Tuesday, 17 November 2015

අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව

අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව

“ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ, තත්‍ර ඛො භගවා පඤ්ච වග්ගියෙ භික්ඛු ආමන්තෙසි, භික්ඛවොති, හදන්තෙති? තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා, එතදවොච, රූපං භික්ඛවෙ, අනත්තා, රූපඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, න ඉදං රූපං ආබාධාය සංවත්තෙයිය, ලබ්බේථ ච රූපෙ, එවං මෙ රූපං හොතුං එවං මෙ රූප මා අහොසී ති, යස්මා ච ඛො භික්ඛවෙ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තංනච ලබ්හති රූපෙ එවං මෙ රූපං හොතුං එවං මෙ රූපං මා අහොසි ති (සං.නි. ඛන්ධ සංයුක්තං උපය වග්ග 1 – 2 – 1 – 7 බු.ජ. 115 පිට)

අපේ බුදු හාමුරුවො බුද්ධත්වයට පත්වෙල සහම්පති මහා බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් ද මේ දෙසන්නට තීරණය කළහ. තමන් වහන්සේ අවබෝධ කර ගත් සද්ධර්මය ඉතා ගැඹුරු, ඉතා සියුම් ධර්මයක් නිසා කෙලෙස්බරින් මැඩුණු පුහුදුන් ජනයාට එය වටහා ගත නොහැකියයි සිතා උන්වහන්සේ පළමුවෙන් ධර්මදේශනා කරන්නට උදාසීන වූ සේක. එහෙත් බඹහුගේ ඇරයුම පිළිගත් උන්වහන්සේ අල්පරජෂ්ක පුද්ගලයන් ලොව සිටින බව දැක ධර්ම දේශනා කරන්නට තීරණය කොට ලොව සිටින ඉතා නුවණැති අය කවරහුදැයි බැලූහ. දුෂ්කරක්‍රියා කළ සාවරුදු සමයෙහි උන්වහන්සේට වූ ආළාරකාලාම, උද්දකරාම පුත්ත, වැනි ධ්‍යානලාභී අෂ්ට සමාපත්ති ලාභි තවුසෝ කොහි සිටින්නෝ දැයි බැලූ විට ඔවුන් මිය අරූපතලවල උපන් බව දුටහ.

බුදුන් වහන්සේ අනතුරුව බැලුවේ තමන් වහන්සේගේ සාවුරුදු දුෂ්කරක්‍රියා සමයේ තමන් බුදුවේය යන විශ්වාසයෙන් උන්වහන්සේ සමීපයෙහි හැසිරෙමින් තමන්ට උවටැන් කළ බුද්ධිමත් පස්වග තවුසන්දෙසය.ඔවුන් තමාද අනුගමනය කළ අත්තකිලමථානුයෝගය බැහැර කොට සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වූ විට අත්තකිලමථානුයෝගයෙන් තොරව නිවන ලබන්නට නොහැකිය යන මිසදිටුයෙහි දැධ් විශ්වාසයෙන් සිටි පස්වග තවුසෝ බුදුන් හැරගොස් සිටින්නෝ කොතැනක දැයි දිවැසින් බැලූහ. ඔවුන් බරණැස ඉසිපතනයේ මිගදාය නම් අසපුවක වසන බව දැක බරණැස සිට ඔවුන්ට දහම් දෙසීම සඳහා පා ගමනින් එහි වැඩම කළහ. බුදුන් වහන්සේ ඉසිපතනයට ළඟා වූයේ ඇසළ මස පුර පොහොය දිනයේ සවස් යාමයෙහිය. සිදුහත් තවුසාණෝ බුදුවිය නොහී යළිත් අපගෙන් උපස්ථාන ලැබීමට තමන් සමීපයට පැමිණෙතැයි සිතූ තවුසෝ මුලදී උන්වහන්සේ පිළිගන්නට නො කැමැති වුවත් බුදුන් වහන්සේ විසින් තමන් බුදු වූ බව යළි යළිත් වදාළ විට විශ්වාස කළහ. ඉක්බිති එම සන්ධ්‍යා සමයෙහි තමන් අවබෝධ කරගත් ධර්මය අසන්නට සැරසෙන්නට යයි වදාළ විට ඔවුහු එම අලුත් දහම අසන්නට සූදානම් වූහ.

