Thursday, 20 August 2015

බුදුදහම හා මාර සංකල්පය 09.10.



බුදුදහම හා මාර සංකල්පය 09
ගවයෙකුගේ වෙස් ගත් මාරයා ‘පත්ත සූත්‍රය’                            

පසුගිය ලිපියෙන් අපගේ සාකච්ඡාවකට බඳුන් වූයේ සංයුත්තනිකායේ ඇතුළත් ගොවියකුගේ වෙස්ගත් පවිටු මාරයා පිළිබඳ කරුණු ඇතුළත් ‘කස්සක සූත්‍රය’ විමසා බැලීමටයි. මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවන්නේ සංයුත්ත නිකායේ මාර සංයුත්තයටම අයත් ගවයෙකුගේ වෙස්ගත් මාරයා පිළිබඳ කරුණු ඉදිරිපත් වන ‘පත්ත සූත්‍රය’ විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා පඤ්ච උපාදානස්කන්ධයන්ගේ යථාස්වභාවය දේශනා කළහ. එනම් රූපය ‘මමය, මාගේය, මගේ වෙමි’ ආදී වශයෙන් මමත්වයෙන් ගත නොහැකි ය. එහි ඇත්තේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන සියල්ලට පොදු වූ ලක්ෂණයන්ය. එබැවින් මමත්වය හෙවත් සක්කාය දෘෂ්ඨිය දුරුකර රූපය පිළිබඳ ආශාව දුරුකළ යුතු ය. තෙන ඛො පන සමයෙන භගවා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූනං ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛු අට්ඨිං කත්වා මනසි කත්වා සම්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.

එමෙන්ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන සෙසු ස්කන්ධයන් ද මමමය, මාගේය, මගේ වෙමි ආදී වශයෙන් මමත්වයෙන් ගත නොහැකිය. එහි ඇත්තේ අනිත්‍යය දුක්ඛ, අනාත්ම යන සියල්ලට පොදු වූ ලක්ෂණයන්ය. එබැවින් වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන ස්කන්ධයන් පිළිබඳව ද මමත්වය හෙවත් සක්කාය දුරුකළ යුතු ය. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්ධ හා තෘෂ්ණාව පිළිබඳව භික්ෂූන්ට කරුණු දක්වන සේක. එහි යථා ස්වභාවය ආදී පිළිබඳ උන්වහන්සේලාගේ සිත්හි ගන්වන සේක. උන්වහන්සේලා උනන්දු කරන සේක. උන්වහන්සේලා අවබෝධ කළ ගුණ වණා උන්වහන්සේලාගේ සිත් පී‍්‍රති කරවන සේක. ඒ භික්ෂූන් වහන්සේලා ද එය වැඩ ඇති දෙයක් කොට ද ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතිව වුවමනාවෙන් ධර්මය අසති.

එකල්හි පාපී මාරයා හට මේ සිත ඇතිවිය. ‘ශ්‍රමණ ගෞතම තෙම උපාදානස්කන්ධ පස ගැන භික්ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි.ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරයි. ඔවුන් සිත පී‍්‍රති කරයි. ඒ භික්ෂූහු ද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතිව බණ අසත්, ඔවුන්ගේ නුවණැස කණකරලන්නට අන්ධකරන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක” යනුවෙනි.

තෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අබ්භොකාසෙ නික්ඛිත්තා හොන්ති. අථ ඛො මාරො පාපිමා ඛලිවද්දවණ්ණං අභිනිම්මිනිත්වා යෙන තෙ පත්තා තෙනුපසකමි.

එකල බොහෝ පාත්‍රා වේලනු පිණිස එළිමහනෙහි තබන ලද්දෝ ය. එවිට පාපී මාරයා ගවයකුගේ වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේ ය. එවිට එක්තරා භික්ෂුවක් අන් භික්ෂුවකට “මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී” යි කීය. එසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුහට “භික්ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නුවණැස් අන්ධ කරන්නට ආයේය.” යි වදාළ සේක. ඉක්බිති මේ පාපී මාරයා’ දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථාවෙන් මෙසේ වදාළ සේක.

