Friday, 14 August 2015

ලංකාවේ පළමුවන දාගැබ යැයි විරුදාවලි ලත් තිරියායේ අසිරිමත් ගිරිහඬු වෙහෙර රාජයානෝ ........



ලංකාවේ පළමුවන දාගැබ යැයි විරුදාවලි ලත් තිරියායේ අසිරිමත් ගිරිහඬු වෙහෙර රාජයානෝ ........

ත්‍රිකුණාමල නගරයට සැතපුම් 30 ක්‌ පමණ උතුරුපසින් ඊසාන දිග කල්අරාව (ගල්වරාය) කලපුවට නුදුරු සමුදුර දළ රළ පෙළ උකහා හමා එන ලවණ මුසු සුළඟින් සැලෙන සදාහරිත තුරුලියෙන් යුත් අලි ඇතුන් දිවි වලසුන් නිදැල්ලේ පෙම් කෙළින තිරියාය නම් වන පෙතෙහි දෙමළ වගට අයත් මිනිසුන් කන්දසාමි මලෛ යනුවෙන් හඳුන්වන හුදකලාව නැගී සිටි ගිරි ගිසක්‌ වේ. ඉතිහාස කතාවන්හි මෙම කන්ද හැඳින්වෙනුයේ ගිරිකණ්‌ඩක පබ්බතය හෙවත් ගිරිහඩු කන්ද යන නමිනි. මෙහි මුදුනත අතීතයෙහි මෙරට සිටි විශ්මිත ගල් කැටයම්කරුවන්ගේ අතින් නිමවී ඇති අලංකාර වටදා ගෙයකට මැදිකොට තනන ලද කුඩා චෛත්‍යයෙහි බුදුරජුන්ගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි යන වෘත්තාන්තය බැතිබර බොදුනු හදවත්හි තහවුරුව පැවැති නිසා මධ්‍යකාලීන අනුරාධපුර රාජධානි යුගයෙහි ගිරිකණ්‌ඩක පබ්බතය සමස්‌ත බෞද්ධයන්ගේම භක්‌ති පූර්වක නමස්‌කාරයට පාත්‍ර වූ විශිෂ්ට පුණ්‍යස්‌ථානයන්ගෙන් එකක්‌ බවට පත්ව තිබිණි.

බෞද්ධ චරිත කතාවන්හි දැක්‌වෙන අයුරු බුදු හිමියන් දස මරුන් බිඳ බුද්ධත්වය ලැබ සත් සති ගෙවා සමවතින් නැගී සිටි දින අරුණෝදයෙහි දඹදිව උතුරුදිග වූ උක්‌තලා නුවර සිට මධ්‍ය දේශයට වෙළෙඳ ගමන් යමින් සිටි තපස්‌සු භල්ලුක යන දෙසොහොයුරන්ට අනපේක්‍ෂිත ලෙස බුදුහිමියන් හමුවී ඇත. එවිට, ඔවුහු දුර ගමන් යන වෙළෙඳුන් ක්‍ෂණික ආහාරයක්‌ ලෙස පිළියෙළ කර ගැනීමට ගෙන යන විළඳ හා මීපැණි බුදුරජුන්ට පිළිගන්වා පළමු වරට බුදුන් දහම් සරණ ගිය ද්වාචික උපාසකයන් බවට පත්ව සිහිවටනයක්‌ ලෙස යමක්‌ දෙන ලෙස බුදු හිමියන්ට ආයාචනා කරන ලදැයි පැවැසේ.

අනුස්‌මරණීය වූ මෙපුවත දඹදෙණි යුගයෙහි වැඩ සිටි මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්ත හිමියන් පූජාවලියෙහි සටහන් කර ඇත්තේ ස්‌වාමිදරුවෝ ශ්‍රී හස්‌තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක්‌ ගෙන ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස්‌ පූජා කරන්නාහු. කලෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඩු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තුබු පළින් සොලවා ගත නොහී මේ උත්තම ස්‌ථානයක්‌ වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. පසුව එතන ගිරිහඩු නම් වෙහෙරක්‌ විය යන ලෙසිsනි.

