Saturday, 15 August 2015

සම්බුදු පහසින් පූජනීය වූ උත්තම පින්බිම කතරගම

 සම්බුදු පහසින් පූජනීය වූ උත්තම පින්බිම කතරගම


කතර මැද ක්ෂේම භූමියක් බඳු වූ කතරගම පුද බිම තීර්තයේ දෑළ සෙවණ සිසිලස සපයන කුඹුක් ගස් පෙළින්ද තවත් නොයෙකුත් වෘක්ෂයන් ගෙන් ද සුසැදි වන වියන යටින් ශුෂ්ක කලාපයක ගී‍්‍රෂ්මයද දාහයද නිවාලමින් වසන්තයක සිරියාව රැගෙන මැණික් නදිය ගලා බසියි.

මෙවන් පරිසරයක් පසු කරගෙන එන අපට ක්ෂණිකව සැනසීමක්, අමුතු ප්‍රබෝධයක් ප්‍රදානය කිරීමට තරම් විශේෂිත පාරිසරික පරිවර්තනයක් ඇතිකිරීමට කතරගම පුදබිම සමත්වෙයි.

ඒ විශේෂතාවය දැනෙන්නේ මේ පුණ්‍ය භූමිය සම්බුදු පියාණන්ගේ පහසින් පූජනීය වූ ද උත්තම බුදු පහස විඳි ශ්‍රී මහා බෝධි රැක් රජුන්ගේ පාරම්පරික උරුමය ලද්දා වූද මතු බුදු බව ලබනවායැයි ජනප්‍රවාදය පවසන කඳ දෙව් රදුන්ගේ දේව විමානයේ පිහිට ඇල්ම බැල්මද ඇති නිසා යැයි සිතෙන තරමට මේ විශේෂිත බිම් කඩ අපූර්වත්වයෙන් - සුන්දරත්වයේ සැදැහැති බවෙන් මෙන්ම භක්තියෙන්ද එකිනෙක අමුණන ලද සුවඳ සොඳුරැ මල් කළඹක් සේය.

ලක්දිව දකුණු කෙළවරේ පිහිටි ‘කතරගම’ පිළිබඳව කතා කරන විට ඕනෑ ම කෙනකුගේ මතකයට නැඟෙන්නේ රුහුණු කතරගම ප්‍රදේශයට අධිගෘහිත මහේශාක්‍ය කතරගම සුරිඳුන් ය. වසර දෙදහසකටත් අධික කාලයක් තිස්සේ ලංකාවාසී මහජනතාවගේ ගෞරවාදරයටත්, වන්දනා මානනයටත්, පුද පූජාවන්ටත් පාත්‍ර ව සිටින මහ බලැති කතරගම මහ දෙවියන් උදෙසා එම පින් බිමෙහි දී වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා මංගල්‍යයට, දේශීය හා විදේශීය ලක්ෂ සංඛ්‍යාත දෙව් බැතිමතුන් පිරිසක් සහභාගි වන්නේ ඒ නිසා ය.

වර්තමානයේදී දෙව් බැතියට ප්‍රමුඛත්වයක් ලැබී ඇතත්, ඓතිහාසික වාර්තා අනුව, කතරගම යනු බෞද්ධ පූජනීය භූමියකි. එහි ඉතිහාසය බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය දක්වා ඈතට විහි දී යයි.

අපේ වංස කතාවල සඳහන් වන අන්දමට බුදුරදුන් තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී චාරිකා කළ ස්ථාන අතරින් කතරගම ද එකකි. ඒ වන විට කතරගම පැවැතියේ ස්වාධීන ප්‍රාදේශීය පාලනයකි. එහි පාලකයා ‘මහාඝෝෂ’ නම් විය. එතුමා හැඳින්වුණේ ‘ග්‍රාමණී’ නමිනි.

