Tuesday, 4 August 2015

සද්ධර්ම ශ්‍රවණය හා නිර්වාණය

සද්ධර්ම ශ්‍රවණය හා නිර්වාණය


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය අනුනායක
ශාස්ත්‍රපති,
විද්‍යාවිශාරද,
රාජකීයපණ්ඩිත
වේඬරුවේශ්‍රී අනෝමදස්සි  මාහිමිපාණන් වහන්සේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ද්වේ මේ භික්ඛවේ නිබ්බාන ධාතුයෝ,
කතමාව ද්වේ නිබ්බාන ධාතුයෝ,
සොපාධිසේසා නිබ්බාන ධාතු
අනුපාධිසේසා නිබ්බාන ධාතුති.

බණ අහන තැනැත්තන්ටයි නිවන කිට්ටු වෙන්නේ. එහෙම කියන්නේ ඇයි? බණ භාවනාදිය කරල ඉන්ද්‍රියන් ශක්තිමත් වෙලා දියුණු වෙලා තිබුණත් ධර්මයට, ධර්ම දේශනාවට ඇහුම්කම් දුන්නේ නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ නොවන බව අපේ බණ පොත්වල සඳහන් වෙනවා.

අද මාතෘකාවට මූලිකව පවතින්නේ “නිබ්බාන සච්චිකිරියාච” යන මේ ධර්ම පාඨයට අනුව ධර්ම කරුණු කියා දීමයි. මංගල සූත්‍රයේ මංගල කරුණු තිස් අටක් තියන බව කවුරුත් දන්නවා. පටන් ගන්නේ නරක මිනිස්සු ආශ්‍රය කරන්න හොඳ නැහැ, අසේවනාච බාලානං කියන මේ පාඨය මුල් කරගෙන. අවසන් වන්නේ නිවන් දැක්ක පුද්ගලයන්ගේ තත්ත්වයෙන්.

බුදුහාමුදුරුවන් දේශනා කරලා තියනවා, “නිබ්බානධාතු” දෙකක්. සමහර කෙනෙක් ප්‍රශ්න කරයි, නිවන එකක් මිස දෙකක් වුණේ කෙසේ දැයි කියා.

නිවන කියන්නේ සන්සිඳීම, නිවීම. මෙසේ නිවෙන ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දෙක සොපාධිසේස නිර්වාණ ධාතුව හා අනුපධිසේස නිර්වාණ ධාතු වයි.

යම් කෙනෙක් රහත් වෙනවා. ඒ කියන්නේ චිත්ත සන්තානයේ මුල් බැහැගෙන තියන කෙලෙස් බින්දුවක්වත් ඉතිරි නොකොට සහ — මුලින්ම ඉවත් කරනවා. බැහැර කරනවා. මෙසේ කෙලෙස් ඉවත් කළ උත්තමයට කියනවා, රහතන්වහන්සේ කියලා. තවත් විදිහකින් කියනව. නම් රහසේවත්, කාටවත් නොපෙනෙන්නටවත් මොනයම් වැරැද්දක්වත් කරන්නේ නැත්නම්, ඒ උත්තමයා රහතන් වහන්සේයි. එක තේරුමක් ඒක. ඒ රහතන් වහන්සේ ජීවත්ව ඉන්න කාලයේදී ප්‍රත්‍යක්ෂ කරගත් නිබ්බාන ධාතුවට සෝපාධිසේස නිබ්බාන ධාතුව කියනවා. ඇයි? උන්වහන්සේගේ පංචස්කන්ධය ඉතුරුවෙලා තියනවා. ජීවත්ව ඉන්න නිසා. උන්වහන්සේගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ස්කන්ධස්ථාන ඉතුරු වෙලා තියෙනවා. පෙර කර්ම වේගයෙන් උපන්, හටගත් මේ ශරීරය ඒ විපාක ස්කන්ධය, විපාක පරපුර තිබෙනතුරු උන් වහන්සේ ජීවත්ව ඉන්නවා. ඒකට කියනවා සෝපාධිසේස නිබ්බාන ධාතු කියා.

