Sunday, 8 November 2015

පත්තිරිප්පුවේ වෘත්තාන්තය

පත්තිරිප්පුවේ වෘත්තාන්තය

පුරාණයේ විසූ අපේ ජනයා තම නිවෙස් හා නගර සැලසුම් කිරීමේදී ස්වාභාවික වූ පරිසරයට ගරු කරමින් ද එය සුරකිමින් ද බිම් සැලැසුම් කළ බැව් අතීත තොරතුරු විමසීමේදී පැහැදිලි වේ.
“ගම්ගොඩ” හෙවත් ගෙවල්ගොඩ” සැකැසීමේදී නිරතුරු ව ම වැව හා කුඹුරු යාය දිස්වෙන මායිමේම ඉදිකිරීම එකල සිරිත විය. අපේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට පෙදෙසේ ද ඒ සංකල්ප උපයෝගී කර ගනිමින් ම, යම් යම් ඉදිකිරීම් කොට ඇති බව සනාථ වේ.
සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798 – 1815) රජු විසින්, කීර්තිමත් රාජකීය ප්‍රධාන සිත්තරා මෙන් ම ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ද වූ (Chief Artist & Chief Architect) දේවේන්ද්‍ර මූලාචාර්යයන් කැඳවා මහනුවර නගරය දිව්‍ය විමානයක් සේ අලංකාර අන්දමින් සකසා දෙන ලෙස නියෝග කළ බැව් ඉතිහාසයේ සඳහන් ය.
ඒ නියෝගය අනුව දළදා මාලිගයේ මගුල් මඬුව ද, පත්තිරිප්පුවේ ද ඉදිකිරීම් කටයුතු සිදුවූයේ එතුමාගේ මෙහෙයැවීමෙනි. අටැස් හැඩැයෙන් යුත් මේ අලංකාර පත්තිරිප්පුවේ මුල් සැලැස්ම දේවේන්ද්‍ර මූලාචාරීන් විසින් කෙසෙල් පිතිවලින් සාදා රජුට ඉදිරිපත් කළ අවස්ථාවේ රජු ඉමහත් සොම්නසට පත්වූ බව කියනු ලැබේ.
මෙම ගොඩනැඟිල්ලට ඉදිරිපසින් තනා ඇති දිය අගල සිසිලස ලබාගැනීම සඳහා පමණක් නොව පැරැණි සිරිතට අනුව ආරක්ෂාව සඳහා ද ඉදිකරනු ලැබූ අතර දියරැළි බැම්මෙන් ඉතා අලංකාර පෙනුමක් ඊට ලබාදී තිබෙනු දැක්ක හැකි ය. පිටත තාප්පයේ ඇත්තේ වලාකුළු බැම්මයි. වලාකුළු බැම්මේ ඇති ත්‍රිකෝණාකාර කවුළු, පොල් තෙල් පහන් දල්වා ආලෝක කිරීම සඳහා යොදා ගැනිණ.
මේ ගොඩනැඟිල්ලේ පාදම ඇත්තේ දිය අගලේ පතුලේ සිට වන අතර දිය අගලට ජලය සැපැයුණේ ඉදිරිපිට ඇති කිරි මුහුද නමින් හඳුන්වනු ලබන වැවෙනි. “තිගොල්වෙල” නමැති කුඹුරුයාය හාරා වැවක් බවට පරිවර්තනය කළේත් දේවේන්ද්‍ර මූලාචාර්ය තුමන් විසිනි. එය අවසන් කළ පසු ශිල්පාචාරීන්ගේ සෞන්දර්ය ඥාණයත් කලා කුසලතාවයත් මතුවී පෙනුණි. දළදා මැඳුර වඩාත් සෝබමාන වූයේ ද පත්තිරිප්පුව නිසාම ය. එය ඉදිකිරීමේදී අනුග්‍රහය දැක්වූවන් අතර දෙහිගම නිලමෙතුමා ද කෙනෙකු බව සඳහන් ය.
