Wednesday, 18 November 2015

වේළුද්වාර සූත්‍රය

වේළුද්වාර සූත්‍රය

බුද්ධ යන වචනයට අරුත් රැසක් තිබේ. ලෝකය මැනවින්, නුවණින් අවබෝධ කළ තැනැත්තා යන්න එක් අරුතකි. ලොව මිනිසුන් මෙන්ම සෙසු සත්වයන් ද දුක් විඳිති. දුකට කිසිවෙක් කැමති නැති නිසා, ඈත කාලයක සිට ම මිනිසා දුකෙන් නිදහස්වීමේ මඟ සෙවීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵල ලෙස විවිධ විමුක්ති මාර්ග ලොවට අනාවරණය විය.

බුදු දහම පහළ වන්නේ එවැනි ඉගැන්වීම් හැට දෙකක් පමණ ක්‍රියාත්මකව පැවති සමයකයි. සෙසු ඉගැන්වීම්වලට වඩා බුදු දහම වෙනස් වන එක් සාධකයක් වන්නේ, මෙය බෝසතාණන් වහන්සේ සසර ගමනේදි ලද අත්දැකීම් මුල්කර ගෙන ඉදිරිපත් කළ දහමක් වීමයි. ඒ බව අරිය පරියේසන සූත්‍රයෙන් හෙළිකර තිබේ. මෙහි අන්තර්ගතය වන්නේ, ලොව පවත්නා ස්වභාවයයි. එනම් ස්වභාව ධර්ම මතයයි. එබැවින් බෞද්ධ ඉගැන්වීම අකාලික ගුණයෙන් යුතු ඉගැන්වීමකි.

බුදුරජාණන් වහන්සේ වරක් කොසොල් දනව්වේ වේළුද්වාර නම් ගමට වැඩම කළහ. එහිදී වේළුද්වාර ඇතුළු ඒ ගම් වැසි බමුණෝ උන්වහන්සේ හමුවට පැමිණෙති. ඔවුහු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන්නේ, උන්වහන්සේ පිළිබඳ පැතිර තිබුණූ කීර්ති රාවය ඇසීමෙනි. ගෞතමයන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුද්ධය, විද්‍යා චරණ ධර්මයන්ගෙන් යුක්තය. එතුමා සුගත ගුණයෙන් යුක්තය. ලෝකවිදූය, අනුත්තර පුරිස දම්ම සාරථිය, දෙවි මිනිසුනට ශාස්තෘය. බුද්ධ නම් වන සේක. එමෙන්ම භගවා ගුණයෙන්ද යුක්තය. උන්වහන්සේ මුල, මැද හා අග යන තුන් තැනෙහිම යහපත්වන දෙසුම් පවත්වති. ඒවා අරුත් බරයි. හොඳ තේරුමකින් යුක්තයි. උසස් ජීවිතයකට මග කියා දෙනවා”, “මේ කීර්ති රාවය නිසාම ඔවුන් බුදුරජාණන් වහන්සේ තුළ උතුම් දහමක් ඇතැයි සිතා, උන්වහන්සේ හමුවට පැමිණියහ. ඔවුහු උන්වහන්සේට දහම් දෙසීමට ආරාධනා කළේ මෙලෙසිනි” භවත් ගෞතමයන් වහන්ස! අපි දරුවන්ගේ බාධා සහිතව යහන්හි වෙසෙමු. සඳුන් ඇඟ ගල්වමු, මල් ගඳ විලවුන් දරන්නෙමු. කසීසළු අඳින්නෙමු. රං රිදී ආදිය භාවිත කරන්නෙමු . එවැනි ජීවිත ගත කරන , එවැනි ජීවිත ගත කිරීමට කැමැත්ත ඇති අපට, මිය ගිය පසු සුගතියෙහි උපදින දහමක් දෙසනු මැනව“ කියායි. බුදුහාමුදුරුවෝ ඔවුනට අනුගමනය කිරීම සඳහා අත්තුපනායික දහමක් දෙසූහ. එකී කරුණු වේළු ද්වාර සූත්‍රයට ඇතුලත්ව තිබේ.

