Saturday, 15 August 2015

කායානුපස්සනා සතිපට්ඨානය

කායානුපස්සනා සතිපට්ඨානය

ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝ වැසි සත්වයන්ගේ සංසාරික දුක් නිවාලීම පිණිස දේශිත ඒකායන මාර්ගය වශයෙන් සතර සතිපට්ඨානය සඳහන් කළ හැකි ය. ඒකායනෝ අයං භික්‍ඛවේ සත්ථානං විශුද්ධියා - සෝක පරිද්ධවානං සමතික්කමාය – දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය – ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා, වශයෙන් පෙන්වා දෙන්නේ, මහණෙනි එකම එක මාර්ගයක් ඇත සත්වයාගේ පිරිසුදු වීම පිණිස, ශෝක කිරීම, හඬා වැලපීම්, සුසුම් හෙලීම් දුරලීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයාගේ නිරුද්ධිය පිණිසත්, සිව්සස් ධර්මයන්ගේ අවබෝධය පිණිසත්, එනම් සතර සතිපට්ඨානයයි.

නිවන අරමුණු කොට සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයා විසින් මෙහි සඳහන් අනුපස්සනා 4 වන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව පිළිබඳ නිරවුල් අවබෝධයක් ඇතිකර ගත යුතු ය. එසේම සතිපට්ඨාන භාවනාවේ මුඛ්‍ය පරමාර්ථය වන සෝවාන් ආදී අධිගම සාක්ෂාත් කිරීම සඳහා සියලු අනාගත ප්‍රාර්ථනා අත්හළ යුතු ය. අනාගතයේ බුදු සසුනක නිවන් ප්‍රාර්ථනා කිරීම ඇතුලු සියලු අපේක්‍ෂා මෙයට අයත් වන්නේ ය.

සතිපට්ඨාන භාවනාවේ සඳහන් කායානුපස්සනාව පිළිබඳ සලකා බලන විට මෙය අනෙකුත් අනුපස්සනා අතරින් වෙනම දක්වන ලද්දේ වූවද එම කර්මස්ථානය ප්‍රගුණ කරන විට ඉතිරි අනුපස්සනා 3 ද මේ සමග වැඩෙන බව දත යුතු ය.

කායානුපස්සනා කර්මස්ථානයේ හඳුනාගත යුතු කොටස් කිහිපයකි.
1. ආනාපානසති,
2. ඉරියාපථ,
3. චතුසම්පජඤ්ඤ,
4. ධාතුමනසිකාරය,
5. කායගතාසති,
6. නව සිවතික වශයෙනි.

සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයා විසින් මුලින් ම ආනාපාන සති කොට හොඳින් ප්‍රගුණ කළ යුතු ය. ආනාපාන සතියේ ස්වර්ණමය අවස්ථාව වන අර්පණාව නැතහොත් ප්‍රථම ධ්‍යානය දක්වා ප්‍රගුණ කළ අයට සතිපට්ඨානය මගින් ඉතා පහසුවෙන් විදසුන් නුවණ ඇති කරගත හැකි බව දත යුතු ය. එසේ වූවත් තමාට ධ්‍යානාංග නොමැති යැයි සිතා මෙය අත් නොහැරිය යුතු ය. කිසියම් දුරකට හෝ ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මගින් ළඟාකරගත් සමාධිය ද මේ සඳහා ප්‍රමාණවත් බවද මතක තබාගත යුතු ය. ආනාපාන සතිය පිළිබඳ අප අවබෝධයක් ලබාගත් නිසා පළඟට ඉරියාපථ කොටස පිළිබඳව සලකා බැලීම කළ යුතු ය.

