Sunday, 23 August 2015

සොදුරු රූ මවන දෙගල්දොරුව රජ මහ වෙහෙර

සොදුරු රූ මවන දෙගල්දොරුව රජ මහ වෙහෙර

ගල් කුළු දෙකක් එකට යා වෙන තැනක් තුළ වු ලෙනක් ඇතුලත රන් දෑ කැති තිබුණු බවත් ගොයම් කැපීමට එයින් දෑකැති දෙකක් ගත් ගැමියකු ඉන් එකක් තණ්හාවට ලඟ තබා ගත් බවත් එක් ජන කතාවක කියැවෙයි. පසුව ලෙනට අයිතිවාසිකම් කියු බහිරවයකු අර ගැමියාව බය කළ නිසා නැවත රන් දෑකැත්ත ලෙනට ගෙන ගොස් තැබූවිට ගල් දොර වැසී ගිය පුවත දුම්බර ගැමි කතා අතර ප්‍රකට වූවකි. එසේ ජනශ්‍රැතියේ පවතින්නේ එවන් සන්සිද්ධියක් ඇතිවූ ගල්දෙකක් අතර මෙසේ සෑදූ විහාරස්ථානය දෙගල්දොරුව විහාරය වු බව යි.

ඇතැම් විට ජනශ්‍රැතියේ ගොඩනැගෙන කතා තුළ සත්‍ය අර්ධ සත්‍ය, මෙන්ම අතිශයෝක්ති ප්‍රබන්ධයන් ද සම්මිශ්‍රව පවති’යි. බොහෝ විට ජනවහර විසින් ඉතිහාසයට යම් චමත්කාරයක් ද එකතු කරනු ලබයි. දෙගල්දොරුව තඹ සන්නසට අනුව කියැවෙන්නේ පිහිටි ගල්ලෙනක් යවුල් කුළු ආදිය යොදා විහාර මන්දිරයකට උචිත ලෙස සකස් කළ බව යි. එහි සඳහන් වන ආකාරයට සැකැසූ ගල්ලෙනෙහි උස තුන් රියනකි. දිග දොළොස් රියනක් ද පළල අටරියනක් ද වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රදේශයේ අමුණුගම ග්‍රාමයේ දෙගල්දොරු රජ මහා විහාරස්ථානය පිහිටා තිබෙයි. විහාරස්ථානය ගොඩනංවන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747 – 1782) රජතුමා විසින් එතුමාගේ අවසාන කාලයේ දී ය. එම නිසා විහාර කර්මාන්තයේ වැඩ නිම කිරීමට නොහැකි වෙයි. මෙය නිම කිරීමේ ගෞරවය හිමිවන්නේ එතුමාගේ බාල සොයුරු රාජාධිරාජසිංහ (ක්‍රි.ව. 1782 – 1798) රජතුමාට ය. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1989 – 1815) රජතුමාගේ අනුග්‍රහය ද විහාරස්ථානයට ලැබී තිබේ. 1786 දී තඹ සන්නසක් මගින් විහාරයට ගම් බිම් පූජා කිරීම සිදු කළ අතර රාජාධීරාජසිංහ රජතුමාගේ ගුරු පදවිය හෙබ වූ රාජගුරු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් වෙත මෙම විහාරස්ථානය පූජා කළේ රජතුමා විසින්ම ය.

රාජ අනුග්‍රහයෙන් විශාල පරිත්‍යාගයන් සමග එය තම ගුරු දේවයන්ට පැවැරීමෙන් පෙනී යන්නේ විහාරස්ථානයේ පැවැති විශේෂත්වය යි. දෙගල්දොරුව විහාරය අද වඩාත් ප්‍රකටව ඇත්තේ එහි ඇති කලා නිර්මාණයන් නිසා ය. මෙහි බිතු සිතුවම් නුවර කලා සම්ප්‍රදායේ වඩාත් ආකර්ෂණීය කලාත්මක වටිනාකමකින් හෙබි නිමැවුම් බව ආනන්ද කුමාරස්වාමි, මංජු ශ්‍රී වැනි බහුතර කලා විචාරකයන්ගේ අදහස වී තිබේ. විහාරයේ බිතු සිතුවම් ඇඳීම සඳහා එවකට නම් දරා සිටි කීර්තිමත් කලා ශිල්පීන් හතර දෙනෙකු සම්බන්ධ කරගෙන ඇත. දේවේන්ද්‍ර මූලාචාරී එහි ප්‍රධානත්වය ඉසිලූ අතර දෙවරගම්පල සිල්වත් තැන, හිරියාල නයිදේ නොහොත් හිත්තර නයිදේ සහ නීලගම පටබැඳි අනෙකුත් ශිල්පීන් තිදෙනා ය.
විහාරයේ බිතු සිතුවම් අඳින විට ඒවා බලන්නට රජතුමා ද නිතර පන්සලට පැමිණෙයි. දවසක් එක් සිත්තරකු චිත්‍රයක් අඳි මින් සිටි අතර කටේ තිබූ බුලත් හපය ගෙන පසු පසවත් නොබලා ගෝලයාගේ අත මතතබ යි. හපය විසි කරන්නට අඩි කීපයක් යෑම තබා මුහුණ හැරවීමෙන් පවා තම අවධානය වෙනතකට යොමු නොකරමින් සිතුවම් ඇඳීමෙන් පෙනී යන්නේ සිත්තර සිත සිතුවම කෙරෙහිම පමණක් බැඳී රැඳී පැවතුණු බවය.