රූපං වේදයිතං සඤ්ඤා
විඤ්ඤාණ යඤ්ච සංඛතං
නසො හමස්මි නෙතංමේ
ඒවං තත්ථ විරජ්ජතී
අන්වෙසං සබ්බට්ඨානෙසු, මාරසෙනාපි නාජ්ඣගා”ති

රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤ්චකන්ධය මම් නොවෙමි” මෙය මාගේ නොවේයැයි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම අත්හරී.

මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් (සංයෝජන) ඉක්මවා සිටි ඒ රහතුන් මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය”,

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි ඒ පාපී මාරයා භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති යි සලකා දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්වීය.

මෙහිදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනුයේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්දයන් මාරයාට අයිති දේවල් ලෙස ය. රූපය පිළිබඳ යමෙක් ඇල්මක් ආශාවක් මමත්වයක් ඇති කරගන්නේ නම් ඔහු මාර විෂයයට යටත් වූවකි. වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පිළිබඳව ද එසේම ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය මත පදනම් වූ මේ සියල්ලෙහි ඇත්තේ විනාශවන, නැතිවන, අහිමිවන ස්වභාවයයි. අප අවබෝධකර ගත යුත්තේ ද එයයි. එහෙත් මාරයා පඤ්චස්කන්ධය පිළිබඳ වූ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පිරිසට කැමති නැත. එයට හේතුව ඒ උතුමන් ඒ අවබෝධය තුළින් සත්‍ය වටහාගෙන මාරයාගේ ඇස් අන්ධකොට ඔහුට නොපෙනෙන තැනකට යන හෙයිනි.

බුදුරජාණන් වහන්සේ මේ පඤ්චස්-කන්ධයන්ගේ යථාස්වභාවය භික්ෂූන් වහන්සේලාට දේශනා කරන විට මාරයා අකමැති වන්නේ භික්ෂූන් වහන්සේලා එය අවබෝධය තුළින් සත්‍යාවබෝධය බලා මාරයාට නොපෙනෙන තැනකට හෙවත් උතුම් වූ රහත් තත්ත්වයට පැමිණෙන හෙයිනි. ඒ නිසාම ඒ පාපී මාරයා භික්ෂූන් වහන්සේලාගේ අවධානය වෙනස් කිරීම සඳහා ගොනෙකුගේ වෙස් ගෙන දානය වළඳා අවසානයේ වියළීම සඳහා අව්වේ තිබූ පාත්‍ර බිඳීම සිදුකරනුයේ.

භික්ෂූන් වහන්සේලා ඒ ගොනෙකු යැයි හැඳින ඔහු එළවීමට සූදානම් වූ අවස්ථාවෙ සම්බුදු ඇසින් ඒ ගොනෙකු නොව පාපී වූ මාරයාගේ ම ක්‍රියාවක් ලෙස දැක් භික්ෂූන්ට එයම අරමුණු කොටගෙන දහම් දෙසූහ.

තමන් වහන්සේ පාපී වූ මාරයා හැඳිනගත් බව ඒත්තු ගැන්වීම සඳහා ඔහුට විරාගී සිතක ඇති ස්වභාවය මැනවින් දේශනා කළහ. එනම් සත්‍ය අවබෝධ කළ උතුමන්ට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්දයන් පිළිබඳ කිසි කලෙක මමත්වයක් හෙවත් තෘෂ්ණාවක් නොමැති බවයි. එමෙන්ම මාරයාට ඒ උතුමන්ගේ ගමන කිසි කලෙකත් සෙවීමට නොහැකි බවයි. එයින් බුදුරජාණන් වහන්සේ තමන් හැඳිනගත් බව දැන ලජ්ජාවට පත් පාපී මාරයා දුක් වූ දොම්නස් වූ මනසින් යුක්තව එහිම අතුරුදන්ව ඇත.
........................................................................................................................................
බුදුදහම හා මාර සංකල්පය 10
නාග වෙස් ගත් මාරයා  ‘සප්ප සූත්‍රය’

පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැනුම්, ලොමු ඩැහැගැනුම් ඇතිකරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වේශයක් මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි ඒ පාපීවු මාරයාගේ භයානක ස්වභාවය එහි විස්තර වන්නේ මෙසේය

පෙර ලිපියෙන් අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ ඇතුළත් මාර සංයුත්තයටම අයත් ගොනකුගේ වෙස්ගත් මාරයා පිළිබඳ කරුණූ ඉදිරිපත් වන ‘පත්ත සූත්‍රය’ විමසා බැලීමටයි. මෙවර ලිපියෙන් අප විමසා බලන්නේ මාරයා නාගයෙකුගේ වෙස් ගත් සංයුත්ත නිකායේ මාර සංයුත්යටම අයත් සප්ප සූත්‍රය විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වු වෙළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්ධකාරය ඇති රැයෙක එලිමහණෙහි හුදකලාව හුන්සේක. ඒ වෙලෙහි එහි වැහි පොදද එක දෙක වැටෙන්නට විය. එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැනුම්, ලොමු ඩැහැගැනුම් ඇතිකරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වේශයක් මවා ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි ඒ පාපි වු මාරයාගේ භයානක ස්වභාවය එහි විස්තර වන්නේ මෙසේය එනම්,

සෙය්‍යථාපි නාම මහති එකරුක්ඛීකා නාවා, එවමස්ස කායො හොති, සෙය්‍යථාපි නාම මහන්තං සොණ්ඩිකාකිළඤ්ජං ,එවමස්ස ඵණො හොති, සෙය්‍යාථාපි නාම මහති කොසලිකා කංසපාති,එවමස්ස අක්ඛිනි භවන්ති, සෙය්‍යථාපි නාම දෙවෙ ගළගළායන්තෙ විජ්ජුල්ලතා නිච්ඡරන්ති, එවමස්ස මුඛතො ජිව්හා නිච්ඡරති, සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධම්මානාය සද්දො හොති, එවමස්ස අස්සාසපස්සාසානං සද්දො හොති.

(තනි ගහකින් කළ මහ ඔරුව යම් සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන්තලිය යම් පමණද, ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුව තුළින් නික්මෙයි. මයිනහම සුළගින් පිරෙන කළ ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ)

මෙසේ තමන් වහන්සේ වෙත පැමිණි මේ අද්භූත නාගයා වෙන කිසිවෙක් නොව මාරයාම බව දැන තමන් වහන්සේ බුද්ධත්වයත් සමඟ සියලු බිය ප්‍රහීණ කළ බැවින් භයභේරවනම් නම්ලත් බැවිනුත් (මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් භය භෙරව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සිටම බිය ප්‍රහීණ කිරීම සදහා වීර්ය වැඩූ අයුරු සඳහන් වෙයි) කිසිදු බියමුසු ස්වභාවයකින් තොරව තමන් වහන්සේගේ ස්වභාවය ඒ පාපි මාරයාට දේශනා කළහ.

යො සුඤ්ඤාගෙහානි සෙවති,
සෙය්‍යො සො මුනි අත්තසඤ්ඤතො
වොස්සජ්ජ චරෙය්‍ය තත්ථ සො
පතිරූපඤ්හි තථාවිධස්ස තං

චරකා බහු භෙරවා බහු
අථො ඩංඝසරිසපා බහුඞ
ලොමම්පි න තත්ථ ඉඤ්ජයෙ
සුඤ්ඤාගාරගතො මහාමුනි

(යමෙක් හිඳිමාදිය පිණිස මිනිසුන්ගෙන් හිස්වු ගෙවල් සෙව්නේද (ශූන්‍යාගාරවල වසන්නද) ඒ තමා සංවරවු මුනි තෙම තමාගේ ආත්මභාවයෙන් ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳු වු මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද,අරමුණූුද බොහෝය. තවත් වෙනත් මැස්සෝද, සර්පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් (ශූන්‍යාගාරයට වැද ධ්‍යාන වඩන) ඒ මුනි උතුමා ඒ කිසිවක් හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.

