Sunday, 2 August 2015

පෙර නිමිති නැති මග සොයා ගිය ගමනක්

පෙර නිමිති නැති මග සොයා ගිය ගමනක්

ගනේමුල්ල මාකිලංගමුව
ආනන්ද බෝධි ධර්මායතනයාධිපති,
ශාස්ත්‍රපති
පාතේගම සුමනරතන හිමි


නිවන් අවබෝධ කරන තුරු මේ පස්කම් සැප නමැති උයන් ක්‍රීඩාවේ නිරතවීම සාංසාරික ගතියකි. පස් මල් වලින් හෙබි මේ උයන මාරයාගේ ආධිපත්‍යයට යටත් වූවකි. එබැවින් මේ තුන් ලෝක ධාතු සීමාව තුළ වින්දනීය ධර්මයක් සොයමින් හැසිරෙයිද ඉඳුරන් මගින් යන මේ වින්දනීය උයන් ක්‍රීඩාව තුළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී පෙරනිමිති පවතිත්.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


සොබො අහං භික්ඛවෙ අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙ සමන්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතුන්තං අස්සුමුඛානං රුදන්තා නං , කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්‍ථානි අච්ඡාදෙත්වා අගරස්මා අනගාරියං පබ්බජිං “

අහස්කුස ඇසළ සඳ දකින බොහෝ බෞද්ධ ජනයාට එකවර සිතට නැගෙන්නේ බුදුරජාණන් වහන්සේ පැවැත්වූ ‘ධම්මචක්ක’ නම් ප්‍රථම ධර්ම දේශනාවයි. එය එසේ වීම පුදුමයක් නොවේ. ඊට හේතුව, අනාදිමත් සසර දුක්විඳි දනන් හට දුක් කෙළවර කිරීමට මග සැලසීම නිසා ය. එනමුදු අප මෙහිදී සාකච්ඡා කරන්නේ ඉඳුරාම ප්‍රථම ධර්ම දේශනාව සම්බන්ධව නොව බෝසතුන්ගේ මහා අභිනිෂ්ක්‍රමණය සම්බන්ධව පදනම් වූ කරුණු විමර්ශනය කිරිමට යි. එහෙත් ප්‍රථම ධර්ම දේශනාව සම්බන්ධව කරුණු ද සුදුසු පරිදි සම්බන්ධ කර ගැනීමට අදහස් කරමි.

මහා අභිනිෂ්ක්‍රමණය ආරම්භ වන්නේ මවුපියන්, ප්‍රිය දේවිය වූ බිම්බා දේවිය සහ රහල් කුමරු ඇතුළු ඤාතීන් හැරදා නික්මීමයි. මේ සිද්ධිය අප ඉගෙන ගන්නා බොහෝ බුද්ධ චරිත පොත්වල වාර්තා කර ඇත්තේ මේ කිසිවකුටත් නොකියා ඇසළ සඳේ මැදියම් රෑ ඡන්න සමග කන්ථක අසුපිට නැගී පලා ගිය බව යි. එහෙත් අද ධර්ම දේශනාව පිණිස මාතෘකා කළ මජ්ඣිම නිකායේ ඇතුළත් ගාථාවේ පෙර භද්‍ර යෞවනයේදී ම මවුපියන් හඬද්දී කෙස් රවුල් බා කහවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි යැයි සඳහන් වෙයි.

සූත්‍ර වල වාර්තාවන ආකාරයට මවුපියන් හඬද්දී ඔවුන් බලා සිටියදී ගිහිගෙය හැරදා යාම සහේතුක බව කිව යුතුය. එනම් මේ උතුම් කුමාරයාණන් වහන්සේගේ ගමන හොර රහසේ යා යුත්තක් නොවන්නේ තමාට හෝ ලෝක සත්වයාට වරදක් ගෙන දෙන ගමනක් නොවන බැවිනි. එහෙත් සක්විති රජකමද සතර මහා නිධානයද හිමි මේ පුණ්‍යවන්ත කුමරුගේ මේ තීරණයට මවුපියන්ගේ බලවත් අකැමැත්ත ඇතිවන බව මවුපිය පැත්තෙන් බලන කල පුදුමයක් නොවේ. එහෙත් මහා පුරුෂයකුගේ නිගමන බැඳ තැබීමට පුද්ගලාන්තර ලෞකික බැමි සවිමත් නොවේ.

