Thursday, 29 October 2015

පුණ්ණෝවාද සූත්‍ර දේශනාව

පුණ්ණෝවාද සූත්‍ර දේශනාව

සුනාපරන්තයෙහි මිනිස්සු විරුද්ධයි. හොඳයි, එහිදී ඒ මිනිසුන් ඔබට නපුරු වචන කියා බැන්ණොත් ? නින්දා කළොත් හොඳයි ඔවුන් ඔබට අතින් පහර දුන්නොත්? හොඳයි පුණ්ණ, ඔවුන් ගල් කැටවලින් පහර දුන්නොත්? හොඳයි ඔවුන් දඬු මුගුරුවලින් පහර දුන්නොත්? හොඳයි ඔවුන් ආයුධවලින් පහර දුන්නොත්? හොඳයි ඔවුන් ඔබට තියුණු ආයුධවලින් පහර දීල ඔබේ දිවි තොර කරනව නම් ඔබ හිතන්නෙ කෙසේද?

සන්ති ඛො පුණ්ණ චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමුප සංඝිකා රජනියා තඤ්චෙ භික්ඛු අභිනන්දති. අභිමදති, අජ්ඣෙසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣාය කිට්ඨාතො උප්පජ්ජති නන්දි. නන්දි සමුදයා දුක්ඛ සමුදයොයුත්තාහි වදාමි. (ම.නි.බ.ජ. පුණණොවාද සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ විසූ දවසක පුණ්ණ කෙළෙඹි පුත්‍රයා බුදුන් වෙත පැමිණ වැඳ එකත් පස්ව සිඳගෙන බුදුහාමුදුරුවන්ට මෙසේ කිව්ව. ස්වාමීනි, මට අවවාදයක් දෙනු මැනව. එය මා අහල විවේකව හුදෙකලාව ඉඳගෙන නො පමාව කෙලෙස් තවමින් ආත්ම දෘෂ්ටියෙන් තොරව වසන්නෙමියි කීය. එසේ නම් පුණ්ණ මම බණක් කියන්නම්. එය හොඳට අසාගන්නැයි වදාළ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් මාතෘකා පාඨය ඇතුළත් දේශනාව කරමින් මෙසේ වදාළහ. පුණ්ණ, යහපත්, සිත් අලවන, මනවඩන, පි‍්‍රය වූ, කාමය උපදවන, සිත් ඇලවීමට හිතෙන, ඇසින් දැකිය යුතු ආයතනයක් දකිනව. මහණෙක් ඒ රූපය දැකල සතුටු වෙනව නම්, ඒ රූපය සමග තණ්හාවෙන් කථාකරනව නම්, එය කෙරෙහිම ඇලී ගැලී සිටිනව නම්, ඒ (මහණහට පුද්ගලයාට ඒ නිසාම තණ්හාවක් ඇතිවෙනව. පුණ්ණ, තෘෂ්ණාව ඉපදීම නිසා ඔහුට දුක ඇතිවෙනව යි වදාළ. එමෙන්ම පුණ්ණ කනින් ඇසිය යුතු ශබ්දායතනය නිසාත්, නාසයෙන් විඳිය යුතු ගන්ධායතනය නිසාත්, දිවෙන් විඳිය යුතු රසායතනය නිසාත් කයින් විඳිය යුතු ස්පර්ෂායතනය නිසාත් මනසින් විඳිය යුතු වූ ධර්මායතන නිසාත් තණ්හාව උපදිතියි වදාළහ.

පින්වත්නි, බුදුහාමුදුරුවො මෙයින් වදාළේ ඇසින්, කනින්, නාසයෙන්, දිවින්, ශරීරයෙන් හා මනසින් කියන සදොරින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු තමන්ට පි‍්‍රය මනාපාදී වශයෙන් ගැනීමෙන් තෘෂ්ණාව උපදින බවත් එම තෘෂ්ණාව නිසා ඔහුට දුක් උපදින බවත් හේතුඵල ධර්මයයි.

