Sunday, 23 August 2015

බුදුදහම හා මාර සංකල්පය 13.14.15



බුදුදහම හා මාර සංකල්පය 13.14.15
මාරයාගේ සැඩ පහර
මේ ලෝක විෂය පිළිබඳ එනම්, සියලු ධර්මයන්ගේ නැසෙන සුළු, විනාශ වන සුළු ස්වභාවය යමෙක් නොසිතන්නේ නම්, නොසිතා කටයුතු කරන්නේ නම්, ඔහු අඥාන පුද්ගලයෙකි. ඔහුට ඇත්තේ ලෝකය පිළිබඳ අල්ප වූ දැනීමකි. ඔහු නිතර උත්සාහ කරන්නේ නොමැරෙන්නෙක් ලෙස සිතා භෞතික දේ රැස් කිරීමට පමණි
මෙම ලිපියෙන් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ සිත්සතන් නිවා සනසා නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ වැදගත් දම් දෙසුමක් වන මජ්ක්‍ධිම නිකායට අයත් “චූලගෝපාලක” සූත්‍රයේ ඇතුළත් මාරයාගේ සැඩ පහරට හසු නොවන ආර්ය ශ්‍රාවකයාගේ ගමන් මාර්ගය පිළිබඳව පහදා දීමටයි.
මෙම සූත්‍රයේ සඳහන් වන්නේ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි “උක්කවේලා” නම් නුවර සමීපයෙහි ‘ගංගානම්’ ගංතෙර වැඩ වාසය කරන කල්හි භික්ෂූන් අමතා පෙර සිදු වූ කතාවක් දේශනා කළහ. මෙය ගඟෙහි තරම නොදැන ගවයන් එතෙර කිරීමට ගොස් ගවයන් සියලු දෙනා විනාශ කරගත් ගොපල්ලෙකු හා ගඟෙහි තරම දැන ගවයන් එතෙරකොට ගවයන් බේරාගත් ගොපල්ලෙකු පිළිබඳ කථාවකි. එම ගොපල්ලන් පිළිබඳ කරුණු මෙසේ ය. එනම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසි වූ ගොපල්ලෙක් වස්සාන සෘතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදේහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු තොටින් ගවයන් ගඟට බැස්ස විය. මහණෙනි, ඒ ගවයෝ ගංගානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුළියකට අසු වී, එහිම විනාශයට පත්වූහ. ඊට හේතුව නම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන සෘතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදේහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්ස වීමය. අදක්ෂ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එපරිද්දෙන් ම යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිළිබඳව අදක්ෂයෝ වෙත් ද, පරලොව පිළිබඳව අදක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් වූවෙහි. අදක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් නොවූවෙහි අදක්ෂයෝ වෙත් ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත් ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත් ද, ඔවුන්ගේ, ධර්මය ඇසිය යුතු යැයි ද, ඇදහිය යුතු යැයි ද, යම් කෙනෙක් හඟින්නාහු ද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස වන්නේ ය. දුක් පිණිස වන්නේ ය.
නුවණැති ගොපල්ලා
මහණෙනි, මෙය ද පෙර වූවකි. නුවණැත්තා වූ මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා සෘතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම්, මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදේහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්ස විය. හෙතෙම පළමු කොටම ගව පියන් වූ, (ප්‍රධාන වූ) ගවනායක වූ යම් ඒ ගවයෝ වෙත් ද, ඔවුන් ගඟට බැස්සවීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූ ද දමනය කටයුතු වූ ද ගවයින් ගඟට බැස්සවීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වස්සන් හා නහඹු වැස්සියන් ද බැස්සවීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට කුඩා වසු පැටවුන් ගඟට බැස්සවීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියහ. මහණෙනි, ඉතා බාල වූ එකෙණෙහි ම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර කපා සුවසේ එතර වීය.
නුවණ ඇත්තා වූ මගධ රට වැසි ගොපල්ලා වර්ෂා සෘතුවෙහි අන්තිම මාසයෙහි ශරත් සෘතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙර වූ විදේහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කරවීම නිසා සියලු ගවයෝ බේරුණහ.
දක්ෂ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ,
එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකයෙහි (ස්කන්ධ ආයතනාදියෙහි) දක්ෂයෝ වෙත් ද, පරලෝකයෙහි දක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙත් ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙත් ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙත් ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙත් ද, යමෙක් තුමු ඔවුන්ගේ ධර්මය ඇසිය යුතු කොට, ඇදහිය යුතු කොට නඟන්නාහු ද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස වන්නේ ය. සැප පිණිස වන්නේ ය.
