Thursday, 29 October 2015

පැමිණි නොපැමිණි සඟට කැපවුණ පියංගල වන සෙනසුන

පැමිණි නොපැමිණි සඟට කැපවුණ පියංගල වන සෙනසුන

අම්පාර දිස්ත්‍රික්කය තුළ සංචාරය කරන දේශීය විදේශීය සංචාරකයින් තම සංචාරය සදහා යොදාගත් ස්ථාන කීපයකි. ප්‍රධාන වශයෙන් දීඝවාපී චෛත්‍යය, කුමන අභය භූමිය, මාදුරුඔය වන උද්‍යානය යන ස්ථාන ඒ අතර වේ.
වසර තිහකට වැඩි කාලයක් ත්‍රස්තවාදී උවදුරු නිසා උතුරු ප්‍රදේශය මෙන්ම නැගෙනහිර ප්‍රදේශයන් හී ඇති සොඳුරු ස්ථාන නැරඹීමට පැමිණි ජනයා නැති තරම්ය. නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති කුරිරු යුද්ධය අවසන්වීමත් සමඟ නැගෙනහිර හිරු ප්‍රබෝධවත්ව ඇත. කිසිම බියක් සැකක් නැතිව ඕනෑම අයෙකුට නැගෙනහිර ඉසව්වට පැමිණ රිසිසේ ඇවිද රසවිඳින්නට අවකාශය ලැබී ඇත.
ඉහත කී විශේෂ ස්ථාන කීපය හැරෙන්නට අම්පාර ආසන්නයේ සංචාරය කර දැක බලා ගැනීමට ඇති ස්ථාන කීපයකි. පියංගල සහ රජගල මෙම ස්ථාන දෙක පිළිබඳ වෙන වෙනම ලිවිය යුතු නිසා පළමුවෙන්ම පියංගල ආරණ්‍ය සේනාසනය පිළිබඳ කීමට කැමැත්තෙමි.
අම්පාරේ සිට නුවර පාරේ මයිල 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න, පසු කර වම් පසට වෙන්නට පියංගල ආරණ්‍ය සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින්ද රජගලතැන්න, නුගේලන්ද, යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල, කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ්‍ය සේනාසන භූමියට පැමිණිය හැකිය.
වසර කීපයකට පෙර කොටි ත්‍රස්තවාදීන්ගේ නිරන්තර තර්ජන ගර්ජනවලට ගොදුරු වී ඉතා අසරණභාවයටත් බියටත් පත්ව සිටි අතර තම ගම්බිම් හැරයන තත්ත්වයක් උදා වී තිබුණි. රාත්‍රී කාලය තම නිවස්වල නිදාගන්නට, කුසට ආහාරයක් හරියට ලබාගන්නවත් ඔවුන්ට ඉස්පාසුවක් නොවීය. ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට සේම ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව සිටි ස්වාමීන්වහන්සේලාට ද ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන, ගර්ජන එල්ල විය. ඉන් අසරණභාවයට පත් වූ උන්වහන්සේලා වෙනත් ස්ථාන කරා වැඩම කළහ.
නමුත් ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති වන තලංගමුවේ ස්වභූති ස්ථවිරයන් වහන්සේ තම අතීත රජ දරුවන් පරිහරණය කළ ලෙන් කුටිය ශක්තියක් කරගනිමින් ධෛර්යය උපදවා ගත්හ‍. කොටින්ගේ තර්ජන අභිමුවේ නොසැලී ආරක්ෂක අංශ ප්‍රධානින් හමු වී ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා කඳවුරක් සහ ආරක්ෂක ස්ථාන කීපයක් පිහිටුවා ගනිමින් අපට මෙන්ම මුළු ලෝකයාටම අහිමිවීමට ඉඩ තිබූ වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පියංගල වන පියස රැක ගැනීම අපගේ පෙර වාසනාවකි.

