Tuesday, 17 November 2015

හින්දු වාස්‌තු විද්‍යාවේ බෞද්ධ ලකුණ ගල්මඩුව රජමහා විහාරය

හින්දු වාස්‌තු විද්‍යාවේ බෞද්ධ ලකුණ ගල්මඩුව රජමහා විහාරය



ඓතිහාසික සෙංකඩගල පුරවරය තදාශ්‍රිතයෙහි පිහිටි ගල්මඩුව රජමහා විහාරය වාස්‌තු විද්‍යාත්මක වශයෙන් ද කලාත්මක වශයෙන් ද වැදගත්කමක්‌ උසුලන්නා වූ පෞරාණික ස්‌ථානයකි. මහවැලි නදිය අසබඩ නත්තරම්පොත ග්‍රාමයෙහි පිහිටා ඇති මෙම විහාරස්‌ථානයේ පිහිටි ගෙඩිගේ ගණයට අයත් ප්‍රතිමාගෘහය හින්දු වාස්‌තු විද්‍යාත්මක සම්ප්‍රදායට අනුව නිර්මාණයකොට තිබේ. ගල්මඩුව ප්‍රතිමා ගෘහය සහ ඒ ආශ්‍රිතව පිහිටි වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ පිළිබඳව විමර්ශනයක යෙදීම මෙම ලිපියෙහි අරමුණ වේ.

පිහිටීම සහ ගමන් මාර්ගය

ගල්මඩුව විහාරස්‌ථානය මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කුණඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්මඩුව 683 ග්‍රාම නිලධාරි වසමට අයත් නත්තරම්පොත ග්‍රාමයෙහි පිහිටා තිපේ. පැරණි පරිපාලන බෙදීම් අනුව මෙය පිහිටා ඇත්තේ උඩගම්පහ කෝරළයේ පාතදුම්බර පත්තුවට ය. මහනුවර නගරයේ සිට මහවත්ත මාර්ගයේ කිලෝමීටර් 10 ක්‌ පමණ ගමන්කොට මෙම විහාරස්‌ථානය වෙත ප්‍රවිශ්ට වියහැකිය. 

විහාරස්‌ථානයේ ඉතිහාසය 

වත්මන් විහාරයේ ප්‍රභවය ක්‍රි.ව. 18 සියවසට අයත් යෑයි සැලකුණ ද විහාරස්‌ථානය පිහිටි භූමිභාගයේ අතීතය යටත් පිරිසෙයින් අනුරාධපුර යුගය දක්‌වා දිවෙන බව මෙහි තිබී හමුවී ඇති ඉතා පැරණි බ්‍රාහ්මී අක්‍ෂර කෙටූ ගඩොල් කැබලි සාක්‍ෂි දරයි. මෙම ගඩොල් අයත් වූයේ විහාර භූමියේ ඉතා පැරණි බෝධියක්‌ වටා බැඳි අඩි 4ක්‌ පමණ උසැති බෝධි ප්‍රාකාරයකට ය. ගඩොල්වල පැවති අක්‍ෂර, ගල්මඩුවට නුදුරින් මහවැලි ගඟින් එපිට ගුරුදෙණිය ප්‍රදේශයේ පිහිටා තිබූ පැරණි ගොඩනැඟිල්ලක ගඩොල්වල දක්‌නට ලැබුණු අක්‍ෂරවලට සමාන බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන්කර ඇත. ප්‍රතිමාගෘහය ඉදි කළ අවධියට පෙර මෙම ස්‌ථානයේ පැරණි ගොඩනැඟිල්ලක්‌ තිබෙන්නට ඇති බවද විහාරය ඉදිකිරීමේ දී මෙහි පැවති පැරණි ගඩොල් එක්‌කොට බෝධි ප්‍රාකාරය තනවන්නට ඇතැයි ද හෙතෙම අදහස්‌ කරයි (ASCAR 1964:85). 

