Sunday, 8 November 2015

ඛේම සූත්‍රය

ඛේම සූත්‍රය



භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම’ යි කරන්නේ. ඒ අය ජීවත් වෙන්නේ තමන්ට ම සතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක් තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව.

යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ. අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින් තමයි ඒවායේ විපාක විඳීන්ට සිද්ධ වෙන්නෙ. කියල ඒ දිව්‍ය පුත්‍රයා කියා සිටියා. ඊට පස්සෙ කියා සිටියා, “ යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම් ඒ වගේ දේවල් තමයි කරන්ට ඕනෑ. ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි” කියල.

එවිට බලන්න පව් කළාම ඒවායේ විපාක විඳින්ට සිද්ධ වෙන්නේ කඳුළු පිරුණු මුහුණින් තමයි නමුත් යහපත් දෙයක් කළාම ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවන්. එහෙනම් කල්පනා කරල බලන්න, අප කෙසේ විය යුතුද කියල. අප ප්‍රඥා රහිත මෝඩ උදවියගේ ගණයට වැටෙනවද, ඒ ගණයෙන් ඈත් වෙනවද ? කියල කල්පනා කරන්න, ඉතින් ඒකට ප්‍රමාද වෙලා බෑ. ප්‍රමාද වුණොත් අප මේකෙන් ගැළවෙන්ට බැරිව යනවා. ප්‍රමාද වුණොත් අප ප්‍රඥා රහිත අයගේ ගොන්නට වැටෙනව. ඒක වළක්වන්න බෑ. අප්‍රමාදී බව තුළ තමා ප්‍රඥාවන්තයන්ගේ ගොන්නට වැටෙන්නෙ. ප්‍රමාදය තුළ අප හිටියොත් එහෙම ප්‍රඥා රහිත උදවිය කරන යම් දේ තියෙනව නම්, ඒක තමයි අපත් කරන්නෙ. බලන්න ඒ අය තමන්ට ම සතුරුවලා ජීවත් වෙනව නේද කියලා.

අප අතීත ජීවිතවල එහෙම ඕනෑ තරම් කරන්න ඇති. තමන් තමන්ට ම සතුරු වෙලා ජීවත් වුණ ජීවිත අපට තිබිල ඇති. එහෙම නොතිබුණා නම්, අප මේ තරම් දුර මේ සංසාරෙ එන්නෙ නෑනේ. තමන් සැබැවින්ම තමන්ට මිතුරෙක් වුණා නම්, මේ සංසාරෙන් අප නිදහස් වෙලා බොහෝ කල්. ඒ නිසා අප දැන් ඒක තේරුම් ගන්ට ඕනෑ.

ඒක තේරුම් අරගෙන තමන්ට සතුරුවෙන ස්වභාවය වළක්වා ගන්ට තම තමා දක්ෂ වෙන්ට ඕනෑ. ඒක තව කෙනෙක් කරල දෙන්නෙ නෑ. තව කෙනෙක්ට පුළුවන් තමන්ට සතුරු වෙන විදිහ වළක්වා ගන්ට උපකාර කරන්ට මඟ පෙන්වන්ට පමණයි. “ ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න” මේ ආදී වශයෙන් මඟ පෙන්වීමක් විතරක් කරන්ට පුළුවන්. අන්න ඒ සඳහා තමා, අප මේ ධර්මය සිහිකරල දෙන්න කල්පනා කළේ.

එවිට ඒ දිව්‍ය පුත්‍රයා කියා සිටියා “ යම් දෙයක් කළාට පස්සේ, ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්නට හොඳ නැත. අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින් තමයි ඒවයේ විපාක විඳින්න සිද්ධ වෙන්නේ” කියල. බලන්න මේ කියන කාරණාව. යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්ට හොඳ නෑ. අප මේ ධර්මය සිතේ දරා ගන්ට ඕන. එවිට ඇයි ඒ දේ කරන්න හොඳ නැත්තේ? අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින් ඒවට විඳින්ට සිද්ධ වෙන නිසා. ඒ විපාක තව කෙනෙක් නොවෙයි විඳින්නේ.

