Monday, 28 September 2015

ලෝ දහම හෙළි කළ බුදුදහම

ලෝ දහම හෙළි කළ බුදුදහම

ආගමක්, දහමක්, දර්ශනයක් යනාදී කවර ක්‍රමයකින් හැඳින්වූවත් අපට එකී දේ අවශ්‍යවන්නේ හුදෙක් එදිනෙදා වුවමනාවන් සපුරා ගැනීමට පමණක් නොවේ.විශේෂයෙන් යම් යම් දේට යට නොවී නිවහල්ව සිතන බුද්ධිමත් අයට ආගමක් දහමක් අවශ්‍ය වනුයේ මේ සත්ත්වයින් මෙලොවට ආවේ කොහෙන්ද? මරණින් මතු වන්නේ කුමක්ද? ආකල්ප සංකල්ප වශයෙන් මෙන්ම, සැප දුක් විඳීම් වශයෙන් විවිධ වෙනස්කම් ඇත්තේ කුමක් නිසාද? එකී තත්ත්වයෙන් වෙන් වුණු, වෙනස් නොවන සැපයක්වේද? එය ලැබුමට කළ යුත්තේ කුමක්ද? යනාදී එක එල්ලේම නොවැටහෙන දෑ පිළිබඳව දැන ගැනීමටය.

මෙකී ප්‍රශ්නයන්ට මෙන්ම තවත් ඇති තාක් ප්‍රශ්නයන්ට තමා තුළින්ම පිළිතුරු ලැබෙන ක්‍රමය මේ දහමින් ලැබේ. ඒද ඉතාමත් පූර්ණ ලෙසිනි. එනම් එකී ප්‍රශ්න ඇතිවීමට හේතුවක්, ඒවා නිසි පිළිතුරෙන් විසඳීමත්, ඒවා විසඳන ක්‍රමයත් මේ දහමින් පැතිකඩ රැසකින් තේරුම් කරන හෙයිනි. බුදුවරයන් වහන්සේ කලින් කලට,ලෝකයට පහළ වීමෙන් කරන්නේ ලෝකයේ පවතින ස්වභාවය අවබෝධ කිරීමයි. මෙහිදී ලෝකය යනුවෙන් අදහස් කරන්නේ සියලු සත්ත්වයින් සහිත වූ භෞතික පරිසරයක්ය. මෙසේ ගත් කල්හි ඉන් පරිබාහිර කිසිවක් නැත. මෙකී ලෝකයේ සංයුතිය, ස්වභාවය ,නියැඳිය , වෙනස්වීම හෙවත් අනිත්‍යතාව, තනිකර දුක හෝ අතරතුර දුක සහිත වූ සැප, මෙකී අනිත්‍ය දුක්ඛ තත්ත්වයට පත්වීම වැළැක්වීමට පාලනයට නොහැකිකම හෙවත් අනාත්ම ස්වභාවය මේ බව “උප්පාදෙ වා භික්ඛවෙ තථාගතානං අනුප්පාදො වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා” යන ලෝක ස්වභාවය විග්‍රහ කළ බුද්ධ වචනයෙන් සනාථ වේ.

බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ ලෝක ස්වභාවය අවබෝධ කිරීමට සුදුසු ප්‍රතිපත්තියේ දිගු කලක් ගමන් කර එකී තත්ත්වය වටහාගෙන ලෝකයට ප්‍රකාශ කිරීමයි. හුදෙක් බුදුවරු කරන්නේ සොයා ගැනීමක් පමණකි. එනම් සියල්ලේ පවතින අනිත්‍යාදී ස්වභාවයයි. ගුරුත්වාකර්ෂණයද සොයා ගන්නා ලද්දකි. ඒ දේ ඒ මහත්මා සොයා ගත්තත් , නැතත් ලෝකයේ පවත්නා වූ ස්වභාවයකි. ධර්මතාවයකි සත්‍යයකි. එමෙන්ම ඊට වඩා අද්විතීය ප්‍රතිපදාවක අද්විතීය කාලයක් නියුක්තව සිට බුදුවරු මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝ ස්වභාවය අවබෝධ කොට ලෝකයට කියා දෙති. මෙය ගුරුත්වාකර්ෂණය සේ වටහා ගැනීමට එතරම් පහසු දෙයක් නොවේ. මෙය ශීල, සමාධි, ප්‍රඥා පුහුණු පාඨමාලාව ලෝභ, ද්වේෂ ,මෝහ,ක්ෂයවීම දක්වා දියුණු කිරීමෙන්, ආය¸ සත්‍යයන් අවබෝධයත් සමඟ සිදුවන සොයා ගැනීමයි.

