Monday, 30 November 2015

සංයෝජන ධර්ම හා අවිද්‍යාව

සංයෝජන ධර්ම හා අවිද්‍යාව

සසර වනාහි අගමුල නොපෙනෙන, සත්වයා මරමින් උපදවමින් ප්‍රවර්තනය කරවන භව චක්‍රයයි. “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති” ඒ අනුව සත්ත්වයාහට සසරෙහි අතරමං වී මහත් අසහනකාරී කටුක දුක්ඛිත අද්දැකීම් සහිතව ජීවත් වන්නට හේතු වන්නේ පුද්ගලයා සසරෙහි ඇද බැඳ තබන ක්ලේශ ධර්ම සමුදාය හෙවත් දසවිධ සංයෝජන ධර්ම නිසාවෙනි.

මෙම සංයෝජන ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකි ය.

1. ඕරම්භාගිය සංයෝජන
2. උද්ධංභාගිය සංයෝජන

මෙහිදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ යන පංචකය ඕරම්භාගිය සංයෝජන ගණයට වැටෙන අතර, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පංචකය උද්ධංභාගිය සංයෝජන ලෙස හීනයාන සූත්‍ර ධර්ම රැසකම විග්‍රහ වී ඇත.

“දස ඉමානි භික්ඛවේ සංයෝජනානි කතමානි දස? පංචෝරම්භාගියානි සංයෝජනානි. පංචුද්ධම්භාගියානි සංයෝජනානි, කතමානි පංචෝරම්භාගියානි? සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසෝ කාමච්ඡන්දෝ ව්‍යාපාදෝ ඉමානි පංචෝරම්භාගියානි සංයෝජනානි. කතමානි පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි? රූපරාගෝ අරූපරාගෝ මානෝ උද්ධච්චං, අවිජ්ජා ඉමානි පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි” (අං.නි 1 නාථවග්ග පී.ටී.එස්. 1979 – 17 පිට)

උක්ත සංයෝජන ධර්ම විමර්ශනය කිරීමේ දී ඒවා ප්‍රබල අකුසල මූලයන් වන ලෝභ දෝස, මෝහ පදනම් කරගෙන පවත්නා බව පෙනේ. සංයෝජන ධර්මයන්ගේ දසවැන්න අවිජ්ජාවයි. පටිච්චසමුප්පාද දේශනාවේ දී සත්ත්වයා විඳවන සකලවිධ දුක්ඛයන්ට මූලික වන ප්‍රධානම හේතුව වශයෙන් ද පෙන්වා දී ඇත්තේ අවිජ්ජාවයි. “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං......

අවිද්‍යාව හේතුකොට ගෙන සංකාර වේ. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප වේ. නාම රූප හේතුවෙන් සලායතන වේ. සලායතන හේතුවෙන් ස්පර්ෂය වේ. ස්පර්ෂය හේතුවෙන් වේදනාව වේ. වේදනාව හේතුවෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාව හේතුවෙන් උපාදානය වේ. උපාදානය හේතුවෙන් භවය වේ. භවය හේතුවෙන් ජාතිය වේ. ජාතිය හේතුවෙන් ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝනමනස උපායාසයෝ වෙති.

පුද්ගලයා සසර කතරේ අවුල් වූ නූල් බෝලයක් මෙන් නැවත නැවත උප්පත්තියට පමණුවන පීඩාවට පත්කරලන සංයෝජන ධර්මය අවිද්‍යාව බව මින් මනාව පැහැදිලි වෙයි. එසේම අවිද්‍යාව නසා විද්‍යාව පහළ වූ තැන සසර සියලු දුක්ඛයන් නවතාලිය හැකි බව ද පටිච්චසමුප්පාද දේශනාවෙන් ප්‍රකාශිත වී ඇත. මෙම අවිද්‍යාව පිළිබඳව පැහැදිලි නිර්වචනයක් පහත සටහන අනුව හඳුනාගත හැකි ය.

“තන්ථ කතමං අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං දුක්ඛ සමුදයේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං අයං වුච්චති අවිජ්ජා” (විහංග පාලිය)

දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යැයි කියනු ලබන චතුරාර්ය සත්‍යය නොදැනීම ඒ අනුව අවිද්‍යාවයි. දුශ්ප්‍රාඥ බව හෙවත් මෝහය යනුවෙන් ද කියැවෙන්නේ මෙකී අවිද්‍යාවමයි. අවිද්‍යාව ප්‍රඥාව මුවා කරවන කඩතුරාවයි.

