Thursday, 20 August 2015

ඇසළ මහා ප්‍රාතිහාර්යය



ඇසළ මහා ප්‍රාතිහාර්යය
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව
සසර දුක නතර කිරීමේ මග ලොවට මුලින් ම ඇසුණේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙනි. මේ ලිපිය ඒ පිළිබඳ විමසීමකි.
මේ බුදු රජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි. බුදු බවට පත් ව එළැඹුණු පළමු ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දා බරණැස ඉසිපතන මිගදායේදී කරන ලද මේ දෙසුම ඇසුමට සිටියේ මිනිසුන් පස්දෙනෙකි. මීට අමතර ව ධර්ම ශ්‍රවණය පිණිස අතිවිශාල දේවතාදි පිරිස් සහභාගී වූ හ.
අතිසුවිශේෂ වූ, බුදු රදුන්ගේ මෙම මංගල ධර්ම දේශනය ත්‍රිපිටකයේ තැන් තුනක (අපගේ විමසුමට අනුව) දක්නට ලැබේ. එනම්: පළමු ව විනය පිටකයේ මහාවග්ගපාළි මහාඛන්ධකයෙහි ද, දෙවනු ව සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ සච්චසංයුත්තයෙහි අන්තර්ගත ධම්මචක්කප්පවත්තන වර්ගයෙහි ද, තෙවනු ව සූත්‍ර පිටකයෙහි ම පටිසම්භිදාවග්ගපාළි යුගනද්ධ වර්ගයෙහි සවැනි පටිසම්භිදාකථාවෙහි ද යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේගේ පළමු දම් දෙසුම අද මෙන් එදත් කොතරම් සම්භාවනාවට පාත්‍ර වී ද යත්: එම සුතුර විතර කරමින් කළ දෙසුමක් බුද්ධ කාලයෙන් ම සොයාගත හැකි ය. දම්සක් පැවතුම් සුතුරෙහි අටුවාවක් බඳු මෙම සුතුර නම් මැදුම් සඟියේ හෙවත් මජ්ඣිම නිකායේ තුන් වැනි උපරිපණ්ණාසකයට අයත් විභඞ්ග වර්ගයෙහි සච්චවිභඞ්ග සූත්‍රය යි. එම සූත්‍රයෙහිදී ධර්ම චක්‍ර පවර්තනය බෙදා දැක්වූවෝ අනෙකකු නො ව, අප ගෞතම සම්බුදු සසුනෙහි ධර්ම සේනාපති, අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ම වෙති.
බුදු රජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙරාතු ව තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව පස්වග මහණුන්ට ඍජු ව ම වදාළ සේක. ඔවුන් එය පළමු ව නොපිළිගත් විට උන් වහන්සේ තමන් වහන්සේ මින් පෙර කිසි දිනෙක මෙසේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙමි’ යි කියා පැවසුවේ දැ යි පස්වග මහණුන්ගෙන් විමසූ හ. එවිට ඔවුන්ට පෙර කලෙකට ඉහතදී බෝසත් කුමරු පිළිබද ව “මේ තෙමේ ඒකාන්තයෙන් ම මතු බුදු වන්නේ” යැ යි පැවසූ අනාවැකිය සිහි වන්නට ඇත. ඔවුහු බුදුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගත්හ; අනතුරු ව බණ ඇසුමට මැනැවින් ම සූදානම් වූ හ.
බුදු රජාණන් වහන්සේ මෙම ධර්ම දේශනයේදී කළ පළමු ඉගැන්වීම වූයේ පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු අන්ත දෙක පෙන්වා දීම ය. එනම් කාම සුඛයෙහි ඇලී විසීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය හා තමා පෙළීමෙහි යෙදීම නම් වූ අත්තකිලමථානුයෝගය යි.
තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙත අවබෝධ කළහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ උන් වහන්සේගේ පළමු ධර්ම දේශනයේදී ම මේ අන්ත දෙක බැහැර කිරීමෙන් නිවන් අරමුණු කරගත් භික්‍ෂු ජීවිතය සකස් විය යුතු අන්දම පෙන්වා දුන් සේක. එනම් නිවන් අරමුණු කරගත් භික්‍ෂුවට කාමය කැප නැත; සුදුසු නැත. ජලයට බසින්නන්ට දියසුළි නිසා බිය ඇති වන්නාක් මෙන් සසුනෙහි පැවිදි වන කුල පුත්‍රයන්ට ද පඤ්ච කාමයන්ගෙන් වන බියක් ඇත. දිය සුළියට හසු වූවකු එයින් ම විනාශ වන්නා සේ පඤ්චකාමයට හසු වූ භික්‍ෂුව ද එයින් ම විනාශ වන්නේ ය (චාතුම සූත්‍රය). අත්තකිලමථානුයෝගයෙහි යෙදෙන භික්‍ෂුව එයින් ම තමා පීඩාවට පත් කරගනියි; වැරැදි දෘෂ්ටියක එල්බගත් බැවින් බොහෝ පව් ද රැස් කරගනියි. ඒ වන විට පස්වග මහණුන් එල්බගෙන සිටියේ අත්තකිලමථානුයෝගයෙන් විමුක්තිය ලැබිය යුතු ය යන වැරැදි දෘෂ්ටියෙහි ය. භාග්‍යවතුන් වහන්සේ දෙසුම ආරම්භයේදී ම එම වැරැදි දෘෂ්ටිය ඉවත් කළහ; ඔවුන්ගේ සිත් එයින් පිරිසුදු කළහ.
මීළඟට බුදු රජාණන් වහන්සේ නිවන පිණිස පවතින මැදුම් පිළිවෙත වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන් සේක. එනම් සම්මාදිට්ඨි (නිවැරැදි දැක්ම), සම්මාසඞ්කප්ප (නිවැරැදි සංකප්ප), සම්මාවාචා (නිවැරැදි වචන), සම්මාකම්මන්ත (නිවැරැදි කර්මාන්ත), සම්මා ආජීව (නිවැරැදි දිවිපැවැත්ම), සම්මාවායාම (නිවැරැදි වෑයම), සම්මාසති (නිවැරැදි සිහිය), සම්මාසමාධි (නිවැරැදි සමාධිය) යන අංග අටකින් සමන්විත මාර්ගය යි.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ම මැදුම් පිළිවෙත වශයෙන් හඳුන්වා දීම වඩාත් උචිත වේ. තව ද මෙහිදී කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකින් ඉවත් වීම මැදුම් පිළිවෙතට කැරෙන ප්‍රවේශයක් වශයෙන් සැලකීම සුදුසු ය. ධර්ම මාර්ගයේදී ඉවත් කළ යුතු අන්ත වශයෙන් සැලකෙන්නේ මේ දෙක පමණක් ම නො වේ. වරෙක බුදුන් වහන්සේ කච්චානගොත්ත හිමියන්ට අත්හළ යුතු තවත් අන්ත දෙකක් පෙන්වා දුන්හ. එනම්: සියල්ල ඇත යන අන්තයත්, සියල්ල නැත යන අන්තයත් යන දෙක යි (කච්චානගොත්ත සූත්‍රය).
බුදු රජාණන් වහන්සේ සිය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය පළමු දම් දෙසුමේදී ම පෙන්වා දුන් සේක. පළමු ව දුක්ඛ ආර්ය සත්‍යය විස්තර කරන උන් වහන්සේ දුකට අයත් ප්‍රධාන ප්‍රභේද කිහිපයක් පෙන්වා දුන් සේක. එනම්: ඉපදීම, ජරාව, ලෙඩ වීම, මරණය, අපි‍්‍රයයන් හා එක් වීම, පි‍්‍රයයන් කෙරෙන් වෙන් වීම, කැමැති දේ නොලැබීම යනුවෙනි. සංක්‍ෂිප්ත ව පැවසුව හොත් උපාදානස්ඛන්ධ පහ ම දුක් ය. දම්සක් පැවතුම් සුතුරෙහි දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව කැරෙන විස්තරය මෙපමණකි.
පළමු ව මෙහි ‘දුක්ඛ’ යනු කුමක් ද? ‘දු’ යන ශබ්දය පිළිකුල් කටයුතු අර්ථයෙහි යෙදේ. ‘ඛ’ යනු හිස් ය යන අර්ථයෙහි යෙදේ. සැප, යහපත්, ආත්ම වැනි සංකල්පවලින් තොර බැවින් හිස් ය. මෙලෙස පිළිකුල් කට යුතු, හිස් බවින් යුතු නිසා දුක්ඛ යැ යි කියනු ලැබේ (ඉන්ද්‍රියසච්ච නිද්දේසෝ).