බුදුරදුන් කතරගමට වැඩම කළ අවස්ථාවේ දී රහතන් වහන්සේලා පිරිවරාගෙන සමවත් සුවයෙන් වැඩ සිටියේ, මහාඝෝෂට අයත් රාජකීය කිහිරි උයනේ ය. ධාතුවංසයෙහි සඳහන් වන අන්දමට මහාඝෝෂ ඇතුළු පිරිසට බුදුරදුන් දහම් දෙසූයේ ද ඒ කිහිරි උයනෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳිමිනි. ඓතිහාසික කිරිවෙහෙර සෑ රදුන් ඉදි කර ඇත්තේ ඒ ඓතිහාසික සංසිද්ධිය අනුස්මරණය කිරීම සඳහා එම කිහිරි උයන පිහිටි භූමියෙහි ය. ඒ අනුව, කතරගම පූජා භූමියෙහි පැරණිත ම බෞද්ධ ස්මාරකය කිරිවෙහෙර ස්තූපයයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ම කතරගම ජනාවාසයක් ව පැවැති බවට සාක්ෂ්‍ය අපේ වංස කතාවලින් මෙන් ම දැනට හමු වී ඇති බෝවත්තේ ගල, කොටා දැමූ හෙළ, හෙන්නානෙගල වැනි සෙල් ලිපිවලින් ද තහවුරු වී ඇති අතර බුද්ධිමත් ජන කොට්ඨාසයක් මෙන් ම ක්‍රමවත් රාජ්‍ය පරිපාලන ක්‍රමයක් ද එහි වූ බවට සාක්ෂි තිබේ. බුදුරදුන් එහි වැඩම කරවීමෙන් ද ඒ බව වඩාත් තහවුරු වෙයි.

බුදු දහම මෙරටට ලැබෙන විටත් කතරගම ස්වාධීන ක්ෂත්‍රිය ජනපදයක් ලෙස පැවැති බව මහාවංසයෙන් මනාව පැහැදිලි වන අවස්ථාවක් තිබේ. එනම් සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරටට රැගෙන එන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුර මහ මෙව්නා උයනෙහි රෝපණය කරවූ රාජකීය මහෝත්සවයට සහභාගි වූ සම්භාවනීයයන් අතර කතරගම ක්ෂත්‍රියයන් ද සහභාගී වූ බව සඳහන් ව තිබීමය.

සංඝමිත්තාවන් මෙහි වැඩම කළේ දේවානම් පියතිස්ස රජු දවස ය. වෙනත් විදියකින් කියතොත් මිහිඳු මාහිමියන් මෙහි වැඩම කිරීමෙන් මාස 5කට පසුවය.

අපේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන අන්දමට, බෝධි රෝපණ මංගල්‍යයට සහභාගි වූ කතරගම ක්ෂත්‍රියයනට අපූරු රාජකීය තිළිණයක් ද ලැබිණ, එනම්, මහා බෝධියෙන් පැන නැඟුණු අංකුර අටකින් එක් අංකුරයකි. කතරගම ක්ෂත්‍රියයෝ එය මහත් ගෞරවයෙන් රැගෙන විත් කතරගම රෝපණය කළහ.

කතරගම මහා දේවාල පරිශ්‍රයෙහි අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ ලෙස වර්තමානයෙහි පුද සත්කාර ලබන්නේ ඒ බෝධීන් වහන්සේ ය.

මේ පසුබිම කිසියම් විකාශයකට පත්වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේදී ය.

කතරගම අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ සමීපයෙහි වර්තමානයෙහි දක්නට ලැබෙන්නේ එදා දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරවන ලද මහා දේවාලයයි. වරින් වර ප්‍රතිසංස්කරණයන්ට ලක්වීම නිසා පැරණි ගොඩනැගිල්ල වෙනස්කම්වලට භාජනය වී ඇතත්, ඒ හා බැඳුණු පුද සිරිත් එදා මෙන් ම අදත් නොවෙනස් ව ක්‍රියාත්මක ව පවතී.

