Saturday, 22 August 2015

ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය ...

ප්‍රබල රාජ්‍යත්වයේ හා ආගමික සුසංයෝගයේ ආදරණීය පුරවරය ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය ...


‘පඬුවස්නුවර’ නමින් වර්තමානයේ හඳුන්වන ඓතිහාසික පුරවරය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත්තේ ‘පරාක්‍රමපුරය’ නමිනි.
එහෙත් බහුතර ජනතාවගේ විශ්වාසය වන්නේ පඬුවස්නුවර පඬුවස්දෙව් රජතුමා විසින් ගොඩනංවන ලද ඓතිහාසික පුරවරය බවත් අපගේ වංශ කතාව විචිත්‍රවත් කළ උන්මාද චිත්‍රා කුමරිය සිරකර තැබූ එක්ටැම් ගෙය පිහිටියේ ද මෙපුරවරය තුළ බවත් ය.
එහෙත් අපට ‘බුදුසරණින්’ කතා කිරීමට සිදුව ඇත්තේ පඬුවස්නුවර ඇති ඓතිහාසික සිද්ධස්ථානය ප්‍රමුඛ කර ගනිමිනි. මෙම පුදබිම වෙත යන ගමනේදී හලාවත සිට වාරියපොළ දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 35 ක් පමණ මඟ ගෙවා පඬුවස්නුවරට සමීප විය හැකිය. මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවාහත්පත්තුවේ ගිරාතලාන කෝරළයේ පිහිටා තිබෙයි.
මෙහි ඇති සිද්ධස්ථානයේ පැරැණි බෝධින් වහන්සේ නමක් මෙන්ම ඓතිහාසික ගොඩනැගිල්ලක් මත පැරැණි වාස්තු විද්‍යා සම්ප්‍රදාය ගරු කර ගනිමින් වර්තමානයේ ඉදිකරන ලද ‘දළදා මන්දිරය’ නමින් හඳුන්වන ඉදිකිරීමක්ද දකින්නට ලැබෙයි.
විහාර භූමියේ ඇති අනෙකුත් ගොඩනැගිලි අතර ටැම්පිට විහාරය, පැරැණි පොත්ගුල, සංඝාවාසය, අලුත්පොත් ගුල ,නටබුන්, කොරවක්ගල්, ගල්කණු, පියගැටපෙළ ආදියද දැක ගැනීමට ලැබෙයි. ටැම්පිට විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය යුගයේ ගොඩනැංවන ලද්දක් බව කියැවේ. පොත්ගුල සහ සංඝාවාසය පැරැණි වුව ද ඒවා ශතවර්ෂයක පමණ කාලයක් තුළදී ඉදි කරන ලද ඒවා ය.
පඬුවස්නුවර පුරවරයේ ක්‍රමවත් කැණීම් කටයුතු සිදු කරන ලද්දේ 1947 පෙබරවාරි 10 වැනි දින සිට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අධීක්‍ෂණය යටතේය. එතුමා ගවේෂණයන්ගෙන් ලබා ගත් තොරතුරු සාධක මත මෙම සිද්ධස්ථානය හඳුනා ගන්නේ මෙසේ ය.
‘පුරාණ නටබුන් ගොඩනැගිලි මත ඉදිකර ඇති නූතන විහාරයේ බෝමළුවත් ධර්ම ශාලාවත් අතර ඇති ගරා වැටුණු ගොඩනැගිල්ල දළදා මාලිගාව වශයෙන් හඳුන්වනු ලබයි. ශෛලිය අතින් එය දොළොස්වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් බව පෙනේ. නව වැනි හෝ දහවැනි සියවසට අයත් බොහෝ සෙයින් කාලයාගේ පීඩනයට ගොදුරු වූ අකුරු කෙටූගල් කණු ගණනාවක් විහාර භූමියේ ඇත. ඒවා ඇත්තේ මුලින් පිහිටුවන ලද තැන්වලම නොවේ. ගොඩනැගිලිවලින් කැඩී බිඳී ගිය කොටස් ඒ ඒ තැන දමා ඇත.’
ඇතැමෙක් මෙය දේවානම්පියතිස්ස රාජ්‍ය සමය ට අයත් සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වති. මේ යුග පිළිබඳ ගැටලුව කෙසේ වෙතත් මහාචාර්ය පරණවිතානයන් පවසන්නේ
