Sunday, 22 November 2015

සසර දුකෙහි හටගැන්ම පෙන්වා දෙන දුක්ඛ සමුදයාර්ය සත්‍යය

සසර දුකෙහි හටගැන්ම පෙන්වා දෙන දුක්ඛ සමුදයාර්ය සත්‍යය

බුදුදහම අනුව, මිනිසා ඉදිරියෙහි ඇති ප්‍රමුඛතම මහා ගැටලුව නම් සංසාරගත දුක ය. ‘දුක්ඛ’ යන පාලි ව්‍යවහාරය හුදෙක් මතුපිට අර්ථයක් පමණක් සලකාගත් යෙදුමක් නොවේ. අමාරුව, කරදරය, කනගාටුව, අසන්තෝෂය, නොසතුට ආදී වචනවලින් කියැවෙනුයේ ‘දුක්ඛ’ ශබ්දයෙහි මතුපිට අර්ථය පමණකි. දම්සක් පැවැතුම් සූත්‍රාදියෙහි බුදු රදුන් විසින් දහම් දෙසන ලද්දේ එහි මතුපිට අර්ථය නොව ගැඹුරු අර්ථය සලකාගෙන ය.

‘දුක්ඛ’ යන්න මිනිස් ජීවිතයේ යථාර්ථය ප්‍රකට කරයි. එනම්, මෙම සංසාර ප්‍රවෘත්තියෙහි අසාරත්වය යි; අපරිපූර්ණ භාවයයි; අතෘප්තිකර බවයි ; තුච්ඡ භාවයයි. බුදු රදුන් වදාළ දුක්ඛ ආර්ය සත්‍යයෙන් ප්‍රකට කෙරෙන මෙකී සංසාරගත දුකෙහි ප්‍රමුඛතම හේතුව, මූලකාරණය එනම් සමුදය, දෙවැනි දුක්ඛ ආර්ය සත්‍යයෙන් ප්‍රකාශිත ය.

මිනිස් සන්තානයේ මුල් බැස පවත්නා තණ්හාව එයින් විවරණය වෙයි. ඒ වූ කලී පුනර්භවයෙහි සාධකයයි. (පොනොභවිකා ). මිනිස් සිත්හි සතුට ද ඇල්ම ද උපදවන ( නන්දිරාග සහගතා ) ඒ ඒ අත්බැව්හි සත්වයා අලවා තබන ( තත්‍ර තත්‍රාභි නන්දිනී ) ස්වභාවයෙන් යුක්ත ය. මේ දම්සක් පැවැතුම් සූත්‍රාගත ප්‍රකට විවරණය යි. බොහෝ විට සූත්‍රයන්හි තණ්හා, ඡන්ද, රාග සහ නන්දි යන වචන එකට පෙනේ. ඡන්දරාග සහ නන්දි යන වචන තණ්හාව වෙනුවට යොදා ඇති වචන හැටියට සලකන බවක් ද බොහෝ බෞද්ධ ග්‍රන්ථවල පෙනෙන්නට තිබේ. එහෙත් මේවායේ එකිනෙකට විශේෂ වූ අර්ථ ඇත. ඡන්ද යනු ආශාවයි. නන්දි යනු ආශ්වාදය යි. රාග යනු ඇලීම ය. ඡන්ද සහ නන්දි යන්න ඇත්තේ තණ්හාව ප්‍රත්‍ය කොටගෙන ය. යම් තණ්හාවක් නැති කල ඡන්දයක් හෝ රාගයක් හෝ නන්දියක් හෝ තිබෙන්නට නුපුළුවන.