ඔය විදියට සිත්තරා බුලත් හපය ගෝලයාගේ අත මත තිබූ විට ගෝලයා එය පිළිගත්තේ දෑතම එක්කරලමින්, වෙනදාටත් වඩා ගෞරවයකිනි. එදා වඩාත් ගෞරවයෙන් බුලත් හපය දෝතින්ම ගත්තේ ගෝලයා යැයි සිතා වරදවා ගත් රජතුමා ය. ඇත්තෙන්ම මේ සිදුවීමෙන් හැඟෙන්නේ රජතුමා ශිල්පීන් වෙත දැක්වූ ගෞරවය යි. එමෙන්ම බාහිර ලෝකයේ කිසිවක් නොදකින සිත්තරා රජතුමා ද ගෝලයා ද වෙන් වශයෙන් හඳුනා නොගත්තේ ඒ මොහොතේ ඔහුගේ ආත්මයම යොමුව තිබුණේ නිර්මාණය කෙරෙහිම නිසා ය. එවන් පසුබිමක නුවර කලා සම්ප්‍රදායේ ආත්මීය ප්‍රකාශනයේ අගය දෙගල්දොරුව බිතු සිතුවම් තුළින් විද්‍යාමාන වේ. දෙගල්දොරුව බිතු සිතුවම් මතින් දර්ශනය වන්නේ වෙස්සන්තර, සත්තුභත්ත, සුතසෝම මහා සීලව ජාතක කතා, සහ මාර පරාජය වැනි සිතුවම් ය. මහනුවර යුගයේ සිතුවම් අතර විශේෂයක් වන්නේ දිගු කතාවක් සිදුවීම් පෙළකින් අඛණ්ඩ කථන මාර්ගයෙන් එකවර දර්ශන පථයට රැගෙන ඒම ය. එහෙත් සිත්තරාගේ පරිකල්පන ඤාණය සිතුවම් හි දකින්නට ලැබේ.
වෙස්සන්තර රජතුමා තම ඇලි ඇතා දන්දීමේ පුවත ඊට කදිම උදාහරණයකි. මුලින්ම ඇතා රැගෙන එන දර්ශනයත් දෙවනුව ඇතා දන් දෙන සිදුවීමත් එකම පනේලයක වෙන් කිරීමකින් තොරව චිත්‍රයට නගා තිබේ. එහෙත් හොඳින් සිතුවම් දෙස බැලීමේදී පෙනී යන්නේ මුල් කොටසෙහි ඇතා සහ පරිවාර ජනයා ගමන්කරන විලාශය යි. ඇතාගේ ගතේ බැඳි සීනුව පවා ගමන් ලතාවට පැද්දෙන අයුරු චිත්‍රනය කිරීමට ශිල්පියා වග බලා ගෙන තිබේ. දෙවන කොටසට අයත් දන් දෙන මොහොතේදී ඇතා මෙන්ම පරිවාර ජනයා ද නැවතී සිටිති. එමෙන්ම ගමනේදී ඇතාගේ පිට මත සිටි රජතුමා ඇතා දන්දෙන මොහොතේ සොඬය වටා අත යවා ඇත. යම් පූජාවකදී අත පැන් වත්කරන්නේ එය ඉතා ගෞරවණීය වන නිසා ය.

මෙම ඇත් පූජාවේදී ද අත පැන්  වත් කර පරිත්‍යාගය සිදුවන අයුරු චිත්‍රයට නගා ඇත. ඇත්තෙන්ම මෙම ඇලි ඇත් පූජාව සෙනෙහස - ගෞරවයෙන් පරිත්‍යාග කරන මොහොතක් වැනි යැයි සිතේ. ජාතක කතාවෙන් මතු වෙන මුඛ්‍ය පරමාර්ථය චිත්‍රනය කිරීමේ ප්‍රයත්නයේදී ශිල්පියා සතු ප්‍රතිභාව ඔහු සතු සංයමීය මානුෂික ගුණය මෙවන් සිතුවම් මතින් පිළිබිඹු වීම සුවිශේෂී වෙයි. එවකට පැවැති දේශපාලන සමාජ, සංස්කෘතික පසුබිම මත නුවර යුගයේ සිතුවම් සම්ප්‍රදායේ දුර්වලතා මතු වුව ද ඒ දුර්වලතා මධ්‍යයේ වුව පොදුවේ කලාකරුවා සතු ළයාන්විත නිවුණු සිතක ගුණය මෙවන් කලා කෘති සියුම්ව විමසීමේදී හඳුනා ගැනීමට පුළුවන.