අප උපතේ සිට මරණය දක්වා කරන බොහෝ ක්‍රියා ඇත. කුමන ක්‍රියාවක් සිදු කළ ද ඒ කිසිවක් භාවනාවක් නොවී ය. ඉරියාපථ භාවනාව යනු ඇවිදීම, හිඳීම, සයනය, ආහාර ගැනීම, වැසිකිළි කැසිකිළි යෑම ආදී සියලු ක්‍රියා සිහියෙන් යුතුව කිරීමය. එනම් යෝනිසෝමනසිකාරයෙන් සිදුකිරීම වන්නේ ය. මෙම ‘ඉරියාපථ’, එනම් ඉරියව් වල පැවැත්ම පිළිබඳ සිහිය යොමු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් තමා යැයි සිතින් අල්වා ගත් අල්වා ගැනීම මිථ්‍යාවක් හා මුලාවක් යන දෘෂ්ටිය ප්‍රහාණය කිරීම ය. පුද්ගලයා විසින් ඇති කරගන්නා වූ අවිද්‍යාව නිසා සත්ව පුද්ගල සංඥාව මුල්කරගෙන මම මාගේ යැයි දෘෂ්ටියක බැසගෙන වාසය කරයි. එම අවිද්‍යා සහගත සංඥාව නිසා මම යැයි පුද්ගලයෙකු ඇත. මම යැයි පුද්ගලයෙකු ගමන් කරයි. ආදී වශයෙන් දෘෂ්ටියක් සැකසී ඇත. මෙම ඉරියාපථ කොටස මනාකොට ප්‍රගුණ කරන ලද යෝගියාට වැටහෙනුයේ මම හිඳිමි, වශයෙන් හෝ මම ගමන් කරමි යන්න වායෝ ධාතුවෙහි පැතිරීම මුල්කරගෙන සිදු වූ ක්‍රියාවක් මිස, ගමන් ගන්නා හෝ සිටින සත්වයකු පුද්ගලයකු ලෙස ගත නොහැකි බව අවබෝධයට පැමිණීමය. මේ ආකාරයෙන් ඉඳීම්, හිටීම්, ගමන් කිරීම්, සයනය, ආදී සතර ඉරියව් කෙරෙහිම යෝනිසෝ මණසිකාරය දියුණු කිරීම ඉරියාපථ භාවනාව යැයි දත යුතු ය.

කායානුපස්සනා භාවනා කොටසේ මීළඟට හඳුනාගත යුතු කොටස ‘චතුසම්පජඤ්ඤ’ නම් වෙයි. චතුසම්පජඤ්ඤ යනු අවස්ථා 4 ක් පිළිබඳව ඇති කරගන්නා වූ යෝනිසෝමනසිකාරය වන්නේ ය. එහිදී චතුසම්පජඤ්ඤ භාවනාව යැයි වෙනම කමටහනක් නොමැති අතර ප්‍රධාන කර්මස්ථානය සමගම ප්‍රගුණ වීමට ඉඩහළ යුතු කොටසක් ලෙස මෙය හඳුනාගත යුතුය. මෙහි පළමු කාරණය නම් තමා ප්‍රධාන කර්මස්ථානය ප්‍රගුණ කරන කල්හි කනට ඇසුණා වූ ශබ්දයක් මුල් කොට හෝ සිතට දැණුනා වූ සිතිවිල්ලකට අනුරූපව හෝ කර්මස්ථානයෙන් සිත බැහැරව ගොස් අවට පරිසරය බැලීමට සිතිවිල්ලක් පහළ වන විට යෝගියා විසින් තම සිතෙහි හටගත්තා වූ සිතිවිල්ලට අනුරූප නොගොස් අවට පරිසරය බැලීමේ ඇති වැදගත්කම හා නොවැදගත්කම පිළිබඳව නුවණින් විමසා බැලීම සිදු කිරීමයි. කොටින්ම කියතොත් අවට බැලීමෙන් සිදුවන වැඩ අවැඩ කුමක්ද යන්න විමසීමය. මෙය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සාර්ථසම්පජඤ්ඤය වශයෙනි. මෙම සාර්ථසම්පජඤ්ඤය දියුණු වූයේ නම් බොහෝ දුරට නොයෙක් අරමුණු ඔස්සේ සිත දුවන ගතිය මඟ හැරී යනු ඇත. මීළඟට සත්පාය සම්පජඤ්ඤය දත යුතු ය. මෙහිදී අදහස් වන්නේ තමා පවත්වාගෙන යනු ලබන කර්මස්ථානයට බාධා වන අන්දමේ තත්ත්වයනට මුහුණ දීමෙන් වැලකී සිටීමය. එනම් භාවනාවට සත්පාය, අසප්පාය කරුණු වන, ජනයා ගැවසෙන ස්ථාන, ස්ත්‍රී පුරුෂ දර්ශනය ආදිය වැනි කරුණු ය. තමා ගමන්ගන්නා හෝ වසන ස්ථානයෙහි මෙකී අසත්පාය කරුණු එකකදු හෝ පවතී නම් එය බැහැර කර සිටීමේ සිහිය මෙයින් අදහස් කෙරේ. එසේම යෝගියා ආහාර අනුභවය කිරීම ආදී අන්‍ය වූ සියලු කාර්ය වල යෙදී සිටියදී පවත්වාගෙන පැමිණි කර්මස්ථානය අත්නොහැර විසීම ගෝචර සම්පජානය දියුණු කිරීම නම් වේ. එමෙන්ම තමා හිදීම, සිටීම, සක්මන් කිරීම සයනය යන මෙම සතර ඉරියව් පැවැත්ම පිළිබඳ සලකා බලන කල්හි මේ සතර ඉරියව්වක්ම සිදු කරන විට නොමුලා සිතින් කිරීම අසම්මෝහ සම්පජඤ්ඤය ප්‍රගුණ කිරීම නම් යැයි දත යුතු ය. මෙහිදී තමා ගමන් කරන විට මම ගමන් කරමියි යන අවිද්‍යා සහගත දෘෂ්ටිය බැහැර කොට මෙය සිදු වන්නේ සිතෙහි හටගත්තා වූ සිතිවිල්ලට අනුරූපව වායෝ ධාතුවෙහි ක්‍රියාකාරීත්වය නිසා බව මෙහිදී යෝගියා තේරුම් ගත යුතු ය.

