Saturday, 15 August 2015

ආනාපානසති කායානුපස්සනාව



ආනාපානසති කායානුපස්සනාව

නිවන් අවබෝධය පිණිස වීර්යය වඩන අතීත උතුමන් ඉක්මන් හා වටිනා ප්‍රතිඵලයක් ළඟා කර ගන්නේ ආනාපාන සති භාවනාවෙනි. නිර්වාණාවබෝධය සඳහා ආනාපාන සතියෙහි වැදගත්කම හා උපයෝගීතාව දක්වන බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ආනාපානසතිය වඩන්න, එය (සත් ආකාරයකින්) වඩන තැනැත්තාට මහත් වූ ඵල හා ආනිශංස ලබාදෙයි. මහණෙනි, ආනාපානසතිය බහුල වශයෙන් වඩනවිට සතර සතිපට්ඨාන සම්පූර්ණවෙයි. සතර සතිපට්ඨාන වැඩූ කළ සප්ත බොජ්ඣංග සම්පූර්ණ වෙයි.

සප්ත බොජ්ඣංග වැඩූ කල විද්‍යා විමුක්ති සම්පූර්ණ වෙයි. යනුවෙන් වදාළහ. මෙහිදී විද්‍යා හා විමුක්ති යනුවෙන් අදහස් කරන්නේ ආර්ය ශ්‍රාවකයාට ලබා ගත හැකි ඉහළම අධිගමයන් වන අෂ්ට විද්‍යා, චේතො විමුත්ති හා පඤ්ඤා විමුක්තීන්ය.

ආනාපානසති භාවනා වඩන ආකාරය කමටහනක් ලෙස පිළිවෙළින් දක්වන මූලික දේශනා 19 ක් ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ. එයින් එකක් දීඝ නිකායේ ද, හතරක් මජ්ඣිම නිකායේ ද, එකොළහක් සංයුත්ත නිකායේද, එක බැගින් අංගුත්තර නිකායෙහි, පටිසම්භිදා මග්යෙහි හා පාරාජිකා පාලියෙහි ද ඇතුළත් වේ. ආන යනු අශ්වාසයි. ආපාන යනු ප්‍රශ්වාසයයි. ඒ අශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි පිහිටුවන ලද සතිය ආනාපානසතියයි.

මේ සඳහා නිර්දේශ කොට ඇත්තේ නිසීදති හෙවත් හිඳගෙන සිටීමයි. එහිදී උඩුකය සෘජුව තබා ගත යුතු වීම ඉතා වැදගත් ය. එහෙත් එය තදකර සෘජු කර ගැනීම නුසුදුසුය. කය සැහැල්ලු කර ගත යුතු වේ. ආනාපාන සතිය වැඩීමේ දී තම හුස්ම කෙරෙහිම අවධානය යොමුකළ යුතුවේ. එය පරිමුඛංසතිං උපට්ඨපෙත්වා යනුවෙයි. තම හුස්ම පිළිබඳ සිහිය පිහිටුවාගැනීම ඉන්පසු කළ යුතු වේ. එය ආකාර 32 කින් හා ක්‍රමවේද 16 ක් යටතේ සූත්‍රවල පෙන්වාදෙයි. එම ක්‍රම 16 වඩන ආකාරය අනුව ප්‍රධාන ක්‍රමවේදයන් 02 කි. එනම් කායික ක්‍රියාකාරීත්වය අනුව ඉබේ සිදුවන ක්‍රියාවලිය දෙස අවධානයෙන් බැලීම හා සිතාමතා තමාට අවශ්‍ය පරිදි හුස්ම ගැනීම වශයෙනි. ක්‍රම දහසයකින් (16) යුතු දීර්ඝතම කමටහන ඉගැන්වෙන ආනාපානසති වැනි සූත්‍ර දේශනාවන්හි එය මෙසේ දක්වා ඇත.

