Friday, 4 September 2015

කසාගල රජ මහා විහාරය...

කසාගල රජ මහා විහාරය...
රන්න - වීරකැටිය මාර්ග‍යේ රන්න හන්දි‍යේ සිට කි.මී. 09ක් පමණ ගමන් කළ විට කසාගල විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය.
ඓතිහාසික වටිනාකමකින් අනූන වූ කසාගල රජමහා විහාරය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩයාය ග්‍රාමසේවා වසමේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති මෙම විශේෂ පුණ්‍යභූමියේ ඓතිහාසික පුරාවෘත්තය දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දුර අතීතයකට ඇදී යයි.
මඳක් උසට විහිදෙන සෙල් තලාවක් මත විහාරස්ථානය ගොඩ නංවා තිබේ. එය නෙතට පි‍්‍රය උපදවන චමත්කාර වූ දර්ශනයක් මවයි.
මෙම විහාර භූමියේ දැවැන්ත නොවූ මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයන් දෙකක් දක්නට ලැබීම ද විශේෂයකි. සෙල් තලාවක් මත ඉදි කර ඇති මුල් චෛත්‍ය කරවා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බව කියැවේ. ඊට නුදුරින් ඇති අනෙක් චෛත්‍ය කරවන ලද්දේ සද්ධාතිස්ස (ක්‍රි.පූ. 119 – 137 ) රජතුමා විසිනි.
විහාර භූමිය ආවරණය වන ලෙස ඉදිකර ඇති ශෛලමය ප්‍රාකාරය දිගින් අඩි 236 ක් ද උස අඩි 5 1/2 ක් පමණ වෙයි. පුරාණයේ කසාගල රජමහා විහාරයට අක්කර දහසක නින්ද ගමක් පූජා කර තිබේ.
මෙම ස්ථානය දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ බව සඳහන් වෙයි. පසුකාලීනව රජවරුන් විසින් ගොඩනංවන ලද මාලිගයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (1747 – 1780 ) පිළිම ගෙයක් බවට පරිවර්තනය කරන ලදී.
ස්ථානයේ ඇති දෙවන ශත වර්ෂයට අයත් ශිලා ලේඛනය අනුව මෙහි පැරැණි නාමය ‘කවගල පබ්බත’ නම් වෙයි.
මනෝරථපූරණී ග්‍රන්ථයේ සඳහන්වන්නේ ‘කස්සකලෙන’ යනුවෙන්ය. එහි සඳහන් වන්නේ ‘මිත්ත’ නම් මහරහතන් වහන්සේ ‘කස්සක ලෙන’ වැඩ විසූ බවකි. විහාරභූමිය පුරා පෞරාණික ගොඩනැගිලි 21 ක පමණ නටබුන් විසිරී පවතියි. ජනප්‍රවාදය අනුව පැරැණි බුද්ධ මන්දිරය ඉදි කරවා ඇත්තේ මහානාග යුවරජු විසිනි.
මෙම විහාරය පළමුවන විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවෙයි. (ක්‍රි.ව. 1055-1100 )
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පිළිමගෙයක් බවට පරිවර්තනය කළ බුද්ධ මන්දිරයේ සිතුවම් කර ඇති චිත්‍ර හා නෙලා ඇති පිළිම මහනුවර සම්ප්‍රදායට අයත් වෙයි. ප්‍රවේශ මණ්ඩපය ප්‍රදර්ෂිණපථය සහ ගර්භ ගෘහය යන කොටස් තුනකින් විහාර මන්දිරය සමන්විත වී තිබේ.මෙහි මහනුවර සම්ප්‍රදායේ බුදුපිළිම, ද්වාර පාලක පිළිම, ශ්‍රාවක පිළිම ආදී සිතුවම් නිර්මාණය කර ඇත. මහනුවර චිත්‍ර මූර්ති කලා සම්ප්‍රදායයේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප්‍රකාශන ශක්තියේ ප්‍රතිභාව මෙම සිතුවම් සහ මූර්ති මතින් පිළිඹිබුවන බව ක්‍ෂේත්‍රයේ වියතුන්ගේ මතයයි.

