Thursday, 29 October 2015

සකළිත සූත්‍රය

සකළිත සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති බද්දකුච්ඡිස්මිං මිගදායෙ තෙන බො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුෂා සුදං භගවතො වෙදනා වත්තන්ති, සාරිරිකා වේදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අඝාතා අමනාපා කා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො (ස.නි. බු.ජ 48 – 49 පිටු)
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය, තැන මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවර සප්තපර්ණී ගුහාද්වාරයෙහි පැවැත්වූ ධර්ම සංගායනා අවස්ථාවෙහි ආනන්ද හාමුදුරුවෝ සකළික සූත්‍රය දේශනා කිරීම පිළිබඳ නිදානය මෙසේ ප්‍රකාශ කළ. ඇවැත්නි, බුදුහාමුදුරුවෝ රජගහ නුවර “මද්දකුච්ඡි” නම් මුවවනයෙහි වැඩ සිටි අවස්ථාවක මෙසේ මට ප්‍රකාශ කළා. බුදු හා මුදුරුවො දෙව්දත් පෙරළූ ගල් පර්වතයෙන් ගල්පතුරක් ගැළවී අවුත් පාදයෙහි වැදිල ඉමහත් වේදනාවෙන් මද්දකුච්ඡියෙහි විවේකව වැඩසිටිය. (මේ මුවවනය මුවන්ට අභයදානය දුන් වනයක් වශයෙනුයි පැවතුණේ. මේ වනයට මද්දකුච්ඡි යන නම පටබැඳුනහැටි කියන අට්ඨ කථාව එම පුවත මෙසේ දක්වා තිබේ. දෙව්දත් තෙර අජාසත්ත කුමාරයා ලවා බුදුන් මරවන්නට දුනුවායන් මෙහෙයවා සහ නාලාගිරි (ධනපාල) ඇතා මෙහෙයවා එය අසාර්ථක වූ පසු ඔහු තමා විසින් ම බුදුන් මරන්න ඕන කියල සිතල ගිජිකුළු පව්වට නැගල මහකුළු ගෙයක් පමණ විශාල පර්වතයක් ඔසවා බුදුන් වෙසෙන පර්වතයේ පාමුළට පෙරළුව. (දෙව්දත් තෙර ඇතුන් පස් දෙනෙකුගේ ශක්තිය ඇත්තෙකි) ගල ඔසවා ගෞතමයන් සුණු විසුණු වේවායි සිතා ගල පෙරළූ නමුත් අහසින් වෙනත් ගලක් අවුත් එමගල පිළි ගත්ත. (පරෝපක්‍රමයකින් බුදුවරයකුගේ ජීවිතය විනාශ කළ නොහැකි වීම ධර්මතාවක් සේ සඳහන් වෙනවා.)
මේ ගල් දෙක එකිනෙකට ගැටීම නිසා ගල් පතුරක් ගැළවී අවුත් බුදුරදුන්ගේ පාදයේ පසුපස කෙලෙවරේ වැදුන. පාදයට මහපොරොවකින් පහර දුන්නාක් මෙන් ගල් පතුර පාදයේ වැදී සෙලවුණ ලේ ධාරාව ලාකඩ වතුරෙන් අඳිනලද ඉරක් වැනි වීයැයිසඳහන්. බුදුහාමුදුරුවො හිස ඔසවා උඩ බලා දෙව්දත්හට මෙසේ වදාළ. මෝඝ පුරිස හෙවත් හිස් පුුරුෂය, ඔබ අකුශලයක් කරගත්ත. ඔබ දුෂ්ට සිතින් වධක සිතින් තථාගතයන්ගේ ලේ ඉපදෙම්ව බුදුන් කීයේ මෙපමණකි. දෙව්දත් කළේ ආනන්තරිය පාප කර්මයකි.) ඒ අවස්ථාවේ පටන් බුදුන්ට අපහසු බවක් (වේදනාවක්) හටගත්ත. වේදනාවෙන් පෙළෙන බුදුන් දුටු භික්ෂූන් වහන්සේ මෙසේ සිතූහ. මේ විහාරය විෂම ස්ථානයක්. බුදුන් වැඩ සිටීමට සුදුසු බිමක් නොවෙයි. මේ තැන බුදුන් දකින්න පැමිණෙන ක්ෂත්‍රියාදීන්ට හා පැවිද්දන්ට ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. එසේ කථිකා කොට බුදුන් වහන්සේ මද්දකුච්ඡි නම් නගරයට රන්සිවිගෙයකින් ඔසවා ගෙන ගිය බව අටුවාව කියයි.