තමාමයි. තමන්ටම ඒ දුක් විඳින්න සිද්ධ වෙනව. ඒක තේරුම් ගන්න. දැන් බලන්න තමාට තමා ම සතුරෙක් වෙනවා නම්, මේ ධර්මය පිළිගන්නේ නෑ නේද ? නමුත් අප යමක් කළාම ඒකෙ විපාක කඳුළු පිරුණු මුහුණින් විඳින්ට සිද්ධ වෙනවා කියල පිළිගන්නවා නම්, අන්න ඒක කරන්නෙ නෑ තමන්ට මිතුරු කෙනා, එහෙනම් මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන පිළිගන්න. ඊළඟට එයා කියා සිටියේ කුමක්ද ? යම් දෙයක් කළාට පස්සෙ, ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒවගේ දේවල් තමයි කරන්ට ඕනෑ කියල. එහෙනම් අන්න ඒ ධර්මයත් තේරුම් ගන්න.

අප යමක් කළාට පස්සේ ඒකෙන් පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේ කරන්ට ඕනෑ. යමක් කළාට පස්සේ, ඒ දේ අනුව පසුතැවෙනව නම්, ඒ දේ කරන්න හොඳ නෑ. ඇයි ඒක කරන්න හොඳ නැත්තේ? ඒකෙ විපාක විඳින්න සිද්ධ වෙන්නෙ කඳුළු ගල ගලා.

නමුත් යමක් කළාට පස්සෙ ඒකෙ පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේවල් කරන්න ඕනෑ. මොකද ඒ දේවල් කළ යුත්තේ ඒවායේ විපාක සතුටු සිතින් විඳීන්ට පුළුවන් නිසා.

ප්‍රඥාවන්ත, වීරියවන්ත කෙනා නොමඟ ගිය ගැල්කරුවෙක් වගේ සිතන්ට හොඳ නෑ. සමහර ගැල්කරුවො ඉන්නවා හොඳට තියෙන මහා මාර්ගය අත්හැරල විෂම මාර්ගයේ යනවා. අන්තිමේදී තමන්ගේ කරත්තෙ රෝදත් කඩාගෙන කල්පනා කර කර ඉන්නව. ඒ නිසා අප නොමඟ ගිය ගැල්කරුවෝ වගේ වෙන්න හොඳ නෑ. නොමඟ ගියා කියල කියන්නේ අර්ථය තේරුම් අරගෙන නෑ. වෙන පාරක යන්නේ. හොඳට තියෙන මහා මාර්ගය අත්හැරල දාල විෂම මාර්ගයේ යනව. අන්තිමට තමන්ගෙ කරත්ත රෝදෙත් කඩාගෙන කල්පනා කර කර ඉන්නව

සත්පුරුෂ නොවන කෙනා සංවර වෙන්නේ නෑ. සංවර වෙන්ට එයා කැමැතිත් නෑ. සත්පුරුෂයා තමයි සංවර වෙන්ට කැමැති වෙන්නෙ. හැබැයි සංවර වෙනවා කියන එක ලේසි නෑ. සංවර වෙන්න නම් ගොඩාක් අතහරින්ට ඕනෑ. අත් නොහැර සංවර වෙන්ට බෑ. සත්පුරුෂයා අතහරින්ට කැමැතියි. සත්පුරුෂ නොවෙන කෙනෙක් අතහරින්ට කැමැති නෑ. අත්හරින්න අකැමැතිවෙන කෙනාට සංවර වෙන්ට බෑ. එයා සමහර විට සංවරයි වගේ ඉඳියි.

ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ඉඳියි. එයා සටකපට මායා තුළ ජීවත් වෙයි. අන්තිමේදී ලෝකයත් රවටලා, තමනුත් රැවටිලා එයාට ජීවත් වෙන්ට වෙන්නේ කඳුළු පිරුණු මුහුණින්. ඒකෙ විපාක කඳුළු හලාගෙන විඳින්ට සිද්ධ වෙයි. ඇයි ඒ? එයා ජීවිතේ අර්ථය දැනගත්තේ නැති නෑ. ඒ අර්ථය ඉටුකර ගැනීම පිණිස සත්පුරුෂයෙක් බවට පත් වුණේ නෑ. ඒකයි.

ප්‍රඥාවන්ත, වීරියවන්ත කෙනා නොමඟ ගිය ගැල්කරුවෙක් වගේ සිතන්ට හොඳ නෑ. සමහර ගැල්කරුවො ඉන්නවා හොඳට තියෙන මහා මාර්ගය අත්හැරල විෂම මාර්ගයේ යනවා. අන්තිමේදී තමන්ගේ කරත්තෙ රෝදත් කඩාගෙන කල්පනා කර කර ඉන්නව“. ඒ නිසා අප නොමඟ ගිය ගැල්කරුවෝ වගේ වෙන්න හොඳ නෑ. නොමඟ ගියා කියල කියන්නේ අර්ථය තේරුම් අරගෙන නෑ. වෙන පාරක යන්නේ. හොඳට තියෙන මහා මාර්ගය අත්හැරල දාල විෂම මාර්ගයේ යනව. අන්තිමට තමන්ගෙ කරත්තෙ රෝදත් කඩාගෙන කල්පනා කර කර ඉන්නව.