උපධි කියන්නේ පංචස්කන්ධය. එය තාම ඉතුරුවෙලා තියනවා, උන්වහන්සේ ජීවත්ව ඉන්න හින්දා. නමුත් කෙලෙස් නැහැ. සියල්ල ප්‍රහීන කරලා, නැති කරලා. ශරීරය තියනවා.

උන්වහන්සේට වේදනාව දැනෙනවා සංඥාව හෙවත් ඇඳින ගැනීමේ ශක්තිය තියනවා. සංස්ඛාර කොටසක් තියනවා. සංස්කාර 52 යි. ඉන් සමහරක් තියනවා. මේවා දෙපනස් චෛතසික ලෙසත් හැඳින්වෙනවා. විඤ්ඤාණය තියනවා.මේ නිසා උන්වහන්සේගේ පංචස්කන්ධය ඉතුරුවෙලා තියනවා.උන්වහන්සේ යම් දවසක ඒවා අතහැරියොත්, පංචස්කන්ධය අතහැරියොත් එබඳු අවස්ථාවට කියනවා, අනුපධිසේස නිබ්බාන ධාතු කියා. ඉපදීම ඉන් ඉවරයි.

මේ පංචස්කන්ධය තමයි අපි බොහෝ ම සන්තෝෂ කරන්නේ. අපේ ශරීරය බොහොම ලස්සනට තියනවා නම් අපේ මුහුණ බොහොම හොඳට පෙනුමට තියනවානම්, දත් හොඳට තියනවානම්, නහය හොඳට තියනවා නම්, ඇඟපත හොඳට තියනවා නම් අපි හරිම කැමැතියි.

රහතන් වහන්සේට මේ කියන ශරීරාංග තිබුණත් උන්වහන්සේ ඒ කිසිවක් විශේෂ වශයෙන් ගණන් ගන්නේ නැහැ. උන්වහන්සේටත් සැප දුක් දැනෙනවා. කන තියෙන නිසා ශබ්දය ඇහෙනවා. දිව තියෙන නිසා රස දැනෙනවා. නාසය තියෙන නිසා ගඳ සුවඳ දැනෙනවා. කය තියෙන නිසා ස්පර්ශය දැනෙනවා. නමුත් මේ කිසිවක් නිසා උන්වහන්සේ ගේ ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන්නේ නැහැ.

ඒකට කියනවා “අනුනය පටිඝ” කියල. ඇලෙනව නම් අනුනය, ගැටෙනව නම් පටිඝ. ඇලුනොත් ආශාව ඇති වෙනවා. ගැටුනොත් ද්වේශය ඇතිවෙනවා. මෙ දෙකම උන්වහන්සේට නැහැ. ඒ නිසා උන්වහන්සේ අර පංචස්කන්ධය කෙරෙහි උපේක්‍ෂාවෙන් බලා ඉන්නවා. මේක පවත්වා ගන්න උන්වහන්සේගේ කැමැත්තක් නැහැ. අපි නිතරම කැමැති වන්නේ මේක ඉදිරියට දිගින් දිගට පවත්වා ගෙන යෑමටයි.

ජීවිතං වා නාභිනන්දති

මරණං වා නාභිනන්දති

රහතන් වහන්සේ ගේ හැටි එහෙම තමයි. ජීවත්වීම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. මම කලක් ජීවත් වුණොත් හොඳයි කියා උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් අදහසක් නැහැ. මම ඉක්මනට මැරුණොත් හොඳයි,මේ කරදර වලට වඩා මරණය උතුම් යැයි හැඟීමක් උන්වහන්සේට නැහැ. මරණය එනතුරු බලා ඉන්නවා. අපි හෙට ඉර පායනතුරු බලා ඉන්නවා. ඉර පායන්න එපා කියා අපි කීවට නොපායා ඉන්නෙත් නැහැ. ඉක්මනට පායන්න කීවට එහෙම වෙන්නෙත් නැහැ. එය නිරායාසයෙන් විය යුත්තක්. එමෙන් උන්වහන්සේත් මරණය සිද්ධ වෙනතුරු බලා ඉන්නවා. මේ විදිහට උන්වහන්සේ පිරිනිවීමට කියනවා අනුපධි සේස නිර්වාණ ධාතු, කියා.