උතුමන් විසින් අවබෝධ කළ හෙයින් ‘ආර්ය’ නම් වේ. ඉපදීම සැපක් නො වේ. එය දුකකි. සත්ත්වයා මවුකුස උපදනා විට මහනෙල් පියුම් ආදි පිරිසිදු සුවඳවත් තැනෙක නූපදී. හේ උපදිනුයේ ගන අඳුර පිරි පිත්, සෙම්, මල-මූත්‍රාදි කුණප ගඳින් යුතු වූ, ඉතා දුගඳ වායුව හමන, මව විසි හැවිරිදි නම් එතෙක් පැරැණි වැසිකිළියක් බඳු ගර්භාශයෙහි පණුවකු මෙනි. තව ද මවුකුස ඇති උෂ්ණයෙන් පෙළෙමින්, අත් පා හැකිළගෙන දස මසක පමණ කාලයක් මහත් දුකක් විඳීමට සිදු වේ. තව ද මව ශීතල ජලය පානය කරන විට ශීතල අපායෙහි උපන්නකු මෙන් ද, උණු කැඳ-බත් අනුභව කරන විට අ¼ගුරු වැස්සට හසු වූවකු සේ ද දැඩි දුකක් විඳීමට සිදු වේ. ඉපදීමේ දුක මෙපමණකින් නිම නො වේ. එය ගැබෙහි සිටින කල හා ගැබෙන් බිහි වන විට ආදි නොයෙක් දුක්වලින් සමන්විත වේ (ඉන්ද්‍රියසච්ච නිද්දේසෝ).
ජරාව, ලෙඩ වීම, මරණය ආදි දුක් පිළිබඳ ව ද විස්තර කොට කෙළවරක් දැකිය නොහැකි තරමට ම එය අනන්ත ය; අපරිමාණ ය. මේ සියලු දුක්වලින් සත්ත්වයා නිතර පීඩාවට පත් වේ. මනු ලොව උපන්න ද දෙව් ලොව උපන්න ද බඹලොව උපන්න ද මේ දුක් ඒ ඒ මට්ටමින් විඳීමට සිදු වේ. කොහි උපන්නත් දුකෙහි අඩු වැඩි බවක් මිස දුකෙන් මිදීමක් නම් නැත. බඹ ලොව උපන්න ද එය ස්ථිර තැනක් නො වේ. එහි ආයු කාලය අවසන් වූ පසු යළි අපායෙහි වුව උපත සිදු විය හැකි ය. එය තමාට කැමැති පරිදි වෙනස් කරගත නොහැකි ය.
නැවතත් අපි දම්සක් පැවතුම් සුතුර දෙසට හැරෙමු. එහි දුක්ඛ ආර්ය සත්‍යයෙන් පසු ව විස්තර කැරෙනුයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව යි. මෙහි සමුදය යන වචනය ‘සං+උ+අය’ යනුවෙන් විසන්‍ධි ව සිටී. මෙහි ‘සං’ යනු එක් කිරීම් අර්ථයෙහි වේ. ‘උ’ යන්නෙන් හටගැනීම ප්‍රකාශ වේ. ‘අය’ ශබ්දය හේතුව ප්‍රකාශ කරයි. මෙලෙස මෙම දෙවැනි ආර්ය සත්‍යයෙන් වෙනත් ප්‍රත්‍යයන්ගේ යෙදීමක් ඇති විට දුකෙහි ඇති වීමට කාරණා වන බැවින්, හේතුව ප්‍රකාශ කරන බැවින් දුක්ඛ සමුදය නම් වේ (ඉන්ද්‍රියසච්ච නිද්දේසෝ) කෙටියෙන් කිව හොත් දුකෙහි හටගැනීම දුක්ඛ සමුදය නම් වේ.
