Friday, 25 September 2015

හොළොම්බුව ස්ත්‍රීපුර ගල්ලෙන් විහාරය

හොළොම්බුව ස්ත්‍රීපුර ගල්ලෙන් විහාරය
ස්වභාවධර්මයේ ප්‍රකෘත්තිමත් බවට අලංකාරයක් එක්කල අඬවැඩියාවෙන් තොර වූ නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුරය ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි. කොළඹ නුවර මාර්ගයේ 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන දී පිටගල්දෙනිය මංසන්දිය හමුවෙයි.එතැනින් දකුණට හැරී තවත් සැතැපුම් 1 3/4ක් පමණ පැමිණි විට හොළොම්බුව මංසන්ධිය මුණ ගැසෙයි. එතැනින් පිටදෙණිය දැදිගම මාර්ගයේ සැතැපුම් 1/2ක් පමණ පැමිණි විට මෙම ස්ථානයට සමීප විය හැකි ය. ඉහැත්තෑවට නැඟෙන කඳු සහිත පරිසරයක වූ තැනිබිම ඉම කඳු ගැටයක් ආශ්‍රයේ ගල්ලෙන් විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.
මෙම ලෙන පුරාවෘත්තයන් රාශියකට ප්‍රබල නිමිත්තක් වී ඇත. එම අපූරු පසුබිම් කථනය සේම මෙම ලෙනෙහි පිහිටීම ද අපූර්වත්වයක් උසුලයි.
මෙහි ඓතිහාසික පසුබිම ඉතා නිරවුල් ලෙස සනාථ කර ගැනීමේ කාර්ය අප වෙත තවමත් ඉතිරි කර තිබෙන සෙයකි. පිහිටීමේ ස්වභාවය නම් ඉතා අසිරිමත්ය.ජනශ්‍රැතියෙන් පැණ නැගෙන විශ්වාස කළ නොහැකි ආකාරයේ සමහර කතන්දර කන්දරාව ගොඩ නැගෙන්නට තරම් ප්‍රභල පසුබිමක් නිර්මාණය කිරීමට මෙම ලෙනෙහි ස්වභාවය සමත් වී තිබෙයි.
ලෙනෙහි මුවදොර විහාර මන්දිරයක් වෙනුවෙන් සිමෙන්ති දමා බිත්ති බැඳ කෘතිමව සකසා තිබුණ ද පුරාතනයේදි ලෙන් මුදුනතෙහි කටාරම් කෙටූ ලකුණූ පෙනෙයි. ලෙන තුළ කුඩා චෛත්‍යයක් ද ඉදිකර ඇත.ඒවා මෑත භාගයේ නිමැවුම් ය. සාදා ඇති පියස මුදුනේ ඇති ගල් ආරුක්කුව ස්වභාව ධර්මයේ පෙදරේරුවා කළ ඉතා දුර්ලභ ගණයේ විචිත්‍රවත් වූ ද පුදුම සහගත වූ ද නිර්මාණයකි. එය උසින් අඩි 32 ක් වන අතර කවාකාර ආරුක්කුවේ පළල අඩි 40 ක් වෙයි. බුද්ධ මන්දිරය දොරටුවෙන් ඇතුල් වූ විට ඉදිරි පස සැතපෙන පිළිම වහන්සේ නෙලා ඇත.
අනෙක් පස හිඳි පිළිමයකි. නාථ මෙන්ම විෂ්ණු දේව ප්‍රතිමාද මේ අතර දක්නට ලැබෙයි. මෙම පිළිම නිර්මාණය කර ඇත්තේ ද පසු කාලීනව ය. එම නිර්මාණයන් පසු කර දිවෙන ලෙන් කුහරය අඩි 180 ක් පමණ දිග ය. අඳුරු ගුහාවක් තුළට රිංගන විට දැනෙන බියත් විශ්මයත් සමනය කිරීමට මෙම පිළිම වහන්සේලාගේ දසුන සමත් වුවද ඝන අන්ධකාරය නිවාලන්නට දැල්වෙන විදුලි බුබුළු පිහිට වුවද මෙම දිගුලෙන් කුටීරයේ ස්වභාවය නුහුරු හැඟීම් සමුදායක් ජනනය කරවන සෙයකි.
උස්ව නැගෙන ලෙන් කුහරයේ ඉම තෙක් අපව රැගෙන යාමට ධෛර්ය උපදවනනේ සිතේ බිය පහ කරවන සම්මා සම්බුදු පහසත්, විදුලි ආලෝකයත් විසිනි. ඉම තෙක් යන විට හෑරී ගිය ගල්ලෙනෙහි උස ක්‍රමයෙන් පටු වෙයි.
ඉමේ කුහරය යටට හෑරී එතැන පිරිසුදු දිය රැගත් හිරු කිරණෙක පහස නොලත් අඳුරු ආගාදයත් බඳුවූ පොකුණකි.
මේ සියල්ල වටා ගෙතෙන පුරාවෘත්තය ද, පුරාවිද්‍යාත්මක සාක්‍ෂී කීපයක් වටා ගොඩනැගුණු, ජනශ්‍රැති කථා රාශියකින් රසවත් වුණූ, තෝරා බේරා සත්‍ය හෙළිකර ගැනීමට තවමත් ඉතිරි කර තබා ඇති, ගුප්ත පසුබිමක රහස් සඟවා තබා සිටින, අහුමුළු අඳුරු වූ ගබඩා කාමරයක් වැනි ය.
එහෙත් මෙම බිමට පිවිසෙන විට පරිසරය හා බැඳුණු දසුනෙන් සිත් බැඳගත් නිසාවෙන්ම විමසීමට බඳුන් නොවුණු එහෙත් ගුහාවේ සැරිසාරා නැවත පැමිණෙන සිත කුහුලෙන් පිරී වට පිට සැරිසරණ විට මළුවේ පසෙක ඇති විස්තර පුවරුව ලඟ නෙත නැවතෙයි.
