Monday, 14 September 2015

ආඝාතපටිවිනය හෙවත් ද්වේශයෙන් නිදහස් වීම

ආඝාතපටිවිනය හෙවත් ද්වේශයෙන් නිදහස් වීම


කුමන හෝ චාරිත්‍ර විදියක් නිසා හෝ එකිනෙකා අතර සමගිය සාමදානය කරුණාව මෛත්‍රිය තහවුරු වනවා නම්, එය සමාජයේ ප්‍රගතියට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් වර්තමාන සමාජය තුළ වඩාත් දැකිය හැකි වන්නේ තාවකාලිකව සිදුවන මිත්‍රත්වයක් මිස එය දීර්ඝකාලීනව සිදු නොවන්නක් බවය. එය දීර්ඝකාලීන සිදුවන දෙයක් බවට පත්කළ හැකි වන්නේ ජීවිතය සහ ලෝකය පිළිබඳව යම්කිසි ගැඹුරකට විග්‍රහ කර ගැනීමට හැකියාව ලැබීමෙන් පසුව ය.
බුද්ධ දේශනාව මගින් සිදුකරනු ලබන්නේ ජීවිතය සහ ලෝකය පිළිබඳව යථාර්ථය විග්‍රහ කර දීමයි. එම ජීවිත යථාර්ථය තේරුම් ගැනීමට, කිසියම් පුණ්‍ය ශක්තියක් මෙන් ම විචාර බුද්ධියකින් යුතු මිනිසෙකු විය යුතුය. තණ්හාවෙන් බරිත වූ සමාජය තුළ මව පියා ගුරුවරයා සහෝදරයා සහෝදරිය ආදී පමණක් නොව අහිංසක දරුවන් ද මේ කිසිවෙක් නොසලකා හරියි. එනම් දීර්ඝ කාලයක සිට ශිෂ්ට සමාජයක් ලෙසින් ගොඩනැගූ සියලු හර පද්ධතීන් අකා මකා තම අභිප්‍රාය ඉටුකර ගැනීමට ප්‍රයත්න දරති. ආවේගකාරී මානසික මට්ටම තුළම ඇතිවන ද්වේශකාරී මානසික තත්ත්වය තේරුම් ගෙන පාලනය කිරීමට මෙන්ම සම්පූර්ණයෙන් ම දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ මනුස්ස සමාජයට ලබා දී ඇති උපදේශ සහ ඉගැන්වීම් බොහෝ ය. එයින් ඔබගේ අවධානයට යොමු කරන්නේ අංගුත්තර නිකායේ ඇතුළත් අඝාතපටිවිනය සූත්‍රයයි. ආඝාත යනු ද්වේශයයි. එය කල් ගතවූ පසු වෛරයයි. කෙනෙකුගේ ස්වසන්තානය තුළ ද්වේශයක් හට ගැනීමට හේතු බොහෝ ය. ඒ හේතු මොනවාදැයි මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන අතර ආඝාතය හෙවත් ද්වේශය සංසිඳුවා ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට උගන්වන උපදෙස් මොනවා දැයි මෙහිදී සාකච්ඡා කිරීම කාලෝචිත යයි සිතමි.
මහණෙනි යම් අරමුණක් නිසා උපන් ද්වේශය සම්පූර්ණයෙන් ම දුරු කටයුතු වේ නම් ඒ සඳහා උපායෝ පස් දෙනෙක් පවතී. එනම්
1. මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපන්නේ නම් ඔහු කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය.
2. මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපන්නේ නම් ඔහු කෙරෙහි කරුණාව පැතිරවිය යුතු ය.
3. මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපන්නේ නම් ඔහු කෙරෙහි උපේක්ෂාව පැතිරවිය යුතු ය.
4. මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපන්නේ නම් ඔහු කෙරෙහි අසති අමනසිකාරය හෙවත් සිහි නොකොට මෙනෙහි නොකළ යුතුය.
5. මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපන්නේ නම් ඔහු ගේ කෙරෙහි කර්ම ස්වභාවය මෙනෙහි කළ යුතු ය.