1. දීර්ඝ කොට හෝ ආශ්වාස කරනුයේ දීර්ඝ කොට ආශ්වාස කරම්යි නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දීර්ඝ කොට ප්‍රශ්වාස කරමියි නුවණින් දනී. 2. හුස්ම කොට හෝ ආශ්වාස කරනුයේ “හුස්ම කොට ආශ්වාස කරම්යි නුවණින් දනී. හුස්මකොට හෝ ප්‍රශ්වාස කරනුයේ “හුස්ම කොට ප්‍රශ්වාස කරම්” යි නුවණින් දනී. 3. සර්වකාය ප්‍රතිසංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි, සර්වකාය ප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 4. කාය සංස්කාර සන්සිඳුවමින් ආශ්වාස කරමියි. හික්මෙයි. කාය සංස්කාර සන්සිඳුවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 5. පී‍්‍රති ප්‍රතිසංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි. පී‍්‍රති ප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 6. සුඛ ප්‍රතිසංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමියිහික්මෙයි. 7. චිත්ත සංස්කාර ප්‍රතිසංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි. චිත්ත සංස්කාර ප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 8. චිත්ත සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරමියි හික්මෙයි. චිත්ත සංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 9. චිත්ත ප්‍රතිසංවේදීව ආශ්වාස කරමියි හික්මෙයි, චිත්ත ප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 10. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් ආශ්වාස කරමියි හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 11. චිත්ත සමාධාන කරමින් ආශ්වාස කරමියි හික්මෙයි. චිත්ත සමාධාන කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 12. චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමියි හික්මෙයි. චිත්තය විමුඤ්චන කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 13. අනිත්‍යය නුවණින් දක්නෙම් ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය නුවණින් දක්නෙම් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 14. විරාගය අනුව නුවණින් දක්නේම් ආශ්වාස කරමියි හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 15. නිරෝධය නුවණින් දක්නෙම් ආශ්වාස කරමියි හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් ප්‍රශ්වාස කරමියි හික්මෙයි. 16. පටිනිස්සජ්ජනය නුවණින් දක්නෙම් ආශ්වාස කරමියි හික්මෙයි. පටිනිස්සජ්ජනය නුවණින් දක්නෙම් ප්‍රශ්වාස කරමියි නික්මෙයි. මෙහි ආශ්වාස ක්‍රම 16 ක් මෙන්ම ප්‍රශ්වාස ක්‍රම 16 කි. සියල්ල 32 ක් වේ. මෙහි මුලින්ම දැක්වෙන ක්‍රම දෙකෙහි (2) අදියර 4 පමණක් ආශ්වාස කරමි, ප්‍රශ්වාස කරමි යන්න නුවණින් දනිමි හෙවත් ප්‍රජානාති දේශනා කොට ඇත්තේ ඉතා වැදගත් අර්ථයකින් බව පෙනේ. එහිදී හිතා මතා හුස්ම පාලනය නොකොට ශරීරයේ ඉබේටම සිදුවන ක්‍රියාවලිය දෙස අවධානයෙන් සිටීමට අදහස් කරයි. හික්මෙයි හෙවත් සිකාවති යනුවෙන් දක්වන ක්‍රම දහහතරෙහි (14) හා අදියර විසි අටෙහිම (28) හික්මෙයි. හෙවත් සික්ඛති යනුවෙන්ම දක්වයි. එහිදී අර්ථවත් වන්නේ යෝගාවචරයා තම සිතට අවශ්‍ය පරිදි හුස්ම පාලනය කිරීමයි. එනම් සිත ද තම වසඟයට ගැනීමට අදහස් කරයි.

මෙහිදී මෙම ක්‍රමවේදයන් දහසයෙන් ( 16) මුල් 1 – 4 මඟින් කායානුපස්සනාවද 5 – 8 ක්‍රම හතරින් වේදනානුපස්සනාවටද , 9 – 12 ක්‍රම හතරින් චිත්තානුපස්සනාවද 13 – 16 ක්‍රම හතරින් ධම්මානුපස්සනාවද යනාකාරයෙන් සතර සතිපට්ඨානය වැඩෙන බව ඛුද්දක නිකායට අයත් පටිසම්භිදාමග්ගයෙහි විස්තර වේ.

