Monday, 23 November 2015

වේසාලික උග්ග සූත්‍රය

වේසාලික උග්ග සූත්‍රය

තෙරුවන් සරණ ගිය සෑම කෙනෙක්ම වයස් සීමාවක් නො සලකා “උපාසක” නාමයෙන් හැඳින් වූ බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන්ව ඇත. “උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණූපේතං සරණං ගතන්ති” යනුවෙන් බුදුරදුන්ගෙන් බණ අසා පැහැදුණූ බොහෝ අය අද පටන් පණ ඇතිතාක් තෙරුවන් සරණ ගිය උපාසකයකු සේ දරන ලෙස ඉල්ලා ඇත. බුද්ධ , ධම්ම, සංඝ යනු රත්නත්‍රයයි.

ඒ රත්න ත්‍රය සරණයාම තෙරුවන් සරණයාම නමින් හැඳින්වේ. “බුද්ධං සරණං ගච්ඡාමි,” මම බුදුන් සරණ යමි යනුවෙන් කියා බුදුන් සරණ යා යුතුය. “ගච්ඡාමි” යන ක්‍රියාපදයෙහි අවබෝධ කරගනිමි යන අර්ථයද ඇත. එවිට”බුද්ධං සරණං ගච්ඡාමි” යන්නෙන් මට බුදුන් සරණ බව අවබෝධ කර ගනිමි යන අදහසද එයින් අර්ථවත් වෙයි. තෙරුවන් සරණ ගිය තැනැත්තා තම ජීවිතය තෙරුවන් අනුව සකස් කර ගැනීමට උත්සාහ දරයි. බුදු සරණ ගිය උපාසක තෙම නව අරහාදී බුදුගුණ අනුව යමින් රහසත්, පව්නො කිරීම් ආදි ගුණ තම චරිතය තුළද පිහිටුවා ගැනීමට උත්සාහවත් වෙයි. එහෙයින් වෙන කිසිම ශික්ෂාපදයකින් ශික්ෂණයක් අවශ්‍ය නැත. මුල් කාලයෙහි මහණ උපසම්පදාව පවා ලබා ගෙන ඇත්තේද තෙරුවන් සරණ යාමෙනි. පසුකාලීනව ශික්ෂාපද පනවා ඇත්තේ ඒ ඒ වකවානුවල පැනනැගුණු සිද්ධීන් අනුවය. 

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි සඳහන් වන වේසාලික උග්ග සූත්‍රයෙන් උපාසකයකු තුළ පැවැතිය යුතු ගුණ අටක් පිළිබඳව සඳහන් වේ. අට්ඨහි භික්ඛවේ අච්ඡරියේහි අබ්භූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතිං වේසාලිකං ධාරේථාති. යනුවෙන් කරුණුූ අටක් වේසාලික උග්ග ගෘහපතිතුමාට ඇති බව දෙසූ දෙස් බුදුරජාණන් වහන්සේ ඒවා මොනවාදැයි විස්තර නොකොට විහාරයට වැඩි සේක. එක් භික්ෂුවක් වේසාලික උග්ග උපාසකතුමා සොයාගෙන ගොස් ඔහු හමුවී සතුටු සාමීචි කතාබස් කොට බුදුරදුන් ඔබ ළඟ තිබෙනවා යැයි දෙසූ කරුණු අට මොනවාදැයි විමසීය. එවිට උග්ග උපාසකතුමා තමා ළඟ පවතින ඒ කරුණු අට මෙසේ පැහැදිලි කළේය.

1.බුදුරදුන් දුරදීම දැක දුටු පමණින් පැහැදීම 
2. බඹසර පස්වෙනු කොට ශික්ෂා පද රැකීම 
3. තම තරුණ භාර්යාවන් සිව් දෙනා සතුටින් දන්දීම 
4. තම භෝග සම්පත් සිල්වතුන්ට වෙන්කර තැබීම 
5. සකසා භික්ෂූන් ඇසුරු කිරීම 
6. භික්ෂූන් තමන්ට දම් නො දෙසන්නේ නම් තමා භික්ෂූන්ට දම් දෙසීම 
7.දෙවියන් සමඟ දහම් ගුණ සාකච්ඡා කිරීම 
8. ඕරම්භාගීය සංයෝජන පහකිරීම යනු ඒ කරුණුූ අටයි. 

එහි පළමු වැන්න බුදුරදුන් දුරදීම දැක දුටු පමණින් පැහැදීමයි. බුදුරදුන්ගේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ අසු අනූව්‍යඤ්ජනයන්ගෙන් සමන්විත අසම සම රූපකාය සම්පත්තිය බුදුදහමේ ව්‍යාප්තියට මහෝපකාරි වුණ බව ත්‍රිපිටකාගත කරුණු අනුව පැහැදිලි වෙයි. බමුණන්ගේ වේද ග්‍රන්ථයන්හි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන සඳහන්ව ඇත. ඒවා හදාරා ඇති බමුණෝ බුදුරදුන්ගේ එම ලක්ෂණ දැකීමෙන් බෞද්ධයෝ වූහ. වක්කලී තෙරුන්ගේ කතා පුවතින් බුදුරදුන්ගේ රූප ශෝභාව කෙබඳුදැයි පැහැදිලි වන්නේය. උන්වහන්සේ දුටුවකුට නැවත බැලීමට ආශාව ඇතිවේ. යාම් ඊම් ඉරියව් පැවැත්වීමෙහි ඇති ශෝභමානත්වය දුටුවන් පහදවන සුළුය. කතා කිරීමේ පි‍්‍රයශීලිත්වය, බැලීමේ, සිනාසීමේ මනෝහරත්වය දරන පුද්ගලයන්ගේ වුව සිත් සතන් නිවී සනසන්නේය. මේනිසා උන්වහන්සේ දුටු පමණින් බොහෝ දෙනෙක් පහදිති.

