Monday, 10 August 2015

දීමේ භාවනාව

දීමේ භාවනාව

දීම හෙවත් ත්‍යාගය මුල් කොට ත්‍යාගානුස්සති භාවනාව වඩන ආකාරය විස්තර කැරෙන ලිපියකි.

ලෞකික ජීවිතයේ දී අනේකවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වන බව ඔබ දන්නෙහි ය. එම සියලු ගැටලුවලට විසඳුම් බුදු දහම තුළ පෙන්වා දී ඇත. ගිහි හෝ පැවිදි හෝ අපට අවශ්‍ය කරන්නේ මානසික සැනසීම යි. එම සැනසිල්ල ලබාගන්නා ආකාරය මජ්ඣිම නිකායට අයත් ‘සබ්බාසව’ සූත්‍රයේ ඉතා පැහැදිලි ව දක්වා ඇත. එහි සඳහන් පරිදි:

1. පටිසේවන පහාතබ්බා - අවශ්‍ය දේවල් පරිදි සීමා සහිත ව පරිහරණය කිරීම මගින් බොහෝ ගැටලු විසඳාගත හැකි ය.

2. අධිවාසන පහාතබ්බා - ඉවසීම මගින් බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකිය.

3. පරිවර්ජන පහාතබ්බා - සිතට ආවේගයක් ඇති වූ විට එම ස්ථානයෙන් ඉවත් ව යෑම මගින් බොහෝ ගැටලු විසඳාගත හැකි ය.

4. විනෝදනා පහාතබ්බා - සිත තුළ ඇති වන කෝපය, වෛරය පළි ගැනීමේ චේතනාව, තණ්හාව, ආශාව වැනි චේතනා ඉවත් කර ගැනීමෙන් බොහෝ ගැටලු විසඳාගත හැකි ය.

5. දස්සනා පහාතබ්බා - අවබෝධයෙන් කටයුතු කිරීම යි. හොඳ සහ නරක පිළිබඳ, කළ යුතු දෙය නොකළ යුතු දෙය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමෙන් බොහෝ ගැටලු විසඳාගත හැකි ය.

6. සංවර පහාතබ්බා - මෙයින් පෙන්නුම් කරන්නේ පංච ඉන්ද්‍රියයන් සංවර කරගන්නේ නම් වර්තමානයෙහි අප දකින බොහෝ සමාජ ගැටලු විසඳාගත හැකි ය.

7. භාවනා පහාතබ්බා - මනස නොහොත් සිත සංවර කරගැනීම මගින් සියලු ගැටලු නිරාකරණය කරගත හැකි ය.

බුදු දහමේ ඉගැන්වීමට අනුව සියලු දෙයට ම ප්‍රධාන වන්නේ මනස හෙවත් සිත ය. යමෙක් සිත සංවර කරගන්නේ නම් හෙතෙම සමාජයට වැඩදායක අයකු මිස, සමාජයට කරදරකාරි අයෙක් නො වේ. ඔහුගෙන් හෝ ඇයගෙන් සමාජයට සෙතක් ශාන්තියක් මිස කරදරයක් විපතක් ඇති නො වේ.

මනස හෙවත් සිත එකඟ කරගැනීම මගින් අපේ සිත සහ හදවත පිරිසිදු කරගැනීමට බෞද්ධ භාවනා ක්‍රම අතිශය වැදගත් වෙයි. එයින් සිතෙහි නීරෝගිතාව මෙන් ම කයෙහි නිරෝගිතාව ද ඇති කරගත හැකි ය. සමථ භාවනා කිරීමේ දී කමටහන් හතළිහක් පමණ ඇත. එයින් එක කමටහනක් නම් ත්‍යාගය යි. එය ත්‍යාගානුස්සති භාවනාව වශයෙන් හැඳින්වේ.

ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, දෙන ලද දානයක් පිළිබඳ මෙනෙහි කරමින්, ‘මච්චේර මල පරියුට්ඨිතාය අජාය විගත මච්චරේන චේතසා විහාරාමි මුක්තචාගෝපයථපානී වොස්සග්ගරතෝ යාචයෝගෝ දාන සංවිභාගරතෝ...’ (අංගුත්තර නිකාය) සඳහන් පරිදි: ‘ඒකාන්තයෙන් ම මට ලැබුණේ ලාභයකි. මසුරුකමෙන් මිදුණෙමි. සම්පූර්ණ අයිතිය අත්හැර දන් දෙන්නෙක් වෙමි (මුක්තචාගෝ), සැමදා මගේ අතින් සකසා දන් දෙන්නෙක් වෙමි (පයථපානී), නිරන්තරයෙන් ම දන් දෙන්නට කැමැත්තෙක් වෙමි (වොස්සග්ගරතෝ), කිසිවකු විසින් අල්ලන ලද දෙය පරිත්‍යාග කිරීමට කැමැත්තෙක් වෙමි (යාචයෝගෝ), මැනවින් පිළියෙල කර සහ පරිභෝග කළ යුතු දෙයින් කොටසක් දන් දෙනු කැමැත්තෙමි (දාන සංවිභාගරතෝ) යන ආදි

වශයෙන් තමන් කළ පරිත්‍යාගය මෙනෙහි කළ යුතු ය.

ඔබ මෙයට පෙර දන් දී පුරුදු නැති අයකු නම් මෙම භාවනාව ඇරඹීමට ප්‍රථම සිල්වත්, ගුණවත් ප්‍රතිග්‍රාහකයකුට ආහාර ස්වල්පයක් හෝ පිළිගන්වා, ‘ඉදිරි කාලයෙහි ද හැකි අයුරින් නොකඩවා දන් දෙමි’ යි කියන ස්ථිර වූ ද දැඩි වූ ද අධිෂ්ඨානයක් ඇති කරගන්න. එසේ අධිෂ්ඨාන කරගෙන, තමන් දෙන ලද දානයෙහි වටිනාකම මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කරන්න. මෙහි දී දානය වශයෙන් ආහාර පමණක් සැලකිය යුතු නැත. බෙහෙත්, ඇඳුම් පැලඳුම්, නිවාස, පොත්පත්, කුමන දෙයක් වුව ද අවස්ථාවෝචිත ව යොදාගත හැකි ය.

දන් දෙන පින්වතුන්ට එයින් අත් වන ප්‍රතිලාභ රැසක් අංගුත්තර නිකායෙහි දක්වා ඇත. ‘ලාභෝවතමේ’ තමන්ට එයින් ලාභයක් අත් වෙයි. ‘ආයුංකෝපන දත්වා ආයුස්සභාගීහෝති දිබ්බස්සවා මනුස්සස්සවා’ ආයුෂ දෙන නිසා තමන් ලබන දිව්‍ය මනුස්ස ආත්මවල ආයු ප්‍රමාණය වැඩි වෙයි. ‘දදංපියෝහෝති භජන්තිනං බහුං’ දන් දෙන පුද්ගලයා ලෝකයට පි‍්‍රය වෙයි. ‘සතං ධම්ම මනුක්ඛමං’ ඔහු සත්පුරුෂ ධර්මයට අනුව කටයුතු කරන්නෙක් වෙයි.

බුදු හිමියන් විසින් දන් දීම ගැන ආනිශංස වදාරන ලද්දේ යම් සේ ද එම ආනිශංස තමන්ට ද අත් වන්නේ ය. දීමෙහි වටිනාකම ගැන මෙසේ ධර්මානුකූල ව අවබෝධයක් ලබාගත් ඔබ ත්‍යාගානුස්සති කමටහන වැඩීමට සුදුසු අවස්ථාවට පත් ව සිටින්නෙහි ය.

සුදුසු ස්ථානයකට ගොස් පහසු ඉරියව්වෙන් වාඩි වී භාවනා කිරීම ඇරඹිය යුතු ය. බුද්්ධානුස්සති වැනි කර්මස්ථානවල මෙන් මූලික පූර්ව කෘතීන් සිදු කර, තමන් විසින් කරන ලද දානමය පුණ්‍ය කර්මය පිළිබඳ සිතමින් සතුට ඇති කරගත යුතු ය.

‘සාධු සාධු! දීම නිසා මට ඒකාන්තයෙන් ම ඇති වූයේ ලාභයක් ම ය. දිව්‍ය මනුෂ්‍ය සැප-සම්පත් ලැබීමට සුදුස්සෙක් වුණෙමි... දන් දීම උතුම් ලාභයකි’. මෙසේ සිටීම් ඉඳීම් වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය. අනතුරු ව ‘සාධු සාධු! දන් දීම නිසා බුද්ධ ශාසනයෙන් නියම පල- ප්‍රයෝජන ලබාගත්තෙමි. මිනිස් ආත්මයෙන් නියම ප්‍රයෝජන ලබාගත්තෙමි. දන් දීම උතුම් ය.’