“නිබ්බාන” කියන වචනය අපි බලමු. නිබ්බුනි කියන්නේ නිවීම. අපි හැම දෙනාම දර්ථයෙන් යුක්තයි. දර්ථ කියන්නේ දැවෙනවා, පිලිස්සෙනවා.කල්පනා කරල බලන්න,අපට නොදැනෙන අමුතු විදිහේ බරක් හිතට තියෙනවා නේද? මනසට හදවතට අමුතුවිදිහේ බරක් දැනෙනවා නේද? මේ දාහය සම්පූර්ණයෙන් ම නැතිවී යනවා. මේ නිසා තමයි නිවීම කියන්නේ.

නිවීමටයි නිවන කියන්නේ. රාගය නැතිවෙනව නම්, ද්වේෂය නැතිවෙනවා නම්, මෝහය නැතිවෙනවා නම්, මේකයි උන්වහන්සේ නිවනයි හඳුන්වා වදාළෙ. ආශාව නැත්නම් ඒක නිවීම.නොදැනීම නැත්නම් ඒක නිවීම. තරහව නැත්නම් ඒක නිවීම, මේවා තිබෙනතුරු අපට නිවීමක් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. අපේ ඔළුවේ ලොකු බරක් තියනවා. මේ බර පැත්තකට දානවා. ඉවත් කරනවා. ඒ බරෙන් නිදහස් වෙනවා. එවිට ගතට සැනසිල්ලක් තියනවද? නැද්ද?

මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ භාරය. මේක අපිට විශාල බරක්. විශාල ලෙඩක්. විශාල රෝගයක්.මේක අපි ඉවත් කළයින් පස්සේ අපිට ඇතිවන සැනසිල්ල ඒක තමයි නිවන. මේකට කියනවා. “අවේදයික සුඛ” කියලා. විඳින සැපයක් නෙමෙයි. පින්වත්නි, විඳින සැපතමයි, පංචකාම සම්පත්තිය, ඇහැට රූපයක් වේ නම් එයින් ආස්වාදයක් ලබා ගන්නවා. කනට මිහිරි ශබ්දයක් ඇහෙනවා. ඒකෙන් ආස්වාදයක් අපි ලබා ගන්නවා. මේ විදිහට විඳින සැපට කියනවා වේදයික සැප කියල. ඒ කියන්නේ විඳින සැප.

නිවන කියන සැපය මේ විදිහට විඳින සැපයක් නෙමෙයි. පංචස්කන්ධභාරය ඉවත්වීමේදී ඇතිවන සැනසිල්ල පමණයි.

නිබ්බාන කියන වචනේ තව තේරුමක් තියනවා. “වාණ” කියන්නේ ආශාව. ‘නි’ කියන්නේ නැහැ යන තේරුම. ‘නි’ — ‘දු’ කිව්වොත් දුකක් නැතිය යන තේරුමයි. ඒ වගේ “වණ” කියන්නේ ආශාව, බැඳීම. ඒ ආශාව, බැඳීම නැහැ. කියන ඒකයි “නිබ්බාන” කියන්නේ. මෙන්න මේකයි සැරියුත් හාමුදුරුවෝ වදාළේ “යො ඛො ආවුසො රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බානං” යනුවෙන්. ආශාච නැත්නම්, තරහ නැත්නම්, මෝඩකම, මෝහය නැත්නම්, අන්න ඒක තමයි නිවන කියා.

මේ නිර්වාණ ධාතුව, මෙන්න මේ තත්ත්වය ලබන්න තමා අපි ඔක්කොම වෑයම් කරන්නේ. ඉතින් විඳින සැපයක් නැත්නම් අපි මොටද මේ හැටි වෑයම් කරන්නේ? දන් පින් බණ භාවනාදිය කරන්නේ? මෙහෙමත් හිතෙනවා නේද? අර චිත්‍රපටියක් බලන්න ගියා නම් මීට වැඩිය කොච්චර අගේද කියල නේද? විඳින සැප හොඳයි. ඒක හැමදාම තියෙනව නම්, පවතිනව නම්. පින්වත්නි, නැහැනේ.