යම්සේ ගවපියන් වූ, ගවයින් ප්‍රධාන වූ, යම් ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිම වූ කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැති කළ භව සංයෝජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුණ, රහතන් වහන්සේලා වෙත් ද, උන්වහන්සේලා මාරයාගේ ( තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට යන්නාහ. යම්සේ ඒ බලවත් ගවයෝ ද, හික්ම විය යුතු ගවයෝ ද සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහු ද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂු කෙනෙක් ඕරංභාගිය සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඕපපාතිකව ඉපිද එයින් කාම ලෝකයට නො පැමිණෙන්නා වූ, අනාගාමී පුද්ගලයෝ වෙත් ද, ඔවුහු ද මාරයාගේ සැඩපහර කපා සුවසේ එතෙරවන්නාහ. යම්සේ නහඹු වස්සෝ ද, නැහැඹු වැස්සියෝ ද සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වුවාහු ද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන් තුනී කිරීමෙන් සකෘදගාමී වූවාහු එක් වරක්ම මේ කාම ලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත් ද, ඔවුහු ද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ. යම්සේ දුර්වල වූ වස්සෝ සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වුවාහු ද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වුවාහු සතර අපායෙහි නොවැටෙන සුළු වුවාහු, නියතයෙන් ම රහත් බව ලබන්නාහු වෙත් ද, ඔවුහු ද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ.
යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවා ද මවුදෙනගේ ශබ්දය අනුව එතෙර වන්නේ සැඩපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේ ද, එපරිද්දෙන් ම ධර්මානුසාරී නම් වූ ද, සද්ධානුසාරී නම් වූ ද යම් ඒ සෝවාන් භික්ෂූහු වෙත් ද, ඔවුහු ද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහ. මම වනාහි මේ ලෝකය පිළිබඳව ද දක්ෂ වෙමි. පරලෝකය පිළිබඳව ද (ස්කන්ධධාතු ආයතනාදියෙහි දක්ෂ වෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මාරයාට අයත් නො වූ දෙය දැනීමෙහි දක්ෂ වෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ වෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂ යම් කෙනෙක් මාගේ ධර්මය ඇසිය යුතු යැයි සිතන්නේ ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස වන්නේ ය. සැප පිණිස වන්නේ ය. සම්බුදු දහම හිත පිණිස වන්නේ ය. සැප පිණිස වන්නේය. සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද, පරලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද මනාව වදාරණ ලදී. මරහු විසින් පැමිණෙන ලද යම් ධර්මයක් වේද, මරහු විසින් නොපැමිණෙන ලද යම් ධර්ම වේද, සියල්ල දත් සර්වඥයන් වහන්සේ ඒ සියල්ල දැන නිවණට පැමිණීම පිණිස නිර්භය වූ මාර්ග දොරටුව විවෘත කරන ලදී. මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිඳින ලදී. මානය නමැති සුළඟ විනාශ කරන ලදී. එහෙයින් මහණෙනි, සතුට බහුලකොට ඇත්තාහු වන්න, නිර්වාණය පැතිය යුතු ය.
මේ ලෝක විෂය පිළිබඳ එනම්, සියලු ධර්මයන්ගේ නැසෙන සුළු, විනාශ වන සුළු ස්වභාවය යමෙක් නොසිතන්නේ නම්, නොසිතා කටයුතු කරන්නේ නම්, ඔහු අඥාන පුද්ගලයෙකි. ඔහුට ඇත්තේ ලෝකය පිළිබඳ අල්ප වූ දැනීමකි. ඔහු නිතර උත්සාහ කරන්නේ නොමැරෙන්නෙක් ලෙස සිතා භෞතික දේ රැස් කිරීමට පමණි. ඔහුගේ ආධ්‍යාත්මය හිස්ය. ඔහු ලෙහෙසියෙන් ම මරුවාගේ වසඟයට යයි. ඔහු සමාන කර ඇත්තේ අනුවණ ගොපල්ලාටය. එහෙත් ලෝකය පිළිබඳ අවබෝධය ඇති පුද්ගලයා අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන අතර උත්සාහ කරන්නේ මරුවාගෙන් නිදහස් වීමටය. එනම්, පංචකාම විෂයෙන් ඉවත්ව අප්‍රමාදීව සසරෙන් එතර වීමටය. ඔහු උපමා කොට ඇත්තේ නුවණැති ගොපල්ලාටය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ ද මෙම ධර්මතාවය අවබෝධ කොට ගෙන මැරෙන අය මෙන් ජීවත්ව සසරෙන් එතෙර වීමටය.
