Thursday, 29 October 2015

සීල විසුද්ධිය 9 කොටස

සීල විසුද්ධිය 9 කොටස

සේඛබල සහිතව සිල් රැකීම සීල විසුද්ධියට මඟයි

එකිනෙකාට කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් උපකාර කරන විට ඒ අය තුළ සංසිඳීම හට ගන්නවා. සේඛධර්ම හට ගන්නවා. ඒ සේඛ ධර්ම පුරුදු කරනවා. එවිට ටිකෙන් ටික සීලය රැකෙන්නට පටන් ගන්නවා. ඔහුන් සේඛබල සහිතව සීලය රකින නිසා සිල්පද කැඩෙන්නේ නැහැ. යම් කලකදී ඒ ඔවුන් අවබෝධයෙන් සීලය රකිනවා. එවිට ඔවුන් ‘සීල විසුද්ධිය’වෙත ගමන් කරනවා.

පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමා අපේ අකුසල් ඉස්මතු වී පෙනෙන්නේ. පිරිස සමඟ වාසය කරනවිට එකිනෙකා කෙරෙහි ඉරිසියාව මතුවෙනවා. කුහකකම, ගැටෙන ගතිය මතුවෙනවා. අඩුපාඩු හොයන ගතිය , කම්මැලිකම මතුවෙලා එයි. මේ කටයුත්ත තව කෙනෙක් කරපුදෙන්, මම කරන්න ඕන නැහැ කියා මඟහරින ගතිය සටකපට මායා ගතිය මතුවෙලා එයි. ඒවා දකින්නට පුළුවන් වෙන්නේ පිරිස සමඟ ඉන්න විටයි. නමුත් ඒ සඳහා අප සිත පිරිසුදු වීම පිණිස ඇතිකරගත් ඉලක්කයක ඉන්නට ඕනෑ.

කැලයක් කපන්නට යනවිට කටු ළඳු සියල්ලම අහුවෙනවා. නැත්නම් ඈතින් කැලේ බල බලා යනවිට හිතෙනවා හරි ලස්සනයි කියලා. නමුත් කැලේ කපන්නට යනවිටයි පේන්නේ කටු පඳුරු සියල්ලම. ඒ නිසා අප පිරිසුදු වෙන්න ඕන කියන අදහසින් පිරිස සමඟ වාසය කරන්න ඕන. එවිට ඔහු තුළ අපිරිසුදුකම ඇති කරන්නා වූ කරුණු මතුවෙලා පේනවා. ඒවා දුරු කරන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා පිරිසෙන් වෙන්ව යෑම අකුසල් දුරුකර ගන්නට උපකාර වෙන එකක් නොවේ. පිරිසෙන් වෙන්ව යෑම වෙන්ව සිටීම කියන කාරණයකුත් ධර්මයේ තිබෙනවා. එයින් කියන්නේ හුදෙක් තනි තනිව ඉඳීම නොවේ. පිරිස සමඟ සිටිමින් එකිනෙකාට උපකාර කරමින් තනිව තනිව අකුසල් දුරු කරන්නට කල්පනා කළ යුතුයි කියන එකයි.

අප ගියවර කතා කළේ ‘චූල ගෝසිංහ සූත්‍රය ‘යි. භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍රයේදී මේ ආකාරයට අසනවා. ‘කොහොමද ඔබලාගේ සමඟිය?’ සමඟිව සතුටින් වාද විවාද නැතිව ඉන්නවා නේද? එකිනෙකා කිරියි, වතුරයි වගේ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරනවා නේද’ කියා අසනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදය හිස් මුදුනින් පිළිගත් කෙනා පිරිස අතරේ පි‍්‍රය මනාපව වාසය කරනවා. පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. ඔහු ඉටු කරන්නට බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව. භාග්‍යවතුන් වහන්සේ කැමැති වුණේ යමක්ද එය ඉටු කරන්නට ඔහු කැමැතියි. එවිට කුසල් වැඩෙනවා.

එයට පිළිතුරු ලෙස අනුරුද්ධ රහතන් වහන්සේ වදාළේ ‘ඇත්තෙන්ම ස්වාමිනි, අප සමඟියෙන් ඉන්නවා. අප සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කරන්නේ නැහැ. කිරියි, වතුරයි එකතු වුණා වගේ එකිනෙකා කෙරෙහි පි‍්‍රය ඇසින් බලමින් තමා වාසය කරන්නේ’.

