Thursday, 29 October 2015

දළදා පහස ලද කොටසර පියංගලු රජමහ විහාරය

දළදා පහස ලද කොටසර පියංගලු රජමහ විහාරය

මහින්දාගමනය අප රට ධර්මද්වීපයක්‌ කිරීමටත්, ජන සමාජය ආධ්‍යාත්මික වශයෙන් සංවිධානාත්මක කිරීමටත්, ධර්මචාරී වීමේ හා අල්පකෘත්‍යතාවයේ රසය රටවැසියාට ඒත්තුගැන්වීමටත් මහත් පිටුබලයක්‌ සැපයුන බව අප පිළිගත යුතුම කරුණකි. එසේ හඳුන්වාදුන් බුදුදහම හේතුවෙන් ගස්‌ ගල් වන්දනාමාන කරමින් සිටි රටවැසියන් බෝධිය, චෛත්‍යය වන්දනා මානයටත් පෙළඹවූවේ ඉහත කාර්යයන් අර්ථවත් කරමිනි. ඊට සමගාමීව සිදුවූ මහින්දාගමනය මෙම පරිවර්තනයට සුවිශේෂ කාරණාවක්‌ විය. එසේ ලැබූ බුදුදහම ක්‍රම ක්‍රමයෙන් වසර 2500ක්‌ තිස්‌සේ සිදුවූ වධර්නය සුවිශාලය. බුදුදහම ආශ්‍රිත ගෘහනිර්මාණ ශිල්පය, කලා ශිල්ප, සාහිත්‍යය, වන්දනාමාන, ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් මෙතෙකැයි කියා නිමකළ නොහැක.
එලෙසම නිර්මල බුදු දහම මේ වන විටත් එලෙසම රැකෙන ක්‌ෂේම භූමියක්‌ බවට ලංකාව පත්ව තිබේ. එය සිංහල බෞද්ධයන් වන අපට බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකර ගැනීමට හේතුවකි. රටේ බුදුදහම ස්‌ථාපිත වීමේ මූලික පසුබිම එසේ වන අතර, ඒ අනුව අපට හිමිවූ දළදාව එහි විශිෂ්ඨ ප්‍රතිඵලයකි. එම කාල පරාසය තුළ නිමග්නව ඉදිවූ වෙහෙර විහාර ගත්කළ ලංකාද්වීපය තුළ මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. කෙසේ වෙතත් අතීතයේ විශේෂ ජන අවධානය යොමුවූ බෞද්ධ සිද්ධස්‌ථාන අතර අදටත් එතරම් ප්‍රසිද්ධියක්‌ නොඋසුලන කතිකාවකට ලක්‌විය යුතු ස්‌ථාන බොහෝය. ඒ අතරින් කලක්‌ දන්ත ධාතුන් වහන්සේ වැඩසිටි කොටසර පියංගලු රජමහ විහාරය වැදගත් පින් බිමකි.
කොටසර පියංගලූ රජමහ විහාරය දේවානම්පියතිස්‌ස (ක්‍රි(පූ 307-267) රාජ සමය දක්‌වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. දුටුගැමුණු (ක්‍රි(පූ 161-137), සද්ධාතිස්‌ස (ක්‍රි(පූ 137-119), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි(ව 1747-1782) ආ" විවිධ රාජ යුගයන් වල" මෙම විහාරයේ ඉදිකිරීම් සිදුවූ බවට ඓතිහාසික තොරතුරු වේ. ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයාගේ අසීමිත ගෞරවාදරයට පත් ජාතියේ මුදුන්මල්කඩ බඳු දන්ත දාතුන් වහන්සේට කලක්‌ රැකවරණය සැලසූ පින් බිමකි. මහියංගනය, මුතියංගණය, බුදුරුවාගල, මාලිගාවිල, ගලබැද්ද යන ඌව පළාතේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්‌ථාන හා බෞද්ධ සිද්ධස්‌ථාන හැරුණ කොට ඇති අනෙක්‌ ප්‍රධානම ඓතිහාසික ස්‌ථානය මෙයයි. වර්තමානයේ මහනුවර දළදා මාලිගාවට ලක්‌වාසී බෞද්ධයන්ගේ අවධානය, වන්දනීය ගෞරවය, යොමුව ඇත්තා සේම, දළදාව වැඩසිටි එදා කෙටි කලක්‌ හෝ රටේ කේන්ද්‍රස්‌ථානය වී ඇත්තේ කොටසර පියංගලූ රජමහවිහාරය බව සිතීම සාධාරණය. එසේම දළදාවට හිමිකම් කීම රජකම ලැබීමට සුදුසුකමක්‌ වූ හෙයින් ප්‍රාදේශීය වශයෙන් හෝ මෙම ප්‍රදේශය පාලන මධ්‍යස්‌ථානයක්‌ව තිබී ඇත.