.......................................................................................................
බුදුදහම හා මාර සංකල්පය 14
බුදුරජාණන් වහන්සේ කවියෙකුට සම කළ මාරයා
මෙවර ලිපියෙන් අපගේ සාකච්ඡාවට බඳුන් වනුයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි ගල් පතුරක් වැදීමෙන් හටගත් වේදනාව නිසා හුදකලාව වැඩහුන් අවස්ථාවේ පාපි මාරයා පැමිණ බුදුරජාණන් වහන්සේගේ විවේකය පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක් පිළිබඳ කරුණු ඇතුළත් මාර සංයුත්තයට අයත් ‘සකලික’ සූත්‍රය විමසා බැලීමටයි.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල “මද්දකුච්ඡි’ නම් මුව වනයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුළ ගල් පතුරෙකින් පැහැරුණෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි හටගත් දැඩිවූ,රළුවු. නොමිරිහිවූ, නොමනාවු මහත් දුක්වේදනා පැවතුනේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල එලඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළෙමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර හතරට නමා එළා දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණු සේක.
එකල්හි පාපි මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. එසේ පැමිණි පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
පාපි මාරයා
මන්දියා නු ඛො සෙසි උදාහු කාවෙය්‍යමත්තො
අත්ථා නු තෙ සම්පචුරා න සන්ති
එකො විවිත්තෙ සයනාසනම්හි
නිද්දාමුඛො කිමිදං සොප්පසෙවා’ති
සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළ යුතු වෙනත් බොහෝ වැඩ ඔබට නැද්ද? කිසිවෙකු නැති මේ සෙනස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?
භාග්‍යවතුන් වහන්සේ
න මන්දියා සයාමි නාපි කාවෙය්‍යමත්තො
අත්ථං සමේච්චාහමපෙතසොකො
එකො විවිත්තෙ සයනාසනම්හි
සයාමහං සබ්බභූතානුකම්පි
මුළායෙකින් නොම නිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක,ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.
යෙසම්පි සල්ලං උරසි පවිට්ඨං
මුහුං මුහුං හදයං වෙධමානං
තෙපීධ සොප්පං ලහරෙ සසල්ලා
තස්මා අහං න සුපෙ වීතසල්ලො
යම් කෙනෙකුගේ පපුවෙහි කෙලෙස් හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ කෙලෙස් හුල්ඇති, ඔහු පවා නිදි ලබත්, එසේ කල්හි පහවු සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?
ජග්ගං න සංකෙ නපි හෙමි සොත්තුං
රත්තින් දිවා නානුතපන්ති මාමාං
හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ
තස්මා සුපෙ සබ්බභූතානුකම්පීති
මම වූකලි අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හි මා නොතවත් ලොව කිසිම තැනෙක මට පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.
බුදුරජාණන් වහන්සේගේ අඩුවක්, වරදක් සොයමින් සත් වසක් මුළුල්ලෙහි පාපීමාරයා උන්වහන්සේ ලුහුබැඳි බව සත්තාවස්සික සූත්‍රයේදි අපි සාකච්ඡා කළෙමු. එහෙත් අවසානයේ පරාජය හිමි වුයේ පාපී මාරයාටමය. එයින් නොනැවතුනු ඔහු ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම උත්සාහ ගත්තේ බුදුරජාණන් වහන්සේ කෙසේ හෝ තමාගේ වසඟයට ගැනීමටය. ඒ සෑම අවස්ථාවකම පාපි මාරයා පරාජයට පත්ව දුක්ඛිතව දොම්නස්ව පලාගොස් ඇත. එයින් නොනැවතුනු ඔහු කිහිප විටක්ම බුදුරජාණන් වහන්සේගෙන් කලින්ම පිරිනිවන් පාන ලෙස අයැද සිටියේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සම්බුදු කිස නිමවන තෙක් පිරිනිවන් නොපාන බවයි. මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවත්වීම පාපි මාරයාට මහත් කරදරයක් වු බවයි.