ගල්මඩුව විහාරයේ ඉතිහාසය ලිත මූලාශ්‍රගතව නොපවත්නා අතර එම තොරතුරු සපයාගත හැකිවන්නේ ජනප්‍රවාද ඇසුරින් සහ 19 - 20 සියවස්‌වල මෙරට විසූ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරින්ගේ වාර්තාවන්ගෙනි. ඒ.සී.ලෝරි විසින් 1896 වසරේ සම්පාදිත Gazetteer of the Central Province of Ceylon - Volume I සහ හෙන්රි ඩබ්. කේව් විසින් 1908 දී පළකරන ලද The Book of Ceylon ග්‍රන්ථද්වය තත්කාලීනව මෙම විහාරය පැවති ස්‌වරූපය සහ ඒ පිළිබඳ ජනප්‍රවාදගත තොරතුරු රැසක්‌ ඉදිරිපත් කරයි. ජනප්‍රවාදයන්ට අනුව ගල්මඩුව ගෙඩිගේ ඉදිකොට ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හින්දු භක්‌තික මෙහෙසියන්ට ආගමික වතාවත් සිදුකිරීම සඳහා මීගස්‌තැන්නේ මහ අදිකාරම්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සිදුකොට ඇත. කෙසේ නමුත් මෙහි ඉදිකිරීම් කටයුතු නිම නොකර අතරමඟ නවතා ඇති අතර එයට හේතු කිහිපයක්‌ ජනප්‍රවාද ආශ්‍රිතව දැක්‌වේ. එක්‌ ජනප්‍රවාදයකින් කියවෙන්නේ බෞද්ධ ජනතාව බහුතරයක්‌ විසූ මෙම ප්‍රදේශයේ හින්දු කෝවිලක්‌ ඉදිකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ විරෝධය මෙයට හේතුවූ බවයි. මෙය ඉදිකරන අතරතුර මෙයට ආසන්නව පිහිටි දෙගල්දොරුව ප්‍රදේශයේ විහාරයක්‌ ඉදිකිරීම සඳහා සුදුසු ගල්ලෙනක්‌ පවත්නා බව දැනගත් රජු මෙහි වැඩ නවත්වා දෙගල්දොරුව රජමහා විහාරය ඉදිකොට ඇති බව තවත් ජනප්‍රවාදයක සඳහන්වේ (Lawrie 1896:258; Cave 1908:353). අනුක්‍රමයෙන් ඉහළට නැංවෙන අයුරින් ගල් කුට්‌ටි භාවිතාකොට ඉදිකළ මෙම ගොඩනැඟිල්ල තමා ඝාතනය කිරීම සඳහා යොදන ලද උපක්‍රමයක්‌ බව සැකකළ රජු මෙහි ඉදිකිරීම් නැවැත්වීමට අණකළ බවට ද මතයක්‌ පවතී. ක්‍රි.ව.1771 දී වැඩ ඇරඹූ දෙගල්දොරුව රජමහා විහාරයේ ඉදිකිරීම් අවසන්කොට ඇත්තේ ක්‍රි.ව.1786 දී රාජාධි රාජසිංහ රජුගේ පාලන සමයේ ය. එම විහාරයේ වැඩකටයුතු අවසන්වීමට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජු අභාවප්‍රාප්ත විය. අඩක්‌ වැඩ නිමවී තිබූ ගල්මඩුව ගෙඩිගේ ඉදිකිරීම් නිමනොවීමට එය ද හේතුවන්නට ඇතැයි අනුමාන කළහැකිය. රාජාධි රාජසිංහ රජ සමයේ දී දෙගල්දොරුවේ විහාර කර්මාන්තය නිමකොට එම විහාරයට ගම්බිම් පූජා කෙරුණ ද ගල්මඩුවේ ඉදිකිරීම් සම්පූර්ණ නොකෙරුණේ ඇයිද යන ගැටලුව මතුවේ. මෙයට හේතුව ගල්මඩුව බෞද්ධ විහාරයක්‌ ලෙස ගොඩනඟන ලද්දක්‌ නොවීම විය හැකිය. කෙසේනමුත් මෙහි ඉදිකිරීම් කටයුතු නැවැත්වූ අවධිය වනවිට එහි වැඩ බොහෝදුරට නිමවී තිබෙන්නට ඇතැයි හෙන්රි කේව් සඳහන් කරයි. (Cave 1908:353). මෙතුළ තිබී කිසිදු ප්‍රතිමාවක්‌ හෝ හමුවී නොතිබීම මත මෙම ගොඩනැගිල්ල එය ඉදිකිරීම සඳහා මුල්වූ අරමුණ වෙනුවෙන් කිසිදා භාවිතයට ගෙන නොමැති බව නිශ්චිතව පැවසිය හැකි වේ. වැඳුම්පිදුම් කිරීම සඳහා විහාරයක්‌ නොතිබීම හේතුවෙන් ගෙඩිගේ ගොඩනැඟිල්ලට පිටුපසින් පිහිටි කුඩා පිළිමගෙය ප්‍රදේශවාසී ජනතාව විසින් ඉදිකරගන්නා ලද බව සඳහන්ය. (පෞද්ගලික සම්ප්‍රේෂණ සුමංගල හිමි:2013.06.24). ඉදිකිරීම් නැවැත්වීමෙන් පසු දීර්ඝ කාලයක්‌ අතැර දමා පැවති ගෙඩිගේ ගොඩනැගිල්ල බෞද්ධ විහාරයක්‌ වශයෙන් සංවර්ධනය කරන ලද්දේ 1900 වසරේ දී පූජ්‍ය පෙතියාගොඩ විපස්‌සි ස්‌වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි.