එහි මෙසේ සඳහන් ව තිබේ.
වළගම්බා රජු (ක්‍රි.පූ. 103) තම සේනාව සංවිධානය කරමින් යන අතුරතුර මෙම ස්ථානය තාවකාලික වාසස්ථානයක් ලෙසත් පුර ස්ත්‍රීන් සඟවා තබාගත් ස්ථානයක් ලෙසත් භාවිතා කර ඇති අතර මෙය ස්ත්‍රී පුර යැයි ජනප්‍රවාදයේ ඇත. එකල පුර ස්ත්‍රීන් ස්නානය කළා යැයි සැළකෙන දිය පොකුණ ද මෙම ලෙන තුළ ඇත. මෙම ලෙන සිට යට්ටෝරුව යටහලෙන දක්වා උමංමාර්ගයක් තිබූ බව සාධක සොයාගෙන ඇති අතර රජු උමං මාර්ගය ඔස්සේ යටහ ලෙන දක්වා ගොස් සේනා සංවිධානය කර නැවතත් ස්ත්‍රි පුරයට සැපත් වූ බව ද මෙතැනදි රජු දුනුශිල්පය ප්‍රගුණ කළ බව ද කියැවෙයි.
පළමුවෙනි ගජබා රජු (ක්‍රි.ව.113-135) ප්‍රමුඛ ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ අවසන් සටන කළ ස්ථානය ලෙස සැළකෙන බවත් යක්‍ෂගෝත්‍රික ස්ත්‍රින් මෙම ස්ථානය තුළ සිරකර නීල මහා යෝධයාගේ උදව් ඇතිව ලෙන් දොර වසා විනාශ කළ බව කුරුණෑගල විස්තරය නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මෙම ස්ථානය ආසන්නයේ ඇති කුඩා ලෙන් දෙක ක්‍රි.පූ. 3 වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්‍ෂර සටහන් වලින් මෙම ප්‍රදේශයේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව කුරුණෑගල විස්තර ග්‍රනථයේ සටහන්ව ඇත.
වළගම්බා රජතුමා කොලොම්බුවට නුදුරු සල්ගල දී සේනා සංවිධානය කල බව මහාවංශයේ කියැවෙයි. සල්ගලට නුදුරු මෙම ස්ථානය රජතුමා තාවකාලික වාසස්ථානයක් ගොඩනගා තම බිසෝවරුන්ට ආරක්‍ෂිත ස්ථානය වශයෙන් මෙතැන භාවිතා කළ බව ජනප්‍රවාසයේ සඳහන් වෙයි.
එක් දහස් නවසිය විසිගණන්වල එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල් මහතා විසින් ලෙන තුළ වු දිගින් අඩි 15 ක් සහ පළලින් අඩි 6 ක් වූ පැරණි බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ලියැවණූ විශාල සෙල් ලිපියක් සොයාගත් බව කියැවෙයි.
බෙල් මහතා කළ කැණීම් පිළිබඳ අවබෝධයක් නොදත් ගම්වැසියන් සිතා ඇත්තේ මෙහි වන වටිනා දේ විනාශ කිරීමට මොවුන් පැමිණි බව ය. යටත්විජිත සමයේදී සිංහලයන්ට වූ බොහෝ අකටයුතුකම් නිසා ගම්මුන් එසේ සිතීම අරුමයක්ද නොවේ.අවසානයේ එම සෙල්ලිපිය බෝර දමා විනාශ කර එතැන වූ උමගය ද වසා දැමීමට ගම්වැසියෝ පෙළඹෙති. මෙසේ අස්ථානයේ ඇති වූ සැක බිය නිසා ස්ථානයෙන් මතු කර ගැනීමට හැකියාව තිබු ඉතිහාසයේ සත්‍ය ද වැළලී යන්නට ඇත.
මෙතැනදී හමුවූ අඩි 6 ක් දිග අඩි 3 ක් වූ ඉතා පැරැණි අනුරාධපුර සම්ප්‍රදායේ කැසිකිලි ගල එවැනි යුගයක අරණ්‍යවාසී භික්‍ෂූ ආවාසයන්හි භාවිතා වූ කැසිකිළි ගලක් බව අනුමාන කළ හැක.
බ්‍රාහ්මී අක්‍ෂර, කටාරම් ලකුණූ, මෙවන් කැසිකිලි ගල් ආදියෙන් ක්‍රි.පූර්ව යුගයේදී මෙම ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටි බවට හේතු සාධක මතුවෙයි.
ආශි‍්‍රත ගම්බිම් හි නාමයන්ද එහා බැඳුණූ කථා ප්‍රවෘත්තීන් ද රාශියක් එකට ඈදී මේ වටා විශාල ජනශ්‍රැතියක් ගොඩ නැඟී තිබේ.
මෙසේ සුවිශේෂී ස්වභාවික පරිසරයක ගුප්ත බවත් සොඳුරුබවත් ඒකසේ කැටිකරගත් මෙම අඳුරු දිගුලෙන ඉතිහාසයේ දිගු කතන්දරයක රහස් තවමත් අඳුරේ සඟවා ගෙන සිටිනවා විය හැක.

No comments:

Post a Comment