Sunday, 20 September 2015

ත්‍රිවිධ ශාසනය

ත්‍රිවිධ ශාසනය

පර්යාප්ති ශාසනය

ශාක්‍ය මුනීන්ද්‍ර තථාගත සම්මා සම්බුදුරදුන් ගේ පහළවීමෙන් පසුව ඇති වූ දහම සම්බුදු දහම නමින් හඳුන්වනු ලැබේ. එම දහම් මගට අනුව පැවැත්ම සම්බුදු සසුන යනුවෙන් නම් කරනු සිරිත වේ. එහි ත්‍රිවිධ වූ අංගයක් ඇත. ඒවා පිළිවෙලින් මෙසේය. 1.පරියත්ති 2.ප්‍රතිපත්ති හා 3.ප්‍රතිවේධ යනුවෙනි. බොහෝ විට මේවා හඳුන්වනු ලබන්නේ පර්යාප්ති ශාසනය , ‘ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය’ යනුවෙනි. මෙම ත්‍රිවිධ වූ ම ශාසනයන්ගෙන් තොරව සම්බුදු සසුන පැවැත්මක් නැත. එසේම එක් අංගයක් ම අනෙක් අංග දෙකට උපකාරවත් ද වේ. මේ නිසාම ත්‍රිවිධ වූ ශාසනය ම එකසේ දීප්තිමත්ව බබළන කල්හි “තථාගත සම්බුදු සසුන “ තුන්ලොව පුරා බැබළීමට පත්වෙයි. මෙම ලිපියෙන් අපේක්‍ෂා කරනුයේ එම පරියත්ති ශාසනය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට පමණෙකි.

පර්යාප්ති ශාසනය

මෙය ත්‍රිවිධ වේ. “සූත්‍ර විනය හා අභිධර්ම” යනුවෙනි. මේ අනුව සූත්‍ර පිටකාගත ග්‍රන්ථ හඳුන්වන්නේ මෙසේය. සූත්‍රපිටකය 1. දීඝ නිකාය 2. මජ්ක්‍ධිම නිකාය 3. සංයුත්ත නිකාය 4. අංගුත්තර නිකාය හා 5. ඛුද්දක නිකාය යනුවෙනි (නිකාය යන පොදු නාම පදයෙන් එක් රැස්වීම , එකතු කිරීම සංග්‍රහ කිරීම, එකතුව ආදි අරුත් නිරූපණය වේ)

සූත්‍ර නිකාය

නිකාය ග්‍රන්ථ පන්සාලිස් වසක් පමණ වූ ශාක්‍ය මහා මුනීද්‍රයන් වහන්සේ ජීවත්ව සිටි කාලය තුළ ඒ ඒ තැන්හි දී වදාරණ ලද දීර්ඝතම සූත්‍ර දේශනා තිස් හතර (34) දීඝ නිකාය වශයෙන් හඳුන්වනු ලැබේ. මේවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන්කොට ඇත. 1.සීලක්ඛන්ධ වග්ගය 2. මහා වග්ගය හා 3. පාඨිය වග්ගය ද යනුවෙනි. ප්‍රථම ධර්ම සංගායනාවේදි මෙම වර්ග කිරීම් සිදුකොට ඇත. එදින මේ සඳහා සහභාගි වූ සියලු දෙනා වහන්සේලා ම මෙම තුන් පිටකය ම වන පොත් කොට ගෙන සිටියහයි අපේ ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. සෙසු පිටක ග්‍රන්ථවල නොමැති සමහර ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. සෙසු පිටක ග්‍රන්ථ වල නොමැති සමහර ධර්ම කරුණු දීඝ නිකායෙහි ඇතුළත්ව ඇත. මහා සතිපට්ඨාන සූත්‍රය දීඝ නිකායෙහි සවිස්තරාත්මකව දැක්වීම සුවිශේෂ ලක්‍ෂණයකි. සමථ භාවනා වඩමින් අභිඤ්ඤාලාභී වන භික්‍ෂූන් වහන්සේලා විසින් උපදවා ගනු ලබන සුවිශේෂ ඥාන සූත්‍රවල සඳහන්ව ඇත. ‘මනෝම ඉද්ධි” යනුවෙන්ද පසුකාලීනව හැඳින්වෙන මනෝකාය නිර්මාණය පිළිබඳ විස්තර කථා ද හමුවන්නේද මෙහිදීය. මහා පරිනිර්වාණ සූත්‍රයද මහා සිහනාද සූත්‍රයද මෙහි ඇති විශේෂ දේශනා දෙකකි. ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු මෙම පිටකාගත ග්‍රන්ථ කට පාඩමෙන් සුරක්‍ෂිතව රැකගෙන යාමට පවරාදෙනු ලබන්නේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතුන් වහන්සේට හා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටය.