අපි කියනවා කෙනෙක් ධනය හම්බ කරනවයි කියලා. කොතනද නවතින්නේ හම්බකරන මනුස්සය? රුපියල් 10 ක් තියන එක්කෙනා වෑයම් කරනවා 20 ක් කරන්න. 20 ක් තියෙන එක්කෙනා වෑයම් කරනවා ඒක 40 ක් කරන්න. දාහ දහදාහක් කරන්න වෑයම් කරනවා. ලක්ෂය දශ ලක්ෂය කරන්න වෑයම් කරනවා. මේකේ සීමාවක් තියනවද? සැනසිල්ලක් තියනවද? මානසික සුවයක් තියෙනවද? කායික සැපයක් තියෙනවද? හිතල බලන්න. මේ එකක්වත් නැහැ. මේ ආශාව හරියට ගිනි ගොඩාක් වගෙයි. ගිනිගොඩ නිවන්න කියල නැවත නැවත පිදුරු ගෙනල්ල ගෙනල්ලා දානවා ඇතිවෙනකන්. දැවිල ඉවර කරන්න ඕනයි කියලා. කොහොමද? තව තවත් පිිලිස්සෙනවා මිසක් කෙළවරක් තියෙනවද? කාමසුඛල්ලිකානුයෝගයත් මේ වගේ.

තව තවත් ඉන්ද්‍රියයන් පිනවලා දුක් නැති කරනවයි කියන එකයි ඒකේ අදහස. ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඒක කවරදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් මොනවා පි‍්‍රය කළත්, පී‍්‍රතිමත්ව භුක්ති විඳින්න උත්සාහ කළත් යම් දෙයක් නැති වෙන කොට ඇතිවන පීඩාව බලන්න කොච්චරද කියලා.

තමන් ධනයක් උපයා ගන්නවා. මේ ධනයෙන් තමන් සතුටු වෙනවා. සතුටින් භුක්ති විඳිනවා. රජය නියම කරනවා මේක රාජසන්තක කරන්න.මොකද වෙන්නේ ? මෑත කාලවලදී අපෙ රටේ පවා වස්තු සම්පත් රජයට ගන්න කොට සමහර අය මැරී වැටුණයි කියා පත්තරවල තිබුණා. මොකද ඒ? තමන් සතු දේ, තමන් අර පී‍්‍රතිමත් වෙච්ච දේ නොලැබී යනකොට අහිමි වෙනකොට මානසික වේදනාවක්, අසහනයක් ඇතිවෙනවා.

මෙන්න මේ විදිහට ලෞකික සැපය නිෂ්ඵල දෙයක් හැටියටයි සලකන්නේ. අවේදයික සැපය, විඳින සැපයක් නෙමෙයි. ඒකයි දුකින් නිදහස් වීමට අවශ්‍ය වන්නේ. පීඩාවලින් නිදහස්වීම, කරදරවලින් නිදහස්වීම, බන්ධනයන්ගෙන් නිදහස් වීම, මෙන්න මේකයි තියන සැපය. සැනසිල්ල මේකයි.

නිබ්බාන සච්චි කිරියාච

ඒතං මංගල මුත්තමං

නිවන ප්‍රත්‍යක්ෂ කළොත් ජීවත්වන කාලය තුළ කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන්. සැනසිල්ලෙන් ජීවත්වෙන්න පුළුවන්. ඵලසමාපත්තිවලට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදිලා මහත් සුවයක් ලබන්න පුළුවනි. මරණින් පසු නැවත නූපදින නිසා කිසිම කරදරයක්, දුකක් නැහැ. ඉපදුණොත් තමයි මේ ඔක්කෝම කරදර.

උපදින එක්කෙනා කොහේ උපදිනවද කියලා. කාටද කියන්න පුළුවන්? මිනිහෙක් වෙයිද බළලෙක් වෙයිද, හරකෙක් වෙයිද, සර්පයෙක් වෙයිද ,යකෙක් වෙයිද, කොටියෙක් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්? මිනිහෙක් වුවත් ඒ මිනිහා අන්ධයෙක් වෙයිද, කොරෙක් වෙයිද, ගොලුවෙක් වෙයිද, බිහිරෙක් වෙයිද, කාටද කියන්න පුළුවන්?