‘ඒ පුරය භික්‍ෂූන් සිය ගණනකගේ වාසය සඳහා ඉදි කරන ලද ආවාස වලින් සමන්විත විහාරාරාම පන්තීන්ගෙන් හොබනේ විය. පඬුවස්නුවර ඇතුළුනුවරට උතුරිනුත් දකුණිනුත් අති විශාල භූ®මි භාගයක් ආරාම ගොඩනැගිලි නටබුන් වලින් වැසී තිබේ. ‘ යනුවෙනුයි.
පඬුවස්නුවර යන නාමය ඈඳි ඇත්තේ ලාංකේය රාජ වංශයේ දෙවැනි රජතුමාගේ නමින් වන නිසා නිතැතින්ම ඒ හා බැඳෙන පුරාවෘත්තය සමඟ මෙහි ඉතිහාස කතාව නිර්මාණය වී තිබේ.
මෙහි රාජ මාලිගය, කොටු පවුර, දිය අගල, චක්‍රවාලය වැනි ගොඩනැගිලි හි ශේෂයන්ද දා ගැබ් කීපයක නටබුන් ද දැක ගැනීමට ලැබෙයි. මේවා ගවේෂණයෙන් තහවුරු කරගත් දත්තයන්ට අනුව මෙහි වූ ඉදිකිරීම් ගොඩ නංවා ඇත්තේ 12 වන සියවසේදි බව තහවුරු කරගෙන තිබෙයි.
මෙම ස්ථානයත් පඬුවස්දෙව් රජතුමාත් අතර සම්බන්ධයක් තිබූ බවට සාහිත්‍ය කෘතීන්ගෙන් වත් සාක්‍ෂි නොලැබෙන බවත් ජන කතාවෙහි එන පඬුවස්දෙව් රජතුමා නුවරක් ඉදිකළ බවක් කියා නැති බවත් සෙනරත් පරණවිතාන පවසයි. මහාවංශයට අනුවද එවැන්නක් සනාථ නොවෙයි. මෙහි ඇති මාලිගය ද කරවා ඇත්තේ 12 වැනි ශත වර්ෂයේදී ය. එතැනින් නිශ්ශංකමල්ල රජතුමාගේ ශිලාලේඛනයක්ද සොයා ගෙන තිබෙයි. වඩාත් පුළුල්ව ගවේෂණයෙන් කැණීම් කරමින් අවසානයේ පරණවිතානයන් පවසන්නේ ‘නුවරකැලේ’ හෙවත් පඬුවස්නුවර පිහිටා තිබෙන පුරය යථෝක්ත හේතු සාධක අනුව පරාක්‍රමපුරය විය යුතු යැයිද පරාක්‍රමබාහු රජතුමා දක්‍ඛිණ දේශයේ පාලකයාව සිටියදී තම පාලනයේ මධ්‍යස්ථානය මෙහි පිහිටුවා ගත්තේ යැයිද මම නිගමනය කරමි’ යනුවෙනුයි.
(උපුටා ගැනීම – පුරාවිද්‍යා පර්යේෂණ සෙනරත් පරණවිතාන)
දක්ෂිණ දේශයේ පාලකයා බවට පත්වූ පැරකුම් කුමරු දිවයිනේ සෙසු ප්‍රදේශවල වෙනත් රජවරුන් ජයගෙන ලක්දිව එක්සේසත් කරන අදහසින් සිය රාජ්‍යයේ ස්වභාවික සම්පත් යොදා කෘෂිකර්මාන්තය වේගවත් කරමින් වැව් වේලි ප්‍රතිසංස්කරණය කර ආගමික පසුබිමක්ද සහිතව බලගතු යුද සේනාවක් සංවිධානය කිරීමට යුහුසුළු විය. පඬුවස්නුවරට යාබදව අදත් පඬා වැව නමින් හැඳින්වෙන ඉතා විශාල ජලාශයක් ඇත. මෙය ප්‍රතිසංස්කරණය කරවා දකුණේ පරාක්‍රම සමුද්‍රය ලෙස ගොඩනංවන ලද්දේ පරාක්‍රමබාහු රජතුමා බව මහාවංශය කතාවෙන් නිගමනය කළ හැකි වෙයි. මෙම ‘පඬා වැව‘ නිසා මෙපුරවරය ‘පඬා නුරව‘ වී පසුව ‘පඬුවස්නුවර’ ලෙස නම් වූවා ද විය හැකිය. ‘පඬුවස්නුවර’ පුරාවෘතය හා බැඳි යුග ගමනේදි යම් කාල වකවානුවක මෙය වල් බිහිවී තිබී ඇත. ‘නුවරකැලේ’ යැයි මෙය වහරන්නේද ඒ නිසාය. එම වකවානු වලදී කාල විපතින් මෙන්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසු වී මෙහි බොහෝ සැමරුම් විනාශ වී තිබුණි. රජ මාලිගයේ තිබූ කැසිකිලියක අපවිත්‍ර ජලය එක් රැස් වූ වළක්ද නිදන් හොරුන් විසින් හාරා ඇත්තේ නිදන් සෙවීමේ මං මුළා වූ තණ්හාවෙනි. මීට වසර දහසකට පමණ ප්‍රථම එය ක්‍රියාත්මක වූ යුගයේ එම කැසිකිලිවල මහා ධන නිධානයක් යැයි සිතා හැරුවේ නම් නිධන් හොරුන්ට වටනා නිධාන නොමැති තැන හිතේ අමාරුවට බොන්නට වන්නේ මුත්‍රා දියරය. එය එවන් උන්ට දිය යුතු සුදුසුම පානයයි.මෙවැනි අගක් මුලක් නොදත් අමන නිධන් හොරු නිසා අදත් අපගේ වටිනා ජාතික උරුමයන්ට උදා වී ඇත්තේ ඒරාෂ්ඨක අපල කාලයකි.
පඬුවස්නුවර ජන හද අමන්දානන්දයට පත් කරවන ප්‍රබලම ස්මාරකය වන්නේ ජනප්‍රවාදය විසින් පෝෂණය කරනු ලැබූ උන්මාද චිත්‍රාවන් සිරකර තැබූ එක්ටැම්ගෙයයි. මේ පිළිබඳව මහාචාර්ය පරණවිතාන මෙසේ පවසයි.
‘උන්මාද චිත්‍රා පිළිබඳ කතාව ඉතිහාසයට නොව ජනකතා ගණයට වැටෙන්නකි. වෙනත් බොහෝ ජන කතාවල මෙන් සියලු බාධක බිඳලමින් සත්‍ය පේ‍්‍රමය ජයගත් අන්දමත්, ඉරණම වැළැක්විය නොහැකි වූ අන්දමත් ඔප්පු වූ ස්ථානයක් වශයෙන් මෙය හඳුන්වා දුන් විට එයින් සානුකම්පිත හැගීම් බොහෝ නරඹන්නන් සිත් තුළ ජනිතවීම පුදුම නැත. එසේ වුවත් පුරාතනවේදියාගේ කාර්ය වනුයේ මිනිස් අතින් නිමැවු කෘතීන් විධිමත් ලෙස පරීක්‍ෂාකර බලා යටගිය දවස සිදුවු දේ ආවරණය කරලීමය. එක්ටැම් ගෙය පිහිටි තැන ජනකතා අවධියට අයත් පෙම් ජවනිකා මැවුණු ස්ථානයක් බව නොව ලක් ඉතිහාසයේ ඊට වඩා මෑත කාලයක ආගමික හා දේශපාලන සිද්ධීන් සිහි ගන්වන ස්ථානයකි” මෙම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත්තේ උන්මාද චිත්‍රාවන් ජීවත් වූවා යැයි සැළකෙන කාලයට අවුරුදු එක්දහස් පන්සියයක් පමණ පසුව යැයි කිව හැක” (උපුටා ගැනීම – පුරා විද්‍යා පර්යේෂණ - සෙනරත් පරණවිතාන)
එක්ටැම්ගෙය පරණවිතානයන් හඳුන්වා දී ඇත්තේ ‘වලයාකාර කොටුව ’ නොහොත් ‘චක්‍රවාල කොට්ටය’ වශයෙනි. මෙහි ඉදිකිරීම් ද 12 වැනි සියවසට අයත් වෙයි.මෙය රජතුමා විසින් චක්‍රවර්තී විරුදනාමය සංකේතවත් කිරීම වෙනුවෙන් ආශිර්වාද පතා කළ අභිමානවත් සංකේතයක් බව පැවැසේ.
දීඝ ගාමිණි උන්මාද චිත්‍රා පේ‍්‍රම පුරාණය ඉතා ප්‍රබල ලෙස ජන හද බැඳගත් ඉතිහාසගත ජනකතා ප්‍රවෘත්තියක් මතින් ගොඩ නැගුණා විය හැකි ය. අපගේ වංශකතාව විචිත්‍රවත් කළ මේ ආදර වෘත්තාන්තයට පවතින්නට භූමියක් සැබැවින්ම තිබෙනවා දකින්නට අප කැමතිය. එම කැමැත්ත පඬුවස්නුවර හා බැඳෙන දීඝ ගාමිණී චිත්‍රා කතාව සමගින් පවතින්නට ඉඩ හරිනවා හැරෙන්නට ඉන් බැහැරවීමට අපේ සිත් අපට ඉඩ නොදෙන්නේ පාරම්පරිකව සිත කිඳා බැසගත් කියවීමක් සහිත යුගයක ලස්සන මැකී යනවා දකින්නට අප අකමැති නිසා ය. ඒ කෙසේ වුවත් රාජ තේජසින් අභිමානවත් වූ පඬුවස්නුවර පුරවරය ප්‍රේම වෘත්තාන්තය හා ආන්දෝලනාත්මක සංසිද්ධීන් මධ්‍යයේ සපැමිණ අදත් ගවේෂණයන් අත් නොහරිමින් ක්‍රියාත්මකව පවතියි. සෙනරත් පරණවිතානයන්ට සොයා ගැනීමට නොහැකි වූ උන්මාද චිත්‍රා දීඝ ගාමිණී පේ‍්‍රම වෘත්තාන්තය සැබෑවක් නම් වසර දෙදහස් ගණනකට පසුව හෙට හෝ මතු දිනක හෝ මේ සදාදරණීය පේ‍්‍රමවන්තයින් අපට හමුවනු ඇත. එය කෙසේ වෙතත් රජතුමා රට එකසේසත් කිරීමට යන ගමනේදි භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය අත්‍යාවශ්‍ය කරුණක් වූ බව පෙනේ. රාජ්‍යත්වය හා ආගමික සුසංයෝගයේ ප්‍රබලත්වය ඓතිහාසික පඬුවස්නුවර පුරවරයෙන් ද දැක ගැනීමට ලැබෙන්නේ ඒ නිසාය.

No comments:

Post a Comment