Sunday, 9 August 2015

ශාසනයට පාරාජිකා සිල්පද එක්වූ අයුරු

ශාසනයට පාරාජිකා සිල්පද එක්වූ අයුරු



අපගේ සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු දොළොස් වන අවුරුද්දෙහි විශාලා නුවර මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වැඩවසන කල්හි, විශාලා පුරය අසල ‘කලන්ද’ නම් වූ ග්‍රාමයෙහි කෝටිපති සිටු කුලයක උපන් ‘සුදින්න’ නම් විවාහක කුල පුත්‍රයෙක් තථාගතයන් වහන්සේ කරා ගොස් ධර්ම ශ්‍රවණය කොට සසුන් පැවිද්දෙහි ඇල්ම ඇතිකොට සත් දිනක් නිරාහාරව සිට දෙමව්පියන්ගෙන් පැවිද්දට අවසර ලබාගෙන පැවිදි උපසපන් වී, ධුත ගුණ ද සමාදන් වී බලවත් සැලකිල්ලකින් හා භක්තියකින් මහණදම් පුරන්ට විය.

සුදින්න තෙරණුවන්ගේ පැවිදි උපසපන් බවෙන් අට වසරක් ගත විය. මේ කාලයෙහි දුර්භික්ෂයක් ඇති විය. බොහෝ මනුෂ්‍යයෝ ආහාරක්ලාන්තයෙන් පීඩාවට පැමිණියහ. සුදින්න තෙරණුවෝ ක්ලාන්ත නොවීම පිණිස ද ඤාතීන්ට වැඩ පිණිස ද කලන්ද ගමට වැඩ එහි සෙනසුනක වසන්ට වූ හ. තෙරුන් පැමිණි බව ඤාතීන්ට සැල වූයෙන් එක් දිනක ම සැටක් පමණ සැලිබත් පිසගෙන ඤාතීහු තෙරුන් දැකීමට සෙනසුන කරා ගියහ. තෙරණුවෝ සැළිබත් සැට ම භික්ෂූන්ට පරිත්‍යාග කොට තමන් වහන්සේ පා සිවුරු ගෙන පියාගේ නිවෙස කරා ගියහ.

පිය සිටු තෙමේ පරපුරේ ධනය රැකගන්ට කෙනෙකු නැති බව දන්වා එහෙයින් සිවුරු හැර ගිහි වන ලෙස ද ඉල්ලා සිටියහ. ඒ නොපිළිගත් හෙයින් තෙරුන්ගේ පුරාණදූතියිකා තොමෝ තෙරුන් ඉදිරියට දෙවඟනක ලෙසින් සැරසී පැමිණ “ස්වාමීනි, මහණ දම් රකිමින් ඔබ බලාපොරොත්තු වන දෙවඟනන් මට වඩා ලස්සන දැ?” යි ඇසුවා ය. “නැගණියනි, මා බඹසර රකින්නේ දෙවඟනන් පතා නො වෙයි” යනුවෙන් තෙරුන් කී කල්හි ඕ විසඥ ව බිම වැටුණා ය.

දෙමව්පියෝ උන්-වහන්සේ අමතා ගිහි වනු මැනැවැ යි තෙවරක් ම යළිත් අයැද සිටියහ. තෙරුන් ඒ තෙවාරයේ දී ම ඉල්ලීම ප්‍රතික්ෂේප  කළ හෙයින් නැවත මෑණියෝ කථා කොට “පුතණුවනි, අපගේ කුලයෙහි මේ රැස් කර තිබෙන මහා ධන සම්භාරයට එක ම හිමියා ඔබ යි. අප නැති කල මේ ධනය ලෝකයාට හිමි වනු ඇත. එහෙයින් කුල සන්තක ධනය රැකගනු පිණිස ද, පරපුර නොනැසෙනු පිණිස ද සුදුසු දාරක බීජයක් දුන මැනවැ” යි ඉල්ලා සිටියා ය.

මේ කාලය වනාහී සම්බුදු රදුන්ගේ බුද්ධත්වයෙන් විසිවන වසර ය. මේ වන තුරු මෙවැන්නක් ගැන ශික්ෂාපද පැනවීමක් නො වූ හෙයින් ද වරද ගැන වැටහීමක් නැති හෙයින් දෝ සුදින්නතෙරණුවෝ මෑණියන්ගේ ඉල්ලීම පිළිගෙන පුරාණ දුතියිකාවගේ අත අල්වාගෙන මහ වනයට වැද තෙයළක් මෙවුන්දම්හි හැසුරුණා හ. ඕ තොමෝ ද මේ හේතුවෙන් ගැබ් ගත්තා ය.

