Wednesday, 5 August 2015

හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන ඓතිහාසික උත්තරාරාමය.......පොළොන්නරුවේ ගල් විහාරය

හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන ඓතිහාසික උත්තරාරාමය.......පොළොන්නරුවේ ගල් විහාරය


ඉපැරැණි පොලොන්නරු පුද බිමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් ගල් විහාරයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි.මහා වංශයෙහි උත්තරාරාමය නමින් හැඳින්වෙන පොළොන්නරුව ගල් විහාරය මෙරට කලා ඉතිහාසයේ සහ සෙල් ලිපි ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමිකරගන්නා පුරා විදඨාත්මක වටිනාකමක් සහිත තැනකි. මෙහි ඇති බුදු පිළිම සතර ගලින් නිමකර ඇති බැවින් මෙම ස්ථානය ගල් විහාරය යන නමින් හඳුන්වයි. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්‌ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත.


ලක්‌වැසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ උරුමයක්‌ද වන මෙය දූරාතීතයේ පටන්ම වන්දනීය, පූජනීයත්වයට පත්ව තිබේ.දොහොත් මුදුන්දී, සාධුකාර දෙමින් සැදැහැවතුන් මෙහි පැමිණෙන්නේ ජීවමාන බුදුන් දකින්නට මෙනි.මෙම නිසල ආගමික පරිසරයේ කොතකුත් වේලා සමාධිගත වන්නට හැකි යෑයි කිවහොත් වඩා නිවැරදිය.


වන අරණක සෙවන ලබන බිමේ ගල් කුලකට බුදුගුණ ගැන්වීමෙන් හෙළ කලාකරුවාගේ විස්‌මිත නිර්මාණ හැකියාව එක්‌ පසෙකින් ලොවටම විදහා දැක්‌වීමකි.බුදුන් පුදන්නට එන සැදැහැවත් පිරිසට මෙන්ම විශිෂ්ට කලා නිර්මාණයක අගය දකින්නට රිසි ඕනෑම අයෙකුට එතුළින්ද සිත සුවපත් කර ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනු නොඅනුමාය.


දොළොස්‌වන සියවසේ පොළොන්නරුවේ රජකම් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ මහා පරාක්‍රමබාහු රජතුමන් (ක්‍රි.ව 1153 - 1186 ) විසින් කැරවූ ගල්විහාරය ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්‌ථාන, වෙහෙර විහාර අපට කියා පාන්නේ එකල රටේ පැවැති ආර්ථික මෙන්ම ආගමික දියුණුවය.චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.


"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්‌වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක්‌ ද හොත් පිළිම ගුහායෙක්‌ දැයි මෙසේ පිළිම ලෙන් තුනක්‌ දක්‌ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්‌වෙන සඳහන පෙන්වා දිය හැකිය.ඉපැරණි පොලොන්නරු පුදබිමේ අනෙකුත් සිද්ධස්‌ථාන අතුරින් ගල්විහාරය අපට වැදගත් වන්නේ පෙර සඳහන් ලෙසින් ජීවමානව බුදුන් දැකිය හැකි බඳු පින් බිමන් නිසාවෙනි.


චූලවංශයේ පමණක්‌ නොව නිකාය සංග්‍රහය, රාජරත්නාකාරය, පූජාවලිය වැනි පශ්චාත්කාලීන ලිඛිත මූලාශ්‍රවල ද මෙය අවධාරණය කොට ඇත. නමුත් අඩි 80 ක්‌ දිග හා අඩි 30 ක්‌ පළල වූත් සුවිශාල ශෛලමය පර්වතයක්‌ පදනම් කොට ගෙන නිමවා ඇති පන්සලකි. පොලොන්නරුව යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්‍ෂතාව පෙන්වන කැඩපතක්‌ බඳු ගල්විහාරයේ ප්‍රධාන වශයෙන් විශාල කළුගල් කුලකින් නිර්මිත බුද්ධ ප්‍රතිමා සතරක්‌ ඇතුළත්ව ඇත. එනම් ප්‍රස්‌තුත සිද්ධස්‌ථානයට පැමිණි විට ප්‍රථමයෙන් ම ඇස ගැටෙන බුද්ධ ප්‍රතිමාව, හිටි පිළිමය, පර්වතය කැන සකසන ලද පිළිම ගෙයක්‌ තුළ ඇති කුඩා හිඳි බුදු පිළිමය, විහාර ගෙයක්‌ පදනම් කරගෙන නිම වන්නට ඇතැයි සිතිය හැකි විශාල එළිමහන් හිඳි බුදු පිළිමය යනාදී මේවාය.