මේ සූත්‍රයේ එන කරුණු පිළිබඳව නුවණින් විමසා බලනවිට , ඉගෙනීමට ඇති අගනා පාඩම් කීපයකි. එනම් 

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මිනිසුන් සඳහා මිසක බෞද්ධයින් සඳහා පමණක් නොවන බව,

ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අතර, දහම් මගට බැස ගැනීමට ඉඩ කඩ තිබෙන බව කය හා වචනය සංවර කර ගත යුත්තේ ඇයි ද යන වග අත්තුපනායික ධර්ම මාර්ගය පැහැදිලි කර දීම ත්‍රිකෝටි පාරිසුද්ධ සීලය කුමක්දැයි හෙළි කිරීම අධ්‍යාත්මික දියුණුව තමන්ටම ඇති කරගත හැකි බව පෙන්වාදීම, වැනි අගනා කරුණු රැසක් මෙහි ඇතුලත් වේ. බුදුරදුන් හමුවට පැමිණි මොවුහු කිසිවෙක් බෞද්ධයෝ නොවෙති. උන්වහන්සේ ඔවුනට දහම් දෙසූහ. එයින් පෙනෙන්නේ මේ දහම මිනිසුන් සඳහා වූවක් බවයි. මෙහි පළමුවෙන්ම පෙන්වා දෙන්නේ කය හා වචනය සංවර කරගෙන සිල්වත්වන ආකාරයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය හා කාමමිථ්‍යාචාරය යන කායික ක්‍රියා තුන බැහැර කිරීමද, මුසාවාද , පිසුණාවාචා , ඵරුසාවාචා හා සම්ඵප්පලාපා යන වචනයෙන් සිදුවෙන වැරදි හතරෙන් වැළකීම ද යන කරුණු හත එයට ඇතුළත් වේ. සිල් සමාදන් වීමෙන් කෙනෙකු කරන්නේ, තමන් සමාදන් වන සිල් පද වලින් කියවෙන වැරදි නොකර සිටීමට, තමන් තුළ පොරොන්දුවක් ඇතිකර ගැනීමයි. සීලයෙන් කෙරෙන්නේ පුද්ගල ක්‍රියාකාරකම් පාලනය කිරීමයි. තම හැසිරීම පාලනයකින් තොර වුවහොත්, ඒ පුද්ගලයාගේ සමාජයට සිදුවිය හැකි හානිය අති විශාලයි.ලොව කොතැනක හෝ මිනිස් හැසිරීමක් නිසා විපතක් කරදරයක් සිදුවේ නම් ඒ සීලය නොමැතිකම නිසයි.