එසේම දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වන මාර පරාජය මේ වන විට බහුතර වියතුන්ගේ නොමද අවධානය දිනාගත් සිතුවමකි. ශෛලමය වියනේ රෙදිකඩක් අලවා ඒ මත මාර යුද්ධය සිතුවම් කර තිබීම නූතන කැන්වස් චිත්‍රයට එදා ශිල්පියා දුන් ආදර්ශයකි. මේ තරම් හොඳින් සිතුවම් කළ ‘මාර යුද්ධ’ සිතුවමක් වෙනත් කිසිදු විහාරයකදී තමා දැක නැති බව මංජු ශ්‍රී පවස යි. දෙගල්දොරුව ‘මාර පරාජය’ පාරම්පරික සිතුවම් සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බව ඔහුගේ අදහස යි. පස්මරුන් නමැති මාර සංකල්පය ශිල්පියා පිළිබිඹු කරන්නේ මුහුණු 5 ක් අත් දහයක් සහිත රුවක් මගිනි. මාර පරාජය කළ මුනිඳුන්ගේ සිතුවමෙහි මුවෙහි සිහින් සිනා රැල්ලක් ද ඇත. මාරයා ඉදිරියේ නොසැලුණ බව ශිල්පියා දැක්කේ එසේ විය හැකි ය. මාර පරාජයේදී මහ පොළොව කම්පා වු බව පෙන්වීමට මගී කාන්තාව යන සංකල්පය කාන්තා ස්වරූපයෙන් චිත්‍රයට නගා තිබේ.

මෙහි ඇති සුවිශේෂී අවස්ථාව වන්නේ භයංකාර මාර දෘෂ්ඨියට විසුළු ස්වරූපයක් ද ආරූඪ කර මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද ඇඳා ගැනීම ය. පෘතුගී‍්‍රසි ,ලන්දේසි, දුෂ්ඨ ආක්‍රමණිකයන්ගේ කටුක මතකය විසින් ශිල්පියා මාරයා අතට තුවක්කුව දුන්නේ ද? එසේත් නැතිනම් ඊටත් පෙර සිට සංග්‍රාමයන්හි දී අපේම තුවක්කු තිබූ බව ඉතිහාසඥයන් සඳහන් කරන බැවින් ඒ තුවක්කු මාරයා අතට දුන්නා දැයි සිතන්නට සිත්තරා විසින් අපූරු සංකල්පයක් මෙතැන දී ඉදිරිපත් කර තිබේ. කෙසේ වුවත් සමස්ත සිතුවමෙහි පසුබිම විසින් පිරුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. සම්ප්‍රදාය මත සිට ගනිමින් ශිල්පියා පෙරලිකාරී ලෙස නිදහසේ පින්සල හසුරුවා තිබේ. එසේම විවේචනයන්ට නොබියව ගතානුගතික සිරිමැදිරි කඩා බිඳගෙන ඉදිරියට එන නිර්මාණකරුවාගේ කලාකාමී මානසිකත්වයේ විප්ලවීය වෙනස විසින් මෙම නිර්මාණයේ අපූර්වත්වයට අද වටිනාකමක් ප්‍රදානය කර තිබේ.

එය එසේ වන්නේ ප්‍රකෘති අච්චුවෙන් එපිට වු වෙනස් සිතුවිලි විසින් නොයෙක් අතට යෑමට පේ‍්‍රක්‍ෂකයාට ඉඩ හසර විවර කර දී ඇති බැවිනි. එසේම මෙහි වන සිතුවම් ඇතැම් විට පවතින යුගයේ ප්‍රතිබිම්බයකි. ගේ දොර ඇඳුම් ආයිත්තම් මගින් ජන දිවියේ, සංස්කෘති යේ එක් පැතිකඩක් පිළිබඳව නිහඬ වෙසින් අදත් කතා බහ කරයි. විහාරමැදුරේ ඇති සැතපෙන පිළිමය ඇතුලුව තවත් පිළිම වහන්සේ හය නමකි. මේවා ද නුවර සම්ප්‍රදායේ දුර්වල පිළිම අතර පවතින සාර්ථක නිර්මාණයන් බව පෙනෙ යි. පිටත ඇති ශෛලමය දොර පඩිය අඩ සඳ ආකෘතිය බිඳ දැමූ කේතුකාකාර සඳකඩ පහණකි. මෙය ද නුවර යුගයේදි හමුවන විශේෂ නිර්මාණයකි.

එසේවූ මහනුවර කලා සම්ප්‍රදායේ එක් සන්ධිස්ථානයක නැවැතී කලා කෘති දෙස දෑසින් බලා මනසින් විමසීමට දෙගල්දොරුව විහාරයේ දොර අප වෙනුවෙන් විවෘතව පවතී.

No comments:

Post a Comment