සැතපෙන බුදු පිළිමය


චතුර්බුද්ධ ප්‍රතිමාවන්ගෙන් ප්‍රථමයෙන් ම සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේදී පුරාණයේ නිපන්න පට්‌මා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක්‌ තුළ ස්‌ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශීර්ෂයේ සිට ශ්‍රී පතුල තෙක්‌ අඩි 46 ක්‌ (මීටර් 14 ක්‌) පමණ දිගය.  ආනන්ද කුමාරස්‌වාමි, ආචාර්ය සෙනරත් දිසානායක වැනි විද්වතුන්ගේ මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබිඹු කරන මහා පරිනිර්වාණ මුද්‍රාව සහිත සැතපෙත පිළිමයක්‌ වන බවයි. එහෙත් මීට විපක්‍ෂව කරුණු දක්‌වා ඇති මහැදුරු සෙනරත් පරණවිතාණ, ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර, මහැදුරු තිරාණගම රතනසාර හිමි ඇතුළු උගතුන් රැසකගේ මතය වන්නේ මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක්‌ ප්‍රකාශ කරන සයන මුද්‍රාව සහිත සැතපෙන පිළිමයක්‌ වන බවයි.  විශේෂයෙන් ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්‍ෂණ සහිත සැතපෙන ප්‍රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්‍ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්‌ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව සහ දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශ්‍රී පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත.  එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්‌ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්‌ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දැසට පුළුන්වලින් පිරවූවක්‌ සේ දිස්‌ වන බව ආචාර්ය ගොඩකුඹුර මහතා පවසා ඇත.  සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව ඉතා මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.


හිටි පිළිමය


මීට වම් පසින් ත්‍රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක්‌ උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලංශයෙහි අන්තර්ගත විස්‌තරවල මෙම ප්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත. එබැවින් මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත්කාලීන කෘතියක්‌ විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක්‌ කලක්‌ මෙරට උගතුන් අතර පැවතින. ප්‍රදේශයේ ප්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප්‍රතිමාවකි. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්‍ර, එස්‌. එම්. බාරෝස්‌, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි.  නමුත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්‍රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප්‍රතිමාවක්‌ විය හැකි බවය. විශේෂයෙන් ම මෙහි දෙඅත් පසුවට තබා වැඳ ඇති ආකාරයක්‌ පෙන්නුම් කරන දුර්ලභ මුද්‍රාවක්‌ අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්‍ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්‌ඛ දුක්‌ඛන මුද්‍රාව බව උගතුන්ගේ අදහසයි.  ක්‍රි. ව. 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්‌ඛ දුක්‌ඛන මුද්‍රාව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප්‍රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්‍ය ආශ්‍රිතව කළ කැනීමකින් පුරාවිද්‍යාඥයන්ට උක්‌ත සම්ප්‍රදායට අයත් බුදු පිළිමයක්‌ හමුවී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්‌ථාන කීපයකින් ද මෙවැනි ප්‍රතිමා දක්‌නට ඇත. එහෙත් මෙය ලක්‌දිවට පමණක්‌ අනන්‍ය වූ සම්ප්‍රදායක්‌ නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඕසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්‌ඛ ප්‍රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක්‌ තායි ජාතික කෞතුකාගාරයේදී දුටු බවට රතනසාර හිමියන් ද ප්‍රකාශ කරයි . ඇස්‌. ඒ. වික්‍රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක්‌ උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක්‌ දැක්‌වෙන බුද්ධ ප්‍රතිමාවක්‌ කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප්‍රකාශිත දුක්‌බර ස්‌වරූපයට සමාන ස්‌වරූපයක්‌ ගල් විහාරයේ සෘජු පිළිමයේ දක්‌නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්‌ථාවක්‌ නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක්‌ වන්නේ සත් සතිය සමයේ දෙවන දින බුදුරදුන් ශ්‍රී මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප්‍රකාශිත බවය.  මෙම නිගමනය කෙරෙහි ප්‍රස්‌තුත වන්නට ඇත්තේ විහාර භූමිය ඉදිරිපස පිහිටි ඉපැරැණි බෝධිඝරයක්‌ දක්‌නට ලැබීම බව කිව හැක.


