Wednesday, 16 September 2015

අවවාදය හා අනුශාසනය

අවවාදය හා අනුශාසනය

අවවාද අනුශාසනා නොසලකා කෙරෙන අධ්‍යාපනයෙන් සිදුවන්නේ විෂය දැනුම පමණක් සම්පූර්ණ කරගත් සදාචාරයෙන් පිරිහුණු පිරිසක් නිර්මාණය වීමයි. මෙහි ඛේදජනක තත්ත්වය වන්නේ අනාගතයේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට අවනත නොවන ප්‍රචණ්ඩකාරී දරුවන් නිර්මාණය වීමය. දරුවන් හා සිසුන් ශික්‍ෂණය කිරීමේ වගකීම හා අයිතිය දෙමාපියන් හා ගුරුවරුන් සතු දෙයකි. එහෙත් ඇතැම් දෙමාපියන් කල්පනා කරන්නේ දරුවන්ට අවවාද කිරීමට හෝ වරදට සුදුසු දඬුවමක් දීමට ගුරුවරුන්ට අයිතියක් නොමැති බවයි. මේ වැරදි ආකල්පය නිසා බොහෝ ගුරුවරු අවවාද දීමෙන් වැළකී සිටිති. මේ තත්ත්වය එතරම් යහපත් එකක් නොවන බව වටහා ගත යුතුවේ
බෞද්ධ සදාචාර දර්ශනයෙහි පුද්ගලයා ශික්‍ෂණය කිරීමේ කාර්ය හා යෙදෙන සුවිශේෂි පරියාය පද දෙකකි අවවාදය හා අනුශාසනය. කිසියම් වරදක් කිරීමට පළමුව එම වරදෙහි ආදීනව පෙන්වා දෙමින් මෙය කළ යුතුය, මෙය නොකළ යුතුය යනුවෙන් කෙරෙන කරුණු පැහැදිලි කිරීම අවවාදය වේ. එය නොසලකා යමෙක් වරදක් කළහොත් එහි බරපතළ බව පෙන්වා දෙමින් කෙරෙන කරුණු පැහැදිලි කිරීම අනුශාසනයයි. එසේම හික්මවීම උදෙසා කටයුතු නොකටයුතු දෑ දක්වමින් කරුණු කීම අවවාදයයි. නැවත නැවත කීම අනුශාසනයයි. මේ අනුව කෙනෙකු වරදට පෙළඹීමට පෙර මෙන්ම පසුවත් අවවාද හා අනුශාසනය මගින් පුද්ගලයා ශික්‍ෂණය කිරීම මෙහි අරමුණ බව පැහැදිලිය. මෙම පිළිවෙත ගිහි පැවිදි දෙපක්‍ෂයටම නිර්දේශ කර තිබේ. ගිහියන් සඳහා ඒ වෙනුවෙන් දෙමාපියන් හා ගුරුවරුන් නම් කර තිබෙන අතර පැවිදි සමාජය උදෙසා උපාධ්‍යාය හා ආචාර්යවරුන් පත්කොට තිබේ. මෙම දෙපක්‍ෂයේම පරම වගකිම වන්නේ තම දරුවා හෝ ශිෂ්‍යයා වරදින් මුදා ගෙන නිවැරදි දේට යොමු කිරීම සඳහා අවශ්‍ය අවවාදය හා අනුශාසනය සිදු කිරීමයි.
ගිහි සමාජය සම්බන්ධයෙන් ගත්විට දෙමාපියන් හා ගුරුවරුන්ගේ කාර්ය භාරය අතර පළමු හා වැදගත් වගකීම වන්නේ තම දරුවා හෝ ශිෂ්‍යයා පවින් වළක්වා යහපතෙහි යෙදවීම හා ශික්‍ෂණය කිරීමය. වර්තමානයේ ඇතැම් තරුණ තරුණියන් හා සිසු දරු දැරියන් දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අවවාද හා අනුශාසනය නොපිළිගැනීම හේතුවෙන් තම ජීවිත අවුල් කරගත් අවස්ථාද සුලබය. විෂය දැනුම පමණක් ලබාදීම අරමුණු කරගත් තරගකාරී අධ්‍යාපනය බෞද්ධ ඉගැන්වීම සමග එකඟ නොවේ. බුදුසමය අවධාරණය කරන්නේ පළමුව සදාචාරය වර්ධනය කළ යුතු බවයි. සිගාලෝවාද සූත්‍රයෙහි දෙමාපිය හා ගුරුවරුන්ගේ වගකීම හා යුතුකම ලෙස නිර්දේශ කරන්නේ දරුවා හෝ ශිෂ්‍යයා පළමුව සදාචාර සම්පන්න අයෙකු බවට පත්කිරීමේ වගකීමයි. හැදියාවෙන් තොර උගත්කම බුදුසමයෙන් ඇගයීමට ලක්නොවේ.