අනතුරුව බුදුන් වහන්සේ පුණ්ණ හිමියන්ට වදාරණව පුණ්ණ, එමෙන්ම ඇස ආදී සවැදෑරුම් ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදී සවැදෑරුම් අරමුණු පි‍්‍රය මනාප වශයෙන් තෘෂ්ණාවෙන් නොගනී නම් ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වන බව. පුණ්ණ තෘෂ්ණාව නිරුද්ධ වීම නිසා දුක්ද නිරුද්ධ වෙන බව (දුක් නැතිවන හැටි) මෙයින් පුණ්ණ තෙරුන්ට බුදු හාමුදුරුවන් පෙන්වා දුන්හ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ පුණ්ණ තෙරුන්ගෙන් ඇසුව පුණ්ණ, ඉතාම සංක්ෂිප්ත වශයෙන් මා ප්‍රකාශ කළ මේ ධර්ම කොට්ඨාසය ඇසූ ඔබ මෙය පිළිපදින්නට කවර ජනපදයකටද යන්නෙ කියල. ස්වාමිනී, සුනාපරන්තන නම් ජනපදයක් තියෙනව ඒකට මම යන්නෙමියි කීව. එවිට බුදුහාමුදුරුවෝ වදාරනව පුණ්ණ, සුනාපරන්තයෙහි මිනිස්සු විරුද්ධයි. හොඳයි, එහිදී ඒ මිනිසුන් ඔබට නපුරු වචන කියා බැන්ණොත් ? නින්දා කළොත්? එහෙම කළොත් මා මෙහෙම හිතනව. මේ මිනිසුන් මට අතිශයෙන් සිතවත් අය කුමක් නිසාද? ඔවුන් මට අතින් පහර නොදෙන නිසයි. ස්වාමීනි, ඔවුන් ගැන මට හිතන්නේ එහෙමයි. හොඳයි ඔවුන් ඔබට අතින් පහර දුන්නොත්?. ස්වාමිනී, ඔවුන් මට ගල්කැටවලින් පහර නොදී අතින් පහර දෙන්නේ ඔවුන් ඉතාම හොඳ මිනිසුන් නිසායයි සිතනව. හොඳයි පුණ්ණ, ඔවුන් ගල් කැටවලින් පහර දුන්නොත්? ස්වාමිනී, ඔවුන් ඉතා යහපත් මිනිස්සු. ඔවුන් මට දඬු මුගුරුවලින් පහර නොදෙන්නෙ ඉතා හොඳ නිසයි කියල හිතනව. හොඳයි ඔවුන් දඬු මුගුරුවලින් පහර දුන්නොත්? ඔවුන් මට ආයුධවලින් පහර නොදී එසේ පහර දෙන්නේ ඉතා හොඳ මිනිසුන් නිසයි මා සිතනව. හොඳයි ඔවුන් ආයුධවලින් පහර දුන්නොත්? ස්වාමිනී, මා සිතනව ඔවුන් මට තියුණු මුවහත් ඇති ආයුධවලින් පහර දීල මාගේ ජීවිතය තොරකරන්න නැතිව සාමාන්‍ය ආයුධයකින් පහර දෙන ඔවුහු ඉතා යහපත් මිනිසුන් යයි මා සිතනව. හොඳයි ඔවුන් ඔබට තියුණු ආයුධවලින් පහර දීල ඔබේ දිවි තොර කරනව නම් ඔබ හිතන්නෙ කෙසේද? ස්වාමිනි, සුනාපරන්තයේ මිනිසුන් තියුණු ආයුධයකින් පහර දීල මාගේ දිවි තොර කරනව නම් මට මෙහෙම හිතෙනව. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේගේ (ඔබවහන්සේගේ) සමහර ශ්‍රාවක ශ්‍රාවිකා සිටීනම් කායික වශයෙනුත් ජීවත්වීම් වශයෙනුත් (නොයෙක් රෝගාබාධවලින් පෙළෙන එසේම ජීවත් වීම එපා වෙච්ච) පෙළෙන කය පිළිබඳවත් දිවිය පිළිබඳවත් (අනේ මෙහෙම සිරුරක් අනේ මෙහෙම ජීවිතයක් කුමටද?) කියා ලජ්ජාවටත් පිළිකුළටත් පත් වූ ඇත්තො. උන්වහන්සේ තම ජීවිතය නැතිකරවා ගන්නාආයුධ දරන්නකු මනුෂ්‍ය ඝාතකයකු) සොය සොයයි ඉන්නෙ. එබඳු වදකයකු නොසොයාම එබන්දෙක් මට ලැබුණේ යයි මා සිතනව ස්වාමිනි, මාගේ මේ දෙතිස් කුණප කොට්ඨාසය පිළිබඳව කිසිවකුගෙන් පහර කා විනාශවීම ගැන මා සිතන්නේ එහෙමයි. (සුනාපරන්තයේ මිනිසුන් පුණ්ණ හාමුදුරුවන් මරා දැම්මත් උන්වහන්සේ ඔවුන් පිළිබඳව දැක් වූ කරුණාව මෛත්‍රිය මෙන්ම ඉවසීම කෙතරම් දැඩි ද කියල අපට මෙයින් සිතන්න පුළුවනි. මේ පඤ්චස්ඛන්ධය එතරම්ම පිළිකුල් නිසරු දෙයක් වශයෙනුයි උන්වහන්සේ සිතුවේ.