දැනට පොත්ගුලක් ලෙස යොදාගෙන ඇති මේ පත්තිරිප්පුව, රජු විසින් යොදා ගැනුණේ මහමළුවට රැස්වෙන ජනයාගේ දුක්ගැනැවිලි වලට සවන්දීමටත්, ඔවුන් ඇමැතීමටත් බව සඳහන් වේ. මීට අමතර ව මහමළුවේ සිදුකැරෙන අලි ක්‍රීඩා, කඩු සරඹ, මල්ලව පොර, අංකෙළි, පොල්කෙළි, පෙරහර ආදිය නැරැඹීමටත් විවේකය ගත කිරීමටත් ය. “පත්තිරිප්පුව“ යන දෙමළ වදනින් හැඟැවෙන්නේ ”වාඩිවී බලා සිටින තැන” යන්නයි.
මේ ගොඩනැඟිල්ලෙහි මැද කාමරය වෙන්වන සේ වටේට ඇවිද යා හැකි පරිදි බරාඳයක් වන අතර, මැද කාමරයේ සතර වටේට දොරටු පිහිටා තිබේ. මහනුවර සම්ප්‍රදායයට ආවේණික වූ මැදින් නැමී ශීඝ්‍රයෙන් ඉහළට ඇදෙන වහල (Lean to Roof or Hipped roof) මුදුනේ කොතක් ද සවිකොට තිබේ. පත්තිරිප්පුවේ සිට රජ මාලිගයට පිවිසීම සඳහා රහස් උමඟක් ද ඇති බව සඳහන් වේ.
දළදා මාලිගයේ සුන්දරත්වය තීව්‍ර කරන මනහර පත්තිරිප්පුව ඉදිකිරීමේ අවස්ථාවේදී සිදුවූ යම් යම් සිද්ධීන් හේතුකොට විවිධ පුරාවෘත හා ජනප්‍රවාද ද ඇත. එහෙත් ඒවා ජනප්‍රවාද නොව සැබෑ ම සිද්ධීන් බවට මහනුවර, නත්තරම්පොත, ඇම්බැක්කේ, ගම්පොල ආදී පෙදෙස්වල තවමත් ජීවත්වන දේවේන්ද්‍ර මූලාචාර්යතුමන් ගේ පරපුරේ අයගෙන් දැනගත් කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීම උචිතය’යි හඟිමි.
රජු විසින් දේවේන්ද්‍ර මූලාචාර්යතුමා කැඳවා මඟුල් මඬුව හා පත්තිරිප්පුව සෑදීමට අණ කළ අවස්ථාවේ, ඒ සඳහා සතියක් කල් ඉල්ලාගෙන සැලැසුම පිළියෙල කිරීමෙන් අනතුරු ව ඒ ගොඩනැඟිල්ල ඉදිකරමින් සිටියදී එහි වහලට ඇවැසි දැව දඬු, යට ලී ආදියට ගැළැපෙන පරිදි සැලැසුමට අනුව අදාළ මිමිවලට කප්පවා රජ මිදුලේ ගොඩ ගසා තිබියදී කුමන්ත්‍රණයක් සිදුවී ඇත. ඒ පුවත මෙසේයි.
දේවේන්ද්‍ර මූලාචාර්යයන් පහත රටට සම්බන්ධ කෙනෙක් විය. “කන්ද උඩරට සමාජ සංවිධානය” නම් ග්‍රන්ථයෙහි ඔහුගේ් පියාගේ නම කොත්මලේ සුරේන්ද්‍ර මූලාචාරී ලෙස හඳුන්වා තිබේ. මහාචාර්ය ජයදේව තිලකසිරි ‘ශ්‍රී ලංකාවේ ශිල්පී’ නම් ග්‍රන්ථයෙහි සඳහන් කොට ඇති පරිදි, ඔහුගේ පියා කොත්මලේ මඩකුඹුරේ කාර්මික ශිල්පියකු වන අතර, දෙවුන්දර ශිල්පී පවුලකින් විවාහවීම නිසා උඩරට – පහතරට මිශ්‍රණයක් වී ඇත.