සූත්‍රයෙහි දුක්ඛ සමුදය විස්තර කරන ආකාරයට නැවත භවය ඇති කරන, නදිරාගය අනුව ගිය, ඒ ඒ භවයන්හි ඇලීම ඇති කරන යම් තණ්හාවක් ඇත් ද, එය දුක ඇති වීමට හේතුව යි. මේ තණ්හාව තුන් ආකාර වේ. එනම්: කාමය කෙරෙහි ඇති තණ්හාව හෙවත් කාම තණ්හාව, පැවැත්ම කෙරෙහි ඇති තණ්හාව හෙවත් භව තණ්හාව,නොපැවැත්ම කෙරෙහි ඇති තණ්හාව හෙවත් විභව තණ්හාව යනුවෙනි. මෙම කුමන තණ්හාවකින් යුතු වුව ද පුද්ගලයා ඇලෙයි. ඇලුණු විට දැඩි ව බැඳීම හෙවත් උපාදානය සිදු වේ. උපාදානය සිදු වූ විට භවය ඇති වේ. එනම්: කාම භව, රූප භව, අරූප භව වශයෙනි. මේ භවය ඇති තාක් උපත සිදු වේ. උපත ඇති තාක් ජරා මරණාදි දුක් විඳීමට සිදු වේ. මෙලෙස දුකට හේතුව තණ්හාව යි.
සූත්‍රයෙහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ විස්තරයෙන් අනතුරු ව දැක්වෙනුයේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ විස්තරය යි. එම විස්තරයට පෙර මෙහි වචනාර්ථ පිළිබඳ ව අවධානය යොමු කරමු. ‘නිරෝධ’ යන්න ‘නි+රෝධ’ යනුවෙන් විසන්‍ධි ව සිටී. ‘නි’ ශබ්දය අභාවාර්ථය හෙවත් නැත යන අරුත් දේ. ‘රෝධ’ ශබ්දයෙන් හැසිරීම ප්‍රකාශ කැරේ. ඒ අනුව සසර හැසිරීම හෙවත් දුකෙහි නැවැත්ම, වැළැක්ම ප්‍රකාශ කරනුයේ නිරෝධ නම් වේ. මෙලෙස දුකෙහි නැවැත්ම ප්‍රකාශ කරන ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් වේ (ඉන්ද්‍රියසච්ච නිද්දේසෝ).
සූත්‍රයට අනුව ඒ දුකට හේතුව වූ තණ්හාව ම ඉතිරි නැති ව නෑලීම, නැති වීම වේ ද, දුරු කිරීම වේ ද, අත්හැරීමක්, මිදීමක් වේ ද, නෑලීමක් වේ ද, මෙය දුකෙහි අවසානය, නැවැත්ම නම් වූ ආර්ය සත්‍යය යි; එනම් නිවන යි. නිවන අවබෝධ කරගත් විට මේ කිසි දුකක් නැත.
මීළඟට විස්තර කැරෙනුයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය යි; එනම්: ඉහතින් සඳහන් කළ දුක නිරුද්ධ කිරීම, සහමුලින් ම නැති කිරීම නම් වූ නිවනට පමුණුවන මාර්ගය නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව යි. නිවන පිණිස පවතින මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. අංග අටකින් සමන්විත මෙම ආර්ය මාර්ගය පිළිබඳ ව දේශනාව ආරම්භයේදී ද සඳහන් කැරිණි. ඒ එය මැදුම් පිළිවෙත වශයෙන් හඳුන්වා දෙමිනි.
අරී අටැඟි මඟ ගමන් කරන්නට එළැඹෙන ආර්ය ශ්‍රාවකයා පළමු ව පැමිණෙනුයේ සම්මාදිට්ඨි හෙවත් නිවැරැදි, යහපත් දැක්මට යි. ඕනෑ ම කටයුත්තකට පූර්වයෙන් ම, මුලින් ම දැක්ම හෙවත් දෘෂ්ටිය අදාළ කරුණට අභිමුඛ ව තිබිය යුතුªය. ඒ අනුව චතුරාර්ය සත්‍යය පිරිපුන් ලෙස අවබෝධ කරගැනීම අපේක්‍ෂා කරන පුද්ගලයාට ද එම චතුරාර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධයක් තිබිය යුතුª ය. දෘෂ්ටිය නිවැරැදි වූ පසු එයට අනුකූල නිවැරැදි සංකල්ප ඇති වේ. ඒ ‘සම්මාසඞ්කප්ප’ නම් වේ: අත්හැරීමේ සංකල්ප (නෙක්ඛම්මසඞ්කප්ප), තරහා ගැටීම් නැති සංකල්ප (අව්‍යාපාදසඞ්කප්ප), අහිංසක සංකල්ප (අහිංසාසඞ්කප්ප) යනුවෙනි.