මද්දකුච්ඡියේදී බුදුන් වහන්සේ සඟල සිවුර සිවු ගුණ කොට නමා සුදුසු අසුනක අතුරුවා වම්පය දකුණු පයින් මඳක් පසුකොට මෑත් කොට දකුණැළයෙන් සිහියෙන් හා මනා නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් වැතිර සිටියහ. එහෙත් ගල් පතු වැදීම නිසා උන්වහන්සේට බලවත් වේදනා ඇතිවිය. එනම් දුක්ඛ සහගත (වුද තදබලවුද, දරුණු) (ඛරා) මූද කටුක (තියුණු වු අඝාතා) (අමිහිරි වූද, ශාරීරික වේදනාඋපනි. එහෙත් තථාගතයන් වහන්සේ එම වේදනා කෙරෙහි සිත නොපිහිටවූහ. එනම් උන්වහන්සේ එම වේ දනා සිතින් නොහෙන ඉවසූහ. උන්වහන්සේ මනා සිහියෙන් හා මනා නුවණින් යුතුව පෙළීමක් නැතිව එම වේදනා කොතරම් ඉවසිය නොහැකි වුවත් ඒ බවක් නොහැඟෙන සේ ඉවසීමෙන් සිංහ සෙය්‍යාවෙන් වැතිරී සිටියහ. සිංහසෙය්‍යාව හෙවත් සිංහයකු සේ වැතිරී සිටීම විස්තර කරන අටුවාචාරීන් වහන්සේ සෙසු ක්‍රම සතරක් දක්වයි. 1. කාමයෙහි සෙය්‍යාව 2.සෙත සෙය්‍යාව, 3. සිත සෙයාම, 4. තථාගත සෙකම යන හතරයි. කාමංභාගී සෙයතම නම්, කාමභෝගී සත්වයෝ වැඩි වශයෙන් නිදන්නේ වම් පසෙනි. නිදන්නෝ සුළු පිරිසකි. පේත සෙය්‍යාවෙන් බොහෝ සෙයින් නිදන්නේ ප්‍රේතයෝය. උඩුකුරුව සයනය කිරීම ප්‍රේත සෙය්‍යාවයි. ප්‍රේතයන් ස්වල්ප වශයෙන් මස් ලේ ඇත්තන් නිසා ඇට සැකිලි එකිනෙක ගැටීම නිසා කිසියම් පසෙකින් නිදීම දුෂ්කර වෙයි. එහෙයින් උඩුකුරුවම නිදති. සිංහයා බෙහෙවින් නගුට කළවා දෙක අතර තබාගෙන පෙරපා පසුපා හා නඟුට විමසා බලා දකුණැලයෙන් සයනය කරයි. පාද සතර සහ නඟුට නිදන අවස්ථාවේ තිබෙන තැන සිහි කොට පෙරපා දෙක මත හිස තබාගෙන සයනය කරයි.
නින්දෙන් පිබිදෙන විට තැති ගැනීමකින් තොරව පිබිදෙයි. පිබිදී හිස ඔසවා නිදන අවස්ථාවේ තම පාද තිබුණු තැනම පිබිදෙනවිට, වෙනස්ව තිබේනම් ඔබේ ජාතියට, ඔබේ සූරකමට, තම පාදාදිය වෙනස් වීම සුදුසු නොවෙයි. සිතා නො සතුටුව යළිත් එසේම සයනය කරයි. ආහාර පවා සොයා නොයයි. පිබිදෙනවිට පාදාදිය නො වෙනස්ව තිබුණේ නම් ඔබේ ජාතියට ඔබේ සූරභාවයට සුදුසුයි සතුටුව නැගීසිට සිංහ විජම්භනයෙන් සිරුර කිළිපොලා කේසර සොලොවා තෙවරක් සිංහ නාද කොට ගොදුරු සොයා පිටත් වෙයි. මෙය සීහ සෙය්‍යාවයි. තථාගත සෙය්‍යාව නම් චතුර්ථධ්‍යාන සෙය්‍යාවයි. එයත් සිහ සෙය්‍යාව හා සමානයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වයෙන් ඉමහත් තේජසින් යුක්ත ඉරියව්වක් බැවින් මෙය උත්තම සෙය්‍යාව නමින් හඳුන්වයි. පයින් පය මඳක් පසුපසට ඇදීමෙන් සුවසේ සිටීමට එය හේතුවන බැවින් වේදනා නැති වීමෙන් සිත එකඟ කර ගැනීමට එසේ සිටීම හේතු වේ. මනා සිහියෙන් හා මනා නුවණින් උන්වහන්සේ මේ අවස්ථාවේ සයනයෙන් තොරව වැතිර සිටීමයි. උන්වහන්සේ සයනය කළාය යන්නෙන් හඟවා ඇත්තේ.