මේ ත්‍රිලක්ෂණය හෙවත් ලෝක ස්වභාවය ඉතා ගැඹුරුය. බුදුවරුන් ඒ පිළිබඳ කරන ලද දේශනා ඇසුරින් අවබෝධ කරගත යුතුය. මෙකී ත්‍රිලක්ෂණය හෙවත් ලෝකයේ යථාර්ථය ලොවට ප්‍රකාශ කිරීමේදී මාධ්‍ය දෙකක් භාවිතා කරන ලදී.

එනම්

1.සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමය
2.පරමාර්ථ සත්‍යය මාධ්‍ය ක්‍රමය

සම්මුති සත්‍යය මාධ්‍ය ක්‍රමයෙන් විස්තර කිරීමේදී “ඒ කාලයේ කුසාවතී නුවර මෙපමණ මෙපමණ සම්පත් මට හිමිව තිබුණි. ඒ සියල්ල අනිත්‍ය නිසා, ආනන්දය,අද විද්‍යාමාන නොවේ” යනාදි වශයෙන් සත්ත්වයා පුද්ගලයා, නගරය, ගම් යනාදී ලෝකයා ව්‍යවහාර කරන, සම්මත කරගෙන ඇති අයුරින් විස්තර කරති.

දෙවැනි ක්‍රමයෙන් ලෝක ධර්මතාවය විග්‍රහ කිරීමේදී සත්ත්වයා කියා හඳුන්වන්නේ පෙර කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාක ශක්තිය මුල් කොටගත් සිත හා කය නාමය හා රූපය රූප කොටස, වේදනා කොටස, සංඥා කොටස, සංකාර කොටස, විඤ්ඤාන කොටස යන ස්කන්ධ පසය යනාදී ලෙසින්ය. මේ ක්‍රම දෙකම සත්‍යය නමුත් ඒ දෙක මගින් එකම දෙයක් දෙවිධියකට විග්‍රහ වන බව අවුල් නොකොට තේරුම් ගත යුතුය.

මේ ක්‍රම දෙකින්ම බුදුවරු ධර්මය දේශනා කරන්නේ ධර්මතාව අවබෝධ කරන්නන්ගේ ඇති බුද්ධි මට්ටමේ පවතින විවිධත්වය නිසාය. ඇතැමෙක් පළමු ක්‍රමය අසා ත්‍රිලක්ෂණය අවබෝධ කරති. ඇතැමෙක් දෙවැනි ක්‍රමයෙනි.

අප බලාපොරොත්තු වන්නේ මෙකී තත්ත්වය අවබෝධ කරවීමට බුදුවරු පාවිච්චි කළ දෙවැනි ක්‍රමය පිළිබඳ සමාලෝචනයක් කිරීමටයි. ඉහත කී ක්‍රමයෙන් පුටුව,මේසය, මිනිසා , සුනඛයා යනාදී වශයෙන් හැඳින්වීමේදී මාධ්‍යය සම්මුති සත්‍යය හෙවත් සම්මුති මාධ්‍යයි. මෙකී පුටුව, මේසය ආදි දේ කුඩා කුඩා අංශුවලට බෙදීමෙන් නැවත බෙදිය නොහැකි තරමේ අංශුන්ට බෙදුවොත් ඒවාට භෞතික විද්‍යාඥයෝ පරමාණූ ,ඉලෙක්ට්‍රෝන , ප්‍රොටෝන යනාදී ලෙස කලින් කල විවිධ නම් තබති. අධ්‍යාත්මික විද්‍යාවේ ඉහළටම දියුණූ වූ බුදුවරු එකී අංශුවලට ‘ශුද්ධාෂ්ටක කලාප’ යැයි පවසති. නමුත් විශේෂයෙන් දත යුත්තේ විද්‍යාඥයින් හඳුනා ගන්නා ලද අංශුවක පවා ශූද්ධාෂ්ටක රාශියක් ඇති බවය. මෙන්න මේලෙසින් බුදුවරු රූප කයේ පමණක් නොව සිතෙහි පවා බෙදීමට හැකි ඉහළම කොටස දක්වා විභජ්ජවාදී ක්‍රමයට අවබෝධ කොට එලෙසින්ම දේශනා ක්‍රමය මුලදීම කියූ සේ යමක් අපක්ෂපාතීව තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ඉතා වැදගත්ය.