යහපත් සංකල්ප ඇති පුද්ගලයා බොරුකීමෙන්, පිසුණු බසින්, පරොස් බසින් හා හිස් බසින් වැළැකෙයි. ඒ ‘සම්මාවාචා’ නම් වේ. යහපත් සංකල්ප ඇති පුද්ගලයා පිරිසිදු කරගන්නේ වචනය පමණක් නො වේ. ඔහු සිය කර්මාන්ත ද පිරිසිදු කරගනිමින් ‘සම්මාකම්මන්තයෙන්’ යුතු වෙයි: එනම්: ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැකෙයි. තව ද හේ යහපත් දිවි පැවතුම් ඇත්තේ, මිථ්‍යා ආජීව හැරදමා සම්මාආජීවයෙන් ජීවිකා කරයි. නිවන් මග තව දුරටත් හික්මෙන ඔහු යහපත් වෑයම් ඇත්තෙක් බවට පත් වෙයි. ඒ අනුව නූපන් පාපී අකුසල ධර්ම නීපදවීමට, උපන් පාපී අකුසල ධර්ම දුරු කිරීමට, නූපන් කුසල ධර්ම ඉපදවීමට, උපන් කුසල ධර්ම පැවැත්ම පිණිස, නොනැසීම පිණිස යන මෙකරුණු සඳහා උත්සාහ කරයි; වීර්යය පවත්වයි; ප්‍රධන් වීර්යය කරයි.
මේ ‘සම්මාවායාමය’ යි. යහපත් සිහිය දියුණු කරගැනීමට ද තව දුරටත් උත්සාහවත් වන මේ ආර්ය ශ්‍රාවකයා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව (කය අනුව දැකීම, වේදනාව අනුව දැකීම, සිත අනුව දැකීම, ධර්මය අනුව දැකීම) යන සතර සතිපට්ඨානයන් කෙරෙහි සිහිය පිහිටුවාගනියි. මේ ‘සම්මාසතිය’ යි. සම්මාසතිය මැනැවින් දියුණු වීම යහපත් සමාධියට හෙවත් ‘සම්මාසමාධියට’ පාදක වේ. සම්මාසමාධිය යනු පළමු ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තෙවැනි ධ්‍යානය හා සිව්වැනි ධ්‍යානය යන ධ්‍යාන අවස්ථා සතර ය. මෙතෙක් විස්තර කරනු ලැබුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් දුක නැති කිරීම පිණිස පවතින ප්‍රතිපදාව ය.
චතුරාර්ය සත්‍යය පිළිබඳ ව කෙටියෙන් වදාළ බුදු රජාණන් වහන්සේ අනතුරු ව එය අවබෝධ කොටගෙන නිදහස් වූ ආකාරය ද පෙන්වා දුන් සේක. එය සිදු වූයේ පිරිවට තුනකින් හා දොළොස් ආකාරයකිනි; එනම්: චතුරාර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ වශයෙන් අවබෝධ කරගැනීමෙනි. ඒ මෙසේ ය: දුක පිළිබඳ ව මේ දුක නම් වූ ආර්ය සත්‍යය යැ යි පෙර නෑසූ විරූ දහම්හි දහම් ඇස පහළ විය; ආලෝකය පහළ විය. අනතුරු ව මේ දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය; ඉක්මවිය යුතු ය යනුවෙන් පෙර නෑසූ විරූ දහම්හි දහම් ඇස පහළ විය; ආලෝකය පහළ විය. ඉන් පසු ව මේ දුක නම් වූ ආර්ය සත්‍යය තමන් වහන්සේ විසින් පිරිසිඳ දන්නා ලදැ යි පෙර නෑසූ විරූ දහම්හි දහම් ඇස පහළ විය; ආලෝකය පහළ විය. මේ ආකාරයට දුක නම් වූ ආර්ය සත්‍යය ඤාණ තුනකින් මැනවින් අවබෝධ කරන ලදි.