මෙම ඓතිහාසික ස්‌ථානය මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ බිබිල ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාශයේ මල්ලැහැව ග්‍රාමසේවා වසමට අයත්ය. (අක්‌ශාංශ, දේශාංශගත පිහිටීම අනුව 70 90' 28.50" N 810 11'21.54" E වන අතර, මුහුදු මට්‌ටමේ සිට උස අඩි 893 පමණ වේ.) බිබිල නගරයේ සිට කි.මී 5 ක්‌ ගිය තැන මඩොල්සිම කඳු පාමුල මල්ලැහැව ග්‍රාමයේ මනරම් ස්‌ථානයක සාරවත් වෙල්යායකට මැදිව පිහිටි නිසාම අප මනසට නැගෙන්නේ මීට ශතවර්ෂ ගණනකට පෙර සිට පැවත එන වැවත් දාගැබත්, කහ සිවුරත් වෙල් යායත්, අතර වූ නොබිදෙන සබඳතාවයයි.

විහාරයේ ඉතිහාසය දේවානම්පියතිස්‌ස රාජසමය දක්‌වා ඈත අතීතයකට අයත් අතර කීර්ති ශ්‍රී රාජසිංහ සමයද විහාරය සම්බන්ධයෙන් සමෘද්ධිමත් යුගයක්‌ විය. විහාරයේ ඉතිහාසය අධ්‍යයනයට පුරාවිද්‍යා සාධක ඇත්තේ විරල වශයෙන් වුවත් මහාවංශය, ථූපවංශය ආදි වංශකතා, සමන්තපාසාදිකාව, සහස්‌සවත්තූපකරණය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ආදි සාහිත්‍ය මූලාශ්‍රයන්හිත්, විහාරස්‌ථානය සතු තුඩපතෙහිත් විහාරයේ ඉතිහාසය අධ්‍යයනයට විශාල තොරතුරු ප්‍රමාණයක්‌ සැපයෙයි. දේවානම් පියතිස්‌ස රජු බුදු දහම වැළඳගැනීමෙන් පසු ලක්‌දිව ඇති කළ බෞද්ධ ආගමික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ලක්‌දිව පුරා අසූහාරදාහක්‌ වෙහෙර විහාර ගොඩනැංවූ බව තොරතුරු වේ. කොටසර පියංගලූ විහාරයද එම විහාර කර්මාන්තයේම ප්‍රතිඵලයකි. රියන් 30 ක්‌ උස ස්‌ථූපයක්‌, පස්‌විසි පිරිවෙනක්‌, ඇතුලු විහාරාරාංග රාශියක්‌ දේවානම්පියතිස්‌ස රජු ඇතිකළ බව විහාරස්‌ථානය සතු තුඩපතේ තොරතුරුවේ. එසේ ඉදිකළ විහාරය සිගුත් නම් මහතෙරනමකට අතපැන් වත්කොට පූජා කළ බවද එහි වැඩිවිස්‌තර වේ. සහස්‌සවත්තූපකරණයේ සඳහන් කොට්‌වාල ජනපදෙ යන්නද රසවාහිනියේ කොටියවාල ජනපදෙ යනුවෙන්ද, සද්ධර්මාලංකාරයේ කොටසර කීලවාපි ජනපදයෙහි යනුවෙන්ද සඳහන් වන්නේ මෙම කොටසර ප්‍රදේශය පිළිබඳවයි. ලෝවාමහාපායේ යටමාලයේ රැස්‌වූ දොලොස්‌දාහක්‌ පිරිස මැද බණ දෙසමින් හුන් අඹපහණ වැසි චිත්තගුත්ත නම් තෙරුන් වහන්සේ දුටුගැමුණු නරවිරුවන් විසින් කරන ලද ධාතු නිධානය වර්ණනා කෙරෙමින් සිටියහ. නිතර සංඝයා වහන්සේලාගෙන් දැන නොදැන සිදුවන ඇතැමුන් තොස්‌වන නමුදු වැඩි පිරිසකගේ රොස්‌ පරොස්‌ දොස්‌ වලට ලක්‌වන මේ සාමාන්‍ය සිද්ධිය රථ විනීත සූත්‍රය දේශනා කරන අවස්‌ථාවක සිදු වූවකි. ධාතු ගභර්යෙහි පූජා භාණ්‌ඩ සංඛ්‍යාව අති විශාල බැවින් රජතුමා විසින් කෙරුණු පූජා විධි බණ අසන්නන් නොඅදහතියි සිතා චිත්තගුත්ත තෙරණුවෝ පූජා විධි කොටසක්‌ පමණක්‌ වදාල සේක. මේ අවස්‌ථාවේ ධර්ර්මාසනය ළඟ වැඩසිටි කොටසර පව්වේ වසන තිස්‌ස නම් තෙරුන් වහන්සේ ඇවැත්නි තොප කියන කතාවෙන් පිරිහුණු දෑත් ඇත. නොහැර කියව යි වදාල සේක. ථූපවංශයේ එන මේ කථාව කොටසර පිළිබඳ වැදගත් තොරතුරක්‌ හෙළි කරන්නකි.