මා පියංගල වන අරණට පිවිසි කාලය කාලගුණය අතින් යහපත් නොවුවත් මාගේ කටයුතු ඉටු කර ගැනීම සදහා ආරණ්‍ය සේනාසනයේ අදටත් ආරක්ෂාව සදහා සිටින සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ උපරිම සහයෝගයක් ලැබුණි.
ආරණ්‍ය සේනාසනාධිපති ස්ථවිරයන් වහන්සේ තරමක් ගිලන්ව සිටියත් උන් වහන්සේ මා සමඟම ආගිය තොරතුරු විමසමින් පියංගල වන අරණ පිළිබඳ දීර්ඝ විස්තරයක් මා හමුවේ තැබීය. වසරකට ආසන්න කාලයක් රෝගීව සිටින උන්වහන්සේ සුවය ලැබූ පසු නැවත තම පැරණි ලෙන වෙත පිවිස භාවනානුයෝගීව සිටීමට අධිෂ්ඨාන කරමින් සිටී.
කටාරම් කොටා බ්‍රහ්මීය අක්ෂර සදහන් ලේඛන සහිත ලෙන් 26 පමණ භූමිය පුරා විසිරි ඇත. ඉන් විශේෂ වූ ලෙන් කීපයක් ඡායාරූප සමඟ මා මේ ලිපියන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කටාරම් කොටූ ලෙන් කීපයක්ම වරිච්චි බිත්ති බැඳ කුටි බවට පරිවර්තනය කර තිබුණි. පළමුවෙන් හමුවෙන ලෙනේ බිත්ති බැඳ දාන ශාලාවක් ලෙසට පරිවර්තනය කර වැඩ සිටි ස්වාමින්ද්‍රයන් වහන්සේලාට දන් පිළිගැන්වීමත් වතාවත් කිරීමත් මේ ස්ථානයේ සිදුව ඇත. ඉහළින් බ්‍රහ්මීය අක්ෂර සහිත ලේඛනයකි. “උතරගුත තෙරණ ලෙනෙ” උත්තර ගුප්ත තෙරුන්ගේ ලෙනේ උත්තර ගුප්ත තෙරුන් වහන්සේ දුටුගැමුණු රජ සමයේ ප්‍රදේශයේ විසූ මහානුබල සම්පන්න තෙරුන් වහන්සේ නමක් ලෙස ප්‍රකටය.
උත්තර ගුප්ත තෙරුන්ගේ ලෙන අසලින් පියගැට පෙළ අවසන් වූ නමුත් එතැන් සිට ටික දුරක් ඉදිරියට කොන්ක්‍රීට් යෙදු නව මන් පෙත සකසා තිබුණි. පැරණි ගල් පඩි ඉවත් කර වාහනයක් ඉහළට යා හැකි පරිදි මාර්ගයක් සැකසීම මා හට නම් අනුමත කළ නොහැක්කකි. මක් නිසාද එසේ වූ විට එහි ඇති පෞරාණික ස්වභාවය බිඳ වැටී පරිසරයටම යම්කිසි හානියක් ඇතිවිය හැකි බැවිනි.

නව මාර්ගයේ කෙළවර වම් පැත්තට වෙන්න මංපෙතකුත් දකුණු දෙසට මං පෙතෙකුත් සෑදී ඇත. වමට ඇති මාර්ගයේ ඉදිරියට යන විට කුඩා බුදු මැදුරකුත් ඉතා සුන්දර වට පිටාවකුත් විද්‍යාමාන වේ. ආරණ්‍යයේ වැඩ වෙසෙන ස්වාමින්වහන්සේලා තම එදිනෙදා වතාවත් සදහා පිරිත් දේශනා කිරීමටත් මෙම උපශාන්ත සමාධි ගුණයෙන් යුක්ත වූ බුදුමැදුර භාවිතා කරති.