එසේම සමහරකු උපකල්පනය කරන ආකාරයට මෙහි වැඩ සිටින්නේ ආනන්ද හිමියෝ නම් එතුමා බුද්ධ ශීර්ෂයට ඉදිරිපසින් පද්මාසනයක්‌ මත වැඩ සිටීම අනුචිත වන අතර ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මූර්ති, කැටයම්, බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශ්‍රී පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක්‌ මත සෘජු ඉරියව්වකින් වැඩ සිටින අවස්‌ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත. අනෙක නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක්‌ හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප්‍රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප්‍රතිමාවට මිස සංඝ ප්‍රතිමාවලට නොවේ.  තවද මෙහි කන් පෙති බුදුරදුන්ගේ ඥානවන්ත භාවය පිළිබිඹු කරන ලෙසට දිගටිය දක්‌වා ඇති ශීර්ෂයේ හිසකෙස්‌ දිවයිනේ අනෙකුත් පැරැණි ප්‍රතිමාවල මෙන් වක ගැසුණු ආකාරයට නෙළා ඇත. උක්‌ත නිදසුන්වලට අනුව මෙය පැහැදිලිවම හිටි බුද්ධ ප්‍රතිමාවක්‌ බව නිගමනය කළ හැක. මුහුණෙහි හැඟීම් තාත්විකව නිරූපණය කිරීමේදී මධ්‍යකාලීන මූර්ති ශිල්පියා දැක්‌වූ සංයමය, ප්‍රවීනත්වය මොනවට පිළිබිඹු කරන මෙම පිළිමයේ මුහුණ දෙස වරක්‌ බැලූ විට ශෝකී විලාසයක්‌ දිසු වුවද, වඩාත් ගැඹුරින් පරීක්‍ෂා කළ විට මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින ආකාරයක්‌ පෙන්නුම් කරන බව කිව හැකිය. මීට අමතරව සම්පූර්ණ ප්‍රතිමාවම ප්‍රාමාණික සමතුලිත භාවය මනාව ආරක්‍ෂා කරමින් නිමවා ඇත. එසේම මෙහි බුද්ධ ධීවරය, සිරුරට ඇලී යන පරිදි නෙළා ඇත. පොලොන්නරු යුගයේ අවසාන කාල පරිච්ඡේදයේ හෝ දඹදෙණි යුගයේ මුල් භාගයේදී මෙය ඉදි කරන්නට ඇති බව පෙනේ.


හිඳි බුද්ධ ප්‍රතිමාව


චූලවංශයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15 ක්‌ පමණ හිඳි බුද්ධ ප්‍රතිමාව තොරණක්‌ සහිතව විහාර ගෘහයක්‌ පදනම් කොට නිර්මාණය කර ඇත. විද්‍යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප්‍රතිමාව වීරාසන ඉරියව්වකින් යුක්‌ත වන අතර ධ්‍යානි මුද්‍රාව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර ඉතා මටසිළිටිව පරීක්‍ෂේපිතය. මෙහි දැත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් සෘජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් භාවයක්‌ දිස්‌ වන බව මාලිංග අමරසිංහ පවසයි  මෙහි ඇති සුවිශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳ බුදු පිළිමයක දක්‌නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්‌කුවක හැඩය ගත තොරණ සැරසිල්ලක්‌ ලෙස සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය.  තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප්‍රතිමාව අවට ක්‍ෂුද්‍ර ප්‍රතිමා ගල් විහාරයේ පමණක්‌ නොව තන්තිරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්‌වට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක්‌ මත වැඩ සිටින අතර එයට පහලින් පිහිටි මනස්‌කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්‌තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.