දුටුගැමුණු රජු රට එක්‌සේසත් කිරීමෙන් පසුව ඉදිකළ, බෞද්ධලෝකයේ අග්‍රගන්‍ය නිර්මාණයක්‌ වන රුවන්වැලි සෑය හා කොටසර වැසි භික්‌ෂුව පිළිබඳ කථා ප්‍රවෘත්තිය මහාවංශය, ථූපවංශය ඇතුලු වංශකථා මූලාශ්‍ර කිහිපයකම සඳහන්ය. දුටුගැමුණු රජු රුවන්වැලි සෑය නිර්මාණයේ ගඩොල් කැටයේ සිට සියලුම අමුද්‍රව්‍යය හා ශ්‍රමය සඳහා අවශ්‍යය ප්‍රතිපාදන සිය පෞද්ගලික ධනයෙන්ම වැය කළ අතර කිසිවකුට එහි ශ්‍රද්ධා සිතින් වේතනයක්‌ නොලැබ සේවය කිරීමට අවසර නොවූ බව ප්‍රසිද්ධ කරුණකි. එහි වඩුවන්ට හා අත්උදව්කරුවන්ට චෛත්‍යය කර්මාන්තයේ සේවය කළ පසු රැගෙන යාමට රන් මුතු මැණික්‌ චෛත්‍යය අසල ගොඩගැසූ බවද වංශකථාවල එයි.
මෙම කාරණාවද හොඳින් දත් කොටසර පියංගල් වැඩි භික්‌ෂූන් වහන්සේ දාගැබ බදින ගඩොලේ දිග පළල කොටසර වැසියකුම වන බලතා වඩුවාගෙන් දැනගෙන සියතින්ම මැටි පිඩක්‌ සකස්‌කොට ගඩොල සකසා අනුරාධපුරයට රැගෙනවිත් දෙවන දින චෛත්‍යය ඉදිකරණ ස්‌ථානයට ගොස්‌ එක්‌ අතකින් මල් මිටක්‌ද ගෙන උන්වහන්සේ රජතුමාගේ ගඩොල් හා තම ගඩොල එක්‌ කොට වඩුවා අතට දිනි. වඩුවා එය තබා චෛත්‍යය ඉදිකිරීම් කටයුතු කළේය. පසුව තෙරනම සතුටු සිතින් උළුගල් පිරිවෙනට වැඩි අතර මෙය රජතුමාට සැලවී ඒ තෙරනම කවර රටක වසන්නේදැයි තොරතුරු විමසූ විට බලතා වඩුවා කියා සිටියේa කොටසර පියංගලූ විහාරයේ වසන බවත්ය. මෙම කතා ප්‍රවෘත්තිය රුවන්වැලි සෑය නිර්මාණය සම්බන්ධයෙන් එන ප්‍රසිද්ධ ප්‍රවෘත්තියකි. එය මහාවංශයේ 30 වන පරිච්ඡේදයේ 21,22,33,34,41 යන ගාථාවල විස්‌තරව කර ඇත.
