Monday, 23 November 2015

නිකසළ පිරිස් මැද ඔබ ද එක් අයෙක් වෙන්න

නිකසළ පිරිස් මැද ඔබ ද එක් අයෙක් වෙන්න


භාග්‍යවතුන් වහන්සේ පිරිස් දෙකක් පිළිබඳව දේශනා කරති. ඒ දෙපිරිස නම් කසළ සහ නිකසළයි. “ද්වෙ මෙ භික්‍ඛවෙ පරිසා කතමා ද්වෙ. පරිසකසටො ච පරිස මණ්ඩෝච” යනුවෙන් ඒ බව සඳහන් වෙයි. අංගුත්තර නිකායේ, දුක නිපාතයේ පඨම පණ්ණසකයේ, පරිඝ වර්ගයේ පස්වෙනි සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ පිළිබඳව විමසා බලමු.

භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට දේශනා කරති. “මහණෙනි, කසළ පිරිස නම් කවරහුද? මේ ශාසනයෙහි යම් පිරිසක භික්‍ෂුහු ඡන්දයෙන් අගතියට යෙත්ද, ද්වේශයෙන් අගතියට යෙත්ද මෝහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසළ පිරිස යැයි කියනු ලැබේ. මෙහි ඡන්ද යනු කැමැත්තයි. කැමැත්ත නිසා අගතියට යාම යනු යම් වූ ලාභ ප්‍රයෝජන නිසා අන් අයට වැරැදි කිරීමයි. තමා නිසා තමාගේ දෙමව්පිය, දූදරු සොහොයුරු සොහොයුරියන් හෝ ඥාතීන් හෝ හිතවන්තයන් නිසා හෝ පස් පව්, දස අකුසලයකට යොමු වීමය. තමා නිසා ප්‍රාණඝාත කිරීමය. සොරකම්, කිරීමය. ඉන්ද්‍රියන් වරදවා පිනවීමය. බොරුකීමය. මදයට හා ප්‍රමාදයට හේතුවන මත්වතුර පානය කිරීමය. මේවා තම හෝ තම ආත්මය යන දෘෂ්ටියෙන් වැරැදි කිරීමය.දස අකුසල්වලට යොමුවීමේ දී තව තව අකුසලයට යොමුවේ. එනම් කයින් සිදුවන වැරැදිවලට අමතරව, බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම හා හිස් වචන කතා කිරීමද වේ. මෙයට අමතරව, විෂම ලෝභයත්, තරහවත්, මිථ්‍යා දෘෂ්ටික අදහස්වලින් ද යුතුවීමය. මෙහිදී අගතියට යාම යන අදහස නිරවුල් කරගත යුතු ය. අශ්‍රැතවත් සිටින යම් පුද්ගලයෙක්, හොඳ නරක නොසිතා අයහපතෙහි හැසිරෙන විට, අර සතාගේ නම කියමින්, ඒ වගේ හැසිරෙනවා යැයි ජන සමාජයෙහි පවසන බවක් පෙනෙන්නට තිබේ.

මෙම අදහස භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් පැවැතුනු බව පහත සඳහන් ගාථාවෙන් පැහැදිලි වෙයි.

අප්පස්සුතායං පුරිසො - බලිවද්දෝව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඩ්ඪන්ති

ඇසූ පිරූ තැන් නැති තැනැත්තා ගොනෙකු මෙන් මසින් වැඩේ. එසේ මසින් වැඩුනත් ප්‍රඥාව හෙවත් නුවණ නම් නොවැඩේ. ධම්මපදයෙහි සඳහන් මෙම අදහස දේශනා කරන්නට හේතු වූයේ සැවත්නුවර ජේතවනාරාමයේ විසූ ලාලුදායි නම් තෙරුන් වහන්සේ නමක් මුලකරගෙනය. මෙම තෙරනම තැනට සුදුසු ආකාරයෙන් නුවණ මෙහෙයවා කථාවට හෝ දෙසීමට සමතෙක් නොවීය. මේ නිසා මංගල කරුණු පැවසිය යුතු තැන අවමඟුල් කැරණුත්, අමංගල්‍යයක පැවැසිය යුතු සිත නිවන අදහස් වෙනුවට මංගල කරුණුත් පවසති. මෙම තෙරුන්ගේ මෙම චර්යාව බොහෝ දෙනාට ඉතාමත් අප්‍රසන්න විය. ලාලුදායි තෙරුන්ගේ මෙම අඥානකම පිළිබඳව, අනෙකුත් තෙරුන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව භාග්‍යවතුන් වහන්සේ විසින් ඉහත ගාථාව දේශනා කරන ලදී. මෙහිදී අගනා වචනයක් අඩංගුව ඇත. එනම් “අප්පස්සුත” නම් වචනයයි. මින් අදහස් කරන්නේ දත යුතු හෝ ඉගෙන ගත යුතු ධර්ම බොහෝසෙයින් හෝ මඳ වශයෙන් හෝ නො අසන ලද, නොහදාරන ලද, සහ පුරුදු නොකරන ලද නම් වූ අදහසයි. “අප්පස්සුතෝ” වන්නේ එවැනි පුද්ගලයායි. මෙම අදහස් පැවිදි ජීවිතයට ගළපා බැලුවොත් නම් මෙවැනි අදහසකි. එනම් පැවිදි වුවද අවශ්‍ය වූ මූලික ධර්ම විනය කොටස්වත් නොහදාරන ලද පුරුදු පුහුණු නොකරන ලද භික්‍ෂුවක ය යන අදහසයි. මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරන්නේ තරුණ දරුවන්ද මුල්කොට ගෙන ගෘහස්ථ ජීවිත ගත කරන පිරිසකට නිසා පැවිදි උතුමන් ගැන සඳහන් කරන්නේ නැත.