උගත්කම බබළන්නේ චරිත සංවර්ධනයෙන්ය. අවවාද අනුශාසනා නොසලකා කෙරෙන අධ්‍යාපනයෙන් සිදුවන්නේ විෂය දැනුම පමණක් සම්පූර්ණ කරගත් සදාචාරයෙන් පිරිහුණු පිරිසක් නිර්මාණය වීමයි. මෙහි ඛේදජනක තත්ත්වය වන්නේ අනාගතයේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට අවනත නොවන ප්‍රචණ්ඩකාරී දරුවන් නිර්මාණය වීමය. දරුවන් හා සිසුන් ශික්‍ෂණය කිරීමේ වගකීම හා අයිතිය දෙමාපියන් හා ගුරුවරුන් සතු දෙයකි. එහෙත් ඇතැම් දෙමාපියන් කල්පනා කරන්නේ දරුවන්ට අවවාද කිරීමට හෝ වරදට සුදුසු දඬුවමක් දීමට ගුරුවරුන්ට අයිතියක් නොමැති බවයි. මේ වැරදි ආකල්පය නිසා බොහෝ ගුරුවරු අවවාද දීමෙන් වැළකී සිටිති. මේ තත්ත්වය එතරම් යහපත් එකක් නොවන බව වටහා ගත යුතුවේ.
ගුරුවරයා යනු විෂය දැනුම් පමණක් ලබා දෙන්නෙක් නොවේ. සදාචාර සම්පන්න විනය ගරුක දරුවෙක් නිර්මාණය කිරීමද ගුරු භූමිකාවේ ප්‍රධාන වගකීමකි. නිවසේදී හා පාසලේදී දරුවෙකුට ලැබෙන මූලික සදාචාරමය ශික්‍ෂණය නොලැබීම අපරාධ වර්ධනයට එක් හේතුවකි. පෙර දිග සංස්කෘතියේ පවතින ඇතැම් වටිනාකම් බටහිර ලෝකයට තාමත් වටහා ගැනීමට අපහසු වී තිබේ. මේ නිසා බටහිරින් එන සියල්ලම අවිචාරයෙන් වැලඳගැනීමෙන් සිදුවන්නේ තවදුරටත් විනයෙන් පිරිහුණු සමාජයක් නිර්මාණය වීම පමණි. අවවාදය හා අනුශාසනය අවශ්‍ය වන්නේ දරුවන්ට හා සිසුන්ට පමණක් නොව වැඩිහිටි පිරිසටද එය වැදගත් වේ. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් මානසික දුර්වලතා පවතින තාක් පුද්ගලයාගේ හැසිරීම පූර්ණ වශයෙන් යහපත් නොවේ. අවබෝධයක් සහිත පුද්ගලයාට වුව කලින් කලට ඒවායේ බලපෑමට යටත් වීමට සිදුවේ. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිදුවීමට තිබෙන ඉඩප්‍රස්ථා සුලබය. මෙම පසුබිම යටතේ පරිණත වැඩිහිටියෙකුට වුවද අවවාද අනුශාසනා මෙන්ම මගපෙන්වීම් අවශ්‍ය වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ධර්ම විනය තම ශාස්තෘවරයා වශයෙන් තබාගැනීමෙන් පෙන්වූයේ එම ආදර්ශයයි. විනය පිටකයේ වත්තක්ඛන්ධකයෙහි අන්තේවාසිකයා හා සද්ධිවිහාරිකයා සදාචාරසම්පන්නව ශික්‍ෂණය කිරීමේ ආචාර්ය උපාධ්‍යාය වගකීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ. අන්තේවාසිකයා ආචාර සමාචාරයෙහි හික්මවනු ලබන්නේ ආචාර්යවරයාය සද්ධිවිහාරිකයාට සාවද්‍ය හා නිරවද්‍ය දේ පෙන්වාදෙන්නේ උපාධ්‍යායවරයායි. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධය පියපුතු සබඳතාව හා සමානකොට දක්වා තිබේ. ගුරුවරයා ශිෂ්‍යයා තම පුතු වශයෙනුත් ශිෂ්‍යයා තම ගුරුවරයා පියා වශයෙනුත් සැලකිය යුතු යැයි අවධාරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවෙහි පවතින පරිපූර්ණ බැඳීමයි. වත්තක්ඛන්ධකයේ දැක්වෙන ගුරු ශිෂ්‍ය සබඳතාව වර්තමාන පාසල් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක විය යුත්තකි. අතීතයේ ගුරු දෙමාපියන් හා සිසු දරු දැරියන්ගෙන් සමන්විත වූ පාසල හා අනෙකුත් ඇතැම් අධ්‍යාපන ආයතන පිරිහීමට පත් වී තිබෙන්නේ අවවාදය හා අනුශාසනයේ වටිනාකම නොදැකීම හේතුවෙන්ය.
