Friday, 4 September 2015

සසුන් බඹසර

සසුන් බඹසර 

මේ ශාසනයෙහි භික්‍ෂුව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යය ඇතිව නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන විට සිතේ එකඟ බව ලබන්නේ යයි ඇසූ සේක “

අද අප ඉගෙන ගන්නා සූත්‍ර දේශනාවෙන් මේ උතුම් බුදුසසුන තුළ මැනැවින් දමනයට පත්වන ආකාරය හෙවත් සසුන් බඹසර ගැන කරුණු දැක්වෙනවා. මේ බුද්ධ දේශනාවේ නම “ දන්තභූමි සූත්‍රයයි “ මෙය අන්තර්ගත වන්නේ මජ්ඣිම නිකායේ තුන්වැනි කොටස හෙවත් උපරිපණ්ණාසකයේ සුඤ්ඤත වර්ගයෙහිය.

එක් කලෙක බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවාසය කළ සේක. මෙහි “ කලන්දක” යනු “ලේනාය” ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලෙහෙනුන් සිටි ප්‍රදේශයේ වැඩ විසූ බව සඳහන් වේ. මේ කාලයේ “අචිරවත “ නම් අලුත පැවිදි වූ සාමණේර හිමිනමක් ආරණ්‍යකුටියක හෙවත් කැලෑ වනගත කුටියක වැඩ සිටියා. මේ කාලයේදී ජයසේන නම් වූ රජකුමාරයෙක් ජංඝාවිහරණයට හෙවත් ව්‍යායාමය පිණිස ශරීර සැපය සඳහා ඇවිදිමින් සිටින විට “අචිරවත” සාමණේරයන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියේය. පැමිණ මේ සාමණේර හිමියන් සමඟ සතුටු විනි. සතුටුවිය යුතු සිහි කරන්නට සුදුසු කතා කොට අවසානයේ හෙවත් එම සුහද කතා බහෙන් පසුව එකත්පසෙක වාඩිවුණේය. ඉන්පසුව ජයසේන රාජකුමාරය “අචිරවත” සාමණේර හිමියන්ට මේ ශාසනයෙහි භික්‍ෂුව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන විට සිතේ එකඟබව ලබන්නේය යන කරුණ තමා විසින් අසා ඇති බව පවසා සිටියේය. එවිට අචිරවත සාමණේරයෝ “රාජ කුමාරය, එය එසේ මැය, රාජ කුමරය එය එසේ මැය. මේ ශාසනයෙහි භික්‍ෂුව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යය ඇතිව නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන විට සිතේ එකඟ බව ලබන්නේ යයි ඇසූ සේක “ යනුවෙන් පැවසූහ. එවිට ජයසේන රාජ කුමාරයා මේ සාමණේරයන් වහන්සේගෙන් උන්වහන්සේ ඇසූ පරිදි පුහුණු කළ පරිදි තමන්ට ධර්මය දේශනා කරන්නැයි ඉල්ලා සිටියේය. එවිට “අචිරවත” හිමියෝ පවසා සිටියේ තමන් වහන්සේ ඔහුට ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය දේශනා කරන්නට නොහැකි බව ය. තවද එසේ ධර්ම දේශනා කරන විට ඔහුත් තමන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි අර්ථ අවබෝධ නොකරනවා නම් එය තමන් වහන්සේට වෙහෙසක් වන බවද වදාළහ. එවිට මේ ජයසේන රාජ කුමාරයා නැවතත් අචිරවත හිමියන්ගෙන් තමන්ට ඇසූ පරිදි පුහුණු කළ පරිදි ධර්මය දේශනා කිරීමට ආරාධනා කොට තමන්ට වදාරන ධර්මයෙහි අර්ථ නුවණින් අවබෝධ කරගැනීමට හැකි නම් මනාම බව පැවසුවේය. ජයසේන කුමරුගේ මේ ආරාධනාවෙන් පසුව අචිරවත හිමියෝ එක් කොන්දේසියක් පනවා ධර්ම දේශනා කිරීමට ආරම්භ කළහ. එනම් තමන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි අර්ථ නුවණින් අවබෝධ කරගන්නවා නම් හොඳ බවත් ඉදින් අර්ථ නුවණින් අවබෝධ කර නොගන්නවා නම්, අර්ථ දැනගන්නට නොහැකි නම් ඒ ගැන නැවත ප්‍රශ්න නොකළ යුතු බවයි.රාජ කුමාරයා හිමියන් පැන වූ කොන්දේසිය පිළිගත්තේය . අචිරවත සාමණේරයෝ රජකුමාරයාට ධර්මය දේශනා කළහ. ධර්මය දේශනා කළ විට ජයසේන කුමරු හිමියන්ට පැවසුවේ භික්‍ෂුව ප්‍රමාද නොවී කෙලෙස් තවන වීර්යය ඇතිව නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන විට සිතේ එකඟ බව ලබන්නේය යන කාරණය නොවන්නක් බවත් එය වන්නට ඉඩක් ද නැති බවත් පැවසුවේ ය.

දැන් මේ සාමණේර හිමියෝ ධර්මය දේශනා කිරීමට පෙරම කොන්දේසි පනවා තිබූ බැවින් ප්‍රශ්න ඇසීමටත් නොහැකියි. රාජ කුමාරයා වාඩිවි සිටි ආසනයෙන් නැගිට පිටත්විය. එවිට ‘අචිරවත “ හිමියෝ රාජ කුමාරයා පිටත්වන විටම ඔහු ගොස් වැඩිවේලාවක් ගත වන්නට පෙරම භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණු සාමණේර හිමියෝ උන්වහන්සේට වන්දනා කොට එකත් පසෙකින් වාඩි වූහ. ඉන්පසුව මේ සාමණේරයෝ තමන් වහන්සේත් රාජකුමාරයාත් අතර ඇතිවූ සියලු කතාබහ භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියහ.

එවිට බුදුරජාණන් වහන්සේ අචිරවත සාමණේරයන්ට කරුණු දක්වා වදාළ සේක. යම්කිසි ධර්මයක් කර්මයෙන් නික්මී යෑමෙන් දත යුතුවේද නික්මීමෙන් දැක්ක යුතුවේ ද නික්මීමෙන් ලැබිය යුතු වේද නික්මීමෙන් පසක් කළ යුතුවේද ඒ ධර්මය මෙහි ලා කොයින් ලැබේද? ජයසේන රාජ කුමාරයා කාමයන් මැද වාසය කරමින් කාමයන් අනුභව කරමින් කාම විතර්කයන්ගෙන් තැවෙමින්, කාමපරිද්‍රහයෙන් දැවෙමින් කාමයන් සෙවීමෙහි උත්සුක වී ඒකාන්තයෙන් කාමයන්ගෙන් නික්මීමෙන් ලබන එම ධර්මය දැන ගන්නේ ය කියා හෝ දැක ගන්නේය කියා හෝ පසක් කරන්නේ ය කියා හෝ යන කාරණය වන්නේ නැත. බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි වීමට සුන්දර උපමා දෙකක්ද වදාළ සේක.

එයින් පළමු උපමාව මෙසේය. ඇතුන් දමනය කරන දෙදෙනෙක් හෝ අශ්වයන් දමනය කරන දෙදෙනෙක් හෝ ගවයන් දමනය කරන දෙදෙනෙක් හෝ හික්මීමක් නැතිව අවිනීතව සිටිනවා. තවද මනාව දමනය වුණු සුවිනීත වූ යම් ඇතුන් දමනය කරන්නන් දෙදෙනෙක් හෝ අශ්වයන් දමනය කරන්නන් දෙදෙනෙක් හෝ ගවයන් දමනය කරන්නන් දෙදෙනෙක් හෝ සිටිනවා ද ඒ අය දමනයට පත්වීම එම දමනය කිරීම් වලට යන්නා හු නොවේ ද? දමනයට පත්වීම දමනය කිරීමට දමනය කරන භූමියට යන්නේ නොවේද? යන ප්‍රශ්නය බුදුරදුහු සාමණේර හිමියන්ගෙන් විමසුහ.” එසේය” හිමියෝ පිළිතුරු දුන්හ. නැවත බුදුරජාණන්වහන්සේ සාමණේරයන් ගෙන් පැනයක් විමසූහ.