ගල්මඩුව ගෙඩිගේ වාස්‌තුවිද්‍යාත්මක ලක්‍ෂණ

ගෙඩිගේ නැමැති වාස්‌තු විද්‍යාත්මක නිර්මාණය පැරණි පාලි ග්‍රන්ථවල දැක්‌වෙන 'ගිඤaජකාවසථ' නම්වූ ගොඩනැඟිල්ල බව හඳුනාගන්නා ලද්දේ මහාචාර්ය සෙනරත් පරණවිතාන විසිනි. පාලි බසින් 'ගිඤaජකාවසථ' යන්නෙහි අරුත 'ගඩොලින් තැනූ ගෘහය' යන්නයි. (බුද්ධදත්ත හිමි 1998:182' Malalasekera 1960:764). බුදුරජාණන් වහන්සේ ගිඤaජකාවසථ නම්වූ ගොඩනැඟිල්ලක වැඩ විසූ බව අට්‌ඨකථාවන්හි සඳහන් ය. නමුත් මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා මෙය බෞද්ධ සම්ප්‍රදායට අනන්‍යවූ ගොඩනැඟිල්ලක්‌ නොවන බවත් බුද්ධකාලීන භාරතයේ පරිබ්‍රාජක ආදී ආගමිකයන් විසින් ද භාවිත කරන ලද, සංචාරකයන් සඳහා ඉදිවූ ගොඩනැඟිලි විශේෂයක්‌ බව සඳහන් කරයි (Malalaseker) 1960:765). අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගය දක්‌වාම ලක්‌දිව තුළ පැවති ගෙඩිගේ ප්‍රතිමා ගෘහ නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය සඳහා අනුරාධපුරයේ ඡේතවනාරාම පිළිමගෙය, මාලිගාවිල පිළිමගෙය, පොළොන්නරුවේ ලංකාතිලක පිළිමගෙය, තිවංක පිළිමගෙය, හා ථූපාරාම පිළිමගෙය, නාලන්දා ගෙඩිගේ, උඩුනුවර ලංකාතිලක පිළිමගෙය, ගම්පළ ගඩලාදෙණිය, අස්‌ගිරිය ගෙඩිගේ සහ මහනුවර නාථ දේවාල ගෙඩිගේ යන වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයන් නිදර්ශන සපයයි.