මහා අභිනික්මන යන වචනය ඇසෙත්ම සිතට නැගෙන ගැඹුරු අර්ථ රාශියකි. නික්මීම යන්න සැබැවින්ම හුදු පලා යෑමක් ද? එනම් ලෝකය තුළ පවතින සියලු යුතුකම් වගකීම් මඟ හැර යාමක් ද? නැත. වැඩි දෙනක් ලෞකික ජිවිතයේ කටයුතු කරගෙන යන විට කරදර ප්‍රශ්න හැටියට සලකන්නේ ආර්ථික බිඳ වැටීම් හා සමාජයීය යුතුකම් හා වගකීම් වලින් මතුවන ගැටලු යි. සිදුහත් කුමරාණන්ට මහා අභිනිශ්ක්‍රමණයට පදනම් වූයේ ඊට වඩා පුළුල් පරාසයක පැතිර පවත්නා සියලු සත්වයන්ටම සනාතනිකව මුහුණ දීමට ඇති ජාති, ජරා, ව්‍යාධි, මරණ සම්බන්ධ ගැටලුවයි. නික්මීම යනු කොතනින් කොතනට නික්මීමද යන්න අප තේරුම් ගත යුතු ය. ඒ අනුව අප ඉන්නා තැන පළමුව තේරුම් ගත යුතුය. අප ඉන්නේ ලෝකය තුළය. බුදු දහමට අනුව ලෝකය නම් කිම? සිත සහිත සංඥා සහිත මේ බඹයක් පමණ වූයේ ලෝකයයි. තවත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් ඇස, කන, නාසා දී මේ ආයතන හයෙන්ම සැදුණේ ලෝකය යි. ලෝභ, ද්වේශ, මෝහ පදනම්ව මේ ආයතන වල ක්‍රියාකාරිත්වය මගින් අල්ප වූ ආශ්වාදයකින් හා බහු ආදීනවයකින් සැදුම්ලත් මේ බඹයක් පමණ ලෝකය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් සැදුම් ලත් එකකි. භව වශයෙන් සළකන විට කාම භව, රූප භව, අරූප භව වල කුමන ජීවිතයක් ලදුවත් ඒ හැම ජීවිතයක්ම ලෝක යන ව්‍යවහාරයට ඇතුළත් ය. මේ සෑම ලෝකයකම ඇති මූලික ලක්‍ෂණය උත්පත්තිය සහ මරණයයි. නික්මීම යනු උත්පත්තිය සහ මරණය ඇති තැනකින් උත්පත්තිය මරණය නැති ස්වභාවයක් අවබෝධ කිරීමයි. නත්ථි ජාති පූනබ්භවො යනුවෙන් සඳහන් වන්නේ ද එය යි. ජාතියේ පහළ වීමත් සමග ජරා ව්‍යාධි මරණ පිය විප්පයෝග, අප්පිය සම්පයෝග, යන සියල්ලම පහළ වීම සිදුවන්නකි. එබැවින් ගිහි ඇඳුම් උනා දමා පැවිදි ඇඳුම් ඇඳි පමණකින් හෝ ගමේ සිට කැළයට ගිය පමණින් හෝ සැබෑ නික්මීමක් සිදු නොවන බව තේරුම් ගත යුතු ය. සිදුහත් බෝසතුන්ද මවුපියන් හැරදා පැවිදි වූ පමණින් සැබෑ නික්මීමක් සිදු නොවුණු බව, අප දන්නා කරුණකි. මවුපියන් හැර ගියදා පටන් ගත වු වර්ෂ හය ද ලෞකික මිස ලෝකෝත්තර තත්ත්වයක් නොවේ. මේ අනුව මේ මහා පුරූෂයාණන්ගේ සැබෑ නික්මීම සනිටුහන් වන්නේ අවුරුදු තිස් පහේ දී බුද්ධත්වය සාක්ෂාත් කිරීමෙනි. තවත් පැත්තකින් මේ ගැන විමසා බලන විට උන් වහන්සේ පෙරනිමිති නොමැති ස්වභාවයක් සෙවූ බව පැහැදිලි ය. පූර්ව නිමිති පහළ වන්නේ ගමන ඇසුරු කරගෙන ය. කෙනෙකුගේ ගමන ආකාර දෙකකින් පැහැදිලි කළ හැකි ය. පළමු එක වන්නේ පියවර තබා යන ගමන යි. දෙවැන්න ඉඳුරන් අරමුණු වෙත යන ගමන යි. එය අධ්‍යාත්මික වූවකි. මහ බෝසත්හුගේ දෛනික ජීවිතයේ එක් කොටසක් වුයේ උයන් ක්‍රීඩාවේ නිරත වීම යි. එහිදී හමු වූ මහල්ලකු, ලෙඩකු, මෘතදේහය සහ අවකාශය බඳු වූ ගිහිබැමි හැර දැමූ පැවිදි රුව කලකිරීමට ද නික්මීමට ද සිතුම් ජනිත කෙළේය. ඒ උයන් මග වැසි කිසාගෝතමිය නම් රූමත් තරුණිය කී නිබ්බුත පද ඇසීමෙන් සොම්නසට පත් මහබෝසත් හු තම ගෙල බැඳි මුතුහර ඇයට ප්‍රදානය කරදී ගිහිගෙයින් නික්මීමට තිර අදිටන් කළහ.