යම් ඒ ඇතුන් දමනය කරන දෙදෙනෙක් හෝ අශ්වයන් දමනය කරන දෙදෙනක් හෝ ගවයන් දමනය කරන දෙදෙනෙක් හෝ දමනය නොවී අවිනීතව මනාව දමනය වූ සුවිනීත වූ ඒ ඇතුන් දමනය කරන දෙදෙනා මෙන් අශ්වයන් දමනය කරන දෙදෙනා මෙන් ගවයන් දමනය කරන දෙදෙනා මෙන් ඒ සතුන් දමනය කිරීමට යනවාද? තමන් දමනය නොවී සිටම ඒ සතුන් දමනය කිරීම ට යනවාද?

“ස්වාමීනි, එය වන්නේම නැත” සාමණේරයෝ පිළිතුරු දුන්හ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. අන්න ඒ වගේ තමයි යම් ධර්මයක් (කාමාදියෙන්) නික්මීමෙන් ඉවත්වීමෙන් දත යුතුවේද නික්මීමෙන් දැක්ක යුතුවේ ද, නික්මීමෙන් ලැබිය යුතුවේද නික්මීමෙන් පසක් කළ යුතු වේද එම ධර්මය මේ කාමයන් මැද වාසය කරන කාමයන් අනුභව කරන කාම විතර්කයන්ගෙන් තැවෙන කාම පරිද්‍රහායෙන් දැවෙන කාමයන් සෙවීමෙහි උත්සුක වූ ජයසේන රාජ කුමරයා ඒකාන්තයෙන් දැන ගන්නේය කියා හෝ දකින්නේය කියා හෝ පසක් කරන්නේය කියා හෝ යන මේ කාරණය නොවන්නකි.

මීළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණය තවදුරටත් පැහැදිලි කිරීමට තවත් සුන්දර උපමාවක් වදාළ සේක. එය මෙසේය. යම් ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරෙහි මහා පර්වතයක් තිබේ. යහළුවෝ දෙදෙනෙක් ඒ ගමෙන් හෝ නියම්ගමින් නික්මී ඒ පර්වතය තිබෙන තැනට පැමිණෙන්නේය. පැමිණ එක යහළුවෙක් පර්වතය පහතට වී සිටින්නේය.අනෙක් යහළුවා පර්වතය මුදුනට නගින්නේය. දැන් පර්වතය පහත සිටින මිතුරා පර්වතය උඩ සිටින මිතුරාට මෙසේ පවසන්නේය. “ යහළුව , ඔබ පර්වතය උඩ සිටින විට දකින්නේ කුමක්ද? “යහළුව, මම පර්වතය මුදුනෙහි සිටින විට රමණීය ආරාම රමණීය වන රමණීය බිම් පෙදෙසේ රමණීය පොකුණු දකිමි “ මෙසේ පවසන විට පර්වතය පහත සිටින මිතුරා එය විය නොහැක්කක් බව පවසයි. එවිට පර්වතය උඩ සිටින යහළුවා පර්වතය පහතට බැස තම මිතුරා අතින් අල්ලාගෙන පර්වතය මුදුනට ගෙන යන්නේය. ඔහු මොහොතක් අස්වසා කරුණු පැහැදිලි කර දෙන්නේය. පර්වතය පහත සිටි මිතුරා එවිට තමන් මේ මහා පර්තයෙන් අවුරන ලදුව දැක්ක යුතු දෑ නො දුටු බව පිළිගනියි.

ඒ මහා පර්වතයට වඩා ඉතා මහත් වූ චතුරාර්ය සත්‍යය ඇත්ත ඇති සැටියෙන් නොදැකීම හෙවත් අවිද්‍යා ස්කන්ධයෙන් ජයසේන රාජකුමාරයා අවුරන ලදී. වෙලන ලදී. හාත්පසින් බදිනා ලදී. ඔහු ඒකාන්තයෙන් කාමයෙන් නික්මී යෑමෙන් දත යුතු නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් පැමිණිය යුතු නික්මීමෙන් පසක් කළ යුතු යම් සිතේ එකඟ කිරීම නම් වූ ධර්මයක් ඇද්ද එම ධර්මය මේ කාමයන් මැද වාසය කරන කාමයන් අනුභව කරන කාම විතර්කයන්ගෙන් තැවෙන කාම පරිද්‍රහයෙන් දැවෙන කාමයන් සෙවීමෙන් උත්සුක වූ ජයසේන රාජ කුමාරයා ඒකාන්තයෙන් දැන ගන්නේය කියා හො දකින්නේය. කියා හෝ පසක් කරන්නේය කියා හෝ යන මේ කාරණය නොවන්නක් බව පැහැදිලි කොට වදාළ සේක.

ජයසේන රාජකුමාරයාගේ කෙලෙස් වලට යටවූ ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අචිරවත සාමණේරයන්ට වදාළ අයුරු අපි ගියවර ඉගෙන ගතිමු. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළ ඇතුන් අසුන් ගවයන් දමනය කරන්නන් පිළිබඳ උපමාව ද පර්වතයකට ගොඩවන මිතුරන් දෙදෙනෙකුගේ උපමාව ද උගතිමු. එම උපමා දෙක වදාළ බුදුරජාණන් වහන්සේ අචිරවත හිමියන්ට මෙසේ වදාළහ.

“ඉදින් ගිනිවෙස්න, ජයසේන රාජකුමාරයාට මේ උපමා දෙක ඔබ ප්‍රකාශ කරයි නම් ඔබට ජයසේන රාජකුමාරය පහදින්නේය යන්නත් ප්‍රසන්නව ඔබට සත්කාර කරන්නේය යන්නත් ආශ්චරියයක් නොවේ. “

එවිට සාමණේරයෝ බුදුන් වහන්සේට වදාළේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නාක් මෙන් කෙසේ නම් තමන් වහන්සේ නැවත නැවත ආශ්චර්යයට සුදුසු වූ පෙර නොඇසූ විරූ මේ උපමා දෙක ජයසේන රාජ කුමාරයාට පවසන්නේ ද? යනුවෙනි. එවිට බුදුන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය මෙසේය.

ක්ෂත්‍රිය රජකෙනෙක් නාගවනිකයෙකුට කථා කරයි.මෙහි “ නාගවනිකයා” යනු ඇතුන් වසන වනයට යන තැනැත්තාය. මෙසේ ඇතුන් වසන වනයට යන තැනැත්තා අමතන රජු ඔහුට පවසා සිටින්නේ “ සගය, නාගවනිකය, ඔබ රජුගේ ඇතු පිට නැඟී නාග වනයට හෙවත් ඇතුන් වසන වනයට ගොස් කැලයේ සිටින ඇතෙකු සොයා බලා රජුගේ ඇතාගේ බෙල්ලේ බැඳගෙන එම ඇතා රැගෙන එන්න” යනුවෙනි. මොකද? ඒ රජුගේ ඇතා සමග ගොස් ඒ ඇතාගේ බෙල්ලේ අර වනයේ ඇතා බැඳගෙන එන්නේ. ඇතෙකුට ඇතා ළඟට යා හැකි නිසාය. ඉතින් මේ පුද්ගලයා රජුට “ එසේය දේවයන් වහන්ස,” කියා පිළිතුරු දී තම රාජකාරියට පිටත් වෙනවා. වනයේ සිටින අතෙකු සොයා බලා රාජ හස්තියාගේ බෙල්ලේ බඳිනවා. වනයේ ඇතා කෙතරම් වුවත් වනයට ගිජුයි. ලොල් බවින් යුක්තයි. දැන් මේ වනයේ ඇතා දමනය කළ යුතුයි. මිනිසුන්ගේ ඇසුරේ සිටීමට සුදුසු ආකාරයට හොඳීන් දමනය කළ යුතුයි. මේ නිසා රජු මේ ආරණ්‍යයක ඇතා හස්ති දමකයෙකුට හෙවත් ඇතුන් දමනය කරන්නෙකුට භාර දෙයි.