තථාගතයන් වහන්සේට පමණක් නොව තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට ද පාපී මාරයා විවිධ කරදර සිදු කළ අවස්ථාවන් අපි පෙර ලිපිවල දී සාකච්ඡා කළෙමු. ශ්‍රාවිකාවන් වහන්සේලාට පාපි මාරයා කරදර කළ අවස්ථාවන් සංයුත්ත නිකායෙහි භික්ඛුණී සංයුත්තය පුරාවටම පෙනෙයි. එම අවස්ථාවන් මතු ලිපිවලදි සාකච්ඡා කරන්නෙමු.
මෙම සකලික සූත්‍රයේදි පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුළෙහි ගල්පතුරක් වැදීම නිසා හටගත් වේදනාව අඩුකර ගැනීම සඳහා වනයෙහි හුදකලා සෙනසුනක වසන අවස්ථාවක පාපි මාරයා පැමිණ සම්බුදුරජාණන් වහන්සේගේ සිත විමසූ අයුරුය. බුදුරජාණන් වහන්සේ සිහි මුළා වී කවිපද බඳින කවියෙකු මෙන් එයින් මත්ව මුළාවි හුදකලාව වනයෙහි දුක්මුසු මුහුණින් වසන්නේ කුමක් නිසාදැයි ඔහු ප්‍රශ්න කරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ වීතදෝසි, වීතමෝහී, වීතරාගී සිතක ඇති අසිරිය පාපී මාරයාට මනාව පැහැදිලි කරදෙයි.
බුදුරජාණන් වහන්සේ මෙසේ හුදකලාව වනයෙහි වෙසෙන්නේ හුදෙක් විවේකය සඳහා මිස සිහි මුලා වී හෝ නිදිමතින් හෝ මත් වී හෝ නොව සියලු සතුන් කෙරෙහි වූ අනුකම්පාවෙනි. යමෙකුගේ සිත සැලෙන්නේ සිතෙහි කෙලෙස් රැඳීමට අවස්ථාවක් තිබුණහොත් පමණි. එහෙත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් පහකර ඇති බැවින් කෙලෙස් නමැති හුලින් ඇතිවන වේදනාවක් බුදුරජාණන් වහන්සේට නොමැත. අවදිව සිටීමට ද බුදුරජාණන් වහන්සේට බියක් නොමැත. නිදාගැනීමටද බියක් නොමැත. එබැවින් රෑ දහවල් දෙකෙහිම සම්බුදුරජාණන් වහන්සේ තැවීමට කෙලෙස්වලට නොහැක. ඒ නිසා සම්බුදු රජාණන් වහන්සේලා සැතපුනද සියලු සත්වග කෙරෙහි ඇත්තේ කුළුණු සිතකි. බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුරින් ලජ්ජාවට පත් පාපී මාරයා සුගතයන් වහන්සේ මා හඳුනාගත්තේ යැයි දුක්ඛිත වු දොම්නස් වු මනසින් යුතුව අතුරුදන්ව ඇත.
.................................................................................................
බුදුදහම හා මාර සංකල්පය 15
සෝමා භික්ෂුණිය හමුවට පැමිණි මාරයා
මෙවර ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තයට අයත් ‘සෝමා’ සූත්‍රය විමසා බැලීමටයි.එහි ඇතුළත් වන්නේ පාපී මාරයා සෝමා භික්ෂුණිය හමුවට පැමිණි අවස්ථාවකි.
එක් සමයක අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ සෝමා භික්ෂුණිය පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට ගසක් මුල වැඩසිට සමාධි සුවයෙන් කල් ගෙවූ සේක. එකල සෝමා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී මාරයා සෝමා භික්ෂුණියට බිය ඇති කරනු පිණිස ලොමු දැහැගනු පිණිස සමාධියෙන් වළක්වනු පිණිස අන්ධ වනයට පැමිණ සෝමා භික්ෂුණියට ඇසෙනු පිණිස මෙසේ කීය.
යං තං ඉසිහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං,
න තං ද්වංගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා’ ති.
ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් ඒ පදවියක් වේද, එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක.