මජ්ඣිම නිකාය

මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකසිය පනස් දෙකක (152) එකතුවකින් මෙම පිටකය සමන්විත වේ. එහි ද කොටස් තුනකි. 1. මූල පණ්ණාසකය 2.මජ්ක්‍ධිම පණ්ණාසකය හා 3. උපරි පණ්ණාසකය ද යනුවෙනි. පළමු පණ්ණාසකය දෙකෙහි සූත්‍ර 100 කි. තෙවන්නෙහි සූත්‍ර 52 කි. සිද්ධාර්ථ ශාක්‍ය මහා මුනින්ද්‍රයාණන් වහන්සේ බෝසත් අවධියෙහි (දුෂ්කර ක්‍රියා පුරණ සමයෙහි) තමන් ගතකළ ජීවිත පැවැත්ම පිළිබඳ බොහෝ විස්තර දැක්වෙන්නේ මෙම පිටකයට අයත් සූත්‍ර වල දීය. ගෞතම සම්බුදු දහම පිළිබඳ විවිධ කරුණු අන්තර් ගත මෙම පිටක ග්‍රන්ථ සකස් වූයේද ප්‍රථම ධර්ම සංගායනාවේහිදීය. ඒ සියල්ල වන පොත් කොට ගනිමින් සුරක්‍ෂිත කර ගැනුමට භාර වූයේ සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ සිසු පිරිස වු භික්‍ෂූන් වහන්සේලාටය.

සංයුක්ත නිකාය

ඉහත දැක්වූ සූත්‍ර දේශනා හැරුණු විට සාමාන්‍ය දේශනා එක්රැස් කරමින් සංයුක්ත නිකාය ගොනු කොට ඇත. මෙහි සංයුක්ත 12 කි. වර්ග 108 කි. සූත්‍ර 5972 කි. මෙම ධර්ම කොටස් කට පාඩමෙන් රැගෙන යාමට ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී භාරකොට ඇත්තේ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේට හා සිසු පිරිසටය.

අංගුත්තර නිකාය

අංගීරස ම හා මුනින්ද්‍රයන් වහන්සේ ඇතැම් තැනකදී සමහර ධර්ම කරුණු ගොනුකරමින් සංඛ්‍යා වශයෙන් ද වදාළ බව සඳහන් වේ. එබඳු සූත්‍ර දේශනාවන්හි එකතුව අංගුත්තර නිකාය නමින් වර්තාමනයේ හඳුන්වනු ලැබේ.

අංක එකක් පමණක් වූ කරුණු ආදි වශයෙන් මේවා ගොනු කොට ඇත.මෙම අංගුත්තර නිකායෙහි නිපාත 11 කි. වර්ග 184 කි, සූත්‍ර දේශනා සියල්ල ම 7791 කි. ප්‍රථම ධර්ම සංගයනාවෙන් පසු මෙම සූත්‍ර දේශනා කට පාඩමෙන් වනපොත් ආරක්‍ෂා කිරීමේ වගකීම පවරා දෙන ලද්දේ අනුරුද්ධ මහ රහතුන් වහන්සේට හා එම සිසු පරපුරටය.