ඇතු දමනය කිරීමට භාරගත් මේ ඇතුන් දමනය කරන්නා මහත් ටැඹක් පොළොවෙහි පිහිටුවයි.ඇතුගේ බෙල්ල එහි බඳියි. ඉන්පසුව මේ පුද්ගලයා ඇතුට නිදොස් වූ කතට සැප වූ පේ‍්‍රමණීය වූ හෘදයාංගම වූ බොහෝ දෙනාට පි‍්‍රය මනාප වූ වචනවලින් කතා කරයි. මෙසේ පි‍්‍රය වචනයෙන් කතා කරන විට ඒ පි‍්‍රය වචන ඇසීමට ඇතා කැමැති වූ විට එයට කන් නතු කළ විට මේ තැනැත්තා ඇතුට තණකොල ආහාරයත් ජලයත් දෙයි. දැන් මේ ඇතාව මිතුරු කරගත් මේ හස්තිදමකයා ඇතුට කුමක් හෝ දෙයක් අතට හෙවත් හොඬයට ගන්නැයි පවසයි.ඇතාගේ අත වන්නේ හොඬයයි. හත්‍ථං අස්ස අත්ථීති හත්ථි” අතක් තිබෙන බැවින් ඔහුට ඇතා යැයි කියයි. ඉන් පසුව ඔසවන්නා පහත් කරන්න යනාදි විධාන කරයි. ඒ විධානවලදි මේ ඇතා කියන අයුරින් කරයි. විධානය පිළිගනියි. කීකරු වෙයි. මේ ආකාරයට කියන දෙය අසන අවවාද පිළිගන්නා තත්ත්වයට ඇතා පත් වූ පසු ඔහුට හොඳ හැටියට කන්සළඹ යොදා වස්ත්‍ර හදවා රජුට ගැලපෙන ඇතෙකු බවට පත් කරයි. ඇතා ද ඉදිරි පා නොසලා පසු පා නොසලා, හිස නොසලවා, කන් නොසලා, නගුට නොසලා, සොඬ නොසලා සංවරව සිටියි. තවද මේ කැලෑ ඇතා නොයෙකුත් දෑ ඉවසමින් රජුට සුදුසු ඇතෙක් බව ට පත්වෙයි. මේ ආකාරයට මේ කැලෑ ඇතා රජුගේ රාජ අංගයක් බවට පත්වේ.

මේ සුන්දර උපමාව වදාළ බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් මේ ශාසනය තුළ කෙමෙන් කෙමෙන් හික්මී නිවන කරා ගමන් කරන ආකාරය වදාළ සේක. අර්හත් සම්මා සම්බුද්ධ වූ දෙව් මිනිසුන්හට ශාස්තෘ ‘වූ නව අරහාදි ගුණයෙන් යුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙති. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකයත් මහණ බමුණන් සහිත වූ දෙව්මිනිසුන් සහිත ප්‍රජාවද තමන් වහන්සේම විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට දේශනා කරන සේක. ඒ තථාගත වූ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත් කොට මැද යහපත් කොට අවසානය යහපත් කොට අර්ථ සහිත කොට, බපඤ්ජන සහිත කොට, කේවල පරිපූරණ කොට ධර්මය දේශනා කරන සේක. පිරිසුදු කොට බ්‍රහ්මචර්යය දේශනා කරන සේක.

එසේ තථාගතයන් වහන්සේ විසින් යහපත් අයුරින් දේශනා කරනු ලබන ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයක උපන් අයෙක් හෝ අසයි. ධර්මය ඇසූ ඒ තැනැත්තා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. ශ්‍රද්ධාව ලැබූ ඒ තැනැත්තා ඉන් පසුව මෙසේ කල්පනා කරයි.ගෙදර වාසය කිරීම සම්බාධ සහිතය. රාගාදි කෙලෙසුන්ට මාර්ගයකි. පැවිද්ද එළිමහණක් වැනිය. ඒකාන්තයෙන් පිරිපුන් වූ ඒකාන්තයෙන් පිරිසුදු වූ බඹසර පුරන්නට ගිහිගෙයි වාසය කරන අයහට පහසු නොවේ. ඒ නිසා මම කෙස් රැවුල් කපා දමා කහවත් හැඳ පොරවා ගිහිගෙයින් නික්මුණු අනගාරික පැවිද්දට පත්වනවා නම් මැනවි. මේ ආකාරයට සිතන මේ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා පසු කාලයක් ස්වල්ප වූ හෝ මහත් වූ හෝ භෝග රාශිය හැර දමා (අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය) ස්වල්ප වූ හෝ මහත් වූ හෝ නෑ පිරිවර, ඥාතීන් ද හැර දමයි. කෙස් රැවුල් බහා කහවත් හැඳ පොරවා ගිහිගෙයින් නික්මී අනගාරික පැවිද්දෙක් බවට පත් වෙයි. ආර්ය ශ්‍රාවකයා මෙතෙකින් අභ්‍යවකාශගත වූවෙක් වෙයි.අභවකාශයේ බාධක හැල හැප්පීම් නැත. නිදහස්ය.

මහණකමත් අහසේ දීම පවුරු නැතිවාක් මෙන් නිදහස් තැනකි. සැබැවින්ම පැවිද්ද විශාල සුවයකි. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ නිවසින, ඤාතීන් ගෙන් වෙන්වී බිරිඳක් නැතිව මේ මහ දුකක් විඳීනවා කියාය. නමුත් එය වැරැදිය. ඒ අත්හැරීම මහත් සැපතකි. බදා ගැනීම, රැස් කිරීම ගොඩ ගැසීමම මහත් දුකකි. පැවිද්ද යනු සුවපහසු තැනක් බව අත්දැකීම් ඇත්තෝ දනිති. එය මේ කාමයන්ගේ ගිලුණු එයින් ඉවතට පැමිණීමට තරම් සිහියක්වත් නැති අය නොදනිති. කෙනෙක් පැවිදි වන විට තමන් සතුව ඇති මහත් වු භෝග රාශියක් හෝ භෝග ස්වල්පයක් හෝ මහත් වූ නෑ පිරිවරක් හෝ ස්වල්ප වූ නෑ පිරිවරක් හෝ අත්හැර දමන බව ඉහත සදහන් කෙරුණි.