නතුරුව ධාතු මානසිකාරය හා කායගතාසති කොටස විමසිය යුතු ය. ධාතු මනසිකාරය නම් කය සැකසී පවතින ස්වභාවය පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධයම වන්නේ ය. මුලින්ම යෝගියා කය යනු කුමක්ද? එය සැකසී ඇත්තේ කෙසේ කුමකින් ද යන්න වටහා ගැනීම කළ යුතු ය. කය පිළිබඳව සිතන විට එය සැකසී ඇත්තේ රූප වලින් ය. එවිට රූප යනු කුමක්ද යන්න තේරුම්ගත යුතු ය. රූප සැකසී ඇත්තේ මොනවායින් ද යන්න වටහාගත යුතු ය. රූප යනු වෙනස් වන අස්ථාවර දෙයකි. මෙම අස්ථාවර කෂ්ණයක් කෂ්ණයක් පාසා වෙනස්වන රූප සැකසී ඇත්තේ සතර මහා ධාතූන්ගෙනි. සතර මහා ධාතු යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් ය. මෙම සතර මහා ධාතූන්ගේ ස්වභාවය නම් නිතර වෙනස් වන ගතියෙන් යුක්ත වීමය. නිතර වෙනස් වන ධර්මයකින් රූප සැකසී ඇති බවත් නිතර වෙනස් වෙමින් විනාශය කරා ගන්නා වූ රූප වලින් මෙම කය සැකසී ඇති බවත් වටහාගත යුතු ය. සතර මහා ධාතූන්ගේ සංකලනයක් වශයෙන් සැකසී ඇති කයෙහි එක් ධාතු කොටසක බිඳීයෑමක් හෝ සැලීයාමක් සිදු වුවහොත් අනෙකුත් ධාතූන්ගේ ද බිඳීයෑම ද සිදු වන්නේ ය. භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන ලද සතිපට්ඨානය ඇති යෝගාවචරයාට රූපයෙහි ඇති අනිත්‍ය අසාර බව මනාව ප්‍රකට වන්නේ ය. බුදුරජාණන් වහන්සේ විසින් අනිච්චාවත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ... යන ස්ථානයෙහිදී උත්පාද, වය ලෙස හඳුන්වා ඇත්තේ ද හේතූන්ගෙන් හටගත්තා වූ සියල්ල නිරන්තර අනිත්‍යය තාවට පත්වන බව ය. මෙහිදී උත්පාද තිථි, භංග ලෙස සමහරු විග්‍රහ කළ ද එය ධර්මය නිවැරැදිව වටහා නොගත් අදහසක් ලෙස දැක්විය යුතු ය. ක්ෂණයක් පාසා වෙනස්වන ලෝකය තුළ කිසිවක සුළු මොහොතක හෝ පැවැත්මක් අපේක්‍ෂා කළ නොහැකි ය. රූපයත් එසේමය. බාහිර මසැසින් රූපය දෙස බලන අයෙකුට අවිද්‍යා සහගත සංඥාව නිසා ස්ථාවර රූපයකගේ පැවැත්මක් ඇතැයි සිතිය හැකි ය. එහෙත් ධර්මානුකූලව බලන ෂට එහි ඇත්තේ නිරන්තර වෙනස්වන ඇතිවීමත් සමඟම නැතිවන ධර්මයකි. කුඩා දරුවෙකු ලෙස උපදින බිළිඳා කාලයාගේ ඇවෑමෙන් තරුණයකු බවට පත් වෙයි. දැන් එහි බිළිඳකු නොමැත. මුහුකුරාගිය අයෙකු පෙනේ. අනතුරුව ඔහු ජීවිතයේ අවසාන භාගයට පිවිසෙන විට පෙනෙනුයේ ජරාවට ගිය රූපයකි. එසේ නම් කය නමැති රූපය නිතර වෙනස්වන ධර්ම කොටසක් වන අතර, සතර මහා ධාතූන් ගෙන් සැදුම් ලත් මෙම රූපය නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් තමා වසඟයේ රඳවාගත නොහැකි බව මෙම ධාතු මනසිකාර කොටස ප්‍රගුණ කරන යෝගියාට වටහා ගත හැකි වන්නේ ය.