මෙහි ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා යන වැකියෙන් හැඟවෙන්නේ වෙළෙඳ සොහොයුරන් අහඹුවෙන් මෙහි පැමිණ දර පැන් සොයා බත උයන විට බිම තැබූ දා කරඬුව මුල් ඇඳගත් බවකි. එහෙත් එය එසේ නොවේ. ස්‌වර්ණභූමියේ හෙවත් මියන්මාරයේ ඇති ස්‌වේදගොන් චෛත්‍යය ද මෙම වෙළෙඳ ශ්‍රේණිය විසින්ම බුදුහිමියන්ගේ කෙස්‌ දා තබා තනන ලද බවක්‌ එරට බොදුනුවෝ පිළිගනිති. ඇෆ්ගනිස්‌තානයේ ද මොවුන් බුදුන්ගේ කෙස්‌දා නිධන් කොට වෙහෙරක්‌ තනන ලදැයි හියුන්සාන් හිමියන් සඳහන් කර ඇතැයි පැවැසේ. එමගින් මෙම වෙළෙඳුන් විවිධ රටවල් කරා ගිය පිරිසක්‌ බව තහවුරු වේ. නැව් පුරා බඩු පටවා ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අහඹු ගමනක්‌ ලෙසින් නොව පුරුදු වෙළෙඳ නගරයකට විත් තමන් ගෙන ආ බඩු විකුණා මෙරටින් ගත හැකි දේද ගෙන වෙනත් රටකට නැවත යැම පිණිස විය හැකිය. ගිරිහඩු කන්ද පිහිටා ඇත්තේ සමුදුර අසලම නොව මුහුදු තෙරට සැතපුම් කිහිපයක්‌ ඔබ්බෙනි. කල්ලරා (ගල්වරායට) පැමිණි නාවිකයන්ට බත උයා කෑමට සැතපුම් කිහිපයකට ඈත ගිරිහඩු කන්දට නැගීමේ අවශ්‍යතාවක්‌ නැත. එනිසා එමගින් නිගමනය කළ හැකි වන්නේ ඔවුන් සුපුරුදු තැනකට පැමිණ මනා ආරක්‍ෂිත බිමක දා කරඬුව තැන්පත් කොට ඇති බවකි. මෙම කන්දට "නිතිපත්" පහන යන නමද භාවිතා කෙරේ. එම නම අනුව නිතිපතා දල්වන ලද පහනක්‌ මෙහි තිබූ බවක්‌ ධ්වනිත වේ. ඇතැම් විට ආදියෙහි සමුදුර ගමන් ගන්නා නාවිකයන්ට මඟපෙන්වීමට මෙම ගිර මත නිතිපතා දල්වන ලද පහනක්‌ තිබුණා ද විය හැකිය.

අපගේ සම්භාවිත වංස කතාව වූ මහා වංසයෙහි තපස්‌සු හා භල්ලුක යන වෙළෙඳුන්ට ද බුදුහිමියන් දෙන ලද කේශධාතූන් මෙරටට ගෙනවිත් ගිරිහඩු නම් තැනක මිහිදන් කර වෙහෙරක්‌ තනන ලද පුවත නොදැක්‌වේ. එහෙත් මහානාම නිරිඳුන් දවස (ක්‍රි.ව. 406/428) කුරුඳුවෙහෙර වැඩ සිටි අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධිමග්ගයෙහි ගිරිකණ්‌ඩක විහාරයෙහි අතිශය රමණීයත්වය විස්‌තර කර ඇත. එහි ඇති එක්‌ කතා පුවතක දැක්‌වෙන අයුරු ගිරිකණ්‌ඩ පර්වත ආසන්න ගමක අඹුසැමි යුවළක්‌ ගමන් දුෂ්කර නිසා තම ගැබ්බර දුව නිවසෙහි රඳවා විහාරස්‌ථානයෙහි පැවැති ධර්ම දේශනයක්‌ ශ්‍රවණය කිරීමට ගොස්‌ ඇත. හුදකලාව නිවසෙහි රැඳුන දැරිය විහාරස්‌ථානයෙහි රමණීයත්වය අනුස්‌මරණය කිරීම නිසාම හටගත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් මෙහෙයවී නොදැනුවත්ම එහි ගියහයි දැක්‌වේ.