ඛුද්දක නිකාය

ඉහත දැක්වූ සුවිශේෂ දහම් කොටස් අත් හැරුණු විට සෙසු සියලුම බුද්ධ දේශනා වශයෙන් පිළිගනු ලබන ධර්ම කරුණු එක් රැස් කරමින් සකස් කළ ග්‍රන්ථ 15 ක් ඛුද්දක නිකාය නමින් වරතමානයේ හැඳින්වේ. ඒවා මෙසේය. 1.ඛුද්දක පාඨ 2. ධම්ම පද 3. උදාන 4. ඉති වුත්තක 5. සුත්ත නිපාත 5. විමාන වත්ථු 7. පෙත වත්ථු 8.ථෙර ගාථා 9. ථෙරී ගාථා 10. ජාතක 11. නිද්දේශ 12. පටිසම්භිදා මග්ග 13. අපදාන 14. බුද්ධ වස හා 15. චරියා පිටක යනුවෙනි.

විනය පිටකය

මෙම විනය පිටකයට අයත් ග්‍රන්ථයන් ද පහකි. ඒවා මෙසේය. 1. පාරාජිකා පාලි 2. පාචිත්තිය පාලි 3. චුල්ලවග්ග පාලි 4. මහාවග්ගපාලි හා 5. පරිවාර පාලි ද යනුවෙනි. ඇතැම් ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයන්හි මේ ධර්ම ග්‍රන්ථ හැඳින්වීමට “ආණා දේශනා “ යන නාම පදය ද යොදා ඇත. අණ කිරීම, ශාස්තෘන් වහන්සේගේ නියෝගය පිළිපැදිය යුතු නීතිය හා හැම දෙනා විසින් අවිවාදයෙන් පිළිගත යුතු කරුණ යන අරුත් දව මෙම නාම පදයන්ගෙන් නිරූපණය වේ. මෙම විනය පිටකය සෙසු දහම් ග්‍රන්ථයනට වඩා සුවිශේෂ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වේ.

අභිධර්ම පිටකය

ථෙරවාද නිකායන්ගේ පිළිගැණුම අනුව අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ 7 කි .ඒවා මෙසේය. 1. ධම්ම 1. සංගණී ප්‍රකරණය 2.විභංග ප්‍රකරණය 3.ධාතු කථා ප්‍රකරණය 4.පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය 5.කථාවත්ථු ප්‍රකරණය 6.යමක ප්‍රකරණය 7.පට්ඨාන ප්‍රකරණයද යනුවෙනි. සෙසු පිටක දෙකට වඩා මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක්ම පෙනේ. ඒවායින් සමහරක් මෙසේය.

මෙම ග්‍රන්ථයන් හඳුන්වනු ලබන්නේ ප්‍රකරණ යන සුවිශේෂ නාමයෙනි. සකස් කළ විශේෂයෙන් පිළියෙල කරන ලද නිපදවන ලද ආදි අරුත් ප්‍රකරණ යන විශේෂ නාම පදයෙන් අදහස් වෙයි. මෙම අභිධර්ම ග්‍රන්ථ වලට හැර සෙසු පිටක ග්‍රන්ථ වලට මෙම ප්‍රකරණය යන නාමය යොදනු නොලැබේ. භාෂා විලාසද ප්‍රකෘත ස්වරූපයට වඩා සංස්කෘත ස්වරූපයට බර වූවකි. ථෙරවාද භික්‍ෂූන් වහන්සේ විසින්ම මෙම පිටක ග්‍රන්ථ ක්‍රමයෙන් වර්ධනයට පත්වූ බව පිළිගනු ලබති.

මීට ඇතුලත් වන කථාවත්ථුප්ප්‍රකරණය සකස් කරනු ලැබ ඇත්තේ ධර්මාශෝක මහරජ දවස සිදු කළ සේ අවිවාදයෙන් පිළිගනු ලබන තෙවන ධර්ම සංගායනාවෙන් පසු එහි මූලිකත්වය දැරු මොග්ගලී පුත්තතිස්ස නම් රහතුන් වහන්සේ විසිනි. මේ වන විට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ අතර නිකාය වශයෙන් කොටස් දහ අටක් පැවති බවද අවිවාදයෙන් පිළිගෙන ඇත.