මූලික වශයෙන් ගල්මඩුව ප්‍රතිමා ගෘහය ප්‍රධාන කොටස්‌ දෙකකින් සමන්විත වේ. එනම් ශිඛරාකාරව ඉහළට නැඟෙන පියස්‌සකින් යුත් ගර්භ ගෘහය සහ එය මැදිකොට ගොඩනගා ඇති මණ්‌ඩපය වශයෙනි. මණ්‌ඩපය හෙවත් පිටතින් පිහිටි සම්පූර්ණ ගලින් ගොඩනංවන ලද කොටස මෙම ගොඩනැඟිල්ලට 'ගල්මඩුව' යන නම ව්‍යවහාර වීම කෙරෙහි පාදකවී ඇත. පැත්තක දිග අඩි 69 ක්‌ වූ මෙය අඩි 2ක්‌ පමණ උස්‌වූ අධිෂ්ඨානයක්‌ මත ගොඩනංවා තිබේ. අධිෂ්ඨානය පිටතට නෙරා සිටින පැන්නුම් තුනක්‌ ආකාරයෙන් නිර්මිතය. මණ්‌ඩපයේ පිටත බිත්තිය බොරදම්වලින් සමන්විත වේ. ආරුක්‌කු හැඩය ගත් කවුළු සහ දොරටු මෙම සමස්‌ත ගොඩනැඟිල්ලේ ඉතා ආකර්ෂණීය අංගයකි. මණ්‌ඩපයේ පැති තුනකින් කවුළු පහ බැගින් පවත්නා අතර බටහිර දෙස බිත්තියෙහි මධ්‍ය කවුළුව වෙනුවට ද්වාරය පිහිටියේය. එක්‌ කවුළුවක පළල අඩි 4 1/2 ක්‌ වන අතර මණ්‌ඩපයේ බිත්තියේ ඝනකම අඩි 3 1/2 කි. පිටත බිත්තියෙහි කවුළු සහ දොරටුව වටා ශෛලමය රාමුවක්‌ දක්‌නට ලබේ. (Cave 1908:354). මණ්‌ඩපයෙහි ඉහළ කොටස පිටතට නෙරා සිටින ආකාරයෙන් නිර්මිත ය. මණ්‌ඩපය සහ ගර්භගෘහය අතර අඩි 14 ක ප්‍රමාණයේ පුළුල් අවකාශයක්‌ පවතී. ගර්භ ගෘහය වටා පිහිටි මෙය ප්‍රදක්‍ෂිණාපථයක්‌ ලෙස භාවිතයට ගැනීමට සුදුසු අයුරින් ගොඩනඟන්නට ඇතැයි සැලකීම සාධාරණ ය. මුල්කාලීනව මෙම කොටස පියස්‌සකින් ආවරණයවී නොපැවති බව 1908 වර්ෂයේ ප්‍රකාශිත හෙන්රි කේව්ගේ The Bank of Ceylone ග්‍රන්ථයෙන් ප්‍රකට වේ.

