Saturday, 1 August 2015

භෞතික සංස්කෘතික ප්‍රබෝධය මෙන්ම ආධ්‍යාත්මික සුවය නියෝජනයේ අභිමානනීය උරුමය....... මැද්දේපොළ රජමහා විහාරය

භෞතික සංස්කෘතික ප්‍රබෝධය මෙන්ම ආධ්‍යාත්මික සුවය නියෝජනයේ අභිමානනීය උරුමය....... මැද්දේපොළ රජමහා විහාරය

ලංකාවේ මධ්‍යතන යුගයේ සියවස් දෙකක පමණ බුදු සසුන පුරන්ව ගිය යුගයක් බවට පත් විය. හයවන පැරකුම්බා රජුගෙන් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යුගය දක්වාම මේ අභාග්‍යවත් කාලය අඳුරෙන් වසා පැවැතිණි. ඒ කාලයේ සසුනේ පරිහාණිය කොතෙක් ව්‍යාප්තව පැවැතියද කියතොත් උපසපන් භික්‍ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම කලුනික සොයනවා වැනි විය.

මහත් කැපකිරීම්, පරිත්‍යාගයන් මත වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේගේ අධිෂ්ඨානය මල්ඵල ගන්වමින් නැවත ලංකාවට උපසම්පදාව ලැබුණේ ක්‍රි.ව. 1753 වසරේදී ය. එම සිදුවීම ලංකාවේ ශාසනික මෙන්ම සමාජීය වශයෙන් සුවිශේෂී කඩඉඩමක් ලකුණු කළ ඉතා වැදගත් ප්‍රබල සිදුවීමකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සියම් දේශයෙන් අපට උපසම්පදාව ලැබුණේ මෙහි පැමිණි උපාලි භික්‍ෂූන් වහන්සේගේ මූලිකත්වයෙනි. මෙහිදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරන ලද්දේ මහනුවර මල්වතු විහාරයේ ය. දෙවන විනය කර්මය අස්ගිරි විහාරයේ දී සිදු කරන ලදී. මේවා සියම් නිකායේ ප්‍රමුඛ නියෝජකත්වයේ ප්‍රමුඛස්ථානයන් ය. ඒ නිසාම එහි සුවිශේෂත්වයක් ද පෙන්නුම් කරයි. ඒ වගේම ඒ යුගයේ දේශයේ අග නගරය වූයේ ද මහනුවර ය.

අගනුවරින් පිට ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කිරීමට තෝරාගත් විහාරස්ථාන වූයේ මැද්දේපොළ රජමහා විහාරස්ථානයයි. එදා උපාලි භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විසින් විනය කර්ම සිදු කළ සීමාමාලකය නොහොත් පොහොයගෙය සාඩම්බර ශාසනික උරුමයේ අතිශය ප්‍රබල සංකේතයක් වශයෙන් විරාජමානව අදත් වැඩවසන්නේ මැද්දේපොළ රජමහා විහාර භූමියේ ය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත්කෝරළයට අයත් කටුගම්පල මැතිවරණ කොට්ඨාසයේ කොළඹ සිට කි.මී 111ක පමණ දුරකින් මැද්දේපොළ රජමහා විහාරස්ථානය ගොඩනැඟී තිබෙයි.

කුරුණෑගල මීගමු පාරේ ගිරිඋල්ල නගරයෙන් දකුණුපස මල්ගමුව පාරේ කි.මී 2ක් පමණ ගිය තැන දී මෙම ඓතිහාසික ජාතික උරුමය වෙතට පියමං කළ හැකි වෙයි. ඉදිරියට ආරෝහණය වන ශෛල කලා සහිත ඉදිරියට උස් බිමක සැකැසුණු ලෙන් විහාරයේ මූලාරම්භය සිදු වී ඇත්තේ දේවානම්පියතිස් නිරිඳාණන්ගේ යුගයේ ය. ඒ බව සනාථ වන ක්‍රි.පූර්ව දෙවැනි සියවසට අයත් ශිලා ලේඛනයක් විහාර භූමියෙන් සොයා ගෙන තිබේ.