මේ විදිහට විවිධ උත්පත්ති ලැබෙනවා. විවිධත්වයක් ඇති වෙනවා. ඒ නිසා අපට ඒක මහත් පීඩා ජනක කාරණයක් වෙනවා. මේ නිසා අවේදයික කියන සැපයට පත්වීම දුකින් නිදහස්වීම, නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම ඉතාම වැඩදායකයි කීවේ ඒකයි.

අපිට මොකක් හරි ලාභයක් ලැබුණහම සන්තෝෂ වෙනවා. මොනවා හරි බඩු පුරවලා දෙනවනම් සතුටුයි. මම වුණත් සතුටුයි, හොඳ ප්‍රයෝජනවත් පිරිකරක් දායකවරු පූජා කරනව නම්. මේක තමයි පෘථග්ජන ගතියේ හැටි.

ඔය ඇත්තොත් කැමැති හොඳ වටිනා දේවල් ලබන්න.ගෙදරට කවුරුහරි එනවනම් අත දිහා බලනවා, මොනවද ගේන්නේ කියලා. බරට ගේනවා නම් හරි සන්තෝෂයි. නමුත් රහතන් වහන්සේ මේ ලාභ අලාභ කියන දෙකින් එකකදීවත් සතුටක් හෝ ශෝකයක් උපදවා ගන්නේ නැහැ.

දවසක් එක මිනිහෙකුට හිතුණා සැරියුත් හාමුදුරුවන්ගේ මේ ගුණය බලා ගන්න. මේ මනුස්සයා උන්වහන්සේට බැණලා, බැණලා ටොක්කකුත් ඇන්නා. පස්සෙ දවසක් බොහොම ගරු බුහුමන් දක්වලා දානෙකටත් ආරාධනා කළා. දානෙට ගිහිල්ලා දානෙත් වැළඳුවා. ඒක බලාන හිටපු එක්කෙනෙක් කීවා. “සැරියුත් හාමුදුරුවෝ අර මිනිහගෙන් ටොක්කකුත් කාලා බතුත් කෑව” යි කියලා. උන්වහන්සේ අර බැන්නයි කියලවත්, උන්වහන්සේට ටොක්කක් ඇන්නයි කියලා වත්, කම්පා වුණෙත් නැහැ. ඒ මිනිහ ගැන කලකිරුණෙත් නැහැ. අර හුඟක් සැලකුවයි කියලා දන් පිළිගැන්නුවයි කියලා උන්වහන්සේ අමුතු පැහැදීමක් ඇති කරගත්තෙත් නැහැ. මෙන්න මේකයි රහතුන් වහන්සේගේ තියන මධ්‍යස්ථකම.

අසෝකං විරජං ඛෙමං

ඒතං මංගල මුත්තමං

ඒ රහතන් වහන්සේ අවබෝධ කරගත් නිබ්බාන ධාතුවේ ලක්ෂණයි. එහිදී තව දුරටත් කියවෙන්නේ අශෝකං රහතන්වහන්සේ ගේ ශෝක වීමක් නැහැ. ශෝක වන්නට දෙයක් නැහැ. මොනවටද අපි ශෝක වෙන්නේ කියල බලන්න. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. පි‍්‍රය දෙයක් පි‍්‍රය කෙනෙක් ඈත් වී යන කොට අපි ශෝක වෙනවා. දුක් වෙනවා තමන් යමක් බලාපාරොත්තු වෙනවා නම් එය නොලැබී යනකොට ශෝක වෙනවා.

රහතුන් වහන්සේගේ මේ දේ නැහැ. උන්වහන්සේ ලබාගත් ඒ අරහත්වය නිසා. ඒ උසස් වූ තත්ත්වයේ මේක නැහැ. ඒ උසස් තත්ත්වයට කියනවා “විමුක්ති” කියා රහත් බවට කියන තවත් නමක් තමයි විමුක්ති. විමුක්ති කියන් නේ සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් මිදුනයි කිියන එකයි. සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් මිදිලා නම් එතැන ශෝකයක් තියෙන්න බැහැ.