භාග්‍යවතුන් වහන්සේ විමසනව ‘පින්වත් අනුරුද්ධ, ඔබ කොයි ආකාරයටද සමඟිව ඉන්නේ? සමඟිව සතුටු වෙන්නේ? වාද විවාද නැතුව ඉන්නේ? කිරියි, වතුරයි එකතු වුණා වගේ එකිනෙකා පි‍්‍රය ඇසින් බලමින් ඉන්නේ කොහොමද? කියලා. අනුරුද්ධ රහතන් වහන්සේ වදාළා’ස්වාමිනි මට මේ විදිහයට හිතෙන්නේ ‘ඇත්තෙන්ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක එකට වාසය කරන්නට ලැබුණානේ’ කියලා. ස්වාමිනි ඒ ආයුෂ්මතුන් වහන්සේලා මම ඉදිරියේ වැඩහිටියත්, නැතත් මෛත්‍රි සහගත වැඩකටයුතු වලින් යුක්තවෙලයි මම ඉන්නේ. ඒ වගේම ඒ ආයුෂ්මතුන් වහන්සේලා මම ඉදිරියේ සිටියත්, නැතත් මෛත්‍රි සහගත කතා බහෙන්මයි ඉන්නේ. ඒ වගේම උන්වහන්සේ මම දිරියේ සිටියත්, නැතත් මෛත්‍රී සහගත කතා බහෙන්, මෛත්‍රී සහගත අදහස්වලින්ම යි මම ඉන්නේ. ස්වාමිනි, මට හිතෙනවා මගේ හිත අයින්කර ඒ ආයුෂ්මතුන් වහන්සේලාගේ ස්වභාවය මම ඇතිකර ගන්නවා’ කියා. ඉතින් ස්වාමිනි, මම මගේ හිත පැත්තකින් තියෙනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන ආකාරයට හිතනවා. එවිට ස්වාමිනි, අප වෙනස් වෙන්නේ සිරුරු වලින් පමණයි. අප අදහස් වලින් එකයි.

එතැන තමා නිවන් මඟට පිවිසෙන තැන. සංසිඳීම ඇතිකරවන තැන. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන්නේ කොහොමද කියන කාරණය.

භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් මේ ශාසනයේ පැවිදි වුණානම් ඒ අය රාග, ද්වේෂ, මෝහ දුරුකරන්නට ඕනෑ කියන අදහස් ඇති කරගෙනයි පැමිණෙන්නේ. ඒ අය තුළ තිබෙනවා ගුණයක්. නමුත් ඒ අදහස් තිබුණා කියා ඒ අය තුළ රාගය ඉස්මතු නොවෙයි ද? ද්්වේෂය, මෝහය ඉස්මතු වෙනවා. එහෙනම් ඒ පිරිස තුළ රාගය ඉස්මතු වීමද අප නරක විදිහට කල්පනා කළ යුත්තේ. ඒ පුද්ගලයා මැනිය යුත්තේ මොන කාරණයෙන්ද? යම් කෙනෙක් ශාසනයට ඇතුළුවෙනවා නම් ඒ බහුතරයක් දෙනා රාග, ද්වේෂ, මෝහ දුරු කරන්න ඕන කියන අදහසින් එන්නේ. අප සිතමු කේන්තිය කියලා. ශාන්ත කෙනෙක් කේන්තියට මුලාවෙලා සැර වචනයක් කියනවා. ඒක මුල්කරගෙන ඔහු මනින එකද හොඳ නැත්නම් කලින් එයා තුළ තිබුණ අදහස මුල්කරගෙන මනින එකද හොඳ? අන්න එවිට තමා සමඟිය ඇතිවන්නේ. ගරුසරුබව ඇතිවෙන්නේ.