ඇතැම් කෙනෙක් මහත් වස්තු සම්භාරයකට තණ්හාවෙන් ඇලි සිටිය හැකිය. සුන්දර සුරූපි බිරිඳට ඇලී සිටිය හැකිය. තවත් අයෙක් හරිහැටි ඉදින්න හිටින්නට තරම්වත් තැනක් නොමැතිව හිඟා කන වලං කැබැල්ලට දිරා ගිය වස්ත්‍රයට විරූපි වූ කැහැටු ගැසුණු බිරිඳට තණ්හාවෙන් ඇලී සිටිනවා විය හැකිය.ඇලීමට තණ්හාවට මහදේවල් අවශ්‍ය වන්නේම නැහැ. එබැවින් කෙනෙක් මහත් වූ හෝ ස්වල්ප වූ හෝ කාමවස්තූන් අත්හැරීම උසස් උතුම් ක්‍රියාවකි. බොහෝ දෙනෙකුට කළ නොහැකි දෙයකි.කෙසේ හෝ ගිහිගෙය නිවන සඳහා වූ පිළිවෙත් පිරීමට සම්බාධ සහිත තැනක් වන අතර පැවිද්ද ඊට හොඳ හැටි අවකාශ ඇති තැනක් වේ. ඒ බව බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැර පැවිදි වීමෙන් පැහැදිලි වේ. “පබ්බජ්ජා සූත්‍රයේ “ සඳහන් වන පහත ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ.

“සම්බාධෝ’ යං ඝරාවසෝ
රජස්සායත නං ඉති
අබ්භෝකාසෝව පබ්බජ්ජා
ඉති දිස්වාන පබ්බජි”

මේ ගිහිගෙයි වාසය (කුසල ක්‍රියාවට) සම්බාධ වේ. රාගාදී කෙලෙසුන්හට ඉපදීමට හේතුවන තැනකි යනුවෙන් පැවිද්ද අභ්‍යවකාශයක් මෙනි යනුවෙන්ද පැවිදි වූහ.

මේ අනුව මේ උතුම් පැවිද්ද නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන උතුම් උසස් තත්ත්වයක් බව සඳහන් කළ යුතුය.

අප ජීවත් වන්නේ කාම ලෝකයේ ය. මෙය එක්තරා ආකාරයකින් බැලුවහොත් කාම වනාන්තරයකි. මේ කාම වනාන්තරයේත් කාමයෙන් අන්ධවූ තරමට අනතුරු වැඩි වේ. මේ කාම වනාන්තරයේ සිටින බොහෝ ඇත්තුත් අන්ධයි. කාමයෙන් අන්ධ වී එම කාමයන් තුළම ගිලී සිටිති. මේ අන්ධභාවයෙන් මිදීමට නෙක්ඛම්මයක් අවශ්‍යයි. පැවිදිවීම යනු ඒ සඳහා ඇති උත්කෘෂ්ට යොමුවකි. නමුත් මේ කැලයෙන් එළියට පැමිණි ඇතුන් නැවතත් කඩාගෙන කැලයටම දුවන්නා සේ කාම වනයෙන් ඈත් වී පැවිදි වූ අයත් නැවතත් එම කාම වනයටම පැන දිවිය හැකි ය.

“වනමුත්තො වනමෙව ධාවති” – වනයෙන් මිදුණ, තැනැත්තා නැවතත් වනයටම දුවයි. එසේත් නැතිනම් වනයෙන් එළියට පත් හෙවත් පැවිදි වී මේ පැවිදි ජීවිතය තුළම වුවත් පෙර ගත කළා වැනි කාම වනයක් හදා ගත හැකි ය. කාම වනයෙන් ඈත්වුණු තැනැත්තා මේ දෙවිධියටම නැවතත් කාමයටම යොමු විය හැකි ය. එවිට සිදුවන්නේ තමන් ශාසනයට ඇතුල් වුණු පරමාර්ථය පසෙක දමා නැවතත් ප්‍රමාදී අයෙක් වීමය. මේ නිසා ආරණ්‍යක හස්තියා දමන කරන්නාක් මෙන් මේ තැනැත්තා ද ක්‍රම ක්‍රමයෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ මැනැවින්ම දමනය කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව් මිනිස් ලෝකයා පඤ්චකාමගණයට ඇලී සිටින බවය. එබැවින් මේ නවක භික්‍ෂුවට සිල්වත් වන්නට උපදෙස් දෙන සේක. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කළ යුතු ය. ආචාර ගෝචර සම්පන්නව අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුළුව ශික්‍ෂා පද සමාදන් වී හික්මීමට උපදෙස් දෙන සේක. එලෙසට ඒ භික්‍ෂුව පැවිද්දට අදාළ ප්‍රතිපදාවට යොමු වෙයි.

මේ ආකාරයට ආර්යශ්‍රාවකයා සිල්වත්ව ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වී වාසය කරන විට, ආචාරගෝචර සම්පන්නව අණුමාත්‍ර වරදෙහි බිය දකිමින් ශික්‍ෂා පද සමාදන් වී ඒ තුළ හික්මෙන විට තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා තවදුරටත් හික්මවන සේක. තාථගතයෝ එම භික්‍ෂුවට දැන් උගන්වන්නේ ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෙක් විය යුතු ය. ඇසින් රූප දැක නිමිති නොගත යුතු ය, අණුවඤ්ජන නොගත යුතු ය. යම්, කරුණකින් ඇස නම් වූ ඉන්ද්‍රියයෙහි අසංවරව නොවැසූ දොර ඇතිව වාසය කරන භික්‍ෂුවට අභිධ්‍යා දෝමනස්ස සංඛ්‍යාත පාපී අකුසල ධර්ම ඇති වෙනවාද එම අකුසල දහම් ලුහුබඳිනවාද එසේ නොවීමට සංවර විය යුතුය. සංවරය පිණිස පිළිපැදිය යුතු ය. ඇස නම් වූ ඉන්ද්‍රිය රැකිය යුතු ය. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණිය යුතු ය. මේ ආකාරයට එම භික්‍ෂුවට ඇස සංවර කර ගැනීම තුළින් පාපී අකුසල ධර්මවලට යටත් නොවී සිටීමට උපදෙස් ලැබෙයි.

මේ ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවරව නිමිති ආදිය ගෙන පාපී අකුසල ධර්මවලට යටත් වීමෙන් සීලවිපත්තියට පත් වීම වැනි මහත් අවැඩ වූ අනර්ථයන් සිදුවිය හැකි ය. ඒ බව චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කතා වස්තුවෙන් පැහැදිලි වේ. චක්ඛුපාල තෙරුන් වහන්සේ සමඟ ගමන් කළ භික්‍ෂුවට අතරමගදී ස්ත්‍රියකගේ ශබ්දයක් ඇසෙයි. එවිට ඒ හිමියෝ චක්ඛුපාල තේරුන්ගෙන් මදකට අවසර ගෙන ගොස් එම ස්ත්‍රිය හමු වී සීල විපත්තියට පත් වෙයි. සිල් බිඳ ගනියි. චක්ඛුපාල තෙරණුවෝ සිදු වූ දෙය දැන ගෙන එම සිල් බිඳ ගත් තැනැත්තා තමන් වහන්සේ සමඟ ගමනට පැමිණිය ද එය ප්‍රතික්‍ෂේප කළහ. එම සිදුවීම විමසා බලන විට පැහැදිලි වන්නේ ස්ත්‍රී ශබ්දය ඇසුණු විට ඒ ඔස්සේ නිමිති ගෙන පාපී අකුසල ධර්මයනට යටත් වීමෙන් උතුම් පැවිද්ද ද අහිමි වී පරිජි වී උතුම් අවස්ථාවක් මඟ හැරුණු බවයි. තත්ත්වය මෙසේ ය. ලෝකයේ මේ ස්ත්‍රිය පුරුෂයාට තිබෙන ලොකුම බැඳීමට හේතුවන අතර නැවත ගොඩ නොඑන මට්ටමට බැඳී ඒ තුළ එරීමට පත්වීමට නිසි අරමුණ වේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකකනිපාතයේ වදාරා ඇති ආකාරයට ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද රූපයක් නොවේ.