ප්‍රතිවේධ ශාසනය

පරියත්ති, පටිවෙධ හා පටිපත්ති වශයෙන් ශාසනය තෙවදෑරුම්ය. එයින් පටිවේද යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ විනිවිද දක්නා නුවණ, තීක්‍ෂණ බුද්ධිය හා අවබෝධයයි. එහි ධර්මානුකූල අර්ථය වන්නේ සත්‍යාවබෝධයයි. නැතහොත් විදර්ශනා ප්‍රඥාව හෝ ඤාණය හෝ නිර්වාණයට පැමිණීමයි. එසේම ධර්මයන්ගේ ස්වභාවය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණානුකූලව වැඩීමෙන් උපදින විදර්ශනා ප්‍රඥාව ද ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීම ද ඒ ඇසුරෙන් සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කිරීම ද ප්‍රතිවේධ ඤාණය යන්නෙන් අදහස් වේ.

පරියත්ති, පටිවෙධ හා පටිපත්ති වශයෙන් ශාසනය තෙවදෑරුම්ය. එයින් පටිවේද යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ විනිවිද දක්නා නුවණ, තීක්‍ෂණ බුද්ධිය හා අවබෝධයයි. එහි ධර්මානුකූල අර්ථය වන්නේ සත්‍යාවබෝධයයි. නැතහොත් විදර්ශනා ප්‍රඥාව හෝ ඤාණය හෝ නිර්වාණයට පැමිණීමයි. එසේම ධර්මයන්ගේ ස්වභාවය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණානුකූලව වැඩීමෙන් උපදින විදර්ශනා ප්‍රඥාව ද ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීම ද ඒ ඇසුරෙන් සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කිරීම ද ප්‍රතිවේධ ඤාණය යන්නෙන් අදහස් වේ.

බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙන මූලික ඉගැන්වීම් දෙකක් වශයෙන් පඤ්චස්ඛන්ධ විභාගය හා චතුරාර්ය සත්‍ය දේශනාව දැක්විය හැකිය. චතුරාර්ය සත්‍ය දේශනාව ඍජුවම නිර්වාණයට යොමුකරන මාර්ගයයි. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය දේශනාව පුරුදු පුහුණු කළ යුතුය. පඤ්චස්කන්ධ විභාගය නිකාය ග්‍රන්ථවල එන ප්‍රමුඛතම ඉගැන්වීමකි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංච ධර්මයන් පිළිබඳ විග්‍රහය පඤ්චස්කන්ධ විභාගයයි. ස්කන්ධ යනු සමූහාර්ථ වාචී පදයකි. එම ස්කන්ධ පඤ්චකයෙහි පැවැත්ම පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ලබන අවබෝධය ප්‍රතිවේධ ඤාණය වශයෙන් දැක්වේ.

පඤ්චස්කන්‍ධ විභාගයෙහි අභිමතාර්ථය මිනිසාට ඇති ප්‍රධාන ගැටලුව වන අතෘප්ති කර, හිස්, අර්ථ ශූන්‍ය වූ සංසාරික පැවැත්මකට උරුමක්කාරය වීම බව පැහැදිලි කර ගැනීමයි. ඒ සඳහා චතුරාර්ය සත්‍ය දේශනාව අවබෝධ කළ යුතුය. එහෙයින් චතුරාර්ය සත්‍යයත් පඤ්චස්ඛන්ධ විභාගයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතියි. ඒ නිසා මෙම අංශ දෙකම අවබෝධ කිරීම බෞද්ධ ප්‍රතිපදාවේ අත්‍යවශ්‍ය කරුණක් වේ. එවිට ආර්ය ශ්‍රාවකයා තුළ ප්‍රතිවේධ ඤාණය උපදියි.

තවද ප්‍රතිවේධ ඤාණය යන්න ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිළිබඳව පවත්නා ඤාණය වශයෙන් සූත්‍ර සාහිත්‍යයෙහි දැක්වේ. එම චතුරාර්ය සත්‍ය ඤාණය ,අනුබෝධ ඤාණය හා ප්‍රතිවේධ ඤාණය වශයෙන් දෙයාකාරය. එයින් අනුබෝධ ඤාණය ලෞකික වන අතර එය සිහි කිරීම් වශයෙන් නිරෝධ මාර්ගයෙහි පවතියි. ප්‍රතිවේධ ඤාණය වනාහි ලොකෝත්තරය. එය දුක්ඛ නිරෝධය අරමුණු කර ගෙන කෘත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරයි. එසේම චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ පටිවේධ ඤාණය අනුබෝධ ඤාණයෙන් තොරව නොපවතින අතර එය අන්‍යෝන්‍යව බැඳී ක්‍රියාත්මක වේ. එහෙයින් අනුබෝධ ඤාණයෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නොහැකිය.