අනුරාධපුර රාජධානියට සෞභාග්‍යයේ යශෝකීර්තියේ හා ජයග්‍රහණයේ දිවාකරයා මුදුන්ව පැවැති කාලයෙහි ගිරිහඩු කන්ද අපමණ වූ යතිවරයන් වැඩ සිටි පුණ්‍ය භූමියක්‌ව පැවැතිණි. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ දැමූ රාජරාජ චෝල අධිරාජ්‍යයාගේ සෙබළුන් පසුපස ගිනි පන්දමක්‌ ගෙන පැමිණි විනාශයේ හා දුර්භාග්‍යයේ දේවතාවිය වූ කාලිය ගිරිහඩු ගල මත පිහිටි කෙස්‌ දා සහිත මහ වෙහෙර වනසා අග්නි දේවයාට පුද දුන්හ. එහි වැඩ සිටි භික්‍ෂූන්ගේ ලෝභිතයෙන් සිරිපතුල් ගල් රත් පැහැ ගත්හ. වැහි කන්න දෙකක්‌ ගතවීමටත් පෙර හාත්පසින් ගලා ආ වනප්‍රවාය ගිරිහඩු කන්ද ගිල ගත්හ. හෙල රජ දරුවන් මෙහි තනන ලද අපමණ වූ වෙහෙර විහාර ආරාමයන්ගේ පවුරු පදනම් දෙදරා මහ රුක්‌ වැවින. අලි ඇතුන් වෙහෙර බිම ගල් ටැම්හි පිට කැසීමට ගොස්‌ සියල්ල බිඳ දැමූහ. දිවි වලසුන් යෝගාවචර යතිවරයින් වැඩ සිටි ගල් ලෙන් තිඹිරි ගෙවල් කොට ගත්හ. පොලොන්නරු රජ දහන ගොඩ නැගූ මහ විජයබා නිරිඳුන් (ක්‍රි.ව. 1055/1110) මෙහි පිළිසකර කළ ද නැවත වල් වැදුණු එහි විසිවන සියවසේ මැද දශකයෙහි (1951 ඔක්‌තෝම්බර් මස) අගමැති ඩී. එස්‌. සේනානායකයන්ගේ දැනුම්දීම මත සෙනරත් පරණවිතාන නම් බොදුණු වියතා එහි පා තබන තෙක්‌ එය පූජාවලියෙහි පිටු අතර පමණක්‌ සැඟවුණ කිසිවෙක්‌ නොදත් පුදබිමක්‌ බවට පත්ව තිබිණි.

පුරාවිදුවෙහි පිහිටෙන් තහවුරු කරන ලද ගිරිහඩු ගිර මතට නැගීමට දෙමඟකි. ගලාගිය දිය මඟක්‌ මතින් තනන ලද පැරණි ගල් පාලමක නටබුන් දක්‌නට ලැබේ. එක්‌ මඟක්‌ දෙපස අලංකාර ලෙස තනන ලද පොකුණු යුගලක මැදින් තැනුන පටු මාවතක්‌ වේ. එම මඟ කෙළවර වන්නේ අඩි 210 ක්‌ පමණ උස ගිරිහිස නැගීමට තැනුණු තැන කැඩුණු බිඳුණු සෙල් මුවා පියගැට පෙළක පාමුලය. තුරු හිස්‌ මතින් ඔබ මොබ පනින රිලා හා වඳුරන්ගේ කෙළි කවටකම් නරඹමින් අලි වසුරු සහිත එක්‌ වූ මගෙහි ඉහළට ගොස්‌ මහ මළුවට සේන්දු විය හැකිය. තැනින් තැන කටාරම් සහිත ගල් ලෙන්ද වේ. එහි අඩි දෙසීයක්‌ පමණ ඔබ්බෙහි ඔපමට්‌ටම් නොකරන ලද ගලෙක අඩි විස්‌සක්‌ පමණ දිගින් හා අඩි පහක්‌ පමණ පරාසයක අටවන සියවසේදී පමණ පල්ලව අක්‍ෂර මාලාවකින් සකු බසින් ලියවුන සෙල් ලිපියක්‌ ඇස ගැසේ. එම සෙල් ලිපියෙහි කේශ ධාතු තැන්පත් කිරීම පිළිබඳ වෘත්තාන්තය සනාථ කරමින් තපස්‌සු භල්ලුක (පුත්‍රපුෂ්සක වල්ලික) යන වෙළෙඳුන් දෙදෙනාගේ නාමයන් හා ගිරිකණ්‌ඩක යන ස්‌ථාන නාමය ද සටහන්ව ඇතැයි මහ ඇදුරු සෙනරත් පරණවිතානයන් ලියා ඇති ලිපි මාලා 1 පොතෙහි දැක්‌වේ.