දැනට හඳුනාගෙන ඇති සාක්ෂිවලට අනුව මෙම විහාරයේ ආරම්භය අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය (ක්‍රි. පූ. 307 - 267) දක්වා ඈතට දිවයයි. ක්‍රි. පූ. 3 වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලාලිපි සහිත ලෙන් කිහිපයක් පිහිටා තිබේ. ඉතා සියුම් කෙටූ ගල් කටාරම් මේවායෙහිද තිබේ. මුල් කාලයේදී මේවායෙහි භික්ෂූන් වහන්සේ වාසය කළ බව සාධකවලින් අනාවරණය වෙයි.

දේවානම්පියතිස්ස රජුගෙන් පසුව ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වී නැවත පුනර්ජීවනය වන්නේ අනුරාධපුරයේ බලයට පත් වළගම්බා රාජ්‍ය සමයේදීවේ.

යුද්ධයෙන් පැරදි තැන තැන සැඟවී සේනා සංවිධානය කරමින් සිටි වළගම්බා රජුට මෙම ගිරි ගුහාව හමුවී ඇත්තේ එසේ කල්ගත කරන විටය. වළගම්බා රජු එසේ එක් රැයක් හෝ ගත කළ ගල්ගුහාවක් වී නම් අද වනවිට විහාර ආරාම බවට පත්ව තිබේ. මෙම ප්‍රදේශයෙහි ඇති උසම කන්ද මැද්දේපොළ කන්දය.

මෙම ගල්ලෙන අඩි 140ක් පමණ දිගින්ද අඩි 40ක් පමණ පළලින්ද යුතුය. පිහිටි ගලේ ඇතුළත නෙරා ගිය ගුහාවකින් සමන්විතය. එම ගල්ගුහාව තුළ අංගසම්පූර්ණ ලෙන් විහාරයක් බවට පත්කරන ලදී. ලෙන් විහාරය තුළ සැතපෙන සූවිසි රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් ගොඩනගා තිබේ.

මෙහි වන එක් සෙල් ලිපියකට අනුව සුදදත්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් සිය දායක පිරිස සමඟ පැමිණ මෙය විහාරය කරවා සඟසතු කොට පූජා කර තිබේ. ඉන් පසුව අනුරාධපුර යුගයේ වළගම්බා, දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු සහ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ අනුග්‍රහය ලැබෙන්නට තරම් විශේෂිතත්වයක් හිමිකරගත් මෙම විහාරස්ථානය යුග කීපයකට අයත් ඒ ඒ අංග ප්‍රත්‍යයන්ගෙන් අලංකෘත වූ විහාරාරාංගයන්ගෙන් සැදුණේ වෙයි.

එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමිපාණන්ගේ ශාසනික පුනර්ජීවන ව්‍යායාමයේ වයඹ පළාතේ කේන්ද්‍රස්ථානය ද වෙමින් අදත් එම තැනට නිසි ගෞරවයක් රැකීමට මෙය සමත් වී තිබෙයි. මේ නෙක යුග දායකත්වය නිසාම ශ්‍රී ලාංකේය ආගමික, කලා, ගෘහ නිර්මාණ ආකෘතීන්, චිත්‍ර කලා, මූර්ති, කැටයම් ආදියෙන් ද පොහොසත් වී ඇති නිසාම මෙය ඉතිහාස ගමන් මගේ ප්‍රමුඛ මාර්ග සලකුණකි. විහාරස්ථානය හැඳින්වූ පෞරාණික නාමය වූයේ මුනිවෙහෙර ය.

