Sunday, 9 August 2015

කන්නෙලිය වන මැද නිහඬ පින්බිම නුගගල ආරණ්‍ය සේනාසනය

කන්නෙලිය වන මැද නිහඬ පින්බිම නුගගල ආරණ්‍ය සේනාසනය


හිනිඳුම කන්නෙලිය රක්ෂිතයට අයත් කටුකිතුල්ගල පාමුල මහ වන මැද පිහිටි මේ පින්බිම දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිනිඳුම ප්‍රදේශයේ පිහිටා ඇත. මහත් සුන්දර වන පෙතක් තුළ පිහිටි මේ පුණ්‍ය භූමිය වෙත කොළඹ, මතුගම, මීගහතැන්න, පැලවත්ත, බොරලුහේන හරහා තවලම මාර්ගයේ පැමිණ බටහේන මංසන්ධියෙන් උඩුගම මාර්ගයේ මල්ලිකා පාසල අසල නුගගල මංසන්ධියට පැමිණ නුගගල මාවත දිගේ ගමන් කිරීමෙන් ළඟා විය හැකි ය. පැලවත්ත හරහා නෙළුවට පැමිණ උඩුගම මාර්ගයේ ගමන් කිරීම ද මේ වෙත පිවිසිය හැකි තවත් පහසු මාර්ගයකි. ගාලු ප්‍රදේශයේ සිට එන පින්වතුන්ට උඩුගම හරහා තවලම මාර්ගයේ පැමිණිය හැකි ය. දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන්නේ නම් කුරුඳුගහ පිවිසුම් මග ඔස්සේ පැමිණ ඇල්පිටිය, පිටිගල, බොරලුහේන හරහා පැමිණීම ඉතා පහසු වේ. නුගගල මංසන්ධියේ සිට ඇති නුගගල මාවත ආරණ්‍ය සේනාසනයෙන් අවසන් වේ.

ආරණ්‍යය මධ්‍යයේ පිහිටි ප්‍රධාන බුද්ධ මන්දිරය ලෙස භාවිත කරනු ලබන ගල්ලෙන මත පිහිටි නුග ගසක් නිසා මෙම ආරණ්‍ය සේනාසනය නුගගල ආරණ්‍ය සේනාසනය ලෙස හඳුන්වනු ලැබේ. සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් මෙම ආරණ්‍ය සේනාසනය ඔලගොඩ සිරි දේවක ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 1954 මැයි මස 04 වන දින ආරම්භ වී ඇත. එම වසරේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වස් විසීමෙන් ඇරඹුණු මේ සේනාසනයෙහි වර්තමානයේ යාලගල සුමනජෝති ස්වාමීන් වහන්සේ සේනාසනාධිපති ධුරය උසුලති. 1973 වසරේ දී මෙම සේනාසනයට වැඩම කළ උන් වහන්සේ එවකට සේනාසනාධිපති ධුරය ඉසිලූ වගවත්තේ සීවලී හිමියන් අපවත් වීමෙන් අනතුරු ව 1983 දී මෙහි සේනාසනාධිපති ධුරයට පත් වී ඇත.

ලංකාවේ පිහිටි වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන අන්දමේ සුවිශේෂ අංග රාශියකින් සමන්විත මේ ආරණ්‍ය සේනාසනයේ බොහෝ නිර්මාණ බිහි වී ඇත්තේ යාලගල සුමනජෝති හිමියන්ගේ දෑතිනි. මද්දහනේ  එහි යන විටත් උන් වහන්සේ බුදුන් වහන්සේ ගත කළ සත්සතියේ ඉදි කිරීම්වල නිරත වෙමින් සිටියහ. පස්වන සතියේ දී අජපාල නුග රුක මුල තණ්හා, අරති, රඟා යන මාර දූවරුන් පැරදවීම ඉතා අලංකාර ලෙස ඉදි කර ඇත්තේ ස්වාභාවික නුග ගසක් ද භාවිත කරමිනි. රුවන් සක්මන ද ඉතා අලංකාර ලෙස නිමවා තිබෙනුයේ සේනාසනයේ සක්මන් මළුවක් ඇසුරෙනි. මෙම සක්මන් මළුවේ දෙපස බුදුන් වහන්සේ සක්මන් කරන අයුරු දැක්වෙන හිටිපිළිම වහන්සේ දෙනමක් ද නිර්මාණය කර ඇත. ස්වාභාවික කළුගලක් උපයෝගී කරගනිමින් මුචලින්ද නාගදරණය ඉදි කර ඇති ආකාරය ඉතා මනහර ය. බෝධීන් වහන්සේ අසල නිර්මාණය කර ඇති බුද්ධත්වය ලැබීම ඉතා අලංකාර නිර්මාණයකි. බුදුන් වහන්සේ ජීවිතයේ ප්‍රධානතම අවස්ථා වන උප්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන අවස්ථා තුන සඳහා ම ශෛලමය ප්‍රතිමා නිර්මාණය කර ඇත.