මිනිහෙක් වෙලා උපදිම්වා, දෙවියෙක් වෙලා උපදිම්වා, බුද්ධිමතෙක් වෙලා උපදිම්වා, ධනවතෙක් බලවතෙක් වෙලා උපදිම්වා, මේ විදිහේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. ඒ හැම එකකම තියෙන්නේ ඇලීම. ඒකට කියනවා “භව රාග” කියලා. “භව තණ්හා” කියලා.

නමුත් නිවන ප්‍රාර්ථනා කිරීමේ දී නිවන කියන්නේ කුමක්ද කියා අවබෝධ කරගෙන ප්‍රාර්ථනා කළාම එහිදී කිසිම ඇලීමක් ඇතිවන්නේ නැහැ. ඇයි? ඒක ද්‍රව්‍යාත්මක එකක් නොවෙයි. භූතාත්මක නොවෙයි. ඒ නිසා ඇලෙන්නට දෙයක් නැහැ. එහි නිදහස් වීමක් තියෙනවා. මේ නිදහස් වීම නිසා ඇලීමක් නැහැ. “ඛේමං” භය කුත් නැහැ. භය වෙන්ට දෙයක් නැහැ.

භය ඇතිවෙන්ට කරුණු කොපමණවත් තියෙනවා. තමන්ගෙන් තමන්ට භය ඇතිවෙනවා. අනුන්ගෙන් භය ඇතිවෙනවා. නොයෙක් දෙනාගෙන් භය ඇති වෙනවා.තමන් වැරැදි කළද ඒ වැරැද්ද ගැන සිහි කිරීමේදි මහත් බියක් යළි යළිත් තමන්ට ඇතිවෙනවා. මිනී මැරුවාම ඇයි භය ඇති වෙන්නේ?තමන් අහුවෙයි ද කියල. ඒකයි හැංගෙන්නේ මාව අහුවෙයි ද කියලා. මිනිස්සු නීතියට භයයි. ලෝකයට භයයි. පරලොවට භයයි. අපායට භයයි. මාව මැරිල ගිහිල්ලා අපායේ උපදීද කියල භයයි.

නිවනෙන් මේපිට තමයි මේ ඔක්කොම බිය තියෙන්නේ. මෙබදු කිසිම බියක් එගොඩ නැහැ. ඒ කියන්නේ ඉපදීම් මැරීම් මේ ලෝකේ තමයි තියෙන්නේ.ඒ ලෝක තත්ත්වයෙන් අපි නිදහස් වුණායින් පස්සේ භයක් වෙන්ට දෙයක් නැහැ.මේ ලෝකේ තමයි හැම තැනම බිය ඇති වෙන්නේ.

මරණ බිය විතරක් අරන් බලන්න. ඒක සුළු පටු එකක් එහෙම නෙමෙයි. ඔබ අසවල් දවසෙ අසවල් වෙලාවට මැරෙනවයි කියල කවුරු හරි පිළිගන්ට පුළුවන් කෙනෙක් කිව්වොත් භය ඇති වෙනවා. අපි හිතමු, මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කෙනෙකු දන්නව මම අහවල් දවසේ අහවල් වෙලාවට මැරෙනවයි කියල. ඔය උසාවියේදී විනිශ්චයකාරතුමා කියනවානේ වරදකරු ඉදිරියේ දී,අසවල් දවසේ අසවල් වෙලාවට මැරෙන තුරු එල්ලා තබනු ලැබේ කියල. ඔය මිනිහට ඕක මතක් වෙන සැරයක් සැරයක් ගානේ එදා ඉඳල හරි සන්තෝෂයක් දැනෙනවාද? මට මේ කරදර වලින් නිදහස් වෙලා එගොඩට යන්ට ලැබෙයි කියලා.

“අමත” නොමැරී ඉන්ට ඇත්නම් කොච්චර නම් අගේද? නොමැරී ඉන්ටයි පින්වත්නි, උපාය යොදන්ට තියෙන්නේ. උපදින්නේ නැතුව ඉන්ට ඕන. උපන්නොත් මැරෙනවා.