මහාචාර්ය ජේ.බී.දිසානායකයන් විසින් රචිත ‘දෙගල්දොරුව‘ නම් ග්‍රන්ථයට අනුව දේවේන්ද්‍ර පරපුර දකුණු ඉන්දියාවේ සිට දෙවුන්දර උපුල්වන් දේවාලයේ රාජකාරි සඳහා පැමිණ පසුකලෙක ලාංකික ශිල්පී පවුල් සමඟ මිශ්‍රවී ඇති අය වෙති. දේවේන්ද්‍ර, දේවසුරේන්ද්‍ර නම් ඇති අය දැනුදු දෙවුන්දර වෙසෙති. එහිදී දේවේන්ද්‍ර මූලාචාරී පහතරට කලාශිල්ප හැදෑරූ අතර කොත්මලේ, තම පියාගේ ගමට පැමිණි විට උඩරටට ආවේණික උඩරට පාරම්පරික ශිල්ප ක්‍රම පිළිබඳව පුහුණුව ලැබී ය.
මොහු මුලින් ම රාජ්‍ය සේවයට පැමිණ ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේයි. (1747 – 1782) ගරු මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන්ගේ සිංහල ආණ්ඩුව නම් ග්‍රන්ථයට අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඔහුට නළල්පටක් හා සන්නසක් පරිත්‍යාග කළ බව සඳහන් ය.
එම පරිත්‍යාග ලැබී ඇත්තේ දෙගල්දොරුව රජ මහා විහාරයේ කාර්මික හා චිත්‍ර කර්මාන්ත හා මඟුල් මඬුවේ කරන ලද වැඩ සම්බන්ධයෙනි. මෙම තාන්න – මාන්න හේතුකොට ඔහුට ලැබුණු ගෞරවය හා කීර්තිනාමයත් නිසා ඇති වූ ඊර්ෂ්‍යාවත්, උඩරට – පහත රට භේදයත්, ඒ සියල්ලට ම වඩා දේවේන්ද්‍ර මූලාචාරීන් හා පිළිමතලව්වේ අදිකාරම් දෙදෙනාගේ රූපලක්ෂණ වල තුබූ සමානත්වයත් හේතුකොට උඩරට ඇඳුමෙන් සැරැසී දෙදෙනා මහමඟ යනෙන විට පිළිමතලව්වේ ය’යි රැවැටී ජනයා මෙඟන් ඉවත්වී හිස නමා ආචාර කිරිම හේතු කොට පිළිමතලව්වේ ඔහු කෙරෙහි වෛර බැන්දේලු. එහෙයින් ඔහු නැසීමට උගුලක් ඇටවීය.
එය නම් පත්තිරිප්පුවේ වහලේ වැඩ සඳහා ගෙනවුත් රජ මිඳුලේ ගොඩගසා තුබූ යටලී හොර රහසේ වඩුවෙකු ලවා රියන බැගින් කප්පවා කෙටිකරවා, ඔහු විසින් ම රජුට කේළාම් කියා ඒවායේ ගණන් මිමි වැරැදි බවත්, වටිනා දැව දඬු තොගයක් නිකරුණේ ඉවත දැමීමට සිදුවී ඇති බවත් රජුට ඒත්තු ගැන්වීලු.
කේලාම් ඇසීමටත්, සුරාවටත් ඇබ්බැහි වී සිටි රජු දේවේන්ද්‍ර මූලාචාර්යයන්ගේ මහපට ඇඟිල්ල කපා දැමීමට නියම කොට ඔහු කැඳවාගෙන ඒමට දූතයකු යැවීය.
රජුගේ කෝපයත්, තීරණයත් දූතයාගෙන් දැනගත් ඔහු සිදුවීමට යන අනතුරත්, අවමානයත් සලකා තමා විසින් ම නිර්මාණය කළ බෝගම්බර කිරි මුහුදට (වැව) පැන දිවි නසා ගත්තේ ය.