දරුවනේ, සුදුසු වයසේ පටන් බාහිර අධ්‍යාපනයත්, ගුණ නුවණ හෙවත් දහම් අධ්‍යාපනයත් සුදුසු පරිදි හා අවශ්‍ය පරිදි නොලැබීම මෙහි ‘අල්පශ්‍රැත’ ලෙස සඳහන් කළ හැකිය. යම් දරුවෙක් හෝ වැඩිහිටියෙක් වුවද එවැනි ඉගෙනීමක් ගුණ නුවණ දියුණු කර නොගැනීමට හේතුව කුමක්ද? කරුණු කිහිපයක් ගළපා ඉදිරිපත් කළ හැකි ය. එනම් අලසකම, අසතිය හෙවත් සිහිය නොපැවැත්වීම, කරුණු හොඳ නරක ලෙස පරීක්‍ෂා නොකිරීම, දුසිල්වත් හෙවත් පවට බරවීම, අසංවරය, සහ සසරෙහි පුරුදු කරන ලද පුණ්‍ය කර්මවල හීන බවයි. මෙවැනි පුද්ගලයෙකුගේ ගති ස්වභාවය කුමක්ද? මෙම පුද්ගලයා කම්මැලි හෙවත් අලසයෙක් නිසා ඉගෙනීමක් පවා නිසි සේ නොකොට ‘කකා බිබී’ නිදාගනිමින් නිකරුණේ වාඩිවී සිටිමින් ද, හිස්වචන කතා කරමින් ද කාලය ගත කිරීමට පුරුදු වීමයි. යම් දරුවන් පාසල් ගියද අලස වීම නිසා අධ්‍යාපනය නිසිලෙස සම්පූර්ණ නොකර ගනිති. අර්ථවත් දෙයක නොයෙදෙන මෙම පුද්ගලයා මෙම නිසා ගුණ, නුවණින්ද හීන වෙයි. එනමුත් කය වැඩෙමින් පවතී. මෙවිට සිදුවන්නේ කුමක්ද? හිස් ඔළුවක් සහ විශාල උදරයක් ඇති හා එය පෝෂණය කරන නිකම්ම නිකම් මනුෂ්‍යයෙක් වීම පමණක් ය. ඉහත ගාථාවෙහි බලිවද්ද හෙවත් ගොනෙකුට උපමා කළේ එවැනි අල්පශ්‍රැත පුද්ගලයා ය.

සමහර අයට බාහිර පිළිගත් අධ්‍යාපනයක් තිබේ. එනමුත් ගුණ නුවණෙහි අඩු බවක් හෝ හීනබවක් දක්නට ඇත. වර්තමානයෙහි බොහෝ දරුවන් නිසි බාහිර අධ්‍යාපනයක් ලබනු බව පෙනේ. මෙම අධ්‍යාපනය ලැබීමේ දී තරගකාරී බවකට පත්ව සිටින බවද පෙනේ. දරුවෝ උස් මහත්වී, එක්තරා මට්ටමකට එනම් වෘත්තීමය අවස්ථාවකට ගැළපෙන පරිදි ඉගෙනීමද නිමාකර ගනිති. එය ප්‍රශංසා කළ යුත්තකි. උපන් නිසා ජීවත්වෙනවාට වඩා ලද උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් තමාට යහපතක් වී අනුන්ටත් යහපතක්ම සිදුකිරීම උතුම්ම මනුෂ්‍ය ගුණාංගයකි. සම්මා සම්බුදු, මහරහත් උතුමෝ සහ බෝධිසත්ව චරිත එයට කදිම නිදසුන් ය. මේ නිසා ගුණ, නුවණ හෙවත් ප්‍රඥාව වඩා ගැනීම අත්‍යවශ්‍යම කරුණකි.