මේ අවස්ථාවේ මුව වනයෙහි වූ අසපුවෙහි මේ දහම අසන්නට සිටියේ මනුෂ්‍යයන් වශයෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ, වප්ප, මහානාම, භද්දිය හා අස්සජි යන තවුසන් පස්නම පමණි. ඒ හැර සෙස්සෝ දසදසක් සක්වල අප්‍රමාණ දෙව් බඹහු වූහ. “සිව් සස්” දහම මොවුනට දෙසූ බුදුරජාණන් වහන්සේ මහණෙනි, සිරුරට දුක් දීමෙන් සැප ලැබිය හැකිය හා සිරුරට සැප දීමෙන් සැප ලැබිය හැකිය යන අන්ත දෙකම නිවන් මඟ නොවන බැවින් ඒ දෙකින්ම තොර මැදුම් පිළිවෙත නම් අරිඅටගි මඟ පිළිපදින්නටය යි වදාළ ධම්මචක්ක සූත්‍රය දේශනා කළහ. කවරදාක නොඇසූවිරූ අතිශය ගැඹුරු එම දහම ශ්‍රවණය කළ පස්වග තවුසන්ගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් බුද්ධිමත් තවුසාට පමණක් අවබෝධ වී නිවන් මගේ පළමු පියවරට අවතීර්ණ විය. ඒ හැර දෙව් බඹහු බොහෝ දෙනකුට ද අවබෝධ වූහ. එම ඇසළ පුර පෝදින සිට ඉදිරි සිවු දින තුළ කොණ්ඩඤ්ඤ තවුසා හැර සෙසු සිව් දෙනාට දහම් දෙසා එක් දිනෙක එක තවුසා බැගින් සෝතාපත්ති ඵලයට පමුණුවා සවන දිනයෙහි තවුසන් සියලු දෙනාම එක්කොට මෙම අනත්තලක්ඛණ හෙවත් පඤ්චවග්ගිය සූත්‍ර ධර්මය දේශනා කොට පස්නමම අර්හත්වයට පත් කළසේක.

අනත්ත ලක්ඛණ ධර්ම දේශනාව අසනවිට පස්වග තවුසෝ “ඒහිභික්ඛු භාවයෙන්” පැවිද්ද ලබා සිටියහ. එහෙයිනි, බුදුන් වහන්සේ උන්වහන්සේ භික්ඛවෙ කියා ඇමතුවේ එසේ අමතා උන්වහන්සේ දේශනා කළා මහණෙනි, රූපය අනාත්මයි. මහණෙනි, මේ රූපය ආත්ම නම් (ද්‍රව්‍යයක් නොවන නොදිරන ජරා, මරණ නැති සදාකාලික ජීව නම් මෙය ජරා, ව්‍යාධි, මරණ, දුක්, දොම්නස් ආදියට භාජන වන්නෙක් නොවේ. ඒ ආත්මය කිසිම විපතට, හිරිහැරයකට විපරිතාවයකට භාජන වන්නේ නැහැ. ආත්මයක් නම් සදාකාලිකව ම එකම ස්වරූපයෙන් පවතින්න ඕන. මහණෙනි, යම් හෙයකින් රූපය කියල යමක් තියෙනව නම් එම රූපය (මගේ නම්) එය මේ විදියට දිරන්න, කැඩෙන්න, ලෙඩ වෙන්න, අවලස්සන වෙන්න මා ඉඩ තියෙන්නෙ නැහැ. මාගේ මේ රූපය නොකැඩී නොදිරා මට ඕන හැටියට හැමදාම මා කැමැති වයසක මා කැමැති පරිදි සුරූපීව, සෝක පරිදේව, දුක්ඛ,දොීමනස්ස ආදියෙන් තොරව හැමදාම තියෙන්න ඕන කියල හිතුවට, එසේ තියා ගන්න උත්සාහ කළාට, කවරදාක වත් එසේ වන්නේ නැහැ. එසේ නම් මහණෙනි, මේ (ඔබේ හෝ මගේ හෝ) රූපය ඔබ, මම, කැමැති පරිදි නොතිබී වෙනස් වන්නේ කැඩෙන්නේ, බිඳෙන්නේ දිරන්නේ මැරෙන්නෙ නානාබාධවලට භාජන වන්නෙ මෙය ආත්ම සහගත නොවන නිසයි. මෙය සදාකාලික වෙනස් නොවන ආත්මයක් නොවන නිසයි. ඒ නිසාම මාගේ මේ රූපය මේ මේ විදියට ආබාධවලට භාජනය නොවී හැමදාම සුරූපීමත්ව දුටුවන් මන වඩන පරිදි ජරා ව්‍යාධි, මරණාදීන් තොරව හැමදා පවතීවා කියල සිතුවට එය කවරදාක සිදුනොවන්නකි. මහණෙනි, මෙන්න මේ තත්ත්වයට අප කියනව රූපය අනිත්‍ය කියල. එම නිසා තමයි රූපය අනිත්‍ය වන්නෙ. දුක්ඛ වන්නෙ. අනාත්ම වන්නෙ.

