Tuesday, 1 September 2015

නිවන් මඟ ආලෝකමත් කරන මහා විතර්කයෝ

නිවන් මඟ ආලෝකමත් කරන මහා විතර්කයෝ

සංසාර විමුක්තිය බලාපොරොත්තුවෙන් අධ්‍යාත්මික ජීවිතය දියුණු කරන ගිහි, පැවිදි දෙපාර්ශවයම නිතර ධම්මානුපස්සනාව යටතේ විතර්ක පිළිබඳ සාකච්ඡා කරති. වඩාත් සාකච්ඡාවට යොමු වන්නේ නිවන් මඟ අහුරන සිතිවිලි හා බැඳී පවතින ලාමක විතර්කයන් පිළිබඳවය.එනම් මූලික වශයෙන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වශයෙනි. ඒවා සසරට බැඳ තබන ලාමක වූ ද ග්‍රාම්‍ය වූ ද හීන වූද සිතිවිලි බව අපි කවුරුත් දන්නෙමු.
එහෙත් සංසාර විමුක්තිය විවෘත කරන යහපත් විතර්ක මොනවාදැයි වැඩිපුර සාකච්ඡාවට යොමු නොවේ. මේ ධර්ම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ ඒවා පිළිබඳ කිසියම් සංක්ෂිප්ත අදහසක් ප්‍රකාශ කිරීමටය.
වරෙක අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරි භේසකලා වනයේ වාසය කරන සේක. ඒ කාලයේ ආයුෂ්මත් අනුරුද්ධ ස්වාමින් වහන්සේ චේතිය දනව්වේ එනම්, බුදුරජාණන් වහන්සේ වැඩහුන් තැනින් පෙරදිග හුණ වන ලැහැබක වැඩ සිටි සේක.
උන්වහන්සේ හුදෙකලාව වැඩ වසන අවස්ථාවේ උන්වහන්සේගේ ස්වසන්තානය තුළ මෙබඳු අදහසක් පහළ විය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කළ හැකි වන්නේ,
* අල්පේච්ඡතාවයෙන් යුක්ත කෙනකුට මිස මහේච්ඡතාවයෙන් යුක්ත, එනම් ලෞකික වශයෙන් ලොකු අපේක්‍ෂා ඇත්තකුට නොවේ.
* තවද, මේ ධර්මය අනුගමනය කළ හැකි වන්නේ සන්තුෂ්ටිතාව හෙවත් ලද දෙයකින් සතුටු විය හැකි කෙනකුට මිස අසන්තුෂ්ටිතාවයෙන් යුතු කෙනකුට හෙවත් නොලැබුණ දේ ගැන සිතමින් සිටින කෙනකුට නොවේ.
* තවද, මේ ධර්මය අනුගමනය කළ හැකි වන්නේ ආරබ්ධ වීරියෙන් යුතු කෙනකුට මිස කුසීත වූ කෙනකුට නොවේ ය.
* එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දියුණු කරගත හැකි වන්නේ විවේකයට කැමැති වූ කෙනකුට මිස සංඝණීකාරාම හෙවත් නිතර දෙතිස් කතා අල්ලාප සල්ලාපවල යෙදෙන්නකුට නොවේ ය.
*මේ ධර්මය අනුගමනය කළ හැකි වන්නේ සතිය මැනැවින් පවත්වන්නකුට මිස සිහිය නිතර විකල් වන්නකුට නොවේ ය.
* එමෙන් ම තථාගත ධර්මය අනුගමනය කළ හැකි වන්නේ සමාහිත සිතක් ඇත්තකුට මිස අසමාහිත සිතත් ඇත්තකුට නොවේ ය.
* මේ ධර්මය ප්‍රඥාවන්තයකුට මිස දුෂ්ප්‍රාඥයකුට නොවේ ය.
යනුවෙන් හුදෙකලාව වැඩසිටි අනුරුද්ධ ස්වාමීන් වහන්සේට විතර්ක හිතක් පහළ විය. ඒ සමීපයේ සුංසුමාරගිරි භේසකලා වනයේ වැඩසිටි අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ විතර්කයන් තම සිතින් දැන, යම් බලවත් පුරුෂයකු වක් කළ අතක් දිගු කරන්නේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ ද, ඒ ආකාරයට තමන් වහන්සේ භේසකලා වනයෙන් අතුරුදන්ව චේතිය ජනපදයේ පෙරදිග පිහිටි හුණ වනයේ විසූ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හමුවේ පහළ වූ සේක. එවිට පැන වූ අස්නක් මත වැඩමවූ බුදුරජාණන් වහන්සේ, “අනුරුද්ධයෙනි මැනැව මැනැව. තෙපි යම් මහා පුරුෂ විතර්කයක් විතර්කනය කරහු ද, එය ඉතා මනා ය. එසේ නම් අනුරුද්ධයෙනි තෙපි විසින් විතර්ක කරන ලද ඒ මහා විතර්ක හතට අටවෙනි වූ මහා පුරුෂ විතර්කනය කරවව් යැ”යි වදාරමින,
