Wednesday, 16 September 2015

රැස් දහරාවක් ස්වර්ණ වර්ණ කළ රන්කොත් වෙහෙර

රැස් දහරාවක් ස්වර්ණ වර්ණ කළ රන්කොත් වෙහෙර
ලාංකේය බිමේ අබිමානවත් බව ඔසවා තැබූ ශිෂ්ටාචාරවත් විශිෂ්ට ඓතිහාසික පෙරහර ගමන් මගේ මහා ස්මාරක පෙළ ධජ පතාක සේසත් සේ ය.
එසේම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක ප්‍රෞඩත්වය මේ යැයි සාඩම්බරයෙන් කියාපාන ඓතිහාසික පොළොන්නරුව රාජධානිය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි. එය ලංකාවේ දෙවන අගනුවරයි.
අපගේ ජාතික ආගමික උරුමය මහාර්ඝ සැමරුම් වැඩිමනක් ලාංකේය බිම පුරා තැන තැන පෙනී සිටින්නේ හුදෙකලාව වුවද පුරාවිද්‍යාත්මක ඓතිහාසික, ආගමික,ආර්ථික, සංස්කෘතික අංග රැසක් එක් තැන් කරගත් සංචිතයක් වශයෙන් පවතින්නේ අනුරාධපුර පොළොන්නරුව රාජධානියන් පමණි.
ඒවා අද බොහොමයක් අප දකින්නේ නටබුන් වශයෙන් වුවද අපගේ වංශ කතාව කියැවීමට අවශ්‍ය පූර්විකාව සැපැයීමට මෙම මහා උරුමයෝ සමත්වී සිටියි.
එම නිසාම මාතෘ භූමියේ ඉතිහාසය සොයා යන්නවුන්ට පොළොන්නරු රාජධානිය කිසිසේත්ම මග හැර ගමන් කළ නොහැකි වෙයි.
ඓතිහාසික සංස්කෘතික,ආගමික උරුමයේ ස්වරූපය ගෙන ලාංකේය මොඩලය සැකසීමේදී ඒ තුළින් නිර්මාණය වන්නේ අති උත්කෘෂ්ට ප්‍රතිරූපයකි.
මහාචාර්ය පරණවිතාන මහතා පවසන්නේ බෞද්ධ ස්මාරකයන්ගේ මූලික ලක්ෂණ සියල්ලම පාහේ පොළොන්නරු ස්මාරක මතින් දකින්නට ලැබෙන බවයි.
පසු කාලවලදී බිහිවූ මහායාන හා හින්දු බලපෑම් ද එසේම තාක්ෂණික ශිල්ප ඥානයද කාලයාගේ ක්‍රියා විපර්යාසයන්ද හේතු කොට ගෙන ඒ මූලික අංග ලක්ෂණ වලට වෙනත් විවිධ අංග ලක්ෂණ එකතු වී තිබෙන බව මහාචාර්ය එම්.ටී. බස්නායක පවසයි.
රාජකීය ප්‍රසාද – උද්‍යාන –ආගමික ස්මාරක මේ සියල්ලෙන් එක්තැන් වූ ප්‍රෞඩත්වය අනභිබවනීයත්වය කැටිකරගත් මෙපුරවර ආගමික උරුමයට සොයා යන සංචාරයේදී පොළොන්නරුවේ රන්කොත් වෙහෙරට හිමි වන්නේ ද සුවිශේෂී ස්ථානයකි.
පොළොන්නරු රාජධානිය හැඩ කළ ආගමානුකූල ලක්ෂණ සැදැහැති කළ රන්කොත් වෙහෙර අනුරාධ පුරවරයේ මෙන්ම ශ්‍රී ලාංකික බිමේ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑය සිහිකැඳවීම වෙනුවෙන් පොළොන්නරු රාජධානියේ සාඩම්බරය ඔසවා තැබීම වෙනුවෙන් කළ ස්තූපයක් වශයෙන් සිතීමට පුළුවන.රන්කොතක් සහිත දාගැබ රන්කොත් වෙහෙර වශයෙන් හඳුන්වා තිබේ. මෙය පොළොන්නරු පුරවරයේ සාදා ඇති විශාලතම ස්තූපය වේ.
නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රි.ව. 1187- 1196) තම නාමය ජනපි‍්‍රය කරවීම උදෙසා වෙහෙසුණු රජවරයකු වශයෙන් ප්‍රකටය.
එසේ වුවද ලාංකේය රාජ වංශයේ කීර්තිමත් රජවරයකු වශයෙන් හඳුනා ගැනීමට සමත් සිහිවටන රාශියක් එතුමා අතින් නිමැවී තිබෙයි.
ඒ අතර මේ නිරිඳාණන් රන්කොත් වෙහෙර හඳුන්වා ඇත්තේ තමා විසින් කළ ස්වර්ණමාලි ස්තූපය ලෙසය.