අවිජ්ජා නීවරණං සන්තානං තණ්හා සංයෝජනං” (අනමතග්ග පඨම සූත්‍රය, සං.නි. 2)

අවිද්‍යාවට ප්‍රඥාව මුවාකරවීමට ආධාර කෙරෙන්නේ සත්ත්වයින්ගේ සිත් තුළ වන කාමච්ඡන්ද ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නිවරණ පංචකය විසිනි. තවද ‘මම’ යන ආත්ම දෘෂ්ටියට සත්ත්වයා ඇදෙන්නේ අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව දුරු කිරීම ආරම්භ වන්නේ සෝවාන් මාර්ග ඵලය ලැබීමෙනි. බොහෝ සූත්‍රවල කියැවෙන ආකාරයට සත්ත්වයන්ගේ සසර ගමන අවසන් නොවන්නේ අවිද්‍යාව විසින් ඇති කරනු ලබන සංස්කාර හේතුවෙනි. එනම් අවිද්‍යාව මඟින් සංස්කාර පහළ නොකරන්නේ නම් සත්ත්වයාට සසරක් ශේෂ වන්නේ නැත. අවිද්‍යාව විසින් මතුකරන ලද සංස්කාර ලෝකය සැබැවින්ම අනිත්‍යය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුතු වීම මෙහිලා ප්‍රධාන දෝෂය වේ. අවිද්‍යාව හා අත්වැල් බැඳගත් සංස්කාර ධර්මවල ස්වභාව ලක්‍ෂණ විවිධාකාරයෙන් පෙළ දහම තුළ සටහන් වී ඇත.

1. “සබ්බේ සංඛාරා අනිච්චා” (සියලු සංස්කාරයෝ අනිත්‍යය)
2. “වය ධම්මා සංඛාරා” (සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය)
3. “සංඛාරා ඛණ භංගුරා” (සංස්කාරයෝ ධර්මයෝ මොහොතක් පාසා නැසෙති)
4. “සබ්බ සංඛාර සමථෝ” (සියලු සංස්කාර මථනය කළ යුතුය)

උක්ත ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන්නේ අවිද්‍යාව නිසා ඇති වන සංස්කාර හේතුවෙන් කර්ම රැස්වන නිසා එයම මෝක්‍ෂාවබෝධයට බාධාවක් වන බවයි.

සසර ගමන අවුල් කරන සත්‍යය වසන්නා වූ අවිද්‍යාව වනාහි මහත් වූ අන්ධකාරයකි. ලෝකය වරදවා දක්වන පෙන්වන පාට කණ්ණාඩියක් වැනි ය. නීල වර්ණ උපැස් යුවලකින් ලෝකය බලන කල නීල වර්ණයෙන් යුතු පරිසරයක් දෘෂ්‍යමාන වන්නාසේම අවිද්‍යා සහගත සිතින් තමාගේ සංචස්කන්ධ හා බාහිර ලෝකය දක්නාවිට එය ඇති සැටියෙන් තත් වූ ආකාරයෙන් නොව, අසාර ලෝකය සාර සැටියෙන්, අනිත්‍ය ලෝකය නිත්‍ය හැටියටත්, දුක්ඛ ලෝකය සුඛ හැටියටත් හා අනාත්ම ලෝකය ආත්ම වශයෙන්ද දකියි. අවිද්‍යා පටලයේ භයානකත්වය එයයි. තවද අවිද්‍යාව ඇතිවිට ජාති, ජරා, ව්‍යාධි, මරණ ඇත්තාවූ, නිතර දුක්ගෙන දෙන පංචස්කන්ධය පරම සුන්දර දෙයක් ලෙස පෙනී යයි.

ලෝකයේ ඇති උතුම් වටිනා දෙය හැටියට පෙනී යයි. එසේ වරදවා පෙන්වීම නිසා ඔහුට හෝ ඇයට තම පංචූපාදානස්කන්ධය පිළිබඳ අස්මිමාන, අහංකාර හා මමංකාරාදිය පහළ වේ. සසරටම නම්‍ය වේ. දුක් සහගත සසර දිගුකරවන සසරේ සමුදය ලක්‍ෂණ අවිද්‍යාවෙන් වසාලන බැවින් නන්දිරාගය දුක් ඇතිවීමේ හේතුව බව පුද්ගලයාහට අවබෝධ නොවේ. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අවිද්‍යාවෙන් ප්‍රතිච්ඡාදනය කරන නිසා පුද්ගල පංචස්කන්ධය සුවයක් හැටියට දැනේ.