අනතුරුව බුදුන් වදාරනව මහණෙනි, රූපය මෙන්ම වේදනාවත් අනාත්මයි. සංඥාවත් අනාත්මයි. සංස්කාරයත් අනාත්මයි. විඥානයත් අනාත්මයි. රූපස්ඛන්ධය මෙන් විඥානය ආදී සෙසු උපාදාස්කන්ද හතරමත් ආත්ම (සදාකාලික ජීව) වී නම් මේ එකක්වත් ආබාධිත වන්නේ නැහැ. මාගේ මේ විඥානාදී සිත පසම මට අවශ්‍ය පරිදි මේ මේ විදියට පවතීවා මේ මේ විදියට නොපවතීවා කියා සිතුවට එසේ වන්නේ නැහැ. මහණෙනි, මේ විඥානාදිය අනාත්ම නිසයි ඒවා ආබාධයට පැමිණෙන්නෙ. මාගේ රූපය, විඥාණයකද? පස තම තමන් සිතන විදියට නොපවතින්නේ ඒවා ආත්ම නොවන නිසයි.

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ යළිත් භික්ෂූන්ගෙන් අහනව, මහණෙනි, රූපය නිත්‍ය ද අනිත්‍ය ද? කියලා. ලෝකයෙහි සජීවී අජීවී යන සියලුම වස්තු රූපී බවක් දක්වන්නෙ මහාභූත හෙවත් ස්වභාව ලක්ෂණ හතරකිනුයි. එනම් පඨවි (තද ස්වභාවය), ආපො (වැගිරෙන ස්වභාවය) තෙජො (උණුසුම් ස්වභාවය හා වායො ( සැලෙන පිම්බෙන ස්වභාවය) කියන ද්‍රව්‍ය නොවන එකෙත් මේ මූලධර්ම හතරේ එකතුවෙන් ද්‍රව්‍යයන් නිර්මාණය වන ශක්තිවල එක්වීමෙනි. මේ හතරින් යම් දෙයක එක ගතියක් අඩු හෝ වැඩි වීම නිසා ඒ ගතිය ඒ ඒ වස්තුවල අඩු වැඩි වශයෙන් පවතිනව. උදාහරණයක් වශයෙන් අප මහපොළොව ගත්තොත් එය සෙසු ගති තුනටම වඩා තද ගතියෙන් යුක්තයි. එහෙත් නිර්මාණය වී ඇත්තේ සුදු තද ගතියෙන්ම නොවේ. එහි ආපො ආදී සෙසු ගති තුනම සංකලනය වී තිබේ. ජලය ගත්තොත් එහි දියාරු ගතිය වැඩියි. එහෙත් එයත් සැදී තිබෙන්නේ සෙසු ගති තුනේම සංකලනයෙනි. අනෙක් ද්‍රව්‍යවල තත්ත්වයද එසේ යි. මේ හතර එකට සංකලනය වූ තැන වර්ණය ගන්ධය රසය ඕජාව යන ගති හතර ද හටගනී. ඒ නිසා මේ ගති එකතු වුණාම හැම ද්‍රව්‍යයක්ම ශුද්ධාෂ්ටක රූප කාලය හෙවත් රූප මිටි බවට පත් වෙනවා එසේ නම්ය. ශරීර ගස්, වැල්, ජලය ආදී සියලු දැයම සියලු රූපම සැදී තිබෙන්නේ මෙසේය. මේ සියල්ල අනිත්‍යයි. කැඩෙන බිඳෙන විනාශ වන සුළුයි.