මෙම පියංගලූ විහාරය, අනතුරුව රජ පැමිණි සද්ධාතිස්‌ස රජුගේද නොමද අවධානයට ලක්‌විය. මෙකල සෑගිරි වෙහෙර රහත් තත්වයට පත් තෙරනමක්‌ ඇතුළු භික්‌ෂූන් 360 නමක්‌ කොටසර පියංගලූ වෙහෙර වසන බව දැනගත් සද්ධාතිස්‌ස රජු තිස්‌ස නම් ඇමති යවා එම වෙහෙර සියලු විහාරාරංගයන්ගෙන් යුක්‌තව වැඩ නිමවූ බව විහාරස්‌ථානය සතු තුඩපතේ සඳහන්ය.

"සද්ධාතිස්‌ස මහරජතුමන් රජ පැමිණි දෙවැන්නෙහි තිස්‌ස්‌ නම් ඇමති යවා දෙමහල් පහයක්‌ හා තුන්මහල් පහයක්‌ද කරවා පවුරු අට`ඵ ආ" වෙහෙර වැඩ නිමවා නොයෙක්‌ රාජ සමයන්හි ප්‍රතිසංස්‌කරණවලට ලක්‌වූ මෙම වෙහෙර පළමු පරාක්‍රමබාහු රාජ (ක්‍රි(ව 1153-1186) සමයේද වැඩිදියුණුවට ලක්‌විය. එතුමා මෙම වෙහෙර වන්දනයට අවශ්‍ය මල් ලබාගැනීමට මහලිම්පොත නම් මල් විලක්‌ කළ බව සඳහන්ය. අදටද මෙම මහලිම්පොත සිඳීගිය නටඹුන්වූ වැව දැකගත හැකිය.
අනුරාධපුර පොළොන්නරු රාජ සමයන්ට පසුව කොටස පියංගලූ විහාරයේ ස්‌වර්ණමය අවධිය මහනුවර යුගයයි. එහි ශ්‍රී විජය හා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයන් විශේෂය. ලක්‌දිව පිරිහී පැවති බුදු සසුන නැවත නගා සිටුවීමේ අරමුණින් සියම් දේශයෙන් උපසම්පදා කමර්ය රැගෙන විත් නැවත ලක්‌දිව උපසම්පදා විනය කර්මය ආරම්භ කළ බව සඳහන්ය. එකළ කොටසර වාසී කුරුවාඹේ ධම්මපාල තෙරුන්ගේ ගෝල නමක්‌ වූ පුබ්බාරේ කුඩා ස්‌වාමීන් වහන්සේ උපසම්පදා ශීලයෙහි පිහිටුවා ශ්‍රී ධම්මකිත්ති යන ගෞරව නාමයද, ලෝහමය කරඩුවක්‌ද, පිරුවානා පොත් වහන්සේ නමක්‌ද, ඇත් දතින් ඔතන ලද පිරිත් හුයක්‌ද, ඇත් දල මිට වටාපතක්‌ද, පූජාකොට ඇත. මේ සියලු පූජා වස්‌තූන් අදට ද විහාරය සතුව පවතී. විහාර භූමියේ තැනින් තැන ඇති ශිලා ස්‌ථම්භ අනුව අතීතයේ මෙහි පැවතියේ යෑයි සැලකෙන ආරාම සංකීර්ණය පිළිබඳ චිත්‍රයක්‌ මවාගත හැකිය. තැන තැන ඇති ගොඩනැගිලි නටඹුන් මීට සාක්‌ෂි දරයි.
කුඩා ආවාස (පිරිවෙන) 25 ක්‌ දේවානම්පියතිස්‌ස රජු කරවූ බව තුඩපතෙහි සඳහන්ය. මෙහි සතර දේවාලයන් පැවති බවටද මතයක්‌ ජනප්‍රවාදයේ පවතී. දැනට මතුකරගෙන ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙම විහාරයේ වාස්‌තුවිද්‍යාත්මක අංග පිළිබඳව අවධානය යොමු කළ හැකිය. ඒ අතර පෞරාණික ස්‌ථූපය, ප්‍රධානගරය (දළදා මාලිගය) විශේෂ තැනක්‌ ගනී. ඊට අමතරව මහනුවර යුගයේ විශිෂ්ඨ වාස්‌තු විද්‍යා අංගයක්‌ වන ටැම්පිට විහාර ගෙයක්‌ද දක්‌නට ලැබේ. එම යුගයේම ඉදිවූ සංඝාවාසයද මහනුවර යුගයේ වාස්‌තුවිද්‍යා අංග මනාව පිළිඹිබු කරයි.