මහ වනයෙහි දී සිදු වූ මේ සිද්්ධිය එක්තරා බූමාටු දේවතාවෙක් දැක්කේ ය. හේ කෑගසන්ට විය.“අහෝ තථාගත සම්බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ නොකැළැල් ය හ. නිදොස් ය හ. භික්ඛුසංඝ තෙමේ පිරිසිදුයහ. එහෙත් මේ සුදින්න භික්ෂු තෙමේ මහ සඟන අතර කැළලක් ඉපදවී ය. බුදු සස්නෙහි බඹසරවස් රැක්කා වූ සුදින්න තෙමේ කෙසේ නම් පුරාණදූතියිකාව සමඟ තෙවරක් මෙවුන්දම්හි හැසිරුණේ ද?” යන්නෙන් ඒ දෙවියා උද්ඝෝෂණය කළේ ය. අවට සිටි බූමාටු දෙවියන් අතර ද මේ ඝෝෂාව ඇති විය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. ක්‍රමයෙන් මේ අර්බුදය බඹලොව දක්වා පැතිර ගියේ ය.

නිසි කල් ගත වීමෙන් පසු පුරාණදූතියිකා තොමෝ පින්වත් පුතකු ලැබුවා ය. සුදින්නගේ යහළුවෝ දරුවාට ‘බීජක’ ය යි නම් කළාහු ය; සුදින්නගේ පුරාණදූතියිකාවට ‘බීජක මාතා’ ය යි නම් තැබූ හ. මේ මවුපිය දෙදෙනා ම පසු කල බුදු සස්නෙහි පැවිදි ව රහත් බව ලැබූ හ.

යට කී අයුරින් බඹසරවස බිඳගත් සුදින්න තෙරුන්ට පසු ව ඒ පිළිබඳ මහත් විපිළිසර බවක්, කුකුසක් ඇති විය: ‘ස්වාක්ඛාත වූ ශාසනයේ මට දිවි තෙක් බඹසර වස රකින්නට නොහැකි විය’ යි තැවෙන්නට වී, මේ නිසා ශරීරය වැහැරී යන්නට වී. එහෙයින් ම දුර්වර්ණ ද වී, පඬුවන් සිරුර ඇත්තේ විය. සෙසු භික්ෂූහු සුදින්න තෙරුන් අමතා, “කිම ඇවැත්නි, කලකිරුණු ස්වභාවයක් පෙනේ. ඔබ ඉතා ආදරයෙන් නො වේ ද පැවිදි වුණේ? දැන් මොක ද? පැවිදිකම එපා වෙලා දැ? ”යි කියන්නට වූ හ. සුදින්න තෙරණුවෝ තමාට වූ දෙය භික්ෂූන්ට දැන්නූ හ.

ඒ භික්ෂූහු ද සුදින්න තෙරුන්ට බොහෝ සේ නිඟා කොට බුදුරදුන් වෙත එළඹ පුවත සැල කළාහු ය. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරවා සුදින්න තෙරුන්ගෙන් විස්තරය අසා, “මෝඝ පුරුෂය, හිස් පුරුෂය, නුසුදුසු; නීච වූ වසල ධර්මයක් වූ, නොකැප වූ, මහණකුට අයත් නොවූ මේ මෙවුන්දම්හි කුමට හැසුරුණෙහි දැ?” යි නිග්‍රහ කොට, ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය මෙසේ වදාළ සේක:

“යෝ පන භික්ඛු! මේථුනං ධම්මං පතිසේචෙය්‍ය පාරාජිකෝ හෝති අසංවාසෝ.”

“යම් මහණෙක් මෙවුන්දම්හි හැසුරුණේ නම් පාරාජිකා වේ. සංඝයාගේ සංවාසට නුසුදුසු වේ,” යනු එහි අර්ථය යි. මෙසේ මෛථුන ධර්ම පාරාජිකාපත්තිය සුදින්න තෙරුන් අරභයා වදාළ සේක. සුදින්න භික්ෂුව ආදිකර්මිකයා (ප්‍රථමයෙන් ම ඒ වරද කළ තැනැත්තා) නිසා ඒ භික්ෂුවට ඇවතක් නැත. එහෙත් සුදින්න තෙරුන්ට මාර්ග ඵල–ධ්‍යාන සමාපත්ති ආදි වශයෙන් විශේෂ ගුණයක් ලැබුණේ නැත.

මේථුන ධම්ම පාරාජිකාව මෙසේ පනවා වදාළ පසු නමින් අප්‍රකට වූ එක්තරා භික්ෂුවක් විශාලා මහනුවර මහ වනයෙහි වාසය කරනුයේ වැඳිරියක ආමිෂයෙන් (ආහාර–පාන දීමෙන්) අවනත කොටගෙන ඈ සමඟ මෙවුන්දම්හි හැසිරෙයි. දිනක් ඒ අරමට ගිය භික්ෂූහු මෙය දැක ඒ භික්ෂුව වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ මේථුන ධම්ම පාරාජිකාව පනවා ඇති බව කී හ. එවිට ඒ භික්ෂුව කථා කරමින් “ඇවැත්නි, ශික්ෂාපද පැනවූ බව මම දනිමි. එහෙත් මනුෂ්‍ය ස්ත්‍රීන් පිළිබඳ ව විනා තිරිසන්ගත ස්ත්‍රීන් හා මෙවුන්දම් හැසිරීම පිළිබඳ ව ශික්ෂාපද නොපනවන ලදැ” යි තමාගේ නිර්දෝෂිකම කී ය.