යමෙක් තුළ ශ්‍රේෂ්ඨ අරමුණක් තිබෙනවානම්, ඒ අරමුණ මුල්කරගෙන ඒ අයට ගරු කරන්න පුරුදුවෙන්න. රාගය තිබෙන නිසායි ඔහු රාගය දුරු කරන්නට කල්පනා කරන්නේ. ඒ වගේම ද්වේශය තිබෙන නිසා එයත් දුරු කරන්නට කල්පනා කරනවා. ඒනිසා අප දැනගන්න ඕන ඔහුට කරුණාවෙන් උපකාර කරන්න. එවිට ඔහු අකුසලය දුරුකර ගන්නේ. මේ දේශනාවේ කියා දෙන කරුණු අපටත් ගැලපෙනවා. අප මෙතැනින් පටන්ගත යුත්තේ. අප සියලු දෙනාම කල්පනා කළ යුතුයි ධර්මය පුරුදු කරන්න. අප පුරුදු කළ යුත්තේ නිවන් මඟ . සියලු දෙනාම සිතිය යුතුයි ‘ඇත්තෙන් ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! කියලා. ඒ අය මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පුරුදු කරමින් වාසය කරනවා නම් ඒ සියලු දෙනාගේ සිත් එක වගෙයි. ඒ අය කයින් ඈතින් හිටියත් ශරීර වලින් වෙන්වෙලා සිටියත් සිතින් එකයි. එහෙනම් ඔබලාටත් එකිනෙකාගේ සිත තමාට පමුණුවාණුවාගෙන වාසය කරන්න පුළුවන් නේද? ‘ඉතින් ස්වාමිනි, මම මගේ සිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියටම හිතනවා’ කියා කියන්නේ ඒකයි. හැම කෙනෙක්ම මේ ආකාරයට සිතනවා එනම් එකිනෙකා සමානයි නේද? එහෙමනම් ‘මමයි ලොකු’ කියා හිතන දෙයක්ද එතැන නැහැ. මේ ආකාරයට එකිනෙකාට ගරුසරු ඇතිව, එකිනෙකා කෙරෙහි කල්පනා කරන පුද්ගලයා මේ දේශනාවේ තිබෙන ආකාරයේ පිරිස ගැන කල්පනා කරනවා. ‘මේ වගේ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්නට ලැබීම මට ලාභයක්! මනා ලැබීමක්! මට ඒකාන්තයෙන්ම ලැබීමක්! කියා කල්පනා කරනවා. ඒ සත්‍යය ඔබත් කල්පනා කරන්න. එවිට මිහිරක් දැනෙනවා. ආශ්වාදයක් දැනෙනවා. පි‍්‍රයමනාපබවක් දැනෙනවා. එවිට කිරියි දියයි එකතුවුණා වගේ එකතු වෙනවා. ඒ කියන්නේ ඒ අය අතර ළාමක ඇසුරු කිරීම් නැහැ.

එනිසා මේ ළාමක ඇසුර අයින්කර භාග්‍යවතුන් වහන්සේ අපේක්ෂා කළ විදියේ ඇසුරක් ඇතිකරන්න මේ ධර්මය පුරුදු කරගන්න. එවිට එකිනෙකා ගරුසරු ඇති අය බවට පත්වෙනවා. ඒ පිරිස කල්‍යාණ මිත්‍රයාට නැඹුරුවෙලා වාසය කරනවා.

එවිට කල්‍යාණ මිත්‍රයා යමක් කිව්වම ඇහුම්කම් දෙන්න කැමැතියි. ඒ අයගේ හිතට මේ ධර්මය යනවා. ඒ අය සංසිඳෙනවා. එකිනෙකාට කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් උපකාර කරනවා. එවිට ඒ අය තුළ සංසිඳීම හට ගන්නවා. ඒ අය තුළ සේඛ ධර්ම හට ගන්නවා. ඒ සේඛ ධර්ම පුරුදු කරනවා. ඒ අය තුළ ටිකෙන් ටික සීලය රැකෙන්නට පටන් ගන්නවා. ඔවුන් සේඛබල සහිතව සීලය රකින නිසා සිල්පද කැඩෙන්නේ නැහැ. නො කැඩී තිබෙන්නට පුරුදු වෙනවා. යම් කලකදී ඒ ඔවුන් අවබෝධයෙන් සීලය රකිනවා. අවබෝධයෙන් සිල් රකින පුද්්ගලයාගේ සීලය කැඩෙන්නේ නැහැ. එවිට ඔවුන් ‘සීල විසුද්ධිය’වෙත ගමන් කරනවා.

No comments:

Post a Comment