ඒ අනුව ලංකාවේ පැරණිතම දේවාලය මෙන් ම බෞද්ධ දේව සංකල්පය මූර්තිමත් කෙරෙන දේව මංගල්‍යය ද අයත්වන්නේ කතරගම මහසෙන් මහා දේවාලයට ය. මක්නිසාද යත්, කතරගම මහා දේවාලය ආශ්‍රිත ව අදත් ක්‍රියාත්මක වන්නේ ක්‍රි. පූ. 161–137 කාල පරිච්ඡේදයෙහි මේ රටේ රාජ්‍ය පාලකයා වූ දුටුගැමුණු මහරජතුමන් විසින් නියම කරන ලද දෛනික හා වාර්ෂික පුද සිරිත් හා වතාවත් පද්ධතිය වීම නිසාය.

කතරගම මහ දෙවිඳුන් පිළිබඳ ව මෑතක් වන තුරු උගතුන් අතර විවිධ මත වාද තිබිණ. සමහරු එම දෙවියා හින්දු දෙවියකු ලෙස හැඳින් වූහ. සමහරු බෞද්ධ දෙවියකු ලෙස අර්ථ කථනය කළහ. මතුපිටින් බැලූ බැල්මට නිශ්චිත ව හඳුනාගත නොහැකි තරමට බෞද්ධ හා හින්දු ලංක්ෂණ සම්මිශ්‍රණය වී තිබීම නිසා ම මේ මතභේදය පහසුවෙන් නිරාකරණය කරගත නොහැකි අයුරින් සංකීර්ණව පැවැතිණ. අද පවා කතරගමට යන ඕනෑ ම කෙනකුට දක්නට ලැබෙන්නේ කතරගම දෙවිඳුන් පිළිබඳ මේ සංකීර්ණ ස්වභාවයයි. එහෙත් අපේ ඉතිහාසය බුද්ධිමත් ව විමසන්නකුට, කතරගම සුරිඳුන් යනු ලාංකික, බෞද්ධ මහේශාඛ්‍ය දෙවියකුය යන්න පහසුවෙන් අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් ඓතිහාසික හා ප්‍රායෝගික සාක්ෂි දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් කිරිවෙහෙර රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්, දශක පහකට ආසන්න කාලයක් තිස්සේ කළ ගවේෂණ හා නිරීක්ෂණ අපට ඉවහල් කරගත හැකිය.

බුදුරදුන් කතරගමට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේට ඇප උපස්ථාන කළ මහාඝෝෂ සෝවාන් ඵලයට පත්විය. ඔහුගේ මරණින් පසු කතරගම වැසියෝ මහසෙන් නමින් ඔහු දේවත්වාරෝපණයෙන් වැඳුම් පිදුම් කරන්නට වූහ. බෞද්ධ කතරගම දෙවියා එතුමා ය. දුටුගැමුණු රජු දේවාලයක් තනවා පිදුවේ එතුමාටය. එම දේවාලය මහසෙන් මහා දේවාලය නමින් අදත් හැඳින්වෙන්නේ ඒ අනුවය.

කතරගම මහා දේවාලය ආරම්භයේ සිට අද දක්වා ම එහි තේවා මණ්ඩලය පාරම්පරික සිංහල බෞද්ධයන්ගෙන් සමන්විතය. 1818 ඌව කැරැල්ලෙන් පසු ඉංග්‍රීසි පාලකයන් විසින් කතරගම මහා දේවාලයේ අයිතිය හින්දු පූජකයන්ට භාරදුන් බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් එය සීමාවූයේ මාස පහක් වැනි කෙටි කාලයකට පමණි. මහා දේවාලයේ සකල විධ උරුමයන් ලාංකික සිංහල බෞද්ධයන්ට පැවරී ඇත්තේ කතරගම දෙවියන් ලාංකික බෞද්ධ දෙවියකු වූ බැවිනි.

