Wednesday, 19 August 2015

කුඩා මාලිගයකින් ජනිත වන මහා ගුණ කදම්භය පොලොන්නරුව අටදා ගෙය .....

කුඩා මාලිගයකින් ජනිත වන මහා ගුණ කදම්භය පොලොන්නරුව අටදා ගෙය .....

පීඩාකාරි දුක්ඛිත කටුක මඟක පැමිණෙමින් මව්බිමේ විමුක්තිය වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ කීර්ති කුමරු නොහොත් 1 වන විජයබාහු ක්‍රි.ව. 1070 වසරේදී චෝල ආක්‍රමණිකයන්ගෙන් පොළොන්නරුව නිදහස් කර ගනිමින් අප මව් බිම එක්සේසත් කළේය.

ඔහු රජ පෙළපතකින් පැවත ආවද රාජ මාලිගාවක තේජස හෝ සුව පහසුව හැඳිනගෙන නොසිටියේය.

පානාකඩුව සන්නසෙන් කිත්ති කුමරුගේ කටුක දිවිපෙවෙතෙහි ශේෂ මාත්‍රයක් ඔහුගේම වදනින් හඳුනාගත හැකිවෙයි.

“සොළීන් කළ මහත් විපත හේතුවෙන් අපගේ රාජධානිය අහිමි වීමෙන් අප කඳුකර වනයෙහි සැඟවී සිටි කාලයෙහි රුහුණු දණ්ඩ නායක සිත්නරුබිම් බූදල්නා ඔහුගේ පිරවරෙහි පිහිටෙන් අප පිය මහ රජු වූ මුගලන් රාජෝත්තමයාණන් හා මුළු මහත් රජ පවුලම ආරක්‍ෂා කරමින් අපගේ ළාබාල අවදියේ පටන් වනයෙන් සොයාගත් අල හා පලා ආදියෙන් පෝෂණයද කළෝය. අප යන යන තැන හඹා ආ සතුරන්ගෙන් අප සඟවා ගත්තේය.

‘ඔහුගේ ජීවිතය හිරිහැර කරදර ගහණ වූවකි. බොහෝ විට වන පල වැල බුදිමින් ද ළමා වියේ ඔහු අනාථයකු ලෙස ගත කළේය.

(සංක්සිප්ත ලංකා ඉතිහාසය)

එසේම ‘අධගමුව සෙල්ලිපිය මෙසේ සඳහන් කරයි.’ශ්‍රී පරාක්‍රමයෙන් ලක්දිවට කීර්තිය ගෙන දුන්නා වූ ද තුනුරුවනට පුද සත්කාර කළා වූ ද ගුරුවරුන්ට සංග්‍රහ කළා වූ ද ධාර්මිකයන් පුදන ලද්දා වූද උගතුන්ට භව බෝග ලබා දුන්නා වූ ද ඥාතීන්ට සංග්‍රහ කළා වූ ද මිතුරන්ට කුලුපග වූ ද සතුරන්ට මානය පෙන්වූ ද සියලු සත්වයන්ට කරුණාවන්ත වූ ද නැණ නුවණින් රාජ සභාවේ තම තත්වය තහවුරු කළා වූ ද ශ්‍රී සංඝබෝධි විජයබාහු රාජෝත්තමයාණන් වහන්සේ’ යන්නය.

දකුණු ඉන්දීය ඉතිහාසඥයෙකු වූ මහාචාර්ය නීලකණ්ඨ ශාස්ත්‍රී පවසන්නේ ‘විජයබාහු කෙනෙක් නොවී නම් සමහර විට අද සිංහලයින්ද නැතැයි කීම අතිශයෝක්තියක් වුවත් කිසිදු සැකයකින් තොරව කිව හැක්කේ ඔහු සිංහල ජාතික නිදහසේ නිර්මාතෘවරයා මෙන්ම සිංහල ජාතිකත්වයේ එක් සැලසුම් කරුවෙක්ද වූ බවයි.

ලාංකේය ඉතිහාසයේ රාජ්‍යත්වය හා එකලාව සබැඳෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සිහසුනේ මහානුභාව සම්පන්න වූ ශක්තිය රඳවා ගත් පූජනීයම සංකේතය බවට පත්ව තිබුණි.

එය එසේ වන්නේ ජීවමාන බුදුන් සම වූ දළදා වහන්සේට ගෞරව උපහාර වශයෙන් පුද දෙන මහාර්ඝ වස්තුව කුමක්දැයි සිතන විට තම ජීවිතයටත් වඩා වටිනා දේශය හැර වෙනත් කිසිදු භෞතික වස්තුවක් නැතැයි මේ ධර්මද්වීපය යේ අභිෂේක ලත් සියලුම රජවරුන් මෙනෙහි කළ නිසාය.