ආනාපානසතිය වඩන ආකාරය විස්තර කෙරෙන දේශනා දහනවය (19) අතුරින් දීඝනිකායේ හා මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන මහා සතිපට්ඨාන දේශනයෙහි වෙනස් ආකාරයෙක කටමටහනක් දැක්වෙන බව පෙනේ. එහිදී පස්සම්භං කාය සංඛාරං යන ක්‍රමවේදයෙන් පසු ඉදිරියට දැක්විය යුතු ක්‍රමවේදයන් දොළස (12) නොදක්වා “ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති” යන්නෙන් විදර්ශනාවට දක්වයි. “පස්සම්භයං කාය සංඛාරං” යනු කය ආනමන, විනමන, සංනමන, පණමන, ඉඤ්ජන, චන්දන, චලන, පකම්පන යන චංචලභාව අටෙන් තොරවීම ලෙස පටිසම්භිදාමග්ග නම් ග්‍රන්ථය දක්වයි. මේ වනාහී ප්‍රථම ධ්‍යාන තත්ත්වයයි. එතැන් සිට අවශ්‍ය අයෙකුට සිව්වන (4) ධ්‍යානය තෙක් සමාධිය වර්ධනය කළ හැකිය. නැතහොත් ප්‍රථම ධ්‍යානය පාදක කොටගෙන විදර්ශනා වැඩිය හැකිය. එහිදී තමා තුළ පවත්නා හුස්ම හෝ අනුන් තුළ පවත්නා හුස්ම හෝ ඒ දෙකම හෝ අරමුණු කරයි. ගමෙහි ඇවිදින කාලයෙහි තමන් තුළ හා අනුන් තුළ ක්‍රියාත්මක ආශ්වාස ප්‍රශ්වාස දෙස අවධානය යොමු කළ යුතු බවත් එහිදී කිසි ලෙසකින් හෝ දෙකම එකවර නොවඩන බවත් දීඝනිකායට්ඨ කතාව දක්වයි.

ආනාපානසති සූත්‍රය වැනි ක්‍රම දහසය (16) යටතේ විස්තර කරන සූත්‍රවල හමුවන පීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්තසංඛාර පටිසංවේදී, පස්සම්භයං චිත්ත සංඛාරට, චිත්ත පටිසංවේදී, අභිප්පමෝදයං චිත්තං, සමාදහං චිත්තං, විමෝචයං චිත්තං යන අවස්ථා මඟින් වේදනානුපස්සනාව හා චිත්තානුපස්සනාව සේම ද්විතිය, තෘතිය, චතුර්ථ ධ්‍යාන ද අදහස් වන බව පෙනේ. එනම් එම අවස්ථාවෙහි පීති, සුඛ, උපේක්ෂා වර්ධනය කිරීම ධ්‍යාන වන අතර ඒවා අධ්‍යයනය කිරීම අනුපස්සනාවයි. පී‍්‍රතිය වර්ධනය කරමින් භාවනා කිරීම ධ්‍යානයයි. සිතෙහි පවතින පී‍්‍රතිය හඳුනාගෙන එය අධ්‍යයනය කිරීම විදර්ශනාවයි. එනම් සමථ හා විදර්ශනා යන දෙකම ඒවා තුළ වර්දනය කළ හැකිය.

ආනාපාන සතියෙන් ධ්‍යාන ලැබූ පසු ධ්‍යාන පාදක කොට හෝ ආශ්වාස ප්‍රශ්වාස පාදක කොට හෝ විදර්ශනාවට එළඹිය හැකි බව පටිසම්භිදා මග්ගය පවසයි. එනම් හුස්ම ශරීරය ඇසුරු කොට පවතින බවත්, කය සතර මහා භූතයන්ගෙන් සකස් වූ බවත්, එය රූපය බවත් එම රූපය අරමුණු කරන “ඵස්ස” මුල්කරගත් වේදනා සංඥා, සංස්කාර, විඥාන නාම බවත් දැන දැක එම නාමරූප හේතු ප්‍රත්‍යය සහිතවම ඉපිද පවතින බවත් දකියි. දැක නාම රූප මිස සත්ත්ව පුද්ගල යන්නක් නැති බවට සැක හැර නාම රූප තුළ පවතින ත්‍රිලක්ෂණය දැක අර්හත්වය තෙක් ගමන් කළ හැකි බවත්, එය හුස්ම පාදක කොට විදර්ශනාව වැඩීම බවත් දක්වයි. ධ්‍යාන පාදක කොට විදසුන් වැඩීමේ දී ධ්‍යාන පවතින්නේ සිරුර ඇසුරු කළ සිතෙහි බවත් එම සිත හා කය නාම රූප බවත් ආදී වශයෙන් කලින් කී ලෙසම දැකීම මඟින් අර්හත්වය කරා යාම ධ්‍යාන පාදක කොට විදර්ශනා වැඩීමයි. මෙසේ ආනාපානසතිය කය කෙරෙහි සිහිය පිහිටුවීමට යොදා ගනියි. ආනාපාන සතිය කායානුපස්සනාවට ඇතුළත් වන්නේ ද එබැවිනි. සිහිය පිහිටුවා ඒ අනුව කය දැකීම කායානුපස්සනා නම් වෙයි. අනුපස්සනා යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැක නිර්වින්දනය, නො ඇලීම, සිතිවිලි නිරෝධය අතහැර දැමීම සිදු කිරීමයි. මෙහිදී සිත හා කය (නාම, රූප) දෙකම අත්හරියි. එසේ අත්හළ හැකිවන්නේ නිත්‍ය, සුඛ, ආත්ම, නන්දි, රාග, තණ්හා හා උපාදාන යන සිතිවිලි, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නාම රූප දැකීම මඟින් දුරුවන බැවිනි.