අප මාතෘ භූමියේ මහා ස්තූපය වශයෙන් විරුදාවලිය ලද රුවන්වැලි සෑය කරවූයේ ලාංකේය බිමේ අසහාය නරේන්ද්‍රයාණන් වූ දුටුගැමුණු රජතුමා විසිනි.
ඒ අබිමානවත් බව තම නම ඉදිරියෙන් සටහන් කර ගැනීම වෙනුවෙන් නිශ්ශංකමල්ල රජතුමා මෙම රන්කොත් වෙහෙර ගොඩනැංවූවා විය හැකිය. මෙයින් පෙනී යන්නේ රජවරුන් එකිනෙකා පරයා ඉස්මතු වීම වෙනුවෙන් ශිල්ප දැක්වූ බවකි.
ඒ කෙසේ වෙතත් අවසාන ඵලය වශයෙන් අපට තවත් ආගමික උරුමයේ කදිම සැමරුමක් ඉතිරිකර තැබීමට ඉතිහාසය සමත් වී තිබෙයි.
ස්තූපය මුදුනේ රන් කොතක් වූ නිසා මෙය රන්කොත් වෙහෙර වශයෙන් නම් වූවා යැයි කියැවෙයි.
මෙහි උස මීටර් 54.9 ක් පමණ වෙයි. වෙහෙර වටා වාහල්කඩ හා පිළිම ගෙවල් දක්නට ලැබේ. ස්තූප වටා පිළිම ගෙවල් සෑදීම මහා සාංඝික නිකායේ ස්තූප සැලැසුම්වල බලපෑමෙන් සිදු වූවක් බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතාගේ මතයයි.
ස්තූපය ඉදිරියෙන් ඇති නිශ්ශංකමල්ල ගල් ආසන ශිලා ලේඛන අනුව පැවසෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා එම ගල් ආසනය මත හිඳගෙන රන්කොත් වෙහෙරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ බවය.
ආරම්භක නාමය ඉහත ශිලා ලේඛනය අනුව රුවන්මැලි දාගැබ විය. එය පාලියෙන් රත්නාවලි චෛත්‍ය නම් වෙයි. ප්‍රාකාර බැම්ම සාදා ඇත්තේ ගඩොල් සහ බදාමයෙනි. මිටි ප්‍රාකාර බැම්මේ ඉහළ කොටස කැටයමින් සහ වතුර මලින් සමන්විත වේ. වේදිකාවට එකතුවන වැහි ජලය පිටතට ගලායාමට සලස්වා තිබෙයි.
දා ගැබෙහි හතරැස් කොටුව ඇති මුදුනේ පැති හතරෙහි සූර්යයා සංකේතවත් කරනා වක්‍ර කීපයක් දකින්නට ලැබේ. සිව් දිශාවේ වාහල්කඩ ගඩොලින් නිමවා තිබේ. වාහල්කඩ උස අඩි 22 ක් පමණ වෙයි.
මෙය පංචාවාසයකට අයත් අංගයක් වූ ස්තූපයක් වශයෙන් හඳුනා ගැනීමට සමත් සාධක රන්කොත් වෙහෙර පරිශ්‍රයේ දී දැක ගැනීමට ලැබෙයි.
දකුණු දෙසින් භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඉදිවූ කුටි එහි මධ්‍යයේ පිළිම ගෙයක්, බෝධිඝරයක්, උපෝසථාඝරයක නටබුන් දකින්නට පුළුවන.
ඒ අනුව සලකන කල රන්කොත් වෙහෙර සියලු අංගයන්ගෙන් සමන්විත වූ විහාර පද්ධතියක ප්‍රධාන චෛත්‍යය වශයෙන් පැවැති බව සිතිය හැකි වෙයි.
නටබුන් වූ මහා සෑය මුලින්ම ප්‍රතිසංස්කරණය කර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී. පී.බෙල් මහතා විසිනි. පසුව එයට මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ද දායක වී ඇත. ඒ සඳහා පැරැණි ගඩොල් යොදා ගෙන තිබෙයි.
පොළොන්නරු රාජධානිය විචිත්‍රවත් කරනා රන්කොත් වෙහෙර ලාංකේය ස්තූප නාමාවලිය සරසන තවත්එක් විශේෂිත පුරා විදු ස්මාරකයක් වශයෙන් හඳුන්වා දීමට පුළුවන .
එදා රන්කොත මත පතිත වන හිරු කිරණ පෙරලා පරාවර්ථනය වූයේ රන් පැහැයෙන් ප්‍රදේශයම ප්‍රබෝධවත් කරලමින් විය හැකිය.
අපගේ පාරම්පරික උරුමයේ ගමන් පථය රන්වන් පැහැයට හැරවූයේ මෙවන් ඔද තෙදවත් මහා සැමරුම් තිළිණ ප්‍රදානයන් නිසා ය.

No comments:

Post a Comment