මේ උපදෙස් පහ අප තේරුම් කර ගැනීමට ප්‍රථමයෙන් වටහා ගත යුතු කාරණය නම්, ද්වේෂය ලබන කෙනාට වඩා ද්වේෂය උපදවා ජීවිතය ගතකරන තැනැත්තාට සිදුවන හානිය අති විශාල බවයි. මේ අති විශාල හානිය දුරු කර ගැනීම ඉතා උසස් ජීවිත විමුක්තියකි. එය බුදුරජාණන් වහන්සේ මෙත්තා චේතෝ විමුක්ති යනුවෙන් දේශනා කර ඇත. මේ ශ්‍රේෂ්ඨ විමුක්තිය ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවකම දේශනා කර තිබීමෙන් පැහැදිලි වන්නේ ද්වේශයෙන්, වෛරයෙන් නිදහස් වු තැනැත්තා ඉතා උසස් මානසික මට්ටමකින් හෙබි කෙනෙක් වන බවයි. තමන් අකැමැති අමනාප පුද්ගලයෙකු කෙරෙහි මෛත්‍රිය දැක්වීම කොතරම් අපහසු කටයුත්තක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ආවේග ඉපදවීම ආවේග වලට අනුකූ®ලව කටයුතු කිරීම ඉතා පහසුවෙන් සිදුවන බව පුද්ගල ක්‍රියාකාරකම් මගින් පැහැදිලි වුණත් පහසුවෙන් කරන දුක් විපාක ලබා දෙන, අපහසුවෙන් කරන සැප විපාක ලබා දෙන ආදී ක්‍රියාවන් පිළිබඳව දේශනා කොට ඇත. මිනිසාගේ වගකීම කුමන හේතුවක් පදනම් කොට ගෙන හෝ ආවේග ඉපදවීම, ආවේග මත යැපීම, නොව ආවේග පාලනය කොට දුරු කිරීමයි. ඒ සඳහා කැපවීමක් කළ යුතුම ය. එසේ සිතන තැනැත්තාට තමා අමනාප, අප්‍රිය කෙනෙකුට මෛත්‍රී සිත ඉපිදවීම පමණක් නොව මෛත්‍රී කාය කර්මයෙන් ද, මෛත්‍රී වචී කර්මයෙන් ද, සංග්‍රහ කිරීමට හැකියාව ලැබෙනු ඇත. අද සමාජය තුළ එවැනි දේ කෙසේ වෙතත් තම හිතවත් මිත්‍රයාගේ වුවද සැපය නිරෝගිකම අභිවෘද්ධිය මුදිතාවෙන් බාර ගැනීමට වත් නොහැකි වීමෙන් ඔවුනොවුන් අතර ඊර්ෂ්‍යා ක්‍රෝධ ද්වේශ සිතිවිලි පටලවා ගැනීමෙන් මනුස්සයාගේ සිතුම් පැතුම් කොතරම් පිරිහි ඇත්දැයි තේරුම් ගත හැකි ය.
බුදුරජාණන් වහන්සේ ද්වේශය දුරු කිරීමට දෙවනුව දෙන ධර්ම උපදේශය තමා අමනාප අප්‍රිය පුද්ගලයා කෙරෙහි කරුණාව උපදීමයි. කරුණාවේ මූලික ලක්ෂණය දුකට පත්වී ඇති කෙනෙකු ඒ දුකින් මුදවා ගැනීමට කල්පනා කිරීමේ ලක්ෂණයයි. ක්‍රෝධයෙන්, වෛරයෙන් දිවි ගෙවන තැනැත්තා සැබැවින්ම බුදු දහමට අනුව දුකට පත්වී සිටින තැනැත්තෙකි. ද්වේශය පවත්වාගෙන වාසය කරන තැනැත්තා කාය චිත්ත වශයෙන් අප්‍රමාණ පීඩාවට ලක් වූ කෙනෙකි. එහෙත් ඔහුගේ අනුවණ කම නිසා හෝ පූර්වගත කර්මය නිසා හෝ වෙනත් කෙනෙකුගේ ඉගැන්වීමක් නිසා හෝ මේ ආදි වශයෙන් කුමන හෝ හේතුවක් නිසා ඒ ද්වේශ තැනැත්තාට ඒ ද්වේශයේ අනිෂ්ට විපාක අවබෝධ කර ගැනීමට සිහි එලවා ගැනීමට නොහැකිව තම ස්වසන්තානයේ හටගත් ද්වේශය වෛරය නිසා රෑ දිවා දෙකේ අප්‍රමාණ කාය පීඩාවකට ලක් වන්නේ ය. එබැවින් මට මොන වචන ප්‍රකාශ කළත්, මොන දේ කළත්, මගේ දරුවන්ට මගේ මිත්‍රයන්ට මොන දේ කළත්, මොන දේ ප්‍රකාශ කළත්, අතීතයේ මට මේ මේ දේ ප්‍රකාශ කර තිබුණත්, මේ මේ දේ කළත්, වර්තමානයේ ද අනාගතයේ ද පෙර සේම මේ තැනැත්තා කටයුතු කළත්, මේ ද්වේශය නිසා මේ තැනැත්තා මොන තරම් කාය චිත්ත පීඩා විඳිනවා දැයි සිතමි. ඔහු කෙරෙහි තරහ සහගත සිතිවිලි ඉපිදවීමෙන් ඔහු කෙරෙහි පෙරළා ද්වේශයෙන් ඉපදවීම වැලැක්විය හැකි බව මෙහිදී දේශනා කරති.
