණන් විසින් රචිත 1967 වසරේ "සබරගමු දර්ශනය" නම් කෘතියේ දිවාගුහාව පිළිබඳව මත ඉදිරිපත් කළහ.


මහාවංශයේ දැක්‌වෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළේ පර්වත ප්‍රාන්තයක බවයි. මහාවංශයේ 79 ගාථා ඊට සාක්‍ෂි දරයි. "තස්‌මිං පබ්බත පාද මහි සහ සංසො තථා සුඛං දිවා විහාරං කත්වාන දීගවාපි මූපාගම්


(මහාවංශය 79 ගාථාව)


මෙයින් කියෑවෙන්නේ සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ පර්වත ප්‍රාන්තයට දිවා විහරණය කළ බවය.


වේදේහ තෙරුන් විසින් රචිත සමන්ත කූඨ වර්ණනාවේ එන්නේ මීට වෙනස්‌ අදහසකි.


තතොපගනත්වා සුගතොපගාමි


තස්‌මිං තමෙම ගිරිගබඩභ රායං


දිවා විහාරං නිසී දිතත්ථ


සුපාකටං තං භගවා ගුහාති


(සමන්ත කූඨ වර්ණනාව)


මෙහි තේරුම:-


බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කරන ලද්දේ ගුහාවක බවද එම ගුහාව භගවා ලෙන යෑයිද මෙයින් පැහැදිලි වෙයි.


දිවා ගුහාව පිළිබඳ විවිධ ජනප්‍රවාද පැන නැඟී ඇත. ඉන් කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැකිය.


දිවාගුහාව දැක ඇති අය ඇතත් එය පිහිටි තැන ගැන කීමට ශක්‌තියක්‌ ඒ කිසිවෙකුට නැත, දිවා ගුහාව සල්මල්, ගස්‌වලින් පිරි නොයෙක්‌ පලතුරු වෘක්‌ෂයන්ගෙන් ගැවසුන පෙදෙසක පිහිටා ඇත. දිවා ගුහාව දෙවියන්ට පමණක්‌ යා හැකි මිනිසුන්ට යා නොහැකි තැනකි, දිවා ගුහාව තුළ නිර්මල බුදුරුවක්‌ සක්‌මන් කරයි, දිවා ගුහාව තුළ බුදුරදුන්ගේ දම් හඬක්‌ ඇසේ, සිරිපා මළුව දිවා ගුහාවට පෙනෙන අතර එහි පවත්වන හේවිසි නාද දිවා ගුහාවට ඇසේ,


දිවා ගුහාව වන්දනා කිරීම සඳහා රචනා වී ඇති ගාථාවල දිවා ගුහාවේ ඇතැම් ස්‌වභාවය හා එහි පිහිටි ස්‌ථානය දන්වා ඇත.


"ණසාවෙහි සහ පංච සතේහි ගනත්වා


යස්‌මිං අකාසි භගවා සදිවා විහාරං


සංථුල්ල සුසීතල මහං භගවා ගුහංතං


වනෙද සුසීකල මහං භගවා ගුහංතං


මෙහි තේරුම(- සමන්ගිර පාමුල පිහිටි අවට සුපිපි සල් ගස්‌වලින් ගැවසුන ඉතා සිසිලක්‌ දනවන ලෙන් ගුහාවක්‌ ලෙස මෙය හැඳින්වේ.


ඉහත සඳහන් ජනප්‍රවාද හා දිවා ගුහා වන්දනීය ගාථා වර්ණනා සඳහන් කර ඇත්තේ මා ඉහත සඳහන් කළ පරිදි දිවා ගුහාව පියවි ඇසින් නොදුටු තම චින්තනයෙන් මවාගත් චිත්‍රය අනුව බව පසක්‌වනු ඇත.



බටතොට පුරාණ ලෙන් විහාරයේ පවතින වසරේ දින 365 මහා පරිමාණයෙන් සල්මල් පිපෙන සල් අරණින් පවතින අතර ලෙන් දොර අභියස පිහිටි විශාල සල් ගසක වසරේ දින 365 ම මල් පිපී පවතින අතර ලෙන තුළ සිසිලස ර¹ පැවතීමට මෙන්ම පැන් පහසුව සඳහා ලෙන මැද පිහිටි ගල්වලට ඉතා පිරිසිදු දිය වැල අඛණ්‌ඩව කඩා වැටීමෙන් පොකුණේ එක්‌ රැස්‌ව පවතී. දිවා කාලයේද ඉතා හොඳින් හිරුඑළිය ලෙන තුළට ගලා ඒම නිසාත් රාත්‍රි කාලයට ඉතා හොඳින් සඳඑළිය පතිත වන නිසාත් ලෙනෙහි අන්ධකාරය බැහැරව පවතී. සියවස්‌ ගණනාවක්‌ ඉපැරැණි 18 රියන් සැතපෙන බුදුපිළිම වහන්සේ නිමවා ඇත්තේ මැටි විශේෂයකිනි. එහි මකර තොරණ හා පිළිම මැටි විශේෂයකින් ඉදිකර ඇත.


මෙවැනි තොරතුරු මෙසේ වුවත් මෙය භාග්‍යවතුන් වහන්සේ 500 ක්‌ මහරහතුන් වහන්සේලා සමග සමවත් සුවයෙන් දිවා කාලය ගත කළ භගවා ලෙන හෙවත් දිවා ගුහාව මෙය යෑයි හරියටම කියන්නට අපට හැකියාවක්‌ නැත. එහි අවසන් නිගමනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුය.


එසේ වුවත් ප්‍රාග් ඓතිහාසික පසුබිම මෙසේ සඳහන් වේ.