මහා දේවාලය හා සම්බන්ධ දෛනික හා වාර්ෂික වතාවත්, පුද පූජා, චාරිත්‍ර වාරිතු සියල්ල ඉටුවන්නේ රත්නත්‍රයට ප්‍රමුඛස්ථානයක් දීමෙනි. දේවපූජාව පවත්වන්නේ බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසුවය. පෙරහර මංගල්‍යය ඇරඹෙන්නේ මහා දේවාලය තුළ පිරිත් දේශනා කර පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව ය. රන්දෝලි පෙරහරෙහි දේවාභරණවලට අමතරව සධාතුක කරඬුව ද වඩමවන අතර එම පෙරහර කිරිවෙහෙර සෑරදුන් වෙත ගමන් කරනු ලබයි. එම පෙරහරෙහි කිරිවෙහෙර විහාරවාසී භික්ෂූන් වහන්සේලා ද වැඩම කරවීම පෞරාණික චාරිත්‍රයයි.

මහා දේවාලයේ තනතුරු අතර ‘පිරිත් නිලය’ නමින් විශේෂ තනතුරක් වෙයි. ඒ තනතුරට නියමිත කාර්ය භාරය නම් මහා දේවාලයේ බෞද්ධ ආගමික කටයුතු චාරිත්‍රනුකූලව ඉටු කිරීමය. දුටුගැමුණු රජු පිරිත් නිලය පවරා ඇත්තේ කිරිවෙහෙර විහාරස්ථානයට ය. මහා පෙරහරේ කිරිවෙහෙර භික්ෂූන් වැඩමවන්නේ ද එබැවිනි. මේ කරුණු කීපය පමණක් වූව ද කතරගම සුරිඳුන් ලාංකික බෞද්ධ දෙවියෙකැයි තහවුරු කිරීමට ප්‍රමාණවත් ය.

මේ කරුණු ස්වල්පය සඳහන් කළේ කතරගම වාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීමට එන සැදැහැවතුන්ගේ දැන ගැනීම සඳහා ය. එසේ දැනුම්වත් ව පැමිණීම කාගේත් යහපතට මෙන් ම ඉෂ්ඨාර්ථ සිද්ධියට ද ඉවහල් වනු නිසැකය

කතරගම පූජා භූමිය විශේෂ ලක්ෂණ රාශියකින් සමන්විත වෙයි. එම පූජා භූමියෙහි ජාති, ආගම්, පන්ති, පක්ෂ, කුල ආදී වශයෙන් සමාජයෙහි දක්නට ලැබෙන කිසිදු භේදයක් දක්නට නොලැබේ. එහි විද්‍යමාන වන්නේ එක ම දෙවියකුගේ පිළිසරණ පතා ඒකරාශී වන මිනිස් කැළක් පමණි. මේ නිසා ම, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ආගමික, ජාතික පිරිස් සහෝදරත්වයෙන් එකමුතුව කටයුතු කරනු දැකිය හැකිය. බොහෝ විචාරකයන්, කතරගම පුදු බිම වූ කලී ප්‍රකෘති මනුෂ්‍යත්වය ඉස්මතු කරන ක්ෂේම භූමියක් ලෙස හැඳින්වීමට පවා පෙලඹෙති. සත්‍යය ද එයයි.

කතරගම දෙවිඳුන් හා කතරගම මහා දේවාලය ආශ්‍රිත ව දක්නට ලැබෙන හින්දු සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ද මෙහි දී කරුණු ස්වල්පයක් සඳහන් කළ යුතුව තිබේ. ඊට හේතුව, කතරගම බෞද්ධ පූජා භූමියක් ලෙසත්, කතරගම සුරිඳුන් ලාංකික බෞද්ධ සම්‍යග් දෘෂ්ටික දෙවියකු ලෙසත් තහවුරු වී තිබිය දී හින්දු දේවාල සංස්කෘතියේ ලක්ෂණ මිශ්‍ර වී ඇත්තේ කවර පසුබිමක් යටතේ දැයි වටහාගත යුතු බැවිනි.