දුක්ඛ නිරෝධාර්ය සත්‍ය වසාලන අවිද්‍යාව නිසා සත්ත්වයාහට ඒ පංචස්කන්ධාගත පැවැත්ම සැපයක් ලෙස වැටහී නැවත නැවත එය උත්පාදනය කර ගැනීමෙහිලා ආලය ඇති වෙයි. ස්කන්ධ පංචකය පෝෂණය කිරීමට මෙන්ම එය නැවත නැවත රක්‍ෂණය කිරීමට කැමැත්ත ඇති වේ. මෙනිසා අවිද්‍යා සහගත සංස්කාරලෝකය මතුව පෙනේ. මෙපරිදිම අවිද්‍යාභරිත මිනිසා ප්‍රාණඝාතයෙන්, අදින්නාදානයෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් නිස්සාර ලෝකය සරු ලෙස සිතා පංචදුශ්චරිතයෙන් මහත් ආයාසකර කාම දුගතියකට නැවත නැවත ඇද වැටෙනු පෙනේ. මේ සියල්ල අවිද්‍යාවේ අනිටු ප්‍රතිවිපාක බව තේරුම් ගත යුතු ය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වේ යැයි දැක්වූව ද අවිද්‍යාව සඳහා ද වෙනත් හේතු ප්‍රත්‍යය හේතුපාදක වන බවයි. එහෙත් අවිද්‍යාව හා තෘෂ්ණාව මූල කාරණා ලෙස කැපී පෙනීමත් පෙළ දහම තුළ සටහන් වී තිබේ. සංසාර බන්ධනයට අවිද්‍යාව සහිත විවිධ හේතු ප්‍රත්‍යයන් බලපවත්වන බව මේ අනුව තීරණය කළ හැකි ය.

අවිද්‍යාව දුරුකර ගැනීමේලා අටුවාවේදී පංචෝපක්‍රමයක් පෙන්වා දී ඇත.

1. ගුරූපවාස - දැන උගත් ගුරුවරයෙකු ඇසුරු කිරීම.
2. උද්දේස - ත්‍රිපිටකය උදෙසීම, පටිපුච්ඡා, ධර්මයේ ගැටලු තැන් ප්‍රශ්න කිරීම.
3. කාලේන ධම්ම සවන - සුදුසු හැමකල්හිම ධර්ම ශ්‍රවණය කිරීම.
4. ඨානාඨාන විනිච්ඡය - සිදුවිය හැකි නොහැකි බව සතියෙන් මෙනෙහි කිරීම.

අවිද්‍යාව දුරලා බුදු බව පසක් කිරීමෙහි දී සිද්ධාර්ථ තවුසාණන් විසින් ද අනුගමනය කරන ලද්දේ ප්‍රධාන ක්‍රමෝපාය ත්‍රිත්වයකි.

1. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - අවබෝධ කටයුතු චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම.
2. භාවේතබ්බං ච භාවිතං - වැඩිය යුතු මනස වැඩීම.
3. පහාතබ්බං පහීනං - ප්‍රහාණය කළයුතු තෘෂ්ණාව සපුරා ප්‍රහාණය කිරීම.

පූර්ණ තෘෂ්ණා ප්‍රහාණය සඳහා පියවර තුනක් සම්පූර්ණ විය යුතු ය. එනම්,

1. තදංග ප්‍රහාණය - මොහොතකට තෘෂ්ණාව යටපත් කිරීම.
2. විෂ්කම්බණ ප්‍රහාණය – ධ්‍යාන මගින් තෘෂ්ණව මැඩලීම.
3. සමුච්ඡේද ප්‍රහාණය – තෘෂ්ණාව මුලිනුපුටා දැමීම.

තවද ඒ පිළිබඳ මෙසේ සටහන් වී ඇත.

අප්පමාද රතෝ භික්‍ඛු - පමාදේ භය සිවා
සංයෝජනං අනුංථූලං - ඩහං අග්ගිව ගච්ඡති

ලොකු කුඩා සංයෝජන ධර්ම විනාශ කරමින් මතු කිසි කලෙක මතු නොවී එන පරිදි ලෝකෝත්තර මාර්ග කුසලයන් විසින් ක්ලේෂයන් සමූල ඝාතනය කිරීම සමුච්ඡේද ප්‍රහාණයයි. සමුච්ඡේද ප්‍රහාණයෙන් අවිද්‍යාව නැසූ කල්හි විද්‍යාව පහළ වෙයි. බුදුරදුන් විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් එකී අසිරිමත් විද්‍යාව හැඳින්වීම සඳහා පර්යාය පද රාශියක්ම භාවිතා කොට ඇත.

