Saturday, 14 November 2015

බුදුමුත්තාව රජමහා විහාරය

බුදු මුතුහර තැන්පත් කොට ඉදිකළ චෛත්‍යය සහිත
බුදුමුත්තාව රජමහා විහාරය

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මාගුල්ඕතොට කෝරළයේ පිහිටා ඇති මෙම පූජනීය ස්‌ථානය බුදුමුත්තාව රජමහා විහාරය නමින් හැඳින්වේ.
බුදුමුත්තාව ටැම්පිට විහාරය සහිත භූමිය 1966 අගෝස්‌තු මස 12 වැනි දින නිකුත් කරන ලද අංක 14708 දරන රජයේ ගැසට්‌ පත්‍රය මගින් පුරාවිද්‍යා රක්‍ෂිත භූමියක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ආචාර්ය එඩ්වඩ් මුලර්, එච්. සී. පී. බෙල්, ඒ. එම්. හෝකාට්‌ හා මහාචාර්ය සෙනරත් පරණවිතාන යන පුරාවිද්‍යා කොමසාරිස්‌වරුන්ගේ අවධානයට ලක්‌ වූ මෙම පුරාවිද්‍යා භූමිය තවදුරටත් විද්වතුන්ගේ පර්යේෂණයන්ට ලක්‌විය යුතුය.
මෙම විහාරස්‌ථානයට 'බුදුමුත්තාව' යන නම ලැබීමට හේතු වූ සාධක පිළිබඳ මත දෙකක්‌ පවතී.
සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුහරය ශ්‍රී ලංකාවට රැගෙන ආ දණ්‌ඩ ශාක්‍ය හා තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා එම මුතුහරය තැන්පත් කොට තැනූ ස්‌ථූපය 'බුදු මුතුහර වෙහෙර' යනුවෙන් නම් වූ බව ද පසු කලෙක උච්චාරණ පහසුව කතා එය බුදුමුත්තා වෙහෙර යනුවෙන් භාවිතයට ආ බව ද කියෑවේ. මෙම කතාවෙන් ප්‍රකාශිත අදහස තහවුරු කෙරෙන පුවතක්‌ සිරිලක කඩඉම් පොතෙන් හමුවන බැව් වත්මන් විහාරාධිපති දඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති. එම කඩඉම් පොතෙහි "අප බුදුන්ගේ මුක්‌තා ධාතූන් වහන්සේ පිහිටු වූ දාගැබට වැඳ පුදා ස්‌වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය." යනුවෙන් සඳහන් වන පාඨය අනුව මෙය මුතුහරය තැන්පත් කොට තැනූ වෛත්‍යය බවට ඓතිහාසික පසුබිමක්‌ සැකසෙන බව ද උන්වහන්සේ පවසති.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය වූයේ 'බදුවලින් මුක්‌ත වූ (බදුවලින් නිදහස්‌ වූ) ප්‍රදේශය' යන අරුතින් මෙයට බුදුමුත්තා යන නාමය ලැබුණු බවය.
මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුර, පොලොන්නරු සහ මහනුවර යුගයන්ට නෑකම් කියන පුරාවස්‌තු රැසකින් පිරී පවතී.
දැනට දක්‌නට ඇති දෙමහල් ටැම්පිට විහාරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දක්‌ බවට සාධක පවතී. මහනුවර දළදා මාලිගාවේ සැලසුමට අනුව ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැඟිල්ල ඉතා දුර්ලභ ගණයේ එකක්‌ ලෙස සැලකේ.
මෙම ටැම්පිට විහාර මන්දිරයේ උඩුමහලේ ඇති බිතු සිතුවම් දැනට දුර්වර්ණ වී තිබේ. මෙම ගොඩනැඟිල්ලේ වහලයට යොදා ඇත්තේ පෙති උළුය.
පොලොන්නරු යුගයට අයත් ශිව කෝවිලක්‌ ද මෙම විහාර භූමියේදී දැක ගත හැකිය.
මෙම විහාර භූමියේ දක්‌නට ඇති පැරැණි සංඝාවාසය පුරාවිද්‍යාත්මක හා වාස්‌තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැඟිල්ලකි. මෙම ගොඩැඟිල්ල තුළ වර්ෂා කාලයට උණුසුම් ගතියක්‌ද, උණුසුම් කාලයට සිසිල් ගතියක්‌ ද දැනෙන බැව් විහාරවාසී භික්‍ෂුන් වහන්සේ පවසති. එසේම මෙහි ඉදිරිපස සහ පසුපස යොදා ඇති යෝධ දැව දොරවල් පිටින් අගුල් දැමිය නොහැකිය. එම දොරවල් දෙකම සාදා ඇත්තේ ඇතුළතින් පමණක්‌ අගුල් දැමිය හැකි ලෙසටය. මෙවැනි දොරවල් යොදා ඇත්තේ සංඝාවාසයේ සෑම විටම යම්කිසිවකු සිටිය යුතු බව හැඟවීමට බැව් විහාරාධිපති හිමියෝ පවසති.