දැරණියගල සිට මහවත්ත කන්ද, බටතොට හරහා එක්‌නැලිගොඩ දක්‌වා විහිදී ඇති කඳු යායේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අංක 160 දරන ඇඳිරියන්වල ග්‍රාමසේවා වසමේ බටතොට ලෙන හෙවත් දිවා ගුහාව පිහිටා ඇත. ඊට මීටර් 400 ක්‌ උතුරින් ස්‌ත්‍රීපූර නම් අද්භූත විශාල ගල් ලෙනක්‌ද මීටර් 400 ක්‌ දකුණින් දහයියා ලෙනද තවත් මීටර් 400 ක්‌ දකුණට ගල් පර්වතයක්‌ මුදුනේ අක්‌කර 5 ක සමග වූ හෝමිපලහේන නම් ගල් තලාවක්‌ද පිහිටා තිබේ. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරුන් වන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා ආචාර්ය ශිරාන් දැරණියගල යන මහතුන්ගේ ගවේෂණ වාර්තා අනුව මෙම ස්‌ථාන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවත් අවුරුදු තිස්‌දහසකට (30000) ට පෙර පටන් මිනිස්‌ වාසය පැවැති බවටත් කරුණු හෙළිවී තිබේ.


තවද ප්‍රදේශයේ පැතිර පවත්නා ජනප්‍රවාද අනුව මෙම ස්‌ථානයන්ට මහාරාවණා රජු, සුමන සමන් දෙවියන් හා උන්වහන්සේගේ අක්‌කා වන මහලොකු මැණිකේද ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයාද, මහා වළගම්බා රජුද, කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුද, පළමුවැනි රාජසිංහ රජු ආදීන්ගේද නම් ගම් නොයෙක්‌ මාදිලියේ කට කතා හා අද්භූත සිද්ධීන්ට සම්බන්ධ කර ඇත. හෙළිවී ඇති පුරාවිද්‍යාත්මක කරුණු හා පැතිර පවත්නා ජනප්‍රවාද හා අද්භූත සිද්ධීන් ගලපා බලනවිට මෙම ස්‌ථානයන්හි ඓතිහාසික යුගයේ සිට මිනිස්‌ සබැඳියාවන් පිළිගැනීමට සිදුවේ.


මේ පිළිබඳව ඉදිරිපත්වී ඇති නූතන මත මෙසේ සඳහන් කරමි. 20 වන සියවසේදී සබරගමු පළාතේ ජන්ම ලාභය ලැබූ මහා සංඝ පීතෘ වහන්සේලා තුන් නමක්‌ බටතොට ලෙනත් දිවා ගුහාවත් සහ සම්බන්ධ වන මතයන් කිහිපයක්‌ ප්‍රකාශයට පත්කර තිබේ.



පූජ්‍ය කිරිඇල්ලේ ඥනවිමල හිමි


ගල්ලෙන් හා ගල් ගුහා මේ රටේ ජන නායකයින් සතුව තිබූ අතර ඒවා පරම්පරා දායාද වශයෙන් පැවැතියේය. තම ආරාධනයෙන් සමන්ත කූඨයේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම සඳහා 500 මහා රහතුන් වහන්සේලා කැටුව බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්‌ථාවේ එවකට තම නිවහනට පැවැති දිහා ගුහාව නම් ලෙන සමන්ත පර්වතාදීශ්වර සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේට පූජාකර ඇත. මෙය ශ්‍රී ලංකාවේ පළමු ලෙන් පූජාවයි.


අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමි


1995 ඔක්‌තෝබර් මස 15 වැනි දින එවකට වල්බිහිව තිබූ බටතොට ලෙන් විහාරය නැරඹීමට වැඩම කළ අවස්‌ථාවේ මෙම ස්‌ථානය දිවා ගුහාව යෑයි හැඳින වදාරා තිබේ.


සබරගමු අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ශාස්‌ත්‍රපති කරවිට පියනන්දාභිදාන මහානායක හිමිපාණන් වහන්සේ, ත්‍රිවිධ රත්නය බැස්‌සාවූ තොට එරත්න බටතොට නම් වූවා යෑයි මතයක්‌ ප්‍රකාශ කොට තිබේ.


බටතොට පුරාණ ලෙන් විහාරාධිපති කෑගලු දිසාවේ අධිකරණ සංඝනායක විහාරාධිපති පූජ්‍ය මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමි මෙලෙස සඳහන් කළහ. 


"තුන්කල් දුටු අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් මෙම ස්‌ථානයට වැඩමකර මෙහි ඇති අතීතාවර්ජනය සලකා මෙය බුදුන් වැඩ සිටි දිවා ගුහාව විය හැකි යන්න ප්‍රකාශ කළා. ඒ පමණින් මෙය දිවා ගුහාව ලෙස පිළිගැනීමට යෑයි අපි කිසිසේත්ම බෞද්ධ ජනතාවට කියන්නේ නැහැ. මෙතැනට ඇවිත් බලන්න, ගවේෂණය කරන්න, එහි තීරණ ගැනීම බැතිමතුන් සතු දෙයක්‌. සියවස්‌ ගණනක්‌ ඉපැරැණි මෙවැනි ස්‌ථාන සංරක්‍ෂණය කරමින් බැතිමතුන්ගේ වන්දනා මානයට ඉඩ සලසාදීම අප සතු වගකීමක්‌.


ඒ වගේම මෙම ලෙන දිගින් අඩි 150 ක්‌ද, පළලින් අඩි 67 ක්‌ උසින් අඩි පනහක්‌ පමණ වේ. 500 කට වඩා වැඩි පිරිසකට විසීමටද තරම් විශාල ගල් ලෙනක්‌ මේක යෑයි පූජ්‍ය මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමිපාණෝ වදාළ සේක.


දිවයින පුවත්පත

No comments:

Post a Comment