මේ ආකාරයටම ස්ත්‍රී ශබ්දය තරම්, ස්ත්‍රී ගන්ධය තරම්, ස්ත්‍රී රසය තරම්, ස්ත්‍රී පහස තරම් පුරුෂයාගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. පුරුෂයන් සම්බන්ධයෙන් ඇති මේ තත්ත්වයම ස්ත්‍රියටත් ඇත. එනම් පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ පහස තරම් ස්ත්‍රියගේ සිත් පැහැර ගෙන සිටින වෙනත් එකද රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නොමැත. මේ ආකාරයට දෙපක්‍ෂය කෙරෙහි දෙපක්‍ෂය තුළ ඇලීම, බැඳීම ඇතිවන බව හොඳින් වටහාගෙන ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන් මැනැවින්ම විශේෂයෙන්ම සංවර කර ගත යුතු ය. එහිදී ස්ත්‍රී, පුරුෂ අරමුණු කෙරෙහි පමණක් නොව මේ ඉඳුරන්ගෙන් ගන්නා ඕනෑම අරමුණකින් පාපී අකුසල දහම් ඇති නොවන ආකාරයට ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු ය.

මේ ආකාරයට ආර්ය ශ්‍රාවකයා ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන්ගේ සංවර භාවයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂුව තවදුරටත් හික්මවන සේක. ඒ භෝජනයෙහි මාත්‍රයද වීමට, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වැළඳීමට ය. භික්‍ෂුවක් ආහාර වැළඳීමේ දී පමණ දැනගෙන වැළඳිය යුතු ය. මනා සිහි නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳිය යුතු ය. දන් වැළඳිය යුත්තේ පැරැණි වේදනාව දුරු කිරීමටත්, අලුත් වේදනාව ඇති නොවීමටත් ය. බඩගින්න පැරැණි වේදනාවකි. බොහෝ වැළඳීමෙන් ඇතිවන උස්මුරුත්තාව අලුත් වේදනාවකි.

ආහාර ගැනීමේ දී මෙලෙස ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. “මම මේ ආහාරය වළඳන්නේ විනෝදය සඳහා නොවේ. පුරුෂමද ආදිය වැඩීම පිණිස ද නොවේ. ශරීරය තර කර ගැනීම සඳහා ද නොවේ. ශරීරය පැහැපත් කර ගැනීම සඳහා ද නොවේ. මා මේ ආහාරය වළඳන්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම පිණිසයි. සාගිනි වේදනාව දුරු කර ගැනීම සඳහා ය. බුද්ධ ශාසනයෙහි පිළිවෙත් පිරිමට හැකි වනු පිණිස ය. ජීවිතය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා ය. මේ ආකාරව ආහාර වැළඳීම නිසා මගේ සාගිනි වේදනාව දුරු වීම සිදුවන්නේ ය. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම නිසා වන්නා වූ වේදනා ද නොවන්නේ ය.... යනාදී වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම අවශ්‍යම වේ. එවිට එම ආහාරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි කෙලෙස් ඇතිවීම වළක්වා ගත හැකි වේ. වැරැදි ලෙස ආහාර ගැනීමෙන් වන අකුසල් වළක්වා ගත හැකි වේ. ධර්මයේ සඳහන් වන ඉතා වැදගත් ගාථාවක් ද අපට මෙහිදී සිහිපත් කළ හැකි ය. එනම්,

“චත්තාරෝ පඤ්ච
ආලෝපේ අභුවා උදකං පිවේ,
අලං ඵාසුවිහාරාය
පහිතත්තස්ස භික්‍ඛුනෝ”

යනුවෙනි. එහි අර්ථය මෙසේ ය. (කුසේ ප්‍රමාණයෙන්) හතරපස් පිඬක් නො වළඳා ජලය බොන්නේ ය, නිවනට යොමු කරන ලද සිත් ඇති භික්ෂුවට පහසු විහරණයට එය ප්‍රමාණ වේ. හේතු වේ.” කුස තදවනතුරු ආහාර ගෙන උඩු බැල්ලෙන් වැටී නිදාගැනීම භික්‍ෂුවට යෝග්‍ය නොවේ. ආහාරය පිළිබඳව වන මේ යහපත් ප්‍රතිපත්තිය ගිහි, පැවිදි කාහට වුවද ඉතා වැදගත් වේ. ඒ තුළින් නිරෝගී බව ද දිගාසිරිද ලද හැකි ය.

“ඒහි ත්වං භික්‍ඛුජාගරියං අනුයුත්තෝ විහරාහි. දිවසං වඩ්කමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝධේහි රත්තියා පඨමං යාමං වඩ්කමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝධේහි.........”

“භික්‍ෂුව, ඔබ එන්න, නිදිවැරීමෙහි යෙදී වාසය කරන්න, දහවල සක්මන් කිරීමෙනුත් හිදගෙනත් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරන්න. රාත්‍රියේ පළමු යාමයේ සක්මන් කිරීමෙනුත් හිඳගෙනත් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරන්න. රාත්‍රියේ මධ්‍යම යාමයේ දකුණු ඇලයෙන් ගෙන පය මත පය මඳක් හයාතබා, සිහි ඇතිව මනා දැනීම් ඇතිව, නැඟී සිටින්නෙමි’ යි යන සංඥාව මෙනෙහි කොට සිංහසෙය්‍යා කර, රාත්‍රියේ පැසුළුයාමයේ නැඟී සිට සක්මන් කිරීමෙනුත් හිඳගෙනත් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරන්න.”

තථාගතයන් වහන්සේ මේ භික්‍ෂුවට දෙන අවවාදය ඉතාම වැදගත් වූවකි. මන්ද බුද්ධ ශාසනය තුළ දියුණුවක් අපේක්‍ෂා කරන තැනැත්තා විසින් මේ නිදිවැරීමෙහි යෙදීම, කම්මැලිකම ඉවත් කොට ශාසන ප්‍රතිපදාවෙහි නිරත වීම පුරුදු පුහුණු කර ගත යුතු ය. වෛද්‍යවරු නම් උපදෙස් දෙන්නේ කෙනෙක් දවසකට පැය හය හතක් නිදාගත යුතුය යනුවෙනි. එහෙත් ශාසන ප්‍රතිපදාවේ හැසිරෙන බණ භාවනා කරන භික්‍ෂුවකට ආහාර ගැනීම්, පිරිසුදු වීම්, වත් පිළිවෙත් ආදිය කිරීමටත් දවසට පැය හය හතක් නින්දටත් කාලය වෙන් කළොත් තමන්ගේ බණ භාවනා කටයුතු කිරීමට ඉතුරුවන කාලය ඉතා සීමිත වේ. බුදුරජාණන් වහන්සේ විසින් දුන් ඉහත අවවාදයට අනුව භික්‍ෂූන් සැතපිය යුත්තේ රාත්‍රී මධ්‍යම යාමයේ ය. එනම් පස්වරු 10.00 ත් පෙරවරු 02.00 ත් අතරය. මේ පැය හතරක කාලය භික්‍ෂුවට නින්ද වෙනුවෙන් නිර්දිෂ්ට කොට තිබේ. දවසේ අනෙක් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ සක්මන් කිරීමෙන් හා වාඩි වී භාවනා කිරීමටය. ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කිරීමට ය. දවසේ බොහෝ කාලයක් නින්දට කැප කිරීම විමුක්තිකාමී භික්‍ෂුවකට සේම විමුක්තිකාමී ඒ වෙනුවෙන් වෙහෙසෙන ගිහියෙකුට වුවද තම අරමුණ සඵල කර ගැනීමට ඇති මහත් බාධකයකි.