එනිසාම දළදා වහන්සේ වැඩ සිටිනා මන්දිරය ද හඳුන්වන්නේ රජකු විරාජමානව වැඩ සිටිනා මාලිගාව සම කරමිනි. ඒ මාලිගය ඔද තෙද බවින් පූජනීයත්වයෙන් රජ මැදුර පරදවන වන්දනීය ගෞරවනීය ස්ථානයකි.

අනුරාධපුර යුගයෙන් පසු බිහිවෙන ජයග්‍රාහී මහා රාජධානිය වූ පොළොන්නරුවේ ඉදිවන ප්‍රථම දළදා මන්දිරය නොහොත් මාලිගාව වන්නේ අටදා ගෙයය.

රජවරුන් කීප දෙනෙක් යටතේ දළදා මාලිගා තැනින නිසා එම අටදාගේ පිහිටි උස් බිම හඳුන්වන්නේ දළදා මළුව ලෙසය. මෙම අටදාගෙය එතරම් සුවිසල් නොවූ දෙමහල් ගොඩනැගිල්ලකි. පහත මාලයේ සම්බුදු මැදුර නිර්මාණය වන අතර ඉහළ මාලය වෙන්වන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මෙන්ම පාත්‍ර ධාතුන් වහන්සේ වෙනුවෙනි.

පොළොන්නරුවේදී අපට හඳුනා ගැනීමට ලැබෙන පළමුවන විජයබාහු රජතුමා විසින් ඉදිකළ අටදාගෙය -පොළොන්නරු මහා රාජධානියේ අනෙකුත් ඓතිහාසික ඉදිකිරීම් හා සසැදීමේදි එතරම් කැපී පෙනෙන්නක් නොවෙන බව හැඟෙයි. එහෙත් එමඟින් සංකේතවත් වන පසුබිම් කථනය අතිශයින්ම වැදගත්වෙයි.

අප ඉහත සඳහන් කළ විජයබාහු රජතුමා නොවන්නට, අද අප අභිමානයෙන් සමරන මහා ස්මරණ රැසක ආශ්චර්යවත් රාජධානියේ අපට මුණ නොගැසෙන්නට ඉඩ තිබිණ.

එවන් විශිෂ්ට විමුක්තිකාමි රාජෝත්තමයා, සිහිවීම පිණිස පොළොන්නරු රාජධානියේ ඇති එකම සැමරුම මේ අටදාගෙයය. එයද දළදා මාලිගය වෙනුවෙන් තැනූ වන්දනාමානයට බඳුන්වන පූජනීය පිවිතුරු සැමරුමක් වීම නිසාත් එහි පසුබිම සැලකීමේදීත් හැගීයන්නේ මෙහි ප්‍රමාණාත්මකව නොවන ගුණාත්මක අගය දැවැන්ත ප්‍රතිරූපයක් නිර්මාණය කරවන සුළු බවය.

දිගින් අඩි 75 ක් ද පළලෙන් අඩි 45 ක පමණ වන දා මන්දිරයේ ඝනකමින් යුතු බිත්ති නිසා ඇතුළත ඉඩ කඩ ඇහිරී තිබේ. අනුරාධපුර යුගයට නෑකම් කියන සඳකඩපහණ මතින් ඇතුළු වූ විට ඇතුළු ඉමේ අද දක්නට ඇත්තේ හුදෙකලා වූ ශෛලමය හිටි පිළිම වහන්සේ නමක් පමණි. දෙපස තවත් පිළිම වහන්සේ දෙනමක් නිමවා තිබූ බවට සලකුණු ඉතිරිව පවතී.

මණ්ඩපයේ බර දරාගෙන සිටින ශෛලමය කුලුනු 54 කි. ඒවා නන් විධ කැටයමින් අලංකෘත වී උසස් කලා රසයක් උත්පාදනය කිරීමට සමත් වී සිටියි.

මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ පොළොන්නරුවේදී හමුවන නිර්මාණයන් මතින් හින්දු කලා සම්ප්‍රදායේ ලක්‍ෂණ ඉස්මතු වුවද මෙහි ආකෘතිය අනුරාධපුර කලා ඇසුර අනුගමනය කර ඇති බවයි.

ඒ සියලු දර්ශනයන් අභිභවන මෙම දන්තධාතු මන්දිරයෙහි වම් පසින් පිහිටුවා ඇති වේලයික්කාර ද්‍රවිඩ ශිලා ලිපිය පුරා යුගයක අසමසම සහබන්ධනයක ප්‍රශස්ථ ලක්‍ෂණ මතුකරවන සුළු සම්භාව්‍ය කෘතියක් මෙනි.