එහෙයින් මේ ශරීරය මම නොවෙමි. මේ ශරීරය මගේ නොවේ. මේ ශරීරය තුළ මාගේයයි කියහැකි ආත්මයක් නැත. එසේම චක්ෂුරාද ී ෂඩ්න්ද්‍රියයන්ට රූපාදී අඩලාම්බන අරමුණු වීම නිසා සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන වේදනා (මානසික වින්දන) උපදිනව. එම වේදනාද, එමෙන්ම එම රූපාදියේ ස්වභාව හඳුනා ගැනීම නමැති සංඥාව ද, එසේම (ස්ඛන්ධ පහෙන් රූප, වේදනා සංඥා යන තුන හැරුන විට ඉතිරි ස්ඛන්ධය හෙවත් චෛතසික සංඛාරස්ඛධන්ය නමැති චෛතසික ද හටගනී. මේ සංඛාරකර්මයි. එසේම විඤ්ඤාණය එනම් සිත (සිතිවිලි සිතන ශක්තිය ඇත්තේ සිතටයි. සිතෙහි සිතිවිලි උපදින්නේ) එයිනි සත්ත්වයා සසර සැරිසර වන්නේ ලෝකය හෙවත් සත්ත්වයා සසර ගමන් කරවන්නේ සිත මුල්වයි. යන සිද්ධාන්තය බුදු දහමේ උගවන්නේ සියල්ලටම සිත ප්‍රධාන නිසයි. අත්ත හෙවත් ආත්මය යනුවෙන් දක්වන්නේ ද සිත මිස බාහිර වූ සර්වබලධාරී සදාකාලික සත්ත්වයකු හෝ බලයක් පිළිබඳව නොවේ. මේ අනුව මෙම සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් වදාරනව මහණෙනි, මේ පඤ්චුපදානක්ඛන්ධත්වයම අනාත්මයි. මේවා ආත්ම වූයේ නම්, ඒවා ආබාධවලට භාජන වන්නේ නැහැ. මේවා කැමැති පරිදි වෙනස් නොවී සදාකල්හි මා කැමැති පරිදි පවතින්න ඕන. මහණෙනි, කවරදාකවත් එසේ පවතින්නෙ නැහැ. ඒ නිසා මහණෙනි, මේ පඤ්චස්කන්ධයම අනාත්ම (නිත්‍ය ආත්මයක් නොවන) නිසයි. ඒවා ආබාධිත වන්නේ ඒවා එකක් එකක් තමා කැමැති පරිදි එකසේ නොතිබෙන්නේ, එසේම තමා ගේ පඤ්චස්කන්ධයට මෙහෙම නොවේවායි සිතුවත් මෙහෙම වන්නේ ඒවා අනාත්ම කියා යයි වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරනව මහණෙනි, රූපය නිත්‍යද? අනිත්‍යද? කියල. ස්වාමිනී, රූපය අනිත්‍යයි, කියල උන්වහන්සේ පිළිතුරු දුන්හ. යළිත් ප්‍රශ්න කරනව යමක් අනිත්‍ය නම්, එය දුක්ඛ සහගතද? නැතහොත් සුඛ සහගතද?

භික්ෂුහු - ස්වාමීනි, දුක්ඛ සහගතයි. අනිත්‍ය සියල්ල දුකින් යුක්තයි. නිත්‍ය නම් සුඛ සහගතය විය යුතුයි?

බුදුහු - මහණෙනි, යමක් අනිත්‍ය නම් එය දුක්ඛ සහගත නම් වෙනස්වන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. ඒ මාගේ ආත්මයයි දැකීම හෙවත් පිළිගැනීම හරිද?

භික්ෂුහු- ස්වාමිනි, සුදුසු නැහැ. (එහෙම වෙන්නට බැහැ)

බුදුහු - යළිත් ප්‍රශ්න කරනව මහණෙනි, වේදනාව, සංඥාව, සංස්ඛාර, විඥාන යන මේවා නිත්‍යද? අනිත්‍යද?