රෝගීව සිටින බුදුරජාණන් වහන්සේ දැකීමට මධ්‍යම රාත්‍රියෙහි මද්දකුච්ඡියට පැමිණි සතුල්ලපකායික දේවතාවන් සත්සියයක් (සතුල්ලපකායික යන්න විස්තර කරන අට්ඨ කතාව මෙසේ කියයි. මේ පිරිස ඉහත ආත්මයෙහි නැවක නැගී වෙනත් පෙදෙසකට යන්න ගියා. අතර මඟදී කිසියම් හේතුවක් නිසා ඔවුන් ගිය නැව ගිලෙන්න පටන්ගත්ත. නැවේ සිටිය පිරිසෙන් එක් අයකු හැර සෙසු සියලු දෙනාම මරණ බියෙන් තැතිගෙන හිටිය. කිසි බියක් නැතිව සිටිය තැනැත්තා වෙත ගිය සෙස්සෝ ඔහුගෙන් ඇසුව නැවේ සිටින හැම දෙනාම මරණ බියෙන් තැතිගෙන සිටිද්දී ඔබ කිසි බියක් නැතිව ඉන්නෙ කොහොමද? කියල. එවිට ඔහු කීව මම හාමුදුරු නමකට දන්දීල තිසරණ සමාදන්වෙලයි ආවෙ. මම එම සීලය සිහිකරනව. මට කිසි බියක් නැහැ. එවිට ඒ පිරිස ඇහුව අපටත් ඒ සීලය දෙන්න පුළුවන්ද කියල. පුළුවන්යි කී සිල්වතා නැව ගිලෙන අවස්ථා ඔවුන්ට සිල් දුන්නා. ඒ සියලු දෙනාම සිල් සමාදන් වී අවසන් වන විටම නැව ගිලිල ඔවුන් මුහුදු බත්වෙල මරණයට පත්ව සීලය ආවර්ජනා කිරීමේ බලයෙන් තව්තිසා දෙව්ලොව උපන්න. ඒ නිසා එම දේව පිරිස සතුල්ලපකායික නමින් හැඳින්වුණ බව අටුවාව කියයි.)
තම පාදය තදබල ලෙස තැලීම නිසා දරුණු වේදනාවෙන් පෙළෙන බුදුන් ළඟට ගිය එම දෙවිවරු බුදුරජාණන් වහන්සේ වේදනාව ඉවසාගෙන වේදනාවක් නැත්තා සේ සිටින පුදුමය යටපත්ව එක් එක්කෙනා තම සතුට මෙසේ ප්‍රකාශ කළා. එක් දෙවියෙක් කියනව භවතුනි, ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් නාගයෙකි. (නාග යනු ඇතාට කියන නමකි) මේ තරම් දුක්ඛ සහගත තියුණු, කර්කෂ, කටුක, අමිහිරි, සිත් නොගන්නා දරුණු ශාරීරික වේදනා බුදුන් වහන්සේ සිහිකල්පනාවෙන් හා මනා නුවණින් යුතුව නො පෙළෙමින් ඉවසයි. ඒ නිසා උන්වහන්සේ ඇතෙකු වැනියි. තවත් දෙවියෙක් කියනව මෙබඳු දරුණු ශාරීරික වේදනා ඉවසන මුන්වහන්සේ සිංහයෙකු වැනියි. තවත් දෙවියෙක් කියනව උන්වහන්සේ ආජානීය අනුන්ගේ අදහස් දන්න, ශ්‍රේෂ්ඨ) උතුමෙකි. තවත් දෙවියෙක් කියනව උන්වහන්සේ නිසා (අසමාන) උතුමෙකි. තවත් දෙවියෙක් කියනව උන්වහන්සේ ධොරස්ස (තම වගකීම හෙවත් බර උසුලන) උතුමෙකි. තවත් දෙවියෙක් කියනව උන්වන්සේ දන්ත (දැමුණු) උතුමෙකි. අවසන් දෙවියෙක් කියනව උන්වහන්සේ අර්හත්ඵල සමාධිය. මනාව වඩන ලදී. රාගයෙන් මෝහයෙන් උන්වහන්සේගේ සිත මිදුනේය. තමන් වහන්සේගේ නුවණින්ම කෙලෙස් නැසූ හෙයින් අර්හත් ඵල සමාධියෙන් සිත සංසිඳු නේ ය. යමෙක් පුරුෂ නාගයකු, පුරුෂ සිංහයකු, පුරුෂ ආජානීයයකු, පුරුෂ නිභගයකු (ශ්‍රේෂ්ඨයකු) පුරුෂ ධොරQයකු ( බර උසුලන්නකු) හා දාන්තවූ මෙබඳු උතුමකුට විපතක් කරන්නට හෝ පරදවන්නට ක්‍රියා කරන්නේ නම් එය ඔහුගේ අනුවණකම හෙවත් මෝඩකමක් මිස වෙන කුමක්ද? (බුදුරජාණන් වහන්සේගේ කායික වේදනාවේ තදබල කමත් එහෙත් උන්වහන්සේ ඉවසීමෙන් එම වේදනාව යටපත් කරගෙන අල්පමාත්‍ර වුද වේදනාවක් නැත්තාසේ සිටින හැටිත් දුටු සතුල්ලපකායික දෙවිවරුන් පුදුමයට පත්ව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පී‍්‍රතිවාක්‍ය වශයෙන් එකිනෙකා ප්‍රකාශ කොට එබඳු උතුමකුට විපත්තියක් කිරීමට යමෙක් උත්සාහ කරනව නම් ඔහුගේ අණුවනකම මිස වෙන කවරේදැයි කියාබුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වයත් දෙව්දත්ගේ අණුවණකමත් පවසා බුදුන්ගේ ඉවසීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළ සතුල්ලපකායික දෙවිවරු පහත සඳහන් ලෙස බුදුන් වහන්සේ තවදුරටත් පැසසූහ.