මෙය ද්‍රවිඩ ශිලා ලේඛනයක් බව පළමුව අප මෙනෙහි කරගත යුතුවෙයි.මේ පිළිබඳ ප්‍රථම වරට කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ 1903 වසරේදී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී. පී. බෙල් මහතා විසිනි. ලේඛනය දහවෙනි දාහතරවැනි සියවස් අතරතුර කාලයේ අක්‍ෂරයන්ගේ සම්මිශ්‍රණයකි.

මෙම ගිවිසුම කඩ කිරීමට තුඩුදෙන ඕනෑම ක්‍රියාවක් යම් කෙනෙකු විසින් කරනු ලබන්නේද එය වේලයික්කාර සහ මහාතන්ත්‍රයනට ද බුද්ධ ශාසනයටද එරෙහිව සිදු කෙරෙන ක්‍රියාවක් වශයෙන් සලකන බවද ප්‍රකාශ කෙරෙයි. මෙම සෙල්ලිපිය ගිවිසුම් පත්‍රයකි. එදා වෙයිලක්කාර හමුදාව දළදා වහන්සේ සහ මැදුර ආරක්‍ෂා කිරීමට මෙන්ම ඒ හා බැඳුණ ගම්, සේවකයන් මෙන්ම ධනය ආරක්‍ෂා කරමින් සිද්ධස්ථානයට අවශ්‍ය සියලු දේ සැපයීම ඔවුන්ගේ වගකීම විය.

මෙයින් ගම්‍ය වන්නේ රජු මෙන්ම භික්‍ෂූන් වහන්සේ තම දිවි පරදුවට තබා සුරකින දන්තධාතුන් වහන්සේගේ ආරක්‍ෂාවට වේලයිකාර ද්‍රවිඩ හමුදාවක් යෙදවීමට තරම් ඔවුන් කෙරෙහි වූ අතිශය විශ්වාසය හා පැහැදීමය.

එයින් කියැවෙන්නේ විජයබාහු රජු බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි බුදු සසුනේ ආරක්‍ෂාව වෙනුවෙන් මුළු ශ්‍රී ලංකාදීපයම වසර 55 ක් පාලනය කරමින් වයස 73 දී ජන්මෝත්සවය සමරන ලද බවත් ආදි තොරතුරුය. රජතුමාගේ නියමය අනුව නුවර්කල් දේව සෙනෙවිරත්තර් විසින් දළදාගෙය ඉදිකළ බවත්ය.

එසේම රටෙහි ව්‍යාකූලත්වය හේතුවෙන් මොග්ගල්ලාන මහතෙරුන් වහන්සේ විසින් පූජනීය දන්ත ධාතුන් මන්දිරයෙහි සම්පූර්ණ භාරකාරත්වය වේලයික්කාර හමුදාවට භාර කරන ලද පුවත හමුවෙයි. එවක පටන් ඔවුන් විසින් මෙම පූජනීය දළදා මන්දිරයට තම අනුග්‍රහය යටතේ පුණ්‍යායතනයක් වශයෙන් සලකන ලද බවත් එයින් කියැවේ.

වේලයික්කාර හමුදාව සලකා ඇත්තේ දන්ත දාතුන් වහන්සේට මෙන්ම එම මැදුරට හානියක් හෝ අවැඩක් වීම බුද්ධ ශාසනයට මෙන්ම තම ජාතියටද වන අවැඩක් ලෙසය.

විමසා බලන්න. මෙවන් සහබනධනයත් දෙස පරම ඥාතීත්වය ගොඩනැඟෙන්නේ විශ්වාස නම් ඒ උත්තම පදනම මත බව. විෂමතාවයන් පැන නැ‍ෙගන්නේ කුලගොත් ජාතින් නිසා නොව අපගේ පටු සංකල්පනාවන් මතය. එකිනෙකා කෙරෙහි අවබෝධයක් විශ්වාසයක් පවතින තැන ගොඩනැඟෙන්නේ නොලිහෙන මහා බන්ධනයකි. ප්‍රමාණයෙන් කුඩා වුවද මහත් වූ ගුණ කදම්බයක බර උසුලා සිටින මේ අටදා මැදුර නොහොත් දළදා මාලිගයේ ලාලිත්‍යයෙන් හෙබි නොසෙල්වෙන ගල් කණු අදත් ඔසවාගෙන සිටින්නේ විෂම ජාති භේද නොසලකා උත්තම මනුෂ්‍ය ගුණයෙන් ජනිත වන ඥාති මිත්‍රත්වයේ හෘදයාංග බව යැයි සිතෙයි.

No comments:

Post a Comment