දස්සන අර්ථයෙන් ද ප්‍රතිවේධ ඤාණය උපදින බව කියවේ. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ යථාස්වභාවය දැකීම් වශයෙන් ද එහෙයින් නිර්වාණය අවබෝධ කිරීම් වශයෙන් ද දස්සන අර්ථයෙන් ප්‍රතිවේධ ඤාණය ඉපදීම නම් වේ. ඒ ඒ ධර්මයන්ගේ නොවෙනස් වූ අවබෝධය ද ප්‍රතිවේධ වශයෙන් දැක්වේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම් වශයෙන් ප්‍රතිවේධ ඤාණය සතරාකරය. දුක පිළිබඳව පිරිසිඳ දැන ගැනීමෙන් පරිඤ්ඤා පටිවෙධ ඤාණය ලබයි. දුක්ඛ සමුදය දුරු කිරීම හා අත්හැරීම් වශයෙන් පහාන පටිවේධ ඤාණය උපදියි. නිරෝධ සත්‍යය පසක් කිරීම් වශයෙන් සච්ඡිකිරියා පටිවේධ ඤාණය ලබයි.

මාර්ග සත්‍ය වැඩීමෙන් (භාවනාවෙන්) භාවනා පටිවේධ ඤාණය උපදවා ගනියි. එසේම චතුරාර්ය සත්‍යයෙහි අංග පුරුදු කිරීම, විචාරීම, ඇසීම ,ධාරණය කිරීම හා විමසා බැලීම අනුව ප්‍රතිවේධ ඤාණය උපදින බව තවදුරටත් බුදු සමයෙහි දැක්වේ.

ප්‍රතිවේධ ඤාණය අනේකධාතු ප්‍රතිවේධ ඤාණය හා නානාධාතු ප්‍රතිවේධ ඤාණය වශයෙන් දෙයාකාරය. එයින් අටළොස් ධාතුන් පිළිබඳව බුදුන් වහන්සේ නමක් පහළ වූ කාලයකදීම අවබෝධ කිරීම අනේකධාතු ප්‍රතිවේධ ඤාණයයි. එම ධාතුන්ගේ විවිධත්වය විවිධ ස්වභාවයන් පිළිබඳව ලබන අවබෝධය නානාධාතු ප්‍රතිවේද ඤාණය යන්නෙන් අදහස් වේ.

මාර්ග හා ඵල යන්න ඒ ඒ සංදර්භයන්ට අනුව විවිධාකාරව යෙදේ. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී සෝවාන් ආදිය මාර්ග ඵල වශයෙන් යෙදේ. නමුත් ප්‍රතිවේද ඤාණය මාර්ග හා ඵල හා සම්බන්ධ වීමේදී එයින් හේතු හා ඵල යන්න සංදර්භය යටතේ යෙදී ඇත. ඒ අනුව චතුරාර්ය සත්‍යයට අයත් අංග අතර දුක්ඛ හා දුක්ඛ නිරෝධ ඵල වශයෙන් ද දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව මාර්ග වශයෙන් ද දැක්වේ. එම මාර්ග හා ඵලයන් අවබෝධ කිරීම ප්‍රතිවේධ ඤාණයයි. එනම් මාර්ග හා ඵල ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධ කරන අවස්ථාවෙහි පිරිසිඳ දැන ගැනීම ද ප්‍රතිවේධ ඤාණය බව මෙයින් කියවේ.