අපේ මේ සාමාන්‍ය සමාජයේ ඇතැමුන් නින්දට යන්නේ “මට කතා කරන්නවත් එපා” යනුවෙන් පවසමිනි. ඉන් පසුව ඔවුහු බොහෝ කාලයක් නින්ද වෙනුවෙන් කැප කරති. ජීවිතයේ වටිනා කාලය නිකරුණේ නින්ද වෙනුවෙන් ගෙවී යයි. බොහෝ දෙනෙකුට නිදා ගත් විට නැවත තමන්ට අවශ්‍ය නිසි වේලාවට අවදි වීමට නාද වන ඔර්ලෝසු අවශ්‍ය වේ. එහෙත් මනා සිහියෙන් නින්දට එළැඹෙන තැනැත්තාට එසේ නාදවන ඔර්ලෝසු අවශ්‍ය නොවේ. ඔහුට නිසි නියම වේලාවට අවදිවිය හැකි ය. අපේ මෑණිවරු අලුයම අවදිවන්නේ නාදවන ඔර්ලෝසු භාවිතයෙන් නොවේ. ඇතැම් විට ඔවුනට කුකුළා හඬලන විට හෝ සුපුරුදු නියම වේලාවට අවදි විය හැකි ය. නින්ද සම්බන්ධයෙන් වන මේ යහපත් ගතිගුණ පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ටද ඉතා වැදගත් වේ.

මෙසේ නිදි වැරීම පුරුදු පුහුණු කරගත් භික්‍ෂුවට තවදුරටත් සිහිය පිහිටුවා ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන සේක.

“ඒහි ත්වං භික්‍ඛු සතිසම්පජඤඤේන සමන්නාගතෝ හෝහි, අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී සඪඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී........”

කරන සෑම ක්‍රියාවක් කෙරෙහිම මනා සිහි නුවණ පිහිටුවා ගත යුතු ය. මනාව දැන ක්‍රියා කළ යුතු ය. ඉදිරියට ගමන් කරන විටත්, ආපසු එන විටත්, ඉදිරිය පසුපස බැලීම් ආදියෙහි මනාව දැනගෙනම එම ක්‍රියා කළ යුතු ය. අත් පා දිග හරින විට හකුළන විට, පාත්‍ර සිවුරු ධරණා විට කන බොන විට මනාව දැනගෙන කළ යුතු ය. මේ මනාව දැනගෙන සිහියෙන් කටයුතු කිරීමේ ස්වභාවය වැසිකිලි කර්තව්‍යය කරන විට දී පවා අත් නොහළ යුතු ය. ගමන් කරන විට, සිටගෙන සිටින විට, හිඳගෙන සිටින විට, නින්දට යන විට, නිදි වරන විට, කථා කරන විට, කථා නොකර නිශ්ශබ්දව සිටින විට මේ ආදී වශයෙන් සෑම අවස්ථාවකදීම මනාව දැනගෙන සිහියෙන් යුතුව ඒ ඒ කටයුතු කළ යුතු ය. මෙලෙස මනා සිහියකින් යුතුව කටයුතු කරන විට නිතර නිතර විසිරෙන, අරමුණු වලට වසඟව චංචලව පවතින සිත සංවර බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන මෙසේ වදාළ සේක.

“වාරිජෝ ව ථලේ ඛිත්තෝ ඕකමෝකත උබ්භතෝ පරිඵන්දතිදං චිත්තං මාරධෙය්‍යං පහාකවේ.”

ජලයෙන් ගොඩ දැමූ මත්ස්‍යයා ඒ මේ අතට සැලේ. එසේ් භාවනා අරමුණක් දීම ආදියකින් සංවර නොවූ අභාවිත වූ සිතත් නොයෙක් අරමුණු වලසැලීමට පත් වේ. මෙය අභාවිත සිතේ ස්වභාවයයි. භාවනා අරමුණක් පිහිටුවීමෙන් සිහිය පිහිටුවීමෙන් සංවර කර නොගත් සිත මහත් කරදර පීඩා සලසයි. මේ සිත පිළිබඳව වදාළ තවත් වැදගත් ගාථාවක් මෙසේ ය.

“දුරඩ්ගමං ඒකචරං අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනා.”

මේ සිතට දුරගමන් තිබෙනවා. යොදුන් දහසකින් දුර වූද අරමුණු ගනියි. තවද මේ සිත හුදෙකලාව හැසිරෙයි. එක්විට සිත් දෙකක් නොඉපද එක් සිතක්ම උපදින බැවින් තනිවම හැසිරෙයි. එමෙන්ම සිත අරූපී ධර්ම වන බැවින් පැහැ සටහන් නැත. අශරීරයි. මේ සිත පවතින්නේ ගුහායෙහිය. ඉදින් මෙබදු වූ සිත යම් අය සංවරයෙහි පිහිටුවද්ද, ඒ අය මාරබන්ධනයෙන් මිදෙන්නාහු ය. සිතේ පවතින මේ අරුම පුදුම තත්ත්වය අප හොඳින් තේරුම් ගැනීම ඉතා වටී. මන්ද යත් මේ සිත වරදවා තැබීමෙන් පාපයට අකුසලයට යොමු වීමෙන් අපාය දුරගති විනිපාතයටත් යහපත්ව මනාව නිවැරැදිව තැබීමෙන් කුසලයට යොමු වීමෙන් සුගතියටත් මේ සත්ත්වයා ගමන් කරයි. එලෙස තමන්ගේ ඉදිරි ගමන තීරණය කිරීමට සිතේ මේ යහපත් අයහපත් භාවය හේතු වේ. ඉදින් සිතේ තත්ත්වය මෙසේ යැයි වටහා ගන්නා තැනැත්තා මනාව ක්‍රියා කරන්නේ නම් කළ යුත්තේ ඉහත සඳහන් කළ ආකාරයට සෑම ක්‍රියාවක් කෙරෙහිම, සෑම දෙයක් කෙරෙහිම මනා සිහිය පිහිටුවීමයි. යම් කලෙක ආර්ය ශ්‍රාවකයා සති සම්පජඤ්ඤයෙන් සමන්විත වේද එවිට තථාගතයන් වහන්සේ එම තැනැත්තා තවදුරටත් හික්මවන සේක.

“ඒහි ත්වං භ්ක්‍ඛු විවිත්තං සෙනාසනං භජ, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජන්ති.”

බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂුවට උපදෙස් දෙන්නේ ජනශූන්‍ය සේනාසන ඇසුරු කරන ලෙසය. ආරණ්‍යය, රුක්මුල්, පර්වත, ගිරිලෙන්, සොහොන්, වනපෙත්, එළිමහන් තැන් යනාදී ජනශූන්‍ය ස්ථාන ඇසුරු කරන ලෙසය. මෙවැනි ජනශූන්‍යය නිදහස් ස්ථාන ඇසුරු කළ යුත්තේ කුමක් නිසා ද? ඒ භාවනාවට පහසු නිසා ය. බවුන් වඩන භික්‍ෂුවට ජනාකීර්ණ ස්ථාන තම කෘත්‍යය සඳහා අපහසුවකි. එබැවින් නිදහස් වනගත පෙදෙස් ඇසුරු කළ යුතු ය. මෙලෙස නිදහස් තැනකට එළැඹි එම භික්‍ෂුව පසුබත් කාලයේ පිණ්ඩපාතයේ වැළකී තමන්ගේ භාවනා කටයුතුවලට යොමු වෙයි. උන්වහන්සේ පලක් බැඳගෙන වාඩි වී උඩුකය සෘජු කොට තබා ගෙන කර්මස්ථාන අභිමුඛව සිහිය පිහිටුවාගෙන හිඳගෙන සිටියි.

“සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.”