මහනුවර යුගයේ සුප්‍රසිද්ධ කලාගාර ලෙස සැලැකෙන දෙගල්දොරුව රජ මහා විහාරය ඇතුළු සිද්ධස්ථාන කීපයක ම බිතුසිතුවම් ඇඳීමෙන් මඟුල්මඬුව, පත්තිරිප්පුව, කිරිමුහුද යනුවෙන් හඳුන්වනු ලබන නුවර වැව ආදිය නිර්මාණයේත් ශ්‍රේෂ්ඨ නිර්මාපකයන් වූ මේ මහා රාජකීය ශිල්පියා ජාතියට අහිමි විය.
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විසින් ලියා පළකොට ඇති “මධ්‍ය කාලීන සිංහල කලා” නම් ග්‍රන්ථයේ ඒ පුවත සඳහන් ව ඇත්තේ දේවේන්ද්‍ර මූලාචාර්යතුමන් විසින් ම සිතාමතා ඒ දැව කෙටිකොට රජු වෙත කරන ලද බොරු පැමිණිල්ලක් හේතුවෙන් කෝප වූ රජු මූලාචාර්යතුමාගේ ඇඟිල්ලක් කපා දැමීමට දුන් නියෝගයේ නිසා නින්දාවෙන් ගැලැවීමට වැවට පැන දිවි නසාගත් බවයි.” මේ පුවත ඇදැහිය නොහැකි බව ඕනෑ ම කෙනෙකුට තේරුම් ගත හැකි ය.
ඒ සා විශාල වැදගත් කටයුත්තක් සැලැසුම් කිරීමෙන් තමන්ට ලැබෙන ගෞරවයත්, කීර්තියත් දැන දැන ම එවැනි පහත් තත්ත්වයකට ඔහු වැටේදැයි බුද්ධිමතකුට වැටැහේ. එමතු නොව එවන් නීච පියවරක් ගතහොත් රජුට එය සැලැවූවොත් ඔහුට අත්වන ඉරණම පිළිබඳ අවබෝධයක් නැති අඳබාලයෙකු යයි කෙසේවත් කිව නොහැකි ය.
රදළයන්ගේ ගැටීම් හා කේළාම් බස් නිසා ස්වෛරී රාජ්‍යයක් ව පැවැති ශ්‍රී ලංකාවට 1815 දී අත්වූ ඉරණම මෙහිදී සිහියට නැඟේ. වර්තමානයේ මෙන් ම අතීතයේ ද කේළාම්, යටිඋගුල්, පාවාදීම්වලින් කිසි අඩුවක් නුවූ බවද සිතා ගත හැකි ය. ඒ දුෂ්ට පාවාදීම නිසා ම නිර්මාණශීලී චින්තනයකින් හෙබි අගනා මිනිසකු ජාතියට අහිමි විය. අභාග්‍යයෙකි.
පත්තිරිප්පුවේ කලාත්මක ස්වරූපය දුටු ඇතැම් දෙස්, විදෙස් ගත්කරුවෝ එය මහත් සේ ඇගැයූහ. H.W. කේව් නමැත්තකු විසින් ලියන ලද The Book of Ceylon නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබේ.
The most Conspicuous building in Kandy and perhaps the most striking is the “Pattirippuwa” or Octagon attached to the Temple of the Tooth and the Royal Palace. This with the lake which it over looks are the most picturesque features in the town. මහනුවර දී සුවිශේෂ ව කැපී පෙනෙන ගොඩනැඟිල්ල පමණක් නොව ඉතා ම සිත්ගන්නා සුළු දෙය වන්නේ අටැස් හැඩැයෙන් යුත් පත්තිරිප්පුව හා රජමාලිගාවයි. වැව නොසලකා හැරිය ද නගරයේ මේ මන්දිරය ඉතා ම විසිතුරු බවින් යුක්ත වේ.” යන්න එහි අරුතයි.
සිළුමිණ පුවත්පත

No comments:

Post a Comment