අනුපසම්පන්න සාමණේරයන් මෙන්ම උපසපන් භික්‍ෂුවක් වුවද දස වසක් තම ආචාර්ය උපාධ්‍යාය ඇසුරෙන් නොමිදිය යුතුයැයි විනයෙහි සඳහන් වේ. කිසියම් භික්‍ෂුවක් ස්වයං ශික්‍ෂණයෙන් කටයුතු කළ නොහැකි පුද්ගල දුර්වලතාවන්ගෙන් යුක්ත අයෙක් නම් උන්වහන්සේ දිවිතෙක් ආචාර්ය උපාධ්‍යාය ඇසුරේ වාසය කළ යුතුයි. ගුරු ඇසුරෙහි පවතින වටිනාකම කොතරම්දැයි මෙයින් වටහාගත හැකිවේ. ගිහි වුවද පැවිදි වුවද අවවාද හා අනුශාසනය ලබාදෙන දෙමාපියන් හා ගුරුවරුන්ගේ ඇසුර ලැබීම භාග්‍යයකි.
විෂය පමණක් නොව සදාචාරාත්මක චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ඔවදන් හා අනුශාසනා ලබාදීම ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීමකි. එහෙත් අවවාද හා අනුශාසනා කිරීමට පළමුව තමා ආදර්ශමත් අයෙකු විය යුතුවේ. අවවාදයට වඩා ආදර්ශය උතුමේ වේ. වචනයෙන් පමණක් කෙරෙන මගපෙන්වීම් අර්ථවත් නොවේ. ධම්මපදයෙහි දැක්වෙන්නේ අනුශාසනා කිරීමට පළමු තමා නිවැරදි පිළිවෙතෙහි පිහිටිය යුතු බවයි. මඩෙහි එරී සිටින්නෙකුට මඩේ එරී සිටින වෙනත් අයෙකු එයින් ඉවත් කළ නොහැකිය. එබැවින් අවවාද හා අනුශාසනා කිරීමට පළමුව තමා ආදර්ශමත් වීම අතිශය වැදගත් වේ. සදාචාර ශික්‍ෂණයෙන් තොර මව්පියන්ගේ හෝ ගුරුවරුන්ගේ අවවාද හා අනුශාසනා පිළිගැනීමට දරුවන් හා සිසුන් තුළ කැමැත්තක් ඇති නොවේ. අවවාද හා අනුශාසනය කළ යුත්තේ සතර අගතීන්ගෙන් තොරවයි. වරදින් මුදවා යහපතෙහි යෙදවීමේ යහපත් අරමුණ පෙරදැරිවය. අවවාදයෙන් හා අනුශාසනයෙන් ශිෂ්‍යයා හික්මවන ගුරුවරයෙකු සතුවිය යුතු ලක්‍ෂණ රැසක් විනය පිටකයේ වත්තක්ඛන්ධකයේ ඉදිරිපත් කෙරේ. එම සදාචාර ගුණ ගිහි පැවිදි ගුරුවරු සියලු දෙනාටම පොදුවේ තමන් තුළ වගා කර ගැනීමෙන් තම අවවාදය හා අනුශාසනය අර්ථවත් ආකාරයෙන් සිදුකළ හැකිවේ.
අවවාද හා අනුශාසනය පිළිගැනීම කීකරු බවේ ලක්‍ෂණයකි. ධම්මපදයේ දැක්වෙන්නේ තම වරදට නිග්‍රහකොට දැඩිලෙස අවවාද කරන තැනැත්තා නිධානයක් පෙන්වාදෙන අයෙකු වශයෙන් සලකා කටයුතු කරන ලෙසයි. යහමග පෙන්වන අවවාද අනුශාසනා කරන ගුරුවරයෙකු කළ්‍යාණමිත්‍රයෙකු නොමැති තැන ජීවිතය සැබැවින්ම අඳුරු වේ. මහා පොළොවේ වැලිකැට ගාණට අවවාද ලැබේවායි රාහුල හිමියන් ප්‍රාර්ථනා කළේ අවවාදයේ හා අනුශාසනයේ වටිනාකම මැනවින් අවබෝධකරගත් නිසයි. සමාජයක ප්‍රාථමික සමාජානුයෝජන ක්‍රියාවලිය සිදුවන්නේ නිවසෙන් හා පාසලෙන්ය. සමාජයට අවශ්‍ය යහපත් සාමාජීකයන් හැඩගස්වන ප්‍රධානම ආයතන දෙක නිවස හා පාසලයි. මෙහිදී නිසිපරිදි සමාජානුයෝජනය නොවීමෙන් අපගාමි පෞරුෂ සහිත පුද්ගලයන් නිර්මාණය විය හැකිය. සමාජයක බොහෝ අපරාධ මෙන්ම විනය විරෝධි ක්‍රියා සිදුවන්නේ මෙම අපගාමී පෞරුෂ ලක්‍ෂණ සහිත පුද්ගලයන්ගෙන්ය. සමතුලිත පෞරුෂයක් සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක් නිර්මාණයෙහිලා බෞද්ධ සදාචාර ශික්‍ෂණය යටතේ ඉදිරිපත් කෙරෙන අවවාදය හා අනුශාසනය නිවසෙහි මෙන්ම පාසලෙහිද නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි

No comments:

Post a Comment