මෙලෙස භාවනා අරමුණෙහි මනාව සිහිය පිහිටුවාගෙන භාවනා කරන භික්‍ෂුව නිවනට බාධක වූ, සමාධියට, එකඟ බවට බාධක වූ ක්ලේශ ධර්ම දුරු කරයි. අභිධ්‍යාව සිතින් දුරු කරමින් සිත පිරිසුදු කරයි. අභිධ්‍යාව යනු දැඩි ලෝභයයි. අභිධ්‍යාව සිතට කිලිටකි. ඒ කිළිට භාවනා අරමුණ මඟින් දුරු කරයි. තවද ඒ භික්‍ෂුව ව්‍යාපාද, ප්‍රද්වේශයෙන්, ද්වේශය, සිතින් දුරු කරමින් සිත පිරිසුදු කරයි. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී සිතින් යුතුව වාසය කරයි. ථීනමිද්ධය අලස කම්මැලිකම දුරු කොට සිත පිරිසුදු කරයි. කයේ හා සිතේ අකර්මණ්‍ය බව දුරු කර සිහිය ඇතිව මනා දැනීම් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චය ද හැර එයින් ද සිත මුදවමින් සිත පිරිසුදු කරයි.

උඩඟු බව හා කුකුස්බව දුරු කරයි. නොසන්සුන් බව දුරු කරයි. විචිකිච්ඡාව හෙවත් සැකය දුරු කරයි. සැකය හැර සිත පිරිසදු කරයි. සැකය ගත් කළ තෙරුවන් පිළිබඳව, කර්මය පිළිබඳව ආදී වශයෙන් ඇතිවන සැක නිවනට බාධා කර බව අප මතක තබා ගත යුතු ය. නිවන් මගේ ගමන් කරන භික්‍ෂුවක් මෙලෙස තම සිත පිරිසුදු කරගත යුතු ය.

ආර්යශ්‍රාවකයා සිය සිතේ පිරිසුදු බව නැති කරන, ප්‍රඥාව දුබල කරන පඤ්ච නීවරණ, භාවනාව මගින් හැරදමන අයුරු ගියවර දැන ගතිමු. දැන් මේ ආර්ය ශ්‍රාවකයා තම ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධක වූ, ප්‍රඥාව දුබල කරන පඤ්චනීවරණ හැර දමා කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් දනිමින් සිහි ඇතිව කය කෙරෙහි සිහිය පිහිටුවා ගෙන වාසය කරයි. කයෙහි කය නුවණින් දක්නා සුළුව වාසය කරයි. එමෙන්ම වේදනාවන් කෙරෙහි ද සිතෙහි ද ධර්මයන් කෙරෙහි ද මනාව සිහිය පිහිටුවා ගනියි. මෙලෙස මේ තැනැත්තා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨානයන්හි මනාව සිහිය පිහිටුවා ගෙන කටයුතු කරයි.

“සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චෙතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං. වේදනාසු .... “

යනුවෙන් එම කරුණ දේශනා කොට තිබේ. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උපමාවක් ද දේශනා කළ සේක. එනම්, යම් පරිදි ඇතුන් දමනය කරන්නෙක් මහත් ටැඹක් පොළොවෙහි සිටුවා එහි කැලෑ ඇතකු බඳියි. ඒ කුමක් සඳහා ද ? ආරණ්‍යයක ස්වභාවයන් එනම්, කැලෑ ගති හෙවත් වල් ගති ඉවත් කිරීමට ය. ඇතුගේ වනයට ඇලුණු සිත ඉන් ඉවත් කොට ගමට සිත කැමැති කරවන්නට, මිනිස් ආශ්‍රයට සුදුස්සකු බවට පත් කරන්නට ය. එලෙසට ම බුදුරජාණන් වහන්සේ ද ආර්ය ශ්‍රාවකයාට මේ සතර සතිපට්ඨානය උගන්වන්නේ, එහි හික්මවන්නේ ගිහිගෙය හා සම්බන්ධ වූම ස්වභාව දුරු කිරීම පිණිස ය. ඒවා කෙරෙහි ඇලීමෙන් නිවනට ඇතිවන බාධා දුරු කරවීම පිණිස ය. නිවන ප්‍රත්‍යක්ෂ කරවීම පිණිස ය.

තථාගතයන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයා තව දුරටත් හික්මවති. ඒ කයෙහි කය නුවණින් දක්නාසුළුව වාසය කිරීමටත්, කාමයන් සමඟ යෙදුණු විතර්ක විතර්කනය නො කිරීමටත් ය. එමෙන්ම වේදනාවන්හි ද සිතෙහි ද ධර්මයන්හි ද සිහිය මනාව පිහිටුවා ගෙන නුවණින් දක්නාසුළුව වාසය කිරීමටත් ය. මේ සතර සතිපට්ඨානය වඩන ආර්ය ශ්‍රාවකයා මේ කාමාදී අකුසල විතර්ක විතර්කනය නො කිරීමට වග බලාගත යුතුය. සිහිය මනාව තබාගත යුතුය. සතර සතිපට්ඨානය මැනැවින් වැඩෙන්නේ එවිටය. මෙලෙස මනාව සිහිය පුරුදු පුහුණු කරමින් එය වඩන ඔහුගේ සිත හොඳින් පිරිසුදු වෙයි. මැනැවින් සමාධිගත වෙයි. සිත සමාධිමත් වී ධ්‍යාන උපදවා ගැනීමට හැකියාව ලැබෙයි. සතරවන ධ්‍යානය දක්වා සිත දියුණු කර ගනියි.

ධ්‍යාන උපදවා මෘදුව කර්මණ්‍ය වූ සිත් ඇති ඒ භික්‍ෂුව පෙර ජාති සිහි කිරීමේ නුවණ හෙවත් පුබ්බේනිවාසානුස්සති ඤාණය පිණිස සිත නතු කරයි. ඒ භික්‍ෂුව අනේකවිධ පෙර ජාති සිහි කරයි. ඒ කෙසේද ? ඒ භික්‍ෂුව එක් ජාතියකුත් ජාති දෙකකුත් ආදී වශයෙන් අනේක ප්‍රකාර පෙර ජාති, පෙර ජීවිත සිහි කරයි.

තවද පිරිසුදු වූ සමාහිත වූ සිත් ඇති මේ භික්‍ෂුව සත්වයන් චුත වන, උපදින අයුරු දැකීමේ ඥානය ද උපදවා ගනියි. එය චුතූපපාත ඥානය යි. එම භික්ෂුව මිනිස් ඇස ඉක්මවා සිටින දිවැසින්, චුත වන උපදින හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ යහපත් වූ අයහපත් වූ ඉපදීම් ඇති සත්වයන් දකියි. කළ කර්මයන්ට අනුව පරලොව ගිය සත්වයන් දකියි. ඒ භික්‍ෂුව, මේ සත්වයන් කායික දුසිරිතෙන්, වාචසික දුසිරිතෙන්, මානසික දුසිරිතින් සමන්විත වී මේ මේ ආකාරයට උපදිනා බව දැන ගනියි. නිවන පිණිසම ගමන් කරන මේ භික්‍ෂුව මේ ඥානයන් ලබා ගැනීමෙන් පමණක්ම සෑහීමකට පත් නොවේ. මෙසේ පිරිසුදු වූ සමාහිත සිත් ඇති භික්‍ෂුව ආස්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස ආස්‍රවක්ෂය ඥානය පිණිස සිත නතු කරයි. එම භික්‍ෂුව දුක පිළිබඳ ‘මේ දුක යැ’ යි යථාභූත ව නුවණින් දැන ගනියි. දුක්ඛසමුදය පිළිබඳ ‘මේ දුක්ඛසමුදය යැ’ යි යථාභූතව නුවණින් දැන ගනියි. දුක්ඛනිරෝධය පිළිබද ‘මේ දුක්ඛනිරෝධයයැ’ යි යථාභූතව නුවණින් දැන ගනියි. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ‘මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැ’ යි යථාභූතව නුවණින් දැන ගනියි. මේවා ආස්‍රව යැයි යථාභූතව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව සමුදය හෙවත් ආස්‍රව හටගැනීම බව යථාභූතව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව නිරෝධය යැයි යථාභූතව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැයි යථාභූතව නුවණින් දැන ගනියි.