* මේ ධර්මය නිෂ්ප්‍රපංචයාට මිස ප්‍රපංචයාට නොවේ යැයි වදාළ සේක.
“අනුරුද්ධයෙනි, මේ මහා පුරුෂ විතර්ක යම් තාක් කල් තෙපි කැමැති වන්නේ නම් එවිට කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට වැද වාසය කරන්නාහුය.”
බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ මහා විතර්ක ඇසුරු කරන කල්හි අධ්‍යාත්මික ජීවිතයේ පහසුවෙන් චතුර්ත්‍ය ධ්‍යාන ලබන ආකාරයත් අධිචිත්ත ආදී වශයෙන් පෙන්නුම් කරනු ලබන නිවන් මඟ ඉතා පහසුවෙන් කෙළවර කිරීමට හැකිවන ආකාරයත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කළ සේක.
බුදුරජාණන් වහන්සේ එතැනින් වැඩමකොට භේසකලා වනයේ දී භික්‍ෂූන් වහන්සේ අමතා මේ අෂ්ඨ මහා විතර්ක දේශනා කළ සේක. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ අෂ්ඨ මහා විතර්ක නැවත නැවත සිතට නඟමින් සම්මර්ශනය කරමින් ගතකොට පැවිදිව අඩමසක් ගෙවන්නට මත්තෙන්, යම් අරමුණක් වෙනුවෙන් ශාසන බ්‍රහ්මචරියාවට බැසගත්තාහු ද එය මහරහත් බවින් අවසන් කළ සේක.
බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ශාසන ප්‍රතිපදාව අනුගමනය කිරීමට යම් ගිහියකුට හෝ පැවිද්දකුට හෝ හැකියාව ලැබෙන්නේ පෙර පුණ්‍ය මහිමය නිසා ය. අපේ ජීවිතවල ආයුෂ අල්පය. පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් ලද මනුෂ්‍ය ජීවිතයෙහි මේ මහා විතර්කයන් නැවත නැවත සිහියට නඟමින් එයට අනුගත ජීවිතයක් හැඩගස්වා ගත හැකිය. යමක් දියුණු වන්නේ අවශ්‍යතාවයට අනුකූලවය. සසර දුකින් නිදහස් වීමේ අවශ්‍යතාව ඉතා හොඳින් තිබෙන්නකුට මේ මහා විතර්කයන් ගැටලුවක් නොවන්නේ ය. එහෙත් බහුතර සමාජය අල්පේච්ඡතාව, ලද දෙයකින් සතුටු වීම ආදියට කැමැති නැත. සංඝණිකාරාමය හෙවත් බුදුරජාණන් වහන්සේ නොකළ යුතු යැයි වදාළ දෙතිස් කතාවෙන් වැඩි දෙනෙකුගේ මුළු ජීවිතයම පිරී ඇත.
පොහොය අටසිල් සමාදන් වන්නේ මසකට වරක් වුවත් එදිනද වැඩි දෙනකුගේ සාකච්ඡා මේ දෙතිස් කථා අනුවය.දෙතිස් කථා බැහැරකොට දස කථාවෙන් යුක්ත වන්නට තථාගතයන් වහන්සේ දේශනා කර ඇතත්, එය ගිහි, පැවිදි වැඩි දෙනකුට අමතකය. අනෙකුත් කරුණු ගැනද මෙසේම ය. නිවන් මඟ සාදාගන්නේ දුර්ලභ අල්ප පිරිසක් බව අපි දන්නෙමු. ඒ නිසා අද මෙරට තුළ මේ මහා විතර්කයන්ගෙන් සමන්විත ගිහි, පැවිදි ඇත්තන් නැතුව නොවේමය. තම තමන්ගේ ජීවිත ආවර්ජනාව ඇති කර ගනිමින් ලාමක විතර්ක වෙනුවට මේ මහා විතර්ක සිහි ගන්වා තේරුම් කරවා ගනිමින් භාවනා මනසිකාරයට යොමු කරවා ගැනීමෙන් ප්‍රඥා සංග්‍රහ කොට බැලීමෙන් කටයුතු කරන්නකුට නිවන නුදුරේ බව සිහි ගන්වමි.
ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති, ශාස්ත්‍රපති
පාතේගම සුමනරතන හිමි

No comments:

Post a Comment