අපට මුලදි වැරැදුණොත් අගදි හදන්න බැරි වෙන්ට පුළුවන්. විෂම මාර්ගයේ ගිහිල්ල, දැන් එයාට නැවත එන්න පුළුවන්ද ? බෑ. ඇයි එන්ට බැරි ...? කරත්තෙ රෝදත් කඩාගෙනනේ. ඒ නිසා ආයි එන්ට බෑ. එහෙනම් එයා ආරම්භයේදී ම වරද්ද ගත්තෙ නැත්නම් නේද එයාට බේරෙන්ට පුළුවන් වෙන්නේ. ආරම්භයේදී ම විෂම මාර්ගයට ගිය කෙනාට මොකද වෙන්නේ. අන්තිමට එයාට සුමගට එන්න බැරි මට්ටමට වැනසෙන්ට පුළුවන්. කරත්තෙ රෝදත් කඩාගත්ත කිව්වහම එයාට ආයි එන්ට පුළුවන්ද? ආයි එන්ට බෑ. එයාට තියෙන්නෙ කල්පනා කර කර ඉන්න එක. අඥාන කෙනා, එයත් ඔය විදිහම තමයි. ධර්ම මාර්ගයෙන් බැහැර වෙනව. අධර්ම මාර්ගයට බැසගන්නව. අන්තිමේදී මරණය ඉදිරියේදී කරත්ත රෝද කඩාගත්ත ගැල්කාරයා වගේ කල්පනා කර කර ඉන්නව. එහෙනම් බලන්න නුවණ නැති කෙනාගේ ස්වභාවය මොකක්ද? ධර්ම මාර්ගයෙන් බැහැර වෙනව.

අප ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා නම්, ඒ බැහැර වීම පටන් ගන්නෙ කොතැනින්ද? ආරම්භයේදී ම යි. මැදදී බැහැර වෙන්නේ නෑ. ඇයි මැදදි බැහැර වෙන්නෙ නැත්තේ? මේ මාර්ගයේ පිරිහීම් නෑ. සෘජු මාර්ගයක්. ආපස්සට ඒමක් නෑ. ඒ නිසා වරද්ද ගත්තොත් වරද්ද ගන්නේ ආරම්භයේදී, වරද්ද ගත්තට පස්සේ අර්ථය හොයන්ට බෑ. එයා අර්ථය විදිහට අනර්ථය වැළඳගෙන ඉවරයි. එයාට තේරුම් කරල දෙන්ට බෑ. වරද්ද ගත්ත කෙනා ගොඩ ගන්න අමාරුයි. ඒනිසා අප ධර්ම මාර්ගයෙන් බැහැර නොවී ඉන්ට කල්පනා කළ යුත්තේ ආරම්භයේදීම යි. ආරම්භයේදී අප වරද්ද ගත්තොත්, පස්සෙ අමාරුයි. එවිට ධර්ම මාර්ගයෙන් බැහැර නොයා ඉන්නනම්, අප මොකක්ද කළ යුත්තෙ? මේ ජීවිතේ අර්ථය මොකක්ද කියල අප හොඳට තේරුම් ගත යුතුයි. ඊට පස්සෙ ඒ අර්ථය ඉටුකර ගැනීම පිණිස කටයුතු කළ යුතුයි.

මතක තියා ගන්න, මේ ජීවිතේ අර්ථවත් වන්නේ සංවර වීම තුළයි. ඒ සංවර වීම කළ හැකිවන්නේ, කරනු ලබන්නේ සත්පුරුෂයා යි. සත්පුරුෂ නොවන කෙනාට මේ ජීවිතේ අර්ථවත් බව, එනම් සංවර වීම කියන දේ කරගන්ට බෑ. සත්පුරුෂ නොවන කෙනා සංවර වීමට කැමැති නෑ. ඇයි එයාට පාඩුයි ඒකෙන්. අසත්පුරුෂයාට සංවරවීම පාඩුයි. ඇයි එයා ලාභ, සත්කාර, ප්‍රසංසා ආදී දේ අත්හරින්ට කැමැති වෙයිද? එයා කැමැති වෙන්නේ නෑ. එයාට ඒක පාඩුයි. සත්පුරුෂයාට අතහරින එක පාඩුවක්ද ? නෑ. එයාට අතහැරීම සුවපහසුයි.

නාවලපිටියේ අරියවංශ හිමි

No comments:

Post a Comment