මෙහි ආස්‍රව යනුවෙන් සඳහන් කරන්නට යෙදුනේ කුමක්ද ? ආස්‍රව යනු කෙලෙස් ය. ආස්‍රව සතරකි. ඒවා නම් කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨි ආශ්‍රව සහ අවිද්‍යාශ්‍රව යන සතරයි. ඉඳින් අපි මෙහිදී භික්‍ෂුව ආස්‍රවනිරෝධ ගාමිනී ප්‍රතිපදාව යථාභූතව නුවණින් දැන ගන්නා බව සඳහන් කළෙමු. මෙසේ ඇත්ත තත්ත්වය යථා තත්ත්වය නුවණින් දැන ගන්නා, දක්නා එම භික්‍ෂුවගේ සිත කාමාශ්‍රවයන්ගෙන් ද, භවාශ්‍රවයන්ගෙන් ද, අවිද්‍යාශ්‍රවයන්ගෙන් ද මිදෙයි. සිත මේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ විට, මිදුණු විට සිත විමුක්ත යැයි ප්‍රත්‍යවේක්ෂාඥානය වෙයි. දැන් මේ භික්‍ෂුව ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ අයෙකි. බඹසර වාසය කොට නිමවන ලද අයෙකි. ඉපදීම ක්ෂය වී ඇත. නැවතත් එම භික්‍ෂුවට උපතක් නොමැත. නිවන පිණිස කළයුතු වූ සියල්ල කරන ලද අයෙකි. උතුම් වූ රහත් බව පිණිස තවදුරටත් කළයුතු අන් කිසිවක් නැති බව නුවණින් දැන ගනියි.

“තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවා පි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත්තායාති පජානාති”

කුලපුත්‍රයන් ගිහිගෙයින් නික්මෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව ද ඒ උතුම් බලාපොරොත්තුව වන උත්තමාර්ථය වෙත මේ භික්‍ෂුව දැන් පැමිණ තිබේ. සසුන් බඹසර මැනැවින් සම්පූර්ණ කොට තිබේ. උන්වහන්සේ දැන් උතුම් වූ රහතන් වහන්සේ නමකි.

මේ රහත් භික්‍ෂුව සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු, අව්, සුළං යන මෙවැනි දෑ ඉවසයි. තවද දුක් වූ තීව්‍ර වූ බර වූ කටුක වූ අමනාප වූ දැඩි ශාරීරික වේදනා ද ඉවසන සුළු වූයේ වෙයි. සියලු රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට, කෙලෙස් කසට ඉවත් කොට දමා සිටින්නේ වෙයි. ඒ උත්තමයන් වහන්සේට දන් දෙන්නට සුදුසුය. එතුමෝ ආහාරපාන පිළිගැනීමට සුදුසු උත්තමයෙකි. ආගන්තුක සත්කාර ලැබීමට, දක්ෂිණා ලැබීමට සුදුසු උතුමෙකි. වැඳුම් ලැබීමට ද සුදුසු වේ. ලෝකයට අනුත්තර වූ පින් කෙතකි. මේ පින් කෙතෙහි බීජ වපුරා හොඳ හැටියට ඵල ලද හැකි වේ. සැබැවින්ම සිවුපසය ලැබීමට වැඩි සුදුසුකම් ඇත්තෝ ද රහත්හුමය.

මීළඟට බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවක රහත් නොවී මරණයට පත්වීම ගැනත් රහත් වී පිරිනිවන් පෑම ගැනත් වදාළ සේක. රජුගේ මහලු ඇතා දමනය නොවී අවිනීතව කලුරිය කරයි ද එවිට රජුගේ මහලු ඇතා දමනය නොවී දමනය නොවූ දිවියක් ඇතිව මරණයට පත්වූවාය යන ගණනට යයි. රජුගේ මධ්‍යම වයස් ඇතා දමනය නොවී අවිනීතව කලුරිය කරයි ද එවිට රජුගේ ඒ මධ්‍යම වයස් ඇතා දමනය නොවී දමනය නොවූ දිවියක් ඇතිව මරණයට පත් වූවා ය යන ගණනට යයි. රජුගේ වැඩි වයසක් නැති ඇතා දමනය නොවී අවිනීතව මිය යයි ද එවිට රජුගේ වැඩි වයසක් නැති ඇතා දමනය නොවී දමනය නොවූ දිවියක් ඇතිව මරණයට පත් වූවාය යන ගණනට යයි. මේ සුන්දර උපමාව වදාළ බුදුරජාණන් වහන්සේ මෙය මේ ශාසනයටත් සම්බන්ධ කොට දක්වන සේක. එනම්, ස්ථවිර භික්‍ෂුවක් රහත් නොවී කලුරිය කරයිද උන්වහන්සේගේ ඒ මරණය දමනයට පත් නොවී සිදු වූ මරණයක් ය යන ගණනට යයි. තවද මධ්‍යම වයස්ව සිටින භික්‍ෂුවක් රහත් නොවී කලුරිය කරයි ද, නවක භික්‍ෂුවක් රහත් නොවී කලුරිය කරයි ද ඒ භික්‍ෂූන්ගේ මරණයන් ද දමනයට පත් නොවී සිදුවූ මරණයන් ය යන ගණනට යයි.

එහෙත් රජුගේ මහලු ඇතා, මධ්‍යම වයස් ඇතා, වැඩි වයසක් නැති ඇතා දමනය වී මනාව දමනය වී සුවිනීතව මරණයට පත් වූ විට ඒ මරණය දමනයට පත්වී සිදුවූ මරණයක් ය යන ගණනට යයි. එමෙන්ම ස්ථවිර භික්‍ෂුවක්, මධ්‍යම වයස්ව සිටින භික්‍ෂුවක්, නවක භික්‍ෂුවක් රහත් බවට පත් වී පිරිනිවන් පායි ද උන්වහන්සේගේ ඒ මරණය දමනයට පත් වී සිදුවූ මරණයක් ය යන ගණනට යයි. මෙයින් භික්‍ෂුවක වශයෙන් කෙලෙස් ප්‍රහීණ නො කොට මරණයට පත් වීමේ ඇති ගර්හිත ස්වභාවත්, කෙලෙස් ප්‍රහීණ කොටම පිරිනිවන් පෑමේ ඇති වටිනාකමත් මැනැවින් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ මේ ‘ දන්තභූමි සූත්‍රය’ වදාළ සේක. එය ඇසූ අචිරවත සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් භාෂිතය සතුටින් පිළිගත්හ. මේ බුද්ධ දේශනාව තුළින් බුද්ධ ශාසනයේ උතුම් සසුන් බඹසර පිළිබඳ අපි උගතිමු. මේ සංසාරය යනු ඉතා ජුගුප්සාජනක, වහ වහා එතෙරවිය යුතු තැනකි. එබැවින් මේ සසුන් බඹසර රැකීමෙන්, පිරීමෙන් මේ සංසාරයෙන් නිදහස් වීමට, එතෙර වීමට කටයුතු කළ යුතුවේ.

No comments:

Post a Comment