මේ අනුව නාමරූප, දෙකේම, ලෞකික ලෝකෝත්තර සියල්ලේම අවසාන අංශුව, එනම් බෙදීම නමැති වෙනස් කිරීම මඟින් ඉන් එහා වෙනස් කළ නොහැකි අංශු පරමාර්ථ ධර්ම සේ බුදුවරු සොයාගෙන විග්‍රහ කරති. ඒවා සංචිත වශයෙන් හෙවත් සමූහ වශයෙන් ශීර්ෂ 4 කට ප්‍රභේද ගතවේ. එනම්,

1.චිත්ත (89-121)
2.චෛතසික (52)
3.රූප (28)
4.නිර්වාණ (1)

මෙකී ධර්මතාවයන් සතර පිළිබඳව ඉතිරියක් නැතිවම දේශිත ක්‍රමය ‘අභිධර්මය’ නම්වේ. අභිධර්මය මෑතක් වන තුරුම බොහෝ දෙනෙකුට ඉතා නීරස විෂයයක්ව පැවතිණි. නමුත් අපිත් තවත් ගිහි පැවිදි උතුමෝත් විද්‍යුත් මාධ්‍ය – මුද්‍රිත මාධ්‍ය මගින් මේ ධර්ම කොට්ඨාස මතු කළ බැවින්, මතු කරන බැවින් ඒවායේ ඇති ප්‍රායෝගික භාවයේ ඇති තියුණු බව නිසා මේ දහම් කොටස බොහෝ දෙනාට ඉතා වැදගත් විය . පි‍්‍රය විය. එම නිසා අභිධර්මය ජනයා අතර අද ඉතා ප්‍රසාද ජනක ධර්ම කොට්ඨාසය වී ඇත.

චිත්ත යන ධර්මතාවය විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන රැසක් භාවිත කර ඇත. එසේ එකම සිත විස්තර කිරීමට වචන 8 ක් පාවිච්චි කර ඇත්තේ සිතෙහි ක්‍රියාකාරිත්වයේ ඇති සියුම් වෙනස්කම් නිසාය. එමෙන්ම ඒ විවිධත්වයන් මත හෝ සිත හඳුනා ගැනීමට ඒ ඒ පුද්ගලයාට ඉඩ හසර ලබා දීමටය.

ඒ අනුව සිතට චිත්තං යනුද නමකි. විසිතුරු දේ සිතන නිසා ‘චිත්ත’ නම්වේ. ලෝකයේ ඇති බොහොමයක් දේ මුලින්ම ගොඩ නැගුනේ සිතෙහි ය. බොහෝ දෙනා දන්නා වූ පුදුම හතක් වශයෙන් හඳුන්වා දී ඇති දේ. පවා සිතේ ඇති වූ නිර්මාණයෝය. පසුව භෞතික දේ මගින් ගොඩ නැගුණි. මිනිසා ඇතුළු සියලු තිරිසන් සත්ත්වයෝද, අපට පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවීන්ද දිව්‍ය ,බ්‍රහ්ම ආදී සත්ත්වයෝද චිත්ත නිර්මිතය. සිතෙන්ම නිර්මාණය වූවෝය. මේ විසිතුරු භාවය සළකා සත්ත්වයාට පහළ වන සිත් සමූහයට චිත්ත යන වචනය භාවිත කළේය.