දුස්‌යනක්‌ පමණ උසැති දාගැබේ හැඩය බුබ්බුලාකාරය. අඩි 5 ක්‌ පමණ උසින් තනන ලද හතරැස්‌ මළුව මත තනන ලද තිස්‌රියනක්‌ පමණ උසැති ස්‌ථූපයට පිවිසීමට වර්තමානයේ බටහිරින් හා දකුණු පසින් දොරටු වේ.
රුහුණු ප්‍රදේශය පුරා වෙහෙර විහාර ගොඩනංවමින් එහි බෞද්ධ ප්‍රබෝධයට කටයුතු කළ දේවානම් පියතිස්‌ස රජු මෙහි මුල්ම නිර්මාතෘවරයාය. මෙලෙස යොදුනක්‌ පාසා විහාර ගොඩනංවමින් දාගැබ් තනවා ධාතු නිධන් කරවූ බව මහාවංශයේ සඳහන්ය.
දැනට නටඹුන්ව ඇති දිගින් මීටර් 13ක්‌ද පළලින් මීටර් 11ක්‌ද වන ශිලාමය ගොඩනැගිල්ල ඓතිහාසික සාධක අනුව පධානඝරයකි. එය දළදා මාලිගාවක්‌ වශයෙන්ද යොදාගත් බවට සාධක ජනප්‍රවාදයේ එයි. විහාරය සතු තුඩපතෙහි සද්ධාතිස්‌ස රජ දවස තිස්‌ස්‌ නම් ඇමැතියකු රජුගේ නියමය පරිදී මෙහි දෙමහල් ගෘහයක්‌ හා තෙමහල් ගෘහයක්‌ කළ බව සඳහන් වේ. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ ආරම්භය සද්ධාතිස්‌ස රජ දවස බව පැහැදිලිය. එනම් අනුරාධපුර යුගයයි. විහාරයේ සිට සැතපුමක්‌ පමණ ඊසාන දෙසින් පිහිටි අරංගල ආරන්‍යගල පසුව අරංගල බවට පත් වී ඇත) නම් කඳු ශිකරය පාමුල අතීතයේ සංඝයා වහන්සේ වැඩසිටි බවට සාධක හමුවේ. එසේම මෙම විහාරස්‌ථානයේද භාවනානුයෝගී හිමිවරු වැඩසිටි බවට විහාරස්‌ථානයේ තුඩපතේ සඳහන්ය.
සඳගිරි වෙහෙර මහනව තෙවලා බුදුවදන් ඉගෙන රහත්ව තුන්සිය හැට නමක්‌ සමගින් මෙම වෙහෙර වැඩවසන සේකැයි
ඒ අනුව මෙහි වැඩසිටි භික්‌ෂූන් මිහින්තලයේ සිට පැමිණි බව පැහැදිලිය. මෙම ගෙඩනැගිල්ල එම භික්‌ෂූන් උදෙසා ඉදිකළ පධානඝර ගොඩනැගිල්ල විය හැක. පියංගල යනුද පධානඝරයට තවත් නමකි. පළවන විජයබා රාජ සමයෙන් පසුව රාජ්‍ය පාලනය බාරගන්නේ පළවන වික්‍රමබාහු රජුය (ක්‍රි.ව. 1111-1132) මොහුගේ පාලනයට බලපෑම් කළ සුගලා බිසව දළදාවද රැගෙන රුහුණට පලාගිය බව සඳහන්ය. එසේ රුහුණේ දළදා වහන්සේ සඟවා තබා සිටි අවධියේ මෙම විහාරස්‌ථානයේද තැන්පත් කොට තිබූ බව තොරතුරු වේ. එසේ තැම්පත් කරන්නට ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ වන්නට හැකිය. එකල මෙය දෙමහල් ගොඩනැගිල්ලකි. එම දළදා මාලිගාවට උදේ සවස මල් පිදීමට මල් උයන් දෙකක්‌ වූ බවත් ඒවා ඉහල මල්ලැහැබ, පහල මල්ලැහැබ ලෙස වූබව ජනප්‍රවාදයේ වෙයි.