“ලොකු හාමුදුරුවන්ට පිරිනිවන් මඤ්චකය හදන්න අවුරුදු දහයක් විතර ගිහින් තියෙනවා. හාමුදුරුවො තනියමයි ඔය පිළිමෙ නෙළලා තියෙන්නෙ. කටු තළා දෙන්න වගේ දේවල්වලට විතරයි දායකයො සහභාගි වෙලා තියෙන්නෙ. කිසිම යන්ත්‍ර-සූත්‍රයක් භාවිතයක් නැති ව, කටුවයි මිටියයි භාවිත කරලා පිළිමය නෙළලා තියෙන්නෙ. ඒක හදද්දි ගල් කෑලි වැදිලා හාමුදුරුවන්ට හුඟක් හානි සිදු වෙලත් තියෙනවා. අන්තිමට හාමුදුරුවො අසනීප වෙලා ප්‍රතිකාර අරගෙනත් තියෙනවා. මේ වගේ දුෂ්කර තැනක මේ වගේ පිළිම හදලා අනාගතයෙ වඳින්න-පුදන්න එන අයට වන්දනා-මාන කරලා පහන් සංවේගය උපදවාගන්න කරපු මේ උතුම් කාර්යය නිසා ගමේ මිනිස්සු අතර හාමුදුරුවන් පිළිබඳ ලොකු ගෞරවයක් තියෙනවා”

අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව ද සුමනජෝති හිමියන්ගේ විශිෂ්ට කලා හැකියාවට කදිම නිදසුනකි. අවුකන අනුරුව අසල ගල්ලෙනෙහි බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කළ ආකාරය ඉතා සියුම් ලෙස නිමවා තිබේ. පස්වග තවුසන් බෝසතාණන් වහන්සේට ඇප-උපස්ථාන කරන අයුරු ද අපූරු ලෙස නිර්මාණය කර ඇත.

මුර්ති ශිල්පයෙහි පමණක් නො ව, කැටයම් කලාවෙහි ද අතිදක්ෂයකු වන සුමනජෝති හිමියන් අතින් නිමැවුණු ඉතා අලංකාර කැටයම් ද රාශියකි. සේනාසනයේ ගල් තලා හා බැමි මත නිමවා ඇති කැටයම් අතර මිහිඳු හිමියන්ගේ ලංකාගමනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, වෙස්සන්තර ජාතකය විශේෂ ය.

වෙනත් ආරණ්‍යවල දක්නට නොලැබෙන සුවිශේෂ නිර්මාණයක් වන්නේ මෙහි ඉදි කර ඇති දේව ප්‍රතිමා ය. බොහෝ පන්සල්වල දේව රූප දකින්නට ලැබුණත් ආරණ්‍ය සේනාසනවල සාමාන්‍යයෙන් දේව රූප දක්නට නොලැබේ. විෂ්ණු දේව ප්‍රතිමාව, සමන්දේව ප්‍රතිමාව, නාථ දේව ප්‍රතිමාව යන බෞද්ධයන් වන්දනා කරන දේව ප්‍රතිමා මෙන් ම ගණ දේව ප්‍රතිමාවක් ද නිර්මාණය කර ඇත. සුමනජෝති හිමියන් කවියකින් ගණ දෙවියන්ගෙන් ඉල්ලා ඇත්තේ පින් ලබාගෙන ආරණ්‍ය සේනාසනයේ දායක-කාරකාදීන් රැකදෙන ලෙස යි.

ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි මෙම සෙනසුනට දානය ලැබෙන්නේ වාර්ෂික ව දානය බාරගත් පින්වතුන්ගෙනි. දානය බාරගත් පින්වතුන් පැමිණ මෙහි නැවතී දානය පිළියෙල කර පිළිගැන්වීම සිදු කැරේ. එහෙත් මෙහි ඇති දුෂ්කර බව නිසා ම දානය වරදින අවස්ථා ද නැතුවා ම නො වේ. අධික වර්ෂාකාලවල දී මෙහි පැමිණීම ඉතාමත් අසීරු ය.

මෙම සේනාසනය පිහිටීම මගින් දායක පින්වතුන්ට මෙන් ම කන්නෙලිය වනාන්තරයට ද විශාල ආරක්ෂාවක් ලැබේ. මෙම සේනාසනය නිසා දැව ජාවාරම්කරුවෝත්, දඩයම්කරුවෝත් වනයට ඇතුළු නො වෙති. සුමනජෝති හිමියෝ තම දෑස මෙන් වනය ආරක්ෂා කරන හෙයිනි. පසුගිය කාලවල දී වල්ලපට්ටා එකතු කිරීම සඳහා අවට වනාන්තරය ජාවාරම්කරුවන් අතින් විනාශ වුව ද මෙම සේනාසනය හේතුවෙන් කන්නෙලිය වනාන්තරය එයින් වැළකිණි. සුමනජෝති හිමියන් තුළ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සතුන්ට දක්වන අසීමිත කරුණාව යි. ආරණ්‍ය සේනාසනයේ විශාල පූසන් සංඛ්‍යාවක් වාසය කිරීම ඊට කදිම සාක්ෂියකි. මෙම වනය ආශි‍්‍රත ව අද අලින් දක්නට නොමැති වුව ද අතීතයේ මෙහි එක් අලියෙක් වාසය කර තිබේ. අලියා නිරතුරු ව සේනාසනයට පැමිණීමට පුරුදු වී සිට ඇත. කිසිවකුට හානියක් නොකළ මෙම අලියා උඩුගම ප්‍රදේශයේ දී සාහසිකයකු අතින් ඝාතනය විය. එයින් සංවේගයට පත් සුමනජෝති හිමියෝ එම අලියා සේනාසනයට පිවිසුණ ස්ථානයේ අලියාගේ අනුරුවක් නිර්මාණය කළහ.

මෙම සේනාසනයේ ස්වාමීන් වහන්සේලා සිදු කරන මහානුභාව සම්පන්න පුණ්‍යකර්මයක් වන්නේ සේනාසනයට දායක-කාරකාදීන් පූජා කරන පූජා භාණ්ඩ හා ආහාරපානවලින් උන් වහන්සේලාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ද්‍රව්‍ය අවට පිහිටි වැඩිහිටි නිවාසවලට හා හිනිඳුම රෝහලේ නේවාසික රෝගීන්ට පරිත්‍යාග කිරීම යි.

මේ සොඳුරු පින්බිමට එක් වරක් හෝ පැමිණ එහි සිදු කැරෙන ශාසන කටයුතුවලට දායක වීමටත් ඔබටත් හැකි නම් එය මහා පුණ්‍ය කර්මයකි. උතුම් පැවිදි බිමට ඇතුළත් වී ශාසන සේවය කිරීමට කැමති නම් ඊට ද අවකාශ තිබේ. “යාලගල සුමනජෝති හිමි, නුගගල ආරණ්‍යසේනාසනය, හිනිඳුම” යන ලිපිනයෙන් හෝ 0716173829 යන දූරකථන අංකයෙන් හෝ මේ පින්බිම පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකි ය.

No comments:

Post a Comment