ආනාපාන සති සූත්‍රයේ අංක 13 – 16 මගින් දක්වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නාම රූප දැකීමයි. එයම වෙනත් අයුරකින් සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වා ඇත. හුස්ම නමැති කය සමුදය, එය වශයෙන් දැක එහි අනාත්මතාව හා ධර්ම ශුන්‍යතාව (අනිස්සිතොව විහරති නව කිඤ්චි ලොකෙ උපාධියති) දැකීම ලෙස දේශනා කරන්නේ ආනාපාන සති සූත්‍රයෙහි ඉගැන්වෙන 13 – 16 අංග සතරම වේ. ආනාපානසති සූත්‍රය අනිත්‍ය, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන දැකීම් හතර මඟින් ඇතිවන අවබෝධය, සමුදය ධම්මානුපස්සනය, වය ධම්මානුපස්සනය සහ හුස්ම ඇතැයි යන සංඥාව පවා අවබෝධය පිණිස පමණක් භාවිත කර ලෝකයේ කිසිවක් ආදානග්‍රාහී කරනොගෙන වාසය කරන ආකාරය විස්තෘත තැනින් ද ලැබිය හැකිය. අනිශි‍්‍රත බව හා පටිනිස්සග්ගය එක හා සමාන අවබෝධ ඥානයකින් හටගන්නා ප්‍රතිචාරයන්ය. ඒවා අර්ථයෙන් සමානය.

ආනාපානසති කායානුපස්සනාව ක්‍රම දාහතරකින් (14) සමන්විත කායානුපස්සනාවේ පළමු ක්‍රමයයි. එය බුදුන් වහන්සේ පවා සුවිශේෂීව වර්නණාකොට ඇත. ආනාපානසතිය වැඩීමෙන් අෂ්ටවිද්‍යා හා විමුක්ති ලද හැකි ආකාරය ආනාපානසති සූත්‍රයේම විස්තර කොට දක්වා ඇත. සමථයානික හෝ විදර්ශනායානික භේදයකින් තොරව වැඩිය හැකි බව මෙම කමටහනෙහි පවත්නා සුවිශේෂී භාවයයි. ධ්‍යාන පාදක කර හෝ හුස්ම හා එය ඇසුරු කළ කය අනිත්‍යාදීව බැලීමෙන් කෙලෙස් නසා මාර්ගඵල ලබාගත හැකිය.

කායානුපස්සනාවට අයත් වූ නමුත් ඉතිරි අනුපස්සනා තුන (3) වැඩීමට ද ආනාපානසතිය වැඩීම උපකාරයක් වෙයි. ආනාපානසතිය වැඩුවහුට සිතා මතා කල් ඇතිව දැන ආයු සංස්කාරය අත්හළ හැකි බව විශුද්ධිමාර්ගයෙහි විශේෂ වශයෙන් සඳහන් වේ. එනිසා ආනාපනාසති කායානුපස්සනාව මහත්ඵල මහානිසංශ උපදවන බව දැක්විය යුතු වේ.


තෙරුවන් සරණයි
රුහුණ විශ්වවිද්‍යාලයේ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මාකොළ මංගල හිමි

No comments:

Post a Comment