විඡ්ජාධර නැතහොත් විද්‍යාධර


 වංශ කථාවල විඡ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක්‌ ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක්‌ සහිත ගුහාවක්‌ තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4 යි අඟල් 4 ක්‌ වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රාවකින් යුක්‌තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්‌ථම්භ අතර සිංහ හා වජ්‍ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශීර්ශයට ඉහළින් සිත්ගන්නා සුළු ඡත්‍රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ්‍රාහ්ම රූපවලින් පරීක්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙපස බුදුරදුන් පවන් සලන ඉරියව්වක්‌ ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මගින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමහත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි.  තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප්‍රතිමගෘහය ද ෆේ‍රස්‌කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැදුරු චන්ද්‍ර වික්‍රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක්‍ර දේව්න්ද්‍රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දේවිවරු පිරිවරා සිටින ආකාරයක්‌ දිස්‌වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් මීට විපක්‍ෂව කරුණු දක්‌වා ඇති මහැදුරු ලගමුවයන්ගේ මතයට අනුව මෙම චිත්‍රයෙන් මහා බ්‍රහ්මයා නිරූපිතය.  මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක්‌ හමුවීම ද සුවිශේෂී කරුණක්‌ බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්‌හි පානමලයහි පල්ලව චිත්‍ර වලට ද මේවා සමානය. කෙසේ වෙතත් ක්‍රි. ව. 12 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත්‍ර සම්බන්ධව ක්‍රි. ව. 1907 විශේෂ ප්‍රකාශනයක්‌ කළ එච්. සී. පී. බෙල් මහතා පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙස්‌ චිත්‍රවලට වඩා අග්‍රගන්‍ය වන බවයි


ශෛලමය කුළුණු


මීට අමතරව හිටි පිළිමයට ඊසාන දිගින්, නැතහොත් සැතපෙන පිළිමයට පිටුපස ශෛලමය කුළුණු කිහිපයක්‌ සහිත හිස්‌ අවකාශමය ගල් ගුහාවක්‌ හමුවෙයි. බැලූ බැල්මට මෙහි ද කිසියම් ආගමිකමය කලා කෘතියක්‌ තිබෙන්නට ඇති බව විචාරකයන්ගේ අදහසයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ එකල මෙහි බුදු හිමියන්ගේ ප්‍රදක්‍ෂිනා පිළිමයක්‌ පවතින්නට ඇති බවත්, ඒ සමස්‌ත විහාරස්‌ථානයෙහි බුදුරදුන්ගේ චතුර්ඉරියව්වෙන් යුත් ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට අනුමාන කළ හැකි බවයි. මෙම පිළිමවල අන්තර්ගත සෙසු කලා ලක්‍ෂණ පිළිබඳව සාකච්ඡා කරන විට ඒවායේ සිවුරේ


රැළි සියුම්ව සමාන්තරව විහිදෙන ආකාරයට නිමා තිබෙන අතර, විශේෂයෙන්ම විශාල හිඳි පිළිමයේ චීවරය රැළි ද්විත්වාකාරව නිමවා ඇත. තවද සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව පැකුම්බාවන් විසින් මෙම බුද්ධ ප්‍රතිමා සියල්ලෙහිම රන් ආලේප කොට තිබිණි. මහැදුරු සෙනරත් පරණවිතාරණයන් විසින් මධ්‍ය කාලීන අවධියට අයත් ගල් විහාර ප්‍රතිමා සහ පුරාතන අවධියට අයත් අනුරපුර ප්‍රතිමා පිළිබඳව ඉදිරිපත් කර ඇති තුලනාත්මක විග්‍රහයක්‌ මෙහිදී උපුටා දැක්‌වීම වඩාත් උචිතය. එය පහත දැක්‌වේ.


"ඉඳුරන් දිනා ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද ලෝකෝත්තර සමාධියත්, එයින් ඇතිවන ලොව්තුරා බලයත්, ආත්ම සංඥාව මුලිනුපුටා ලීමේ ප්‍රතිඵලය වන සිව් සතුන් වෙත පතළ මහ මෙත්ත ශිල්පියා විසින් ඉතා දක්‍ෂ ලෙස පිළිබිඹු කොට තිබේ. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි අනුපම සමාධි ප්‍රතිමාව හා සස¹ බලන විට, ආධ්‍යාත්මික ගුණය පළ කිරීම අතින් ඊට පහත් තැනක්‌ ගන්නා නමුත්, මෙම බුදු පිළිම අතීත ලංකාවේ ප්‍රතිමා ශිල්පීන් විසින් නිමවන ලද ශ්‍රේෂ්ඨතම කෘති අතර ලා සැලකීමට සුදුසුය"