ඉහත සඳහන් කළ කරුණු තුන ම වෙනත් වචනවලින් මෙසේ දැක්විය හැකි ය. එනම්; දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව මෙය සත්‍යයක් ම යැ යි දැනගන්නා සත්‍ය ඤාණය පහළ වීම, දුක නම් වූ ආර්ය සත්‍යය සම්බන්ධයෙන් මේ දුක පිරිසිඳ දත යුතු ය; ඉක්මවිය යුතුය යනුවෙන් කළ යුතු කාර්යය හෙවත් කෘත්‍යය දැනගන්නා කෘත්‍ය ඤාණය පහළ වීම, දුක නම් වූ ආර්ය සත්‍යය තමන් වහන්සේ විසින් පිරිසිඳ දන්නා ලදැ යි, ඒ සම්බන්ධයෙන් කළ යුතු දෑ කොට අවසන් වූ බව දැනගන්නා කෘත ඤාණය පහළ වීම යනුවෙනි. මෙලෙස බුදුන් වහන්සේ විසින් එක් ආර්ය සත්‍යයක් සම්බන්ධයෙන් ඤාණ තුන බැගින් ආර්ය සත්‍ය සතර ම දොළොස් ආකාරයකින් අවබෝධ කරන ලදි. ඒ අනුව සමුදය ආර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ වශයෙන් ද, නිරෝධ ආර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ වශයෙන් ද, නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ හා කෘත ඤාණ වශයෙන් ද යනුවෙනි.
මෙලෙස තමන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණ වී සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය පෙන්වා දුන් බදු රජාණන් වහන්සේ අනතුරු ව ඒ පිළිබඳ ව ප්‍රතිඥාවක් ද දුන් සේක: “මහණෙනි, යම් තාක් මට මේ චතුරාර්ය සත්‍යයන්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය ඇති පරිද්දෙන් විශේෂයෙන් විශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ප්‍රජාවෙහි ‘අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි’ යි ප්‍රතිඥා නො දුන්නෙමි. මහණෙනි, යම් කලෙක මට මේ චතුරාර්ය සත්‍යයන්හි මෙසේ තුන් පිරිවටක් දොළොස් ආකාරයක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්ශනය ඇති පරිද්දෙන් විශේෂයෙන් විශුද්ධ වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි ‘අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි’ යි ප්‍රතිඥා දුන්නෙමි. මට ඥාන දර්ශනයත් පහළ විය. මාගේ අර්හත් ඵල සමාධිය නො සැලේ. මේ අවසන් උපත යි. දැන් පුනර්භවයක් නැත.”
සතුටු සිත් ඇති පස්වග භික්‍ෂූහු මෙම දේශනාව පිළිගත්හ. මෙම දේශනාව වදාරනු ලබන කල්හි කොණ්ඩඤ්ඤ තවුසාට කෙලෙස් රහිත දහම් ඇස පහළ විය. ඒ “යම් කිසිවක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුලු” ය යනුවෙනි. එනම් එතුමා සෝවාන් ඵලයට පත් විය.
මෙම විස්තරයෙන් අනතුරු ව දම්සක් පැවතුම් සුතුරෙහි කරුණු දැක්වෙනුයේ දෙව්වරුන්ගේ පී‍්‍රති ඝෝෂා සහිත සාධුකාරය පිළිබඳ ව යි. මෙහිදී සඳහන් කළ යුත්තක් ඇත. එනම් ත්‍රිපිටකයෙහි (ඡට්ඨ සංගායනා සංස්කරණයට හා බුද්ධ ජයන්ති සංස්කරණයට අනුව) දම්සක් පැවතුම් සුතුර දැක්වෙන තැන්වල දක්වා ඇති දේව වර්ග ගණන අටකි. එහෙත් මහ පිරිත් පොතෙහි (මකුළුදූවේ ශ්‍රී පියරතන නාහිමි ගුණසේන සහ සමාගම) දැක්වෙන්නේ මීට තරමක් වෙනස් ව ය. ඒ අනුව ත්‍රිපිටකයෙහි දැක්වෙන බූමාටු දෙවියන්ගේ පටන් පරනිම්මිතවසවත්තී දෙවියන් දක්වා දේව වර්ග හත පිරිත් පොතෙහි ද ඇත. ත්‍රිපිටකයෙහි අට වෙනුවට ඇති බ්‍රහ්මකායික දේව වර්ගය පිරිත් පොතෙන් ඉවත් වී, ඒ වෙනුවට එතැන් පටන් දේව වර්ග පහළොවක් පැමිණ තිබේ.