විහාරයේ ඇති වාස්‌තු විද්‍යා නිර්මාණ අතුරින් ටැම්පිට විහාරය වැදගත්ය. මහනුවර යුගයේ සිංහලයාටම ආවේනිකව පැවති චිත්‍ර ශෛලිය අධ්‍යයනයට ප්‍රදේශයේ ඇති වැදගත්ම ස්‌ථානයි. බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසුව ඇති වූ ප්‍රතිමා වන්දනයත් සමග ප්‍රතිමාවේ ආරක්‌ෂාවට හා වන්දනාමාන කිරීමේ පහසුවට එයට ගෘහයක්‌ නිර්මාණය කරන ලදි. එය පඨිමාඝර හෙවත් පිලිම ගෙය ලෙස හැඳින්වූ අතර එය විවිධ වාස්‌තුවිද්‍යා අංග හා කලා අංග එකතු වෙමින් සංවර්ධනයට පත්විය. මහනුවර යුගයේ" මෙම සම්ප්‍රදාය තරමක වෙනසකට ලක්‌ වී පිහිටි භූමියට වඩා තරමක්‌ උසින් කනු සිටුවා ඒ මත ලෑලි අතුරා සකසාගත් වේදිකාව මත පිළිමගෙය, විහාර මන්දිරය, ඉදි විය. පියංගල විහාරයේ ඇති ටැම්පිට විහා මන්දිරය කීර්ති ශ්‍රී රාජසිංහ රාජසමයේ ඉදි වූවකි. විහාර මන්දිරයට ඇතුළු වීමට ඇති දොරටුව ඉදිරිපස ඇති සඳකඩපහන එය නිර්මාණයට යොදාගෙන ඇති පාෂාණයේ දෘඩතාවයේ ඇති දුර්වල බව මත ගෙවීගොස්‌ ඇත. එහි ශේෂව ඇති ඇත්රූප පෙලක්‌ දැකගත හැකිය. මුලින්ම පිවිසෙන අන්තරාලය උස්‌ නොවූ බිත්ති සහිතව ප්‍රධාන විහාර මන්දිරයට යාබදව නිර්මාණය කර ඇත. එහි වහලද ප්‍රධාන වහලයට සම්බන්ධ කර නිර්මාණය කර ඇත. ගල් කණු 4ක්‌ මත රඳවා ඇති මෙම වහලය මඩොල් කුරුපාව යොදා තනා ඇත. අනතුරුව පිවිසෙන ස්‌ථානය දෙපසින් ආවරණය වූ අන්තරාලයකි. එහි සිට ටැම්පිට විහාරයට පිවිසීමට ඇති දොරටුව ඇති බිත්තිය විශාල මකර තොරණකින් අලංකාර කර ඇත. එහි ඉහලින් දේව විමානයකි. මේවා අඩක්‌ මතුවන අයුරින් නිමවා ඇති අතර සියලු නිර්මාණ සඳහා මැටි බදාමය යොදාගෙන තිබේ. ලී යොදා තැනූ පඩිපෙළ මතින් ටැම්පිට ඇති ප්‍රධාන විහාර මන්දිරයට පිවිසෙන අතර පිළිමගෙය වටා ප්‍රදක්‌ෂිනා පථයක්‌ද වේ. එය වටාද බිත්ති බැඳ ජනේල කවුළු යොදා ඇත.

ටැම්පිට විහාරයේ ඇති ප්‍රතිමා හා බිතුසිතුවම් සියල්ල මහනුවර යුගයේ කලා ලක්‌ෂණ පිළිබිඹුවන ඒවාය. විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස කඩු අතින්ගත් දොරටුපාල රූප දෙකකි. අර්ධ උන්නත ආකාරයෙන් මැටියෙන් නෙලා හුණු බදාමයෙන් නිමවා ඇත. බුදුපිළිම ඇති මැඳුරට පිවිසීමට පෙර දොරටුවෙන් ඇතුලූ වූ පසු කුඩා අන්තරාලයකි.