මීළඟට සතරමහා ධාතුන්ගෙන් සැදුම්ලත් කයත් සමඟ පවතින කුණප කොටස් 32 පිළිබඳව කෙරෙන කායගතාසතිය හඳුනාගත යුතු ය. කයෙහි පවතින දුගඳ හමන කෙස් ලොම් නිය දත් සම මස් ආදී කොටස් 32 ක් ඇත. ධර්මය නොදත් අශ්‍රැතවත් පුද්ගලයා මෙම කුණප නිත්‍යයි. සුඛයි ආදී වශයෙන් සංකල්ප මවන්නේ ය. ඔහු නිරන්තර උත්සාහ කරන්නේ ද මෙම කුණප පෝෂණය කිරීමට ය. මෙම කුණප, කුණප බව තේරුම් ගත හැක්කේ ඒ පිළිබඳව නුවණින් සලකා බැලීමේදී පමණි. තමාගේ හිසෙහි රෝපණය වී ඇති කෙස් කළඹ කොතරම් ආශාවෙන් පෝෂණය කළද පිළිකුල් සහගත දෙයක් බවත්, ඒවා තමා සන්තකයේ පවතින තාක් පුද්ගලයාට නොවැට හෙන්නේ ය. සිරුරේ ඇති සෙම්, සොටු, සැරව,අසූචි ආදිය සිරුරෙන් බැහැර කළ විට කොතරම් අප්‍රසන්න ද යන්න නුවණින් බැලිය යුතු ය. ඒ සියල්ල තමා සන්තකයේ පවතින තාක් පිළිකුලක් නොදැනුණ අතර, ශරීරයෙන් බැහැර කළ විට ළංවීමට ද අපහසු මහා පිළිකුල් දෙයක් ලෙස පෙනෙනු ඇත. එසේම ලොම්, නිය දත් ආදී සියල්ලම මේ පිළිකුල් උපදවන කුණප බවත් ඒවායේ පවතින අසාර බව වටහා ගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් ගෙන විමසා බැලිය යුතු බවත් දත යුතු ය. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ ධාන්‍ය පිරවූ මල්ලක් ලිහා එහි ඇති නොයෙක් ධාන්‍ය වෙන් කොට හඳුනාගන්නේ යම් සේද මෙම දෙතිස් කුණප වෙන් වෙන් වශයෙන් බලා ඒවායේ පවතින අසූහ, අසාර, පිළිකුල් සහගත බව අවබෝධ කළ යුතු බව ය. මෙසේ කායානුපස්සනාවේදී තමන්ගේ හා අනුන්ගේ කයෙහි ද පවතින්නේ මෙවන් අසුභ, පිළිකුල් සහගත දුගඳ හමන කුණප බව හඳුනාගත යුතු ය. මෙම විනිවිද දකින අවබෝධය නොමැති, ධර්මය නොදත් තැනැත්තා වනාහි පි‍්‍රය යැයි සම්මත කරගත් ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නෙත ගැටුණ විගස ඒ රූපය කෙරෙහි ආලය ආශාව ඇති කරගන්නේ ය.

ඇතිකරගත් අවිද්‍යා සහගත සංඥාව නිසා පිළිකුල් සහගත වූ කුණපයක් වෙත තමා ඇළුම්කරන බව ඔහුට නොවැටහෙන්නේ ය. එහෙත් කයෙහි පවතින පිළිකුල් සහගත බව හා ආසාර බව පිළිබඳ කායානුපස්සනාවෙහි නිරත වන යෝගියාට අන්‍ය වූ හෝ තමාගේ හෝ යැයි සම්මත කය කුණප කොටසක් පමණක් බවත්, මෙහි ඇලුම්කොට යුතු කිසිවක් නොමැති බවත් අවබෝධ වන්නේ ය. කායානුපස්සනාවෙහි අවසාන කොටස ‘නව සීවථික’ නම් වෙයි. ජීවිතක්‍ෂයට මෙය පත් පුද්ගලයකුගේ මෘත දේහය දින 9 ක් ගත වන විට විනාශය කරා ගමන් ගන්නා ආකාරය පිළිබඳ නුවණින් බලා තම සිරුර පිළිබඳ පවතින රාගය දුරු කරන කර්මස්ථානයක් බව දත යුතු ය.

මෙම ආකාරයට කායානුපස්සනාවේ මුල් පියවර කිහිපය හඳුනාගත් යෝගියා, ආනාපානසති භාවනාව සමග මෙම අනුපස්සනාව ද ප්‍රගුණ කළ යුතු ය.

තෙරුවන් සරණයි


කෑගල්ල තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ
තපෝවනයේ සුමේධ හිමි

No comments:

Post a Comment