ප්‍රතිවේධ ඤාණය හා අවිද්‍යාව අතර සම්බන්ධයක් ඇත. එනම් සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ නොකරන්නේ අවිද්‍යාවයි. එය ප්‍රතිවේධ ඤාණයට ප්‍රතිපක්‍ෂ බවයි. සියලු ධර්මයන්ගේ වෙනස්වීම මනාව අවබෝධ නොකිරීම අවිද්‍යාවයි. එනම් සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය නො වැටහීමයි. එම ධර්මයන්ගේ යථා ස්වභාවය ආවරණය කිරීම ද අවිද්‍යාවේ ලක්‍ෂණයයි. ඒ නිසා මනා අවබෝධය හෙවත් ප්‍රඥාව ප්‍රතිවේධ ඤාණයයි. (සම්පටිවෙධො) එයින් විරුද්ධ අංශය වන අවිද්‍යාවෙන් යුක්තව ධර්මයන් පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරීම අප්‍රතිවේධ ඤාණයයි. (අසම්පටිවෙධො) එබැවින් ප්‍රතිවේධ ඤාණය බෞද්ධ ප්‍රතිපදාවේ වැදගත්ම අංගයක් වශයෙන් දැක්විය හැකිය.

ප්‍රතිපත්ති ශාසනය

පරියත්ති පටිපත්ති පටිවේධ යන ත්‍රිවිධ ශාසනයේ දෙවැන්න වන ප්‍රතිපත්ති ශාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මානුකූල පැවැත්ම පිළිබඳ තථාගත අනුශාසනාවයි. මෙම ත්‍රිවිධ ශාසනය වූ කලී ධර්මයේ පියවර තුනකි. ඒවා එකකින් එකක් වියුක්ත නොවේ. වෙනත් විධියකින් කිවහොත් එකකට එකක් සම්බන්ධය. මෙහි පරියත්ති සාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මය පිළිබඳ බුද්ධිමය අවබෝධයයි.

පරියත්ති පටිපත්ති පටිවේධ යන ත්‍රිවිධ ශාසනයේ දෙවැන්න වන ප්‍රතිපත්ති ශාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මානුකූල පැවැත්ම පිළිබඳ තථාගත අනුශාසනාවයි. මෙම ත්‍රිවිධ ශාසනය වූ කලී ධර්මයේ පියවර තුනකි. ඒවා එකකින් එකක් වියුක්ත නොවේ. වෙනත් විධියකින් කිවහොත් එකකට එකක් සම්බන්ධය. මෙහි පරියත්ති සාසනය යන්නෙන් අදහස් වන්නේ ධර්මය පිළිබඳ බුද්ධිමය අවබෝධයයි.

බුදුරදුන්ගේ දේශනාව පිළිබඳ ඇසීමක් කියවීමක් නැති කෙනෙකුට බුද්ධ දේශනාවේ ගැඹුර හෝ ඒ තුළ ගැබ් වන විශ්ව සත්‍යය තේරුම් ගත නොහැකිය. එක්තරා දාර්ශනික චින්තාවක්, ආගමික චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක්, පුදපූජා හෝ ආගමික උත්සව සමුදායක් ලෙස බුදුදහම හඳුනාගන්නා ඔවුහු ඒවායේ යෙදෙති. බුද්ධ දේශනාවේ සුතවා යනුවෙන් හැඳින්වෙන්නේ ධර්මය අසා කියවා එය බුදුදහම විශ්ව සත්‍යය විශ්ව නීතිය හා නියාමය උගන්වන දහමක් බවත් එහි පුද පූජාමය කොටසක් නොවන බවත් තේරුම්ගත් පුද්ගලයාටය. එය නොදත් තැනැත්තා අස්සුතවා හෙවත් අශ්‍රැතවත්(අඥාන) පුද්ගලයෙකි. ශ්‍රැතවත් වීම ප්‍රතිපත්තියේ මූලික පදනමය.