මෙය ඇසූ සෝමා භික්ෂුණිය මෙසේ කියන මොහු මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක්දැයි විමසනුයේ මේ වෙන කිසිවෙකු නොව පාපී වූ මාරයාමයැයි හඳුනාගත්සේක. ඔහු පැමිණ ඇත්තේ බිය ඇති කරනු පිණිස ලොමු දැහැගනු පිණිස සමාධියෙන් වළක්වනු පිණිස බව දැන තමන්ට ඒ කිසිවක් පාපී මාරයා විසින් කළ නොහැකි බව දැන, තමන් ගෞතම බුද්ධ ශාසනයෙහි කළයුතු සියල්ල කොට නිමකළ අර්හත් උත්තමාවියක් බව පාපී මාරයාට හඟවමින් මෙසේ පිළිතුරු දුන්සේක.
ත්ථිභාවො කිං කයිරා, විත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි මනා කොට දහම් දක්නා අයට ස්ත්‍රී භාවය කුමක් කරත් ද?
යස්ස නුන සියා එවං, ඉත්ථාහං පුරිසොති වා
කිඤ්චි වා පන අඤ්ඤස්මි, තං මාරො චත්තුමරහතී’ති
මම ස්ත්‍රියෙක්මි’යි හෝ මම පුරුෂයෙක්මි’යි හෝ අන් කිසිවෙක් වෙමියි හෝ යමෙකුට මෙසේ අදහස් වන්නේ ද ඔබ ඔහුට මෙය කියන්න. ඔහු ඔබේ විෂයයට හසුවන්නේ ය.
මෙය ඇසූ පාපී මාරයා තමාගේ වසඟයට කිසිසේත් සෝමා භික්ෂුණිය හසු නොවන බව දැන ලජ්ජාවට පත්ව දොම්නස්ව එහිම අතුරුදන්ව ඇත.
අථ ඛො මාරො පාපිමා ‘ජානාති මං සොමා භික්ඛුනී’ ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරාධායීති.
භාරතීය උපදේශ සාහිත්‍ය කෘති අතර හිතෝපදේශය, පංචචන්ත්‍රය, ප්‍රත්‍යශතකය වැනි කෘතිවල ස්ත්‍රියට හිමිකර දී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නම් නොවේ. බමුණු සමාජය ස්ත්‍රිය දෙස බලා ඇත්තේ චපල ගති පැවතුම් ඇති වහා වරදෙහි බැඳෙන, විශ්වාස නොකොට පහත් අදහස් ඇති තැනැත්තියක් ලෙසය. ඇතැම් විට බමුණන් ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇත්තේ පිළිකුල් සහගත හැඟීමකි. එපමණක් නොව බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රිය තනිව නොහැසිරිය යුතු බව දක්වමින් තහංචි ද පනවා ඇත.
පිතා රක්ෂති කෞමාරේ – භාතා රක්ෂති යෞවනේ
ස්ථවිරේ පුත්‍රා රක්ෂන්ති - ස්ත්‍රී ස්වතන්ත්‍රමර්හති
ස්ත්‍රිය කුඩා කල පියා යටතේ ද, විවාහයෙන් පසු ස්වාමියා යටතේ ද වයස්ගත වූ කල්හි වැඩිමහල් පුතා යටතේ ද විසිය යුතු ය. ස්වතන්ත්‍රව හෙවත් තමාගේ හිතැඟි පරිදි කටයුතු නොකළ යුතු ය. යනුවෙන් ස්ත්‍රියට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතිය නැති කරමින් කටයුතු කොට ඇත. බමුණන් යාගහෝම පවත්වන අවස්ථාවන්ට හා ස්ථානයන්ට ස්ත්‍රියට ඇතුල්වීම තහනම් විය. ස්ත්‍රියට මෙවැනි තහංචි පනවා ඇය කෙරෙහි අවිශ්වාසයෙන් මෙන්ම ආදර ගෞරව රහිතව ගත කළ බමුණන්ගේ විවාහ ජීවිතය ද අසාර්ථක වන්නට ඇතැයි යන්න සිතිය හැක. මේ කරුණු විමසා බලන විට පෙනී යන්නේ බමුණන් ස්ත්‍රීන් කෙරෙහි ඇතැම් අවස්ථාවල ද්වේෂ සහගතව ද කටයුතු කොට ඇති බවයි. ඒ බව පහත සඳහන් ප්‍රත්‍ය ශතක ශ්ලෝකවලින් පැහැදිලි වෙයි.
ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණාච කාකයෝඞ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් – නාරි චිත්තං න විශ්වසේත් (ප්‍රත්‍ය ශතකය 16 වන ශ්ලෝකය)
(දිඹුල් ගසේ මල් ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිව හොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රයගේ සිත විශ්වාස නොකට යුතු ය.)