මුනිවරයකු ප්‍රමුඛ වෙමින් ගොඩනැඟුණු නිසා මුනිවෙහෙර වූවා විය හැකි ය. පසු කලෙක පද පෙරළියෙන් වෙහෙරමුනි වී ඉනික්බිති වේරමුනි බවට පරිවර්තනය වී වේරමුනි වේරමුණේ වී අවසන වේරමුණේ ශ්‍රී සුන්දරාරාම රජ මහා විහාරය නමින් ප්‍රකට වී භාවිතයේ පහසුවට මැද්දේපොළ විහාරස්ථානය නමින් සාමාන්‍ය ව්‍යවහාරයට පත් විය.

මැද්දේපොළ විහාරයේ ඓතිහාසික ආගමික අගයේ කේන්ද්‍රීය සලකුණ අක්‍ෂර සහිත කටාරම් ලකුණැති පර්වතයක් ඇසුරේ ඇති ලෙන් විහාරය වේ. මෙම ලෙන අභ්‍යන්තර ප්‍රතිමා ගෘහයකින් ද බාහිර ප්‍රතිමාගෘහය හෙවත් පිටමාලයකින් ද, යාබද විහාර ගර්භයකින් සහ කෙළවර දේවතා බණ්ඩාර දේවාලය නම් වූ අංගයන්ගෙන් සැදුණේ වෙයි.

බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍ර ඵලයක් සේ සැලකිය හැකි ස්තූපය හෙළ කලාකරුවාගේ නිර්මාණශීලිත්වය විදහා දැක්වෙන ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. විහාරයේ වම්පස දකුණු කෙළවරේ ඉදිකොට තිබෙන මෙම ස්තූපය ඝණ්ඨාකාර හැඩයෙන් යුක්තවේ. බුද්ධ ප්‍රතිමාව ස්ථාපිත ලෙනෙහි දේශීයත්වය හොබවන අලංකාර සිතුවම් ඇත. මෙහි සිතුවම් සියල්ලක්ම පාහේ ඇඳ ඇත්තේ සෝලියස් මැන්දිස් සිත්තරා විසින් ය.

විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපස වම් කෙළවරේ ඇඳ ඇති චිත්‍රද නිර්මාණාත්මක ලක්ෂණ අතින් අනුරාධපුර යුගයට අයත් බව පෙනේ.

පසු කාලයක දඹදෙනි යුගයේ පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1236 - 1237) විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත. නැවත මෙම රජමහා විහාරයට ආලෝකයක් ලැබෙන්නේ මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි. ව. 1747 - 1782) කාලයේදීය. මෙම රජු විසින් විහාරය ප්‍රතිසංස්කරණය කර සූවිසි රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර මහනුවර යුගයට අයත් සිතුවම්වලින් විහාරය අලංකාර කර ඇත.

පසුව මැද්දේපොළ විහාරයට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ ගිනිගත්පිටියේ ශ්‍රී සංඝරක්ෂිත නම් හිමිනම විසින් ජීවයක් ලබාදුනි.

මැද්දේපොළ විහාරයේ ඉතා සුවිශේෂි ලක්ෂණය වන්නේ පසුකාලීනව සිතුවම් කළ මිත්‍ර සම්ප්‍රදායයි. අජන්තා, පොළොන්නරු, අනුරාධපුර චිත්‍ර සම්ප්‍රදායන් අධ්‍යයනය කර තම ශෛලියට ආවේනික වූ බිතුසිතුවම් සම්ප්‍රදායකින් මැද්දේපොළ විහාරස්ථානයේ සිතුවම් සෝලියස් මෙන්දිස් නම් කලාකරුවා චිත්‍ර ඇඳ තිබේ.

සෝලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියාගේ මුල්ම විහාර කර්මාන්තය ලෙස සැලකෙන්නේ මැද්දේපොළ විහාර චිත්‍ර කර්මාන්තයයි.
මහනුවර යුගයේ විහාර සිතුවම් කලා ශිල්පීන් අතර පුරෝගාමී වූ දෙවරගම්පොළ සිල්වත් තැනගේ සිතුව මින් විහාරමන්දිරය අලංකාර විය. එසේම පහතරට ගුරු කුලයට අයත් එස්.ජේ.එස්. සිල්වා සිතුවම් ශිල්පියාගේ සිතුවම් ද විහාරයේ දී දකින්නට ලැබේ.