1. චක්ඛුං උදපාදි - දහම් ඇස පහළ විය
2. ඤාණං උදපාදි - නුවණ පහළ විය
3. පඤ්ඤා උදපාදි - ප්‍රඥාව පහළ විය
4. විජ්ජා උදපාදි - විද්‍යාව පහළ විය
5. ආලෝකෝ උදපාදි - ආලෝකය පහළ විය

උක්ත සියලු පදයන්ගෙන් අර්ථවත් කෙරෙන්නේ අවිද්‍යා ප්‍රතිපක්‍ෂ විද්‍යාවම පූර්ණ ඥානනයට සත්ත්වයාව පත්කරවන බවයි. තවද ක්ලේෂ ධර්ම, සංයෝජන ධර්ම, නීවරණ ධර්ම හා ආස්‍රව ධර්ම යන සෑම තැනම අවිද්‍යාව ද අන්තර්ග්‍රහණය වී ඇත. මෙකී අවිද්‍යාව නිසා චතුරාර්ය සත්‍ය නොදැනීම හේතුවෙන් සසර දීර්ඝ ගමනක දුක් විඳින්නට සිදු වන බව නිතර අවධාරිතය.

“චතුන්නං භික්ඛවේ අරියසච්චානං අනනුබෝධෝ අප්පටිචේදෝ ඒවමිදං දීඝමද්ධානං සංසාරං සංචරිතං අහං ච යේ ච තුම්හාකං” (දී.නි. පරිනිබ්බාන සූ.) ප්‍රතීත්‍ය සමුප්පාදානුකූලව විග්‍රහ කර බලන කල අවිද්‍යාව සංස්කාර විඤ්ඤාණ නාම රූප සළායතනාදිය සත්ත්වයින්ගේ හේතුඵලභාවය ඇති කරයි. අවිද්‍යා නිසා සංස්කාර ලෝකයක් පහළ වෙයි. අවිද්‍යාව නම් අඳුරයි.

විද්‍යාව නම් ආලෝකයයි. මෙකී අවිද්‍යාව නසා විද්‍යා ලෝකය ඇති කරගැනීම වස් උපයෝගී වන කරුණු රාශියක් ම සම්මාදිට්ඨි සූත්‍රයෙහි දී දක්වා ඇත.

1. අකුසලය, අකුසල මූලය, කුසලය හා කුසල මූලය දැන ගැනීම
2. සතර ආහාර ගැන දැනීම
3. චතුරාර්ය සත්‍ය ගැන දැනීම
4. ජරා මරණ පිළිබඳ දැනීම
5. ජාති පිළිබඳ මනා දැනීම
6. “භවය” පිළිබඳ මනා දැනීම
7. උපාදාන පිළිබඳ මනාව දැනීම
8. තණ්හාව පිළිබඳ මනා දැනීම
9. වේදනා පිළිබඳ මනා දැනීම
10. ඵස්ස පිළිබඳ මනාව දැනීම
11. සළායතන පිළිබඳ මනා දැනීම
12. නාම රූප පිළිබඳ මනා දැනීම
13. විඤ්ඤාණ පිළිබඳ මනා දැනීම
14. සංඛාර පිළිබඳ මනා දැනීම
15. ආසව පිළිබඳ මනා දැනීම

එපමණක් ද නොව අවිද්‍යාව කාමාසව භවාසව දෙකට සහජාතාදී වශයෙන් ප්‍රත්‍යය වෙයි. අවිජ්ජාසවයනට අවිජ්ජාව උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍යය වෙයි. පළමු උපන් අවිද්‍යාව පසුව උපන් අවිජ්ජාසවයනට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍යය වෙයි. පටිච්චසමුප්පාදයෙහි ශීර්ෂ ධර්මය වූ අවිද්‍යාවට අවශේෂ ප්‍රත්‍යයන් ඇති බව වැදෑරීමෙන් සසරේ අනමතග්ගභාවය ප්‍රකට කෙරෙයි. ඒ බවට - “ආසවසමුදයා අවිජ්ජාසමුදයෝ අවිජ්ජා සමුදයෝ” යන්නෙන් මනාව විෂද කෙරෙයි.

විජ්ජා උත්පතතං සෙට්ඨං - විද්‍යාව පහළ වීම ශ්‍රේෂ්ඨ ය.
ඇත්කඳුරේ සුමනසාර හිමි

No comments:

Post a Comment