ප්‍රතිපත්තිය

‘පටිපත්ති’ යන්න වෙනුවට බුද්ධ වචනයෙහි භාවිත වන අනෙක් පදය වන්නේ සම්මා පටිපදා යන්නයි. ජාති ජරා ව්‍යාධි ව්‍යසන උරුම කරගත් ජීවිතයක් භුක්ති විඳිමින් ලෞකික ආස්වාදය උසස් කොට සලකන පුද්ගලයෝ අනාර්ය චර්යාවන්ට පෙළඹෙති. සමාජයේ අනෙක් සාමාජිකයන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදීම, වංචනික ක්‍රම මගින් තමා ශක්තිමත් වීමට පෙළඹීම, ලිංගික සදාචාරයන් උල්ලංඝනය කිරීම වැනි ක්‍රියාවල වරදක් ඔවුහු නොදකිති. මෙය දහමෙහි දක්වා ඇත්තේ මිච්ඡා පටිපදා යනුවෙනි. මෙය වැරදි සහිත ජීවන ප්‍රතිපදාවකි. ප්‍රතිපත්ති ශාසනය යනු සම්මා පටිපදා හෙවත් සම්‍යක් ප්‍රතිපදාව පිළිබඳ තථාගත දේශනාවයි. එයම ආර්ය ප්‍රතිපදාව හෙවත් උසස් පිළිවෙතයි. එය නිර්වාණ මූලික වේ. මෙම තථාගත ශාසනයේ වඩාත් අගය වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තුළ පවතින මෙකී පිළිවෙත් ශාසනය වේ. එය එකිනෙකාට අවශ්‍ය පරිදි අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍ය අරුතින් ගිහි පැවිදි දෙකොටසට අදාළ පිළිවෙත් ඇතත් බුද්ධ වචනයෙහි සඳහන් වන පටිපත්ති යන්නෙන් අදහස් වන්නේ නිර්වාණයෙන් මෙපිට එම මාවතට අදාළ වන පිළිවෙත් සමුදායයි. මෙය තේරුම් ගැනීමට පරියත්තිය හෙවත් බුද්ධ වචනය පිළිබඳ යම් අවබෝධයක් අවශ්‍ය වේ.

ධර්මය ඉගෙනීම

අර්ථ සම්පන්න ලෙස ප්‍රතිපත්ති පිරීමට මුල පිරිය හැක්කේ ඉහත දැක්වූ පරිදි ධර්මය පිළිබඳ බුද්ධිමය වැටහීමක් (intellectual knowledge) ඇති කෙනෙකුට පමණකි. ධර්මය වැඩීම, නැවත නැවත පුරුදු පුහුණු කිරීම(භාවිතා බහුලීකතා)ප්‍රතිපත්තිය (Practice) වේ. බුදුදහමෙහි දැක්වෙන ආකාරයේ ප්‍රතිපත්තිමය ජීවිතයක් ඇරඹීමට නම් යමෙකු තුළ මුලින්ම ඒ සඳහා කැමැත්තක් හා උද්‍යෝගයක් ඇතිවිය යුතුය. එය ඇති වන්නේ නිවැරදි තථාගත ධර්මය ඇසීම හෝ කියවීම නිසාය. වර්තමාන ලංකා භූමිය තුළ තම විෂය පථයට හසුවූ පමණින් ධර්මය විවරණය කරන්නෝ බහුල වෙති. ඇතැම්හු විවිධ උපැස් යුවළ මගින් ධර්මය දැකීමට උත්සුක වෙති. එහෙත් ත්‍රිපිටක බුද්ධ වචනය දෙස බැලිය යුත්තේ ත්‍රිපිටකයෙන්ම මිස අනෙකකින් නම් නොවේ. එබැවින් ත්‍රිපිටකය කියවා තේරුම් ගැනීමේ රුචිය උපදවා ගැනීමට මෙකල බුද්ධිමත් බෞද්ධයා තුළ උත්තේජනයක් ඇති වන්නේ නම් මහත් භාග්‍යයක් වේ.