පෘථග්ජන ලෝකයා නිරන්තරවම රූප , ශබ්ද, ගන්ධ,රස ,ස්පර්ශ යන පංච කාමයන්හි ආවේශව ඒවා සොයත්. නිවන් අවබෝධ කරන තුරු මේ පස්කම් සැප නමැති උයන් ක්‍රීඩාවේ නිරතවීම සාංසාරික ගතියකි. පස් මල් වලින් හෙබි මේ උයන මාරයාගේ ආධිපත්‍යයට යටත් වූවකි. එබැවින් මේ තුන් ලෝක ධාතු සීමාව තුළ වින්දනීය ධර්මයක් සොයමින් හැසිරෙයිද ඉඳුරන් මගින් යන මේ වින්දනීය උයන් ක්‍රීඩාව තුළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී පෙරනිමිති පවතිත්. පුහුදුන් සත්වයා ඉඳුරන් අරමුණු වෙත මෙහෙයවන්නේ දෘෂ්ටිය පදනම් කරගෙන ය . “ සබ්බේ ධම්මා නාලං අභිනිවෙසාය “ දෘෂ්ටියෙන් තොර නොවී හැබෑව හෙවත් යථාර්ථය අවබෝධ කළ නොහැකි ය. දෘෂ්ඨිය නමැති යෂ්ටිය ඇසුරු කොට ඉන්ද්‍රිය අරමුණු වෙත යාම සැරමිටි වාරුවෙන් යන එහි ආධාරයෙන්ම නැගී සිටි මහල්ලකු වැනි ය. කෙලෙස් වගුරවමින් කෙලෙස්ම උපදවන පුහුදුන් සත්වයා සැබැවින්ම ව්‍යාධියෙන් පෙළෙන්නෙකි. රූපය ද, වේදනාව ද, සංඥාව ද, සංඛාර ද, විඤ්ඤාණය ද, හේතුන්ගෙන් හටගත් ධර්මයෝ ය. ඒවා ඇති වූ තැනම නිරුද්ධ වෙත්, එනමුත් පසිඳුරන් එම යථාර්ථය නොදකිත්. ඒ නිසාම මේවා උපාදානය කරත්. ඇතිව නැතිවන ස්කන්ධයෝ මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීම නිසා හැම විට පෘථග්ජන සත්වයා මළමිනියකට තබා බැඳ ඇත. ඉඳුරන්ගේ වැරැදි ගමන නිසා පුර්ව නිමිත්තක් වන ඇතිව නැති වන මේ මරණය තේරුම් නොගැනීම නිසා, මළමිනිය බැඳ ගනිත්.
ශ්‍රමණ දර්ශනය ලෙස මේ අධ්‍යාත්මික ක්‍රියාදාමය තුළ විග්‍රහ කළ හැකි වන්නේ නිරෝධ සිත හෙවත්, මේ හැබෑව තේරුම් ගැනීම නිසා සියලු උපාදානයන්ගෙන් නිදහස් නිරෝධ මනසයි.