පුණ්ණ හාමුදුරුවන්ගේ පිළිතුරු ඇසූ බුදුරජාණන් වහන්සේ සාධු, සාධු (හොඳයි හොඳයි) කියල සතුට ප්‍රකාශ කරල මෙසේද වදාළ. මෙබඳු හික්මීමෙන් හා සන්සුන් බවින් යුක්ත ඔබ සුනාපරන්ත ජනපදයෙහි වාසයට සමර්ථයේයි වදාරා, එහියාම අනුදැන වදාළහ. මේ සංක්ෂිප්ත ධර්ම දේශනාව ඇසූ පුණ්ණ හාමුදුරුවෝ බුදුන්ගේ දේශනාව සතුටින් පිළිගෙන බුදුන් වැඳ පැදකුණු කර සුනාපරන්ත ජනපදය කරා පා ගමනින් වැඩම කොට එහිම විසූහ. දරුණු මිනිසුන් සිටිය මෙම ජනපදයෙහි වෙසෙමින් එම වස් කාලය තුළදීම තෙරුවන් සරණ ගිය උපාසක පිරිස පන්සියයකුත් තෙරුවන් සරණය ගිය උපාසිකා පිරිස පන්සියයකුත් බිහි කිරීමට උන්වහන්සේ සමත් වූහ. එසේම ඒ වස් කාලය තුළම උන්වහන්සේ භාවනා කොට ධ්‍යාන වඩා ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්ත, විජාණන යන ත්‍රිවිද්‍යාවන්ද උපදවා ගත්හ. මෙසේ සුනාපරන්තයෙහි ම වැඩ සිටි උන්වහන්සේ කල්යාමේ දී අර්හත් භාවයට පත්ව සිට යථා කාලයේදී පිරිනිවන් පෑහ.

පුණ්ණ හාමුදුරුවන් මියගිය පුවත දැන ගත් භික්ෂූන් වහන්සේ බුදුන් හමුවට ගොස් ස්වාමිනි, පුණ්ණ හාමුදුරුවෝ අභාවප්‍රාප්ත වූ හයි කීහ. ස්වාමීනි එදා ඔබවහන්සේ දෙසූ සංක්ෂිප්ත ධර්මාවවාදය ඇසූ පුණ්ණ නම් කුළ පුත්‍රයා කළුරිය කළා. ඔහුගේ ගතිය (උපත) කුමක්ද? ඔහුගේ පරලොව තත්ත්වය කෙසේද? කියා ඇසූ භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, පුණ්ණ කුලපුත්‍රය පණ්ඩිතයි. (නුවණැතියි, ධර්මානුධර්ම පිළිවෙත් පිරුව. ධර්ම දේශනා කරවා ගැනීමට මට කරදර කළේ නැහැ. මහණෙනි, එහෙත් ඔහු මා දේශනා කළ සංක්ෂිප්ත ධර්මය තුළින් අර්හත් ඵලයට පත්ව පිරිනිවන් පෑයයි වදාළහ.

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
ගාල්ල, මලිගස්පේ සුභද්‍රාරාමාධිපති
අග්ගමහා පණ්ඩිත,
පල්ලත්තර සුමනජෝති නා හිමි

No comments:

Post a Comment