අනතුරුව තවදුරටත් බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය කියන දෙවිවරුන් ගාථා තුනකින් මෙසේ දකී.
1. සෘග්, යජුර්, සාම, අථර්වන්, හා ඉතිහාස යන වෙද පස උගත් සියවසක් තපස් රැක්ක. කිසියම් බමුණෝ වෙත්ද ඔවුන්ගේ සිත පවා කෙලෙසුන්ගෙන් මැනවින් නොමිදුන බැවින් පහත් ස්වභාව ඇති ඔවුහු පවා පරතෙරට (නිවනට) නොයන්නේ ය. එසේ වන්නේ ඔවුන් උත්තරීතර භාවයට හෙවත් විමුක්ති ඵලයට නොපැමිණී නිසයි. රහත් නොවූ නිසයි.
2.තෘෂ්ණාවෙන් මඬනාලද (යටත් කරනලද) ව්‍රත හා ශීලයෙන් යුතු ඔවුහු සියවසක් මුළුල්ලෙහි කටුක තවුස් දම් පුරණ ලද බමුණන් වුවත් ඔවුන්ගේ සිත ද මැනවින් කෙලෙසුන්ගෙන් නොමිදුණේ ය. ගුණ ධර්මයන්ගෙන් හීන වූ ඔවුහු (මාර්ග ඵල නොලැබුවාහු) පරතෙරට නොයන්නෝ ය. එනම් නිවණට නොයන්නෝ ය.
3. මානය හෙවත් උඩඟුකම පි‍්‍රය කරන්නාට සිත දමනය කරගත නොහැකිය. චිත්ත සමාධියක් නැත්තාට උසස් පිහිටීමත්, (මාර්ගඥානයක්) නැත. වනයෙහි හුදෙකලාව ප්‍රමාදව (මාර්ගාදියනොවඩා) සිටින පුද්ගලයා මරණය ඉක්ම වූ පරතෙර (නිවණට) තරණය නොකරයි. හෙවත් පරතෙර නමැති නිවනට නොපැමිණෙයි.
දෙවිවරුන් මෙසේ ප්‍රකාශ කළ පසු බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් වදාරනව මානය දුරුකොට මැනවින් සිත එකඟකරගත් පිරිසුදු සිත් ඇති, සියලු උපධින්ගෙන් (කෙලෙස්වලින්) මිදුනු, පමා නොවූ හුදෙකලාව වනයෙහි වසන්නාවූ පුද්ගලයා මරණය තරණය කොට පරතෙරට (නිවණට) යන්නේ යයි වදාළහ. බුදුරජාණන් වහන්සේගේ රෝගි භාවය බලන්න පැමිණි මේ දෙවිවරුන් උන්වහන්සේට තිබුණු දරුණු වේදනාව ඉවසාගෙන වේදනාවක් නැති සේ සිටිනු දුටු ඔවුහු උන්වහන්සේගේ ගුණ මෙනෙහි කොට සූත්‍රයේ සඳහන් පරිදි බුදුන්ගේ ගුණ ඉහත සඳහන් පරිදි ප්‍රකාශ කොට මේ බුද්ධ ශාසනයේ තිබෙන නෛර්යානික බව උන්වහන්සේ ඉදිරියේ දී උදාන හෙවත් පී‍්‍රතිවාක්‍ය වශයෙන් ද ප්‍රකාශ කළහ.
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාමාධිපති
අග්ග මහා පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි

No comments:

Post a Comment