Thursday, 29 October 2015

මහ රහතන් වහන්සේ පහසින් පිවිතුරු වූ වේරගල රාජමහා විහාරය

මහ රහතන් වහන්සේ පහසින් පිවිතුරු වූ වේරගල රාජමහා විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේරගල ග්‍රාමයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. වේරගල රාජමහා විහාරස්ථානය. අතීතයේ මෙම පළාත රාජරාජ මහාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානයට ලක් වූ ප්‍රදේශයකි. එපමණක් නොව මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ විසූ පළාතකි.
වේරගල රාජමහා විහාරස්ථානය දෙවනපෑතිස් රජ සමයට නෑකම් කියයි. අඩි 300 ක් උස අක්කර 60 ක පමණ ප්‍රදේශයේ පැතිරී ඇති විවිධ වූ හැඩ තල ගත් පර්වත මුදුනෙහි චෛත්‍ය පිහිටා ඇත. එය අද ගරා වැටී තිබේ. පර්වත මුදුනේ උසම තැන ගල අඩි 06 ක් පමණ විශ්කම්භය ඇතිව, ගැඹුරු අඩි 36 ක් පමණ චෛත්‍යය මැදිකොට ගත් මහ ලිදක් වැනි කවාටයකි. එහි සර්වඥ ධාතු හා පෙති පිළිම නිදන්කොට මෙම චෛත්‍ය රාජයා ඉදිකොට තිබූ බවට මතයක් පවතී.
එම පර්වත මුදුනේ උතුර පැත්තට තවත් තැනක පුරාණ චෛත්‍යයකට හුරුව තිබූ ගඩොලින් පිරුණ උස් ස්ථානයකි. එය මැදිකොට වත්මන් වෙහෙර වහන්සේ නිර්මාණය කොට තිබේ. මේ ඓතිහාසික චෛත්‍ය ගල නිසා ම ඈත අතීතයේ සිට ම එම ගම් ප්‍රදේශය “වේරගල “ යන නමින් හැදින්වේ. මේ වෙහෙර ගලට නැගීම බැසීම සඳහා ගලෙන් නිර්මාන කළ පඩි 100 කට වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ.
මෙම ස්ථානයට කිලෝ මීටර් 05 ක් පමණ දුරින් උතුරට නිම වූ චෛත්‍ය එතරම් උස නොමැති නිසා එදා සිට අද දක්වාත් එම ස්ථානය හදුන්වන්නේ “කොටවෙහෙර රාජමහා විහාරය “ නමිනි.
වේරගල රාජමහා විහාරස්ථානය ගල් පර්වතය පුරා විවිධ හැඩ තල ගත් පොකුණු රාශියකි. ඒ අතර පර්වත මුදුනේ ඇති පොකුණ විශේෂ ලක්‍ෂණයකින් යුතුකයි. එහි කිසිම ඉඩෝරයකට ජලය නොසිදෙයි. ඒ ස්ථානයට නුදුරින් ගලා යන හක්වටනා ඔය හා කිඹුල්වානා ඔයෙහි ඇති වැලි හා ජලය ගල් පර්වතය මුදුණින් ඇති පොකුණෙන් මතුවන බව ජනප්‍රවාදයෙහි එන කථා පුවත පුදුම එළවන සිද්ධියකි. එහෙත් ලංකා සිතියම හැඩය ගත් තවත් එක් පොකුණකි. එය “ලංකා සිතියම් ගල “ නමින් ප්‍රකටයි.
පූජණීය ස්ථානය පුරා විවිධ හැඩ තල ගත් ගල් කණු රාශියක් දක්නට ලැබේ. ඒ එදා තිබූ විවිධ පූජණීය ගොඩනැගිලි විය හැකියි. පුරාණ දවස සිහිපත් කරන “ ආසන ඝරයක “ ට නෑකම් කියන ගල් ආසනයක් ද ඇත. එය දිගින් අඩි 6 ක් වන අතර පළලින් අඩි 2 කි. ගල් ගුහා කීපයකි. ඒ මහරහතන් වහන්සේලා වැඩ සිටි තැන බව කියැවේ.
ලී ඉරණ තැනට “ ලී පට්ටලය “ කීවාක් මෙන් මේ පර්වතයේ එක් තැනක ගල් ඉරු පැලූ තැනක් ද දක්නට ලැබේ. එම ස්ථානය “ ගල්පට්ටලය “ නමින් හදුන්වා ඇත. පූජනීය ස්ථානයට අවශ්‍ය ගල් මෙම ගල් පට්ටලයෙන් ගෙන ඇති බව පෙනේ.
බස්නාහිර පැත්තට ගල් පර්වතයේ බෑවුම් වන්නට පර්වතය දිගට කටාරම් කොටා ගල් ගුහා තැනීමට ගලෙන් ම මායිම් කළ දිග ගල් තීරුවක් දක්නට ලැබේ. එය ගල් ලෙන් නිර්මාණය කිරීමට කළ සැළසුමකි. එක් ගල් ලෙනක් අඩි 80 ක් දිගට නිර්මාණය කර තිබුණේ නමුත් එහි වැඩ නිමා කොට නොමැත.
ගල් පර්වතය පුරා තැනින් තැන ඉර, හඳ, බෝ කොළ, නෙලුම් මල්, හා ඇත් අඩි ලාංජන එමටයි. ශිලා ලේඛනයක් ඇතත් එය තවමත් කියවා නොමැත. පර්වත පා මුල කුඩා ගොඩනැගිල්ලක නටබුන් දක්නට ඇත. එය මහරහතන් වහන්සේලා පැන් පහස සදහා සිවුරු පිරිකර උණා තැබූ ස්ථානය ලෙස සැලකිය හැකිය. පැන් පහස වූ ස්ථානය අද පොදු විශාල ළිඳක් ඉදිකොට තිබේ.
වේරගල රාජමහා විහාරස්ථානයේ පිහිටිම උඩ මළුව හා යට මළුව වශයෙන් දෙ කොටසකි. මෙම ස්ථානයේ ආරක්‍ෂාවට ආරක්‍ෂක නිළධාරීන් සඳහා ගලෙන් නිර්මාන කළ ස්ථාන දෙකක් අදත් එලෙස ම දක්නට ඇත. යට මළුවට යා බඳව පුරාණ දේවාලයක නටබුන් දක්නට ලැබේ. මෑතක ඉදිකරන ලද විහාර ගල් ලෙනට පැත්තකින් එම ගල් ලෙනෙහිම ඉදි කොට ඇති “ විෂ්ණු ප්‍රතිමාව “ මහත් වූ හාස්කම් දක්වන්නක් බව බොහෝ දෙනෙක් කියති.

No comments:

Post a Comment