පියවර තබා යන ගමන ඇසුරේද මහලු වූ ජීවිතද , ලෙඩ වූ ජීවිතද, මෘත වූ ජීවිතද, ගිහිගෙය හැර දැමූ ශ්‍රමණ ජීවිත ද , දැකිය හැකි වුවත් විදර්ශකයන් විසින් මේ බඹයක් පමණ ලෝකය තුළ අරමුණු විෂය නම් වු ගමන තුළ සිදු වන පහළ වන පෙර නිමිති සහ ඒවායින් නිදහස් වූ සන්සිඳුණු සුගත් ගමනක ශාන්තිය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සුක විය යුතු ය.

සිදුහත් මහ බෝසතුන් බුදු පදවිය ලැබ ඇසළ පුන් පොහෝදා එළි කළ දහම් මඟ හෙවත් මජ්ඣිමා පටිපදාව පෙර නිමිති නැති ඒකායන මාර්ගය යි. යෝග හෙවත් අන්ත වලින් නිදහස්ව ප්‍රබුද්ධ මනසකින් ලොව දෙස බැලීම නම් වූ සම්‍යක් දර්ශනය ඇතිවීමත් සමග චක්ඛුං උදපාදි (ඤාණ ඇස ද) ඤාණං උදපාදි (ඤාණ දර්ශනය ද) විජ්ජා උදපාදි (අවිද්‍යාවෙන් වෙන් වූ විද්‍යාව ද) පඤ්ඤා උදපාදි (විඤ්ඤාණය පිළිසිඳ ගත් ප්‍රඥාව ද) ආලෝකෝ උදපාදි (පෘථග්ජන මනස අනූශය ආසයන්ගෙන් වට ව අඳුරුව පැවැති සියලු ක්ලේශ ආවරණයන්ගෙන් නිදහස් වීම) යනුවෙන් දෙසු පරිදි පෙර නොඇසූ තැනකින් (පුබ්බේ අනනුස්සුතෙසු ධමේමසු) දුක ද, දුකට හේතුව වූ තණ්හාවද, තණ්හාවෙන් නිදහස් වූ නිරෝධයද, නිරෝධ මාර්ගයද උන් වහන්සේ අවබෝධ කළ බව ධම්මචක්ක සූත්‍රයෙහිම සඳහන් වේ.
පෙර ඇසුව හැටියට සලකන්නේ ඉන්ද්‍රියානුසාරිව ලබාගත් දැනුමයි. ඉන්ද්‍රිය මාර්ගයෙන් අවබෝධ කළ ලෝකය තමා විසින් ගොඩ නැගූ ලෝකයයි. පෘථග්ජන සත්වයා වෙලී පැටලී සිටින්නේ එහි ය. හැබෑ ලෝකයට පිටින් තම තමා විසින් ගොඩනැගූ මගේ ලෝකය නම් වූ එය ‘අතතසම්භූතා’ පෙර ඇසූ දැනුම හෙවත් ඉඳුරන්ගෙන් පෝෂණය වූවකි.