අප බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරය හැටියට උපන්නා. බුදුබව ලබා ගත්ත. ඒත් උන්වහන්සේට පුළුවන් වුණාද ඒ පංචස්කන්ධය නඩත්තු කර ගෙන තව කල් ජීවත් වෙන්ට? ආනන්ද හාමුදුරුවන්ට කීවා,ආනන්ද, තථාගතයන් සතර ඍද්ධිපාද ධර්ම හොඳට පුහුණු කරල තියෙනවා. මොනවද මේ ඍද්ධිපාද ධර්ම? ඡන්ද, චිත්ත, වීරිය, විමංසා. ඡන්ද කියන්නේ කැමැත්ත. චිත්ත කියන්නේ හිත. විරිය කියන්නේ උත්සාහය. වීමංසා කියන්නේ විමසන බුද්ධිය. මේවා පදනම් කර ගෙන පින්කම් කරල තියෙනවා. ඉතාම බලවත් වූ කැමත්තකින් තමයි පිනක් කරන්නේ. ඒක නිසා ඒ පින ශක්තිමත් අඩිතාලමකින් ගොඩනඟපු ගොඩනැඟිල්ලක් වගේ. ඒ හින්දා ඒකට කියනවා ඍද්ධිපාද කියලා. සමෘද්ධියේ පදනම එතකොට අර ඉහත සඳහන් වුණු ඡන්ද, චිත්ත, විරිය, විමංසා.

ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ වදාළ, ඍද්ධිපාද ධර්ම තමන් දියුණු කරල තියන බව.ඒ නිසා කැමැතිනම් කල්පයක් හෝ ඊට ටිකක් වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා. අනඳ හාමුදුරුවන්ට තේරුණේ නැහැ. අනඳ හාමුදුරුවෝ තව කලක් වැඩ ඉන්න කියල ආරාධනා කළා නම් ඒ ආරාධනාව බුදුහාමුදුරුවො පිළිගන්නවා. තව කලක් වැඩ ඉන්නවා. ඔය වෙනකොට උන්වහන්සේ ගේ වයස අසූවයි.

මම හොඳට ඍද්ධිපාද ධර්මයන් දියුණු කරල තියන නිසා මා කැමැතිනම් පුළුවන් තව කලක් ජීවත්වෙන්න වැඩ ඉන්න. කල්පයක් කීවේ ආයුෂ කල්පයක්. පරමායුෂ සියයක් නම්, අවුරුදු සියයක් සහ අවුරුද්දක් හෝ ඊට වැඩිව හෝ තව ජීවත් වෙනවා. අනඳ හාමුදුරුවන්ට තේරුණේ නැහැ. මාරයා ආවා ඇවිල්ලා කීවා. තමුන්නාන්සේගේ බලාපොරොත්තු දැන් සම්පූර්ණයි. දැන් හොඳයි පිරිනිවන් පාන්න කියල.

අපට පුළුවන්ද එහෙම කියන්න? ඔබ කලබල වෙන්ට එපා. මම හෙට අනිද්දා මැරෙන්නම් කියල. කෙලෙස් තියෙනතුරු අපිට ඒ වැඩේ කරන්න බැහැ. මරණය කියන එක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා නේද? ඉතින් කොහොමද ඒක කරන්නේ.

දැන් කෙටියෙන් හිතන්න නිවන කියන්නේ දුකින් නිදහස්වීම කියා.ශෝකයක් නැති ඇලීමක් නැති භයක් නැති තත්ත්වයකට. නො ඉපදීම් ස්වභාවයකටය, ජරා මරණාදිය තුරන් කළ ස්වභාවයට පත්වීම නිවනයි කියල හිතන්න. ඒ නිසා ඒ උතුම් තත්ත්වය ලබාගැනීමට අවශ්‍ය ගුණ ධර්මයන් දියුණු කරන්න ඕනැයි කියන හැඟීම ඇතිකර ගෙන ශීල, සමාධි ප්‍රඥාදිය දියුණු කරන්ට ඕනෑය කියන මේ හැඟීමම ඇති කරගෙන, ඒ අනුව ක්‍රියා කරලා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කරගෙන කෙළවර අමාමහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මහන්සි ගන්න ඕන. වෑයම් කරන්න ඕන.

No comments:

Post a Comment