මෙලෙස හොඳින් ප්‍රගුණ වන තුරු භාවනා කළ යුතු ය. ඉන් අනතුරු ව ‘දන් දීමෙන් ලාභ ප්‍රයෝජන කිසිවක් බලාපොරොත්තු නොවෙමි. පූර්ණ අයිතිය අත්හැරදමන්නෙමි. මගේ දානය ඉතා උතුම් ය.’

මෙම කොටස් ඉහත සඳහන් කොටස් සමග සම්බන්ධ කරගනිමින් එක් වරකට පැයක් හමාරකවත් භාවනා කළ යුතු ය.

ඉන් පසු ව ‘මගේ අතින් පිළියෙල කර, පිරිසිදු සිතින්, මුල, මැද, අග යන තුන් කාලයේ හිත පහදාගෙන දෙන ලද මගේ දානය ඉතා උතුම් ය. පරිත්‍යාග චේතනාවෙන් නොකඩ කොට, නොවරදවා ම නිරතුරු ව ම දෙන ලද මගේ දානය ඉතා උතුම් ය. මා වෙත පැමිණෙන සිල්වතුන්ට, දුගී මගී යාචකයන්ට පිරිසිදු සිතින් දෙන ලද දානය ඉතා උතුම් ය. මගේ දානය ගෞරවයෙන් පිළියෙල කරන ලද්දක් ය. මගේ ආහාරයෙන් කොටසක් නොවරදවා ම දන් දෙමි. දන් දීම මහා සැපතකි. මාගේ දානය ඉතා උතුම් ය.’

මෙලෙස සජ්ඣායනා වශයෙන් මෙම සියලු කොටස් සති කිහිපයක් භාවනා කර, අනතුරු ව මනසිකාර භාවනාවට යොමු විය යුතු ය. හොඳින් ප්‍රගුණ වන තුරු නොකඩවා මෙම භාවනාව කළ යුතු ය. මෙම භාවනාව දිගින් දිගට ම කරන විට ඔබගේ සිත තුළ පිහිටි රාග, ද්වේෂ, මෝහ සිතිවිලි සංසිඳී යනු ඇත. ත්‍යාගවන්ත බව අරමුණු කරගෙන සිත ඍජු බවට පත් වේ. කාමච්ඡන්ද ආදි නීවරණ පහ ව ගොස්, ධ්‍යාන උපදවාගත හැකි වෙයි. තම භාවනාවෙහි උතුම් බවත්, එහි ආනිශංසත් විවිධ අයුරින් මෙනෙහි කරත් ම නීවරණ යටපත් ව, ‘විතර්කය’ පහළ වෙයි. මනසිකාර අරමුණෙහි ම විතර්කය පහළ වන විට ‘විචාරය’ දියුණු වෙයි. කෙලෙස් කසට දුරු කර, සන්සුන් ව භාවනා කිරීමෙන් ‘පී‍්‍රතිය’ හට ගනියි. එම පී‍්‍රතිය නිසා ම සිත සැහැල්ලු බවට පත් ව, බලවත් වූ ‘සුඛය’ පහළ වෙයි. මෙලෙස විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ යන ධර්ම හතර අනුව සිත යොමු කරමින් තව දුරටත් භාවනා කරන විට සිතෙහි ‘ඒකාග්‍රතාව’ පහළ වෙයි.

මෙහි දක්වන පරිදි ත්‍යාගානුස්සති භාවනාව වඩන පින්වත්හු නිරතුරු ව ම ත්‍යාගශීලි ව කටයුතු කරති. ඔහුගේ හෝ ඇයගේ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි හට නොගනියි; කරුණා, මෛත්‍රී සිතිවිලි ඇති ව ම කටයුතු කරයි. ඔහු හෝ ඇය විශාරද බවට පත් වෙයි; නිතර සතුටින් කාලය ගත කරයි. මෙම ආත්මයෙහි මාර්ග ඵල නොලබන්නේ නම් ඒකාන්තයෙන් ම මතු සුගතියෙහි ඉපදීමට වාසනාව ලැබෙයි. ද

(විසුද්ධිමාර්ගය, මජ්ඣිමනිකාය, සබ්බාසව සූත්‍රය, අංගුත්තරනිකාය අසුරු කැරිණි).

No comments:

Post a Comment