කාලයේ සීමාවන්ගෙන් බන්ධනය වූ එය ඇතිවීමත්, නිරුද්ධ වීමත්, අතර පවත්නා කාලයක ජීවිතය ජීවත් කරවීම තරම් මුලාවක් වෙන කොයින්ද? එක ක්‍ෂණයක් අසුරුක්‍ෂණයක් පවත්නා කිසිවක් නැති ලෝකය තුළ ජීවත් වීම යැයි සිතීම ම ඉඳුරන්ගේ මායාවකි. මේ යථාර්ථය මගේ ලෝකය තුළ ඉතා අමිහිරි දෙයක් ලෙස ප්‍රතික්‍ෂේප කළත් අවිද්‍යාවෙන් වැසී ඇති බිජුවට සිඳ ලොවෙහි යථාර්ථය දුටුවකුට ලෝකයේ ශ්‍රේෂ්ඨ වීමටත් ජ්‍යෙෂ්ඨ වීමටත් පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

“එවමෙව ඛෙ අහං බ්‍රාහ්මණ අවිජ්ජාගතාය පජාය අණ්ඩභූතාය පරියොනදධාය අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා එකොව ලොකෙ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුදෙධා අහං හි බ්‍රාහ්මණ ජෙටෙඨා සෙටෙඨා ලොකස්ස
සැබෑව පසිඳුරන්ට විද්‍යමාන නොවූවත්, ලෝකයේ හැබෑව තේරුම්ගෙන අවබෝධ කිරීම පුද්ගලයා සතු මූලික වගකීමකි. සිදුහත් මහබෝසතුන් අවුරුදු විසි නවයක රම්‍ය සුරම්‍ය සුභ කාමභෝගී ජීවිතය අතහැර කිං කුසල ගවෙසි යනුවෙන් සය අවුරුද්දක් ගුරුන් වෙතින්ද, දුෂ්කර ප්‍රතිපදා මගින් ද, ඉන් අනතුරුව ස්වඋත්සායෙන් කළේ ලෝක සත්‍යයයි. ‘එතෙතෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තතාගතෙන අභිසම්බුද්ධා’ අභිසම්බුද්ධා යනුවෙන් ප්‍රකාශ වන්නේ තමා විසින්ම එය අවබෝධ කළ බවයි.

කුසල ගවේසි බෞද්ධ ජීවිත ද මේ පහත කී කාරණා පදනම් කරගෙන යථාර්ථය අවබෝධ කිරීමට උත්සහවෙත්. එහෙත් බොහෝ බෞද්ධයින් මූලික බෙදීම් ආකාර දෙකකින් යුක්තව සත්‍ය වෙත ලංවීමට උත්සාහ කරති.

ඉන් පළමු ක්‍රමය තෙවලා බුද්ධ වචනය කටපාඩම් කොට තර්ක විතර්ක ඇති කර ගනිමින් ඉඳුරාම ආමිසය, නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් කටයුතු කිරීමයි.

දෙවැන්න නොයෙකුත් පුද පූජා සහ වන්දනා විධි නානා අයුරින් සකස් කොට ගෙන ඒවා මතම කටයුතු කිරීමයි. මේවා දෘෂ්ටිවාදී හෙවත් අන්තගාමී ක්‍රියාමාර්ග බව පැහැදිලි ය.

සැබෑ බෞද්ධයකුගේ බෞද්ධ ජීවිතයේ ආරම්භයෙ පටන් අවසානය තෙක් විවාදාපන්න කිසිවක් නොවේ. බුදුදහම ලෙස වැරැදි අනුගමනය කිරීමක් සිදුවන්නේ නම්, තමාට නැතහොත් එය අනුගමනය කරන්නාට යම් කලකදී එය වැරැදි යයි වැටහීමට ඉඩ ඇත. බුදුරජුන් වදාළ ධර්මය ස්වාක්ඛාත වූවක් නිසා මුල මැද අග පැහැදිලි විය යුතු ය.

එසේ නොවන දහමක් නම් එය දුරක්ඛාත වූවකි.

යමෙකුට පෙර නිමිති නැති ගමනක් ඇතිවීමට නම්, බුදු දහමේ උගන්වනු ලබන ශීල ප්‍රතිපදාවත්, සමාධි ප්‍රතිපදාවත්, ප්‍රඥා ප්‍රතිපදාවත් සමගාමීව අධ්‍යාත්මය තුළ දියුණු විය යුතු ය.

No comments:

Post a Comment