පරණවිතාරනයන්ගේ ඉහත කී විවරණයට අනුව පෙනී යන්නේ සමාධි පිළිමය, අවුකන පිළිමය, මහඉලුප්පල්ලම පිළිමය වැනි පුරාතන අනුරාධපුර යුගයේ අග්‍රගන්‍ය බුදු පිළිම හා සම කළ නොහැකි වුව ද මේවා පොළොන්නරුව යුගයේ ගොඩනංවන ලද විශිෂ්ඨතම ප්‍රතිමා වශයෙන් සැලකිය හැකි බවයි. එහෙත් රජ නිමයෙන් මේවා ගොඩවානව ලද්දේ කවර මූර්ති ශිල්පියකු විසින් ද යන ප්‍රස්‌තුතය ඉතිරිව ඇත. එහෙත් තන්තිරිමලය ප්‍රදේශයේ ප්‍රචලිත ජනප්‍රවාදයකට අනුව ඉහත කී පුරාස්‌ථානයෙහි වර්තමානයේ දක්‌නට ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙලූ ශිල්පියා විසින්ම පශ්චාත් කාලයේ ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා සතර නිමවා ඇත. මෙම පුරාවෘත්තයේ කිසියම් සත්‍යයක්‌ තිබෙන බවට ඒත්තු ගැන්වීම සඳහා සමහර උගතුන් තන්තිරිමලය සහ ගල් විහාරයේ ප්‍රතිමා අතර සමානතා රාශියක්‌ පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම සමානතා වලින් වැඩි ප්‍රමාණයක්‌ හඳුනාගත හැක්‌කේ ද පුරාස්‌ථානවල පිහිටි හිඳි පිළිම වහන්සේලා නිරීක්‍ෂණය කිරීමෙන් පමණි. නිදසුන් ලෙස තන්තිරිමලය හිඳි පිළිමයේ දෙපස චාමරධාරී මිනිස්‌ රූප දෙකක්‌ මූර්තිමත් කර ඇති ආකාරයටම ගල් විහාර විඡ්ජාධාර ගුහාවේ හිඳි පිළිමයේ දෙපස චාමරධාරීන්ගේ රූප ද්විත්වයක්‌ නිරූපිතය. එසේම මෙම ප්‍රතිමා පිටුපස දර්ශනීය මකර තොරණක්‌ නෙළා ඇති අතර එහි දෙපස හා ප්‍රතිමාසනයේ පහළ සිංහ රූප මනාව කැටයම් කර තිබේ. මීට අමතරව උක්‌ත ප්‍රතිමා පිහිටි ලෙන අවට කුඩා විමාන තුළ සියුම්ව නෙළන ලද ධ්‍යාන බුද්ධ රූපවලින් පරීක්‍ෂේපිතය කෙසේ හෝ වේවා ක්‍රි. ව. 7 - 9 අතර කාල පරිච්ඡේදය තුළ තන්තිරිමලය බුදු පිළිම නෙලූ බවට සැක කෙරෙන අතර ක්‍රි. ව. 12 වැනි සියවසේදී පමණ ගල් විහාර බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට ඇති බවට සැලකේ. සැබැවින්ම ක්‍රි. ව. 7 ත් ක්‍රි. ව. 12 ත් අතර කාල සමය ලංකා ඉතිහාසයේ ඉතා සංකීර්ණ කාල පරිච්ඡේදයකි. මක්‌නිසාද යත් මෙලක ඇතැම් දුරදර්ශී පාලකවරු යටතේ සමෘද්ධිමත් පාලන සමයක්‌ ගොඩනැංවුණු බවට සාධක පැවතියද, අභ්‍යන්තර කැරලි කෝලහල මෙන්ම විනාශකාරී විදේශ ආක්‍රමණවලින් ද අඩුවක්‌ නොවීය. එබැවින් අවුරුදු 500 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ පුරාවට ලලිත කලා ගුරු කුලයක්‌ කිසිදු උපද්‍රවයක්‌ හෝ නොමැතිව දිවයිනේ වයඹදිග කලාපයේ රැඳී සිටි බවට පැවසීම විශ්වාස කළ නොහැකි. එසේ නම් ඉහත කී ප්‍රතිමා ද්විත්වයේ ම බොහෝ කලාංග සමාන වීම කෙරෙහි බලපෑ බලවේගය කුමක්‌ද?.