නහං එලෙය්‍ය පඨවි චලෙය්‍ය,
සබ්බෙපි පාණා උද සන්තෂෙය්‍යුං
සල්ලම්පි වෙ උරසි සකප්පසෙය්‍යුං
උපධීහු තාණං න කරොන්ති බුද්ධාති

අහස පුපුරතත් පොළොව සෙලවෙතත් සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත් බුදුවරු පඤ්චස්කන්ධයන්හි රැක්මන් නොකෙරෙත්.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි උන්වහන්සේගේ නික්ලේශි බව හා නිර්භය බව හඳුනාගත් මාරයා ඒ පාපි මාරයා, භාග්‍යවත්හු මා දැනගත්හ. සුගතයෝ මා දැනගත්හ”යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්ව ඇත.

මෙයින් පැහැදලි වන්නේ පාපී මාරයා විවිධ වෙස් ගෙන බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ තමන්ගේ වසඟයට ගැනීමට හෙවත් යටත් කර ගැනීමට හැකිද ?යන්න පරික්ෂා කළ බවයි. බුදුරජාණන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක වු භික්ෂුන් වහන්සේලාද පරික්ෂා කළ අයුරු පෙර ලිපි තුළින් අප පෙන්වා දුන්නෙමි. පාපි මාරයා ඇතැම් අවස්ථාවල ගොවියන්ගේ ගොනුන්ගේ ආදී වෙස් ගෙන බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මුලා කිරීමට පැමිණ අවසානයේ පරාජයට පත්වු අවස්ථා අපි විමසා බැලුවෙමු.

මෙහි දීද ඒ පාපී මාරයා බලාපොරෙත්තු වී ඇත්තේ හුදකලාව ශූන්‍යාගාරිකව වැඩහුන් බුදුරජාණන් වහන්සේ බිය ගැන්වීමටය. එහිදි ඔහු මවා ගන්නේ විශාල ප්‍රමාණයේ නාගයෙකුගේ වේශයක්ය. ඔහුගේ ඒ බියකරු ස්වභාවයට දුටු පුහුදුන් යමෙක් මෙලොව වේද ඔහු ඒකාන්තයෙන්ම බියට පත් වන්නේය. ඔහු මවාගත් නාගයාගේ ස්වභාවය එතරම්ම බියකරුය. එහෙත් බුදුරජාණන් වහන්සේ නික්ලේශී උතුමෙකු නිසා ඒ කිසිවකට බිය වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ බිය නැති කළ මේ නික්ලේශී ස්වභාවය ධජග්ග සූත්‍රයේද මෙසේ සඳහන් වෙයි.

”තතාඝතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමොහෝ අහිරුඅච්ඡම්හි අනුත්‍රාසි අපලායීති”

(මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය,රාගයෙන් තොරය. ද්වේශයෙන් තොරය. බියෙන් තොරය, ලොමු දැහැ ගැනීමක් නොමැත. තැති ගැනීමක් නොමැත. පලා යෑමක් නොමැත)

බුදුරජාණන් වහන්සේ තුළ වු බිය, තැති ගැනීම, ලොමු දැහැගැනීම ආදි වු මේ ලාමක ධර්මයන් වූයේ නම් ඒ සියල්ල විජය ශ්‍රී බෝධී මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ නැතිවිය. එබැවින් බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට හා කිසිවකට බිය වන්නේ නැත. ඒ උන්වහන්සේ තුළ බිය උපදවන ලාමක කෙලෙස් ධර්මයන් නොමැති බැවිනි. එබැවින් එවැනි නාගයින් දහයකට විස්සකට නොව සිය දහසකට වුවත් බුදුරජාණන් වහන්සේගේ බියවීමක් දැකිය නොහැක. අවසානයේ මේ බව වටහාගත් මාරය දොම්නස් සිතින් යුක්තව පරාජය බාරගෙන අතුරුදන්ව ඇත.

මතු සම්බන්ධයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

No comments:

Post a Comment