පැරැණි නටබුන් සහිත ගඩොල් තැන තැන විසිරි ඇති අතර බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේ මෑත කාලයේදීය. බෝධීන් වහන්සේට මදක් ඉහළට වන්නට කුඩා චෛත්‍යය ඇත. අනතුරුව කටාරම් කෙටූ ලෙනය. එහිදී යම් සුන්දරත්වයක් දිස්වේ. මිහිදු ගුහාව ලෙසද මැදින් එහා මෙහා යා හැකි අයුරින්ද හොඳ ආලෝක තත්ත්වයක් ලෙන තුළට පතිත වීම නිසා එහි පෙනුම මනස්කාන්තය. ලෙන් ලිපියක් සඳහන්ව නොතිබුණත් “මුචලින්ද ලෙන” ලෙස මෙය ව්‍යවහාර කරයි. ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ සුභූති හිමියන් විසින් මා හට මගපෙන්වීම සඳහා පියංගල පිය සුමණ කුඩා තෙරුන් වහන්සේ සහයෝගය ලබාදීමට කටයුතු කළහ. එ බැවින් වන පියසේ මං සොයා යෑමට මා හට පහසුවක් විය.
පිය සුමන තෙරුන් මා කැඳවාගෙන ගියේ අපූරු ලෙන් කුටිය තුළටය. එකල රජ දවස ගම්මුලාදෑනිවරුන් සේම ගමේ මුලිකත්වයට උරදුන් ගම්පතිනියන් සිටි බවටද හොද උදාහරණයකි.
“ගමික අගිනිය ලෙණෙ (ගම්පති අග්නිගේ ලෙන සංඝයාට පුදන ලදී) යනුවෙන් බ්‍රහ්මීය අක්ෂර ලේඛන ගත කර තිබේ.
දින කිහිපයක් තිස්සේ පැවැති වර්ෂාව විටින් විට අපේ ගමන් මගට බාධා ඇති කරයි. උෂ්ණාධික ප්‍රදේශයක් වූවත් කාලගුණයේ වෙනස් වීම නිසා තරමක මීදුම් ගතියක්, සීතල දේශගුණික ලක්ෂණයක් අපට දැනෙන්නට විය. වනාන්තරය තුළ සීරුවෙන් ගමන් ගත් අප ඉදිරියෙන් දෙබර කූඩයක් ඇති බව සංඥ කළේ සිවිල් සේවා ආරක්ෂක නිලධාරින් ඒ අසලින් යන විට නිහඩව ප්‍රවේසමෙන් ඉදරියට යන ලෙස දැනුවත් කළහ. මාගේ ජීවිත කාලයටම මෙතරම් විශාල වූ දෙබර කූඩුවක් නම් දැක තිබුණේ නැත. ආරණ්‍ය වන පියසේ දැවැන්ත ආරක්ෂයකු ලෙස ලක්ෂ සංඛ්‍යාත දෙබර හමුදාවක් කදවුරු බැඳ තිබුණි.
මෙසේ සීරුවෙන් ඉදිරියට ගිය අප විශාල ලෙන් ප්‍රමාණයක් නරඹා ඡායාරූප ගත් නමුත් මා නිරීක්ෂණය කළ ලෙන් අතරින් විශාලතම ලෙන පිළිබඳ විස්තර සටහන් කර ලිපිය අවසන් කරන්නට සිතුවෙමි.
අඩි 60ක් පමණ උසද අඩි 100ක් පමණ දිගකින් යුත් කටාරම් කෙටූ මේ ලෙන ඉදිරිපසට මිදුලක් සකස් කර ඇති අතර එය කොටස් දෙකකින් යුත් වන ලෙස සකසා ඇත. ලෙනේ යටි පැත්තේ සමහර තැන්වල පැරණි බදාම තට්ටු කීපයක් ඇති නිසා ඒ තුළ සිතුවම් අද තිබුණද සැකයක් උපදී. ලෙනේ පසෙකින් සඳකඩ පහනක් දක්නට ලැබේ. තවද බිත්ති බැඳ ඇති කොටසේ බුදු මැදුරක් තිබුණද යන්න සැකයක් උපදී. ලෙනේ කටාරමට පහළට වෙන්නට බ්‍රාහ්මීය අක්ෂර වැනි කීපයක් දක්නට ලැබේ.
පළමු කොටස‍
පරුමක මිත පුත පරුමක දූත ශුමනහ ලෙණෙ
අගත අනගත චතුදිශ ශගශ දිනෙ
ප්‍රමුඛ දූත ශුමණගේ ලෙන පැමිණී නොපැමිණී
(සිව්දිග) සංඝයාට පුදන ලදී
දෙවැනි කොටස
දෙවෙන පිය මහරඣහ ගාමිණී අබහ
ඣය රඣිකය මතය අබිකිශය ලෙණෙ
දෙවානම්පිය ගාමිණී අභය මහරජුගේ බිසවු රාජිකාගේ මව වු අභිතිස්සාගේ ලෙ‍ණ සංඝයාට පුදන ලදී.
මෙසේ ඵෙතිහාසික වටිනාකමකින් යුක්ත වූ ලෙන් ලිපි රාශියක් පිහිටා ඇති මේ පින් බිම ආරක්ෂා කරගැනීම ලැබීමට අපි ලද මහත් භාග්‍යයක් ලෙස මා සලකමි. ඊට උරදුන් වර්තමාන නායකත්වයත් අපේ ආරක්ෂක හමුදා අංශයනුත් අනාගත පරපුර උදෙසා මහත් මෙහෙවරක් ඉටුකර රටට ජාතියට ඉතිහාසය ගවේෂණය කිරීමට යමක් ඉතිරි කර දී මම අප අගය කළයුතු කටයුත්තකි.

සුසන්ත විජේගුණසේකර
දිනමිණ පුවත්පත

No comments:

Post a Comment