මොනතරම් රටේ ලෝකයේ පිළිගත් ලෞකික දැනුම තිබුණට, රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වලින් අධික අයෙක් බවට පත්ව ඇතිනම්, එම පුද්ගලයාගේ දෙලොව දියුණුව පිරිහීම පමණක් නොව පවුල් පරිසරයේ පටන් අනෙක් අයට සිදුවන අයහපත ගැන ඔබම සිතා බලන්න. ගුණ නුවණ දියුණු කරගැනීම නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ආකාරයෙන් ප්‍රඥාව අනුක්‍රමයෙන් දියුණුකර ගැනීමය. එම සම්‍යක් ප්‍රඥාව දියුණු කරගැනීමට නම් ක්‍රම තුනක් අනුපිළිවෙළින් පෙන්වා දී තිබේ.

1. සුතමය පඤ්ඤා
2. චින්තාමය පඤ්ඤා
3. භාවනාමය පඤ්ඤා යනුවෙනි.

සුතමය ප්‍රඥාව දියුණු කරගැනීමේ දී අල්පශ්‍රැත ස්වභාවයෙන් මිදී ක්‍රමයෙන් බහුශ්‍රැත අයෙක් බවට පත්විය හැකිය. විද්‍යා, කලා, වාණිජ ආදී කුමන ක්ෂේත්‍රයක වුවද ඇසීම, සාකච්ඡා කිරීම, දැරීම, පුරුදු කිරීම ඔස්සේ විෂය දැනුම දියුණු කරගැනීම ය. එසේ ඇතිකරගත් දැනුම ඔස්සේ කරුණු පිළිබඳව සිතීම, නුවණින් පරීක්‍ෂා කිරීම, අවශ්‍ය දේ ධාරණය කරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම නම් චින්තාමය ප්‍රඥාවයි. භාවනාමය ප්‍රඥා නම් නිවරැදි කරුණු ඔස්සේ සිත පුරුදු කිරීමයි. තමා ලද නිවරැදි දැනුම වඩා ප්‍රගුණ කරමින් ඵලය ලබමින් එහි හැසිරීමය.

මෙය පරමාර්ථ ධර්මයට ගළපා ගනිමු. “එහි පස්සික” ලෙසද, පර්යාප්ති ශාසනය ලෙසද දක්වා ඇති පරිදි ධර්මය ශ්‍රවණය කිරීමයි. සාකච්ඡා කිරීමයි. ත්‍රිපිටක ධර්මය ඉගෙනීමයි. චින්තාමය පඤ්ඤා නම් උගත් හා සම්මා සතියෙන් යුතුව අවබෝධ කරගනි. වීතරාග, වීතදෝස, වීතමෝහ දහම හා මාර්ගය, නැවත නැවතත් මෙනෙහි කිරීමයි. භාවනාමය පඤ්ඤා නම් මුල, මැද, අග පිරිසුදු, එනම් බ්‍රහ්මචරියාවට එක්කරන ධර්මය සිතෙහි පුරුදු පුහුණු කිරීමයි. කුසල චිත්තය දියුණු කිරීමය. සිත මුළුමනින්ම රාග, දෝස, මෝහ ආදී කෙලෙස්වලින් බැහැර කර ගනිමින් ලබන්නාවූ ප්‍රඥාවයි. කෙළවර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ ඇතිකර ගන්නාවූ අවබෝධයයි.

මෙසේ නිසි බාහිර අධ්‍යාපනයක් හා ගුණ නුවණ දියුණු නොකරගත් පුද්ගලයා, මස් මාංශ පමණක් වැඩුණු හිස් අයෙකි. එමෙන්ම බාහිර අධ්‍යාපනයක් තිබුණ ද ආධ්‍යාත්මික දියුණුවක් නැතිනම් ඔහු හෝ ඇයද, ධර්මයට අනුව යහපත් අයෙක් නොවේ. එවැනි අයගේ ද කයත්, මොළයත් වැඩුන ද, ‘මනස’ වැඩී නැත. එම නිසා රාග, ලෝභ, ගිනිවලින් ඔවුන් ඇවිලෙනු ඇත. තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන්, ගුණමකුකමෙන්, වෛරයෙන් බැඳෙනු ඇත. අතෘප්තිකර ආශාවන්ගෙන් යුතුව තෘෂ්ණාවට දාසයෙක් වනු ඇත. ඔවුහු මං මුළාවූවෝ ය. නොවැඩුනු මනසක් නිසා ඇතිවන ආදීනව ධම්මපදයේ මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි.

නත්ථි රාග සමෝ අග්ගී - නත්ථි දෝෂ සමෝ ගහෝ
නත්ථි මෝහ සමං ජාලං - නත්ථි තණ්හා සමා නදී

රාගය හා සමාන ගින්නක් නැත. තරහ වැනි ගැනීමක් නැත. මෝහය හා සමාන දැලක් නැත. තෘෂ්ණාව හා සමාන ගඟක් නැත.

තරුණ දූ පුතුන් ඇතුළු සැමටම සිතන්නට යයි ආරාධනා කරමි. උතුම් වූ ධර්මාවබෝධයම වේවා

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි

No comments:

Post a Comment