විහාර මන්දිරය තුළ ප්‍රතිමා 3කි. එක්‌ හිඳ සමාධි බුද්ධ ප්‍රතිමාවක්‌ වන අතර අඩි 4 1/2 ක්‌ පමණ උසය. එය දෙපස අඩි 5ක්‌ පමණ උස හිටි ප්‍රතිමා 2කි. එම ප්‍රතිමා දෙකෙහිම අභය මුද්‍රාව නිරූපිතය. ප්‍රතිමා තුනෙහිම සිරස්‌පත් සවිකර ඇත. පිළිම මහනුවර යුගයේ පැහැදිලි ලක්‌ෂණ පිළිබිඹු කරයි. සිවුර හා බුද්ධ ප්‍රතිමාව එකම කහ වර්ණයකින් වර්ණ ගන්වා ඇත. ප්‍රතිමාව පිටුපස රශ්මි මාලාවක්‌ද දක්‌වා ඇත. ප්‍රධාන හිදි බුද්ධ ප්‍රතිමාව දෙපස ප්‍රතිමාව දෙසට හැරී පාත්‍රයකින් යමක්‌ පූජා කරන ශ්‍රමණ රූප දෙකක්‌ කුඩාවට ඇඳ ඇත. හිටි ප්‍රතිමා දෙක දෙපස නව ගුණවැල් අතින් ගත් හිටි සංඝ රූප දෙකක්‌ ඇඳ ඇත. වම්පස බිත්තියේ දැක්‌වෙන ප්‍රධාන සිතුවම සූවිසි විවරණය දැක්‌වෙන බුද්ධ ප්‍රතිමා 16කි. බුදුපිළිම 8 බැගින් පේලි දෙකකට ඇඳ ඇති අතර සෑම බුද්ධ ප්‍රතිමාවක්‌ පිටුපසින්ම රැස්‌ මාලා දක්‌වා ඇත. ඒවා සියල්ල හිඳු බුද්ධ ප්‍රතිමා වන අතර සෑම ප්‍රතිමාවකම දකුණුපසින් බුදුන්ට යම් යම් දේ පූජාකර විවරණ ලබාගන්නා ආකාර සිතුවමට නගා ඇත.
මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයේ විශේෂ ලක්‌ෂණයකි මැද මිදුල සහිත නිවාස නිර්මාණය, ප්‍රභූවරුන් සඳහා හා විශේෂ සංඝාවාස සඳහා මෙම මැද මිදුල් සහිත ගොඩනැගිලි නිර්මාණය දැකිය හැකිය. මැටි හා හුණු බදාමය උපයෝගි කරගෙන ඉතා ඝනව බිත්ති ගොඩනගා ඇති අතර සිංහල උළු සෙවිලිකළ වහලය මැදින් උස්‌වන ආකාරයෙන් නිමවා ඇත. ජනේල යොදා ඇත්තේ ඉතා අඩුවෙනි. මැද මිදුල වටා කුඩා අන්තරාලයකි, කාමරවලට පිවිසීම් දොරටුද එහි වේ. මෙම සංඝාවාසයේ මැද මිදුල් දෙකක්‌ දැකිය හැකි අතර දොර උළුවහු ඉතා අලංකාර ලෙස දැවයෙන් නිමවා ඇති අතර, එක්‌ එක්‌ කාමර සඳහා වෙනවෙනම නම් වේ.
සංඝාවාසය අසලම ඇති පතුලේ සිටම ගල් කුට්‌ටි හතරැස්‌ව අල්ලා සකසන ලද ඉපැරණි ළිඳ ජනප්‍රවාද අනුව නම් යෝධයකු විසින් එක්‌ දිනක්‌ තුළ හාරා නිමකරන ලද්දක්‌ බව පැවසේ. ඒ විහාරයට පැමිණෙන පෙරහැරට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහාය.
මෙහි අදත් දැඩි නියං සමයක වුවද ජලය එකම මට්‌ටමේ දැකගත හැකිය.
විහාරයේ වූ පැරණි බෝධීන් වහන්සේ විනාශ වී ඇති අතර අද දක්‌නට ලැබෙන්නේ අනුරාධපුර ශ්‍රීමහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවෙන් රෝපණය කරණ ලද්දකි.
මෙම විහාරස්‌ථානය පිහිටි බිබිල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්‌ථාන රාශියක්‌ පවතී. ඒවා ඓතිහාසික රෝහණ ජනපදයේ, වෙල්ලස්‌සේ ශ්‍රී විභූතිය ලොවට පවසන නිහඬ සාධකයෝය. එම ස්‌ථාන පිළිබඳ විමසීමේදී නාගල විහාරය ඉතා පැරණි විහාර සංකීර්ණයකි.
එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්‌ථානයක්‌ ලෙස නම්කර ඇති කණුල්වෙල මාලිගාතැන්න ප්‍රදේශයේද කැලයට යටවූ නටඹුන් ඇති ස්‌ථානයකි.
පොතුබන්ධන රජමහවිහාරයද නටඹුන් වූ ගොඩනැගිලි දැකිය හැකි තවත් ස්‌ථානයකි. මහනුවර සමයට අයත් සෙල්ලිපියක්‌ද වේ. පොලොවට යටව ගිය නිර්මාණ බොහොමයක්‌ ඇතිබව සිතිය හැක්‌කේ චෛත්‍යය අසල පොලොවෙන් මදක්‌ මතුව ඇති බෝධිසත්ව පිලිම දෙක නිසාය.