අනුවණකම

‘මම ප්‍රතිපත්ති ගරුක මිනිසෙක්මි’යි රහමෙර බොමින් අඹුදරුවන්ට ගරහමින් විප්‍රකාර දොඩවන මිනිසුන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. දේව ධර්ම ලෙස සැලකෙන ලැජ්ජා භය නොමැතිව දුරාචාරකම්වල යෙදෙන ගැහැනු පිරිමින් ප්‍රතිපත්තිගරුක මිනිසුන් ලෙස තමන් හඳුනා ගන්නා අයුරුත්, පොදු සමාජයට හඳුන්වා දෙන අවස්ථාත් අපි දකිමු. මෙය අනුවණකම හේතුවෙන් උපදින සිතිවිල්ලකි. ප්‍රතිපත්ති නොදත් ඇතැම් ගිහි පැවිදි දේශකයන් පරියත්ති පටිපත්ති දෙක පසෙකලා ප්‍රතිවේධය හෙවත් අවබෝධය කරා අනුගාමිකයන් රැගෙන යාමට දරන වෑයම්වලින් ප්‍රවේශම් විය යුත්තේ මෙම ත්‍රිවිධශාසනය අනුක්‍රමිකව එකිනෙකට සම්බන්ධ ප්‍රතිපදාවක් වන නිසාය. එයට විකල්ප මාවත් නැත. පංචශීලය ආජීව අෂ්ටමක ශීලය සාමණේර ශීලය උපසම්පදා ශීලය ආදී වශයෙන් අර්ථ ගැන්වෙනුයේ ගිහි පැවිදි දෙපක්ෂයට අදාළ වන ප්‍රතිපත්ති සමුදායයි. අප විසින් කළ යුතු වන්නේ මෙකී ප්‍රතිපත්තිවලට නැඹුරුවීමයි.

සාවකසංඝ

ධර්මය පිළිබඳ දැන හඳුනාගැනීමක් ඇතිව සිටින පුද්ගලයන් දහමෙහි දක්වා ඇත්තේ සාවකසංඝ නමිනි. ඔවුන්ගේ ප්‍රතිපත්තිය දක්වා ඇත්තේ සුපටිපන්න යනුවෙනි. මනා ප්‍රවේශයක් ඔවුන්ට ඇත. ඔවුන්ගේ ප්‍රතිපත්ති ගති පැවැතුම් පුරුදු පුහුණු කිරීම් අතිශය ප්‍රශස්ත වේ. ඔවුන්ගේ ප්‍රතිපත්තියේ අරමුණ නිර්වාණය ඉලක්ක කිරීමයි. මෙම අරමුණ සපුරා ගත හැක්කේ පටිපත්තියෙනි. ඔබ මිනිසෙකු වශයෙන් මානව සමාජයේ සාමාජිකයෙකු වශයෙන් පරියත්තියෙන් හෙවත් ධර්මය පිළිබඳ හැදෑරීමෙන් ඔබගේ ජීවිතය ඇරඹිය යුතුය. ධර්මයෙන් වටහාගත් ශීලමය චර්යාවක් ඔබගේ නිවස තුළ හා සමාජ ජීවිතය තුළ පවත්වාගෙන යා යුතුය. ඔබ ඔබගේ නිවස තුළ හෝ සමාජ වටපිටාව තුළ අනෙක් සාමාජිකයන්ගේ සාමයට සමගියට අවිහිංසක පැවැත්මට බාධා කරන්නෙක් නම් ඔබ කෙසේ සාමය සමගිය ආරක්ෂා කරන්නෙක් වේද? එබැවින් එබඳු හිංසන සිදුවන කායික වාචසික ක්‍රියාවන්ගෙන් බැහැර විය යුතුය. සාධු සම්මත චරියාවන් පුරුදු පුහුණු කිරීමෙන් ඔබ තුළ ඇති වන ප්‍රතිපත්තිය ඔබ ප්‍රතිවේධය හෙවත් අවබෝධය කරා රැගෙන යයි. ගිහි පැවිදි භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම සත්‍යය පිළිබඳ අවබෝධය ලැබෙනුයේ මෙම ප්‍රතිපත්ති ශාසනයෙහි පිහිටා සිටියහොත් පමණකි. එසේ නොවන පුද්ගලයෙකු මෙකල තැනින් තැන හැඳින්වෙන ආකාරයේ බුදු පසේබුදු මහරහත් මගඵල ලාභියෙකු ලෙස තබා සද්පුරුෂයෙකු ලෙසවත් හඳුනාගැනීම වැරදි සහිතය. නිර්වාණගාමී ප්‍රතිපදාව ආත්මීය ලෙස නොගැනෙන ආත්මොත්කරෂණ පරවම්භනාදියෙන් විනිර්මුක්ත පිරිසුදු මානසිකත්වයක විකසිත වීමකි.


රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද සාහිත්‍ය ශිරෝමණී නරමානේ බුද්ධරක්‍ඛිත මා හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි

No comments:

Post a Comment