ගෙඩිගේ ප්‍රතිමාගෘහයේ සුවිශේෂතම අංගය වනුයේ කේතුකාකාර ස්‌වරූපයෙන් ඉහළට නැංවෙන පරිදි නිර්මිත ගර්භ ගෘහයයි. ගර්භගෘහය ඉතා උස්‌ව ගොඩනඟා ඇතිහෙයින් එහි පාදම වැඩි ගැඹුරකට විහිදී පවතින බව අනුමාන කළහැකි ය. ගර්භගෘහයේ පිටත බිත්තිය ද බොරදම්වලින් සමන්විතවේ. ගර්භ ගෘහයට පිවිසීම සඳහා බටහිර දෙසින් පමණක්‌ ද්වාරයක්‌ පිහිටි අතර එය සහ මණ්‌ඩපයේ ප්‍රධාන දොරටුව එක එල්ලයේ පිහිටා තිබේ. මෙම දොරටු දෙකම අඩි 6 ක පළලින් යුක්‌තය. ගර්භයේ ද්වාරය කුඩා ආරුක්‌කු හැඩ හයක්‌ ක්‍රමයෙන් ඉහළට විහිදෙමින් එහි මුදුණත තුඩක්‌ ආකාරව නිමැවෙන අන්දමින් නිර්මිත ය. දොරටුව වටා ගර්ග භෘහයේ පිටත බිත්තිය ආරුක්‌කු හැඩය සහිත රාමුවක්‌ ස්‌වරූපයෙන් නිර්මාණය කර ඇත. ගර්භ ගෘහයේ ඇතුළත ඉහළ බැලීමේ දී පියගැටපෙළක අනුක්‍රමයෙන් ඉහළ විහිදෙන සිහින් පටි ආකාරය ගන්නා උපරිව්‍යqහය දැකගතහැකි ය. මෙම තීරු අලංකරණයකොට ඇති විචිත්‍ර මල් මෝස්‌තර වඩාත් මෑතකාලීන නිර්මාණයක්‌ ලෙස සැලකීමට පුළුවන. ගර්භය මුදුණත බිත්තියේ සිව්පැතිවල චෛත්‍ය සතරක රේඛාමය සිතුවම් දර්ශනය වේ. වර්තමානයේ දී මෙතුළ බුද්ධ ප්‍රතිමාවක්‌ තැන්පත්කොට තිබුණ ද ගර්භ ගෘහය ඇතුළත ප්‍රතිමාවක්‌ සඳහා ඉදිකළ ආසනයක්‌ හැරුණුවිට වෙනත් කිසිවක්‌ නොතිබූ බව හෙන්රි කේව් පවසයි (Cave 1908:354) ගර්භ ගෘහයේ උපරිව්‍යqහය පිටතින් අනුක්‍රමයෙන් කුඩාවෙමින් ඉහළට විහිදෙන කේතුකාකාර ස්‌වරූපයේ මහල් හතකින් සමන්විතය. මෙම සෑම මහලකම සිව්කොණෙහි කුඩා බුබ්බුලාකාර ව්‍යහයන් පවත්නා අතර සෑම මහලකම පැති සතර ආරුක්‌කු හැඩයේ කවුළු ස්‌වරූපයේ කොටස්‌වලින් යුක්‌තය. දකුණු ඉන්දීය හින්දු දේවාලයන්හි ද ප්‍රධාන ලක්‍ෂණයක්‌ වනුයේ ක්‍රමයෙන් කුඩාවෙමින් ඉහළට විහිදෙන ගර්භ ගෘහයයි. විමාන යනුවෙන් හඳුන්වනු ලබන මෙම වාස්‌තු විද්‍යාත්මක අංගය සෘජුකෝණාස්‍ර්‍කාර හෝ වෘත්තාකාර හැඩයක්‌ දරයි. එය මහල් එකක සිට මහල් සතක්‌ දක්‌වා විවිධ උස්‌ මට්‌ටම්වලින් යුක්‌තවිය හැකිය. පහළම මහලේ සිට ඉහළින්ම පිහිටි කොත දක්‌වා වූ මහල් සියල්ල එකම හැඩයක්‌ දරන මුත් ක්‍රමයෙන් කුඩාවෙමින් ඉහළට විහිදීම මෙහි විශේෂිත ලක්‍ෂණයකි. එසේම සමස්‌ත දේවාල සංකීර්ණය අර්ධ මණ්‌ඩපය, අන්තරාලය, ගර්භ ගෘහය යන අංගයන්ගෙන් සමන්විතය. (Raz 1972:48) ගමේ අනුව ගල්මඩුව ප්‍රතිමා ගෘහයේ නිර්මාණකරණය සඳහා දකුණු ඉන්දියානු හින්දු වාස්‌තු විද්‍යාත්මක සම්ප්‍රදායයේ ආභාසය ලබා ඇති බව විද්‍යමානවන කරුණකි. මෙම සමස්‌ත ගොඩනැගිල්ල නිර්මාණකරණය සඳහා වැලිගල් සහ ගඩොල් උපයෝගි වී තිබේ. මණ්‌ඩපය කොටස සම්පූර්ණයෙන්ම වැලිගලින් සකසාගත් කුට්‌ටිවලින් ගොඩනඟා ඇත. ගර්භ ගෘහයේ පහත මාලය සඳහා වැලිගල් කුට්‌ටි ද උපරිව්‍යුහය ගඩොල් ද භාවිතකොට තිබේ. 