‘මන’ යනුද සිතට නමකි. අරමුණ එනම් ඇස, කන ආදියට ගැටෙන රූප, ශබ්ද, ආදිය පි‍්‍රය අපි‍්‍රය ආදී වශයෙන් මැනීමක් කරන නිසා ‘මන’ යනුවෙන් සිත හඳුන්වනු ලබයි. “හදය” යනුද සිතට නමකි. හෘදය වස්තුව ඇසුරු කොටම බොහෝ සෙයින් සිත. පවතින නිසා මේ නම යෙදේ. ‘පණ්ඩර’ වශයෙන් සිත හඳුන්වන්නේ ප්‍රකෘති සිත හෙවත් විපාක සිත් සියල්ල ඉතා පිරිසුදු නිසාය. එනම් එකී සිත්හි ලෝභාදි අකුසල් නොපවතින බැවිණි. තවද ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික සහිතව සිත පවත්නා බැවින් ‘මනස’ වශයෙන් හැඳින්වේ. මේ සියලු හැඳින්වීම් අතර ‘විඤ්ඤාණ’ යනුවෙන් සිත හඳුන්වා දීමම ඉතා වැදගත්ය. එහි අර්ථය ‘දැනගැනීම යනුයි. ඒද අරමුණු දැන ගන්නා යනුයි. රූපාදී අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය කීවද, දැන ගැනීමම විඤ්ඤාණය කීවද වෙනසක් නැත. මෙසේ සමස්ත (89) සිත පිළිබඳව සරළ සංක්ෂිප්ත හඳුන්වා දීමක් කෙරෙන අතර මතුවට සිත් 89 – 121 ක් වන අයුරු පහදා දෙනු ලැබේ.

චෛතසික පරමාර්ථය දෙවැන්නයි. සිතෙහි යෙදෙන නිසා මෙකී 52 ක් වූ ධර්මයන්ටම පොදු හැඳින්වීම චෛතසික ලෙස යෙදේ. මෙකී 52 වූ ධර්මතා මුලින් කී සිත කුසල්, අකුසල් විපාක ක්‍රියා වශයෙන් වෙනස් කිරීමට සමත්ය. මෙම ලෝභාදී මෙන්ම අලෝභාදී චෛතසික ධර්ම වල සිතක යෙදෙන විවිධත්වය මතම එකම සිත 89 ආකාරයක් ගනියි. නිදසුනක් වශයෙන් එකගොඩනැගිල්ලක් ඇතැයි සිතමු. එහි ගිහි පිරිසක් වාසය කරන කල්හි ගෙදර, නිවස වශයෙන් හඳුන්වයි. එය යම් කලෙක ශාසනයට පූජා කළහොත් සංඝාවාසයට ලෙස හඳුන්වයි. පසු කළෙක ශීල, භාවනා, කරන සිල් පිරිසකගේ ප්‍රයෝජනයට යෙදුවොත් ධර්මශාලාව කියා ව්‍යවහාර කරයි. මෙකී ව්‍යවහාර රැසක් එකම ගොඩනැගිල්ලට භාවිත කරනුයේ ගොඩනැගිල්ලේ වෙනසක් වූ නිසා නොව එයට ඇතුල් වූවන්ගේ වෙනස මතයි. මෙසේම එකම සිත 89 වැදෑරුම් හෝ 121 වැදැරුම් වන්නේ ඒ ඒ සිතට යෙදෙන ලෝභාදී සහ අලෝභාදී චෛතසිකයන්ගේ වෙනස නිසාය. එසේ වූවත් චෛතසික වලට වඩා බලයක් ඇත්තේ සිතටය. මක් නිසාද යත් සිතක් පහළ නොවීනම් කිසිදු චෛතසිකයක් පහළ විය නොහැකි බැවිනි. සිතට නම් ඇතැම් චෛතසික වලින් තොරව පහළ විය හැකිය. මේ සඳහා බණපොත නිදසුනක් ගෙන දෙයි. විවිධ ඖෂධ යොදා කෂායක් සකස් කළේ යැයි සිතන්න. එහි ඇති බෙහෙත් රස චෛතසික වැනිය. බෙහෙත් රස දියවී ඇති ජලය සිත වැනිය. බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් ජලය නැතිනම් කෂාය සකස් කළ නොහැකිය. නමුත් ජලය තිබුණොත් වෙනත් ඖෂධ යොදා ගෙන කෂායක් සකසා ගැනීමට බාධාවක් නැත. මෙලෙස චෛතසිකයන්ට සිත ප්‍රධාන වන බව මතක තබා ගන්න.