මේ අනුව ත්‍රිපිටකයෙහි සඳහන් බ්‍රහ්මකායික දෙවි පිරිස මහ පිරිත් පොතෙන් ඉවත් වී ඇත. වත්මනෙහි කියැවෙන පිරිත් දේශනාවලදී පවා අසන්නට ලැබෙන්නේ මහ පිරිත් පොතෙහි සඳහන් ඒ ක්‍රමයට අනුව ය. මේ වෙනස් වීම් ඉතිහාසයෙහි කෙදිනක වී දැ යි අපි නො දනිමු. මේ පිළිබඳ විස්තරයක් සපයාගැනීමට පිරිත් අටුවාව වන චතුභාණවාරට්ඨකථාවෙන් ද (හේවාවිතාරණ මුද්‍රණය) ආලෝකයක් නො ලැබේ. කෙසේ වෙතත් සූත්‍රයෙහි අන්තර්ගතයට හානියක් නොවී එය ආරක්‍ෂා වී ඇති බව නම් මැනවින් පැහැදිලි වේ.
දෙසුම අවසන මහත් අසිරි සිදු වූ බව සූත්‍රයෙහි ම සඳහන් වේ. දේශනාව වදාරනු ලබන කල්හි කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත් වූ බැවින් බුදුන් වහන්සේ උදානයක් ද වදාළ සේක:
“භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුරාර්ය සත්‍යය) දැනගත්තේ ය (අඤ්ඤාසි). භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැනගත්තේ ය,” යනුවෙනි. එතැන් පටන් එකරුණින් ම කොණ්ඩඤ්ඤ තවුසාට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’ යැ යි නමක් ඇති විය. ඒ සඳහනත් සමඟ සූත්‍රය අවසන් වේ.
මේ ආකාරයට ඇසළ පුර පසළොස්වක පොහෝ දින ලොවට අමා දොරටුව විවර විය. එතැන් පටන් ඒ අමාවෙහි ගිලී දුක් තැවුල් නිවාගත්තෝ රැසකි. එදා ඉසිපතන මිගදායෙහි දම්සක් පැවතුම් සුතුර දෙසීමත් සමඟ තවදුරටත් ඒ පින් බිමට ඒ නම ම අන්වර්ථ විය. ඒ මෙලෙස ය: ඒ බිම මුවන්ට අභය භූමියක් වූ බැවින් ‘මිගදාය’ නම් වේ. එහි උපන් උපන් සර්වඥ බුද්ධ ඍෂිවරයන් වහන්සේලා වඩිති. ඒ සියලු ඍෂි වූ බුදුවරු දම්සක් පැවතුම් දෙසීමට එහි හිඳිති.
පසේ බුදු ඍෂිවරයන් වහන්සේලා ද නÁදමූලික පබ්භාරයෙහි (කන්ද බිඳී යෑමෙන් සෑදුණු ගුහාව වැනි තැනක්) සත් දිනක් නිරෝධ සමාපත්තියෙන් හිඳ සත්දින ඇවෑමෙන් නැගී සිට අනවතප්ත විලෙන් මුව සේදීම් ආදි කටයුතු කොට අහසින් මෙතැනට වැඩම කරති; පොහොය කිරීම් ආදිය ද කරති. මේ ආදි වශයෙන් උත්තම ඍෂිවරයන් වහන්සේ පතනය වන ස්ථානය ‘ඉසිපතනය’ යි. ගෞතම සම්බුද්ධ ඍෂි තෙමේ ද දම්සක් පැවතුම් සුතුර දෙසීමට එහි වැඩම කළ සේක. ඇසළ පුන් සඳ පායා තිබුණු ඒ රාත්‍රිය ඍෂිපතන මුව වනය සුන්දර තැනක් වන්නට ඇති බව ඒකාන්ත ය. මීට වසර දෙදහස් හයසිය ගණනකට ඉහතදී අපගේ ශාස්තෲන් වහන්සේ දෙසූ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට කවුරුත් අදිටන් කරගනිමු. ද
(මහාවග්ගපාළි - මහාඛන්‍ධකය, මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකය හා උපරිපණ්ණාසකය, සංයුත්තනිකායේ නිදාන සංයුත්තය හා සච්ච සංයුත්තය, විසුද්ධිමග්ගය, සංයුත්තනිකායට්ඨකථා, චතුභාණවාරට්ඨකථා හා පිරුවානා පොත් වහන්සේ නම් යුත් මහ පිරිත් පොත ඇසුරු කැරිණි).

No comments:

Post a Comment