ගල්මඩුව ගෙඩිගේ ස්‌මාරක අංක 9898 යටතේ ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. (ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්‌මාරක ලේඛනය - මහනුවර දිස්‌ත්‍රික්‌කය). මෙම පුරාවිද්‍යාත්මක ස්‌මාරකය සංරක්‍ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඇරඹුණේ 1962 වර්ෂයේ ය. මේ යටතේ ගර්භාගෘහය සහ පිටත මණ්‌ඩපය අතර අවකාශය දැව පරාල යොදා රට උළුවලින් සෙවිලි කෙරුණු අතර අන්තරාලයේ බිම අතුරා තිබූ පස්‌ හා බොරළු ඉවත්කොට සමචතුරස්‍ර මැටි උළු අතුරන ලදී. (ASCAR 1964:73; ASCAR 1970-77:49) වර්තමානයේ දී මෙම අන්තරාලය කොටසෙහි මුල් සංරක්‍ෂණයේ දී යොදන ලද උළු ඉවත්කොට ලෝහමය තහඩු සෙවිලිකොට තිබෙණු දක්‌නට ලැබේ. මෙයට අමතරව ගර්භ ගෘහයේ පිටත ඉහළ මහල්වල සිව්කොණෙහි වූ බුබ්බුලාකාර කොන්වලට සහ ගොඩනැගිල්ලේ මුදුණතට 1966 දී කොත් සවිකරන ලදී.

ප්‍රධාන වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයවන ගෙඩිගේ ගොඩනැඟිල්ලට අමතරව 19 සියවසේ දී ඉදිකරන ලද කුඩා පිළිමගෙයක්‌ ද මෙම විහාරභූමියේ පවතී. ගම්වැසියන් විසින් මෙය තනා ඇත්තේ තමන්ට වැඳුම්පිදුම් කිරීම සඳහා විහාරයක්‌ නොතිබූ බැවිනි. දිග සහ පළල අඩි 31 1/2 X26 ප්‍රමාණයෙන් යුත් මෙය ද ගර්භ ගෘහයකින් සහ අන්තරාලය කොටසකින් යුක්‌ත ය. මෙහි විශේෂ අංගයක්‌ වශයෙන් ගර්භ ගෘහයේ පිටත බිත්තියට සම්බන්ධකොට නිමවා ඇති අටවිසි බුද්ධරූප සමූහය දැක්‌වීමට පුළුවන. මෙම බුදුරූ එකිනෙක අතර අවකාශයේ බිත්තියෙහි ඒ ඒ භවයන්හි බෝසතාණන් වහන්සේ ඉපිද සිටි ආත්මභාවයන් නිරූපණය කෙරෙන රූප සිතුවම් කොට ඇත. එයට අමතරව මල් සහ ලියවැල් මෝස්‌තරවලින් බිත්තිය අලංකෘත වී තිබේ. ගර්භ ගෘහයට පිවිසෙන ද්වාරය දෙපස දොරටුපාල රූප ද්විත්වයකි. ගර්භ ගෘහය තළ උතුරුපස බිත්තියට යාව විශාල හිඳි බුදුපිළිමයක්‌ ද, දෙපස බිත්තිවලට සම්බන්ධකොට තැනූ උසැති හිටි බුද්ධ ප්‍රතිමා ද්විත්වයක්‌ ද පවතී. ගර්භ ගෘහය ඇතුළත බිත්ති චිත්‍රණයකොට ඇත්තේ සත් සතිය, රහත් තෙරවරුන්ගේ රූප සහ සොළොස්‌මස්‌ථාන පිළිබිඹු කෙරෙන සිතුවම්වලිනි. බිත්ති තීරුවලට බෙදා සිතුවම් නිමවා තිබේ. පහළින්ම පිහිටි තීරුවෙහි නිරූපිත රහතන් වහන්සේලා මල් අතින් ගෙන මධ්‍යයේ පිහිටි බුදුරුව වන්දනා කරන ස්‌වරූපයෙන් වැඩසිටින අතර හිටි පිළිමවලට සමීපයේ ඇති රහත් රූප ද්විත්වය බුදුරුව වන්දනා කරන ආකාරයෙන් නිරූපිත ය. හිටි පිළිම සහ හිඳි බුදුරුව අතර අවකාශයේ සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවක තෙරවරුන් නිරූපණයකොට තිබේ. පහළ සිට දෙවැනි තීරුවෙහි බුද්ධත්වයෙන් අනතුරුව බුදුරදුන් ගතකළ සත්සතිය ද, ඉහළම තීරුවෙහි සොළොස්‌මස්‌ථානය ද චිත්‍රණයකොට ඇත. මෙම රූප අතර අවකාශයන් මල් සහ ලියවැල් මෝස්‌තරවලින් අලංකරණයකොට තිබේ. ගර්භ ගෘහයේ පියස්‌ස නිල්පැහැ පසුබිමක ඇඳි නෙලුම්මල් සතරක්‌ මගින් ජලාශයක්‌ ස්‌වරූපයට නිරූපණය කෙරේ.