නාම – රූප වශයෙන් දෙයාකාර වූ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ ධර්මයන් වෙන් වෙන්වැ සලකාගනිමින් මෙය මගේ යැයි ( එතං මම ) සිතීම පුහුදුන් සත්වයාගේ ස්වභාවයි. ඔහුගේ අයෝනිසෝමනසිකාරයෙහි ප්‍රතිඵලයයි. එසේ සිතනුයේ තණ්හාව හේතුවෙනි. තෘෂ්ණාව යනු ඕනෑකම් ය. අපේක්‍ෂාව ය. ඒ වූ කලී සමස්ත සත්ව වර්ගයාගේ ම සන්තානගත ලක්‍ෂණයයි. එම අර්ථයෙන් දුකට හේතුව වන තෘෂ්ණාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම වනාහි මනෝ විද්‍යාත්මක හෙළිදරව්වකි. පුහුදුන් බව නොයික්ම වූ සියල්ලෝ තෘෂ්ණාව ඇත්තෝය. එය මිනිස් සිත් පත්ලේ මුල් බැස පවත්නේ ය. බුදුදහම අනුව එය ම පුනර්භවයේ හේතුවයි. ඒ හේතුවෙන්ම සසර නැවත නැවතත් උපදනා සත්වයෝ ජරා, ව්‍යාධි, මරණාදී දුකට ම ගොදුරු වෙති. ලෝකයා නිබඳව ම මදියැ යි ඌණ යැයි සිතන අතර ඇතිවීමක්, තෘප්තියක් නැත. හෙතෙම තණ්හාවටම දාසව සිටී. තණ්හාවෙන් මුසපත්ව, මත්ව සිටින ලෝකයාට තමන් නිබඳව ම ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුකට ම කැඳවාගෙන යන බව නොපෙනේ. හෙතෙම පිහිටක්, පිළිසරණක්, නොලබන්නේ ය. තමාගේ යැයි කිවහැකි කිසිවක් ඔහුට නැත. හෙතෙම සියල්ල හැර යන්නේ ය. එහෙත් මෙකී ජීවන යථාර්ථය හෙතෙම නොදකියි. තණ්හාවෙන් මත්ව සිටින බැවිනි. මිනිස්සු නිබඳව මැ නිරන්තරව මැ නිමක් නොදක්නා සෙවිල්ලෙක නිරතව සිටිති. ඒ තණ්හාව හේතුවෙනි. බුදු සමය එම සෙවිල්ල දකින්නේ ‘අනරිය පරියේසනය’ යනුවෙනි. සසර උපදින ඔවුහු උපදින දේ ම සොයති. ජරාවට මහලුබවට පත් වන ඔවුහු එබඳු ජරාවට පත්වන දේ ම සොයති. ව්‍යාධියට පත්වන රෝගී වන ඔවුහු රෝගී වන දේ ම සොයති. මරණයට පත් වන ඔවුහු මැරෙන දේ ම සොයති. ශෝකයට පත්වන ඔවුහු ශෝකයට පත්වන දේම සොයති. කිලිටි වන සිත් ඇති ඔවුහු කිලිටිවීමට හේතුවන දේ ම සොයති. ඒ සොයනුයේ අනෙකක් නොව අඹුදරුවන් ය, දැසි දසුන් ය, එළු කුකුළන් ය, ඇතුන් අසුන් ය, රන් රිදී මසු කහවනු ය. ඒ සියල්ල ජාති ජරා ව්‍යාධි මරණයට බඳුන් වන්නේ ය. එබැවින් දුක ය. සියල්ලෝ ම අතෘප්තිමත්ව සිටින්නෝය. තෙමේ දුකට පත්වන්නේ දුකම සොයයි. ලෝකයා ස්වභාවයෙන් ම අනුසෝතගාමී ය. එනම් ගලන අතටම ගලා යයි. තණ්හාවට මැ ගිජු වැ වහල් ව අතෘප්තිකර ව අනේකවිධ වූ දේ සොයා යයි.

බුද්ධවචනය අනුව, අසාර වූ, අතෘප්තිකර වූ, තුච්ඡ වූ, මේ පැවැත්මට, එනම් දුකට මූල හේතුව, ලොකුම හේතුව මෙකී අසීමිත තණ්හාව ය. එහෙත් කිසිවක් තනිව නොපවතී. එක් දෙයක් පවත්නේ තවත් දෙයක් උපකාර කොට ගෙනය; අපේක්‍ෂාකොට ගෙන ය. එබැවින් තණ්හාවට ද උපකාරී හේතුවක් තිබේ. ඒ වූ කලී වේදනාවයි. වේදනාව ද ස්වාධීන වූවක් නොවේ. එය ස්පර්ශය උපකාර කොට ගෙන පවතී. ස්පර්ශය ද තනිව නොපවතී. එය සළායතන උපකාරකොට වේ. සළායතන නාම – රූප උපකාර කොට පවතී. නාම රූපයෝ විඤ්ඤාණය උපකාර කොට ගෙන පවතිත්. විඤ්ඤාණය සංඛාර උපකාරකොට ගෙන පවතියි. සංඛාරයෝ අවිද්‍යාව නිසා ම වෙත්. දුක හට ගැනීමේ පළමුවැනි හේතුව ( මූල හෙතු) හෝ එකම හේතුව ( එක හෙතු ) තණ්හාව නොවේ. එය ප්‍රමුඛතම හේතුවයි.