අරංගල කොටසර විහාරයට සැතපුමක්‌ පමණ ඊසාන දෙසින් වන බල්ලගම්මන පුරාණ විහාරය අසල පිහිටි ඓතිහාසික ස්‌ථානයකි. එය පුරාවිද්‍යා ස්‌ථානයක්‌ ලෙස නම්කර නැත්තේ එහි වූ සාධක අද වනවිට විනාශයට පත් කර ඇති හෙයිනි. මෙම ස්‌ථානයේ පැරණි ගොඩනැගිල්ලක නටඹුන් පැවති බව පැවසේ.
විහාරය අවට ප්‍රදේශයද ඉහත ආකාරයෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් තොරතුරු ගෙනහැරපාන ස්‌ථාන බොහෝය. මේවා පැරණි රෝහණ ජනපදය පිළිබඳ චිත්‍රයක්‌ මවාගැනීමට අපට උපකාරීවන වැදගත් සාධකයෝය.
අනාදිමත් ඉතිහාසයකට හිමිකම් කියන කොටසර පියංගලූ විහාරය ඒඒ යුගයන්වල" රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග්‍රහය හා නොමද අවධානයට පත්වූබව පැහැදිලි කරුණකි. මහාවංශය, ථූප වංශය ආදි සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකම විහාරය ගැන කරුණු සඳහන් වීම සැලකිය යුතුය. මෙම පැරණි ගොඩනැගිලි නටඹුන්, ශිලා නිර්මාණ කැනීම් කර මතුකරගෙන ඇත්තේ ඉතා සුළු වශයෙනි. අක්‌කර 12ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙහි නටඹුන් විසිර ඇති ප්‍රදේශය දැකගත හැකිය. ඒවා තැනින් තැන ගොඩැලි වශයෙන් පවතී. දැනට කැනීම් කර පාදාගෙන ඇති පධානඝර ගොඩනැගිල්ල එසේ සොයාගෙන ඇති ප්‍රධාන හා එකම ගොඩනැගිල්ලයි. ඇතැමුන් මෙය පැරණි දළදා මාලිගාව ලෙසද හඳුන්වයි. ඒ අසලම මෑතක ඉදිකර ඇති පොහොය සීමා මාලකයටද යටව තවත් එවැනි සාධක වූ බව ප්‍රදේශවාසීන් පවසයි. චෛත්‍යයේ පැරණි ප්‍රාකාර බැම්මද මෑතක ප්‍රතිසංස්‌කරණයට ලක්‌වී නොමැත. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර මන්දිරයද බිත්ති ඉරිතලාගොස්‌ ඇති අතර සිතුවම් අධික ලෙස වර්ණ ගැලවී විනාශවී ගොස්‌ය. මේවා ප්‍රතිසංස්‌කරණයට ලක්‌ කර තහවුරු කිරීම කාලොචිත වී තිබේ. ඇතැම් ගම්වාසීන්ගේ අදටද පවතින විශ්වාසයක්‌ වන්නේ මෙම විහාරය නැවත පිළිසකර කර ඉහත දළදා මාලිගාව නැවත ඉදිකළොත් දළදා වහන්සේ නැවතත් එතැනට වඩිනා බවයි. ප්‍රසිද්ධ රහසක්‌ව පවතින මෙම කාරණාව නිසා වත්මන් පාලකයන් විහාරය පිළිසකර කිරීමට දක්‌වන උනන්දුව මද බවයි. මෙය තවත් විමසා බලනු වටී.
මෙම විහාරයේ ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන්වන කරුණු තවදුරටත් සනාථ කිරීමටත් වසර 2500ක්‌ ඉක්‌මවා ගිය අපේ බෞද්ධ උරුමය තහවුරු කිරීමටත්, පැරණි රෝහණ රාජධානිය පිළිබඳ ද්‍රව්‍යාත්මක සාධක ඔස්‌සේ ඉතිහාසය ගොඩනැගීමටත් විහාරයේ හා අවට ප්‍රදේශයේ මතු නොව ඌව ඇතුළු මුළු නැගෙනහිර පළාතේම පුරාවිද්‍යාත්මක සාධක මතුකර ගැනීමෙන් හැකිවනු නොඅනුමානය.

No comments:

Post a Comment