මෙම ප්‍රතිමා ගෘහයේ සිතුවම් සහ මූර්ති ද මහනුවර යුගයේ චිත්‍ර හා මූර්තිවල ශෛලියට සමාන ය. දැව, මැටි, සහ බදාම භාවිතයෙන් මූර්ති නිමවා ඇත. මූර්තිවල සැකිල්ල දැවයෙන් තනා එය මැටියෙන් ආවරණයකොට ඇත. මෙය මහනුවර යුගයේ මූර්ති නිර්මාණකරණය තුළ බහුලව විද්‍යමානවන ලක්‍ෂණයකි. ඇතැම් ප්‍රතිමාවන්හි කන්, අත් ආදී අංගවල පිටත මැටි බදාමය ගැලවී ගොස්‌ දැවමය සැකිල්ල පිටතට දර්ශනය වේ. ප්‍රතිමාවල ඇස්‌ විවෘත, ඉදිරිය බලා සිටින අයුරින් නිමවා තිබීම, සිවුර ඒකාංශවීම, ප්‍රමාණයෙන් කුඩා, සමාන්තරව විහිදෙන රැලි ආකාරයට සිවුරේ රැලි නිරූපණය කිරීම ආදිය මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා කලාවට අනන්‍ය ලක්‍ෂණ ලෙස පෙන්වාදිය හැකිය. බිතුසිතුවම් අතර දක්‌නට ලැබෙන ඇතැම් මල් මෝස්‌තර යුරෝපීය ආභාසය ප්‍රකට කරයි. රෝසමල්වලට සමාන ලක්‍ෂණ සහිත මල් ද මෙහි පැවතීම මෙයට නිදර්ශනයකි. 

කෙසේවුවද පුරාවිද්‍යාත්මක ස්‌මාරකයක්‌ වශයෙන් මෙම කුඩා ප්‍රතිමාගෘහය ආරක්‍ෂා කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව නොපෙනේ. මෙහි බොහෝ ස්‌ථානවල සිතුවම් බෙහෙවින් දුර්වර්ණවී ඇති අතර ගර්භ ගෘහයේ පියස්‌ස තුළින් ගලා එන වැසි ජලය හේතුවෙන් ඇතැම් ස්‌ථානවල සිතුවම් සම්පූර්ණයෙන් මැකීගොසිනි. මෙම පිළිමගෙය ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්‌මාරකයක්‌ වශයෙන් රැකගැනීම අත්‍යවශ්‍යව පවතී.