මේ සූත්‍රයේ සිල් ආරක්ෂා කළ යුතු හේතු හතරක් දක්වයි. මිනිසුන් මෙන්ම සතුන්ද ජීවත්වීමට කැමති වෙති. තම ජීවිතයට පි‍්‍රයය. එහෙයින් කිසිවෙක් කිසිවෙකුට එරෙහිව ක්‍රියා නොකළ යුතුය. එය ජීවිතුකාමා යනුවෙන් දැක්වෙයි. අප මෙන්ම සතුන්ද ජීවිතයට පි‍්‍රයයෝය. දිව රෑ නොතකා වෙහෙස නොබලා, අව් වැසි නොතකා යමක් සපයා ගැනීමට කටයුතු කරන්නේද, ජීවිතය ගැට ගසා ගැනීමටයි. කිසිවෙක් මරණයට කැමති නොවෙති. එය අමරිතුකාමා යනුවෙන් දැක්වෙයි. අප මෙන්ම සතුන්ද සැපයට කැමැතිය. එය සුඛකාමා යනුවෙන් සඳහන් වෙන අතර හතරවෙනි කරුණ නම් හැම දෙනාම දුකට අකැමැති බවයි. දුක පිළිකුල් කරන බවයි. දුක්ඛ පටික්කූලා යනුවෙන් ඒ බව දැක්වෙයි. බෞද්ධ ඉගැන්වීම මිනිසුන් ගැන පමණක් සිතා කටයුතු කිරීමට නොව, සතුන් පිළිබඳවද එලෙසින්ම කටයුතු කිරීමටයි. එය තමන් උපමාවට ගැනීමෙන් ක්‍රියාත්මක කළ හැක. අත්තුපනායික ධම්ම පරියාය යනුවෙන් එය ඉගැන්වේ. මගේ ජීවිතයට තවෙකෙනකුගෙන් තර්ජනයක් එල්ල වනවාට මා අකැමැතිය. එමෙන්ම අනෙකෙකුද ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වනවාට මා අකැමැතිය. එබැවින් මා විසින් තවෙකෙනකුට හිරිහැර නොකළයුතුයි. එලෙස සිතා හැම වරදක්ම, හැම දුරාචාරයක්ම නොකර අත්හළ යුතු බව මේ න්‍යායෙන් ඉගැන්වේ.තමන් දුසිරිතෙන් වැළකී අනෙක් අයත් වළකාලීමට කටයුතු කිරීම සැබෑ බෞද්ධයාගේ වගකීම බව, මේ සූ‍්‍රත්‍රයේ පැහැදිලි කෙරෙන ත්‍රිකෝටි පාරිසුද්ධියෙන් අනාවරණය කෙරෙයි. ඒ අනුව පුද්ගලයෙකු තුන් ආකාරයකින් පිරිසුදුකම ඇති කරගත යුතුයි. එනම් තමන් වරදින් වැළකීම පළමුවැන්නයි. දෙවැන්න අනුන් වරදින් වළකාලීමයි. තෙවැන්න වැරදි නොකිරීමේ ගුණය අගය කිරීමයි. බෞද්ධයින්ගෙන් වැඩි දෙනා පළමුවැන්න ඉටු කරති. තමන් වරදින් වැළකී සිටිති. අඹු දරුවන් පෝෂණය කරමින්, රැකියාවල යෙදෙමින් කාමභෝගී ජීවිතයක් ගෙවන ගිහියාට, දහමට අනුව කටයුතු කිරීම උගහටයැයි සමහරු සිතති. දුක ගැන කතා කරන දහමක, සැපවත් ජීවිත ගෙවීමට ඉඩක් තිබේදැයි ඇතැමුන් විමසති. මේ ගැටලුවලට කදිම විසඳුමක් මෙම සුත්‍රයෙන් ලබාගත හැක. දහම් මග පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් කෙනෙකුට ,සැබවින්ම ගිහි ජීවිතයට අදාළ සියල්ල කරමින් සතුටින් ජීවත්විය හැකිබව, මෙහි දැක්වෙන සෝතාපන්න අංග හතරෙන් හෙළි කරයි. අවෙච්ඡප්පසාදයෙන් යුතුව බුදු රජාණන් වහන්සේ, ධර්ම රත්නය හා සංඝරත්නය සරණයාමත්, අරියකාන්ත සීලය ආරක්ෂා කිරිමත් යන මේ සතර, සෝතාපන්න අංග වේ. බුදුන් සරණයාම යනු බුද්ධත්වය පිළිගැනීමයි. එසේ පිළිගැනීමක් ඇති තැනැත්තා බාහිර බලවේග පිළිබඳ විශ්වාස නොකරයි.

දහම නුවණ හෙළි කරන මග බැවින්, දහම සරණ යන්නාට අනෙකෙකු සරණයාමේ අනුවණකම වැටහෙනු ඇත. ආර්ය සංඝයා තුළ පැවති උදාර ගුණ, තමන් තුළ ඇතිකර ගැනීම සංඝයා සරණයාමයි. කරුණු දැන තෙරුවන් සරණ යන තැනැත්තා අකුසලයෙන් වළකී, කුසලයෙහි යෙදෙයි.අන්අයද අකුසලයෙන් වළකාලයි. එපමණක්ද නොව, ඔහු තමන් සමාදන්වන සීලය පළුදු නොකරගෙන, සිදුරු නොකරගෙන ආර්යයන් වහන්සේලාගේ ප්‍රසාදය ඇතිවන පරිදි,ආරක්ෂා කරයි. එසේ රකිනු ලබන සීලය අරිය කන්ත සීලය ලෙස දක්වා තිබේ. මුලින් දක්වන ලද කාය වාග් සුචරිතයේ අංග හත සපුරාගෙන, සෝතාපත්ති අංග හතර දියුණු කරගත් තැනැත්තාට, “මම නිරයෙන්, පේ‍්‍රතලෝකයෙන්, තිරිසන් බවෙන් මිදුනෙක් වෙමියි” සහතික විය හැක. එබැවින් ඔහුගෙන්, කිසිවෙකුටත් නපුරක් , නරකක් සිදුනොවේ. යහපතක්ම සැපතක්ම සිදුවෙයි. ඔහු නිර්භයව ජීවත් වන්නා සේම සෙසු අයද බියෙන් තොරව ජීවත් වෙති. පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙති.

කඩුගන්නාව, මුදලිවත්ත, දීපාලෝක විහාරාධිපති 
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

No comments:

Post a Comment