ආර්ය මාර්ගයෙහි ප්‍රමාද වන තැනැත්තාගේ තණ්හාව මාලුවා වැලක් මෙන් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල ආශාවෙන් ගසින් ගසට පැන යන වඳුරකු මෙන් භවයෙන් භවයට යයි. තණ්හාව වූ කලී ලාමක ය. ඇලීම ස්වභාව කොට ඇත්තේ ය. එයින් මැඩී ගත් තැනැත්තාගේ ශෝකය මහ වැස්සෙන් වැඩී වැඩෙන බොරු තණකොළ සේ වැඩෙන්නේය. ගසක මුල දැඩි ව, උපද්‍රව රහිත ව තිබේ ද මුදුනින් කපා දැමුව ද එම ගස නැවත නැවතත් වැඩෙන්නේ ය. එසේ ම තණ්හාවේ මුල උදුරා දමන තුරු මේ දුක නැවත නැවතත් වැඩෙන්නේ ය. රූපාදී අරමුණුවල විසිර පවත්නා වූ තණ්හාවෙන් යුත් තැනැත්තාට සොම්නස් වේදනාවෝ උපදිත්. එයින් හෙතෙම සැප සොයන්නේ ය. එහෙත් ජාති, ජරා, ආදි දුක මැ ඔහුට උරුම වෙයි. තණ්හාවෙන් වෙළි ගත්තෝ මලපුඩුවෙහි බැඳුණු සාවුන් මෙන් බියෙන් තැති ගන්නෝ ය. ඔවුහු නැවත නැවතත් දුකටම ලක් වන්නෝ ය. මෙසේ ධම්මපදය තණ්හාව, එහි දුර්විපාක හා එයින් මිදී ගත් කල්හි ලැබෙන නිදහස ද විස්තර කරයි.

මිනිස් සන්තානගත ඉහත කී තණ්හාව තුන් ආකාර යැයි දම්සක් දේශනාව පෙන්වා දෙයි. එනම් කාම, භව, විභව යනුවෙනි. කාම යනු ඉඳුරන් පිනවීම ය. ඇස, කන, ආදී ඉඳුරන් මගින් රූප, ශබ්දාදිය විඳ ගැන්මට ඇති නිමක් නැති කැමැත්ත ය. වෙනත් වචනවලින් කිවහොත් පස්කම් සැපතෙහි ඇති නොතිත් බව ය. එකී නොතිත් බව බොහෝ දුර්විපාකයනට මූල කාරණය වේ. කාමය නිසා ශෝකය ද බිය ද උපදී. ඉන් මිදීගත්තහුට ශෝකය ද බිය ද නැත. කාමයෙහි අවැඩදායක බව ප්‍රකට කෙරෙන උපමා රැසක් පෙළ දහමෙහි දක්නා ලැබේ. ආසිවිසොපමාව ඉන් ප්‍රකට ය. එහි කියැවෙන ආකාරයට ඉඳුරන් වනාහි විසකුරු සපුන් ය. ඒ ඉඳුරන් පිනවීම විසකුරු සපුනට උවටැන් කරමින් ඔවුන් තෘප්තිමත් කිරීමට දරන උත්සාහයක් බඳු ය. ඉන් ගැලවීමක් නොලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහු යැයි ද එහි ආදිනව බොහෝ යැයි ද වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට සැකිල්ලට බඳු උපමා ඇත්තාහ, ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, සිහිනයකට බඳු උපමා ඇත්තාහ, ණයට ගත් වස්ත්‍රයකට බඳු උපමා ඇත්තාහ, රුක් පිළකට බඳු, අසිපත හා මස් ලොඹුවකට බඳු, අඩ යටි හුලකට බඳු, සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ’ යි වදාරණ ලදහ. පස්කම් සුවයෙහි ම ගිජු ව, එහි ම ඇලී එයින් සෑහීමක් නැතිව, එය ම සොය සොයා යන්නා මරු වසඟයට යන්නේ ය. මෙකී කාමය දුක්ඛ සමුදයාර්ය සත්‍යයෙහි දක්වන ලද තණ්හාවේ පළමුවැනි ප්‍රභේදය වේ.