එනම් ක්‍රි. ව. 1 වැනි සියවසේ සිට ක්‍රමයෙන් හිස ඔසවමින් පැවත ක්‍රි. ව. 3 වැනි සියවසේ අනතුරුව ථෙරවාදය හා තරගකාරීව පැතිරී ගිය මහායාන බලපෑම බව උගතුන්ගේ මතයයි. විශේෂයෙන් ම තන්ත්‍රායනය, වජ්‍රාසනය, නීලපට දර්ශනය වැනි මහායානික නිකායන් රාශියක්‌ ලක්‌දිවට ප්‍රවිශ්ඨ විය. ඒ සමඟම මහායානික සංස්‌කෘතික බලපෑමට ලක්‌වීමට මෙරට කලා ශිල්පියාට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මකර තොරණ, විශ්ව වජ්‍ර සංකේතය වනාදී මහායානික කලාංගයන් රාශියක්‌ මෙරට බුදු පිළිම කලාව හා ඒකාබද්ද විය. විශේෂයෙන් ම මහාතිත්ත තොටුපළ සිට අනුරාධපුරය දක්‌වා විහිදී ගිය මාර්ගයේ ප්‍රධාන වාණිජ හා ආගමික මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි තන්තිරිමලය තොටුපළ ආශ්‍රයෙන් මහායානික සංස්‌කෘතිකාංගයන්වල නියත බලපෑමට ලක්‌වීමට සිදු වූ බව පැවසීම තර්කානුකූලය. එහෙත් මෙම ආගමික ව්‍යාකූල තත්ත්වය සමථයට පත්කර ගැනීමෙහිලා අවංකවම සිය කාලය මිඩංගු කළ පැරකුම්බාවන් විසින් තුන් නිකායම සමගි කරවීය. මේ නිසා ඒ ඒ බෞද්ධ නිකායන්ට අයත් කලාශිල්පීන්ට ස්‌වකීය අභිමතය පරිදි කලා කටයුතුවල නිරත වීමට අවකාශ සැලසිණ. ඒ බව වඩාත් තහවුරු වන්නේ පැරකුම්බා නියමයෙන් ගොඩනංවන ලද ගල් විහාරයන්හි ඇතුළත් නිර්මාණ අතර මකර තොරණ, වජ්‍ර සංකේතය, රංසිඵලකය, ස්‌ථූප සංකේත, පංච ධ්‍යාන බුද්ධ ප්‍රතිමා වැනි මහායානික කලාංගයන් අන්තර්ගතව තිබීම ය. එබැවින් මහැදුරු පී. ඊ. ඊ. ප්‍රනානදු, මහැදුරු ප්‍රේමතිලක ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකුගේ මතය වන්නේ ඒවා වජ්‍රයාන මහායානික මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි.


වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශකිත්මත් ඝනකම් ගඩොල් අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්‌නට ලැබීමෙන් විශද වේ.  මේවා සමකාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකාතියට සමාන බව උගතුන්ගේ අදහසයි  මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. එසේම බද්ධ සීමා ප්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප්‍රතිමා තරම් උසස්‌ නොවූවද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක්‌ නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක. අඩි. 13 . 4 ප්‍රමාණයෙන් සහ පේළි 51 කින් යුත් මෙම ලිපියෙහි  අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක්‍රමබාහු රජගේ රාජ අනුග්‍රහය ලද දිඹුලාගල කාශ්‍යප හිමියන් ප්‍රධාන සංඝයා රැස්‌ කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්‍ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක්‌ කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්‍යවස්‌ථාවන් ය.


ඉහත කී කරුණු කාරණා සමාලෝචනය බැලූ විට පෙනී යන්නේ උත්තරාරාමය හෙවත් ගල් විහාරය යනු මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලා ශිල්පවල ඉතිහාසයේ සාරය කැටි කොට නූතන ශාස්‌ත්‍රඥයාට විශද කරවන උසස්‌ බෞද්ධ ස්‌මාරකයක්‌ වන බවයි. එබැවින් මෙම කලාගාරය සුරැකීම ලාංකේයයන් වන අපගේ පරම යුතුකමකි.

No comments:

Post a Comment