දක්‍ෂිණ ශෛලිය හා සංක්‍රාන්තික ශෛලය යන විශේෂිත ශෛලීන් දෙකෙහි සිතුවම් හි ලක්‍ෂණ මෙහිදී දැක ගැනීමට ලැබීම ද විශේෂයක් සේ සැළකෙයි. ප්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මගින් බුදුසිරිත නිරූපනය කෙරෙන අතර, දක්‍ෂිණ සම්ප්‍රදායයේ සංක්‍රාන්තික සිතුවම් ශෛලිය නියෝජනය කරන මෙම සිතුවම්හි වර්ණ රේඛා හැඩතල භාවිතයට ගෙන ඇති ආකාරය අනුව චිත්‍ර ශිල්පය හදාරන්නන්ට මෙම ස්ථානයෙන් ලබා ගත හැකි දැනුම ඉතා වටිනා බව ද කියැවෙයි.
දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දිවෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ සහ පැරැණි විහාරාංගයන් නිසා ඇති වූ පූජනීය වටිනාකම මෙන්ම සිතුවම් නිසා ඇති වූ බෞද්ධ කලා සම්ප්‍රදායයේ කලා ආකෘති කීපයක සම්බන්ධතාව මතින් පිළිබිඹු වන කලාත්මක වටිනාකම මෙන්ම සැබෑ බොදු පුදබිමක ඇති ආකර්ෂණීය සුන්දර පර්සරය සහිත වීරකැටිය, හකුරුවෙල, කසාගල රජමහා විහාරය මේ බිම ද සොභාවත් කරමින් දකුණුලක ඓතිහාසික බොදු උරුමය ද අභිමානවත් කරනා පෞරාණික පුදබිමකි.
විතාරන්දෙණියේ විමලසිරි නායක හිමියන්ගේ සමයේ මෙම ඓතිහාසික කසාගල භූමි භාගයට අයත් අක්කර දහසකට අධික බිමෙන් අක්කර 117 ක් කසාගල ජන උදාන ගම්මාන පිහිටුවීමට රජයට ලබා දී ඇත. 1997 වර්ෂයේ කසාගල ජන උදාන ගම්මානය විහාරයට නොදුරු ගමක් ලෙස විවෘත වීමෙන් පසුව කසාගල විහාරස්ථානයට නව ආලෝකයක් ඇතිවිය. තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම කසාගල ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කරන්නට එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබීම 1997 දී සිදු කරන ලදී. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි ඇති මහනුවර යුගයට අයත් ධර්ම මණ්ඩපය සහිත ධර්ම ශාලාව පිළිසකර කරගෙන යනු ලබයි. පුරාවිදු පුදබිමක් ලෙස නම්කර ඇති මෙහි කළයුතු පිළිසකර කටයුතු බොහෝ ඇතත් තවමත් මේ සම්බන්ධ සුවිශේෂ අවධානය යොමු නොවීම නිසා මෙහි ඓතිහාසික ශ්‍රී විභූතිය දැක ගැනීම දුෂ්කර වී ඇත.
මෙම ස්ථානය ඉදිරිපස ඇති ගල් පුවරුවේ තරමක් විශාල වූ කුහර දෙකක් ඇත.එවක මෙහි සිටියායැයි කියන හස්තියා දණගසා මෙම විහාරයට වන්දනාමාන කිරීමේදී ඇති වූ එකක් බව ජනප්‍රවාදයේ කියවේ
කසාගල නුදුරු “රන්න” ග්‍රාමයට එම නාමය ලැබී ඇත්තේ ගිරිබණ්ඩශිවගේ දියණිය පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදූ ස්ථානය මුල් කොට ගෙන ය. මහා වංශයේ සඳහන් ලෙස පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදන්නට කඩාගත් නුගකොළ රන් පැහැවී ඇත.
එම නුගකොළ රන් පැහැ වූ නුග ගස පිහිටි ස්ථානය “රන්න” නම් වී ඇති බව ජනප්‍රවාදයේ එන්නේ ය. පණ්ඩුකාභය රුහුණේ සිට තම මාමාවරුන් හා සටන් කරන්නට යන ගමනේ දී කසාගල කඳවුරු ලාගත් බවද ජන වහරෙහි කියැවේ.

No comments:

Post a Comment