මෙම සෙල්ලිපිය මෙකල බසට නඟා ඇති එතුමන් අහස්‌ ගඟේ හටගත් නෙලුම් පතින් කළ ගොටුවල පුරවන ලද සුවඳ ජලය ගත්තා වූ ද අත්හි ගන්නා ලද පුෂ්ප ධුප මැණික්‌ පහන් ආදී පූජා භාණ්‌ඩ ඇත්තා වූද දිව්‍ය ස්‌ත්‍රීහු ලලිතභාවයෙන් යුක්‌තව සුරපුරයෙන් බැස ගිරිකණ්‌ඩිකයෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේට සතුටු සිතින් පුදත්. දේවේන්ද්‍රයා ද නොයෙක්‌ පිරිවර දෙවියන් විසින් අනුගත වූයේ සුලලිත වූ දිව්‍ය සංක පටහ ආදිය වයමින් අවුත් දිව්‍ය වාක්‍ෂයන්හි හටගත් අලුත් මල්කැන් විසුරුවමින් උතුම් වූ ගිරිකණ්‌ඩිකයෙහි පිණිපා සුචරිතයෙහි හැසිරෙයි යන ලෙසින් සඳහන් කර ඇත.

ගල් පඩි යොදා සෝදා පාළු නොවන සේ, ගල් වැටි බැඳ සංරක්‍ෂණය කරන ලද අඩ අක්‌කරයක්‌ පමණ වූ මහ මළුව නයනාභිරමණීය දර්ශනයක්‌ ගෙන දෙන තැනකි. එහි නැගුන එක්‌ පසෙකින් රළ නඟන නිල්වන් මහ සමුදුරත්, අනික්‌ පසින් අනන්තය තෙක්‌ පැතිරුන නිල්වන් වන උයනත් දැකගත හැකිය. එහි ඇත්තේ නෙත් සිත් පිනා යන දසුන්ය, වසබ නිරිඳුන් (ක්‍රි.ව. 67/111) තට්‌ටකාලක ගමෙහි තනන ලද නිතුපත්පහන වැවෙහි දහවල ජල කෙළියෙහි යෙදෙන වල් ඇතුන් බුදු පුදට නොව අහරට නෙළුම් මල් නෙළන අයුරු ද නෙත ගැටේ. අරුණෝදයෙහි මහ මළුවට ගොස්‌ සෙල් ටැඹකට මුවා වී නිහඬව සිටියහොත් එහි රැස්‌වන මොණරුන් දෙවිඳුට උදය පූජාව පිණිස පිල් විදහා සර සර හඬ නංවා තරුණ සෙබඩුන්ගේ සිත් ගැනීමට කරන කාම රංගනය ද නොමිලයේ නැරඹිය හැකිය. මහමළුවෙහිදී කල්ලරා මුහුදු තෙරෙන් හමා එන සුළඟින් ගත ද බුදු බැතියෙන් සිත ද පසන් බවට පත්කරති.

මහ මළුව මැද මනා කොට ඔපමට්‌ටමින් සුමටව තනන ලද පිටත බිත්ති සහිත වටදා ගෙහි අංගනයෙහි විෂ්කම්භය අඩි 79 ක්‌ පමණ වේ. එහි මැද එකිනෙකට වෙනස්‌ වූ උසින් යුත් ගල් කණු දෙපළක්‌ මැද කවුංචකයක්‌ සහිත වෙහෙරෙහි විෂ්කම්භය අඩි දෙතිසකි. කචුංචකයට ඇතුළතින් ඇති වෙහෙරෙහි විෂ්කම්භය අඩි විසිහතරකි. අතීතයෙහි මෙරට සිටි විශ්මිත ගල් වඩුවාගේ අමරණීය කලා කුසලතාවයන් මෙම වටදා ගෙයින් අපූරුවට දිස්‌වේ. මහ මළුවෙහි සිට වටදා ගෙට පිවිසීමට සිව් දිසාවෙහිම අලංකාර කැටයම් සහිත මුරගල් ඇති පියගැට පෙළක්‌ වේ. වෙහෙර සිව් පසෙහිම මල් අසුන් දක්‌නට ඇත.