ඒ භික්ෂූහු මේ පුවත තථාගතයන් වහන්සේට සැල කළාහු ය. සම්බුදුහු ඒ භික්ෂුව ගෙන්වා නිගා කොට ඒ භික්ෂුව ද බඹසරවස කඩාගත් බව දක්වා මහ සඟන රැස් කරවා කරුණ විස්තර කොට ඉහත කී ශික්ෂාපදයට ‘අනුප්‍රඥප්තියක්’ එකතු කොට “යෝ පන භික්ඛු මේථුනං ධම්මං පති සේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති” යන්නෙන් තිරිසන්ගත ස්ත්‍රියක සමග වුව මෙවුන්දම්හි හැසිරුණේ නම් පාරාජිකා වේ ය යි වදාළ සේක.

යම් උපසම්පදා භික්ෂුවක් තමාට ගිහි වීමට කැමති නම් බඹසරවස රකින්නට අපහසු නම් ඔහු තමා ගිහි වන බව පවසා උපසම්පදාව හැරදමා පැවිදි උපසපන් බවෙන් වෙන් ව යා හැකි ය. උපසම්පදාව හැර දැමීමේ දී හොඳ සිහිබුද්ධිය ඇති කෙනකු ඉදිරිපිට තමා ගිහි වන බව හෝ පැවිදි උපසපන් බව හරින බව හෝ සිතට එකඟ ව කීවේ නම්, අසන්නා ද එය සිතට එකඟ ව මේ භික්ෂුව ඒකාන්තයෙන් ගිහි වන්නේ ය යි නිශ්චයට පැමිණ වචනය පිළිගත්තේ නම් යට කී උපසම්පදා භික්ෂුව පැවිදි උපසපන් බවින් වෙන් වේ. මේ ප්‍රකාශනයට කියන්නේ ‘ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය’ කියා යි.

විසල් පුර වැසි භික්ෂූන් සමූහයක් ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය නොකොට තමන් ගිහි වන බව හෝ සිල් රැකීම අපහසු බව හෝ සස්නෙන් බැහැර වන බව හෝ නොකියා ප්‍රකාශයක් නොකොට මෙවුන්දම්හි හැසිර, ඉන් පසු ගිිහි බවට පැමිණ ගිහිගෙයි විසූ හ. ඉන් මෑත භාගයෙහි ඔවුහු ආනන්ද හිමියන් කරා එළඹ තමන් කළ වැරදි කියා නැවත බුදුරදුන් වෙතින් උපසම්පදාව ලබාදෙන සේ අයැද සිටියාහු ය. ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් මේ කරුණ පිළිබඳ ව විචාළහ. එවිට තථාගතයන් වහන්සේ මේ කරුණ අරභයා භික්ෂූන් වහන්සේ රැස් කරවා භික්ෂූන් අමතා: “මහණෙනි, යම් කිසි භික්ෂුවක් ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය නොකොට මෙවුන්දම්හි හැසිරුණේ නම් ඒ භික්ෂුව එකල්හි දුශ්ශීල වේ. ඔහු ඉන් පසු කලක් ගිහි ව සිට නැවත උපසම්පදාව ලබනු රිසියෙන් සංඝයා වෙත එළඹ සිටියේ නම් ඔහුට උපසම්පදාව නොදිය යුතු යි. යම්කිසි භික්ෂුවක් ශික්ෂාප්‍රත්‍යාක්ඛ්‍යානය කොට ඉන් පසු ගිහි ව කලක් වැස (ගිහි ව සිටිය දී මෙවුන්දම් සේවනය දොසක් නැත) නැවත පැවිදි උපසපන් බව ඉල්ලා සිටියේ නම් ඔහුට උපසම්පදාව දිය යුතු ය” වදාරා ප්‍රථම පාරාජිකා ශික්ෂාපදයට තවත් අනුප්‍රඥප්තියක් එකතු කොට:

“යෝ පන භික්ඛු භික්ඛුනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.” යන්නෙන් ශික්ෂාපදය සම්පූර්ණ කොට වදාළ සේක. සෙසු පාරාජිකාපත්ති තුන ද පනවන ලද්දේ විසිවන හවුරුද්දෙන් පසු ව ය යි සිතිය හැකි ය. දොළොස්වන වසරෙහි දී සැරියුත් හිමියන් විසින් ශික්ෂාපද පැනවීමට කළ ඉල්ලීම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළ හෙයිනි.

No comments:

Post a Comment