එසේ විශිෂ්ට, විශේෂිත, ප්‍රකට නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය නිසාම මැද්දේපොළ බිතු සිතුවම් කලාව යුග වෙනසක අපූර්වතාව මෙන්ම අසහාය බව ප්‍රකට කරයි. ඒනිසාම එවන් ක්‍ෂේත්‍රයන් පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට මෙන්ම විමසන්නන්ට මෙතැන කදිම අංගණයකි. එසේම මහනුවර යුගයට අයත් ධර්ම ශාලාව ද ගල්තලාවක් මත ඉදිකර ඇති ආවාස ගෘහය ද විචිත්‍රවත් වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණයන් ප්‍රකට කරයි.

පැරැණි බෝධිඝරය සකසා ඇත්තේ ආයතන චතුරස්‍රාකාර කළු ගලෙනි. නූතන ඉදිකිරීමක් වූ ඝණ්ටාර කුලුන 1956 සම්බුද්ධ ජයන්තිය ස්මරණය වෙනුවෙන් සාදා තිබුණ ද එය මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වය වර්ධනය උදෙසා සෑදූ නවකමකි.

විහාර භූමියට ප්‍රවිෂ්ට වන විටම වම් පස ශෛලතාලාවක් මත ඉදිකර ඇති කුඩා ස්තූපය මෑත නිර්මාණයකි. භූමියේ ඇති කෞතුකාගාර ද විහාරස්ථානය පිළිබඳ කරුණු අධ්‍යයනය කරන්නෙකුට අවශ්‍ය සාධක සම්පාදනය කරයි. විහාරස්ථානයට නොයෙකුත් අවස්ථාවන්හි දී පූජා කළ වටිනා කෞතුක වස්තූන් ස්ථානය සතු ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක බහුතරයකින් වංශ කතාවේ ඉතිහාසය ගමන්මඟ පිළිබඳ අවශ්‍ය ජීවමාන සාධක සලකුණු වලින් සමන්විත වේ.

ඉතිහාස නියෝජනයේ පියසටහන් තබන ‘සිව්රැස් මලසුන්දෙක’ මෙන්ම ශෛලමය පඬුඔරුව, ශිලාමය අත්දෝවනය මෙන්ම, පාදෝවනය කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ සඳකඩ පහණ වැනි ශේෂ මතින් අපව රැගෙන යන්නේ දුරාතීතයේ අභිමානනීය උරුමයක් වෙතය. බෞද්ධ සංස්කෘතියේ ප්‍රශස්ත නියෝජනයේ උදාර වූ විහාරස්ථානය විවිධත්වයෙන් විචිත්‍රතාවයන්ගෙන් බොදු දිවියට රැගෙන එන්නේ ආලෝකයකි. සංස්කෘතියේ සංවර්ධනය මෙන්ම පරිහානිය ද ඇති වූ විට එය මනින දර්ශකයක් විදියට ද විහාරස්ථානයේ පිළිබිඹුව කදිම මිනුම් දණ්ඩකි.

එවන් ප්‍රබලත්වයක සංකේතයක් වූ මැද්දේපොළ රජමහවෙහෙර සංස්කෘතියේ සමාරම්භයේ ද සිට වර්තමානය ද විවිධත්වය හා විචිත්‍රත්වය ද අප ඉදිරියේ එක විට ඉදිරිපත් කරයි. භෞතික සංස්කෘතික ප්‍රබෝධය මෙන්ම ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ද එකවිට පෙනී සිටිමින් ජාතික ආගමික උරුමයේ මහා නොසැලෙන සෙල් තුළ මතින් විචිත්‍රවත් ලෙන් කුටිය මතට අපව කැඳවාගෙන යයි.

No comments:

Post a Comment