මෙම වෙහෙර බිමින් හමුවී ඇති අවලෝකිතේශ්වර තාරා මංජු ශ්‍රී ආදී බොහෝ පුරා වස්‌තූන් අයත් වන්නේ මහායාන සම්ප්‍රදායටය. මහා බ්‍රිතාන්‍යයේ බොස්‌ටන් කෞතුකාගාරයෙහි ඇති තාරා දෙවඟනගේ ජීවමාන ප්‍රමාණයේ ලෝකඩ ප්‍රතිමාවද මෙම බිමින් හමු වූ එකකි. එහි අනුරුවක්‌ ජාතික කෞතුකාගාරයෙහි දක්‌නට ඇත. මෙම වෙහෙර බිම අවලෝකිතේශ්වර හෙවත් මහනුවර දළදා රකිමින් වැඩ සිටින නාත දෙවිඳුන්ගේ වාසස්‌ථානයක්‌ ලෙස ද සැලකේ. ආරම්භයෙහි සිටම ගිරිහඩු වෙහෙර ගොඩනැඟී ඇත්තේ මහාවිහාරයට විරුද්ධව සිටි මහායාන මධ්‍යස්‌ථානයක්‌ ලෙසිනි. බුදුරජුන්ගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතත් ගිරිහඩු වෙහෙර තමන්ට සතුරු මහායාන මධ්‍යස්‌ථානයක්‌ වූ හෙයින් මහාවංස කතු හිමියන් එය පිළිබඳ කිසිවක්‌ තම වංස කතාවට ඇතුළත් නොකර ඇත්තේ ද්වේෂ සහගතව නොව සතුරා සතු සර්වඥ ධාතූන්ටත් වඩා වටිනා දෙයක්‌ වුවද අගය නොකිරීමට වග බලා ගන්නා ලෙස අපට ද උපදෙස්‌ දීම පිණිසය.

බුදු හිමියන් බුදුබව ලත් දිනම එතුමන්ගේ සිරසින් නිකුත්ව එතුමන් මෙරටට වැඩමවීමටත් පෙරම හෝ එයට ආසන්න කාලයෙහි බුදු සසුනේ පළමු උපාසකයන් දෙදෙනා සමඟ මෙරටට වැඩම කළ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කොට බඳනා ලදැයි පිළිගැනෙන පින් කෙත වන් ගිරිහඩු ගල මත ඇති වෙහෙර නොදුටු බොදුනු ඇස කුමටදැයි එහි නොගිය නොදුටු, අයෙකුට නොවැටහේ. එය එතරම් පියකරුය. මනහරය. හෙල ගල්වඩුවාගේ විස්‌මිත කැටයම් එහි සඟවා ඇත.

ගිරිකණ්‌ඩික පර්වතය හෙවත් ගිරිහඩු කන්දත් නුදුරෙහි ඇති තිරියාය වන පෙතන් පිළිබඳව ඇත්තේ මනහර වෘත්තාන්තයකි. විජය රජුගෙන් පසුව සිහසුන් ගත වූයේ එතුමන් සොහොයුරු පුත් පඬුවස්‌ දෙවි නිරිඳුන්ය. බුදුරජුන් හා නෑකමින් බැඳුණ බඳකසයින් කුමරිය මෙහෙසන කරගත් පසුවත් දෙවි රජුගේ දෙවන පුතා සිව නමින් හැඳින්වින, කිස්‌ දොවුන් දියණිය චිත්ත්‍රාය. කාම උන්මාදයෙන් පෙළුන හෙයින් ඇයට උන්මාද චිත්‍රා යන නම පටබැඳිණි. තහනම් පෙම් බැඳුමකින් ඇය ලැබගත් පුතා පකුණ්‌ඩ හෙවත් පණ්‌ඩුකාභය නමින් හැඳින්විණ. පඬුවස්‌ දෙවි රජුන් දවස ගිරිකණ්‌ඩක පබ්බතය පිහිටි පෙදෙස පාලකයා වූයේ සිව කුමරුන්ය. එනිසා හේ ගිරිකණ්‌ඩක සිව නමින් හැඳින්වින. සිව කුමරුන් සතු සිරියාය නම් මහ කෙත පිහිටියේ, ගිරිකණ්‌ඩක පර්වතය අසලය. එක්‌ දිනක සිව කුමරුන් මහ පිරිස පිරිවරා තම සිරියාය කෙතේ ගොයම් කපමින් සිටියදී දියණිය වූ පාලි කුමරිය සහ පිරිවරින් පියාට ඇඹුල ගෙන යමින් සිටියාය.