බුදුමුත්තාව රජමහා විහාරස්‌ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්‍ෂරවලින් ලියෑවුණ ලේඛන තුනක්‌ දක්‌නට ඇත. ඉන් දෙකක්‌ පැරැණි ටැම්පිට විහාර මන්දිරයේ ගල් කුළුණු දෙකක සටහන් වී තිබේ. එම ලිපි දෙක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවා අර්ථ නිරූපණය කර තිබේ. මෙය ජයබාහු රජුට (ක්‍රි. ව. 1110 - 1152) අටවන වර්ෂයේදී වීරබාහුගේ නිලධාරීන් විසින් පිහිටුවනු ලැබූවක්‌ ලෙස සැලකේ.
දෙවැනි ටැම් ලිපිය ද ජයබාහු රජුගේ අටවැනි වර්ෂයේදී පිහිටුවනු ලැබූවකි. වීර පෙරුමාල් නමැත්තාගේ භාර්යාව වූ ත්, කුලතුංග නම් චෝල රජුගේ දියණිය වූත් කුමරියක විසින් 'මහාගල්ලක' නමැති වික්‍රමශිලා මේඝ පුරවරයෙහි පිහිටි ඊශ්වර දේවාලයකට කළ පරිත්‍යාගයක්‌ පිළිබඳ එමගින් තොරතුරු අනාවරණය වේ.
දොළොස්‌ වැනි සියවසේදී මෙම ප්‍රදේශය මාගල්ල යනුවෙන් හැඳින්වූ බවට මෙම ලිපිය සාක්‍ෂි දරයි.
මෙම විහාරස්‌ථානයේ දක්‌නට ඇති තුන්වැනි ලේඛනය පුවරු ලිපියකි. එහි එක්‌තරා වෙළෙඳ සමාගමක්‌ පිළිබඳව තොරතුරු අඩංගු වන බවත්, එය පොලොන්නරු යුගයට අයත් එකක්‌ බවත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ භාෂාව පිළිබඳ මහාචාර්යවරයකුව සිටි ඒ. වේළුපිල්ලෙයි මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
ක්‍රි. ව. 1763 - 64 වර්ෂයන්ට අයත් කාලය තුළ ප්‍රදානය කෙරුණු තඹ සන්නසක්‌ ද විහාරස්‌ථානය සතුව පවතී.
සත්කෝරළය දිසාවේ මාගුල්කෝරළය බද මැද පත්තුවේ මෙම විහාරය පිහිටා ඇති බවත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මෙම විහාරස්‌ථානය වල්බිහි වී ජරාවාසව තිබී රජතුමාගේ අනුග්‍රහය මත නැවත පිළිසකර කරන ලද බවත් එම සන්නසෙහි සඳහන් වේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරස්‌ථානයට පරිත්‍යාග කරන ලද පුස්‌කොළ පොත් විශාල සංඛ්‍යාවක්‌ සංඝාවාසයේ අල්මාරි දෙකක සුරක්‍ෂිතව තැන්පත් කර ඇති අයුරු අපි දුටිමු.
එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බිසව විසින් විහාරස්‌ථානයට පරිත්‍යාග කරන ලද සැවැන්දන මුල් යොදා සකස්‌ කරන ලද විජිනිපතක්‌ ද මෙහිදී දැක ගත හැකිය. විහාරාධිපති හිමියන් පවසන අන්දමට ශත වර්ෂ 1758 දී මිදෙල්ලව කෝරාල නමැති කිවිවරයකු විසින් ලියා ඇති 'තිසර සන්දේශය' නමැති කෘතියෙහි බුදුමුත්තාව රජමහා විහාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ සඳහන්ව තිබේ. ඉන් කවි දෙකක්‌ මෙසේය.

සතර වටිය වළු කරටිය නිම් මාන
නෙරළු කැටිය සෙත කරටිය දම් මාන
සොඳුරු සිටිය කත දැවටිය උම් මාන
මිතුර දුටිය නිකවැරටිය ගම්මාන

දැනගත්තා පෙර ලෙස ගණිතය මෙවරේ
ගැන ගත්තා සත් විසි නැකතම නොහැරේ
අර ගත්තා පරසිඳු නැකතම අනුරේ


බුදුමුත්තා වෙහෙරට වැඳගන් මිතුරේ

No comments:

Post a Comment