ගල්මඩුව රජමහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් ඉහළ අගයක්‌ දරන්නේ හින්දු වාස්‌තු විද්‍යාවට සෘජුවම නෑකම් කියන ගෙඩිගේ ප්‍රතිමා ගෘහය හේතුවෙනි. මෙහි නිර්මාණ ලක්‍ෂණ අනුව මෙය මහනුවර රජුගේ හින්දු භක්‌තික මෙහෙසියනට ආගමික වතාවත් සිදුකිරීමේ අරමුණින් ගොඩනංවන ලද කෝවිලක්‌ ලෙස හැඳින්වීම සාධාරණ ය. කෙසේනමුත් යම් හේතුවක්‌ මත වැඩකටයුතු නිම නොවී නවතා ඇති මෙම ස්‌මාරකය පසුකාලීනව බෞද්ධයන් විසින් ප්‍රතිමා ගෘහයක්‌ වශයෙන් ප්‍රයෝජනයටගෙන තිබේ.පැරණි ලක්‌දිව වාස්‌තු විද්‍යාව තුළ මෙබඳු වෙනත් නිර්මාණයක්‌ නොපැවතීම විශේෂත්වයකි. මෙයට අමතරව හින්දු වාස්‌ත විද්‍යාත්මක ලක්‍ෂණ දරන බෞද්ධ ප්‍රතිමා ගෘහයක්‌ වනුයේ මාතලේ ප්‍රදේශයේ පිහිටි, පල්ලව ගෘහනිර්මාණ ශිල්පීය ලක්‍ෂණ දරන නාලන්ද ගෙඩිගේ පමණි. මේ අනුව හින්දු සහ බෞද්ධ සංස්‌කෘතික උරුමය සුසංයෝග වූ සිද්ධස්‌ථානයක්‌ වශයෙන් ගල්මඩුව විහාරය සුවිශේෂී වැදගත්කමක්‌ උසුලයි. පසුකාලීනව ගොඩනඟන ලද කුඩා ප්‍රතිමා ගෘහය මහනුවර යුගයේ නිර්මාණයක්‌ නොවන නුමුදු සියවස්‌ එකහමාරක්‌ පමණ පැරණි නිර්මාණයක්‌ වීමත්, කලාත්මක වශයෙන් වැදගත්කමක්‌ උසුලන බිතුසිතුවම් අන්තර්ගතවීමත් හේතුවෙන් පුරාවිද්‍යා ස්‌මාරකයක්‌ වශයෙන් එය ආරක්‍ෂා කරගැනීමේ වගකීම පුරාවිද්‍යා බලධාරීන් වෙත පවතින බව අවධාරණය කළයුතු කරුණකි.


කෙටි යෙදුම්:

ASCAR - Archaeological Survey of Ceylon Annual Report

ආශ්‍රිත මූලාශ්‍ර

බුද්ධදත්ත ස්‌ථවිර, පොල්වත්තේ, 1998, පාලි - සිංහල අකාරාදිය, බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල.

ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්‌මාරක ලේඛනය - මහනුවර දිස්‌ත්‍රික්‌කය

Archaeological Survey of Ceylon Annual Report for 1964,Archaeological Survey of Ceylon.

Archaeological Survey of Ceylon Annual Report for 1965,Archaeological Survey of Ceylon.

Archaeological Survey of Ceylon Annual Reports 1970-1977, Department of Archaeological Survey.

Cave, Henry W., 1908, The Book of Ceylon, Cassell and Company Limited, London.

Lawrie, Archibald Campbell, 1896, A Gazetteer of The Central Province of Ceylon - Volume I, Government Printer, Ceylon'

Malalasekera, G.P., 1960, Dictionary of P‚li Proper Names - Volume I, The P‚li Text Society, London.

Raz, Ram, Essay on the Architecture of the Hindus, 1972, Indological Book House, Delhi.

පෞද්ගලික සම්ප්‍රේෂණ, ගම්මුල්ලේ සුමංගල හිමි, 2013.06.24

No comments:

Post a Comment