භාග්‍යවතුන් වහන්සේ අභිධර්මය දේශනා කිරීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩමකොට පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහුන් කල්හි දහම් ඇසීමට දිව්‍ය බ්‍රහ්මයෝ රැස්වූහ. ඒ පිරිස අතර බුදුරුව ඉක්මවා යන දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් නොවීය. සියලු දිව්‍ය බ්‍රහ්මයන්ගේ රූප ශෝභාව අභිභවා තථාගතයන් වහන්සේම බැබළුණ බව සඳහන්ව ඇත. මේ උපධී සම්පත්තිය, පි‍්‍රයශීලි වදන්, මිහිරි කටහඬ ධර්ම ප්‍රචාරය සඳහා මහෝපකාරි වී ඇත.

දුරදීම බුදුරදුන් දැක පැහැදුණ වේසාලික උග්ග ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරයි. එසේ ඇසුරු කරන ගෘහපතිතුමාට බුදුරජාණන් වහන්සේ දම් දෙසති. එම දේශනාවේ ද අනුපිළිවෙළක් ඇත. කෙනෙක් බුදුරදුන් හමුවීමට පැමිණීවිට පළමුව කතා කරන්නේ බුදුරජාණන් වහන්සේය. එසේ පිළිසඳර කතාවෙන් පසු දන් දීම පිළිබඳව, සීලය පිළිබඳව එහි ආනිශංස වශයෙන් දෙව්ලොව දී ලැබෙන සැප සම්පත් පිළිබඳව පෙන්නා දෙති. එසේ අනුපිළිවෙලින් කතාව කරගෙන යාම අතිසාර්ථක මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකි. මනුෂ්‍යයා තම වස්තුව තම ශරීරය අඟපසඟ මගේ මගේ යයි කාලාන්තරයක් තිස්සේ සිතයි. කියයි. මේ නිසා මමත්වය අධිකය. මෙම දීර්ඝ කාලීන මමත්වය ඊට වඩා බලවත් සම්පත් තියක් ඉදිරිපත් කොට ලිහිල් භාවයට පත්කරති. ඊට පසු දේවත්වයේද ඇති අස්ථීර භාවය, වෙනස්වන ස්වභාවය පෙන්නා දීමෙන් ලිහිල් වූ පුරාණ බැඳීමත් අලුතින් ඇතිකළ ආශාවත් යටපත් වී යයි. එසේ ක්ලේෂයන්ගෙන් මිදුණ සිතට සාමුක්ඛංසික දේශනාව හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන විට පහසුවෙන් අවබෝධ වන්නේය. ධර්මාවබෝධය වූ බොහෝ දෙනා බුදුරදුන්ට ප්‍රශංසා කොට තිසරණ ගත උපාසකයන් බවට පත්වූහ. බඹසර පස්වෙනු කොට ශික්ෂාපද රැකීම නම් පංචශීලයේ සුරාමේරය ශික්ෂාපදය වෙනුවට අබ්‍රහ්මචරියා වේරමණී යන ශික්ෂාපදය සමාදන් වීමයි. ගිහි ජීවිතයක් ගතකරන්නෙකුට කාම සේවනය තහනමක් නැත. තහනම්ව ඇත්තේ වැරදි සහගත කාම සේවනය යි. කාමේසු මිච්චාචාරා වේරමණී යනුවෙන් සමාදන් වනුයේ එයයි.”අබ්‍රහ්මචරිය, වේරමණී සික්ඛාපදං “යයි සමාදන් වීමෙන් සම්පූර්ණයෙන්ම කාම සේවනයෙන් දුරුවෙයි. එසේ බඹසර රකින්නකුට කාන්තාවන්ගෙන් ප්‍රයෝජනයක් නැත.උග්ග ගෘහපතිතුමාට එනිසා තම තරුණ භාර්යාවරු සතර දෙනා සතුටින් දන් දෙන්නට හැකිවිය.