බුදුරජාණන් වහන්සේ පහදා දෙන තුන් වන ධර්මඋපදේශය තමාට අමනාප අප්‍රිය පුද්ගලයා කෙරෙහි උපේක්ෂා සහගත බව හෙවත් මැදහත් බවක් ඇතිකර ගත යුතු බව යි. ඒ මධ්‍යස්ථබව ලෙස සලකන්නේ ද්වේශ සහගත සිතිවිලි අතහැරීම පදනම් කරගෙන ය. ඒ නිසා ඒ අමනාප අප්‍රිය තැනැත්තා පසිඳුරන්ට ගෝචර වීමෙන් හෝ ඉන්ද්‍රිය මාර්ගයෙන් මනසේ ඇතිකර ගත් ස්වභාවයක් හෝ ඒ රූපයන් විපරිණාම වශයෙන් විරාග වශයෙන් අනිත්‍ය වශයෙන් දැකීමත් පෙරත් රූප කෙනෙක් පැවතිය ද, දැනුත් රූප කෙනෙක් ඇති ද, ඒ හැම රූපයෝ අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්භාවයෙන් යුක්ත යැයි, මේ ආකාරයෙන් සත්ව පුද්ගල ස්භාවයක් උපදවන්නේ නැතිව මේ ධර්මයෝ මෙසේ යැයි තේරුම් ගැනීම එහි දක්වන උපේක්‍ෂාවයි. එමගින් ඉන්ද්‍රිය මාර්ගයෙන් ස්වසන්තානයේ ඇති වුණු වෛරී රූපයක් ඉක්මවා සිටීම උපේක්ෂාවයි.
අපේ බුදුරජාණන් වහන්සේ ද්වේශය දුරු කිරීමට හතරවනුවට දෙන උපදේශය නම්, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේෂය උපදින්නේ නම්, ඒ පුද්ගලයා සිහි කරන්නේ නැතිව, මෙනෙහි කරන්නේ නැතිව අතහැර දැමීමයි. එනම් ඒ තැනැත්තා අරමුණු කොට සිත තුළ මෙනෙහි කිරීමෙන්, අරමුණු කිරීමෙන් වැලකී සිටීමයි. කාලය ගතවීමෙන් එවිට ඔහු කෙරෙහි පවත්නා ද්වේශය තුනීවී දුරුවී යා හැකි ය.
බුදුරජාණන් වහන්සේ මුල් කාරණාවෙන් දේශනා කළේ සතුරාට මෛත්‍රී කිරීමයි. එයින් අපහසු නම් කරුණාව උපදවා ගත යුතු බවයි. තුන්වනුව පුද්ගල ප්‍රතිබද්ධ ස්වරූපය සිතට නොනගා රූපාදී අරමුණු විපරිණාම, විරාග අනිත්‍ය වශයෙන් බලා මධ්‍යස්ථ වීමයි. එසේත් නොමැති නම්, සිතට අරමුණු වශයෙන් නොගෙන නොමෙනෙහි කිරීමෙන් වාසය කිරීමයි. පස් වෙනුව අපේ බුදුරජාණන් වහන්සේ දෙන ධර්මඋපදේශය නම්, මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ද්වේශයක් උපදවන්නේ වේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි කර්ම ස්වභාවය මෙනෙහි කළ යුතු ය. ඒ කෙසේ ද යත්, මේ පුද්ගලයා කර්මය ස්වකීය කොට ඇති කෙනෙකි. කර්මය දායාද කොට ඇති කෙනෙකි. කර්මය විපාක කොට ඇති කෙනෙකි. ඔහු කරන ලද කර්මයන් ඔහුට කල්‍යාණ කොට පාප කොට මෙසේ කර්මය දායාද කොට පවතින්නෙකි යන ආදී වශයෙන් කම්මස්සකතා සම්මාදිට්ටිය උපදවිය යුතුය. මෙසේ කම්මස්සකතා ස්වරූපය මෙනෙහි කරන්නේ සංසාරික සත්වයන් හැටියට සියලු සත්වයන්ගේ ස්වරූපය සියලු සත්වයන්ගේ ජීවිතය පවතින ආකාරය තේරුම් ගෙන තමා ඒ තැනැත්තා නිසා අලුත් කර්ම උපදවීමෙන් වැලකී සිටීමයි. සම්මත ලෝකය තුළ පුද්ගලාන්තර ගැටලුවලදී දිනීම පරාජය කුමන විනිශ්චයක් යටතේ සිදුවූවත්, කර්ම විනිශ්චය සාධාරණ ව තේරුම් ගැනීම මගිනුත් සිත සන්සුන් කර ගත හැකිය. එකට එක කිරීම හෝ සතුරාගෙන් පළිගැනීමට ඇති නොහැකියාව නිසා ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමක් වශයෙන් කර්මානුරූපීව විග්‍රහ කර ගැනීම බව කිව යුතුය.
අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ද්වේශය දුරු කිරීම පිළිබඳව භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළහ. මේ සස්නේ ඇතැම් පුද්ගලයෙක් අපිරිසුදු කාය සමාචාරයෙන් යුක්ත එහෙත් පිරිසිදු වාග් සමාචාරයෙන් යුක්ත නම්, ඇවැත්නි මෙවැනි පුද්ගලයා කෙරෙහි ද්වේශය දුරු කළ යුතුයි. එමෙන් ම මේ සස්නේ ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කාය සමාචාරයෙන් යුක්ත එහෙත් අපිරිසිදු වාග් සමාචාරයෙන් යුක්ත නම්, ඇවැත්නි, මෙවැනි පුද්ගලයා කෙරෙහි ද්වේශය දුරු කළ යුතුයි යන ආදී වශයෙන් අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේට මේ කරුණු දිගට පැහැදිලි කර දී උන්වහන්සේ උදාහරණ ගෙනහැර දැක්වූ සේක.
මහණෙනි යම් පාංශුකූල වස්ත්‍රයකින් යැපෙන භික්ෂුවක් විදිහට ඉවත ලූ දිරාගිය පරණ රෙදි කඩක් දැක, එය ගෙන දිගහැර බලා දිරා ගිය කොටස ඉවත් කොට සාරයක් ඇති කොටස ඉරාගෙන යන්නේ වේ ද, ඇවැත්නි ඒ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් අපිරිසිදු කාය සමාචාරයෙන් යුක්ත එහෙත් පිරිසුදු වාග් සමාචාරයෙන් යුක්ත වේද, එකල්හි ඔහුගේ යම් අපිරිසුදු කාය සමාචාරය වේ ද, එය මෙනෙහි නොකොට ඔහුගේ යම් පිරිසිදු වාග් සමාචාරයක් වේ ද, එය මෙනෙහි කළයුතුය. එමගින් ඔහු කෙරෙහි ඇති ද්වේශය දුරු කළ යුතුය. අපි වඩාත් කෙනෙකු දෙස බැලිය යුත්තේ ද්වේශ කිරීමට වෛර කිරීමට ඔහු තුළ පවතින හේතු නොව ඔහුට මිත්‍රත්වයෙන් සැලකීමට එසේත් නැත්නම්, කරුණාව ඉපදවීමට හේතුවන කරුණු මොනවා ද යන්නයි.
සෞභාග්‍ය මෙන්ම අන්‍යොන්‍ය විශ්වාසය, සමගිය, සමාදානය ඉතසිතින් අපේක්ෂා කරන්නන් විසින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ලද ආඝාතපටිවිනය හෙවත් ද්වේශය දුරු කිරීම සඳහා අපට ලබාදෙන ධර්ම උපදේශ ඉතා හොඳින් අධ්‍යනය කොට, භාවිත කොට බහුලීකොට සමාජයේ යහපත් ප්‍රගමණය පිණිස තමතමාගේ සහයෝගය, ආධ්‍යාත්මික අවබෝධය තුළින්ම ලබාදීමට උත්සුක විය යුතුය.
ගනේමුල්ල ආනන්දබෝධි ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමි

No comments:

Post a Comment