භව තණ්හාව දෙවැනි ප්‍රභේදය යි. භව යනු පැවැත්ම ය. එනම් ‘ ආත්මයෙක’ පැවැත්ම ය. එබඳු ආත්මයක් ඇතැයි සලකා ගනිමින් එහි පැවැත්ම පිළිබඳ පවත්නා ඕනෑකම භව තණ්හා නම් වේ. මේ අනුව, භව තණ්හාවේ පදනම ශාස්වත දෘෂ්ටියයි. බුද්ධදේශනාවෙහිම විටෙක එය ම භව දිට්ඨි නමින් ද දක්වා තිබේ.

‘ ආත්ම’ යන්නෙහි මූලිකාර්ථය නම් ‘මම’ යන්නයි. පුහුදුන් සත්වයෝ නිබඳව ම මගේ ය, මම වෙමි, මේ මගේ ආත්මය වේ යැ’ යි සලකා ගනිති. පෘථග්ජනයා විසින් සිය පැවැත්ම සලකනු ලබන්නේ මාගේ පැවැත්ම ලෙස ය. මම සිටිමි, මම පවතිමි, මාගේ ආත්මය පවතී යැ’ යි හෙතෙම නිබඳව ම කල්පනා කරයි. එය භව දෘෂ්ටිය හෙවත් ශාස්වත දෘෂ්ටිය යි. එනම් පැවැත්ම පිළිබඳ අදහසයි. එබඳු භවයක්, පැවැත්මක්, ආත්මයක් හෙවත් ‘මම’ කෙනකුගේ පැවැත්මක් අපේක්‍ෂා කරනු ලැබීම භව තණ්හාවය.

දම්සක් පැවැතුම් සූත්‍රය අනුව, තණ්හාවේ තෙවැනි ප්‍රභේදය නම් විභව තණ්හාව ය. විභව යනු නොවීම හෙවත් නොපැවැත්ම ය. එනම් ‘ ආත්මයෙහි’ නොපැවැත්ම ය. ‘ ආත්මයක් ඇත, එහෙත් එය මරණින් මතු නැත, ඇත්තා වූ එම ආත්මය මරණින් කෙළවර වේ යැ’යි සලකා ගැනීම විභව දෘෂ්ටියයි. යම් හෙයකින්, මේ ආත්මය රූපී වේ ද, සතර මහා භූතයන්ගෙන් හටගත්තේ වේ ද, මවුපියන්ගේ එක් වීමෙන් උපන්නේ ද, කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නොවේ ද, මෙපමණකින් මේ ආත්මය මුළුමනින් ම සිඳී ගියේ වේ යැ’ යි උච්ඡේදවාදීහු සිතති.

එබඳු විභවයක්, මරණින් කෙළවර වීමක්, ආත්මය අරභයා වුවමනා වීම විභව තණ්හාවය. ‘ඇති පැවැත්ම මරණින් මතු නැත, මම හෙවත් ආත්මය ඇත, එහෙත් එය තාවකාලික යැ’යි සලකා ගන්නෝ ද ආත්මවාදය ම පිළිගනිති. මම ය, මාගේ ය යන හැඟීම ඇත්තෝ ය. ඔවුහු සක්කාය බියෙන් සක්කාය පිළිකුලෙන්, සක්කාය වටාම දිවෙන බව ද, සැලකිය යුතු ය. සවි ඇති කණුවකට රැහැනින් බැඳි සුනඛයකු එම කණුව වටා ම දිවෙන්නාක් මෙනි. කරකැවෙන්නාක් මෙනි. ඔවුහු භව විභව ම පණවත්. එකී භව විභවය අපේක්‍ෂා කරනු ලැබීම විභව තණ්හාව ය.

මෙසේ දුක් හටගැනීම හෙවත් දුක්ඛ සමුදයාර්ය සත්‍යය පැහැදිලි කරන දම්සක් පැවැතුම් සූත්‍රය, කාම තණ්හාව යනු ඉඳුරන් පිනවීම හා පස්කම් සුවයෙහි ඇල්ම වන බවත් භව තණ්හාව යනු ශාස්වත දෘෂ්ටිය මුල් කොටගත් භවගාමී බව පිළිබඳ ඇල්ම වන බවත් විභව තණ්හාව යනු අශාස්වත දෘෂ්ටිය මුල් කොටගත් පරලොවක් නැත, මෙලොව පමණක් ම ඇතැයි මෙලොව සුවයෙහි ම ඇල්ම වන බවත් යනුවෙන් තුන් ආකාරයක් වේ යැ’ යි උගන්වයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ 
අධ්‍යයනාංශයේ මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි

No comments:

Post a Comment