භික්ෂුහු - ස්වාමීනි, අනිත්‍යයි, බුදුහු - මහණෙනි, යමක් අනිත්‍ය නම් හෝ දුක් හෝ සුඛ නම්? ස්වාමීනි, ඒත් දුකයි. බුදුහු - මහණෙනි, යමක් අනිත්‍යද? දුක්ඛ ද වෙනස්වන සුළු, එයමාගේය, එය මමය, ඒ මාගේ ආත්මය යනුවෙන් පිළිගැනීමට සුදුසුද? භික්ෂුහු - ස්වාමිනි, එසේ පිළිගැනීම කැළම සිදුවිය යුත්තක් නොවේ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ වදාරනව, මහණෙනි, ඒ නිසා අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට අයත් වන තමා පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳව හෝ ඔලාරික (විශාල) වූ හෝ සියුම් වූ හෝ හීන (පහත්) වූ හෝ උසස් වූ හෝ යම්කිසි රූපස්ඛන්ධයක් වේ නම්, එමෙන්ම ඒවා භවාග්‍රයේ සිට අවීචිය තෙක් ලොව එ බන්දක් ඉතා දුර හෝ ළඟ හෝ කොතැනක හෝ තිබේ නම් ඒ සියලු රූපාදිය පස පිළිබඳවම මේ ආකාරයෙන් දකින්න. කෙසේද? (නෙතං මම) මේ රූපාදි පඤ්චස්ඛන්ධය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවෙයි. යනුවෙන් සම්‍යප්‍රඥාවෙන් (නිවැරදි යථා තත්ත්වය දකිණ නුවණින්) දකින්න.

මහණෙනි, තම තමාගේ මෙන්ම බාහිර වූත් අතීත අනාගත, පච්චුප්පන්න වූත් සියලුම උපාදානයස්ඛන්ධ පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා (විශේෂයෙන් දක්නාසුළු) ප්‍රඥාවෙන් දකින ආර්යශ්‍රාවකයා දෙතිස් කුණපයන්ගෙන් පිරිණු නවදොරකින් අසූචි වෑහෙන රූපයෙහි නිසරු බව වටහා ගෙන කලකිරෙයි. පිළිකුල් කරයි. බැහැර කරයි. එසේම වේදනාව, සංඥාව සංස්කාර විඥාන යන සෙසු ස්කන්ධ පිළිබඳව ද එමෙන්ම සලකා ඒමයි කලකිරෙයි. එසේ ඒවා පිළිබඳ ප්‍රඥාවෙන් දැක කලකිරුණ ආර්යශ්‍රාවකයා රූපාදියෙහි ඇලීම දුරලයි. ඇලීම නිසා ඇතිවන රාගාදී කෙලෙසුන් ගෙන් මිදෙයි. තමා සසර අනාදිමත් කාලයක් බැඳ තබාගෙන අපමණ දුක් දුන් කෙලෙසුන්ගෙන් මිදුන පසු එයින් මිදුණෙමි යි යන විදර්ශනා ප්‍රඥාව පහළවෙයි. අර්හත් ඵලයට පත් වූ මුන්වහන්සේ දැන් නුවණින් දකිනව මාගේ සංසාරික උපත නැතිවුණා. නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව පුරල අවසානයි. සසර දුක් දුරලීම සඳහා කළයුතු සියලු පිළිවෙත් පුරා අවසානයි. අර්හත්වය සඳහා මතු මතු තවත් කළයුතු කිසිවක් නැත. යන්න අවබෝධ කරගනියි. මේ ආකාරයෙන් ඇසළ පුරපෝදා සිට දින හයක් ගතවුණු දා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේ එක්කොට දෙසූ මේ අනමතග්ග හෙවත් පඤ්චවග්ගිය සූත්‍ර දේශනාව ඇසූ පස්වග භික්ෂූහු අර්හත්වයට පත්ව බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්හ. මේ ධර්ම විවරණය බුදුන් විසින් වදාරත්ම පස්වග මහණුන්ගේ සිත් තවත් නූපදින සේ කෙලෙසුන්ගෙන් මිදුණේ ය.


රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති 
අග්ගමහා පණ්ඩිත 
පල්ලත්තර සුමනජෝති නා හිමි

No comments:

Post a Comment