සිංහල ජනතාව, ඉංග්‍රීසින් යටතේ කුලීවැඩ කරන්නට අකැමැති වූ නිසා වතුකරයේ සේවය සඳහා ඉංග්‍රීසි පාලකයෝ දකුණු ඉන්දියානු දමිළ ශ්‍රමිකයන් මෙරට ගෙන ආහ. ඉන්දියාවේ ජීවත්වීමට වඩා ලංකාවේ ජීවත්වීම පහසු බව වටහාගත් බොහෝ ඉන්දියානුවෝ නීත්‍යානුකූල මාර්ගවලින් මෙන්ම නීති විරෝධී මාර්ගවලින්ද මෙරටට සංක්‍රමණය වූහ. කවර මාර්ගයකින් පැමිණියත් මෙසේ පැමිණී අය හින්දු භක්තිකයෝ වූහ. ඒ වන විට දකුණු ඉන්දියාවේ ජනපි‍්‍රය දේව ඇදහිල්ල බවට පත් ව තිබුණේ “ස්කන්ධ කුමාර” වන්දනයයි. එය ඍග් වේද යුගයේ සිට ක්‍රමයෙන් විකාශය වූවකි.

අපේ ජනප්‍රවාද අනුව කතරගම මහසෙන් සුරිඳුන්ගේ වාසස්ථානය වූයේ වැඩසිටිකන්දය. ඒ කන්දට ඒ නම ලැබුණේද ඒ හේතුව නිසාය. කන්දේ වැඩ සිට නිසා මහසෙන් දෙවියන් හැඳින්වීමට යෙදුණු අපර නාමයක් විය. ඒ “කන්ද කුමාර” යනුයි. දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වි සිටි ද්‍රවිඩ දේව භක්තිකයෝ කන්ද කුමාර “ස්කන්ධ කුමාර” ලෙස සලකා පුද පූජා පවත්වන්නට වූහ. ඉන්දියාවේ ස්කන්ධ කුමාර වටා ගොඩනැඟී තිබුණු පුරාවෘත්ත ලංකාවේ කන්ද කුමාරට ආරෝග්‍යය කළ ඔවුහු හින්දු සම්ප්‍රදායානුකූල පුද සිරිත් පවත්වමින්, ඔවුන්ගේ දෙවියකු ලෙස සලකා කටයුතු කරන්නට වූහ. ලාංකික සිංහල බෞද්ධයෝ ඒ පිළිබඳව නොසලකා මහසෙන් නම් වූ තමන්ගේ දෙවියන් වෙනුවෙන් බෞද්ධ සම්ප්‍රදායානුකූලව පුද පූජා පවත්වාගෙන යන්නට වූහ.

එක් දහස් අටසිය ගණන්වල මේ රටේ පැවැති මාර්ග සහ ගමනාගමන තත්වයන් මත උතුරේ සහ වතුකරයේ විසු ද්‍රවිඩ දේව භක්තිකයන්ට පහසුවෙන් ළඟා විය හැකි පූජා භුමිය වූයේද කතරගමය. මේ තත්වය ද්‍රවිඩ දේව බැතිමතුන් කතරගම ඇදී ඒමට තවත් හේතුවක් වූ බව පෙනේ. අද පවා මේ ගමන් මාර්ගය උපයෝගි කර ගනිමින් ද්‍රවිඩ බැතිමත්හු උත්සව සමයට කතරගමට පැමිණෙති.

කෙසේ වෙතත් මේ සම්මිශ්‍රණයෙහි සාධනීය ප්‍රතිඵලය වූයේ කතරගම සුරිඳුන් පොදු දෙවියකු බවට පත් වීමයි. කතරගම පොදු පුද බිමක් බවට පත්වීමයි. මේ නිසා කතරගම සුරිඳුන් පිළිබඳ ලාංකික බෞද්ධ අනන්‍යතාවට හානියක් සිදුවූවත්, මනුෂ්‍ය වර්ගයාගේ නාමයෙන් එය ඉතා යහපත් ප්‍රතිඵල උදා කිරීමට හේතු වී තිබේ.

No comments:

Post a Comment