උන්මාද චිත්‍රාගේ පුත් පණ්‌ඩුකාභය කුමරුන්ගේ ගුරුවරයා වූ පණ්‌ඩුල බමුණා තම සිසුවාට උපදෙස්‌ දී තිබුණේ කවර හෝ කුමරියක ගසකින් කඩාගත් කොළ රන්වන් පාටින් දිලිසෙනු දුටුවහොත් ඇය මෙහෙසිය කරගන්නා ලෙසය.

පණ්‌ඩුකාභය කුමරුන් තම මාමලාට එරෙහිව සටන් වැදීමට පිරිවර එක්‌රැස්‌ කරමින් තැන තැන යමින් සිටි දිනක අතරමගදී පියාට ඇඹුල ගෙනයමින් සිටි පාලි කුමරිය දක්‌නට ලැබිණ. ඇවැස්‌ස නෑනා මස්‌සිනා වුවද මොවුන් දෙදෙනා කිසි දිනක අඳුනාගෙන තිබුණේ නැත. පාලි කුමරියගේ රිය වෙත ගිය කුමරු තමන්ටත් තම සගයන්ටත් සාගිනි ඇති බව පවසා අහර බත් ටිකක්‌ දෙන ලෙස ඉල්ලා ඇත. මොවුන්ට අහර දීමට සුදුසු බඳුන් කුමරිය සතු නොවිණ. වහා රියෙන් බට ඇය යෙහෙළියන් හා දාසීන් හා සමඟ එක්‌ව ආගන්තුක තරුණයන්ට බත් දීමට පුළුල් පත් ඇති ගස්‌ වෙත ගොස්‌ කොළ නෙලන්නට විය. දැඩි හිරු රැස්‌ සහිත දිනක බොහෝ ඇවිද වෙහෙසට පත් කුමරුන් නෙත් අඳුරුව නිලන්කාරව පැවතියෙන් කුමරිය නෙළන පත් රන්වන් පාටින් දිලිසෙන බව පෙනිණ. දෛවොපගත ඉරණමක්‌ ලෙසින් කුමරුන්ට පණ්‌ඩුල බමුණාගේ බස සිහි විය. සාගින්නත් වෙහෙසත් අමතක කළ හේ පාලි කුමරියගේ මුව සළු පටකින් බැඳ දෙකට නමා කුදලා කරට ගෙන පස්‌ස නොබලාම කැලෑ මන් ඔස්‌සේ පෙරටම දිවගොස්‌ මහවැලි නදිය ද තරණය කර දුම්රක්‌ ගල වෙත (දිඹුලාගල) වෙත ළඟාවන තෙක්‌ කරට ගත් කුමරිය අතරමඟ බිම තබා නැත. ලේ හුරු සුවඳින් සිහි විකල් කුමරිය ද දඟලා හෝ හඬ නගා හෝ නැත.

පාලි කුමරිය පැහැරගෙන ගිය පුවත සැල වූ විගසම ගිරිකණ්‌ඩක සිව රජු ද මහ සෙනඟ ගෙන පණ්‌ඩුකාභය කුමරුන් හඹා පසුපසින් දිව ගොස්‌ මහවැලි නදියෙන් එතෙර වී යා නොහී කරගත හැකි කිසිවක්‌ නොවුයෙන් උකටලීව සතුරෙකු වුවත් ඌ මගේ නැඟණියගේ පුත් සහ ලේ ඇති බෑණා නොවෙද කියා සැනසුණේලු.

මහා වංසයෙහි ද සඳහන් මෙම පුවතින් පැහැදිලි වන්නේ පඬුවස්‌ දෙව් රජුන් දවස ද මෙම ගිරිහිස ගිරිකණ්‌ඩක නමින් හඳුන්වා ඇති බවය. මේ වන විට මේ පූජනීය භූමිය ශාස්ත්‍රපති දෙවිනුවර චන්දිම හිමියන් විහාරාධිපතිත්වය හොබවමින් සිටින අතර, මේ භූමිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගත් එකක්ද වේ.මෙරටේ ඉතිහාසය පිළිබඳව මහා වංසය පූජාවලිය බොහෝ සාක්‍ෂි දරන්නේය.බුදුරජාණන්වහන්සේ ජීවමාන අවදියේදී ඉදිකළා වූවා යැයි පවසන මේ ගිරිහඬු සෑය අපගේ බෞද්ධ සාහිත්‍ය කොතරම් දුරකට එහාට ගෙන යෑමට සමත් වූවක්ද ?

No comments:

Post a Comment