ඊළඟ පරමාර්ථ ධර්මය රූපයි. මෙහිදී රූප යනුවෙන් හඳුන්වන්නේ හුදෙක් යමක පාට වර්ණය පමණක් නොව ශීත ඌෂ්ණාදිය නිසා වෙනසට භාජනය වන සියල්ල ය. නිර්වචනය අනුව යමක පාට හෙවත් පැහැය පමණක් නොව ශබ්දයද රූපයකි. ගන්ධ,රස, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදියද රූපය චිත්ත චෛතසික හැර සත්ත්වයා වශයෙන් හඳුන්වන රූප කයෙහි ඇත්තේ මෙකි ශීත ඌෂ්ණාදිය නිසා වෙනස් වන රූප ධර්මයෝය. ඒ අනුව ඇස, කන, නාසය, දිව ආදියද රූපය. බාහිර භෞතික පරිසරයේ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ,රස,ඕජා යන රූප 8 පමණයි. කෙසේ වෙතත් මේවා සියල්ල රූප 28 සංචිතයටම ඇතුළත් වන අතර ඒවා එකක් පාසා හඳුන්වා දෙමින් ඒවා අපට විපස්සනා භාවනාවට යොමු කරගන්නා අයුරුද මතු විස්තර කරනු ඇත.

මීළඟ මූල පදාර්ථය හෙවත් පරමාර්ථ ධර්මය නිර්වාණයයි. එය ලෝකයෙන් උත්තරීතරම තත්ත්වයයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරලීම නිවනයි. නමුත් තෘෂ්ණාව දුරු කළ සිත නිවන නොවේ. එමෙන්ම හිස් අවකාශයද නිවන නොවේ. එය මනසට අරමුණු වන නමුත් එකල්හි දී ඇතිවන සුව වේදනාවද නිවන් සුවය නොවේ. ‘රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මෝහක්ඛයෝ , නිබ්බාණස්සේතං අධිවචනං’ ලෙස වදාළ හෙයින් ලෝභ,ද්වේෂ,මෝහ නැවත කිසිදාක සිතෙහි පහළ නොවන තත්ත්වයට පත්කිරීමම නිවනයි. එය වෙනස් නොවන සැපතයි. එය ශාන්ත සැපයයි. ශීල, සමාධි, ප්‍රඥා පුහුණු වීමෙන් ලෝභාදිය දුර්වල වන අතර එය බුදු දහමේ පුහුණුවයි. ශීල, සමාධි, ප්‍රඥා පුරා නිම කිරීම බුදු දහමේ ඉලක්කයයි. එය ලෝභ, ද්වේෂ මෝහ ක්ෂය කිරීමයි. නිවනයි. මේ පුහුණුව දීර්ඝ කාලයකින් නිම වේ. පුහුණුවත් පුහුණුව නිමාවත් ඉතා දුෂ්කරය. නමුත් පුහුණුව නිසිසේ කරන්නාට එකල්හිදීම වෙන කිසිවකින් ලදනොහැකි සැපයක් ලැබේ. පුහුණුව නිමාකළ තැනැත්තාට ලැබෙන ඵලයේ හෝඩුවාවන් රැසක් ලැබෙන හෙයිනි. එසේ වීමට විපස්සනා භාවනාව තරම් තීක්ෂණ පුහුණුවක් තවත් නැත. විපස්සනා භාවනාවක් අභිධර්මයෙන් තොරව නැත. එම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නමැති ලෝක ස්වභාවය අවබෝධ කරනට,ජීවිතාවබෝධය කරනට,වෙනස් නොවන සැපය සාක්ෂාත් කරනට අවශ්‍ය මේ බුදුවරු කලින් කල පහළ වී සොයා ගනු ලබන, ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට හේතුවන මේ දහම් අසා දැන ගැනීමට හැකි උපරිමයක්,එලෙසිනුත් සිතා දැන ගැනීමට හැකි උපරිමයක්, එලෙසිනුත් භාවනාවෙන් දැන ගැනීමට එහා ගිය දැන, ගැනීමක් තවත් නැති බැවින් ඒ දක්වා යාමට මේ ධර්ම පාඩම මැනවින් උගනිත්වා! සිතත්වා! පිළිපැද ප්‍රතිඵල ලබත්වා!

මීරිගම බෝතලේ
කිණිතුලාගල ආරණ්‍යයේ
තල්ගමුවේ සුධීරානන්ද හිමි

No comments:

Post a Comment