මෙයින් පෙනී යන්නේ බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රියට හිමිව තිබූ අවිශ්වාසවන්ත බවයි. සම්මත ලෝකයේ අසම්මත දෙයක් හෙවත් අස්වාභාවික දෙයක් යමෙක් පැවසුවහොත් එය ද පිළිගන්නා ලෙස සලකන බමුණන් කිසි දිනක ස්ත්‍රියකගේ සිත විශ්වාස නොකරන ලෙස උපදෙස් දෙයි. එහෙත් එය එසේ නොවේ. විශ්වාස කළ යුතු ස්ත්‍රීන් කොතෙකුත් සමාජයේ ඇත. ඒ අතර බමුණන්ගේ ඉහත මතයට අනුව කටයුතු කරන ස්ත්‍රීන්ද සිටිය හැක. මෙම බමුණු මතයට අනුව කටයුතු කළහොත් කිසිදා විවාහ දිවිය සාර්ථක කරගත නොහැක. ස්වාමියාට නිතරම ස්ත්‍රිය පිළිබඳ සැකයෙන් හා අවිශ්වාසයෙන් කටයුතු කරන්නට වුවහොත් එය දෙදෙනා අතර ගොඩ නැගෙන සුහදතාවයට හා පවුලේ දියුණුවට මහත් බාධාවක් වෙයි.
දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ෂණං ධන නාශනං
ශයනං මරණං කුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී ( ප්‍රත්‍ය ශතකය 35 වන ශ්ලෝකය)
(ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වීම ද ස්පර්ශ කිරීමෙන් ධන හානිය ද එක්ව සයනය කිරීමෙන් මරණය ද වන්නේ ය. එබැවින් ස්ත්‍රිය ඇසට පෙනෙන රාක්ෂියකි)
ස්ත්‍රියගේ බුද්ධිය පිළිබඳව ද බමුණන් දක්වා ඇත්තේ පහත් ආකල්පයකි. ස්ත්‍රිය යනු සමාජය හරිහැටි නොදකින යමක් නිසි අයුරින් තේරුම් ගැනීමට අපහසු, බුද්ධිහීන තැනැත්තියක් ලෙස සලකා ඇත.
ආත්ම බුද්ධිර් සුඛං දේති – ගුරු බුද්ධිර් විශේෂතෝ
ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු - බුද්ධීර් මරණං භවේත් (ප්‍රත්‍ය ශතකය 43 වන ශ්ලෝකය)
(තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙනදෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ දැනුමෙන් කළ දෙයින් විනාශය ළඟා වන්නේ ය. බොහෝ දෙනාගේ දැනුමෙන් කළ දෙයින් මරණය වන්නේය.)
ඉහත සඳහන් බ්‍රාහ්මණ මතවලින් පැහැදිලි වන්නේ භාරතීය සමාජය තුළ ස්ත්‍රිය ඉතා පහත් තත්වයෙහිලා සලකා ඇති බවයි. එදා සෝමා භික්ෂුණිය හමුවට පැමිණි මාරයාද උත්සාහ දරා ඇත්තේ මෙම බ්‍රාහ්මණ මත ඉස්මතු කරමින් සෝමා භික්ෂුණිය මානසික වශයෙන් පහත තත්ත්වයට ඇද දැමීමටයි. එහෙත් සියලු කෙලෙසුන් නසා ප්‍රඥාවෙන් ඉහළම ඉස්තරයට ළඟා වී සිටි සෝමා භික්ෂුණිය මාරයාට ලබා දෙන්නේ අපූර්ව පිළිතුරකි. එනම් සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නා අයට ස්ත්‍රීභාවය කුමක් කරත් ද? යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ ස්ත්‍රිය, කායික ශක්තියෙන් පුරුෂයාට ස්වභාවයෙන්ම දෙවැනි වූවාට ප්‍රඥාවෙන් පුරුෂයා සමව සිටින බවයි. ඇතැම් අවස්ථාවල පුරුෂයා ද ඉක්මවා ගිය අවස්ථාවන් කුණ්ඩලකේශි වැනි කතාවස්තු වලින් පැහැදිලි වෙයි. සෝමා භික්ෂුණියගේ මෙම ප්‍රඥාගෝචර පිළිතුරින් පාපී මාරයා ලජ්ජාවට පත්ව එහිම අතුරුදහන්ව ඇත.
මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment