Friday, 20 November 2015

වෙහෙරගල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය

දුටු දනන් සිත් බැතින් සනසන වෙහෙරගල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය



සිත්සතන් පහන් කරන්නා වූ පාෂාණ උද්ගතයක් මත පිහිටි බිහල්පොල රජමහා විහාරය අනුරාධපුර යුගය ආරම්භයේ සිට දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන්නා වූ පෞරාණික වැදගත්කමින් හෙබි තෝතැන්නකි.


ශ්‍රී ලං‍කාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැ‍ඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිහල්පොළ ග්‍රාමසේවා වසමෙහි උතුරු අක්ෂාංශ 7 27’299”ක් හා නැ‍ඟෙනහිර දේශාංශ 80 9’159”ක් වන නිරපේක්ෂ පිහිටීමකින් වෙහෙරගල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය පිහිටා ඇත.


කුරුණෑගල, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කුලියාපිටිය දෙසට ගමන් කරනවිට අංක 16 – 17 සැතපුම් කණු අතර දකුණු පසට ඇති මාර්ගයේ මී. 300ක් පමණ ගමන් කර යන විට මෙම විහාරස්ථානය හමුවේ. දඹදෙණිය රාජධානි සමයේ රජුගේ මයුරාවතී බිසව හා සෙසු බිසෝවරුන් මෙම ප්‍රදේශය ආසන්නයේ පොල් වත්තක පිහිටි උල්පතකින් ස්නානය කොට විහාරයට පැමිණි බවත් බිසවුන් රැඳී සිටි ස්ථානය “බිසව්පොල” ලෙස ව්‍යවහාරය කරන්නට ඇති අතර කාලයාගේ ඇවෑමෙන් එය “බිහල්පොල” වූවා යැයි ප්‍රදේශයේ ප්‍රචලිත ජනප්‍රවාදයකි.


බිහල්පොල හා තදාසන්න ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයන්ට අනුව දෙවනපෑතිස් රජු දවස (ක්‍රි. පූ. 250 – 210) කනත්තව නම් වූ ග්‍රාමයෙහි විහාරයක් කරවූ බව සඳහන් වුව ද මහාවංශය හා වෙනත් වංශකතාවලින් එම තොරතුරු සනාථ නොවන අතර බිහල්පොල විහාරය තල්පතෙහි මෙම විහාරාරම්භක තොරතුරු පිළිබඳව දක්වා තිබේ.


“දෙවනපෑතිස් මහ රජ ලංකාවේ සතර ගව්වෙන් සතර ගව්වට වෙහෙරක් බැගින් කරවන කල කනන්තව ගල් පර්වතය කරවා තිබූ වෙහෙර...”


දෙවනපෑතිස් රජු දවස කරවන ලද විහාරය ගරා වැටී වළගම්බා රජු දවස නැවත ප්‍රතිසංස්කරණයට ලක් වූ බවත් එම ඓතිහාසික ක්‍රියාව බිහල්පොල ග්‍රාම නාමකරණයට බලපෑ බව ද තල්පතෙහි කරුණු විමර්ශනය කරන කල්හි තහවුරු වේ.


ගල් කුට්ටි 9ක් මත දැවයෙන් ඉදිකර ඇති ටැම්පිට විහාරය උඩමළුවෙහි ඇති තවත් වැදගත් අංගයකි. ටැම්පිට විහාරයට ප්‍රවේශ වීමට දකුණින් හා බටහිරින් දොරටු 2ක් නිර්මාණය කර තිබෙන අතර ප්‍රධාන දොරටුව ආශ්‍රිතව අලංකාර කැටයම් දක්නට ලැබේ.පුරාවිද්‍යාත්මක සාධකයක් ලෙස විහාර භූමියෙන් අභිලේඛනයක කොටසක් හමු වුව ද එහි අක්ෂර හඳුනාගැනීමට නොහැකි ලෙස විනාශ වී තිබේ. නමුත් ලේඛනයෙහි එක් පසෙක ‘විජිනිපතක’ සළකුණක් දක්වා තිබීමෙන් හා අක්ෂරවලට අනුව ටැම් ලිපියක් ලෙස පැවතීමෙන් මෙය අත්තාණි කණුවක් ලෙස සැලකිය හැකිය.



බිහල්පොල විහාරයේ ඓතිහාසික මූලාශ්‍රගත සාධක හා පුරාවිද්‍යාත්මක සාධක ආශ්‍රයෙන් තහවුරු කළ හැකි පසුබිමක් සහිත ඉතිහාසයෙහි තොරතුරු හමුවනුයේ මහනුවර යුගය ආශ්‍රිතවය. බිහල්පොල විහාර පරිශ්‍රය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක සාධක රැසක් දැකිය හැකිය. විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ යැයි සැලකුව ද පැරැණි ඉදිකිරීම් සාධක බොහොමයක් මහනුවර යුගය හා ඉන් පසු කාලය නියෝජනය කරන බව හඳුනාගත හැකිය.


මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ මූලිකත්වයෙන් සියමෙන් උපසම්පදා භික්ෂූන් වැඩමවා මෙරට සිටි සිල්වත් සාමණේර භික්ෂූන් වහන්සේලා උපසම්පදාවේ පිහිටුවා අස්ථාවරව පැවති විහාරය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහල්පොල විහාරයේ දී යම් සංවර්ධනයක් සිදු වූ බවට ඓතිහාසික සාධක හමු වේ.


බිහල්පොල විහාරයේ පෞරාණිකත්වය කියාපෑමේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි නෂ්ටාවශේෂ, පුරාණ ගොඩනැගිලි මෙන්ම පුරාවස්තු ද විහාර භූමිය ආශ්‍රිතව විසිරී පවතී. ඒ අතර ගල් පුවරු, කණු පාදම් ගල්, සඳකඩපහන් ආදිය සුවිශේෂී වේ. තල්පතෙහි සඳහන් මහනුවර යුගයේ ඉදිකළ උඩමළුවේ ප්‍රතිමා ගෘහය ගරා වැටී තිබීම නිසා යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු කෙරෙන ගොතික් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව වර්තමාන ඝණ්ඨාර කුළුණ නිර්මාණය කර තිබීම කෙතරම් ගැලපේද යනු සැකයකි. 1999 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ බිහල්පොළ ටැම්පිට විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණය කර ඇත.


මෙම විහාරයේ චෛත්‍යය හා බුද්ධ ප්‍රතිමා ද නිදන් සොරුන්ගේ තර්ජනයට වරින් වර ලක්වී ඇත. 1997 වර්ෂයේ සිදු වූ ගිනි ගැනීමකින් මහනුවර යුගයේ ඉදිවූ ටැම්පිට විහාරය විනාශයට ලක්වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිසංස්කරණයට ලක් කොට තිබේ.


පහළ මළුවේ දක්නට ලැබෙන පැරැණිතම ඉදිකිරීම ලෙස මහනුවර යුගයට අයත් යැයි සැලකෙන සංඝාවාසය හඳුනාගත හැකිය. දිගින් අඩි 63ක් ද පළලින් අඩි 30ක් ද පමණ වන මෙය මැටි හා ගල් යොදාගෙන නිර්මාණය වූවෙකි. සංඝාවාසයට ඇතුළුවන කිනම් තරාතිරමක අයකුට වුවත් හිස නමා ඇතුළු වීමට සිදුවන පරිද්දෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් උසින් අඩු උළුවහු නිර්මාණය කර තිබීම සුවිශේෂ වූ ලක්ෂණයකි. මෙය විහාරස්ථානයේ පවතින පැරණිම ඉදිකිරීමකි.



සංඝාවාසයට සමාන්තරව පවතින ධර්මශාලාව අඩි 36ක් හා දිගින් අඩි 25ක පළලින් යුක්තය. මහනුවර යුගයේ සංවර්ධන කටයුතු හා සමගාමීව මෙය නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ. දැව කණු ආශ්‍රිතව පනේලයන්හි ධර්මචක්‍රය, නෙළුම් මල වැනි කැටයම් දැකිය හැකි අතර වහලයට පෙති උළු සෙවිලි කර ඇත. බිහල්පොල විහාර භූමියෙහි ගොඩගසා තිබූ දැව කඳන් අතරින් වර්ෂ සටහන් කරන ලද පේකඩක් සොයාගන්නා ලදී. එහි එක් පැත්තක ‘ශකවර්ෂ 1823’ ලෙස ද අනෙක් පැත්තෙහි ‘ක්‍රිස්තුවර්ෂ 1901’ යනුවෙන් ද සටහන් කොට තිබේ. එසේ හෙයින් පැරණි ඉදිකිරීමක් ලෙස හඳුනාගත හැකි මෙය දැව බහුල ගොඩනැගිල්ලක් වීම ද අදින් වසර 113කට පෙර ඉදිකරන ලද බවට සාධක පැවතීම ද විශේෂ වූ කරුණකි.


සංඝාවාසයට සමාන්තරව පවතින ධර්මශාලාව අඩි 36ක් දිගින් හා අඩි 25ක පළලින් යුක්තය. දැව කණු ආශ්‍රිතව පනේලයන්හි ධර්මචක්‍රය, නෙළුම් මල වැනි කැටයම් දැකිය හැකි අතර වහලයට පෙති උළු සෙවිලි කර ඇත.ඓතිහාසික බිහල්පොල විහාර තල්පත අනුව අනුරාධපුරයට අයත් යැයි සැලකෙන චෛත්‍යය උඩමළුවෙහි ප්‍රවේශ වාහල්කඩට නැ‍ඟෙනහිර දෙසින් වූ උස් භූමි කොටසෙහි නිර්මාණය කර තිබේ. වට ප්‍රමාණය අඩි 60ක් වන සේ පේසාවළලු තුනකින් සමන්විත ඝණ්ඨාකාර හැඩයක් වූ චෛත්‍යයේ නැ‍ඟෙනහිර හා බටහිර දෙසින් මල් ආසන 2ක් ද දැකිය හැකිය. චෛත්‍යය මළුව ගරා වැටීම වලක්වනු පිණිස ඒ වටා ගල් බැම්ම නිර්මාණය කර තිබේ. වෙහෙරගල චෛත්‍යයෙහි පෞරාණිකත්වය පිළිබඳව විමසන කල්හි දෙවන පෑතිස් රජ (ක්‍රි. පූ. 250 – 210) දවස කරවා වලගම්බා රජ දවස ප්‍රථම වරට ප්‍රතිසංස්කරණය කොට නබිනාරායන බමුණා විසින් විශාලාමහනුවරින් වැඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරවන ලද බව බිහල්පොල විහාර තල් පතෙහි හා ජනප්‍රවාදයෙහි සඳහන් වේ. විහාරවාසීව වැඩ විසූ නැලැල්ලේ ධම්මරක්ඛිත තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ බව මූලාශ්‍ර තුළින් හමුවේ. 1965 වර්ෂයේදී කරවන ලද ප්‍රතිසංස්කරණ වැලිවිට සරණංකර හිමියන්ගේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව වඩු රියන් 5ක් උසට දාගැබ බැඳ කොත් පළඳවන ලද බව සඳහන් වේ.


විහාරස්ථානයේ පහළ මළුවේ ඇති දැව කැටයම් සහිත බණ මඩුව පිළිබඳව සන්නස්වල තොරතුරු නොපවතී. එනම් මෙම සංවර්ධන ක්‍රියාවලියට පසු කාලීනව සිදුවූවක් විය හැකි ය. බණ මඩුවෙන් ඉවත් කරන ලද දැව කොටසක 1901 වර්ෂය සඳහන්වන බැවින් එය ඊට වඩා වසර 50ක් හෝ පැරණි නිර්මාණයක් බවට අනුමාන කළ හැකි ය.


උඩමළුවෙහි පිහිටි ප්‍රතිමා ගෘහයට යාබදව ඉදිකරන ලද දෙමහල් ධාතු මන්දිරය ද මෙම විහාරයේ සුවිශේෂී නිර්මාණයකි. ටැම්පිට විහාර මන්දිරය, ධාතු මන්දිරය මහනුවර යුගයේ බිතුසිතුවම්වලින් අලංකාර වූ ස්ථානයකි. ධාතුමන්දිරයේ සිතුවම් බොහෝ දුරට ආරක්ෂා වී ඇත. වෙස්සන්තර ජාතකය, සස ජාතකය, සොළොස්මස්ථාන දැක්වෙන සිතුවමින් එය අලංකෘත ය. පංචනාරී පැලැක්කිය මෙහි ඇති සුවිශේෂී සිතුවමකි. ධාතු තැම්පත් කර ඇති කුටිය උස බිත්තිවලින් සමන්විත වන අතර වරිච්චි මැටි යොදාගෙන ඇති බවට බිත්තියේ කැඩීගිය ස්ථාන ආශ්‍රිතව හඳුනාගත හැකිය.


ධාතු මන්දිරයේ පහළ මහලට ඇතුළුවීමට බටහිර, නැ‍ඟෙනහිර හා උතුරින් දොරටු තබා ඇති අතර උඩ මහලට නැගීමට පියගැටපෙළ 7 කින් යුක්ත වූ තරප්පු 2ක් නිර්මාණය කර තිබේ. උඩමහල මධ්‍යයෙහි පිහිටි ධාතු මන්දිරය වටා එක් අයෙකුට පමණක් ගමන් කළ හැකි වන ලෙස ප්‍රදක්ෂිණාපථය නිර්මාණය කර ඇත. එක් තරප්පු පෙළක් නැගීමට ද අනෙක් තරප්පු පෙළ බැසීමට ද භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි වන්නේ එක් තරප්පු පෙළක් ආශ්‍රිතව දොරටු කවුළුව කෙළින්ම පිහිටි බිත්තියෙහි අත් සතරකින් යුක්ත දේව රූපයක් නිර්මාණය කර තිබීමෙනි. ධාතු වන්දනා කර පිටව යන පිරිසට ආශිර්වාදය ලබා දීමට මෙවැනි නිර්මාණයක් කරන්නට ඇතැයි සිතිය හැකිය.


ධාතු කරඬුව තැන්පත් කර ඇති පූජාසනය දෙපස කුඩා බුදු පිළිම දෙකක් හා අගසවු දෙනම නිරූපිත හිටි පිළිම දෙකක් ද විවේකී ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමාවක් ද දක්නට ලැබේ. ධාතු මන්දිරයෙහි බිත්තිවල හා වියනෙහි සිතුවම් දැකිය හැකි අතර සංරක්ෂණය කර ඇති ආකාරයක් ද දක්නට ලැබේ. ධාතු තැම්පත් කර ඇති කුටියෙහි උළුවස්ස අලංකාර කැටයම් සහිත දැවමය නිර්මාණයකි.



ගල් කුට්ටි 9ක් මත දැවයෙන් ඉදිකර ඇති ටැම්පිට විහාරය උඩමළුවෙහි ඇති තවත් වැදගත් අංගයකි. ටැම්පිට විහාරයට ප්‍රවේශ වීමට දකුණින් හා බටහිරින් දොරටු 2ක් නිර්මාණය කර තිබෙන අතර ප්‍රධාන දොරටුව ආශ්‍රිතව අලංකාර කැටයම් දක්නට ලැබේ. මැද කුටිය හිඳි පිළිම වහන්සේ නමක් හා හිටි බුද්ධ ප්‍රතිමා සහ දේව පිළිමවලින් ද යුක්තය. ටැම්පිට විහාරයේ පැරණි බිතුසිතුවම් 20 වන සියවසේ දී අඳින ලද සිතුවම් නිසා යටපත් ව තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යළි මතුකර තිබේ. අපායේ ජවනිකා, වෙස්සන්තර ජාතකය මෙහි කැපී පෙනෙන සිතුවම් වේ. කටුඉඹුලේ නැගීම, අංගච්ඡේදනය, දෙපලු කිරීම වැනි බිතුසිතුවම් මෙහි ඇති කැපී පෙනෙන බිතුසිතුවම් ලෙස සැලකිය හැකි ය. විහාරස්ථානයේ ඇති බිතුසිතුවම් නිසා බිහල්පොල විහාරස්ථානයට විශේෂ වැදගත්කමක් හිමි වී ඇත.


ප්‍රදක්ෂිණා පථයෙහි අලංකාර කැටයම් සහිත දැව කණු 2ක් නිර්මාණය කර තිබේ. 1988 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර වහළයට පෙති උළු සෙවිළි කර ඇත. ගිනිගත් අවස්ථාවේ තිබූ මුල් දැව කණු ඉවත්කර ඒවා පඬුවස්නුවර පුරාවිද්‍යා කෞතුකාගාරයට ගෙන ගොස් ඇති අතර වර්තමානයේ දී දක්නට ලැබෙන්නේ එම ආකෘතියට අනුව නිර්මාණය කළ නව දැවකණු යුගලයකි. මෙම විහාරය 1928 වර්ෂයේදී මුළුමනින්ම පාහේ නවීකරණය කර ඇත. එහි දී පැරණි සිතුවම් ස්තර යටපත් කොට නව සිතුවම් නිර්මාණය කර තිබේ.


වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් නව ඉදිකිරීම් අතර උඩමළුව ප්‍රාකාර බැම්ම සතර දිශාව ආවරණය වන පරිදි නිර්මිත වූවකි. එමෙන්ම උඩමළුවේ ප්‍රධාන ප්‍රවේශ පියගැටපෙළ අවසානයේ ඇති වාහල්කඩ, මල් දෝවනය කරන ස්ථානය, සිරිපතුල, බෝධිය, සමාධි ප්‍රතිමාව හා ගල් පොකුණු ආදිය විහාරයට එකතු වූ නව අංගයෝ ය. ගවේෂණයට පාදක වූ ප්‍රදේශයේ හඳුනාගත් සාධක ඇසුරින් සිතියමක් සකස් කිරීම හා විහාරයේ පිහිටීම, ගමන් මාර්ගය, ස්මාරක ස්ථානගත වීම, ස්මාරක ආශ්‍රිත වැදගත් අංග පිළිබඳ සිතියම් හා සැලසුම් සකස් කිරීම ද මෙම ගවේෂණයේ දී සිදු වූ වැදගත් කරුණකි.

No comments:

Post a Comment