වේසාලික උග්ග ගෘහපතිතුමාගේ සතර වන ආශ්චර්ය අද්භූත ගුණය නම් තම භෝග සම්පත් සිල්වතුන්ට වෙන්කර තැබීමය. කාමයෙහි වරදවා හැසිරීමෙන් ප්‍රධාන වශයෙන් වැරැදි ස්ත්‍රි පුරුෂ සේවනය ගැනෙතත් රූප ශබ්දාදී පංච කාමයන් ගෙන්ම වැළකීම අබ්‍රහ්මචරියා යන්නෙන් ගැනේ. එබඳු කෙනෙකුට තම ගේ දොර වතුපිටි ආදිය සිල්වතුන්ට වෙන්කර තැබීම පහසුය. උග්ග ගෘහපතිතුමාගේ පස් වැනි උපාසක ගුණය සකසා භික්ෂූන් ඇසුරු කිරීමයි. භික්ෂූන් ඇසුරු කළ යුත්තේ ගින්දර මෙනැයි ධර්මයෙහි දක්වා ඇත. ගින්දරට වැඩිපුර ළං වුවහොත් පිලිස්සෙනු ඇත. ගින්දරින් පිලිස්සෙනවා යයි අයින් කළහොත් එයින් ලැබෙන ප්‍රයෝජන අහිමි වී යයි. එසේ භික්ෂූන්ට වඩාත් සමීප වී වැරැදි ක්‍රියාවන්ට නො පෙළඹිය යුතුය. භික්ෂූන් ඇසුරෙන් වැළකීම ද දෙලොව පරිහානියට හේතුවන්නකි. එනිසා භික්ෂූන් සකසා ඇසුරු කිරීම ඉතා වැදගත්ය.

උග්ග උපාසකතුමාගේ ආශ්චර්ය අද්භූත සවන කරුණ නම් භික්ෂූන් තමාට දම් නො දෙසන්නේ නම් තමා භික්ෂූන්ට දම් දෙසීමයි. මෙයින් ධර්ම ශ්‍රවණය හා දෙම්දෙසීම ගැන පැහැදිලි වේ. උග්ග ගෘහපතිතුමා බහුශ්‍රැත ධර්මධරයෙකි. මේනිසා බණ ඇසීම පි‍්‍රයකරන අතර දම්දෙසීමටත් හැකියාවක් ඇත. කෙතරම් බහුශ්‍රැත වුවද බණ ඇසිය යුතුය. බුදුරජාණන් වහන්සේ පවා තම ශිෂ්‍යයන්ගේ ධර්ම දේශනාවන්ට සවන් දුන් අවස්ථා ඇත. දෙවියන් සමඟ ධර්ම සාකච්ඡා පැවැත්වීම උග්ග ගෘහපතිතුමා තුළ පැවති සත්වන ගුණයයි. එම ගුණය අධිමානසිකත්වයට පත්වූ කෙනකුට හැර අන් අයට කළ නොහැකිය. අට වන කරුණ නම් ඕරම්භාගීය සංයෝජන දුරුකිරීමයි. සංයෝජන නම් සත්වයන් සසර දුකෙහි යොදවන සසර දුක හා බැඳ තබන ධර්ම කරණු දසයකි. එනම් සක්කාය දිට්ඨි ,විචිකිච්ඡා , සීලබ්බතපරාමාස , කාමරාග ව්‍යාපාද, රූපරාග, අරූපරාග , මාන උද්ධච්ඡ,අවිජ්ජා යන දසයයි. සෝවාන් වීමේදී මෙහි මුල් සංයෝජන තුන නැතිවී යයි. සකෘදාගාමී වීමේදී කාමරාග, ව්‍යාපාද යන සංයෝජන දෙකෙහි බල බිඳේ. අනාගාමී වීමේදී එම සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම දුරුවේ. ඉතිරි සංයෝජන පස දුරුවන්නේ රහත් භාවයට පත්වීමෙනි. රූපරාග, අරූපරාග, මාන.උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පස නැසීමෙන් අරූප භවයන්හි උපතට හේතුවන බැවින් උද්ධම්භාගීය යයි කියනු ලැබේ. ඉතිරි සක්කාය දිට්ඨි ආදි පස කාම භවයන්හි උපතට හේතුවෙයි. එබැවින් ඒ පසඕරම්භාගීය වශයෙන් නම් කොට ඇත. ධ්‍යානාදී බලයේ දස සංයෝජන යටපත් කිරීමෙන් අරූප භවයන්හි හා කමාභවයන්හි උපතට හේතු වෙයි. සමුච්ඡේද වශයෙන් නසා දැමීමෙන් භව ගමන නසා රහත් භාවයට පත්වන්නේය. මෙබඳු ගුණයන්ගෙන් සමන්විත උපාසක තෙම උපාසක රත්නයකැයි බුදුදහම අනුව පැවසිය යුතුය. ශ්‍රද්ධාදී ගුණධර්මවලින් තොර උපාසකයා උපාසක චණ්ඩාලයෙකි. එබැවින් උපාසක රත්නයක් වීමට ගිහිගෙදර වාසය කරන්නවුන් උත්සාහවත් විය යුතුය.

සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි 
බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ
සංඝනායක රත්මලාන ශ්‍රී රත්නාරාමය, 
බොරලැස්ගමුවේ සිරි සෝණුත්තර විහාරය යන
විහාරද්වයාධිපති අධ්‍යාපනපති ශාස්ත්‍රපති 
සූරියගොඩ සිරිධම්ම නා හිමි

No comments:

Post a Comment